අඟහරු රජ වේ ලග්න රැසකට සුබයි....


ග්‍රහ ලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්‍රහයකු වන අඟහරු හෙවත් ක්‍රජ ග්‍රහයා 2018 මැයි මස 2 වන දින මෙතෙක් ගමන් කළ ධනු රාශියෙන් ශනිට හිමි මකර රාශියට පැමිණෙයි. 2018 නොවැම්බර් මස 06 වන දින දක්වා කුජ ග්‍රහයා මකර රාශියේ සිය අණසක පතුරුවමින් සිටී. කුජට මකර රාශිය උච්ච භවනයි. උච්ච යනු ග්‍රහයෙක් ලබන ඉහළම තත්ත්වය වෙයි. එසේනම් මෙම ග්‍රහ මාරුව සෙන්පතිතුමා කම්කරු නායකයාගේ නිවසට යනවිට කේතුද සෙන්පතිතුමා පිළිගැනීමට බලා සිටිනු ඇත.   

අඟහරු, භූමි පුත්‍ර ආදී නම්වලින්ද හඳුන්වනු ලබන මෙම ග්‍රහයා ලෝකයේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වනු ලබන්නේ සටන්කාමී ගතිය, තීක්ෂණ බුද්ධිය, ආත්ම විශ්වාසය යන ලක්ෂණ විද්‍යාමාන වන නිසාය. අප උපන්දා සිට මිය යන තෙක් ශරීරය පුරා පැතිරී ඇති ධමණී, ශිරා හරහා ගමන් කරන රුධිරයේ අයිතිකරුද, රුධිරය සම්බන්ධ රෝග, ලේ ගැලීම් වැනි අනතුරු ආදී සියලු කාර්යයන් පාලනය කරන්නේ අඟහරු විසිනි.   
මේෂ හා වෘශ්චික ලග්නවලට කුජ අධිපති වේ. මුව සිරස, සිත, දෙනට යන නැකැත් කුජගෙන් පාලනය වේ. කුජ දශාව පුරා වසර 07කි. මකර රාශියේ කුජ උච්ච වන අතර මේෂ හා වෘශ්චික රාශිවල ස්වක්ෂේත්‍ර බලය ලබයි. කටක රාශියේ නීච නම් දුර්වල තත්ත්වට පත්වේ. යම් ජන්ම පත්‍රයක කුජ 10 වන භාවයේ තැන්පත් වී ඇති නම් එය දිග් බලය යැයි කියනු ලැ​ෙබ්. එවිට කුජ බලවත් වී සුභ ඵල දෙනු ඇත. ඔබේ ජන්ම කේන්ද්‍රයේ කුජ බලවත්නම් ඔබ විවාදයේ දක්ෂ, එඩිතර හා නිර්භීත කෙනෙකු වෙයි. කුජ දුර්වලව පිහිටා තිබේ නම් ඉක්මනින් අධෛර්යයට පත්වන අතර බියසුළු පසුබාන ගතිය පෙන්නුම් කරයි.   


2018 මැයි 02 වන දින සිට 2018 නොවැම්බර් මස 04 වන දින දක්වා කුජ ග්‍රහයා මකර රාශියේ උච්ච වෙමින් ගතකරන කාලයේ මේෂ, කටක, තුලා, මකර යන ලග්නවලින් මෙලොව එළිය දකින දරුවන්ට ‘රුචක’ නම් පංච මහා පුරුෂ යෝගය උද‌ා වේ. එඩිතරකම, නිර්භීතකම, ජයග්‍රහණය ලබන අතර කඩවසම් පෙනුම, කාර්මික හා වගා කටයුතුවලට දක්ෂකම හා ක්‍රීඩාවට දක්ෂතාව ලැබෙන සුබ යෝගයක් මෙම දරුවන්ට උද‌ා වේ. කුජ ග්‍රහයා මකර රාශිගත වීම නිසා සතර දීප ජය යෝගය යෙදේ. සහජ හැකියාවන්ගෙන් යුක්තය. අත්දැකීමෙන් ඕනෑම වැඩක් කළ හැක. ඉවසීමෙන් යුක්තය. රැකීරක්ෂා උසස් තනතුරු ලබයි. ශාස්ත්‍රී අංශයට වඩා ශිල්පීය අංශයට දක්ෂය. සෑම දෙයකින්ම පහසුවෙන් ජය ලැබිය හැකි යෝගයකි.   


කුජ ග්‍රහයා උච්චව ගමන් කරන කාලයේ කුජගෙන් නියෝජනය වන උසස් හමුද‌ා නිලධාරීන් ඇතුළුව ආරක්ෂක සේවාවන්හි විවිධ නිලයන්ට අයත් අයටද, ශල්‍ය වෛද්‍යවරුවන්, අධිකරණ වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවන් වැනි තනතුරුවල දක්ෂතා වඩාත් ප්‍රකට වේ. තනතුරු උසස් වේ. සුබද‌ායක කාලයකි.   


කුජ මාරුව උපන් ලග්න අනුව බලපාන අයුරු   


මේෂ - මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන කුජ මෙතෙක් ගමන් කළ නව වැන්නෙන් දසවැන්නට මාරු වේ. ලග්නාධිපති කුජ දිග්බලයෙන් ගමන් කරන නිසා රැකියා අංශවල උසස් වීම් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩිවේ. රැකියා නැති අයට රැකියා අවස්ථා උද‌ා වේ. එසේම තරගකාරී කටයුතුවලින් ජය ලැබෙනු ඇත. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ආරක්ෂක අංශවල රැකියා කරන අයට සුබද‌ායක වේ. ආරක්ෂක අංශවල අයගේ උසස්වීම්වලට යහපත් වේ.   


වෘෂභ - වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ මෙතෙක් ගමන් කළ අටවැන්නෙන් නව වැන්නට මාරුවේ. තරමක් දුරට පැවති කරදරකාරී තත්ත්වය සුබ අතට හැරේ. ආගම දහමට සිත යොමු වේ. වැඩිපුර ඉගෙනීමකට දොරටු විවර වේ. භූමි ලාභ හිමි විය හැක. ගෘහ ජීවිත ගතකරන අය වඩාත් ඉවසිලිවන්තව කටයුතු කරන්න. දැනටමත් සෙනසුරු අපලයක් ගත කරන නිසා සෙනසුරුට අද‌ාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න.   


මිථුන - මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අටවැන්නට කුජගේ පැමිණීම යහපත් නොවේ. වියදම් පාලනය කරගන්න. අ‌ාද‌ායම් මාර්ගවලට අවහිරතා ඇති වීමට ඉඩ අැත. වැඩිමහල් සහෝදරයකු අමනාප වීමට ඉඩ තිබේ. මිතුරු මිතුරියන් සමඟ ඉවසීමෙන් ඇසුරු කරන්න. කුජ අටේ ගමන් කරන නිසා වැටීම්, තැලීම්, හදිසි අනතුරු හා උෂ්ණාධික රෝගවලින් ප්‍රවේසම් වන්න. කුජ දශා ගතකරන අය කුජ අපලයට අද‌ාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න.   


කටක - කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ හත් වැන්නට මාරු වීම සුබඵලද‌ායකයි. උත්සාහය හා නිර්භීතකම වැඩිවේ. විවාහ සහකරුට සුබද‌ායක කාලයක් වේ. මේ අතර දරුවෙකුගේ විවාහ ප්‍රශ්නයකට විසඳුම් ලැබෙනු ඇත. හවුල් ව්‍යාපාර සාර්ථක වේ. ප්‍රසිද්ධ සතුරන් මර්දනය වේ.   


සිංහ - සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍ර​ෙය් කුජ හයවැන්නට මාරුවීම සුබඵලද‌ායකයි. පසුගිය දිනවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. උත්සාහය, උනන්දුව, කැපවීම ඉහළයයි. සතුරු කරදරවලින් ජය ලැබෙනු ඇත. අසනීපවලින් සුව අතට හැරේ. සේවක පක්ෂයේ සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර සාර්ථක වේ. තවද නඩු හබවලින් ජයග්‍රහණ හිමි විය හැකිය. මේ අතර හදිසි අනතුරුවලින් ප්‍රවේසම් වන්න.   


කන්‍යා - කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පස් වැන්නට කුජ මාරු වේ. එතරම් යහපත් නොවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මුරණ්ඩු බව, කේන්ති යෑම, කලබල වීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ ඇත. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීම එතරම් සුබ නොවේ. අවිවාහක තරුණ තරුණියන්ගේ මංගල යෝජනාවලට හෝ පෙම් සබඳතාවලට බාධා ඇති වීමට ඉඩ තිබේ. වුවමනාවට වඩා විනෝදයට බර වීම සුදුසු නොවේ. මේ අතර බඩේ අමාරු, උෂ්ණාධික රෝග ඇතිවිය හැකියි.   


තුලා - තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හතර වැන්නට කුජ මාරු වේ. ගෘහ ජීවිතය පිළිබඳව කරදර අැති වීමට පුළුවන. ක්ෂණික ​කෝපය නිසා පවුලේ අසමගිකම් ඇති වීමට හැකියි. මව්පියන්ට හෝ නිවසේ වැඩිහිටියකුට තරමක් අපල බවක් පෙන්වයි. පදිංචි ස්ථානය පිළිබඳව ගැටලු ඇති වීමට පුළුවන. මේ අතර මැණික් ගැරීමේ කටයුතුවල යෙදී සිටින අයට වටිනා මැණික් හමුවීමද ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවස්ථාව උද‌ා වේ.   
වෘශ්චික - වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන් වැන්නට කුජ පැමිණෙයි. ලග්නාධිපති කුජ වික්‍රමස්ථානයට පැමිණ බලවත්වීම සුබද‌ායක වේ. උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතී. සහෝදර හා අසල්වැසි සබඳතා වැඩිදියුණු වේ. සහෝදරයකු ගැන සතුටුද‌ායක ආරංචියක් ලැබෙයි. ප්‍රයෝජනවත් ගමන්බිමන් යෙදේ. මේ අතර ලිපි ලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබ වේ.   


ධනු - ධනු ලග්න හිමියන්ගේ සෙනසුරු ලග්නයේ ගමන් කරන අතර කුජ දෙවැන්නට පැමිණීම තරමක් සුබද‌ායක බව පෙනේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. දරුවන් ගැන අමතර වෙහෙසක් දරන්නට සිදුවේ. පවුලේ වියදම් ඉහළ යන බව පෙනේ. කතාකරනවිට දූර්දර්ශී වන්න. ධන ලාභ මෙන්ම පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. සෙනසුරු අපලයක් ගත කරන නිසා සෙනසුරුට අද‌ාළ ග්‍රහ ශාන්තිකර්ම කර ගන්න.   
මකර - මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නයේ කුජ ගමන් කරයි. උත්සාහය ධෛර්යය වැඩිවේ. ඒ වගේම ඉක්මනින් කලබල වීම, ක්ෂණික කෝපය නිසා ඇසුරු කරන අය අමනාප විය හැකියි. මේ අතර ක්ෂණික කෝපය නිසා පවුලේ සාමාජිකයින් අතර ද අසමගිකම් ඇති වීමට ඉඩ තිබේ. විවාහ සහකරු සමඟ ද මතභේද ඇති වීමට අවස්ථාව උද‌ා වේ. මේ අතර හිසේ රෝග, උෂ්ණාධික රෝග වගේම වැටීම්, තැලීම් වගේ හදිසි අනතුරුවලින් ප්‍රවේසම් වන්න.   


කුම්භ - කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට කුජ පැමිණීම සුබඵල තරමක් අඩු වේ. විදේශ ගමන් යෑමට තිබූ බලාපොරොත්තු සාර්ථක විය හැක. ගෙදර දියුණුවට කරන කටයුතුවලට බාධා ඇති විය හැකියි. ස්ථාන, ඉඩකඩම්, දේපල පිළිබඳව ගැටලු ඇති විය හැකිය. 

 
මීන - මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නට කුජ පැමිණ බලවත් වීම ඉතා සුබද‌ායක වේ. බලවත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උද‌ා වේ. සහෝදරයන් ගැන සතුටුද‌ායක ආරංචියක් ලැබේ. බැංකු ණයක් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටුවේ. ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභයක් බලාපොරොත්තු විය හැක. ලග්නාධිපති ගුරු අට වැන්නේ ගමන් කරන බැවින් ගුරු දශා ගත කරන අය සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් වන්න.   


කුජ ග්‍රහයා මකර රාශිගතවීම සමහර ලග්නවලට සුබඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵලත් උද‌ා කරන බව පෙනේ. ග්‍රහ ශාන්තිකර්ම මගින් කුජ අපලය බොහෝ දුරට මඟ හරවා ගත හැකිය. මේ අනුව අඟහරුවාදා දිනයේ කුජ හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා තබා කතරගම දෙවියන්ට පින් දී සෙත්පතා ගන්න. කරණීයමෙත්ත සුත්‍රය භාවිතය සුදුසු වේ. මෛත්‍රී භාවනාව කිරීමද වඩා සුදුසු වේ. ලේ දන්දීම සහ තුවාල වූ අයට පිහිට වීම හා අභය ද‌ානය දීම යහපත් වේ. තවද සටන්වලට යෑම සුදුසු නොවේ. රතු ඇඳුම් ඇදීම, මිරිස් සැරට ආහාර ගැනීම නොකිරීමට කටයුතු කරන්න.   

 

 

 

 


ජ්‍යෝතීර්වේදිනී,   
අජන්තා නිශාන්ති ඒකනාය,   
අංක 121,  මාංගොඩ, මැදමහනුවර.   
0774275328