අද අපේ නිදහස් දිනය ද‌ා පෘථිවියට ග‍්‍රහක තර්ජනයක්


 

ශ්‍රී ලාංකික අපි අද (පෙබරවාරි 4 වැනිද‌ා) අභිමානයෙන් 70 වැනි නිදහස සමරන්නෙමු. සමස්තයක් වශයෙන් ගත් කල අපි සැවොම පෘථිවිවාසීහු වෙමු. පරතෙරක් නැති මේ මහා විශ්වයේ අප පෘථිවිය එක් පුංචි ග‍්‍රහලොවක් පමණි. අප දන්නා තරමට, විශ්වයේ ජීවය ඇති එකම ග‍්‍රහලොව ද පෘථිවියයි. වැටමායිම්වලට, දේශසීමාවලට ඇනකොටාගන්නා අපි පොදුවේ පෘථිවි වැසියන් වෙමු. පරිසර විනාශය දිනෙන් දින ඉහවහා යද්දී අනාගතයේ අපට ඇනකොටා ගැනීමට සිදුවනු ඇත්තේ ජලය සහ වාතය වෙනුවෙනි. මේ සියල්ල අතරේ පෘථිවියට අනතුරක් සිදුවුවහොත් සියල්ල හමාරය. 

ශ්‍රී ලාංකික අප අද නිදහස සමරද්දී, යෝධ ග‍්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය. මෙම ග‍්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත්, එය පෘථිවියේ හැපෙනු ඇත. එසේ වුවහොත් සිදුවන්නේ මහා විනාශයකි. ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ‘බර්ජ් කලීෆා’ කුලුනය. ගැවී නොගැවී අද පෘථිවිය සහ සඳ අතරින් ගමන් කරනවා යැයි පැවැසෙන්නේ ‘බර්ජ් කලීෆා’ කුලුන තරම් විශාල ඇස්ටරොයිඩයකි. එසේත් නැතිනම් ග‍්‍රහකයකි. තාරකා විද්‍යාඥයන් මෙම ග‍්‍රහකය නම් කර ඇත්තේ ‘2009 ඒ.ජේ. 129’ යනුවෙනි. 


ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් මෙම ග‍්‍රහකය හඳුනාගෙන ඇත්තේ 2009 වසරේදීය. එහෙයින්, ඔවුහු එහි ගමන්මග කෙසේ සිදුවන්නේ දැයි නිවැරදිව දනිති. ඒ අනුව සිදු කළ ගණනය කිරීම්වලින් තහවුරු වී ඇත්තේ ‘2009 ඒ.ජේ. 129’ පෘථිවියේ ගැටීමක් සිදු නොවන බවය. ග‍්‍රහකය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවද නාසා විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති. 


‘2009 ඒ.ජේ. 129’ ග‍්‍රහකය පෘථිවිය අසලින් ඇදී යනු ඇත්තේ පැයට කිලෝ මීටර් 10,7826ක වේගයකිනි. එය ඇමෙරිකාවේ නිෂ්පාදිත, ලොව වේගවත්ම ගුවන් යානය ලෙස සැලකෙන හයිපර්සොනික් එක්ස් 15 ගුවන් යානයේ වේගය මෙන් 15 ගුණයකි. හයිපර්සොනික් එක්ස් 15 ගුවන් යානයට යා හැක්කේ පැයට කිලෝ මීටර් 7,300ක වේගයකිනි. 

 


‘2009 ඒ.ජේ. 129’ ග‍්‍රහකය කිලෝ මීටර් 1.1ක් පළලින් යුක්තය. ඩුබායි හි ඇති බර්ජ් කලීෆා කුලුනේ උස කිලෝ මීටර් 0.83 කි. මීටර්වලින් නම් 830 කි. අද ග‍්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් 4,208,641ක දුරකින් ගමන් කිරීමට නියමිත බව නාසා විද්‍යාඥයන් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ. පෘථිවිය සහ සඳ අතර දුර කිලෝ මීටර් 3,84,400කි. කිලෝ මීටර් 7,403,00 කින් පෘථිවියට ළංවන සියලුම ග‍්‍රහක ‘අනතුරුද‌ායක ග‍්‍රහක’ යනුවෙන් ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් නම් කර තිබේ. 


යම් හෙයකින් ග‍්‍රහකයේ ගමන් මඟ වෙනස් වී එය පෘථිවියේ ගැටුණොත්, එම ඝට්ටනය පෘථිවියේ අප සතුව ඇති සියලුම න්‍යෂ්ටික අවි එක විට පුපුරා යෑමක් හා සමාන වෙයි. එවැනි පිපිරීමකින් පෘථිවියේ සියලු ජීවය අසුරු සැණින් දූවිලි වෙයි. විකිරණ පිරි දූවිලි වලාවලින් වායුගෝලය වැසී යයි. පිපිරුමෙන් බේරී දිවි ගලවා ගැනීමට යම් කිසිවකු සමත් වුවහොත්, විකිරිණ නිසා ඔවුන්ට ද මැරෙන්න සිදුවෙයි. පිපිරුමෙන් පසු පෘථිවියේ යළි අයිස් යුගයක් නිර්මාණය වෙයි. ඒ අනුව දැඩි සීතල නිසා ද දිවි බේරා ගන්නා අයට මැරෙන්න සිදුවෙයි. පෘථිවිය වසා ගන්නා විකිරණ පිරි අඳුරු දූලි වලා හේතුවෙන් වසර දහස් ගණනක් පෘථිවිය අඳුරේ පවතිනු ඇත. හිරු එළිය නොලැබී යනු ඇත. 

 

 

 

 

 


ලුසිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි