අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ එඩ්වඩ් ජයකොඩිගේ ලස්සන සින්දු


සත් සර

 

කෑගල්ලේ සිට බුලත්කොහුපිටිය පාරේ සැතපුම් හතරක් පමණ ගිය විට හමුවන හෙට්ටිමුල්ල ගමේ 1954 අප්‍රේල් මස 6 වැනිදා උපත ලබා හැදී වැඩුණු ළමයකු මුලින්ම හෙට්ටිමුල්ලේ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට අකුරු කීමට ගියේය.   


ගමේ සීපද රාවයට, කරත්ත කවිවලට, පැල් කවිවලට, කමත් කවිවලට සිත් බැඳගත් මේ ළමයාගේ කලා රසය පෝෂණය විය. කෑගල්ලෙන් හැතැප්ම 4ක් එහා තිබූ ඉරිදා කතෝලික දේවස්ථානයට ගිය මේ ළමයා ගයන ගීතිකා අන් ළමුන්ගේ හඬවල් පරයා නැගී සිටියේය. ඔහුගේ එකම සිහිනය වූයේ පල්ලියේ ඉස්කෝලේ වූ ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළු වීමටය. තම සහෝදරයන් ද ශාන්ත මරියා විද්‍යාලයේ ඉගෙන ගත් අතර සොහොයුරියන් ඉගෙන ඇත්තේ කෑගල්ලේ සාන්ත ජෝසප් කාන්තා විද්‍යාලයේය.   
මේ දරුවාගේ සිහිනයක මල් පිපෙමින් ශාන්ත මරියා විද්‍යාලයට පිවිසීමට අවස්ථාව ලැබුණේය. 1963 වසරේ මේ පාසලට සංගීත ගුරුවරයකු මුල්වරට පත්වී ආවේය. සමරපාල හිටිගේ මහතාය ඒ. එතෙක් පාසලේ තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් ගැයූ පාසල් ගීයකි. සමරපාල මහතා ගුරු මණ්ඩලයේ සිටි සිංහල විෂයය භාර ගුරුවරයා වූ ඊ.එම්.ජී. එදිරිසිංහ මහතා ලවා පාසල් ගීතය රචනය කර ගත්තේය.   


පාසලේම ආදි ශිෂ්‍යයකු වූ එදිරිසිංහ මහතා විශ්වවිද්‍යාල උපාධිය ලබාගත් පසු ගුරුවරයකු ලෙස පැමිණියේ මේ විද්‍යාලයටය. ප්‍රවීණ විචාරකයකු වූ ඔහු නියෝජ්‍ය ආදායම් බදු කොමසාරිස්වරයකු ලෙස ද සේවය කළේය. පාසල් ගීය ගැයීමට සමරපාල සර් ළමුන් තෝරා ගත් විට එහි කැපී පෙනුණ ශිෂ්‍යයා අර දරුවාය.   


“ශාන්ත මරියා සිසුහු අපි   


කෑගලු දිනිතිගේ සෙවණේ වෙමු...”  


අනික් සිසුන් අභිබවා අර දරුවාගේ හඬ නැගී සිටියේය. මේ ශිෂ්‍යයාට මුල්ම ගීතය ගැයීමට නමෝ විත්තියෙන් කියා දුන්නේ සමරපාල ගුරු පියා බව ඔහු අදත් කෘතවේදීව කියන්නේය. විද්‍යාලයෙන් ගායකයෙක් බිහිවිය. ඔහුගේ ගී හඬ අද ලක්දිව පමණක් නොව දේශ දේශාන්තරවල කිත්ගොස් නගන්නේ අපේ සුභාවිත ගීතය ලෝකයටම විදහා දක්වමිනි.   


මේ ගායකයා එඩ්වඩ් ජයකොඩිය. 

 
ජයකොඩි ආරච්චිගේ දොන් එඩ්වඩ් තිමෝති ජයකොඩි සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් යුත් පවුලක හයවෙනියාය. මේරි චාලට්, ජෝසෆ් ඇන්තනී, වීඩා එලිසබත්, කාලිස්ටා මාලිනි, ලියෝ ෂෙල්ටන් පසු එඩ්වඩ්ය. බාල නැගණිය ඇනට් ප්‍රියන්තිය. එඩ්වඩ්ගේ පියා වූ දොන් රපියෙල් ජයකොඩි ජාඇල පමුණුගම උපන් කෙනෙකි. මව වික්ටෝරියා මෙන්ඩිස්ය.   


“අපේ සංගීත ගුරුවරයා වූ සමරපාල සර් හොඳ නාට්‍ය පාසලට ගෙනල්ලා රඟදක්වලා අපේ කලා රසය පෝෂණය කළා. මනමේ, සිංහබාහු, හුණුවටයේ කතාව, නරිබෑනා, වගෙ නාට්‍ය. එදිරිසිංහ සර් හා ආරියවංශ රණවීර සර් (කවියෙකි. පසුව අමාත්‍යාංශ ලේකම්) අපේ සාහිත්‍ය රසවින්දනය පෝෂණය කළා. අපිට ඉහළ පන්තියක හිටියේ බුද්ධදාස විතානආරච්චි (ප්‍රවීණ රංගධර), බන්දු සමරසිංහ (ජනප්‍රිය චිත්‍රපට නළු, චිත්‍රපට අධ්‍යක්ෂ) හා සුනිල් ජයන්ත නවරත්න (ආචාර්ය නවරත්න, පසුව අමාත්‍යාංශ ලේකම්වරයකු විය.)” එඩ්වඩ් කීවේය.   


එඩ්වඩ්ගේ සංගීත ගුරුවරයා වූ සමරපාල හිටිගේ විසින් මාරිම්බා එඩ්වඩ් ජයකොඩි ප්‍රතිභාවලෝකන (සංස්කරණය දයානන්ද රත්නායක) කෘතියට ලියන ලද ලිපියේ මෙසේ සඳහන් වෙයි.   


උසස් නාට්‍ය කිහිපයක් පාසලේ වේදිකාගත කරමින් සිසුන්ගේ නාට්‍ය පිළිබඳ කුසලතා සංවර්ධනයට ඉඩකඩ සලසා දෙමින් අපි අලුත් නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළෙමු. උදේනිපුර සැණකෙළි වරුණ, මාගන්දි, ගංවතුර සමග තවත් නාට්‍ය කිහිපයක් විදුහලේ සිසුන් සම්බන්ධ කරගෙන වේදිකාගත කළ අතර, ඒ හැම නාට්‍යයකම රඟපෑමෙන් හා ගායනයෙන් ඒවා ආලෝකවත් කරන ලද්දේ එඩ්වඩ් ජයකොඩි නම් ශිෂ්‍යයාය.    


1968 වසරේ පොළොන්නරුවේ රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති යුනෙස්කෝ අවසාන මහ තරගයට එඩ්වඩ් ප්‍රමුඛ බුද්ධදාස විතානආරච්චි, බන්දු සමරසිංහ, සුනිල් ජයන්ත නවරත්න පිරිස සමරපාල ගුරු මහතා, විදුහල්පතිතුමා, මාපියන් සමග සහභාගී වී ඇත. උත්සවයේ ප්‍රධාන අමුත්තා වී ඇත්තේ එවකට අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාය. මේ තරගයෙන් පාරු ගී සමූහ ගී තරගයෙන් ශාන්ත මරියාව පළමු ස්ථානය දිනාගෙන ඇත්තේය. එහි ප්‍රමුඛ ගායකයා වී ඇත්තේ එඩ්වඩ්ය. ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් පසු ඇමැතිතුමා කළ කතාවේ ඔහු මෙසේ කියා ඇත.   


“මට මේ අවස්ථාව හරි සන්තෝසජනකයි. පාරු ගී අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කෑගල්ලේ ශාන්ත මරියා විද්‍යාලයේ දරුවා වගේ එක දරුවෙක් අපට හදාගන්න ලැබුණොත් වසරක් පාසා පැවැත්වෙන මේ යුනෙස්කෝ තරග පැවැත්වීමේ නියම ප්‍රතිඵල ලැබුවා වෙනවා. ඒ විතරක් නෙවෙයි, සෑම දිස්ත්‍රික්කයකින්ම මේ වගේ දරුවන් එක් අයකු බැගින් තෝරා ඒ අයට පහසුකම් ඇති ප්‍රමුඛ පෙළේ විදුහල්වල ඉගෙනුම ලබන්න මම ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා.”


මේ අනුව සමරපාල සර් සමග කොළඹ මැලේ වීදියේ අධ්‍යාපන කාර්යාලයට ගිය එඩ්වඩ්ට මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබී ඇත. එම විද්‍යාලයේදී එඩ්වඩ් වාණිජවේදී විෂයයන්ට මිස සංගීතයට යොමු වී නැත. සමරපාල සර්ගෙන් ලබාගත් ගුරු හරුකම් සහිතව එඩ්වඩ් සර්ගේ බලකිරීම නිසා මහනුවර පැවැත්වූ ජාතික නැටුම් හා සංගීත විභාගයට ඉදිරිපත් විය. විභාගයට අනිවාර්ය රාග 5ක් ඉගෙනුම වෙනුවට එඩ්වඩ් කෙළිදෙලෙන් ගෙදරට වී සිටියදී අම්මා පරීක්ෂණයට ඇදගෙන ගියාය.   


පරීක්ෂක මණ්ඩලයේ සිටියේ හැඩි පුරුෂයෙකි.   
‘මේ ළමයා දන්න රාගයක් කියනවද?’   
‘මම කිසිම රාගයක් දන්නේ නෑ සර්’   
‘කිසිම රාගයක් දන්නේ නෑ?’   
‘ඔව් සර්’   
‘කැමැති රාගයක් කියන්න’
‘කිසිම රාගයක් දන්නේ නෑ සර්’
‘මොකටද එහෙනම් පරීක්ෂණයට ආවේ?’   
‘අපේ සංගීත සර්ගේ බල කිරීමට සර්’


‘එහෙනම් සංගීත සර් මුකුත්ම උගන්වල නැහැනේ. කමක් නෑ. එහෙනම් සින්දුවක් කියන්න.’
එඩ්වඩ්ට එකවරම සිහියට ආවේ වෙසක් තොරණක සමරපාල සර්ගේ සංගීතයට තමා ගැයූ ගීතයකි. ඔහු රහට ගීතය ගැයුවේය.   
‘හොඳයි හොඳයි බොහොම හොඳයි. අම්මාට මෙහාට එන්න කියන්න.’
‘මේ ළමයාට හොඳට සින්දු කියන්න පුළුවන්. මෙයාට කිසිම බුරුලක් දෙන්න එපා. හොඳට සංගීතෙ උගන්වන්න.’   
‘හොඳයි සර්’


එඩ්වඩ් අපට කීවේ එදා සිටි පරීක්ෂකවරයා මෙරට සිටි විශිෂ්ට සංගීතඥ ලයනල් එදිරිසිංහ මහතා බව පසුව දැනගත් බවය.   
“මම අද ඉන්න තැනට මග හෙළි කළේ සමරපාල සර්, ඊරියගොල්ල මහතා හා ලයනල් එදිරිසිංහ මහතා මකුලොලුව මහතා බව කෘතඥතා පූර්වකව මතක් කරනවා. ඒ අයට පින් දෙනවා.   


මම වසර නවයක් ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ආධුනික තරග 8කට සහභාගී වුණත් ජයගෙන නෑ. 9 වැනි වරට මොරවක ගුවන් තොටිල්ල තරගයේ අවසාන 16 දෙනාගේ වටයට තේරී සී.ටී. ප්‍රනාන්දුගේ සඳවට රන් තරු ගීතය ගැයුවා. 1976 වසරේ පිබිදෙන ගායක පරපුර අවසාන තරගයට අමරදේව සර්ගේ අඩවන් වූ දෙනෙතින් ගලනා ගීතය ගයා දෙවැනි ස්ථානය ලබාගත්තා. මුල් තැන දිනාගත් මොරටුවේ නිහාල් රංජිත් ප්‍රනාන්දු ගැයුවෙත් අමරදේව සර්ගේ ගීතයක්. එදා නිහාල් මට වඩා හොඳින් ඒ ගීතය ගැයුවා.” එඩ්වඩ් කීවේය.   
එඩ්වඩ් 1973 වසරේ රජයේ සංගීත විද්‍යාලයට බැඳෙන්නේ ලොකු අක්කාගේ මගපෙන්වීම නිසාය. රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, ආනන්ද වීරසිරි ආදීන් ඔහුගේ සංගීත විද්‍යාලයේ සමකාලීන මිතුරන්ය. එකල සංගීත විද්‍යාලයේ විදුහල්පති අමරදේව මහා ගාන්ධර්වයාය. අමරදේව මහතාගේ ගී ප්‍රසංගවල අත්වැල් ගායනයෙන් එඩ්වඩ්ට සහාය වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකයි.   


ගුවන් විදුලියේ ජී.එස්.බී. රාණි පෙරේරා නිෂ්පාදනය කළ ප්‍රබුද්ධ ගී වැඩසටහනේ අත්වැල් ගායනය කරමින් රුපියල් දහයක මුදල් වවුචර් එකක් වසර 4ක් ලබා ගනිමින් සිටි කාලයේ දිනක් රාණි අක්කා වාදක මණ්ඩලයේ සිටි රෝහණ වීරසිංහට මෙසේ කීවාය.   
‘රෝහණ මල්ලි, එඩ්වඩ් හොඳ එකා. හැමදාම කෝරස් (සමූහ ගායනා) කියන්නේ. තනියම කියන්න සින්දුවක් හදල දෙමු ද?’
‘හොඳයි රාණි අක්කෙ.’
රාණි අක්කා එකල ගීත රචනා බැංකුවට අනුමැතිය ලැබූ ගීත ෆයිල් එකෙන් ගීතයක් තෝරා රෝහණට දුන්නේය. රෝහණ දහවැනි මැදිරියේ තිබූ මහා පියානෝව වාදනය කරමින් තනුවක් දැම්මේය. එඩ්වඩ් ජයකොඩි නම් ගායකයා ගුවන් විදුලි ගායකයකු ලෙස දොරට වැඩියේ මේ ගීතයෙනි. ගේය පද රචනය ප්‍රේම කුමාර ජයවර්ධනගෙනි.   


“කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ   
නුඹගේ දෑතට දිරිය වඩන්නයි   
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි   
කිරිකැටි පුතුනේ   
අව්වට වැගිරෙන දාදිය වැස්සේ   
කළු ගල් තළලා මහ මං තැනුවේ   
නිවහල් ලොවකට නුඹට වඩින්නයි   
කිරිකැටි පුතුනේ   
දුම්රොටු අතරේ කම්හල් ඇතුළේ   
දැති රෝදෙට ගත ජීවය දුන්නේ   
නව මිනිසකු නව ලොවට පුදන්නයි   
කිරිකැටි පුතුනේ...”


එඩ්වඩ් ගුවන් විදුලි සරල ගී පරීක්ෂණයෙන් 1977 වසරේ සමත් වී මුල්ම ගීතවල සංගීත රචකයා ද රෝහණ වීරසිංහයන්මය. ගේය පද රචකයා වූයේ කුමාරදාස සපුතන්ත්‍රීය. රෝහණ හා සපුතන්ත්‍රී සුසංයෝගයෙන් එඩ්වඩ් ගැයූ ගීත අතිශයින්ම ජනප්‍රිය වූහ. 

 
“අකුරු මැකී නෑ කොළ ගැල වී නෑ   
බොඳ වී නෑ සිතුවම්   
ඉස්සර වාගේ තාමත් මතකයි   
හෝඩි පොතේ පාඩම්   
මේ ඊරී බිම සීරී   
කුණ්ඩුමනී හිස පීරී   
දීසිය පුරවා දෝසි දමා   
අපි දුවමු අපි පනිමු   
ගී කියමු අපි නටමු   
ඇත් පොරයට අපි ඇහැ යවමු   
බාල වියට පා නගමු...”
මේ තව ගීතයක්.   
“මා රම්බරි කෝලවී   
පෑ මුවේ මන්දහාසේ   
මන ලෝල වේ   
උන්මාද වී   
මා හද සැමදා   
පුණ්‍යවන්තී   
සිතේ භෘංග සේනා කිපී රොන් මතින්   
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්   
සනසාලනු ඒ පිපාසා   
මාරම්බරී...”   


එඩ්වඩ්ට චරිතා ප්‍රියදර්ශනී හමුවන්නේ ද තම සංගීත ගුරු සමරපාල සර් නිසාය. ප්‍රවීණ ගුවන්විදුලි නිෂ්පාදක, චිත්‍රපට අධ්‍යක්ෂ, සිනමා රංගනවේදී ආරියදාස පීරිස් මහතා සමරපාල මහතා මිතුරන්ය. කෑගල්ලේ සිට එඩ්වඩ් සමග නුගේගොඩ ආරියදාස පීරිස් නිවසට පැමිණි විට එහි නවාතැන් ගනී. පසු කලෙක සමරපාල මහතා විවාහ වන්නේ ආරියදාස පීරිස්ගේ නැගණිය වූ චින්තා පීරිස් සමගය. මේ නිසා සර් සමග කොළඹ ආ එඩ්වඩ් මේ නිවසේ නවාතැන් ගත් ඔහුගේ සිත ආරියදාසයන්ගේ දියණි චරිතා ප්‍රියදර්ශනී වෙත ඇදී යයි. චරිතා ද ගායනයට මෙන්ම පියා මෙන් නිවේදන කලාවට දස්කම් පෑ කලාකාරිනියකි. 

 
“අපේ සමරපාල සර් මට කොතරම් ආදරය කළා ද කීවොත් අනාගත සහකාරිය ද සොයා ගැනීමට උපකාර කළා. පසුව චරිතා මගේ බිරිඳ වුණා. එක අතකින් සමරපාල සර් මගේ ඥාතීත්වයක් වුණා. ඒකත් වාසනාවක්. සමරපාල සර්ට ලස්සන නංගි කෙනෙක් හිටියා. ඇය මට වඩා වැඩිමහල්. ඇය විවාහ වූයේ සිළුමිණ පුවත්පතේ කතුවරයකු, විචිත්‍ර කථිකයකු වූ වාමවාදී දේශපාලනයේ කැපී පෙනුණු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ වජිර පැල්පිට සමග.” එඩ්වඩ් පැරැණි කතාවක් කීවේය.    


තම ජීවිතයේ අමතක නොවන සිද්ධියක් මතක් කළේය. ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ට එඩ්වඩ් තුළ තිබුණේ ගෞරවයකි. කේමදාස මාස්ටර් එඩ්වඩ්ගේ ගීත දෙකක් පටිගත කිරීමට සැලසුම් කර තිබුණි. ගීත දෙක රචනා කර තිබුණේ රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ අව්වට වැස්සට හුරු මිනිසුන්නේ හා රන් බණ්ඩා සෙනෙවිරත්න ලියූ ළඳුනේ විසිනි.   
කේමදාස මාස්ටර් විසින්ම නිෂ්පාදනය කරන කැසට් පටයක් කියා දැන සිටි එඩ්වඩ්ට තිබුණේ බලවත් සතුටකි. සිද්ධාර්ථ හාමුදුරුවන් සමග නුගේගොඩ නෙලූ ශබ්දාගාරයට ගිය එඩ්වඩ්ට දැනගන්නට ලැබුණේ මේ ගීත පටිගත වන්නේ වෙනත් කැසට් නිෂ්පාදකයකු සඳහා බවය. වාණිජ පරමාර්ථ පෙරදැරිවම කැසට් නිෂ්පාදකයා ගැන එඩ්වඩ්ට පැහැදීමක් තිබුණේ නැත.   


‘මාස්ටර් කවුද මේ සින්දු කැසට් එක කරන්නේ’ එඩ්වඩ් කේමදාසයන්ගෙන් ඇසීය.   
‘මාස්ටර් අර කැසට් ව්‍යාපාරිකයාගේ නම කීය.
‘අනේ මාස්ටර්, මම එයාගේ වැඩවලට සම්බන්ධ වෙන්න කැමැති නෑ. මම හිතුවේ මාස්ටර්ගේ වැඩක් කියලා.’
ගීත දෙකේ සංගීතය සැපැයූ වාදක මණ්ඩලයේ සිටි පිරිස වැඩ අවසන් කොට පිටව යාමට සැරැසෙන විට මාස්ටර් එහි වයලීනය වාදනය කළ අමරසිරි පීරිස්ට මෙසේ කීය.   
‘අමරසිරි යන්න එපා. සින්දුවක් කියන්න තියෙනවා.’
‘මාස්ටර් මම සින්දු කියල නැහැනේ.’
‘එන්න එන්න අපි කියමු.’
සිද්ධාර්ථ හාමුදුරුවොත් එඩ්වඩ් බලා සිටියෝය.   
ළඳුනේ ගීතය ගැයීමෙන් අලුත් ගායකයෙක් බිහිවිය. ඔහු අමරසිරි පීරිස්ය.   


එඩ්වඩ් නිර්මාණය කළ කැසට්පට හා සංයුක්ත තැටි අලෙවි වාර්තා තබා ඇත. ඔහු රංගනයෙන්, ගීත ගායනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය ද වෙති. ඔහුගේ චිත්‍රපටවලට හා ටෙලිනාට්‍යවලට ගායනය සඳහා සම්මාන ලැබී ඇත. මේවා ලේඛනගත කළොත් මුළු පිටුව ලියන්න වන්නේ ඒ ගැන පමණි. විදේශවලදී ඔහු ගී ගැයූ වාර අනන්තය, අප්‍රමාණය.   


1991 වසරේ චරිතා ප්‍රියදර්ශනී පීරිස් සමග යුග දිවියට ඇතුළත් වූ එඩ්වඩ්ට, චන්දීප ශාරානාත් සහ ශාරණ්‍යා රසෝදි නමින් පුතකු හා දුවක් ද සිටියි. පුතා ද ගායකයෙකි.   
නිතර කට පුරා ප්‍රියංකර සිනා රැල්ලකින් යුතු එඩ්වඩ් සිටින තැන පාළු නැත. මිතුරන් අතරේ විනෝදකාමියා ඔහුය. සැබැවින්ම ඔහු සුන්දර මිනිසෙකි.   

 


ඒ.ඩී. රන්ජිත් කුමාර