අද මාතලේ වූ එදා මාතුල රට


ගමක නම හැදුණ හැටි

 

ගමකට නමක් පටබැඳෙන්නේ එහි භූගෝලීය පිහිටීම හෝ එවකට ජන කොට්ඨාසවල විවිධ චරිත අතර ඇතිවූ සිදුවීම් මුල්කරගෙය. මෙවැනි ජනප්‍රවාදවල ඉතිහාසමය වටිනාකමක් ඇති අතර තවත් සමහරක් පරම්පරාවෙන් පරම්පරාවට ජනවහරේ පැවත එන කතන්දර වේ. ඒ අනුව පෙර යුගවල ඇති වූ සංස්කෘතික විපර්යාසයන් හා ජනජීවිතය පිළිබඳ මනා අවබෝධයක් මෙම රසවත් ජනශ්‍රැතිවලින් අපට ලබාගත හැකි වේ.  


වර්තමාන පාලන ප්‍රදේශ අනුව මධ්‍යම පළාතේ උතුරු කොටසෙහි පිහිටි මාතලේ දිස්ත්‍රික්කය දුරාතියේ ප්‍රසිද්ධව පැවැතියේ ජනපදයෙක් වශයෙනි. වර්තමාන මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය වූ කලී වර්ග කි.මි. 1993.3 ක් තුළ පැතිර පවත්නා මනරම් භූමි භාගයකි. සමශීතෝෂ්ණ කාලගුණික පැවතුමක් බෙහෙවින් දැකිය හැකි මෙම ප්‍රදේශය කඳුවැටි, නිම්න, ගංගා ඇළදොළ සහ දෙණිවලින් ද මනහර කෙත්වතු, වනරාජීන්ගෙන්ද සහ දුර්ලභ ගණයේ වන සිවුපාවුන්ගෙන්ද සියොතුන්ගෙන් ද අතිශයින්ම ශෝභමානය.  


ඒ අනුව මාතලේ නමින් අද හැඳින්වෙන ප්‍රදේශය එකල මහාතල, මාතුල, මාතුල රට, මහතලේ සහ මහතලය යන නම්වලින්ද ව්‍යවහාරයට පත් වූ බව ප්‍රකටය. ඓතිහාසික සාධක පිළිබඳව සලකා බැලීමෙන් සහ ශ්‍රී ලංකා ද්වීපයේ කඩයිම් පොත, ත්‍රී සිංහලයේ කඩයිම් පොත, ලක්වීදියේ කඩයිම් පොත වැනි කඩයිම් පොත් විමර්ශනය කිරීමෙන් නිගමනය කළ හැකි වන්නේ මහාතල, මාතුළ, මාතුරට, මහතලේ සහ මහතලය යනුවෙන් ව්‍යවහාර වී ඇත්තේ වර්තමාන මාතලේ ප්‍රදේශය බවය.  


විජය රජු​ගෙන් පසු පඬුවස් දෙව් රජු කාලයෙහි ලක්දිවට පැමිණි ශාක්‍යවංශික බෞද්ධයන් නිසා ජාතියේ සිරිත් විරිත් වඩවඩාත් උසස් වූ අතර රෝහණ රාමගෝණ හා ගිරිඛණ්‍ඩ ආදී නව ජනපද කිහිපයක් ද බිහි විය. ගිරිඛණ්ඩ ජනපදයේ පාලකයා වූයේ පඬුවස් දෙව් රජුගේ පුතුන් දසදෙනා අතරින් එක් පුතෙකු වූ ශිව කුමාරයාය. එහෙයින් එතුමා ගිරිඛණ්ඩ ශිව නමින් ප්‍රසිද්ධ විය. පඬුවස්දෙව් රජුගෙන් පසු ඔහුගේ වැඩිමහල් පුතණුවන් වූ අභය කුමරු සිංහාසනාරූඪ වූ නමුත් වැඩිකලක් ලංකා රාජ්‍යය පාලනය කළ නොහැකි විය. ඊට හේතුව තම ඥාති බෑනණුවන් වූ පණ්ඩුකාභය කුමාරයාට පක්ෂව ක්‍රියා කරන්නේය යන චෝදනාව තම සහෝදර කුමාරවරුන් විසින් එල්ල කිරීමය. එම චෝදනාව පිට අභය කුමරු බලයෙන් පහ කර දැමූ අවශේෂ කුමාරවරු රාජ්‍ය විචාරණය ද සියතට ගත්හ.  


ඒ අතර ගිරිඛණ්ඩ ශිව නම් මාමණ්ඩියගේ දියණිය වූ ස්වර්ණපාලි සරණපාවා ගත් පණ්‍ඩුකාභය කුමාරයා අභය සහ ගිරිඛණ්ඩශිව යන මාමාවරුන් හැර සෙසු මාමාවරුන් අට දෙනා මරා ලක්දිව එක්සේසත් කොට අනුරාධපුර රාජධානිය ආරම්භ කළේය. දක්ෂ කාර්යශූර රජෙකු වූ එතුමා මෙරට තුළ ගම්සභා නගර සභා පාලන ක්‍රමය ආරම්භ කොට අනුරාධපුර පාලනය අභය කුමරුට පවරා ගිරිඛණ්ඩශිව කුමරුට එතෙක් ඔහුගේ පාලනය යටතේ පැවැති ගිරිඛණ්ඩ ජනපදය පවරා දුන්නේය. එසේ මා තුල ට හෙවත් මාමාට පවරා දෙන ලද ජනපදය මාතුල ජනපදය නම් විය.  


දඹුලු සෙල්ලිපියක සඳහන් මාටුකගාමබුජිකෙ යන වචන වලින් කියැවෙන්නේ (මාතුල ග්‍රාමභොජක) මාතලේ ගම් දෙටුවා යන අදහස බැව් අනුමාන කළ හැකි අතර ඒ අනුව මාතුල ගේ (මාමාගේ) ජනපදය, මාතලේ ජනපදය වූ බවට සැකයක් නොමැත.  


ක්‍රි.පූ. 1 වැනි සියවස තරම් කාලයේ දී මාතලේ කඳුකරයේ උතුරු හා බටහිර පෙදෙස්වල මිනිසුන් වාසය කළ බවට ස්ථීර සාධක ලැබේ. කඩයිම් පොත්වලට අනුව මෙසේ ජනාවාස පිහිටුවීමට හේතු වූයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ජල පහසුව පැවතීමය. කෙසේ වුවද මාතලේ දේශ සීමාව පිළිබඳ අවබෝධයක් පැරණි ජනපදිකයන්ට තිබෙන්නට ඇති බව නිගමනය කළ හැකිය. 1 වැනි ගජබා රජු සොළී රටෙන් ගෙන ආ දොළොස් දහසක් පමණ වූ සිරකාර පිරිසෙන් විශාලතම කණ්ඩායම මාතලේ නතර කළ බවත් මහා පිරිස හෙවත් මහතල මාතලේ යන්න පසුකාලීනව භාවිත වන්නට ඇතැයි පිළිගැනීම උචිත බව පැරැන්නන්ගේ මතය වී ඇත.  


මාතලේ ඉතිහාසයේ කීර්තිමත් කාල පරිච්ඡේදය වන්නේ ක්‍රි.පු. 89-77 දක්වා වූ වළගම්බා රජු සමයයි. මාතුල ජනපදාධිපතියෙකුගේ සහායෙන් අළුලෙන දී සිදු වූ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමේ සිදුවීම් ලේඛන කලාව අතින් පැවැති දියුණුතම වැදගත්කම සාධකයක් වන අතර එම කාර්ය සිදු වූයේ මෙම වකවානුවේදීය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ බව සෑම මූලාශ්‍රයකම පාහේ දක්වා ඇත්තේ මාතුල දනව්වේ ආලෝක ලෙන/අළුලෙන වශයෙනි. මෙය පදනම් කොටගෙන මාතලේ අලුවිහාරේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ නොකළ බවට තර්ක ගොඩ නගන ඇතැම්හු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද්දේ අළුලෙනක බැවින් මාතලේ ඇත්තේ අළුලෙනත් නාම අළුවිහාරයක් බව සඳහන් කරති. එහෙත් මා තුළ දනව්ව මාතලේ ලෙස තහවුරු වූයෙන් අළුලෙන අළුවිහාරය බව පැහැදිලිය.  


මනරම් උස් කඳුවැටි පෙළකින් මැදිවූ මහාතලාවක් නිසා මහා තලය ව්‍යවහාරයේදී මාතලේ වූ බවද කියැවෙන අතර මෙම මතය අද වුවත් පිළිගත හැකි කරුණකි.  


දහතුන් වැනි ශතවර්ෂයේ සිටම ප්‍රාදේශීය පාලන ඒකකයක් ලෙස මාතලේ ප්‍රචලිතව තිබුණ බව පෙන්වීම සාධාරණය. ඒ අනුව ශ්‍රී ලංකා ද්වීපයේ කඩඉම් පොතේ කවි පෙළින් මහතලේ යනුවෙන් දැක්වෙන වර්තමාන මාතලේ ගම් නියම් ගම් රාජධානිවලින් සමලංකෘත වූ ප්‍රදේශයක් බවය.  


ඉඳුරට ගංගාව මාවැලි ගලා යන  
උතුරට බුලාගල ළඟ කඩයිම ඔන්න  
බටහිර කඳුවැටිය මහ කඩඉම ඔන්න  
දකුණට බළකඩුව මහතලේ මායිම ඔන්න  
මුලාශ්‍ර-ඓතිහාසික මාතලේ කෘතිය  

 


සටහන තිළිණි ගුණසේකර   
මහනුවර.