අද්භූත වස්තුවක් හිරු අසල ගැවසෙයි


 

මිහි මත ජීවය රැඳී පවතින්නේ සූර්යයාගේ බල​ෙයනි. සූර්යයා එසේත් නැති නම් හිරු නොමැති නම්, පෘථිවියේ ජීවය පහළවීමක් සිදුවන්නේ ද නැත. හිරු අපට ආලෝකය, උණුසුම සහ ජීවය දෙද්දී, පිටසක්වළයන් හිරු පාලනය කරනවා යැයි රුසියානු විද්‍යාඥයෝ පිරිසක් පෙන්වා දෙති. ඒ, අපූරු වීඩියෝ දසුන් පෙළක් ද ප‍්‍රසිද්ධියට පත් කරමිනි. 

එම වීඩියෝ දසුන්වල ඇත්තේ හිරු අසල ගැවසෙන කිසියම් අද්භූත වස්තුවකි. එය පිටසක්වළ යානයක් යැයි රුසියානුවෝ කියති. ඊට හේතුව මිනිසා විසින් නිර්මාණය කළ කිසිදු අභ්‍යවකාශ යානයකට අධික තාපයකින් යුත් හිරු අසලට සමීප විය නොහැකිවීමය. 


වීඩියෝ දසුන්වලින් පෙනෙන කොළ පැහැයෙන් යුත් ‘අබිරහස් වස්තුව’ ඇතුළත් වීඩියෝ දසුන් පෙළ අන්තර්ජාලයට එක්කරනු ලැබ ඇත්තේ රුසියාවේ සූර්ය නිරීක්ෂණාගාරයේ විද්‍යාඥයන් විසිනි. වීඩියෝ දසුන් පටිගත කර තිබෙන්නේ ඔවුන්ගේ අතිප‍්‍රබල දුරේක්ෂය හරහාය. 


එය අහම්බෙන් සිදුවුණු දෙයක්. නමුත්, මීට වසර 6 කට හෝ 7 කට පෙරද තමන්ට මේ අයුරින්ම අබිරහස් වස්තු හිරු අසල ගැවසෙනු දකින්න ලැබී ඇතැයිද විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති. මෙම අබිරහස් වස්තු බුද්ධිමත් පිටසක්වළ ජීවීන් විසින් හිරු ගවේෂණයට එවූ රොබෝ යානා විය හැකි යැයි ද සැක කෙරේ. මේ ගැන හරිහැටි පැහැදිලි කිරීමක් ලබා දීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ද අපොහොසත් වී සිටින බව පැවැසෙයි. 
ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් ද මේ වන විට හිරු ගවේෂණය සඳහා ‘සූර්යය නිරීක්ෂණාගාරයක්’ සූර්යයා දෙසට යැවීමට කටයුතු යොද‌ා ඇත. රොබෝ ගවේෂණ යානයක් වන මෙම සූර්යය නිරීක්ෂණාගාරය උඩුගුවනට රැගෙන ගොස් හිරු දෙසට යැවුණේ ඇට්ලස් 5 රොකට්ටුවේ ආධාරයෙනි. මෙම නිරීක්ෂණාගාරය නම් කර තිබෙන්නේ ‘නාසා සූර්යය ගතික නිරීක්ෂණාගාරය’ යනුවෙනුයි. මේ නීරීක්ෂණාගාරය පස් අවුරුදු කාලයක් තිස්සේ අපේ හිරු ගැන පරීක්ෂණ පවත්වයි. 


නාසා සූර්යය ගතික නිරීක්ෂණාගාරය ටොන් 3.2ක් බර ගවේෂණ යානයකි. නාසා විද්‍යාඥයන් පවසන්නේ තමන්ට මෙම අද්භූත යානය ගැන කිසිදු තොරතුරක් තම සූර්යය ගතික නිරීක්ෂණාගාරය හරහා නොලැබුණු බවය. සූර්යය ගවේෂණ නිරීක්ෂණාගාරය ඇතුළත් චන්ද්‍රිකාව දුරේක්ෂවලින් ද සමන්විතය. එම දුරේක්ෂවල අරමුණ සූර්ය ලප හා සූර්ය ජාලා ගැන විමසා බැලීමය. ඊට අමතරව, අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව ද අධ්‍යයනය කිරීම සිදුවෙයි. 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි