අධිවේගී මාර්ගයට උඩින් වැටුණු මළ සිරුරක්


 මළවුන්ගේ අනාවරණ   

 

 

ඒ ස්විට්සර්ලන්තයේ හිම වැටෙන කාලයයි. වෙනදා මෙන් සවස් වන විට හිමපතනය ඇරැඹිණි. හිම වැටුණු පරිසරය සුදෝ සුදුය. ගස්කොළන් මත පවා හිමපතනය වී සුන්දර දසුන් මවනු ලැබිණ. ඒ සුන්දර දසුන් අතර කවුරුත් භීතියට පත් කළ දසුනක්ද විය. ජීනිවා නගරයට මඳක් ඔබ්බෙන් දිවගිය අධිවේගී මාර්ගයක වැටුණ පුද්ගල මළ සිරුරකි. උදෑසනම එය දුටු පුද්ගලයකු ජීනීවා පොලිසියට දැනුම් දුන්නේය. පුද්ගලයෙකු වැටී සිටින බව දැන්වූවත් ඔහු මියගොස් ඇතැයි නොකී නිසා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක්ද පොලිසිය මෙහි කැඳවනු ලැබ තිබිණ. 
  
 අධිවේගී මාර්ගයේ අයිනක සිරුර වැටී තිබිණ. පොලිස් නිලධාරිහු සීරුවෙන් සිරුර පරීක්ෂා කළහ. හිස ආසන්නයේ ලේ ස්වල්පයක් තිබුණද ඒවා සීතලට මිදී ඇත. වැටී සිටි පුද්ගලයාගේ සිරුර සම්පූර්ණයෙන්ම සීතලව තිබූ අතර නාඩි වැටුණේද නැත. ඒ අනුව මෙම පුද්ගලයා මියගොස් ඇති බවට වෛද්‍යවරු තීරණය කළහ. ඇතැම්විට මෙය රිය අනතුරක් විය හැකිය. අධිවේගී මාර්ගයක වුවද රිය අනතුරක් සිදුවූ විට දැනුම් දිය යුතුව ඇත. එවැනි දැනුම්දීමක් පොලිසියට ලැබී නැත.   


එසේම මේ පුද්ගලයා සිටින්නේ අධිවේගී මාර්ගයක වන අතර අධිවේගී මාර්ගයකට පිවිසිය හැක්කේ වාහනයක් පදවාගෙන එන පුද්ගලයෙකුට පමණි. එහි පයින් ගමන් කළ නොහැකිය. එය තහනම්ය. එහෙත් මේ පුද්ගලයා වැටී සිටි ස්ථානයේ හෝ ඒ ආසන්නයේ කිසිම තැනක හෝ අයිතිකරුවකු නැති කිසිදු වාහනයක් දක්නට ලැබුණේ නැත.   


එසේ නම් ඔහුට කුමක් සිදුවීද? එය නිශ්චය කිරීමට නම් පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතු බව පොලිසියට වැටහුණ අතර ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ මහේස්ත්‍රාත්වරයාද එම නියෝගය නිකුත් කළේය. එසේම පොලිසියට තවත් කරුණක් විසඳා ගැනීමට ඉතිරිව තිබිණ. එනම් මේ පුද්ගලයා කවුද? ඔහුගේ අනන්‍යතාව හෙළි කරගැනීමද කල්පනාවෙන් ලෙහා ගත යුතු ප්‍රශ්නයක් විය.   


අධිකරණ නියෝගය අනුව මෘත ශරිරය ජීනීවා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව වෙත ගෙන එනු ලැබිණ. මෘත ශරීරයේ බාහිරව තුවාල රැසක් දක්නට ලැබිණ. ඉන් ප්‍රධාන වූයේ වම් පසට සිදුවූ තුවාලය. හිසේ සම මෙන්ම ඊට යටින් පිහිටි හිස්කබලද ඇතුළට නෙරා ගොස් තිබූ අතර ඒ හේතුවෙන් මොළයට බරපතළ තුවාල සිදුවී තිබිණ. එය මාරාන්තික තුවාලයකි. සිරුර කපා පරීක්ෂා කිරීමේදී වම් පස ඉළ ඇට හයක්ද, වම් කකුලේ කලවා අස්ථි හෙවත් ඌර්ව අස්ථියද බිඳී තිබිණ. එහෙත් ඒවා මාරාන්තික නොවේ. මරණයට හේතුව හිස් කබලට හා මොළයට සිදුවූ බරපතළ තුවාල බව වෛද්‍යවරු තීරණය කළහ. එහෙත් මේ තුවාල සිදුවූයේ කෙසේද යන්නත් විසඳිය යුතුව තිබේ.   


හිසේ තිබූ මාරාන්තික තුවාලය කිහිප ආකාරයකින් සිදුවිය හැකිය. මොට ආයුධයකින් යමෙක් පහරක් එල්ල කළ විටදීද මේ ආකාරයට හිස් කබල බිඳී ඇතුළට නෙරා යා හැකිය. රිය අනතුරකට භාජනය වූ විටදී රථයේ යම්කිසි කොටසක ගැටීමෙන් හෝ බිම වැටීමේදී උලක් හෝ වෙනත් දැඩි නෙරා ගිය යමක ගැටීමෙන් හෝ මෙවැනි තුවාලයක් ඇතිවිය හැකිය.   


මියගිය පුද්ගලයාගේ තුවාල ඇති වූයේ ඉන් කුමන ක්‍රමයට විය හැකිද? යන ප්‍රශ්නය තවමත් පොලිසිය සතුය. ඔහු වාහනයක පැමිණ නැත්නම් එක්කෝ අධිවේගී මාර්ගයට පයින් ඇවිද ආ යුතුය. එසේ පැමිණියේ කොතනකින්ද? කෙසේද? එසේ නැත්නම් කිසිවෙක් ඔහු මේ ස්ථානයට ගෙනවිත් දැමිය යුතුය. එසේ කළේ නම් ඒ පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුවය. ඔහු සිටි ස්ථානයට එනම් අධිවේගී මාර්ගයට ඉහළින් දිවෙන මාර්ගයේ පාලම පිහිටා ඇත. එක්කෝ කිසිවෙක් මේ පාලමේ සිට මොහු අධිවේගී මාර්ගයට විසි කළ යුතුය. එහෙත් එය විසඳන්නේ කෙසේද?   


මියගිය පුද්ගලයාගේ සිරුර පුරා පිහිටි සීරුම් තුවාලද, වම් කකුලේ කලවා අස්ථිය බිඳී යාමද සිදුව ඇති ආකාරය අනුව එය පහරදීමකට අදාළ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත. පහරදීමකදී සිදුවන්නේ මෙවැනි තුවාල හෝ අස්ථි බිඳීමක් නොවේ. මෙම තුවාල සමපාත වන්නේ වැටීමකදී සිදුවන තුවාලවලටය. කලවා අස්ථි බිඳී ගොස් ඇති ආකාරයද වැටීමකදී ඇතිවන බිඳීයාමකට සමානය. එසේම මේ තුවාල හා අස්ථි බිඳීම්වල යම් ලාක්ෂණික රටාවක් තිබේ. ඒ මේ සියල්ල පිහිටා තිබෙන්නේ ශරීරයේ වම්පස පිහිටා තිබීමය. ඒ අනුව මෙය රිය අනතුරකින් සිදුවූ තුවාල බවට බොහෝ දුරට සිතිය හැකිය.   


එහෙත් තවමත් මුල් ප්‍රශ්න කීපයක්ම විසඳී නැත. එනම මේ පුද්ගලයා අධිවේගී මාර්ගයට පයින් ආවාද නැත්නම් මාර්ගයට ඉහළින් ඇති පාලමේ සිට බිමට විසිකළාද? ශරීර ප්‍රමාණයේ හැටියට ඔහුව අල්ලා විසි කරන්න හෝ පාලමේ වැටට ඉහළින් තල්ලු කරන්න නම් තදින් බීමත්ව හෝ වෙනත් හේතුවක් නිසා සිහිමඳ ගතියකින් සිටිය යුතුය.   


ඒ ගැන සොයා බැලීමට ඔහුගේ රුධිර සාම්පල් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී මියගිය පුද්ගලයාගේ රුධිරයේ එතනෝල් මධ්‍යසාරය අධික ලෙස පවතින බව තහවුරු විය. එනම් රුධිරය මිලි ලීටර් සීයක එතනෝල් මිලි ග්‍රෑම් එකසිය පනහක් අඩංගු විය. ඒ අනුව මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඔහුව කිසිවෙකු විසින් පාලමේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනයකට තල්ලු කර දමා ඇත. නැතහොත් සිය දිවි නසා ගැනීමේ අරමුණෙන් බීමත්ව පාලමට උඩින් අධිවේගී මාර්ගයට පැන තිබේ. එසේත් නැත්නම් අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ කිසියම් දුර්වල තැනකින් බීමතින් සිටි ඔහු ඇතුළු වී තිබේ.   


ඒ අනුව නැවත ඔහු වැටී සිටි ස්ථානය හා එම ස්ථානයට ඉහළින් වූ පාලම පරීක්ෂාවට ලක් කිරීමට තීරණය විය. ජිනීවා කාලගුණ වාර්තා අනුව එදින රාත්‍රියේ හිමපතනයක් ඇතිවිය හැකි නිසා යම් සාක්ෂි විශේෂයෙන් පා සටහන් වැනි දේ මැකි යා හැකි නිසා එදින රාත්‍රියේම මනා විදුලි ආලෝකයක් සපයාගෙන එම ස්ථානයන් පරීක්ෂාවට ලක් කිරීමට අධිකරණ වෛද්‍ය කණ්ඩායමත්, පොලිසියත් තීරණය කළහ.   

 

මියගිය පුද්ගලයාගේ සිරුර පුරා පිහිටි සීරුම් තුවාලද, වම් කකුලේ කලවා අස්ථිය බිඳී යාමද සිදුව ඇති ආකාරය අනුව එය පහරදීමකට අදාළ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත. පහරදීමකදී සිදුවන්නේ මෙවැනි තුවාල හෝ අස්ථි බිඳීමක් නොවේ. මෙම තුවාල සමපාත වන්නේ වැටීමකදී සිදුවන තුවාලවලටය. කලවා අස්ථි බිඳී ගොස් ඇති ආකාරයද වැටීමකදී ඇතිවන බිඳීයාමකට සමානය. එසේම මේ තුවාල හා අස්ථි බිඳීම්වල යම් ලාක්ෂණික රටාවක් තිබේ. ඒ මේ සියල්ල ශරීරයේ වම්පස පිහිටා තිබීමය. ඒ අනුව මෙය රිය අනතුරකින් සිදුවූ තුවාල බවට බොහෝ දුරට සිතිය හැකිය.   


එහෙත් තවමත් මුල් ප්‍රශ්න කීපයක්ම විසඳී නැත. එනම මේ පුද්ගලයා අධිවේගී මාර්ගයට පයින් ආවාද නැත්නම් මාර්ගයට ඉහළින් ඇති පාලමේ සිට බිමට විසිකළාද? ශරීර ප්‍රමාණයේ හැටියට ඔහුව අල්ලා විසි කරන්න හෝ පාලමේ වැටට ඉහළින් තල්ලු කරන්න නම් තදින් බීමත්ව හෝ වෙනත් හේතුවක් නිසා සිහිමඳ ගතියකින් සිටිය යුතුය. ඒ ගැන සොයා බැලීමට ඔහුගේ රුධිර සාම්පල් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී මියගිය පුද්ගලයාගේ රුධිරයේ එතනෝල් මධ්‍යසාරය අධික ලෙස පවතින බව තහවුරු විය. එනම් රුධිරය මිලි ලීටර් සීයක එතනෝල් මිලි ග්‍රෑම් එකසිය පනහක් අඩංගු විය. ඒ අනුව මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඔහුව කිසිවෙකු විසින් පාලමේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනයකට තල්ලු කර දමා ඇත. නැතහොත් සිය දිවි නසා ගැනීමේ අරමුණෙන් බීමත්ව පාලමට උඩින් අධිවේගී මාර්ගයට පැන තිබේ. එසේත් නැත්නම් අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ කිසියම් දුර්වල තැනකින් බීමතින් සිටි ඔහු ඇතුළු වී තිබේ. 

 


පෙර දින හිමපතනය නිසා යම් පමණකට සාක්ෂි වැසී ගොස් තිබුණද අධිවේගී මාර්ගයට ඉහළින් පාලම සහිත මාර්ගයේ පදික වේදිකාව මත මියගිය පුද්ගලයා පැළඳ සිටි පාවහන්වල වූ සලකුණුවලට සමාන සලකුණු සහිත පියවර සටහන් පෙළක් දක්නට ලැබිණ. මේ අනුව මරණකරු අධිවේගී මාර්ගයට ඉහළින් වූ පාලමේ වූ පදික වේදිකාව ඔස්සේ ඇවිද ගිය බව පැහැදිලි විය. එසේම පාලමේ පැති බැම්ම මත තැනින් තැන වූ පා පිය සටහන් අනුව ඔහු මාර්ගයේ ගමන් ගන්නා අතරතුරත් පාලමේ පැති බැම්ම මත නැගීමට උත්සාහ කර ඇති බව පෙනී ගියේය. ඒ අනුව ඔහු පාලමට නැග අධිවේගී මාර්ගයට පැනීමට උත්සාහ කළ බව පැහැදිලි කර ගත හැකිය.   
එහෙත් ඔහුගේ උත්සාහය අසාර්ථක වී ඇති බව පැහැදිලි විය. ඒ ඔහු පැති බැම්මෙන් නැවත මාර්ගය වෙතට පැන්න පා සටහන්ද ඒ සමඟම තිබූ බැවිනි. ඉන්පසු එම උත්සාහය අතහැරි ඔහු පාර දිගේ පහළට ගමන් කර ඇති බවටද ඔහු පා සටහන්වලට සමාන සටහන්වලින් පෙන්නුම් කෙරිණ. එම මාර්ගය දිගටම ඔහුගේ පා සටහන් මිස එම අවස්ථාවේ සටහන් වූ වෙනත් කිසිදු පා සටහනක් නොවිණ. ඒ නිසා ඔහු ගමන් කර තිබෙන්නේ තනිවම බව පැහැදිලිය. එහෙත් ඔහු ගැටුණේ කුමක්ද? අනතුරක් සිදුවූ විට එය දැනුම් දිය යුතුව තිබුණත් මේ පුද්ගලයා අනතුරට ලක් කළ වාහනය ඒ බව දැනුම් දී නැත.   


ඔහුගේ පා සටහන් අධිවේගී මාර්ගය දෙසට ගමන් කර තිබිණ. ඔහු අධිවේගී මගේ ආරක්ෂක වැටට උඩින් පැන ඇති බව එහි වූ හිම සහිත පා සටහන්වලින් මනාව පෙන්නුම් කෙරිණ. ඒ අනුව ඔහු සිය දිවි නසා ගැනීමේ අරමුණක සිටි බව පැහැදිලි විය. මරණකරු වැටී තිබුණේ අධිවේගී මාර්ගයට පිවිසි තැනට ඉතාම ආසන්නයේය. ඔහු වැටී සිටි ස්ථානයේ ලේ පැල්ලම් කීපයක් විය. උඩුකයට ඇඳ සිටි ජැකට්ටුව විසිවී තිබී පොලිසිය මීට පෙර සොයාගෙන තිබිණ.   


එසේම කැඩී බිඳී ගිය රතු පැහැති ප්ලාස්ටික් කැබලි නැතහොත් යමකින් ගැලවුන තීන්ත පතුරු වැනි යමක් එම ස්ථානයේ පොලිසිය සොයාගෙන තිබේ. ජැකැට්ටුවේද රතු පැහැති යමක් තැවරී තිබිණ. වම් අතේ බාහුවේද යම් තරමකට එම රතු පැහැය දැකිය හැකි විය. ඒ අනුව ඔහු ගැටී තිබෙන්නේ රතු පැහැති වාහනයක බව පරීක්ෂණ කණ්ඩායම නිගමනය කළහ. එසේම ඔහු වාහනයේ දකුණු පස පැති බඳේ ගැටී විසිවී මරණයට පත්ව ඇති බවද නිගමනය කරනු ලැබිණ. 

 
දැන් මේ වාහනය සොයන්නේ කෙසේද? පොලිසිය පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ දකුණු පස පැති බඳ අනතුරට ලක්වූ රතු පැහැති වාහනයක් පිළිබඳව දන්නේනම් පොලිසියට දැනුම් දෙන ලෙසය. මරණකරුගේ අනන්‍යතාව හෙළිකර ගැනීමටද පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ඔහුගේ කලිසම් සාක්කුවේ වූ මධ්‍යසාර මිලදී ගත් බිල එයට ප්‍රයෝජනවත් විය. ඒ බිල ගෙවා තිබුණේ ක්‍රෙඩිට් කාඩ්පතකින් වීම නිසාය. කාඩ්පතේ අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකළ අතර එහි සඳහන් ලිපිනයට පොලිසිය ගියේය.   


එහිදී හෙළිදරව් වූයේ ක්‍රෙඩිට් කාඩ්පත මියගිය පුද්ගලයාගේ නොව වෙනත් පුද්ගලයකුගේ බවය. පොලිසිය ගොස් තිබුණේ එම පුද්ගලයාගේ නිවසටය. නිවසේ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය. ඒ තොරතුරුවලට අනුව මරණකරු මානසික ආබාධයකින් පෙළුණ අයෙකි. එසේම ඔහු අවස්ථා ගණනාවකදී සිය දිවි නසා ගැනීමට තැත්කර ඇත. ඒ වෙනුවෙන් ද ඔහු ප්‍රතිකාර ලබා ඇත. සාක්ෂිකරු ප්‍රකාශ කර සිටියේ පෙරදින තමන් මරණකරු වන ස්ටීවන් හමුවූ බවය. ඔහුගේ මානසික ආබාධය වෙනුවෙන් පැවැති වැඩසටහනකට සහභාගිවීමට ස්ටීවන්ගේ තනියට තමන්ද ගිය බව සාක්ෂිකරු පැවැසීය.   


 එදින ආපසු එන අතරතුර තමන්ට දැන් හොඳටම සනීප බවත් ඒ සතුට සැමරීමට මත් පැන් ටිකක් බොන්න අවශ්‍ය බවත් ස්ටීවන් සාක්ෂිකරුට පවසා තිබිණ. එහෙත් ස්ටීවන් සතුව මුදල් නොතිබූ නිසා සාක්ෂිකරු තමන් සතු ක්‍රෙඩිට් කාඩ්පත ඔහුට ලබාදී කැමැති මත්පැන් වර්ගයක් ගෙන එන ලෙස දන්වා ඇත. පසුව ඔහු සමඟ ජිනීවාහි වින්සන්ට් උද්‍යානයට ගොස් දෙදෙනාම මත්පැන් පානය කර ඇත. ස්ටීවන් ගෙදර යන්නට පිටත්ව ඇති අතර සාක්ෂිකරුද එතනින් සමුගෙන ආපසු සිය නිවස කරා ගොස් තිබේ.   


සාක්ෂිකරුගෙන් ලද තොරතුරු අනුව මරණකරු වන ස්ටීවන්ගේ නිවසට ගිය පොලිසියට එහි තිබී ලිපියක් හමුවිය. එහි සඳහන් වූයේ තමන් සිය දිවි නසා ගන්නා බවත් එයට කිසිවෙකු වග නොකිව යුතු බවත්ය. ඒ අනුව ඔහු මානසික රෝගයෙන් තව දුරටත් පෙළී ඇති බවත් මෙම මරණය සිය දිවි නසා ගැනීමක් බවත් තහවුරු විය. 

 
මේ අතර අනතුරට ලක් වාහනයේ රියැදුරුද වාහනය සමග පොලිසියට පැමිණියේය. එය ට්‍රක් රථයකි. ඔහුගෙන් ලබාගත් ප්‍රකාශය අනුව මරණකරු වාහනයේ ගැටුණ බව ඔහු දන්නේ නැත. එහෙත් නිවසට ගිය පසු එහි පැති කණ්නාඩියට හානි වී තිබූ නිසා යමක ගැටී ඇති බව තේරුම් ගත්තේය. නමුත් එය මෙවැනි දෙයක් බවට ඔහුටද අදහසක් තිබුණේ නැත. එය ට්‍රක් රථයක් වන බැවිනුත් රියැදුරු සිටින්නේ වම් පසින් වන අතර මරණකරු ගැටී තිබුණේ දකුණු පසින් වන බැවින්ද මෙය රියැදුරුට දැනුණේ නැති බව තේරුම් ගැනීම පොලිසියට අපහසුවක් නැත. වාහනයේ පැති කණ්ණාඩියේ තිබූ හිසකෙස් සම්බන්ධයෙන් කළ ඩී එන් ඒ පරීක්ෂණයෙන් ඒවා මරණකරුගේ බවට තහවුරු විය. එසේම අනතුර වූ ස්ථානයේ තිබී හමුවූ රතු පැහැති ප්ලාස්ටික් කැබලි වැනි ද්‍රව්‍යයන් මෙම වාහනයෙන් ගැලවුණ තීන්ත බවද කරන ලද පරීක්ෂණවලින් තහවුරු විය.   


ඒ අනුව මරණකරු වන ස්ටීවන් විල්හෙල්ම් සියදිවි නසා ගැනීමේ අරමුණෙන් වාහනයකට පැනීම නිසා හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මරණයට පත්ව ඇති බව පරීක්ෂණ කණ්ඩායම අධිකරණයට වාර්තාකර සිටියේ සියලු දත්ත වාර්තා ද සමගය.  


විසඳීමට නොහැකිව තිබූ අභිරහසක් එලෙස විසඳා ගැනීමට මූලික ඉඩකඩ විවර කර දුන්නේ හිම මත සටහන් වූ පා සටහන්ය.   

 

 

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න)   

 


අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සටහන් කළේ   


මුදිතා දයානන්ද