අගනුවර කුඩු කිරුළ


 

කොළඹ ගැන කතා නොකර කුඩු ගැන කතා කරන්නැයි කිසිවෙකු අභියෝග කළහොත් කිසිවෙකුට එය කළ නොහැකි වනු ඇත. කුඩු හා කොළඹ එකට බැඳී සිටින මවක හා දරුවෙකු බඳුය. කුඩුවලට උපත දෙන්නේ කොළඹය. කුඩු ජාවාරමුන් හදා වඩා ගන්නේ කොළඹය. ඔවුන්ගේ අධිකාරී බලය තිබෙන්නේ කොළඹය. තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගත් ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය නිසා කුඩුකාරයින්ට සැඟවීමට හැකි හොඳම තැනද කොළඹ නගරය බවට පත්ව තිබේ. කුඩු තිප්පොළ බවට කොළඹ පත්වෙද්දී එහි කිරුළ තමන් සතු කර ගැනීමට කුඩුකාරයෝ දැඩි සටනක නියැලෙන්නේ එකිනෙකා මරාගනිමිනි. 


 විවෘත ආර්ථිකය ඇති කිරීමට පෙර අපේ රටේ මත්ද්‍රව්‍යයක් ලෙස මැත්පැන් භාවිතයෙන් එහාට යමක් භාවිත වුණා නම් ඒ සුරුට්ටු, ගංජා හෝ වෙනත් මත්වෙන ගුලි විශේෂයක් පමණි. එහෙත් එයින් පසුව රටට ගලා ආ අසීමිත වෙ​ෙළඳ භාණ්ඩ හා විවිධ සංස්කෘතීන්, විවිධ සදාචාරයන්, විවිධ මතවාදයන් සමග මුදල් ඉපයීමේ නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ක්‍රමවේද සමග විවිධ වර්ගයේ මත්කුඩුවලටද ඉඩකඩ විවර විය. 


 මේ මත්කුඩු සමාජය තුළ පැතිරවීම මුදල් ඉපයීමේ පහසු මාර්ගයක් බවට පත්වීමත් සමග ඉක්මනින් වැඩි මුදලක් ඉපයීමේ අවශ්‍යතාවයෙන් පෙළුන ඇතැමුන් එයට වැඩියෙන් නැඹුරු විය. කුඩු ගෙන්වීමේ ක්‍රියාවලියට ව්‍යාපාරිකයන් සම්බන්ධ වූ අතර ඒවා බෙදාහැරීමේ ක්‍රියාවලියට ඔවුන් යොදවා ගත්තේ ඉතාමත් පහළ දරිද්‍රතා මට්ටමේ සිටි පැල්පත් වාසී ජනතාවය. ඉන්න හිටින්න තැනක් නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති ඔවුන්ගේ සිහිනය - මාලිගාවක් වැනි නිවසක්, තමන්ට නැතත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ, දරුවන් හොඳ දේපලක් ඇතිව විවාහ කර දීමේ ඒ සිහිනය එයට වඩාත් හොඳින් ගළපා ගත හැකි විය. කුඩුවලින් සමාජයට සිදුවන අතිමහත් හානිය කුමක් දැයි මේ අය එදා දැන සිටින්නටද නැත. කෙසේ වුවත් මේ වැඩි දෙනෙක් ඒ බෙදාහැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගෙන තිබෙන්නේ මුදල් පෙන්වා එයට ලෝබ සිත් ඇති කරවීමෙන් බව පසුව කුඩු කිරුළට සටන් කළ ඇතැමුන්ගේ අතීත කතා සොයා බලන විට පැහැදිලි වේ. එසේම ඔවුන් කුඩු භාවිතයට මුලින්ම ඇබ්බැහි කර ගත්තේද මේ දරිද්‍රතාවයේ පතුලේ සිටින තරුණ පිරිස්ය. ඔවුන් පියවි ලෝකයේදී නොදකින නොලබන සැපයක් මත්වීමෙන් හෝ ලබන්නට කැමැති වීම එයට හේතුව වන්නට ඇත. පසුකලෙක විවිධ ක්ෂේත්‍රවල තරුණ පිරිස් එයට ඇබ්බැහි වූ බවද සත්‍යයක් වන නමුත් ආරම්භය සිදුවූයේ පැල්පත් නිවාසවලිනි. 


 මේ කුඩු ව්‍යාප්තිය කෙතරම් උච්ඡස්ථානයකට අද පැමිණ තිබේද යත් පසුගිය වසරක පමණ කාලය තුළ එනම් 2018 ජනවාරි 01 වෙනිදා සිට 2019 පෙබරවාරි 28 වෙනිදා දක්වා කාලය තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 677 ග්‍රෑම් 390ක් සමග සැකකරුවන් 40ක් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් හා පොලිස් විශේෂ කාර්ය බළකායෙන්, කොළඹ අපරාධ කොට්ඨාසයෙන්, නාවුක හමුදාවෙන්, රේගුවෙන් අත්අඩංගුවට ගත් හොරොයින් ප්‍රමාණය කිලෝ 525යි ග්‍රෑම් 209කි. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 37ක්ද අත්අංගුවට ගෙන ඇත. මීට අමතරව කොකේන් කිලෝ විසිපහකට ආසන්න ප්‍රමාණයක්ද සැකකරුවන් අට දෙනෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මේ අත්අඩංගුවට ගෙන ඇති කුඩු ප්‍රමාණයෙන් අතිබහුතරය කොළඹ හා අවට ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට පරිබාහිරව විශාල කුඩු ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ නම් ඒ බේරුවල, මීගමුව, මන්නාරම වැනි මුහුදු තීරවලිනි. 


 කුඩුවලට සම්බන්ධ කුඩු බෙදාහැරීම හා ගෙන්වීම සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන නිරීක්ෂණයන්ගෙන් පැහැදිලි වන කාරණය නම් ඊට සම්බන්ධ වැඩි දෙනා කොළඹ කේන්ද්‍රකර ගනිමින් එම කාර්යයේ නිරත වූ බවය. ඒ නිසා කුඩු පාතාලයේ කිරුළ සම්බන්ධ සටන නිරන්තරයෙන් කැරකුණේද කොළඹ කේන්ද්‍ර කර ගනිමිනි. 


කොළඹට කුඩු ගෙන ඒම ව්‍යාපාරික මට්ටමෙන් දිගට පවත්වාගෙන යනු ලැබුවේ සුදා නොහොත් සුදාකරන් නොහොත් ඉසෙගිමුත්තු සුනේන්ද්‍රන් කරුපයියාය. 


1958දී උපන් සුදාකරන් උපන් ගම මන්නාරමය. වැඩිදුර ඉගෙන ගන්න තරම් සුනේන්ද්‍රන්ට වත්කමක් තිබුණේ නැහැ. දිළිඳු පවුල්වල දරුවන්ගේ නළලේ බඹා කෙටූ ලෙසම සුනේන්ද්‍රන්ද අඩු වයසින්ම පාසල හැර ගියේය. එතැන් සිට ඔහු පවුලේ බරට කර ගැසුවේය. ඔහු තේ කරත්තයක් පවත්වාගෙන යමින් ගෙදර ආදායම සරි කරන්නට උත්සාහ කළේය. 


එහෙත් ඔහුට ආර්ථික යුද්ධය එක විදිහකට පවත්වාගෙන යාමට ඊළාම් යුද්ධය ඉඩ දුන්නේ නැත. අසූව දශකයේදී යුද්ධය එන්න එන්නම දරුණු වීම නිසා නගරෙට එන ජනතාව අඩුවිය. සුනේන්ද්‍රන්ට තමන්ගේ පවුල නඩත්තු කරන්න පුලුවන් ආදායම් මාර්ගයක් උතුරේ නොවූයෙන් ඔහු දකුණට සේන්දු විය. 


 කොළඹ කුලී වැඩක් සොයා ගිය සුදාකරන්ට අවසානයේ නවතින්නට සිදුවූයේ කුඩු තිප්පොලකය. සුදාකරන්ව අතින් අල්ලාගෙන රස්සාව දෙන්නට කැඳවාගෙන පුද්ගලයෙක් ඔහුට යම් කිසි පාර්සලයක් ලබාදී මේක අහවල් තැනට දෙන්න ඒක කළාම අපි තමුසෙට මුදල් ටිකක් දෙන්නම් කියා පිටත් කළේය. 


බඩු මොනවාද කියා සුනේන්ද්‍රන් ඇසුවේ නැත. ඔහුට වැදගත් වුයේ ලැබෙන ගාස්තුවය. හැමදාම අනිවාර්යයෙන්ම ලැබෙන ආදායම නිසා ගෙදරට කීයක් හරි යවාගන්න පුළුවන් නේද යන්න පමණි. ඔහුගේ හිතේ පොරබැදූ අදහස වූයේ ඔහු රාජකාරිය භාර ගත්තේය. 


රාජකාරිය හොඳින් ඉදිරියට කෙරීගෙන යද්දී ඔහුගේ නමද වෙනස් විය. සුනේන්ද්‍රන් සුදාකරන් නෙහොත් සුදා බවට පත්වූයේ ඒ කුඩු පාතාලයට ගැළපෙන පරිදිය. එලෙස හොරොයින් ජාවාරම්කරුවන්ගේ අතරමැදියෙකු ලෙස කොළඹ ජීවිකාව ආරම්භ කළ සුනේන්ද්‍රන් ක්‍රම ක්‍රමයෙන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය. සුදාකරන් මරදාන, තමිල්නාඩුවේ පදිංචි වූයේය. එහි සිට ගෝලබාලයින් පිරිසක් එකතු කරගත් සුදා සිය ව්‍යාපාරය ජයටම කරගෙන ගියේය. 


ඔහු කෙටි කලකින්ම කොළඹ කුඩු ව්‍යාපාරය තමන් අතට ගත්තේය. කොළඹ ක්‍රියාත්මක වූ දෙමළ පාතාලය දේශපාලන බලයෙන් හා පොලිසියේ ඇතැමුන්ගේ සහයෙන්ද කොළඹ ආශ්‍රිතව සිය අණසක පතුරුවා ගත්තේය. එයට නායකත්වය දුන්නේ තෙල්බාලා, තෙල්බාලාගේ සමීපතමයා වූ සුදාකරන්, තෙල්බාලාගේ සහෝදරියගේ පුතා තමිල්නාඩුවේ රමේෂ්, සින්නප්පන් හා ක්‍රිස්ටෝපර් වැනි පිරිසකි. ඔරුගොඩවත්තේ තමිල්නාඩුව යනු මරදානේ දෙමළ ජනතාව වැඩිපුරම ජීවත්වන ප්‍රදේශයකි. 


නඩරාජා විජේපාලන්ද සුදාකරන්ගේ සගයෙකි. කුඩු ජාවාරම පවත්වාගෙන යාමේදී මැර කල්ලියක් පවත්වාගෙන යාමද අත්‍යවශ්‍යය. එහිදී වැඩිම දායක්තවය ලබාදුන්නේ ක්‍රිස්ටෝපර් හා විජේපාලන්ය. විජේපාලන් කොටහේන, කොච්චිකඩේම උපන් අඩි හයකටත් වඩා උස ඒ උසෙන්ම මිනිසුන් බියවැද්දීමට සමත් වූ දරුණු කෲර අයෙකි. ඔහු වධකාගාරයක් ද පවත්වාගෙන ගිය බව පොලිසිය පවසයි. 


 කරුපයියා වාප්පු බාලන් නොහොත් බාලේන්ද්‍රන් නොහොත් තෙල්බාලාද සුදාකරන්ගේ කල්ලියේ සාමාජිකයෙකි. ගොන් කරත්තයකින් තෙල් විකිණීම ජීවිකාව කරගත් වැල්ලම්පිටිය, බදුල්ලවත්තේ උපන් අයෙකි. තෙල් වෙ​ෙළඳාමේ නිරතව සිටි නිසා ඔහු තෙල්බාලා විය. හෙතෙම පසුකලෙක සුදාකරන්ගේ සමීපතමයා බවට පත්විය. සුදාකරන්ලා, තෙල්බාලලා ප්‍රදේශයේ අතහැර ගිය පසු එහි බලය අල්ලා ගත්තේ තෙල්බාලාගේ සහෝදරියගේ පුත් රමේෂ්ය. පොලිසියෙන් සොයද්දී ඉන්දියාවට පළාගිය තෙල්බාලා 2017දී මරණයට පත්විය. 


 දෙමළ පාතාලය යැයි කීවද සුදාකරන්ගේ පාතාල කල්ලිය සමග එක්වූ මුස්ලිම් අය මෙන්ම සිංහලයෝද වූහ. නවුපර් මොහොමඩ් නියාස් හෙවත් පොට්ට නවුපර් ඉන් එක් අයෙකි. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් ඔහුට මරණ දඬුවම් නියම විය. සුදාකරන්ට එක්වූ සිංහලයන් දෙන්නෙකි. ඒ නෙලුව හේවගේ උදය ප්‍රියදර්ශන නොහොත් මල්ලියා හා ජයකොඩි ආරච්චිගේ ඕල්කට් පෙරේරා හෙවත් බොරැල්ලේ ඕල්කට්ය. 


බොරැල්ලේ උපන් ඕල්කට් අවුරුදු දහඅටක් වැනි ඉතාමත් ලාබාල වයසේදී පාතාලයේ අත්පොත් තැබූවෙකි. කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් ඉහළින්ම ලබා සිටි ඕල්කට් පෙරේරා පවුලේ ඥාතීන් පිරිසක් සමග ඇතිවූ ආරවුලකින් සීයාත්, පියාත් ඝාතනයට ලක්වීමෙන් පසු තමන් වෙතද එල්ලවූ මරණ තර්ජන හමුවේ එයට පිළිතරු දෙනු පිණිස පාතාලය සොයාගිය අයෙකි. ඔහුට පාතාලයේ අත්පොත් තැබුවේ තෙල්බාලාය. ඔහු 2010 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ වැටලීමකදී වෙඩි කා මිය ගියේය. 


 මේ සියලු දෙනාම සුදාකරන්ගේ කුඩු පාතාලය මෙන්ම එය පවත්වාගෙන යාමට අවශ්‍ය මැර කල්ලි නැත්නම් අවි ආයුධ අත දැරූවන්ගේ පාතාලයේ සාමාජිකයෝය. මොවුන් විසින් පවත්වාගෙන ඉදිරියට ගෙන ආ කුඩු ජාවාරම ඊළඟට අතට ගත්තේ මුස්ලිම් පාතාලයේ කෙරුමන් කීප දෙනෙකු විසිනි. කුඩු නූර් ඒ අතර ප්‍රසිද්ධය. එහෙත් සෙසු දැවැන්තයන්ද ක්‍රමයෙන් කුඩු ජාවාරමට එක්වූ බව රහසක් නොවේ. මුස්ලිම් පාතාලය අතට පාතාල බලය හුවමාරු වූයේ දෙමළ පාතාලය තමන්ගේ බලය මාලිගාවත්තේ පතුරුවා ගන්නට දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසය. 


මේ දෙමළ පාතාලයත් මුස්ලිම් පාතාලයත් දෙකම කුඩු ව්‍යාපාරය පවත්වාගෙන ගියේ ව්‍යාපාරික ප්‍රජාවක් හරහාය. ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් විවිධ භාණ්ඩ ලංකාවට ගෙන එන ව්‍යාපාරිකයන් එම භාණ්ඩ සමග සඟවාගෙන ලංකාවට කුඩු ගෙන එනු ලැබිණ. ඒ කිලෝ ගණනින් නම් නොවේ, ග්‍රෑම් ගණනිනි. ඔවුන්ගේ ආරම්භය එලෙස වූ නමුත් පසුව ක්‍රමයෙන් එය කිලෝ ගණන්වලට හැරිණ. එවිට ඒවා ගෙන එනු ලබන ක්‍රමවේදයන්ද වෙනස් විය. මේ සියලු වෙනස්කම් හමුවේ කුඩු කිරුළට ඇණකොටාගත් පාතාලයේ තවත් කතාවක් අපි ලබන කලාපයෙන් කතා කරමු. 

 


මුදිතා දයානන්ද