අන්තවාදයට මුවාවී නැගෙනහිර තවත් ඉඩම් කොල්ලයක්


හෙළිදරව්ව

කුඹුක්කන සංරක්‍ෂිතයේ රදැල්ල කොටසේ 2017දී ඩෝසර් කළ අයුරු

 

ඉස්ලාම් අන්තවාදය නැගෙනහිර මෝදු වෙන්නට පටන් ගත්තේ යුද සමයේ ය. ඉන්ටර්නැෂනල් මුජාහිඩීන් ආදී වූ ඉස්ලාම් අන්තවාදීන්ගෙන් සුන්නතුල් ජමාද්වරුන් බැටකද්දී අන්තවාදීගේ ක්‍රියා හරහා බොරදියේ මාළු බෑ තවත් කොටසක් ද නැගෙනහිර සිටියෝය. ඒ දේශපාලනඥයින් සහ රජයේ නිලධාරීන් කොටසක් ය. ඔවුන් අන්තවාදයට මුවා වී නැගෙනහිර ඉඩම් කොල්ලයක් ක්‍රියාත්මක කළේ පැවති නීති රීති තඹයකටවත් නොතකාය. 


නිදහස ලබන්නට පෙර සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමයේ එනම් 1904දී ලංකාවේ කැලෑ සම්බන්‍ධයෙන් කළමනාකරණ කටයුතු කිරීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරුණි. ඉන් තිස් වසරකට පමණ පසු 1934දී කැලෑ සම්බන්ධ කළමනාකරණයේ කොටසක් දිසාපතිවරුන් වෙතත් ඔවුන් හරහා උපදිසාපතිවරුන්ටත් පැවරුණි. 1952 සහ 1998 යන අවුරුදුවල දිසාපතිවරුන් වෙත පැවරුණු ආණ්ඩුවේ කැලෑ සම්බන්ධ බලතල සංශෝධනයන් එක්විය. 


නමුත් 2001 වසරේ දී එය යළි වෙනස් වූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒකාබද්ධව නිකුත් කළ 2001/05 දරන චක්‍රලේඛයෙනි. එකී චක්‍රලේඛය අනුව එතෙක් දිසාපතිවරුන්ට ද රජයේ කැලෑ සම්බන්‍ධයෙන් ක්‍රියා කිරීමට දී තිබූ බලය අහෝසි කරනු ලැබීය. එකී චක්‍රලේඛය අනුව රජයේ වනාන්තර සම්බන්‍ධයෙන් යම් තීරණයක් ගැනීමේ අවසන් බලධාරියා වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව බව අවධාරණය කර ඇත. 


ඒ අනුව රජයේ කැලෑ සම්බන්‍ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේ බලය ද ප්‍රාදේශීය ලේකම්වරු (උප දිසාපතිවරු) සහ දිසාපතිවරුන්ගෙන් ඉවත්කරනු ලැබීය. 


එය එසේ වුවත් නැගෙනහිර පළාතේ රජයේ කැලෑ සම්බන්‍ධයෙන් ආණ්ඩුවේ ම සේවය කළ ඇතැම් උසස් නිලධාරීන් සහ දේශපාලනඥයින් මේ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාතේ සහ රටේ වෙනත් ප්‍රදේශ කිහිපයක ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසකින් ඉඩම් බලපත්‍ර දහස් ගණනක් නිකුත් කර තිබුණි. 


හිඟුරක්ගොඩ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකු සිය බලප්‍රදේශයේ පිහිටි වටපිළිකන්ද නමැති රජයේ ඉඩමක හෝටලයක් හැදීමට එවකට පැවති රජයේ ඇමැතිවරයෙකුගේ සො​ෙහායුරියකට බලපත්‍රයක් නිකතුත් කර තිබුණි. මෙය වලංගු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 78/206 දරන නඩුවෙන් තීන්දුවක් දුන්නේය. ඒ අනුව ඇමැතිවරයාගේ සහෝදරිය ඇතුළු පිරිස එම ඉදිකිරිම්වලින් ඉවත් කරනු ලැබූහ. දැන් ඒ හෝටලය පැවති ගොඩනැගිලි වනසරංක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. 
එහෙත් මේ 05/2001 චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසුව පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ද රජයේ ඉඩම් රැසකට බලපත්‍ර කඩදාසි නිකුත් කර තිබුණි. පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කර තිබුණු බලපත්‍රවල ඉඩම් පිහිටා තිබුණේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. බලපත්‍රකරුවන් මුස්ලිම් ජනයා විය. නමුත් මේ බලපත්‍ර කඩදාසි වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිසේත්ම පිළිනොගත්හ. එහෙත් දේශපාලන උවමනාවන් මත රජයේ වෙනත් කාර්යාලවල ප්‍රධානීන් එකී ව්‍යාජ බලපත්‍ර ප්‍රතික්‍ෂේප කිරීමට පියවර ද නොගත්හ. 


මේ අතර දැනට වසර ගණනාවකට පෙරදී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුස්ලිම් ජාතික වනසංරක්‍ෂක නිලධාරියෙක් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයන් රැසකට රජයේ ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කළේය. එකී බලපත්‍ර ලබාගත් ඔවුහු පොතුවිල් සහ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආණ්ඩුවේ කැලෑ බලෙන් අල්ලා ගැනීම සංවිධානාත්මකව කළහ. 


ප්‍රදේශය භාර වනසංරක්‍ෂණ නිලධාරීන් එකී බලපත්‍ර පිළිනොගත් අතර ඔවුන් සතුව තිබූ බලපත්‍ර ව්‍යාජ ඒවා බවට දැනුම් දුන්නද වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි වනසංරක්‍ෂක ජනරාල්වරයා ඒ බලපත්‍ර අවලංගු කිරීමට පියවර නොගත්තේය. ඔහු විශ්‍රාම ගිය අතර පසුකාලීනව එය ආණ්ඩුවට අයත් කැලෑ ඉඩම් ආරක්‍ෂා කිරීමට බරපතළ ගැටලුවකට හේතුවක් ද විය. 


පසුගිය සතියක දී ඉරිදා ලංකාදීප “අනාවරණ” තීරයේ ලිපියකින් කතා කළ පොතුවිල් කරංකෝව ඉඩම් සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීම ඒ ව්‍යාපාරයේ ප්‍රතිඵලයන්ය. කෙසේ වෙතත් මේ නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීමේ උත්සාහය දැරුවේ පොතුවිල් නගරයේ පදිංචි බලවතුන් 13 දෙනෙකි. එමෙන් ම මේ නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීමට එරෙහි වූ සෙයිනුලාබ්දීන් අබ්දුල් කාදර් නම් මුස්ලිම් වෙල් විදානේවරයා ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට මේ ඉඩම් නීති විරෝධීව අල්ලා ගැනීමට ඉඩ නොදෙන ලෙස රජයන් දිගින් දිගටම ඉල්ලා සිටි බව එවකට අම්පාර මහ දිසාපතිවරයාව සිටි වර්තමානයේ කොළඹ මහ දිසාපත් සුනිල් කන්නන්ගර මහතා අවධාරණය කළේය. 


මේ ඉඩම් කොටස් තුළ හෝ ඊට ආසන්නව 1954 මාර්තු 26 දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කළ ලාහුගල මඟුල් මහා විහාරය ද, 2014 ඔක්තෝබර් 10 දින නිකුත් කළ අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුවේ ඇති ස්ථාන ද පිහිටා ඇත. ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්සල්ගොඩ ග්‍රාමසේවා වසමේ ඇත්ගාල නමින් හැඳින්වෙන ගල වටා පවුරකින් ආවරණය වන පුරාණ ඉදිකිරීම, ශිලා ලිපියක්, පැරණි ගල් කණු සහිත ගොඩනැගිලි ද ඒ පුරාවිද්‍යා ස්මාරකයි. 


බලවතුන් සුළු පිරිසක් කරන මෙම නීති විරෝධී ක්‍රියා නිසා අසරණව සිටියේ මුස්ලිම්, දෙමළ සහ සිංහල සාමාන්‍ය වැසියෝය. කොටි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙද්දිත් මුස්ලිම්වරුන් අතර ක්‍රියාත්මකවූ ඉස්ලාම් අන්තවාදය හේතුවෙන් සාමාන්‍ය මුස්ලිම් වැසියෝ මුණිවත රැක්කෝය. නමුත් එවකට සිටි අම්පාර මහදිසාපති සුනිල් කන්නන්ගර, අම්පාර දිසා වන නිලධාරී ලලිත් ගමගේ, අම්පාර අතිරේක දිසා වන නිලධාරී රොෂාන් ද අල්විස්, අම්පාර දිසාවේ සහකාර වනජීවී අධ්‍යක්‍ෂ ගාමිණී සමරකෝන්, ලාහුගල ජාතික උද්‍යාන භාරකරු ලෙස කටයුතු කළ ඩී.පී. සියාසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මේ නීති විරෝධී ඉඩම් කොල්ලය හමුවේ ඍජුව නීතිය ක්‍රියාත්මක කිරීම නිසා නැගෙනහිර කැලෑව බේරාගත හැකිවිය. නමුත් මේ සඳහන් කළ කිසිදු නිලධාරියෙක් අද අම්පාරේ නැත. ස්ථාන මාරු වී ඔවුන් වෙනත් ප්‍රදේශවල සේවය කරනු ලබති. 


යුද්ධය අවසන් වූ 2009 වසරින් පසු 2010 වකවානුවේම “පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනක්” එවකට පැවති ආණ්ඩුවෙන් ක්‍රියාත්මක විය. පොතුවිල් සහ තිරික්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලෑ ඉඩම් කුඹුරු බවට බලහත්කාරයෙන් පත් කරන්නට විශාල පිරිසක් හිටි හැටියේ ම පියවර ගත්තේ මේ අතරතුරේදීය. එකී ඉඩම් බක්මිටියාව කැකිරිගොල්ල රක්‍ෂිතයට අයත් ඉඩම් විය. පුරං කුඹුරු අස්වැද්දීම ආණ්ඩුවේ ම වැඩපිළි​ෙවළක් නිසා බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමට ද එය හේතුවක් කර ගැනීමට ප්‍රදේශයේ ධනවත් මුස්ලිම් ප්‍රජාව පියවර ගත්තේය. 

 

ට්‍රැක්ටරයකින් කුඹුරු කරන අයුරු (2017) 

කුඹුරු වගා කිරීමෙන් පසු (2017)

වනාන්තරය කුඹුරු බවට පත්කර ඇති අයුරු

 


මේ ඉඩම් රජයේ ඉඩම් නොවන බවට පිළිගැනීමට ඉඩම් අල්ලාගත් මුස්ලිම් ජාතිකයෝ සූදානම් නොවූහ. එකී ඉඩම්වලට බලපත්‍ර කඩදාසි ඇති බව පවසමින් ඒවා ඉදිරිපත් කරන්නට වූහ. පොතුවිල් සහ තිරික්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඒ බලපත්‍ර නිකුත් කර තිබුණි. සැබැවින් ම ඒ බලපත්‍ර ව්‍යාජ ඒවා විය. 


“පුරන් කුඹුරු වගා කිරීමේ වැඩසටහනට” ආණ්ඩුවේම නිලධාරීන් අකුල් හෙළන බවට බලපත්‍ර ඇතැයි පැවසූ පුද්ගලයන් පසුපස ඔවුන් මෙහෙයවන මුස්ලිම් දේශපාලනඥයෝ ඊට අවසර නොදුන් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කරන්නට වූහ. 


එහි ප්‍රතිඵලය වූයේ පොතුවිල් සහ තිරික්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස දෙකේ මේ ඉඩම් හිමියන් සංම්බන්‍ධයෙන් ජංගම සේවයක් පැවැත්වීමට තීරණය කිරීමයි. එවකට ඉඩම් අමාත්‍යව සිටි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, අමාත්‍යාංශ ලේකම් අසෝක පීරිස්, අතිරේක ලේකම් බොරලැස්ස අම්පාර මහ දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පොතුවිල්වලදී මේ සම්බන්‍ධයෙන් රැස්වීමක්ද පැවැත්විණි. 


පොතුවිල් සිට තිරික්කෝවිල් දක්වා දිවෙන විට හමුවන සාගම ප්‍රදේශයේ ඉඩම් අක්කර තුන් දහසකට වැඩි කොටසකට මෙලෙස අල්ලා ගැනීම සැලසුම විය. බලපත්‍ර ඇතැයි කී අයගෙන් බලපත්‍ර ඉදිරිපත් කරන ලද්දේ 68 දෙනෙක් පමණි. ඉන් 64ක් කූඨ සහ ව්‍යාජ ලෙස සැකසූ බලපත්‍ර විය. ඉතිරි හතර වෙනත් ප්‍රදේශයක ඉඩම් සම්බන්‍ධයෙන් නිකුත් කළ බලපත්‍ර විය. 


ජංගම සේවයේ තීරණය වූයේ බලපත්‍ර හිමියන් සතුව ඇති බලපත්‍රවල මුල් ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු තීරණයක් ගැනීම කරන බවය. එහෙත් පොතුවිල් සහ තිරික්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් එකී බලපත්‍රවල මුල් ලේඛන ඉදිරිපත් නොවුණි. ව්‍යාජ බලපත්‍ර බවට වනසංරක්‍ෂණ නිලධාරීන්ගේ නිගමනය නිවැරදි විය. 


රජයේ කැලෑ සම්බන්ධයෙන් 05/2001 චක්‍රලේඛය අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට රජයේ ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ඉවත් කර තිබියදී මෙසේ කටයුතු කිරීම බරපතළ වරදක් විය. 


දීඝවාපියේ පල්ලෙකාටුව වනාන්තරයේද ඉඩම් කොටස්වලට ප්‍රාදේශීය ලේකම්වරයෙකු තමන් විසින්ම පරිගණකයකින් බලපත්‍ර සැකසීමේ සිද්ධියක් මීට දස වසරකට පමණ පෙරදී වාර්තා විය. සිංහල ගම්වල කිසිවෙකුටත් ඉඩම් දී නොතිබූ අතර යුද හමුදාවේ සහයෝගයෙන් එකී ඉඩම් බේරාගැනීමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකිවිය. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයෙකුගේ වැඩ තහනම් වූ බවක් වාර්තා වූ අතර ඉන්පසු ඒ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට ලැබුණේ නැත. 


නැගෙනහිර පළාතේ පිහිටි වනාන්තර අන් සතු කරන්නට ප්‍රාදේශීය සිංහල දේශපාලනඥයෝද මුස්ලිම් අන්තවාදය ගැන දැන හෝ නොදැන උඩගෙඩි දුන්හ. නැගෙනහිර පළාත් සභාව ආණ්ඩුකාර පාලන සමයේ සුනාමියෙන් පසු පානම සිට ලාහුගලට කුඹුක්කන සංරක්‍ෂිතය හරහා පාරක් කපන්න නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හදිසියේ සියවර ගත්තේය. 


ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ ඉල්ලීමට එවකට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර මොහාන් විජේවික්‍රම මහතා ඊට මුදල් වෙන්කර දී තිබුණි. නමුත් නිසි සැලසුම් නොමැතිව පානම රදැල්ල හරහා මහ නාන්තරය අඩි සියයක් පළලට කපමින් ඉදිරියට යමින් ලාහුගල දක්වා යාම පාර කැපීමේ අරමුණ විය. 


ඒ පාර වැටී තිබුණේ ද වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂිත වනාන්තරයක් හරහාය. පාර කැපුණේ නම් වනාන්තරය දෙකට බෙදී අක්කර දසදහසකට වැඩි ඉඩම් ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමක් තිබුණි. යෝජිත මාර්ගයේ සැලසුම වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමසුමට ලක්විය. පාර කපාගෙන යද්දී හමුවන හැඩඔය හරහා පාලමක් ද සැලසුමට නොවීය. පානම ගමට මොණරාගල සිට පහසුවෙන් යාහැකි මගක් සැකසීම යෝජනාව ලෙස පාර කපන අය පෙන්නුම් කළෝය. 


රදැල්ල වැව් බැම්ම මතින් විකල්ප පාරක් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළේය. යෝජනාකරුවෝ එයට අකැමැති වූහ. සමහරවිට මේ ද ඉස්ලාම් අන්තවාදීන්ගේ අදිසි හස්තයන් මත ක්‍රියාත්මක වෙන්නට ගිය යෝජනාවක් දැයි සැක මතුවිය. අවසානයේ ආණ්ඩුකාරවරයා ඊට වෙන් කළ මුදල් ආපසු ගැනීමෙන් වනාන්තරය බේරා ගත හැකි විය. 
කෙසේ නමුත් 2009 පෙරවාරි 09 දින අංක 1589/9 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් සංරක්‍ෂික වනාන්තරයක් ලෙස නම් කළ කුඹුක්කන සංරක්‍ෂිතය ස්ථාපිත විය. එය ඒ කැලෑව රැක ගැනීමට ගත් ප්‍රබල උත්සාහයක් විය. 


නමුත් මේ වනාන්තරයට බැල්ම හෙළන වනපාළුවන් සමග විවිධ තරාතිරමේ ව්‍යාපාරිකයන්ගෙන් බේරා ගන්නට වනසංරක්‍ෂණ නිලධාරින්ට නිහඬ යුද්ධයක් කරන්නට විය. 
නැගෙනහිර පළාතේ වගා කටයුතු වැඩිපුර සිදුකෙරෙන්නේ ඊසාන දිග මෝසම් වැස්සත් සමගය. 2017දී ඊසානදිග මෝසම් වැසි සමය එළඹෙද්දී රදැල්ල වනාන්තරයට යළි කණකොකා හැඬුවේය. ඒවනවිට අම්පාර දිසා වන නිලධාරීවරයා ලෙස කටයුතු කළේ නිශාන්ත මුණසිංහ මහතාය. අතිරේක දිසා වන නිලධාරීවරයා වූයේ රොෂාන් ද අල්විස් මහතාය. ලාහුගල අඩවියට මේ ප්‍රදේශය අයත්වූ අතර ලාහුගල අඩවි වන නිලධාරීවරයා වූයේ කපිල ආරියරත්න මහතාය. 


රදැල්ල ප්‍රදේශයේ සංරක්‍ෂිත බිමේ අක්කර සියයක පමණ කොටසක් ඩෝසර සහ ට්‍රැක්ටර් යොදා වනාන්තරය විනාශ කරමින් කුඹුරු සකසන බවට වනසංරක්‍ෂණ නිලධාරීන්ට දැනගන්නට ලැබුණි. 2017 නොවැම්බර් මාසයේ දෙවන සතියේ මේ සිදුවීම සිදුවිය. 


මේ පිරිස සංරක්‍ෂිතය විනාශ කරද්දී 2017 ඔක්තෝබර 26 දින අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර නොවැම්බර් 09දා පොතුවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 
ඔවුන්ගේ නීතිඥවරු පැවසුවේ සැකකරුවන් ආණ්ඩුවේ ඉඩම් වගාව සඳහා එළි පෙහෙළි නොකළ බවයි. කලක් ඔවුන් වැඩකළ ඉඩම් ඊසානදිග වැසි සමය එද්දී සුපුරුදු පරිදි වගා කළ බව කීහ. බලපත්‍ර ඇති බවක් නොකියවුණ අතර ව්‍යාජ බලපත්‍ර සිද්ධීන් මේ අල්ලා ගැනීම්වල පසුපස තිබේද යන්න සැකයක් විය. 


කෙසේ වෙතත් සැකකරුවන් රජයේ ගැසට් පත්‍රයකින් සංරක්‍ෂණය කර තිබූ වනාන්තරයක් වගාවන් සඳහා එළි කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් ඒවා රකින්නට කටයුතු කළ වනසංරක්‍ෂණ නිලධාරීන්ට අධිකරණයේ උදහසට ලක්වන්නට විය. නියෝගය වූයේ වගා කටයුතු කරන්න සැකකරුවන්ට අවසර දීමය. වනසංරක්‍ෂණ නිලධාරින්ට එහි යාමට සහ සැකකරුවන්ට බාධා කිරීමට තහංචි පැනවිණ. 


එහි ප්‍රතිඵලය වූයේ ඊට දින කිහිපයකට පසු පිය-පුතු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර ප්‍රතිෂ්ථාපනය ව්‍යාපෘතිය යටතේ කුඹුකන රක්‍ෂිතයේ රදැල්ල කොටසේ මී, කුඹුක්කන්, කෝන් ආදී දේශීය මිශ්‍ර පැළ වගාකර තිබූ හෙක්ටයර් පහක (අක්කර දොළහ හමාරක) පමණ වපසරියෙන් යුතු වගාව එක් රැයකින් ඩෝසර් කර ට්‍රැක්ටර් දමා කුඹුරු බවට සකසා වී වැපිරීමයි. අත්අඩංගුවට පත් සැකකරුවෝ පොතුවිල් සහ අක්කරපත්තු පදිංචිකරුවන් වූහ. ඔවුන්ට ද වගා කිරීමට අධිකරණයේ අවසරය ලැබිණි. ඔවුන් එකී සංරක්‍ෂිත පැළ වගාවට රුපියල් ලක්‍ෂ දහයක අලාභයක් කර ඇති බවට අනුමාන කෙරුණි. ඒත් සැකකරුවන් තිදෙනාට ද ඇප නියම විය. 
කුඹුක්කන සංරක්‍ෂිතයට ඇතුළු වී ස්වභාවික පුනර්ජනනය මගින් වනාන්තර ප්‍රතිෂ්ථාපනය කිරීම යටතේ නඩත්තු කරනු ලබන වනාන්තර කොටසක් විනාශ කර කුඹුරු සකසා වී වැපිරීම යටතේ මෙම තිදෙනාට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිණි. 


මෙකී බිම් තුළද පුරාවිද්‍යා නටඹුන් රැසක් පවතී. 2014 ඔක්තෝබර් 10 දින නිකුත් කළ අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුවේ ඇති ස්ථාන ද පිහිටා ඇත. ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක පීපී 04 නැගෙනහිර පානම ග්‍රාම නිලධාරී වසමේ සංරක්‍ෂිතයේ පිහිටි “රදැල්ල” කුඹුර මැද පිහිටි පර්වතය පූර්ව ඓතිහාසික සාක්ෂි සහිත ස්ථානයක් බවට ගැසට්කර ඇත. ඊට අමතරව එම වසමේ එකී රක්‍ෂිතයේම පිහිටි රදැල්ල වැව එහි පෞරාණික සොරොව්ව ද පුරාවිද්‍යා ස්මාරකයක් බවට නම්කර තිබේ. මේ අල්ලාගැනීම් පසුපස ඇත්තේ නව ජනාවාස ඉදිකර මේ පුරාවිද්‍යා සාධක විනාශ කිරීම විය හැකි බවට බොහෝ දෙනා සැකකරති. 


මේ අතර වසර ගණන් තිස්සේ බලපත්‍ර ඇතිව ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීයන්ගොඩ ප්‍රදේශයේ සිංහල ජන කොටස් වගාකළ ඉඩම් පවරාගත්ත ද ඊට යාබදව පිහිටි පානම නැගෙනහිර ග්‍රාමසේවා වසමට අයත් රදැල්ල සංරක්‍ෂිතයේ ඉඩම් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් පොතුවිල් ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයන්ට වගා කිරීමට අවසර දී ඇතැයි පානම ගම්වාසීහු චෝදනා කරන්නට වූහ. 


පොතුවිල් සිට පානම දක්වා දිවෙන බී374 මාර්ගයේ කිලෝමීටර් 13ක් ගියවිට හමුවන රදැල්ල හන්දියෙන් දකුණට ඇති පාරේ කිලෝ මීටර් පහ හමාරක් පමණ ගියවිට රදැල්ල සංරක්‍ෂිතයේ බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම් අක්කර 100ක පමණ කොටස් සහ අක්කර දොළහමරාක පැළ වගාව හමුවෙයි. 

 


‘අපිට 1984 දී මීයන්ගොඩින් අක්කර භාගයක් ගොඩිනුයි, අක්කර දෙකක් මඩිනුයි දුන්නා. ඒ බලපත්‍ර ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 88-89 කලබල කාලේ ගිනි තැබීමත් එක්ක විනාශ වුණා. සමහර අය ළඟ බලපත්‍ර කඩදාසිය තිබුණත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් පිටපත් නැහැ කියලා පිළිගත්තේ නෑ. ඒ හින්දා අපි වැඩ කළ හේන් සහ කුඹුරු රදැල්ල සංරක්‍ෂිතයට කියලා මායිම් ගල් දාලා වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවරා ගත්තා.” 


“එහෙම තියැද්දී රදැල්ල වැවට ආසන්නව රදැල්ල සංරක්‍ෂිතයේ ම අක්කර සීයක් විතර මුස්ලිම් මිනිස්සු කුඹුරු කරනවා. ඒ පොතුවිල්වලින් ආ පිරිස්. ඒ අයට වනසංරක්‍ෂණයෙන් කරදරයක් නෑ. සිංහල අපිට උරුම අපේ ඉඩම් වගා කළොත් අපිට නඩු දානවා.” යැයි කලක් තිස්සේ රදැල්ල සහ මීයන්ගොඩ හේන් කුඹුරු කළ පානම වැසියෝ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කළහ. 


මේ අතර මේ වනඅපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයට ගැන එවක මහේස්ත්‍රාත් ආඥාපනත උල්ලංඝනය වන ලෙස සිවිල් වැසියන් දාහත් දෙනෙකුට රදැල්ල සංරක්‍ෂිතයට ඇතුලුවී කුඹුරු වගා කිරීමට අවසර දීම සම්බන්‍ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අගවිනිසුරුවරයාට සහ අධිකරණ සේවා කොමිසමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කරනු ලැබීය. 


කෙසේ නමුත් ඇප මත සිටින සැකකරුවන් ඊසාන දිග මෝසම් වැස්සෙන් 2018 මාස් කන්නයද ඒ වනාන්තරයේ කුඹුරු වගා කළේ අධිකරණයේ වූ අවසරය මතය. 

 


අජිත්ලාල් ශාන්තඋදය