අධිවේගී මාර්ගයේදී පෙරභවය සිහිවූ දරුවෙක්


පෙරභවයේ ප්‍රබල සාක්කි

 

එළවළු ගොවිපොළක් පවත්වාගෙන ගිය යුවළකගේ දරුවන් තිදෙනාගෙන් පවුලේ බාල දරුවා නම් කර තිබුණේ ‘නෙතකි’ යනුවෙනි. ඔවුන් පදිංචිව සිටියේ අධිවේගී මාර්ගයකට නුදුරුවය. මෙම දරුවා අන් දරුවන්ට වඩා සුවිශේෂි බවක් දක්වන්නට විය. එනම් අන් දරුවන් මෙන් බහ තේරීම බොහෝ පමාවීමය. ඔහුට යන්තම් වචන කීපයක් කතා කිරීමට හැකිවූයේ වයස අවුරුදු දෙකක් පසුවීමෙන්ය.   


අවුරුදු දෙකහමාරක් වන විට ඔහුට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබිණි. ඔහුගේ වැඩිමහල් සොහොයුරෝ දෙදෙනාම තම මල්ලීට මහත් ආදරයක් දැක්වූහ. කතා කිරීමේ ප්‍රමාදය නිසා එම දරුවන් නිවසින් පිටතට ගෙන යෑමද සීමා වී තිබිණි. එහෙත් වයස අවුරුදු තුනක් පමණ වීමෙන් පසු දිනක් ඔහුව අධිවේගී මාර්ගය පෙන්වීමට සොහොයුරෙකුට සිතුණි. මල්ලීව රැගෙන අධිවේගී මාර්ගය දෙසට සොහොයුරා ගමන් කළේය.   


ඒ වන විට ඔවුන් පදිංචි වී සිටියේ අධිවේගී මාර්ගයේ හරස් පාරක කෙටි තාප්පයක් අසලින් ගමන් ගන්නා මාර්ගයකට සමීපවය. තම මල්ලීට අධිවේගී මාර්ගයේ ධාවනය වන රථ හොඳින් දර්ශනය වීම සඳහා සොහොයුරා ඔහු කැටුව අධිවේගී මාර්ගයට පිටතින් කෙටි තාප්පය ඇති ස්ථානයට ළඟාවීය. සුළු වේලාවක් එදෙස බලා සිටි දරුවා මහ හඬින් හඬන්නට විය. මල්ලී දැඩි ලෙස බියපත් වී ඇති බැව් සොහොයුරාට දක්නට ලැබිණි. එම බියපත් වීම ගැන ඔහු මල්ලීගෙන් විමසුවේය.   


“ඇයි මල්ලි බයවෙලා අඬන්නේ” යැයි ඔහු කුඩා දරුවාගෙන් ප්‍රශ්න කළේය. ක්ෂණයෙන් එයට පිළිතුරු දුන් ඔහු “මාව ඇක්සිඩන්ට් වුණේ එතනදි තමයි. එදා අපේ කාර් එක තාප්පෙ උඩට ගියා” යයි කීය.   


මල්ලීව නිවසට කැඳවාගෙන ගිය සොහොයුරා මල්ලී කළ ප්‍රකාශය දෙමාපියන්ට හෙළි කළේය. දරුවාගේ ප්‍රකාශය දෙමාපියන්ටද ගැටලුවක් විය. තවත් දින කීපයක් ගත විය. අධිවේගී මාර්ගය සිහිපත් කළ දරුවා නිතර නිතර සිය අනතුර ගැන පවසන්නට විය. අධිවේගී මාර්ගයේ රථය ගමන් කරන විටදී එහි තවත් මිතුරන් තිදෙනෙක් සිටි බවත් එම අනතුරෙන් ඔවුන්ටද තුවාල සිදු වූ බවත් ඔහු මතකයෙන් හෙළි කළේය. තම සොහොයුරා හෙළි කරන තොරතුරු නිතර විමසීමට වැඩිමහල් සොහොයුරා උනන්දු විය.   


“අධිවේගී මාර්ගයේදී ඔයාට මොකද වුණේ?” යැයි නැවත දිනෙක තම මල්ලීගෙන් සොහොයුරා විමසීමක් කළේය.   


“එදා අපි උත්සවයකට ගියා. එහිදී අපි බීලයි හිටියේ. මම හිටියෙ ඉස්සරහ සීට් එකේ. එක පාරටම ඉස්සරහින් ආපු ට්‍රක් රථයක ලයිට් අපේ මූණට වැ​ටුණා. අපිට මොකවත් පේන්නෙ නැතිව ගියා. පාර අයිනෙ තාප්ප​ෙය් වැදිලා අපේ කාර් එක තාප්පෙට උඩින් වීසි වුණා” යැයිද එම දරුවා හෙළි කළේය.   


මේ අයුරින් අධිවේගී අනතුර නිතර නිතර ඔහු අනාවරණය කරන විටදී මවට මතකයට නැඟුණේ වසර කීපයකට උඩදී අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකි. එම අනතුර සිදුව තිබුණේ 1963 පෙබරවාරි මාසයේදී තුර්කියේ අධිවේගී මාර්ගයකදීය. එහෙත් එම අනතුරෙන් කිසිවෙකු මියගිය බවක් මව නොදැන සිටියාය.   


පෙරභවය හෙළි කළ දරුවාගේ උපත සිදුවූයේ 1963 අප්‍රේල් මාසයේ දීය. තම පුත්‍රයා හෙළි කරන තොරතුරු එම අනතුර හා සම්බන්ධතාවක් ඇතැයි දෙමාපියෝ නොසිතූහ. මේ අයුරින් එම දරුවා අනාවරණය කරනු ලබන තොරතුරු නිවස අවට මෙන්ම ප්‍රදේශවාසීන් අතරද පැතිර ගියේය. එහෙත් ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට දෙමාපියෝ උනන්දු ​නොවූහ.   


තම බිරිය සහ දරුවන් පෙරභව නිවසේ සිටින බවත් ඔවුන් බැලීමට යාමට අවශ්‍ය බවත් මෙම දරුවා ඉල්ලා සිටියේය. පදිංචිව සිටි පුරුෂයා සහ දූ දරුවන්ගේ නම් කීපයක්ද ඔහු මතකයෙන් හෙළි කළේය. ඒ අතර පෙරභවයේදී ඔහු හැඳින්වූ නමද මෙම දරුවා අනාවරණය කළේය.  තම පුත්‍රයා නියත වශයෙන්ම පෙරභවයක තොරතුරු හෙළි කරන බැව් දෙමාපියන්ට අවබෝධ විණ. එහෙත් අනතුර සිදුවීමෙන් මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න සෙවීමට ඔවුහු උත්සාහ නොගත්හ. තවත් මාස කීපයක් ගතවිය.

   
පෙරභවයේ නිවසට රැගෙන යන ලෙස දරුවා දෙමාපියන්ට නිතර කියා සිටියේය. ඔහුගේ ප්‍රධානතම ඉල්ලීම වූයේ බිරිය සහ දරුවන් දැකීමට අවශ්‍ය බවය.   

 

අධිවේගී මාර්ගයකදී සිදුවූ රිය අනතුරක් අනාවරණය කළ පුනර්භව සාධකයක් ප්‍රථමවරට හෙළි වූයේ තුර්කියේදී උපත ලැබූ දරුවෙකු මගිනි. සිය සොහොයුරා සමග අධිවේගී මාර්ගය නැරඹීමට ගිය අවස්ථාවේ ඔහුට පෙරභවය සිහි විය. පෙරභවයේදී ඔවුන් ගමන් කළ මෝටර් රථය අධිවේගී මාර්ගයේ කෙටි තාප්පයක වැදී අනතුර සිදුවී තිබිණි. අනතුරට හේතුව ලෙස හෙළි වූයේ විරැද්ධ දිසා​වේ මන්තීරුවේ පැමිණි රථයක ප්‍රබල ආලෝක ධාරාවක් ඔවුන් ගමන් කළ රථයට එල්ල වීම නිසා රියැදුරුට මාර්ගය නොපෙනී යාම බවය.   

 


පෙරභවයේදී ඔහු සේවය කළේ පෙට්‍රල් පිරවුම් හලක බවත් එහි සිටි මිතුරන් දැකීමට යා යුතු බවත් නිතර ඔහු පැවසීය. අධිවේගී මාර්ගය දකින මොහොතක් පාසා ඔහු ගිය පෙරභව තොරතුරු හෙළි කිරීමද විශේෂත්වයක් වී තිබිණි.   


එදා මෝටර් රථ අනතුර සිදුවූ අවස්ථාවේ ඔහුගේ පාදයක තිබූ සපත්තුව ගැලවී ගිය අයුරුද එම දරුවා එදා ප්‍රකාශ කළේ.   


‘කාර් එක තාප්පෙ වැදිල වීසිවෙන කොට ම​ගේ කකුලෙ තිබුණු සපත්තුවක් ගැලවිලා ගියා” යනුවෙන් වීම පුදුම උපදවන සුලු විය.   


එම දරුවා හෙළි කළ තොරතුරු පර්​ෙ‌ය්ෂකයන් විසින් ලිඛිතව සටහන් කර ඇත්තේ මෙසේය.   


අධිවේගී මාර්ගයේ මෝටර් රථයකින් ගමන් කිරීම   
මිතුරන් තිදෙනෙක් එම රථයේ සිටීම   
ඔහු ඉදිරි අසුනේ සිටීම   
මිතුරන් පසු පස අසුන්වල සිටීම   
ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයක ආලෝකය වැටීම   
ඔවුන්ගේ රථය අධිවේගී මාර්ගයේ කෙටි තාප්පයේ වැදීම   
ඔහුගේ පාදයේ තිබූ සපත්තුවක් ගිලිහී යාම   
ඔවුන් උත්සවයට සහභාගි වී ආපසු එමින් සිටීම  
ඔවුන් බීමත්ව සිටීම   
පුතුන් දෙදෙනෙකු සිටි බැව් කීම   
එක දුවක් සිටි බැව් හෙළි කිරීම.   
බිරියගේ නම හෙළි කිරීම   
පියාගේ නම හෙළි කිරීම   
ඔවුන්ට ගොවි පොළක් තිබූ බැව් හෙළි කිරීම   
අනතුර සිදු වූ ස්ථානය හෙළි කිරීම   
ඔහු සේවය කළ ස්ථානය අනාවරණය කිරීම   


මෙම තොරතුරු වලට අමතරව තවත් ඥාතීන් කීප දෙනෙකුගේ ද නම් හෙළිකිරීමට එම දරුවාට හැකියාව තිබිණි.   


මේ අයුරින් එම දරුවාගේ පෙරභව ජීවිත තොරතුරු ප්‍රචලිත වීමෙන් පසුව අධිවේගී මාර්ගයේ දී අනතුරකින් සැමියා මිය ගිය බිරියකටද මේ බැව් ශ්‍රවණය විය. එම දරුවා හෙළි කරනු ලබන්නේ තම සැමියා පිළිබඳව ද යන්න විමර්ශනය කිරීමට ඇයට අවශ්‍ය විය. ඒ අනුව තවත් ඥාතීන් තිදෙනෙක් සමග ඔවුහු දරුවාගේ නිවසට ගියහ.   


ඔවුන් නිවසට යන විට නිවසේ සිටි දරුවා ඔවුන් දුටු විගස බිරිය සහ ඥාතීන් තිදෙනාම හඳුනා ගනු ලැබුවේ ඔවුන්ගේ නම් පවා ප්‍රකාශ කරමිනි. අනතුරුව එදා අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරද පැහැදිලිව ඔහු හෙළි කළේය.   


මෙම හඳුනා ගැනීම සිදුවීමෙන් පසු පුනර්භව පර්​ෙ‌ය්ෂකයෝ මෙම පුනර්භව සාධකය පිලිබඳව විමර්ශන ආරම්භ කළහ. පෙර භවයේ තැනැත්තා මරණයට පත්වී ඇත්තේ 1963 පෙබරවාරි මාසයේදීය. එම විමර්ශනයේදී අනතුර සිදුවූ මෝටර් රථයේ සිටි මිතුරන් හමුවීමට ද ඔවුන්ට අවස්ථාව ලැබිණි. එදා මෝටර් රථය පදවාගෙන ගිය රියැදුරටද අනතුර සිදුවූ අයුරු ඉතා හොඳින් මතක තිබිණි. ඔවුන් අධිවේගී මාර්ගයේ රථය පදවාගෙන යන විටදී ආසන්න මන්තීරුවේ ධාවනය වූ ට්‍රක් රථයක පහන් දැල්වීම නිසා එහි ආලෝක ධාරාව රියදුරුගේ දෑසට වැටුණි. ඒ අවස්ථාවේ ඔහුගේ දෙනෙත් නොපෙනී යාම නිසා රථය අධිවේගී මාර්ගයේ කෙටි තාප්පයේ වැදුන බවත් රථයේ සිටි අයගෙන් එක් අයෙක් පමණක් මියගිය බවත් ඔහු පැවසීය.   


දරුවා ප්‍රකාශ කළ පරිදි එක් පාදයක තිබූ සපත්තුවක් ගැලවී ගොස් තිබූ බැව්ද ඔවුන්ට දක්නට ලැබුණ බැව්ද ඒ පිළිබඳව කළ විමසීමේදී හෙළි විය.   


රථයේ ගමන් කළ මිතුරන්ගෙන් අනාවරණය වූ අන්දමට එදින ඔවුන් උත්සවයකට සහභාගි වෙමින් සිට මත්පැන් පානය කිරීමෙන් පසු රථයෙන් පැමිණි බැව් හෙළි විය. මෙම පුනර්භව සාධකයේදී දරුවා හෙළි කළ කරුණු තිහකින් විසි හයක්ම ප්‍රබල සාක්කි ලෙස සනාථ වීමද විශේෂත්වයක් විය.   


එම දරුවා ප්‍රකාශ කළ පරිදි පෙරභවයේ අනතුර සිදුවූ ආකාරය මහාචාර්ය ස්ටීවන්ගේගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවකට ඇතුළත් කර අැත්තේ මෙසේය.   


"THE MINIBUS THEN SPUN AROUND AND FINALLY STOPPED ON THE EMBANKMENT JUST BELOW THE WALL IT HAD STRUCK HE WAS SITTING BESIDE THE DRIVER AND WAS KILLED INSTANTLY WITH HIS BODY SMASHED AGAINST THE FRAME OF THE AUTOMOBILE AND ONE SHED TOSSED OFF BY THE IMPACT.   


එම අනතුරෙන් රථයේ ගමන් කළ මිතුරරෝ තුවාල ලබා රෝහල් ගත කළ අතර පසුව සුවය ලැබූහ. ඔවුන් පැවසූ පරිදි අනතුර සිදුවන අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි ට්‍රක්රථයක් රථයේ පහන්වල ආලෝකය අඩු නොකිරීම නිසා අනතුර සිදුවූ බැව් හෙළි විය. ඒ බැව් සඳහන් වාර්තාවද මෙසේය.   


"A TRUCK CAME FROM THE OPPOSITE DIRECTION AND ITS UNDIMMED HEADLIGHTS PARTIALLY BLINDED" රියදුරුට මාර්ගය නොපෙනී යාම අනතුරුට හේතු විය.  

 

 


තිස්ස ජයවර්ධන