අතක් නැතිවත් මුහුදු රළේ දස්කම් පාන සුරූපිනිය


 

හවායි දූපත් රාජ්‍යයේ, කොවායි ප්‍රාන්තයේ ලියුහේ නගරය, බෙත්නි හැමිල්ටන් නිජබිමය. ක්‍රිස්තියානි පවුලකට උපන් බෙත්නි, දරු තිදෙනකුගේ පවුලේ බාලයාය. හවායි වටකරගත් මහ සාගරය, සෙසු හවායි වැසියන්ගේ පමණක් නොව, බෙත්නිගේ ද ජීවිතයේ කොටසකි. පිහිනීමට පමණක් නොව, කුඩා කල සිට රළ පැදීම එසේත් නැති නම් රළ මත ලිස්සා යෑමට (සර්ෆින් ක්‍රීඩාව) ද බෙත්නි උපන් හපනියකි. ඇය සර්ෆ් ලෑල්ලේ (සර්ෆ් බෝඩ්) නැගී රළ මත ලිස්සා යමින් දස්කම් පෙන්වන්න වූයේ කුඩා කාලයේ පටන්ය.   


1998 වසරේ දී, ‘රෙන් සන් මෙනාහුනේ’ රළ පැදීමේ තරගයට ඉදිරිපත් වී ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී, බෙත්නිගේ වයස අවුරුදු 8කි. එය ඇගේ පළමු ජයග්‍රහණයයි. බෙත්නිට රළ පදින්න කියා දුන්නේ පියා ටොම්ය. වසර කිහිපයක් එකදිගට, බෙත්නි සර්ෆින් තරග ජයග්‍රහණ කළාය. “මගේ එකම සිහිනය, වෘත්තීය මට්ටමින් රළ පදින්නියක වීමයි. මගේ දස්කම් අගය කරමින් කවුරුන් හෝ මට අනුග්‍රහය ලබාදෙනවා නම් ඒක ලොකු සතුටක්.” පුංචි බෙත්නි වරක් මෙසේ කීවේ, බලාපොරොත්තු පොදි බැඳ ගනිමිනි.   


2003 ඔක්තෝබර් 31 වැනිදාය. 13 හැවිරිදි බෙත්නි, සුපුරුදු උදෑසන මුහුදට ගියේ ඇගේ හොඳම යෙහෙළිය එලානා බ්ලෙන්චාඩ් සහ එලානාගේ පවුලේ අය සමඟය. ඒ පැහැබර උදෑසන බෙත්නිගේ ජීවිතය සදහටම වෙනස් කළේය. ‘ටනල්ස් බීච්’ වෙරළට මීටර් කිහිපයක් දුරින් සර්ෆ් ක්‍රීඩාවේ යෙදී සිටිද්දී, බෙත්නිට කැස්බෑ රංචුවක් පිහිනන අයුරු දකින්නට ලැබුණි. බෙත්නි සිය සර්ෆ් ලෑල්ලේ වැතිරී වම් අත ජලයට දමා ගෙන සිටියාය. කැස්බෑවුන් පහළින්, ඇය අසලින් පිහිනා යන්නට විය. එය සැබැවින්ම හරි අපූරු දසුනක් විය. එලානා, ඇගේ පියා සිටියේ බෙත්නි සිටි තැනට මඳක් ඈතිනි. කැස්බෑවුන් රංචුව පසුපස නිහඬව පිහිනා ආ දඩයක්කරු ඔවුන් කිසිවකුටවත් පෙනුණේ නැත.   


එක් නිමේෂයකින්, තියුණු දත් පිරි, අයා ගත් මුවෙන් යුතුව, මෝරා ඉහළට ආවේ සර්ෆ් ලෑල්ලේ එක කොටසක් ද සමඟ බෙත්නිගේ වම් අත කඩා ගනිමිනි. උරහිසට මඳක් පහළින් බෙත්නිගේ වම් අත, මෝරා කඩා ගත්තේය. අත් කොටයෙන් ලේ විදින්න වූ අතර බෙත්නි සර්ෆ් ලෑල්ලේ දිගා වූවාය. ඒ, ‘මෝරෙක්’ යැයි කෑ ගසමිනි.   


ඇයට දැනුණේ ඇගේ අත හිරිවැටී ඇති බව පමණි. එලානාගේ පියා ඇතුළු පිරිස වහා බෙත්නි වෙරළට රැගෙන ඒමට කටයුතු කළ අතර, ලේ ගලන තුවාලය තද කර, බෙත්නි වහාම රෝහල වෙත රැගෙන යෑම සිදුවිය. බෙත්නි ඇතුළත් කෙරුණේ විල්කොක්ස් අනුස්මරණ රෝහලටය. ඒ වනවිට බෙත්නි සිටියේ සිහිසුන්වය. ඇගේ සිරුරෙන් සියයට 60කට වැඩි රුධිර වහනයක් සිදුවී තිබුණි. බෙත්නි සිටියේ ජීවිතයත් මරණයත් අතරය.   


දියණිය දක්ෂ රළ පදින්නියකු වීම ගැන බෙත්නිගේ පියා ටොම් සිටියේ ආඩම්බරයෙනි. ඒ දෛවෝපගත දිනයේ, ටොම් සිටියේ ද විල්කොක්ස් අනුස්මරණ රෝහලේය. ටොම් රෝහල්ගතව සිටියේ දණහිසේ සැත්කමකටය. ඒත් හදිසියේ, ශල්‍යාගාරයේ සිටි ටොම් වහා එතැනින් ඉවත් කෙරුණි. “හදිසි තත්ත්වයක්. මෝරකුගේ පහරදීමට ලක්වුණු දැරියක් ගේනවා. ඇයට ඉක්මනින් සැත්කමක් කරන්න වෙනවා” වෛද්‍යවරයා ටොම්ට පැහැදිලි කළේය. මෝරාගේ ප්‍රහාරයට ලක් වී රැගෙන ආවේ තම දියණිය බව දැනගත් විට, ටොම් පමණක් නොව බෙත්නිගේ මව ද මහත් සේ කම්පනයට පත්වූහ. පියා වෙනුවට සැත්කම් කාමරේට ගියේ දියණියයි.   


විල්කොක්ස් අනුස්මරණ රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය ඩේවිඩ් රොවින්ස්කි, රෝහලට පැමිණෙන්නේ හදිසි අවස්ථාවකදී පමණි. ඔහු රැඳී සිටින්නේ රෝහල අසල හෝටලයකය. උදෑසන අනපේක්ෂිත අයුරින් රෝහලෙන් ඇමතුමක් ලැබුණි. “දොස්තර මහත්මයා, අපට ඔබේ උදව් ඕනෑ.” ඒ අනුව, වෛද්‍ය ඩේවිඩ් රොවින්ස්කි ඇතුළු කණ්ඩායම බෙත්නිගේ දිවි බේරා ගැනීමට කාලය සමඟ සටන් කරන්නට විය.   


මේ අතර, 13 හැවිරිදි දැරියක, අඩි 14ක මෝරකුගේ පහරදීමට ලක්වුණැයි පුවත රූපවාහිනී නාළිකා ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය. මුහුදට යෑමෙන් වළකින්නැයි අනතුරු ඇඟවිණි. පිහිනුම්කරුවන්ට මෝරුන් පහරදීමේ සිදුවීම් ලොව නන්දෙසින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එසේ වුවත්, මෝරුන් සිතාමතා මිනිසුන්ට පහරදෙන්නේ නැත. බොහෝ පහරදීම් වැරැදි වැටහීම් නිසා සිදුවන ඒවාය.   


බෙත්නිට, මෝරා පහරදුන්නේ, ඇය කැස්බෑවකු ලෙස වරදවා වටහා ගනිමිනි. බෙත්නිට පහර දුන්නේ ව්‍යාඝ්‍ර මෝරෙකි. මෙම මෝරුන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ටයිගර් ෂාර්ක් නමිනි. මෙම මෝරුන්ගේ සිරුරේ ව්‍යාඝ්‍රයකුගේ මෙන් ඉරි පිහිටා තිබීම ඊට හේතුවය. මෝරා ගැන අනතුරු ඇඟවෙද්දී, මෝරා ගැන විමසිල්ලෙන් පසුවුණු ධීවරයන් පිරිසක් ඌ මරා දැමීමට කටයුතු කළේය. මෝරා අල්ලා මරා දැමීමට සමත් වූයේ රැල්ෆ් යංග් ඇතුළු පිරිසය. මෝරාගේ කටේ තිබී බෙත්නිගේ සර්ෆ් ලෑල්ලේ කොටස රැල්ෆ්ට හමුවිය. මෝරා අල්ලා මරා දැමූ බවත් ඌ ගැන බියක් ඇති කරගත යුතු නැති බවත් ජනතාවට දැනුම් දුන්නේ පොලිසියයි.   


සිදුකළ සැත්කම සාර්ථක වූ අතර, බෙත්නි තවත් සතියක් රෝහලේ සිටියාය. කොවායි ප්‍රාන්තයේ ලියුහේ නුවර වැසියන් පමණක් නොව, සෙසු හවායි දූපත්වල වැසියෝ ද ඇමෙරිකානුවෝ ද බෙත්නි ගැන විස්තර දැනගැනීමට උනන්දු වූහ. සුවය ලබා රෝහලේ සිටින බෙත්නි ඇය මුහුණ දුන් ඒ බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළාය.   
“මෝරා එනවා මා දැක්කේ නැහැ. මා සිටියේ කැස්බෑවෝ බලමින්. අත කඩා ගනිද්දී මට වේදනාවක් දැනුණේ නැහැ. අත හිරි වැටුණා වගේ දැනුණේ. රළ පදින ක්‍රීඩිකාවක ලෙස මට ඉදිරියට යන්න බැරිවේවි, මට අනුග්‍රාහකයකු නොලැබේවි, ආදී දේවල් තමා එවෙලේ මගේ සිහියට නැගුණේ” යැයි බෙත්නි පැවැසුවාය. මරණය අබියසට ගිය බෙත්නි සුවය ලැබුවාය. ඇයට විශාල මාධ්‍ය අවධානයක් හිමිවිය.   


තනි අතට හුරුවීම බෙත්නිට අභියෝගයක් විය. දක්ෂ රළ පදින්නියක වීමේ සිහිනය අමතක කිරීමට ඇය සූදානම් වූයේ නැත. “අත නැතිව මා දුක් වුණා. ඇඬුවා. ඒත් මම දැඩි තීරණයක් ගත්තා. එක් අතක් හෝ අත් දෙකම නැතිව හෝ මා ආයේ රළ පදින්න යනවා. අභියෝග මා ජය ගන්නවා.” බෙත්නිගේ අධිෂ්ඨානය දැඩි විය.   


දුකෙන් සිටි බෙත්නි, දිරි ගැන්වූයේ ඇගේ පියා සහ මවය. තනි අතින් රළ පැදීමට නම්, බෙත්නිට විශේෂ සර්ෆ් ලෑල්ලක් අවශ්‍ය විය. පියා ටොම්, බෙත්නි වෙනුවෙන් එම සර්ෆ් ලෑල්ල නිර්මාණය කළේය. ඒ, තනි අතින් එය හැසිරවීම පහසු කරමිනි. මාසයකට පසු බෙත්නි බිය පසෙකලා යළි මුහුදට ගියාය. ඒත් රළ පැදීම තනි අතින් පහසු කාර්යයක් නොවිණි. කොතරම් අපහසු වුවත්, ඇය උත්සාහය අත්හැරියේ නැත. අවසානයේ ඇය තනි අතින් රළ පැදීමට හුරු වූවාය. යළි දස්කම් පෙන්වන්නට වූවාය.   


2004 ජනවාරි 10 වැනිදා, බෙත්නි හැමිල්ටන්, සර්ෆින් තරගාවලියකට සහභාගී වූවාය. තරග කිරීමට නම්, ඇය සාමාන්‍ය සර්ෆ් ලෑල්ලක් භාවිත කළ යුතු විය. විශේෂිත සර්ෆ් ලෑල්ල පැත්තකට දමා ඇය මාස ගණනාවක් සාමාන්‍ය සර්ෆ් ලෑල්ලකින් රළ පැදීම ප්‍රගුණ කළාය. ජයග්‍රහණයක් හිමි නොවුණත්, නරඹන්නන් සැමගේ පුංචි වීරවරිය වූයේ බෙත්නිය. 14 හැවිරිදි කෙල්ල, මෙතරම් විපතකට පත්වී, යළි රළ පැදීමට යොමු වීම කාගේත් විමතියට හේතුවක් විය.   


ලොව නන්දෙසින් අත්පා නොමැති දරු දැරියන්ට බෙත්නි වීරයකු විය. දහස් ගණනින් බෙත්නිට ලිපි ලැබෙන්නට විය. ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සර්ෆින් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කළ විශේෂ කෞතුකාගාරයකි. මෝරා පහර දුන් අවස්ථාවේ කැබැල්ලක් කැඩී ගිය බෙත්නිගේ සර්ෆ් ලෑල්ල අදත් මෙහි ප්‍රදර්ශනයට තබා තිබේ.   


2011 දී බෙත්නි ඇගේ අත්දැකීම් විස්තර කරමින් ‘අයි ඈම් සෙකන්ඩ්’ කෘතිය පළ කළාය. 2004 වසරේ දී මෙම කෘතිය පාදක කරගනිමින් ‘සෝල් සර්ෆර්’ නමින් හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය විය. චිත්‍රපටයේ බෙත්නි හැමිල්ටන්ගේ චරිතයට පණ පෙව්වේ එවකට යොවුන් නිළියක වූ ඇනාසොෆියා රෝබ් ය. 2009 වසරේ සිට 2014 දක්වා බෙත්නි රූපවාහිනී වාර්තා වැඩසටහන්වලටත්, තවත් චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් ද දායක වූවාය.   


බෙත්නිට ඇඩම් හමුවූයේ 2012 දීය. ඇඩම් තරුණ කටයුතු ඇමැතිවරයෙකි. 2013 අගෝස්තු 18 වැනිදා, බෙත්නි හැමිල්ටන්, සිය පෙම්වතා ඇඩම් ඩර්ක්ස් සමඟ විවාහ වූවාය. කොවායි උතුරු වෙරළේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ඥාති මිත්‍රාදීන් 300 දෙනකුගේ සහභාගීත්වයෙනි. 

 
“දේශපාලනඥයකු විවාහ කරගන්න මා කැමැත්තෙන් හිටියේ නැහැ. මා සැමියා කරගන්න හිටියේ සර්ෆින් ක්‍රීඩකයෙක්. දෛවය පුදුමාකාරයි” යැයි බෙත්නි එක් අවස්ථාවක මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවැසුවාය. 2014 වසරේ ‘අමේසිං රේස්’ නමැති රියැලටි තරගාවලියට බෙත්නි සහ සැමියා ඇඩම් එක් වූහ. බෙත්නි සහ ඇඩම් යුවල තෙවැනි ස්ථානය හිමි කරගත්තේ කවුරුත් පුදුම කරමිනි.   


2015 දී බෙත්නි පුතකු බිහි කළාය. ටෝබියස් යනුවෙන් ඔහුට නම් තැබුණි. 2017 වසර වෙද්දී, බෙත්නි යළිත් ගැබිනියක වූවාය. දෙවැනි දරුවා බිහිවීමට නියමිතව තිබුණේ 2018 මාර්තු මාසයේය. මවක වුවත්, ගැබිනියක වුවත්, බෙත්නි සර්ෆින් අමතක නොකළාය. ඇය ටෝබියස් මුහුදට හුරු කළේ ඔහුට මාස 6ක් වෙද්දීය.   


2016 දී, ෆීජී හිදී ‘ක්ලවුඩ් බ්‍රේක්’ ජාත්‍යන්තර සර්ෆින් තරගාවලිය පැවැත්විණි. මෙම තරගාවලියට ඉදිරිපත් වන්නේ සර්ෆන් ක්‍රීඩාවේ යෙදන ශූරයන් පමණි. ‘ක්ලවුඩ් බ්‍රේක්’ සර්ෆින් තරගාවලිය පැවැත්වෙන්නේ, ප්‍රචණ්ඩ රළවලින් පිරි මුහුදේය. අතිදක්ෂ ලෝක ශූර සර්ෆින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිබවා යමින්, මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට බෙත්නි සමත් වූවාය. ඒ, කවුරුත් මවිතයට පත්කරමිනි.   

 

ලුසිත ජයමාන්න   
‘සෝල් සර්ෆර්’ ඇසුරිනි