අජන්ත මෙන්ඩිස්ට වෙඩි වැදුණම දොස්තර අමු අමුවේම කළ සැත්කම


 

 

  • එදා කැරම් බෝලයෙන් ක්‍රිකට් පිටිය හෙල්ලූ අජන්ත මෙන්ඩිගේ අද සවස   

 

 

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් ගැන කතා කිරීමේදී අජන්ත මෙන්ඩිස් ගැනත් කතා නොකරම බැරිය. එක් රැයකින් මුළු ක්‍රිකට් ලෝකයම, කැරම් බෝලය යවමින් සලිත කළ, පන්දු යවන්නා ලෙස අජන්ත මෙන්ඩිස් වඩා ප්‍රකට වූවේය. කණ්ඩායමේ අනෙක් සගයින් එදා ඔහුට. කතා කළේ ‘මෙන්ඩා’ යන ආදරණීය නාමයෙනි.   


2008 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ලකුණු 13කට කඩුළු 6ක් බිඳලමින් වාර්තාවක් පිහිටුවීමට එදා මෙන්ඩාට හැකි විණි. එදා ඔහුටම ආවේණික වූ පන්දු යැවීමක් සිදුකළ නිසා විචාරකයින් ඔහු හැඳින්වූයේ ‘කැරම් බෝල’ යවන අපූරු පන්දු යවන්නෙකු ලෙසය. එලෙසින් ඇඟිලි දෙකෙන් පන්දු යවා, ලෝක ක්‍රිකට් පිටිය මවිත කළ, ඒ පන්දු යවන්නාගේ අද දවසේ ජීවිතය මොනවගේද? ආදරණීය ‘මෙන්ඩා’ගේ කැදැල්ලේ අලුත් තොරතුරු සඳහන් වෙන්නේ මෙලෙසිනි.   


ප්‍රශ්නය මේ දවස්වල ජීවිතේ කොහොමද?  


මේ දිනවල නම් සතුටින් ඉන්නෙ. පසුගිය දිනවල ලෝකයේ ඇති වූ ස්වභාවය එක්ක වැඩිපුර කාලයක් ගෙදර ගත කළ නිසා ළමයි එක්ක සතුටින් කාලය ගත කරන්න වැඩිපුර අවස්ථාවක් ලැබුණා.  


ප්‍රශ්නය ගෙදර විස්තර කිව්වොත්?   


බිරිඳයි, මමයි, පුතයි, දුවයි එක්ක සතුටින් කාලය ගෙවනවා. පුතාගෙ නම අයාන් මෙන්ඩිස්, දුවගෙ නම අනන්‍යා. දෙන්නම පාසල් යනවා. මේ දිනවල පාසල් වැඩ ඔක්කොම කෙරෙන්නේ ඔන් ලයින් ක්‍රමයට නිසා එයාලගෙ වැඩත් එක්ක ඒවාට සහයෝගය දෙනවා.   


ප්‍රශ්නය පසුගිය කාලයේ මොන වගේ වැඩකටයුතු නිසාද කාර්ය බහුල වුණේ?  


ක්‍රිකට් ක්‍රීඩා කිරීම නැවැත්තුවාට පස්සෙ, ICC ලෙවල් 3 සහ ශ්‍රී ලංකා ලෙවල් ii දක්වා දැනට පුහුණුකරු පාඨමාලා කළා. ඒවා සමත් වුණා. එයින් පසුව යොමු වුණේ පුහුණුකරු අංශයටයි. ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ සහාය පුහුණුකරු ලෙස සහ මගේම ඇකඩමි පුහුණුකරුවකු ලෙස කටයුතු කරනවා. වෙනස් විදියට පන්දු යවන ක්‍රීඩකයින්, විශේෂයෙන්ම දඟපන්දු යවන ක්‍රීඩකයින් බිහි කිරීම මගේ අරමුණයි. නිතරම අපි අනාගතය ගැන හිතලා ඊට ගැලපෙන විදිහටයි කටයුතු කරන්න ඕනෑ. පසුගිය දිනවල කාර්ය බහුල වුණේ ඒ කටයුතු එක්කයි.   


ප්‍රශ්නය ක්‍රිකට් පිටියෙන් සමු ගත්තෙ මෑතකදී නේද?   


ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්තෙ 2019 දීයි. එතෙක් පළමු පෙළ තරග ක්‍රීඩා කළා. එයිනුත් සමු ගත්තා. ඒකට විශේෂම හේතුව වුණේ ඉදිරියේදී පුහුණුකරුවකු ලෙස දිගු ගමනක් යාමේ අපේක්ෂාව නිසයි. ඕනෑම ක්‍රීඩකයකුගේ අභිලාෂය වෙන්නේ රටට ක්‍රීඩා කිරීමයි. ඒ දේ මට ලැබුණා. දැන් මගේ අරමුණ පුහුණුකරුවකු ලෙස සාර්ථක ගමනක් යාමටයි. 

 
ප්‍රශ්නය ගෙදර ජීවිතය ගැන දැනෙන්නෙ කොහොමද?   


පසුගිය කාලයේදී නම් ගෙදර අය එක්ක එකතු වෙලා පලතුරු වවන්න, එළවළු වවන්න එහෙම කාලය වැය කළා. අපේ ගෙවත්ත ලොකු නැති වුණත් ඒ ඉඩ ප්‍රමාණයෙන් ඉතාම හොඳට ප්‍රයෝජන ගත්තා.   


ඒ වගේම වගාව ගැන ලැබුවෙ ලොකු අත්දැකීම්. ගෙවත්ත සුද්ද කිරීමත් ඉතා උනන්දුවෙන් කළේ. ළමයි එක්ක අධ්‍යාපනය සඳහා වූ වැඩ වගේම එයාලා සතුටු කරන්නත් වැඩිපුර කාලය ලැබීම ඇත්තටම මට ගෙන දුන්නෙ ලොකු සතුටක්. 

 
ප්‍රශ්නය ඔබගෙ සමකාලීන ක්‍රිකට් මිතුරන් එහෙම හමුවුණේ නැද්ද?   


කොරන්ටයින් නිසා නිතර නිතර හමුවන්න බැරි වුණා. ඒත් අපි නිතරම වගේ දුරකථනයෙන් සම්බන්ධ වුණා. 

 
ප්‍රශ්නය අජන්ත ව්‍යාපාර එහෙමත් කරනවද?   


කොහෙත්ම නැහැ. අද දවසේ මම බොහෝම මහන්සි වෙන්නෙ පුහුණුකරුවකුගේ භූමිකාව එක්ක දුර ගමනක් යාමටයි. ක්‍රිකට් ක්‍රීඩාවට ආ දවසේ ඉඳලා එය මට තිබුණු සිහිනයක්. ඒ නිසා ලෝකයේ සිටින මාත් එක්ක ක්‍රීඩා කළ ලෝ ප්‍රකට ක්‍රීඩකයින් සහ ප්‍රවීණයන්ගෙ උපදෙස් නිතර ලබා ගන්නවා.   


ප්‍රශ්නය අතීත මතකයන් කරා අපි යමු. එදා මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ආ දින සිදුවූ මතකයන් ගැන සිහිපත් කළොත්?  


මුලින්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග කළේ. එම තරගාවලිය පැවැත් වුණේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදීයි. හිතුවාටත් වඩා එම තරගාවලිය සාර්ථක වුණා. තරගාවලියේ වීරයා වගේම අවසන් තරගයේ වීරයා ලෙසත් සම්මාන ලැබුවෙ මම. සනත්, මහේල, සංගා, ඩිල්ෂාන් ඇතුළු ප්‍රවීණයින් එදා මට බොහෝ උදවු කළා.  

 

ක්‍රිකට් තරු රෑණ

 


ප්‍රශ්නය ලෝක වාර්තා කීපයකටත් උරුමකම් කියනවා නේද?


 වේගවත්ම  කඩුළු 50 ලබා ගැනීමේ ලෝක වාර්තාවට තවමත් හිමිකම් කියන්නෙ මම. එමෙන්ම තරගාවලියකදී ඉනිම දෙකේදීම කඩුළු 6 බැගින් ලබා වැඩිම කඩුළු ගත් වාර්තාවත් තියෙනවා.   


අපේ රටේ අපේ ක්‍රිකට් පිටියේදී මගේ ප්‍රථම ටෙස්ට් තරගයේදීම ඉන්දියාවට එරෙහිව කඩුළු 10ක් ලබා ගත්තා. විරේන්ද්‍ර ෂෙවාග් සහ සචින්ගෙ කඩුළු පවා එදා දවා ගැනීම අමරණීය මතකයන්. එදා කුලේ, මාලි එහෙම මට සෑහෙන්න උදවු කළා.   


ප්‍රශ්නය ක්‍රිකට් සම්බන්ධයෙන් ඔබට තියෙන හොඳම මතකය මොකක්ද?  


2014 දී 20 - විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම. එහිදී මාස දෙකහමාරක් - තුනක් විතර අපි හිටියෙ බංග්ලාදේශයේ. ආරක්ෂාව නිසා අපට එළියට යන්නත් බැහැ. එක දිගට එකම කෑම කන්නත් බැහැ. අපි කළේ අපි නැවතිලා හිටපු හෝටලයේ සේවකයින් එක්ක හොඳට යාළු මිත්‍රවීමයි. එයාලා පිනවන්න අපි සිංහල සිංදු කිව්වා. හෝටලයේ ඉහළ මාලයේ අපි සංගීත සාජ්ජ දැම්මා. කොහොමහරි ඒ හෝටලයේ කට්ටිය සිංහල සිංදු කියන තත්ත්වයට පත් කරවන්න අපට පුළුවන් වුණා. අපි අපට ඕනෑ විදියට කොත්තු එහෙම එයාලට කියලා හදවා ගත්තා. 2014 දී විස්සයි විස්ස ලෝක කුසලානය වගේම ආසියානු කුසලානය සහ තුන්කොන් තරගාවලිය යන තරගාවලි තුනම ජයග්‍රහණය කළේ අපි. ඒක මට සදාදරණීය මතකයක්.   


ප්‍රශ්නය මාස තුනක කාලයක්, එළියටවත් යා ගන්න බැරිව හෝටලයේ සිටියදී කවුද ඉතින් වැඩිපුර සිංදු කිව්වේ?   


අපිට ඉතින් හොඳ ක්‍රීඩකයින් වගේම හොඳ ගායකයින් සෙට් එකක් හිටියෙ. සචිත්‍ර තමයි හොඳම ගායකයා. අනෙක් හැමෝටම වගෙත් හොඳට ගයන්න පුළුවනි. සංගා එහෙමත් සිංදු කිව්වා. මහේල කළේ ගීත යෝජනා කිරීම සහ කණ්ඩායම එක්ක එකට එකතුවෙලා අත්වැල් ගායනය කළ එකයි. 

 
ඒ වගේම එදා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැති ලෝක කුසලාන තරගාවලියට ගිහින් සිටියදී අපි කට්ටිය උයාගෙන කෑවා. ඒකත් ඉතා සුන්දර මතකයක්. එදා සම්බෝලය හැදුවෙ සංගා. ඒ සම්බෝලය හරිම රසවත්. ඒ කණ්ඩායමේ තිබුණු එකමුතුකම නිසා තමයි ඒ වගේ දේ එදා සිදුවුණේ.   


අජන්ත මේ විදියට අතීතයේදී වූ සොඳුරු සිදුවීම් ගැන මතකය ගෙන හැර දක්වද්දී එයාගෙ සුන්දර බිරිඳ යෝෂිණී අජන්ත ගැන කිව්වේ මෙන්න මේ විදියටයි.   


‘මේ කාලයේදී එයා වෙනදාට වඩා මා එක්ක සහ ළමයි එක්ක සිටියා. ඒක අපට සතුටට දෙයක්. පුතා එයත් එක්ක ක්‍රිකට් ගැහුවා. දුව ටිකක් දඟයි. එයා තාත්තට පණ වගේ ආදරෙයි. දුව නිදිකරවන්න ඉතින් තාත්තා ඉන්නම ඕනෑ.   

 

තාත්තාට දුව බොහොම ආදරෙයිලු

අජා ලෝක පූජිත මුරලි එක්ක

අජා සුන්දර බිරිඳ සමග

 


ප්‍රශ්නය ගෙදරදී අජන්ත ඔබ එක්ක මොන වගේ දේ ගැනද කතා වෙන්නෙ?   


එදා වගේම අදත් ක්‍රිකට් පිටියේ වෙන දේ ගැන සහ වෙච්ච දේ ගැන කතා වෙන්නෙ නැහැ. හැබැයි එදා කණ්ඩායමේ සිටියදී කටයුතු කළ ආකාරය ගැන එයා අදටත් සිහිපත් කරනවා.   


වතාවක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක් ගිහින් තිබුණා. එදා මේගොල්ලො ලෝකයේ තියෙන ලොකුම රෝලර් කෝස්ටර් එකේ (කතුරු ඔංචිල්ලාවේ) රවුමක් ගියාලු. එදා කැරකිල්ල වැඩිකමට ඔක්කෝමලා වමනය දාලා. ඒත් මෙයා විතරයි තවත් වතාවක් ඒ රෝලර් කෝස්ටර් එකේ රවුමක් ගිහින් තියෙන්නේ.   


ප්‍රශ්නය කවදාවත් අමතක කරන්න බැරි පාකිස්ථානයේදී මුහුණ දුන් ත්‍රස්ත ප්‍රහාරය ගැන කිව්වෙ කොහොමද?  


එදා ත්‍රස්තවාදීන් වෙඩි තැබූ මොහොතේ එක ළඟ ඉඳගෙන ඉඳලා තියෙන්නේ තිළිණ තුෂාර සහ අජා. ඒ වෙලාවෙ බේරෙන්න සීට් එක යටට රිංගන්න අජාට හොඳටම ඉඩ තිබුණත් අජා කිව්වලු තිළිණ තුෂාරට සීට් එක යටට යන්න කියලා. උඹ ඔහොමම හිටපං. මට කොහොමටත් වෙඩි වැදිලා තියෙන්නේ කියලා මෙයා ඒ වෙලාවේ තිළිණට කියලා. මෙයා නිසා තමයි තිළිණ තුෂාර බේරුණේ කියලා පසුව තිළිණ පුවත්පත්වලට කියලා තිබුණා. එදා අජාට වෙඩි වැදුණාම ක්‍රීඩා විවේකාගාරයේදී වෛද්‍යවරයා අමු අමුවේම තමයි අජාගෙ ඔළුවෙ තිබුණු බුලට් (උණ්ඩ) දෙක අරන් දාලා තියෙන්නේ. අජා ඇත්තටම හිත හොඳ අවංක මිනිහෙක්. ඒ වගේම ඒ අවස්ථාවට හොඳින් නොබියව මුහුණ දෙන නිර්භීත පපුවක් තියෙන කෙනෙක්. 

 

 

පිළිසඳර - සඳුන් ගමගේ