අකුරල වෙරළේ රෑන පඳුරු අස්සේ පෙම් ලෝකය


 

අකුරල හා කහව වෙරළේ ගල්වැටි හා රෑන පඳුරු අතරේ මැවී නොපෙනී යන ප්‍රේම ජවනිකා සුන්දර මෙන්ම අසුන්දර කථා බොහෝය. සුනාමියෙන් පාළුවට ගිය පසු අකුරල කහව සුන්දර වෙරළ තීරය අසුන්දරවූ බව අවට ප්‍රදේශවාසීහු කියති.   
කහව-අකුරල අහසේ මුදුන් වී ඇති කළුවලා මෙන්ම විටින් විට හමායන සිහින් සුළං රැළි නිසා හිරිගඩු පිපෙන තරමේ සීතලක් දැනේ. සැන්දෑ අහස මෙන්ම අවට පරිසරයද අඳුරේ ගිලීයාමට ඇත්තේ හෝරාවකටත් අඩු කාලයකි.  

 

වියරුව ගොඩබිමට පැනීමට පොරබදන වාරකන් මුහුද මම බැලුවෙමි. ගිනියම්ව රත් පැහැගැන්ව මුහුදට කඩා වැටීමට බලා සිටින හිරුගේ සේයාවක් පවා නැත. නිල්කැටයක් බඳු මහා සයුරද අනෝරා වැස්සට සේදී ආ ගංවතුර ජලකඳෙන් මඩ පැහැගැන්වී අඳුරුව ගොසිනි.  

 
වෙනදා වෙරළට ආ සැබැ පෙම්වතුන්ට සිහිල් සෙවණ දෙමින් රැකවරණ දුන් රෑන පඳුරුද කෝපවී ගැලවී ඉගිලීයාමට වැර දරති. දෙපසට පැද්දෙයි. මෙතෙක් කල් රහස් රැකි ගල්පර - රෑන පඳුරු මෙන්ම මහා සයුරද තම දෑස් ඉදිරියේ සිදුවන නූහුලන අපරාධ දැක තවත් ඉවසාගත නොහැකි තරමට කෝපවී වියරුවෙන් මෙන් හැසිරෙයි. තවත් සුළු මොහොතක් මෙහි සිටිය යුතු යැයි මට සිතේ....   
වැහිබීරුම අතරේ කහව හංදියෙන් අඳුරේම මතුවුණු ඡායාවක් මා දෙසට එනු පෙනේ. පොදවැස්ස මෙන්ම වියරුව දඟලන සයුරෙන් එන තද සුළඟ දරාගත නොහැකි සෙයකි. මුළු පරිසරයම අඳුරු මූසල ගුප්ත බවකින් වෙළී තිබේ.


 “මහත්තයා දන්නවද ... ඇහැට කනට පේන ලස්සන කෙල්ලන් විතරක් නෙවි සමහර මදාවියන් වයස බලන්නෙත් නැහැ. අවුරුදු ගාණකට කලින් ආච්චි කෙනකුත් ඔය රෑන පඳුරු අස්සට ඇදලා ගත්තා. දැන් නම් මේවා ගොඩාක් අඩුයි. ඒ වුණාට පිටින් එන එවුන් ගමම විනාශ කරනවා” අඳුරෙන් මතුව ආ ගම්වැසියකු කීවේ කෝපයෙනි. සංවේගයෙනි.   


ඉස්සර මේවට ඉඩ ලැබුණේ නැහැ. පාර අයිනේ ගෙවල් තිබුණා. වැදගත් මිනිස්සු මෙහේ ජීවත්වුණා. සුනාමියෙන් පස්සේ තමයි මේ ඔක්කොම හොයන්න බලන්න කවුරුත් නැහැ. කවුරුත් ඕවට කථා කරන්නෙත් නැහැ. අනික ඔය දේවල්වල පැටලෙන්න වෙලාවකුත් නැහැ.   


“කවුරු එනවද මොනව කරනවද දන්නේ නැහැ. මරලා ගියත් දන්නේ නැහැ. එක දවසක් ත්‍රීවීල් එකක් උදේ ඉඳලා හවස් වෙනකම්ම නතර කරලා තිබුණා. ඒක ඇතුළෙ කවුද හිටියෙ කියලා දැක්කේ නැහැ. මොකද කළුරෙදි දාලා වහගෙන හිටියේ. එදා හවස මරු වැඩක් වුණා. හොඳටම වැස්සා. කොල්ලො හතර පස් දෙනෙක් මහ වැස්සේම ත්‍රීවිල් එක ඇතුළට එබි එබී බැලුවේ හරියට මැජික් බලනවා වගේ” යැයි ප්‍රදේශවාසියකු මා සමඟ කීවේ වසර කිහිපයකට පෙර සිදුවූ සිද්ධියක් ගෙනහැරපාමිනි.   


‘ඇටෙන් පොත්තෙන් එළියට ආපු ගමන් සමහර කොල්ලො කෙල්ලො වැල්ලට ඇවිත් හැසිරෙන්නෙ හෙට ලෝක විනාශය වෙනවා කියලා හිතාගෙන’   


සමහර අය ලැජ්ජාවට කුඩවලින් මූණ වහගන්නවා. රෑන පඳුරකට ගල්වැටියකට මුවාවෙනවා. ඒත් සමහර අයට ගාණක්වත් නැහැ.   
සමහර අය එන්නේ වැල්ල පාගලා විනෝදවෙලා නිදහසේ ටිකක් කථාබහ කරලා යන්නද? නැහැ. පිස්සුද මෙයාලා අබිං කාලා මත්වෙලා වගේ පිස්සුවෙන් නටන්නේ නිදන කාමරේ කියලා හිතාගෙන.   


අර ගාලු පාර අයිනේ ගොඩගම හෝටලය ළඟ වගේ රෑන පඳුරු සුද්ද කරලා ලස්සනට හදලා වාඩිවෙන්න බංකු ද​ානව නම් ඔය වගේ වනචර විදියට හැසිරෙන්න බැහැ. තවත් අයකු කීවේ විසඳුමකට යෝජනාවක් ගෙන එමිනි. ගොම්මන් කළුවරේම මම එතනින් පිටව ආවෙමි.   


ඉකුත් සතියේ ඉරිදා ලංකාදීපයේ රසවිත පිටුවට කහව-අකුරල දී මට මුණගැසුණු පාරමී ගැන ලියූ කථාව ඔබගේ මතකයේ ඇතැයි මම සිතමි. “ආදරය නිසා පිරිමි සංහතියම එපාවූ ගෑනු ළමයි” යන ශිර්ෂය යටතේ පාරමී කියූ කථාව එහි ලියා තිබුණි.  

 
එම ලිපිය කියවූ පාඨකයකුගෙන් මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි. ඒ ඉකුත් සෙනසුරාදා පස්වරුවේය.   


“හැමෝම පිරිමි එහෙම නැහැ. රත්තරං වගේ හොඳ හදවත් තියන අයත් ඉන්නවා. විශ්වාස කරනවද ඔයා අදටත් මම ආදරය කරන්නේ කුඩ්ඩෙක් කියලා සමාජයම පැත්තකින් දාපු කොල්ලෙකුට. ඇයි ඒ වගේ අය ගැන ඔයාලා ලියන්නේ නැත්තේ. එයා අද ජීවතුන් අතර නැහැ. ඒත් මට ලස්සනට ඇත්තටම ආදරය කළා.” යැයි ඇය කීවේ හැඟුම්බර වෙමිනි.   


“අපි දෙන්න හැම වීක්එන්ඩ් එකකම අපිව මුණගස්සපු ඒ ආදර වෙරළට නොවරදවාම එනවා. එයා මැරිලා දැන් අවුරුද්දක්. එයාගේ උපන් දිනේ හෙට. ඔයාට පුළුවන් නම් මාව එතනදී මුණගැහෙන්න යැයි ළයාන්විතව ඉල්ලා සිටියාය.   


සති අන්ත ඉරිදා උදෑසන මා ඉඳුරුව, කයිකාවල වෙරළට ගියේ පෙරදිනයේ මට මා සමඟ කථා බහ කළ ඇය මුණගැසීමේ බලාපොරොත්තුවෙනි.   


දින ගණනක් එක දිගට කඩා වැටුණු මහා වර්ෂාව හා ගංවතුර නිසා වෙනදා තරම් පිරිසක් ඉඳුරුව, කයිකාවල මුහුදට පැමිණ නැත. මුහුදු රළද දත් විළිස්සාගත් රකුසකු මෙන් වියරු වැටී ගොඩබිම දෙස බලා සිටින්නේ කොයි මොහොතක හෝ කවුරුන් හෝ බිල්ලට ගැනීමේ අටියෙන් යැයි මට සිතේ.   


ටික දුරක් ඇවිද ගිය මට ගාලුපාර හා වෙරළ මැද පිහිටි සුවපහසු ඉසව්වක නතරව අනන්තයක් නොපෙනෙන සයුර දෙස අවධානයෙන් සිටි යුවතියක් ආසන්නයට ගොස් ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තේ හරියටම මා මුණගැසීමට පැමිණි ඇය දැයි නිවැරැදිව දැන ගැනීමේ අටියෙනි.   


ඇයගේ ජංගම දුරකථනය කීප වරක්ම නාද විය. කුඩා බෑගයේ තිබූ එය අතට ගත් ඇය අවට සිසාරා බැලුවාය.   


“ඔයා නේද රසවිතට ලියන්නේ?” කියූ ඇය මට අතට අතදී දැන හැඳින ගත්තේ කලක සිට දැන හැඳිනගත් අයකු ලෙසිනි.   


ඇය විසි හැවිරිදි යුවතියකි. ඇයට අපි පැහැසරා කියා හඳුන්වමු. පැහැසරා ටිකක් දඟකාර මෙන්ම විසේකාර යුවතියක් යැයි විටෙක මට සිතේ. ඒ ඇයගේ හැසිරීම අනුවය.   


ආගිය තොරතුරු බිඳක් කථා කළ පැහැසරා මොහොතක සමාධිගත වූයේ පෙහෙවස් සමාදන්වූ උවැසියක ලෙසිනි.   


“ඔයා දන්න තැනක් තියනවද මැරුන අය ගෙන්නල කථා කරන” “ඇයි එහෙම අහන්නේ” මම පෙරළා ඇයගෙන් ඇසුවෙමි. “නැහැ, එයාගේ අම්මා කිව්වා එහෙම කථාවක්. මට ඒක ඇත්තද කියලයි දැනගන්න ඕන.” පැහැසරා කීවේ ඇයගේ කථාවට අාරම්භයක්​ දෙමිනි.   


එයා මැරුනෙ කවදද මම ඇගෙන් ඇසුවෙමි. ගිය අවුරුද්දේ යාළුවෙක් එක්ක නාන්න ගිහින් තමයි එයා මැරුනේ.   


ගමේ හැමෝම එයාට කිව්ව කුඩ්ඩෙක් ගංජ කාරයෙක් කියලා. ඒත් එයාට එහෙම වෙන්නත් හේතු තියනවා. අන්තිමට එයා මැරුණම මිනිස්සු කිව්වේ මොනාහරි බීලා ඉන්න ඇති කියලා. එයාව ගිලුණේ හවස. ඊළඟ දවසේ හවස මිනිය ගොඩගත්තා. මට ගෙදරින් බලන්න යන්න දුන්නේ නැහැ. මම එයාගේ මළගෙදර ගියේ ගෙදරට හොරා. දැන් මට ජීවිතේ මොනවා වුණත් කිසි දුකක් දැනෙන්නේ නැහැ. මොකද මම මගේ ඇස් දෙකෙන් මම මුළු ජීවිතයම කැප කරපු කෙනාගේ ජීවිතයට වෙච්ච දේ දැක්කා. දැන් කිසි දුකක් මට දැනෙන්නේ නැහැ. කෙල්ලෙක් විදියට විඳවන්න පුළුවන් දරුණුම දුක මම එදා අත්වින්දා. මගේ ඇස් දෙකින් ඒවා දකින්න තරම් මම පව් කරලා. මම කාට මොනව කිව්වත් හයියෙන් කෑ ගහලා ඇඬුවත් මගේ ආදරයට පණ ගන්න ආපහු බැහැ. දුක හිතෙද්දි තුරුලුවෙලා අඬන්න එයා නැහැ කියලා දැනෙද්දී එයාව පොළොවට ටික ටික පස්වෙලා ඇති කියලා හිතෙද්දි දැනෙන දුක දෙවියනේ.

ඒ දුක වෙන කාටවත් දැනෙන්න එපා. ඒක දරාගන්න අමාරුයි   
අපි ඕ​ ලෙවල් ඉවරවෙලා ගෙදර ඉන්න කාලේ මීට් වුණේ. එයාගේ නම චානක. එයා ගොඩක් ​ෙෆ්මස් කෙනෙක්. හොඳ දේවල්වලට නම් නෙවි. කුඩ්ඩෙක්, ගංජාකාරයෙක් කියලා පේමස්. එයා මට මුලින්ම එයාගේ නම කියලා තිබ්බේ සඳුන් කියලා. එයාගේ නම දැන ගත්තම මම එයාව අත්අරියි කියලා බයට. කොහොම හරි ඇත්ත දැනගත්තේ මාස පහ හයකට පස්සේ. එයාට එයාගේ අම්ම තාත්තගේ ආදරය හරියට ලැබුණ කෙනෙක් නෙවි. අම්මා ජොබ් එකට යනවා. තාත්තට ගමේ වෙන කෙනෙක් එක්ක පොඩි කේස් එකක් තිබුණා. ඒ දේවල් නිසා එයා විඳෙව්වා. සමාජයෙන් ලැජ්ජා වුණා. ගොඩක් දුක් වින්ද කෙනෙක්. ඒත් මම එයාගෙන් ඒ ආදරේ ලබන්න තරම් පින්කරලා තිබ්බා. කෙල්ලෝ රවට්ටා රවට්ටා යන කොල්ලෝ අතර එයා මාව තාත්තා කෙනෙක් වගේ ආරක්ෂා කළා. කිසිම අවුලක් නැහැ. අපිට ඕන තරම් නිදහස තිබ්බා. ඒත් එයා මාව ආරක්ෂා කළා. අපි දෙන්න හැමදාම කළේ රණ්ඩුවෙන එකයි, ගහගන්න එකයි හැංගෙන එකයි. ආපහු මොනවා හරිම කියලා යාළු කරගන්න එක තමා. ඒ අතින් මම එයාට රෙස්පෙක්ට් කරනවා ගොඩාක්. එයා මට ප්ලේස් කළෙත් මම ඉන්න විදියට මගේ බැග්ග්‍රවුන්ඩ් එකට. ඒ නිසා තමා අපිට වෙන් වෙන්න වුණේ. ඒකයි මම එයාට ගරු කරන්නේ. මොකද මිනිස්සු එයාට කුඩ්ඩෙක් ගංජාකාරයෙක් කිව්වට. ඒ හැම මනුෂ්‍යයකුටම වඩා හොඳ උසස් සිතුවිලි එයාට තිබුණා යි මට පැහැසරා කීවේ දිගු හුස්මක් අරගනිමිනි.   


“ඔයා පොලිසියෙන් නෙවි නේද”  


“ඇයි එහෙම අහන්නේ”  


“නැහැ මට බය හිතුණා. ඔයා ප්‍රශ්න අහන විදියට.” පැහැසරා කීවේ සිනාසෙමිනි.  


“ කාගේ හරි බයික් එකක හරි බස් එකේ කෝච්චියේ නැගලා හරි අපි සෙනසුරාදා ඉරිදා දවසක නොවරදවාම ඉඳුරුව, කයිකාවල මේ ලස්සන වැල්ලට ආවා. අපි දෙන්න කුරුලු ජෝඩුවක් වගේ නිදහසේ ගත කළා උදේ ඉඳලා හවස් වනතුරු. හැබැයි කිසිම දවසක චානක වැරැදි විදියට මාව පාවිච්චි කරල නැහැ. එයා කුඩ්ඩෙක් ගංජාකාරයෙක් වුණත් දෙවියෙක්. ලස්සන හදවතක් තිබුණ කොල්ලෙක්. ඒ වගේ හොඳ අයට ආයුෂ අඩුයි. එයා ඇඳපු ඇඳුම් කීපයක් මගේ කබඩ් එකේ තියනවා. සමහර දවස්වලට ඒ ආදරේ එළියට අරගෙන සුවඳ බලනවා විඳිනවා.  


අම්බලන්ගොඩ
හේමන්ත ද සිල්වා