අඟහරු මත සිඳුණු විල්


තරු පිරි අහස

දියරමය ජල සීරාවන් තවමත් අඟහරු ග්‍රහයා මත ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. එහෙත් මෙම ජල සීරාවන් කොහේ කොතැනක ගලා යනවාදැයි සොයා ගැනීම අපහසු කාර්යයකි. එහෙත් මීට කාලයකට ඉහතදී මහ විශාල විල් ලෙසින් තිබෙන්නට ඇතැයි සිතිය හැකි ස්ථාන 24ක් හඳුනාගැනීමට විද්‍යාඥයින් සමත් ව ඇත.

   
මෙම විල් කලකට ඉහතදී එහි බිත්තිවලට ඉහළින් පිටාර ගැලූ බවට සලකුණු රැසක් ඒ අවට දකින්නට ඇත. වරින් වර වතුර ගලා යෑම නිසා හෝ එක් වරම විශාල වතුරක් ගලා යෑම නිසා හෑරුණු ගැඹුරු සානු එහි තිබේ. 

 
 මෙවන් ස්ථානවල ජීවයක් පැවැතීමට වැඩි ඉඩකඩක් ඇතැයි ඔවුහු විශ්වාස කරති. එම ස්ථාන වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා නාසා ආයතනය විසින් 2020දී මිනිසුන් රහිත යානාවක් එහි යැවීමට නියමිතය. මෙම යානාව “මාර්ස් 2020 රෝවර්’ නමින් නම් කර තිබේ.   


 විද්‍යාඥයින්ගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන්නේ ‘ජෙස්රෝ ආවාටය’ වෙතටයි. මෙම ආවාටය වැඩිදුර පරීක්ෂා කිරීම මඟින් සානු නිර්මාණය වීම පිළිබඳ සාධක සොයා ගැනීමට හැකි වෙනු ඇතැයි භූ විද්‍යාඥයෝ පවසති. අඟහරු ග්‍රහයා මත සානු නිර්මාණය වූයේ එක්වරම ඇති වූ විශාල ගං වතුරක් හේතුවෙන් ද, නැතහොත් දීර්ඝ කාලයක් තිස්සේ ජලය ගලා යෑම නිසාවෙන් නිර්මාණය වූ ඒවාද යන්න ඔවුහු පරීක්ෂා කරති.   


 “අපි අඳුනාගත්ත සිඳුණු විල් හැම එකක්ම වගේ එකිනෙකට ගොඩක් සමානයි. ඒත් සමහර විල් ගොඩක් ලොකුයි. සමහර ඒවා කැස්පියන් විල තරම් ලොකුයි..” මෙම මෙහෙයුමේ ප්‍රධානී ටිම් ගොවුජ් පවසයි. ඔහු ඔස්ටින් හි ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයකු ලෙස කටයුතු කරයි. “අඟහරු ග්‍රහයා මත පිහිටලා තියෙන මේ සානු අතීත අඟහරු ජීවියාට විශේෂ වැදගත්කමක් තිබුණු ඒවා කියලා ඒ නිසාම අපි විශ්වාස කරනවා..”   


 ටිම් ඇතුළු කණ්ඩායම සානුවේ විශාලත්වය හා අවාටයේ වට රවුම්වල ප්‍රමාණය ගණන් කරමින් උපකල්පනයකට එළඹී තිබේ. එනම් කලකට ඉහතදී මෙම ආවාට තුළ වතුර බොහෝ ප්‍රමාණයක් රඳවාගෙන සිටින්නට ඇතැයි යන්නයි. ඊට හේතුව අසල ඇති විලෙහි ප්‍රමාණයට සානුවේ ප්‍රමාණය සමපාත නොවීමයි. කෙසේ වෙතත් ඔවුන්ගේ වැඩිදුර විශ්වාසයට අනුව අඟහරු මත පිහිටා ඇති විල් හතරම බොහෝ කලකට ඉහතදී එක්වරම දරුණු ලෙසින් පුපුරා ගොස් තිබේ.   


 “පෘථිවියේ තියෙන භූ විෂමතාවත් එක්ක ලොකු විලක් ගොඩක් දිග කාලයක් සංරක්ෂණය වෙන්නේ නෑ..” නාසා ආයතනයේ ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥ කලෙබ් ෆැසෙට් පවසයි. “ඒත් අඟහරු මත මේ සානු අවුරුදු බිලියන 3.7ක් විතර කාලයක් තිබිලා තියෙනවා. එහෙම බලද්දී අඟහරු මත ගොඩක් ලොකු කාලයක් වතුර තිබිලා තියෙනවා කියලා අපිට හිතෙනවා”    ඔහු පවසයි.   

 


 කෙසේ වෙතත් මේ විල් ගැනත්, සානු ගැනත් වැඩිදුරට විස්තර සොයන්න යෑමට සූද‌ානම් වන 2020 රෝවර් යානාව දියත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් පමණ මුදලක් යට කිරීමට සිදුවෙන බව නාසා ආයතනය පවසයි.   


 2020 මෙහෙයුම් ව්‍යාපෘතියේ නිලධාරීන්ට අනුව ජීවය ගැන පරීක්ෂා කිරීමට වඩාත් සුදුසු වන්නේ ඩෙල්ටාවයි. රෝවර් යානාව සැතපුම් 28ක පමණ දුරක් ගමන් කිරීමට හැකි වෙන බවත්, එමඟින් ක්ෂුද්‍ර ජීවින්ගේ හෝ කාබනික අණුවල සාධක තිබේ නම් ඒවා හඳුනාගැනීමට ද හැකි බවත් විද්‍යාඥයෝ පවසති.   


 අඟහරු මතට ගමන් කරන රෝවර් යානාව ආවාටයක් තුළට බැස්සවීමට මේ වන විට විද්‍යාඥයෝ සැලසුම් සකස් කරමින් සිටිති. ගල් කඳුවලින් ගහණ කටුක පරිසරයකින් හෙබි අඟහරු මත යානාවක් ගොඩ බැස්සවීමත් යළි නැග්ගවීමත් අපහසු කාර්යයක් නිසා යානාව බැස්සවීම ගැන වැඩි අවධානයක් යොමු කරන්නට නාසා ආයතනයට සිදු වී තිබේ.   
2020 දී වත් අඟහරු මතින් ජීවයක් ගැන පැහැදිලි සාක්ෂියක් සොයා ගැනීම නාසා ආයතනයෙත්, අනෙක් විද්‍යාඥයින්ගේත් පරම අභිප්‍රායයි. 

 

 
පවනි උමයංගනා