අත්ලේ පැහැයෙන් හා හැඩයෙන් හෙළි​ෙවන ජීවන තොරතුරු


සමුද්‍ර සෘෂිවරයා විසින් ලොවට හඳුන්වා දුන් සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා විද්‍යාව භාරත දේශයෙන් ආරම්භවී මේ වන විට ලොව පුරාම පිළිගැනීමට ලක්ව ඇත. අත්ලක් පරික්ෂා කිරීමේදී පුරුෂයෙකුගේ දකුණු අතත් ස්ත්‍රියකගේ නම් වම් අතත් පරික්ෂා කළ යුතු බව බොහෝදෙනෙකුගේ මතයයි. හස්ත සංජීවනී නම් භාරතීය ග්‍රන්ථයේද මේ මතයම සඳහන් වෙයි. කෙසේ වුවද බොහෝදෙනෙකුගේ අදහස වන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වම හා දකුණු අත දෙකම පරික්ෂා කිරීම වැදගත් බවයි.   


අතක් පරික්ෂා කිරීමේදී පළමුවෙන්ම අපේ දෙනෙත යොමුවන්නේ අත්ලටයි. අත්ලේ හැඩරුව, වර්ණය හා විශේෂ සලකුණු අනුව අත් හිමියාගේ පලාඵල පැරණි සාමුද්‍රික විද්‍යා පොත්වල පැහැදිලිව දක්වා ඇත. එම ග්‍රන්ථවල සඳහන් පරිදි දියුණු මනසකට හා සංවේදී ජීවන චරිතයකට හිමිකම් කියන පුරුෂයන්ට හතරැස් හැඩයකින් යුත් අත්ලක් පිහිටයි. ඔවුන් සිතන්නේත් කතා කරන්නේත් තර්කානුකූලවයි. නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට බොහෝවිට මෙවැනි පිහිටීම් තිබිය හැක.   


පැහැපත් සමකින් හා මෘදු මාංශ පේෂීන්ගෙන් සැදුම්ලත් අත් හිමියා කලාකාමී අදහස් ඇත්තෙකි. විසිතුරු දේ අගය කිරීම ඔවුන්ගේ ජීවන චරිතයේ ලක්ෂණයක් වෙයි.   


කෝණාකාර හැඩයක් ගන්නා අත්ලෙන් බුද්ධිමත් අයෙකු හඳුනාගත හැක. බුද්ධිහීන පුද්ගලයාගේ සම ගොරෝසු බවක් පෙන්වයි. රේඛා දෙක තුනක් පමණක් පිහිටීමත්, ශීර්ෂ රේඛාව 1 කෙටි වීමක්ද එවැනි අත්ලක දැකිය හැකිවේ. සියුම් වැඩට දක්ෂ අයගේ අත්ල කුඩාය. මසින් පිරි වියළි ගතියෙන් යුත් අත්ල හිමියා වාසනාවන්තය. දැඩි ආත්ම ශක්තියකින් යුතුව ඕනෑම බරපතළ කාර්යයකට වුවත් අත ගසන එවැනි අය එය නිම කිරීමෙන් ඉමහත් තෘප්තියක් ලබයි. දක්ෂ පාලකයන්ටද බොහෝවිට එවැනි අත්ල තල පිහිටයි. හැමවිටම දහඩිය දමන සුලු අත්ල ඇති අයද අප අතර සිටිති. රක්තපාතය, ස්නායු දුර්වලත්වය වැනි අසනීප එවැනි අයට තිබිය හැක.   
රෝස පාට අත්ල වඩාත් සුබඵල දෙන පිහිටීමකි. අත්ල කළු පාට හෝ දුඹුරු පැහැ ගැන්වීම අසුබය. දුක්බර ජීවිතයක් එමගින් පෙන්නුම් කරයි. මොලොක් ගතියෙන් යුත් මදක් රතු පැහැති පැහැදිලි අත්ලක් පිහිටන්නේ සුපින්වත් ලතාවන්ටය. ළඳ බොළඳ සිතිවිලි හා ආචාරශීලී හැසිරීම් විලාශයක් ඇති ඇය සැබැවින්ම කාරුණිකය.   


පැරණි දේහ ලක්ෂණ විද්‍යා පොත්වල සඳහන් පරිදි රතු පැහැති හෝ තඹ පැහැති දුඹුරු රේඛා ස්ත්‍රීන්ගේ අත්වල තිබීමද ඉතාමත් සුබය. ජීවිතයේ උපරිම වින්දනය, තෘප්තිය විඳ ගැනීමේ වාසනාව හිමි එවැනි අය යහපත් චරිත ඇත්තියෝද වෙති. අත්ල තද කහ පාටින් යුක්ත වූයේ නම් හෙතෙම පිත්තාධික ශරීරයක් ඇත්තාවූද එමෙන්ම කාමුක අශෝභන සිතිවිලිවලින් යුක්තවූ අයෙක්ද වෙයි.   


අන්‍යයන්ගේ දියුණුව නුරුස්සන මොවුන් දියුණුවීමට කොතෙක් උත්සාහ කළත් පළක් නොවේ.   


අන් අයගෙන් ඈත්වී හුදෙකලාව ප්‍රිය කරන කොටසක්ද අප සමාජයේ දැකිය හැක. හැමවිටම මොවුන් නිහඬ කල්පනා ලෝකවල සැරිසරන්නෝ වෙති. දැඩි අලසකම නිසාවෙන්ම ඔවුන් ධන හීනයන් වන්නට ඇති ඉඩකඩ වැඩිය. මෙවැනි ගති ලක්ෂණ ඇති අයගේ අත්ල සුදු පැහැයක් ගනී. වෙනත් අයුරකින් සඳහන් කිරීමේදී මෙම අත්ල සුදුමැළි ස්වභාවයකින් යුක්තය.   


අත්ල කළු පැහැයෙන් යුක්ත අයෙක් නම් හේ ආත්මාර්ථකාමී අයෙක් විය යුතුය. නිතර මුසා බස්වලින් කලදවස ගෙවන හෙතෙම තම හැකියාවන් සියල්ලම අයහපතට යොදවන්නෙක් වෙයි. අත්ල රක්ත වර්ණයෙන් යුක්තවී නම් වස්තු සම්පත් නොඅඩුව ලබන්නෙක් වන අතර අත්ල නිල්වන් පැහැයෙන් යුක්ත වූයේ නම් මත්ද්‍රව්‍ය නිසා ජීවිතය මෙන්ම තම වස්තුවද විනාශ කරගත්තෙකු වෙයි.   


මසින් පිරි සමතලා ලෙස පිහිටි අත්ල හිමි අය ත්‍යාගශීලීය. අත්ල තුනීවීමද සුභ නොවේ. එවන් අත්ලක් පිහිටීමෙන් දෙමාපියන්ගෙන් ලැබෙන උරුමයත් අහිමිවන අතර අල්ල නොගැඹුරු වටකුරුව ඇත්තේ නම් එම උරුමයන් හිමි අයෙකු වේ. පිලිවෙලකට නොමැති අත්ල හිමි අයගේ ජීවිතය අවාසනාවන්තය.   


දූපතක සලකුණක් අත්ලේ රේඛාවක් මත හෝ ග්‍රහ මණ්ඩලයක් මම සලකුණු වී ඇත්නම් එයද අසුබය. ජීවන රේඛාව මත මෙම දූපත් සලකුණු පෙන්නුම් කරයි නම් ශරීරයේ කොතැනක හෝ ඇතිවන ආබාධයක් පෙන්නුම් කරයි. මේ අයුරින් ශීර්ෂ රේඛාවේ 0 පිහිටියේ නම් ශීර්ෂා බාධයක් හෝ මානසික පීඩාද හෘදය රේඛාවේ 0 නම් හෘදය පෙනහලු ආශ්‍රිත ආබාධද ප්‍රකට කෙරේ. කෙසේ වුවද දූපත් සලකුණ අත්ලේ කොතැනක පිහිටියත් සුබදායක නොවේ. කොඩි සලකුණු, ත්‍රිශූල සලකුණු වඩාත්ම සුබදායක වේ.   


නෙළුමක පැහැයෙන් යුතු රත් පැහැති රේඛා සහ නොකැඩුණු නොකැපුණ රේඛා පිහිටීම ධනය හා වාසනාව පෙන්නුම් කරන්නෙකි. රේඛා කාල වර්ණවීම ප්‍රධාන රේඛා මැකී යෑම අවාසනාවන්තය. එමගින් හෙළිකරන්නේ දිළිඳු බවයි.   


ස්ත්‍රියකගේ අත්ලක මත්ස්‍ය (මාලුවා) සලකුණු මණ්ඩල මත වගේම රේඛා ආශ්‍රිතවත් පිහිටිය හැක. රේඛා බණ්ඩි ගැසීමෙන් බොහෝවිට මෙම ලකුණු පිහිටිය හැක. මත්ස්‍ය ලකුණු ඉතාමත් සුබපල දෙන ලකුණක් වේ. මෙය අනේක විධ භවබෝග සම්පත් ලැබීමට හේතුවන්නකි. කාන්තාවකගේ අතක මෙම ලකුණ පිහිටා තිබේ නම් ඇයට ලක්ෂ්මි යෝගය උදාවන බව ශාස්ත්‍රීය නියමයයි. වාසනාවන්ත පුරුෂයෙක් ලබන ඇය සුපින්වත් දූ පුතුන් ලබන ශ්‍රේෂ්ඨ මාතාවක් වන්නීය.   

 

 

 


හිඹුටානේ පියතිලක ද අල්විස්   
අංක 158 හිඹුටාන (රෝහල ඉදිරිපිට)   
මුල්ලේරියාව නව නගරය