අනුන්ගේ බඩේ ළමයි හදාගන්න සල්ලිකාරයෝ


ගර්භාෂ කුලියට දෙන බොහොමයක්  මව්වරු දුප්පත් අය   

 

ගුජරාටයේ කුලී මව්වරු රඳවාගෙන සිටින සායනයක්   

 

නවසීලන්ත අගමැතිනි සාම සමුළුවට දරුවා හා සැමියා සමඟ සහභාගී වී සිටි අයුරු   

 

 

 

නවසීලන්ත පාර්ලිමේන්තුවේ කතානායකවරයා වන ටේරවෝ මැලාර්ඩ් බිලිඳෙකු නළවමින් පාර්ලිමේන්තුව මෙහෙයවූ ආකාරය දැක්වෙන වීඩියෝ සහ පින්තූර පසුගිය සතියේ සමාජ ජාලා වෙබ් අඩවිවල ලැව් ගින්නක් මෙන් පැතිර ගියේ නවසීලන්ත පාර්ලිමේන්තුව, සමලිංගික විවාහ හා ගර්භාෂ කුලියට ගෙන දරුවන් බිහිකිරීම යන අංශ කිහිපයක්ම සමාජයේ කතාබහට ලක් කරමිනි.   


නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් සිය බිළිඳු දියණිය හා සැමියා සමඟ පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සමුළුවට සහභාගීවීමද කැපී පෙනෙන විශේෂ සිදුවීමකි. රාජකාරියේ යෙදී සිටින අතර දරු ප්‍රසූතිය සිදුකළ අතළොස්සක් ලෝක නායකයන් අතරට නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන්ද එකතු වූවාය.   


2017 වසරේදී ඕස්ට්‍රේලියානු සෙනෙට්වරියක වන ලරීසා වෝටර්ස් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ රාජකාරි අතරවාරයේ දී සිය බිලිඳාට කිරි දීමෙන් මෙම නව රැල්ල ආරම්භ විය. රජයේ නිලධාරීන් වන කාන්තාවන් මවු පදවිය ලැබීමෙන් පසු ඔවුන් නිවාඩු යැවෙන ක්‍රමවේදයක් තිබෙන අතර, කිරි දෙන මව්වරුන් දරුවාද රැගෙන රාජකාරියට යාම සාමාන්‍ය භාවිතාවක් නොවේ. මෙරටට පමණක් නොව, විදෙස් රටවලට පවා එය පුදුමයක් බවට පත්ව තිබේ.   


නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ මෙසේ කවදාවත් නොවූ විරූ ආකාරයට සිය දරුවන් පාර්ලිමේන්තුවට හා රැකියාවේ යෙදෙන ස්ථානවලට ගෙන ඒමට, රැකියාව අතරතුර කිරි දීමට හා රඳවා ගැනීමට හේතු වූයේ එම රජයන් පාර්ලිමේන්තුව තුළ පැවති නීති රීති ලිහිල් කිරීමයි.   


නවසීලන්ත පාර්ලිමේන්තු ඇමතිවරයෙක් වන ටමාටි කොෆේ දරු ප්‍රසූතියෙන් පසු පියවරුන්ට ලැබෙන නිවාඩු ලබාගැනීමෙන් පසු රාජකාරියට වාර්තා කළේ විවාදයකට සහභාගීවීම සඳහාය. ඒ එන විට ඔහු සිය බිළිඳු දරුවාද ගෙන ආවේය. ටමාටි කොෆේ හා ඔහුගේ සැමියා ටිම් ස්මිත් යන දෙදෙනා දරුවෙක් ලබා ගත්තේ ගර්භාෂය කුලියට දෙන කාන්තාවක් මගිනි.   


දරු තිදෙනෙකුගේ පියෙකු වන නවසීලන්ත කතානායක මැලාර්ඩ් මහතා මුනුපුරු මිණිබිරියන්ගේද දරු සුරතල් බලන සීයා කෙනෙකි. පාර්ලිමේන්තුවට පැමිණි කොෆේ විවාදයකට සහභාගී වෙන අතරවාරයේ ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එය අවසන් වෙන තුරු දරුවා බලා ගත්තේය. දරුවාට කිරි පොවන හා නළවන ගමන් පාර්ලිමේන්තු මැති සබය හැසිරවූ කතානායකවරයා, ට්විටර් පණිවිඩයක් තබමින් කියා තිබුණේ ඔහුගේ අසුන එම රාජකාරියට අදාළ නිලධාරීන් පමණක් භාවිත කරන එකක් වුවත්, අද දිනයේ එහි ඉතා වැදගත් පුද්ගලයෙක් සමඟ අසුන් ගැනීමට තමාට හැකි වූ බවය. දරු උපත වෙනුවෙන් නව යුවළට සුබපතන්නට ද ඔහු අමතක නොකළේය.   


මෙවන් කටයුත්තක් ඔහුගේ අතින් වූ පළමු වතාව මෙය නොවේ. මීට පෙර නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් සිය බිළිදා ද රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේද ඔහු එම දරුවාද කතානායක අසුනේ තබාගෙන සිටියේය.   


තම දරුවා පාර්ලිමේන්තුවට රැගෙන ඒම පිළිබඳව තමාට හොඳ ප්‍රතිචාර ලැබුණු බව ටමාටි කොෆේ සඳහන් කරයි.   

 

නවසීලන්ත කතානායකවරයා දරුවා බලාගනිමින්   

 

 


කුලී ගැබෙන් ගන්න බබාලා   


ඉන්දියාවේ අතිශය දිළිඳු කාන්තාවෝ මුදල් සොයාගැනීම සඳහා ගර්භාෂය කුලියට දෙති. බටහිර රටවලින් දරුවන් ලබාගැනීමට පැමිණෙන විදේශිකයන් වෙනුවෙන් ගර්භාෂය කුලියට දෙන මෙම කාන්තාවන්ට ඒ සඳහා ලැබෙන්නේ ලක්ෂ දෙකක් වැනි මුදලකි. පුද්ගලික රෝහල් හා තැරැව්කරුවන් ආදීන් එකතු වී මෙම දරු ව්‍යාපාරය සරුවට කරගෙන යන අතර වරක් හෝ දෙකක් එම ව්‍යාපාරයේ නියැළුණ කාන්තාවන් දරුවන් ලබාගැනීමේ කටයුත්තට සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණායතන හා වෛද්‍යවරුන්ට අගහිඟකම්වලින් පෙළෙන කාන්තාවන් සැපයීම සිදු කරති.   


ඒ සඳහා පළමුව ගනුදෙනුකරුවන්, රෝහල හෝ වෛද්‍යවරයා හා කුලී මව අතර ගිවිසුමක් ඇති කරගනී. එහි ලියා ඇත්තේ මොනවද කියා බලා ගැනීමටත් කුලී අම්මාට වෙලාවක් නොලැබේ. කළලය කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් පසු ඇගේ සුව පහසුව පිළිබඳව සොයා බැලීම ආදී සියලුම කටයුතු පැවරෙන්නේ අදාළ ව්‍යාපාරය සිදුකරන වෛද්‍යවරයා, සාත්තු සේවිකාව හෝ අතරමැදියාටයි.   


ගනුදෙනුකරුවන් සහ කුලී මව යන දෙපිරිස එකිනෙකා මුණගැසෙන්නේ වරක් හෝ දෙකකි. කුලී මව සමඟ සන්නිවේදනය කළ යුතු වන්නේ අතරමැදියා හරහා බැවින් ඇයට සාධාරණයක් කිරීමට හෝ ගනුදෙනුකරුවන්ට අවස්ථාවක් නොලැබේ.   


දරුවා ඉපදුණු වහාම මවගෙන් වෙන් කරන්නේ මවට දරුවා ළඟ තබා ගැනීමට අවස්ථාව ලැබුණහොත් සිත වෙනස් වී දරුවා තබාගැනීමට ඉල්ලීම නිසා ඇතිවන කරදර වළක්වාගැනීමටය. මවගේ අතට දරුවාගේ ඡායාරූපයක් ලැබේ. සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුම්වල ක්‍රමය නම්, එසේ කුලියට ගන්නා ගර්භාෂයකින් ලබාගන්නා දරුවෙක්ට තමා හට උපත දුන් මවුපියන් පිළිබඳව තොරතුරු අවුරුදු 18දී දැනුම් දීමයි. එහෙත් එය එයාකාරයෙන් සිදුවෙනවාද යන්න නම් සැක සහිතය.   


මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ බැවින් මෙසේ ලබාගන්නා දරුවෙකුට මවුවරු හා පියවරු කිහිප දෙනෙක් සිටිය හැකිය. ස්ත්‍රී පුරුෂ යුවළක දරුවන් ලැබීමේ හැකියාව නොමැත්තේ කාන්තාවට නම්, එම පියාගෙන් ලබාගන්නා ශුක්‍රාණු හා මවගේ ඩිම්බයක් තැන්පත් කිරීමෙන් පසු හදාගන්නා කළලය කුලී ගර්භාෂයේ තැන්පත් කෙරේ. එසේ නොමැති නම් ලෝකය පුරා තිබෙන ඩිම්බ හා ශුක්‍රාණු බැංකුවලින් තෝරාගන්නා ලද ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය කිරීමෙන් පසු කුලී මවකගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් දරුවෙකු ලබාගනී.   


මෙම කටයුත්ත සඳහා ලෝකයේ ඉතා ප්‍රසිද්ධ නේපාලයයි. නේපාලයේ මෙම ව්‍යාපාරයට එරෙහි නීති නොමැති බැවින් ලෝකයේ වෙනත් රටවල සිට පැමිණෙන ගනුදෙනුකරුවන් හා බොහෝ විට ඉන්දියාවෙන් පැමිණෙන කුලී මවුවරුන් සියලු දෙන හමුවන්නේද, අදාළ සියලු කටයුතු කෙරෙන්නේද නේපාලයේදීය. මෙසේ දරුවන් ලබාගැනීමට පැමිණෙන යුවළවලින් බහුතරයක් ඊශ්‍රායලයේ සිට පැමිණෙන්නෝය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් සමලිංගික පිරිමි වෙති.   


ගර්භාෂය කුලියට දෙන මවුවරුන්ගෙන් බහුතරයක් අතිශය දිළිඳු හා නූගත් අය වෙති. ලියන්නට කියවන්නට හෝ නොදන්නා ඔවුහු තම කුසින් බිහිකරන දරුවා පත්වෙන්නේ සමලිංගික යුවළකටය යන්න පවා වටහාගන්නට නොදන්නා අයයි. දුගී බව, ණය තුරුස්වලින් ගැලවෙන්නට තිබෙන අවශ්‍යතාව, වඩා හොඳ නිවාසයක්, ජීවන තත්ත්වයක් ලබාගැනීම, දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වැනි විවිධ අරමුණු හේතුවෙන් ඔවුහු මෙම අවදානම් කාර්යයේ නිරත වෙති. ගැබ කුලියට දෙන කතුන් බහුතරයක් සිය ජීවිත අවදානම ගැන පවා නොතකා කටයුතු කරන්නේ ලක්ෂයක් දෙකක් හෝ ඊට අඩු මුදලක් වෙනුවෙනි.   


වරක් දරුවෙකු ලබා දී ලැබුණු මුදල් අවසන් වූ පසු සිදුවෙන්නේ ඔවුන් සාමාන්‍ය ජීවිතයකට යොමු වීමට වඩා නැවත නැවතත් දරුවන් හදා දෙන්නට ඉදිරිපත් වීමයි. කාලයක් මෙසේ කටයුතු කිරීමෙන් පසු වැඩ කටයුතු සිදුවෙන ආකාරය ගැන ප්‍රමාණවත් දැනුමක් හා පළපුරුද්දක් ලබාගන්නා කාන්තාවෝ, එම ව්‍යාපාරය කරන ආයතනවලට හෝ වෛද්‍යවරුන්ට කාන්තාවන් සපයන තැරුව්කාරියන් බවට පත් වෙති.   


යම් අවස්ථාවලදී ඔවුන් දුගී කතුන් සොයා ගෙන ගොස් ඔවුනට මුදල් දී මේ සඳහා නම්මා ගනිති. තවත් විටෙක වරක් ගැබ කුලියට දුන් කාන්තාවක් සැපයුම්කාර කාන්තාවගෙන් ණයට මුදල් ගන්නේ ඊළඟ වතාවේ දරුවා ලැබුණු පසු පියවීමේ පොරොන්දුව පිටය.   


බොහෝ විට මෙම කුලීයට දීම සිදුවන්නේ සැමියන්ගේ විරුද්ධතාව මතය. වරක් දෙකක් දරුවන් හදා දුන් තැනැත්තියක යළිත් වරක් ඒ සඳහා යොමුවෙන්නේ දරුවෙකු කුස දැරීම යහමින් මුදල් සෙවිය හැකි පහසු ක්‍රමයක් බැවිනි. සමහරු තම සිත සනසාගැනීමට කියා දරුවන් නැති අයට දරුවන් ලබාදී උපකාර කිරීමෙන් ඇතිවන කුසලය ගැනද මෙනෙහි කරන අතර, දරුවන් ලබාගන්නට පැමිණෙන ගනුදෙනුකරුවන්ද දුප්පත් අයෙකුට ජීවත්වෙන්නට උපකාරයක් කරන්නට ලැබීම පිළිබඳව සතුටුවෙන බව පවසති.   
මෙය දැවැන්ත මුදල් කන්දරාවක් සෙවිය හැකි මාර්ගයක් බැවින් ආසියානු කලාපය ආශ්‍රිතව ඉතා සරුවට සිදුවෙන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. කුලියට ගන්නා කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකීම කෙසේ වෙතත්, ගනුදෙනුකරුවන්ගෙන් මුදල් කුට්ටි පිටින් ඩැහැ ගන්නා බව නම් පැහැදිලිය. ආසියාව හැරුණු විට මෙක්සිකෝව වැනි රටවලද මෙම දරු ජාවාරම් බහුලව සිදුවේ.   


ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිටින, දරු දෙදෙනෙකුගේ මවක වන 26 හැවිරිදි සොනාල්, දෙවන වරටත් විදෙස් යුවළකට දරුවෙකු ලබාදීමට සූදානමින් සිටින්නියකි. ඇයගේ අපේක්ෂාව නම් එළවළු වෙළෙන්දෙකු වන සිය සැමියා හා දරු දෙදෙනා සමඟ පහසුකම් සහිත නිවසක හොඳින් ජීවත්වෙමින්, දරුවන්ටද හොඳින් ඉගැන්වීමය. දරුවෙක් ලබාදීම වෙනුවෙන් ඇයට ඇමරිකානු ඩොලර් 6800ක මුදලක් ලැබේ. ඇය දරුවා ලබාදෙන්නේ දරුවන් ලැබීමට හැකියාවක් නොමැති අයර්ලන්ත යුවළකටය.   


ප්‍රසිද්ධියේ එහෙත් අප්‍රසිද්ධියේ මෙතෙක් කල් පැවති මෙම දරු ජාවාරම් ගැන හෙළිවූයේ නේපාලයේ භූමිකම්පාවක් ඇති වූ අවස්ථාවක, ඊශ්‍රායලයේ සිට බිළිඳුන් බේරාගැනීමට වෛද්‍යාධාර රැගත් ගුවන් යානා නේපාලයට පැමිණීමත් සමඟිනි.   


සමලිංගික විවාහ වැඩිවීමත් සමඟ කුලියට දරුවන් ලබාගන්නා ව්‍යාපාරයද දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. මෙම ව්‍යාපාරය 2002 වසරේදී ඉන්දියාවේ නීතිගත විය. වෙනත් අයෙකුගේ දරුවෙක් දරා සිටීම තවමත් ඉන්දියාවේ සැලකෙන්නේ සදාචාරයට පටහැණි කටයුත්තක් ලෙසයි. එබැවින් මෙම ව්‍යාපාරයේ නිතර වන ඉන්දියානු කාන්තාවන්ට මුදල් ලැබුණද, කිසිදු පිළිගැනීමක් නැත. නීති විරෝධීව පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානවලට නිරතුරුවම පොලිසිය කඩා පනී.   


ධනවතුන් උදෙසා දරුවන් නිපදවන මෙවැනි ළමා කම්හල්වලට එරෙහිව කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස් දැඩි විරෝධයක් දක්වති. 

 
ලෝ ප්‍රකට පුද්ගලයෝ සහ නළු නිළියෝ මෙම ක්‍රමය මගින් දරුවන් ලැබීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලති. හොලිවුඞ් නිළි ටයිරා, එළිසබෙත් බෑන්ක්ස්, සාරා ජෙසිකා පාකර්, නිකොල් කිඩ්මන් සහ සමලිංගික විවාහකයෙකු වන ගායක එල්ටන් ජෝන් මෙන්ම ඉන්දීය නළු ෂාරුක් ඛාන්ද අබ්රාම් පුතු ලබාගත්තේ එපරිද්දෙනි. ගායක රිකී මාටින් අවිවාහකව නිවුන් දරුවන් ලබාගෙන සිටී.   

 


අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා දිසානායක