අංගොඩ ලොක්කාගේ දෙවැනියා එස්.ටී.එෆ්. අත්අඩංගුවේ


අවිගත් දඩබ්ම

එස්.ටී.එෆ්. පාතාල මෙහෙයුම

අංගොඩ කේන්ද්‍ර කරගනිමින් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වල නිරතව සිට දැනට රටින් පලාගොස් සැඟව සිටින ප‍්‍රබල පාතාල සාමාජිකයකු වන අංගොඩ ලොක්කා නමැත්තා මෙරට සිදුකරන අපරාධවල නිරතව සිටි ප‍්‍රධානතම ගෝලයා වන ‘පෙතියාගොඩ සංඛ’ 4දා රාත්‍රියේ බලන්ගොඩ, පින්නවල, කනකිරියන්වල ප‍්‍රදේශයේ තේ වත්තක වාඩියක සැඟව සිටියදී විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන මෙහෙයුම් දැලට 
කොටු විය.  

 
එම අවස්ථාවේ එහි සිටි ‘පෙතියාගොඩ’ සංඛගේ බාප්පා සහ අපරාධවලට සම්බන්ධ තවත් අයකු වන මාකදුරේ මධුෂ්ගේ ගෝලයකු සහ තිස්සමහාරාම පදිංචිකරුවකු වන ජොනී නමැත්තාද භට පිරිස් විසින් අත්අඩංගුවට ගැනිණ.   


බස්නාහිර ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එළා තිබූ විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන මෙහෙයුම් දැලින් බේරීම සඳහා අංගොඩ සිට බළංගොඩ පින්නවලට පැනවිත් එහි වාඩියක සැඟව සිටියදී විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ගේ උකුසු ඇසින් බේරීමට මොවුන්ට නොහැකි විය.   


පෙතියාගොඩ සංඛ හිඹුටාන, පෙතියාගොඩ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි.   


මොහු අංගොඩ පදිංචිකරුවකු බැවින් එම ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අපරාධ 


ක්‍රියාවන්හි නිරත අංගොඩ ලොක්කාගේ ගෝලයකු වශයෙන් කාලයක සිට මොහු කටයුතු කළේය.   


අංගොඩ ලොක්කා දෙන කොන්ත‍්‍රාත් අකුරටම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මොහුට අංගොඩ ලොක්කාගේ විශ්වසනීය ගෝලයකු බවට පත්වීමට වැඩි කල් ගත වූයේ නැත.   


අංගොඩ ලොක්කා රටින් පැන ගියද මොවුන්ගේ සම්බන්ධකම් දුරස් වුණේ නැත. පසුව අංගොඩ ලොක්කා මාර්ගයෙන් පෙතියාගොඩ සංඛට මාකදුරේ මධුෂ් ගේ ද සිත දිනා ගන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.   
විශේෂ කාර්ය බළකාය සඳහන් කරන ආකාරයට හෙළිවූයේ මාකදුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා විසින් සිදුකරන මත්කුඩු ජාවාරම්, කේරළ ගංජා ජාවාරම්, පස් ජාවාරම්, කප්පම් ගැනීම්, උන්ඩියල් ක‍්‍රමයට කරන මුදල් ජාවාරම්, කොන්ත‍්‍රාත් ඝාතනය, ඝාතනවලට අවශ්‍ය ආයුධ සහ පිරිස් සැපයීම, ඇතුළු සියලු අපරාධ මෙරට සිට සිදුකරන්නේ පෙතියාගොඩ සංඛ හරහා බවයි.   


පසුගිය වසර කිහිපයක තුළ කොළඹ කේන්ද්‍ර කරගනිමින් සිදුවූ බිහිසුණු ඝාතන රැසකම සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.   


ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමේදී එම ඝාතනය සියල්ල අංගොඩ ලොක්කාගේ සහ මධුෂ්ගේ නියෝග අනුව සිදුකර ඇති බවට තොරතුරු හෙළිව ඇත.   


තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමේ දී මේවා බොහොමයකටම පෙතියාගොඩ සංඛගේ සම්බන්ධය ඇති බවට තොරතුරු හෙළි විය.   


සංඛ ඒ වනවිටත් අංගොඩ ප‍්‍රදේශයට ආයුබෝවන් කියා මාස 6 ට අධික කාලයක් ඉක්මව ගොස් තිබුණි.   


අතුරුදන්ව සිටින සංඛ සෙවීමට විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එම්.ආර්. ලතීෆ් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගෙන් අවශ්‍ය උපදෙස් නිලධාරීන් වෙත ලැබිණි.   


එම උපදෙස් මත පෙතියාගොඩ සංඛ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය.   


මෙහිදී විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ බුද්ධි නිලධාරීන් වෙත සංඛ පිළිබඳ තොරතුරක් ලැබුණි. එනම් ඔහු බළංගොඩ පින්නවල ප‍්‍රදේශයේ තේ වත්තක සැඟව සිටින බවටයි.   


වහාම බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් බළංගොඩ පින්නවල ප‍්‍රදේශයට ගියහ. එම තොරතුරු තහවුරු කරගැනීමට සතියක පමණ කාලයක් එම ප‍්‍රදේශයේ ගවේෂණ රාජකාරියේ නිරත වීමට ඔවුන්ට සිදු විය.   


මෙහිදී පෙතියාගොඩ සංඛ බලන්ගොඩ, පින්නවල, කනකිරියන්වල ප‍්‍රදේශයේ තේ වත්තක වාඩියක සැඟව සිටින බවට තහවුරු කර ගැනීමට නිලධාරීහු සමත් වූහ. මෙහෙයුමට සියල්ල සුදානම් විය. කනකිරියන්වල තේ වත්තේ කටුමැටි ගැසූ වාඩියක සංඛ සිටින බවට ලැබුණු තොරතුරු සනාථ විය.   


ඒ අනුව මෙහෙයුම සඳහා පිඹුරුපත් සකස් කළ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ඒ වෙනුවෙන් නිලධාරීන් මෙහෙයවීය.   


අවුරුදු සිරියත් සමග ඉකුත් 11 දින බළංගොඩට රාත්‍රිය උදා විය. එම රාත්‍රිය සුන්දර මෙන්ම බියකරු එකක් විය. එම රාත්‍රියේ සංඛ වාඩියේ සිටින බවට කල්තියාම බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමට නිලධාරීහු සමත් වූහ. නිලධාරීහු රාත්‍රියේම ඝන අඳු​ෙර් කිසිවකුටත් පැනගත නොහැකි වෙන පරිදි සෙමින් සෙමින් තේ වත්ත වටකළහ.   


නිලධාරීන් පිරිස මුළු තේ වත්තම වටලා තිබුණ ද සංඛ ඒ බව දැන සිටියේ නැත. එම මොහොතේ ඔහු සගයන් හා පදමට මීවිත තොල ගාමින් සිටියේය. මෙම වාඩියේ පිටවීමට ඇත්තේ එක දොරක් බවට නිලධාරීන්ට නිරීක්ෂණය විය. ඒ දොරින් කිසිවකුටත් පැනගත නොහැකි වන පරිදි සැමගේ දැඩි අවධානය ඒ වෙත යොමු කළහ.   


කෑලි කැපිය හැකි ගන අඳුරේ සෙමින් සෙමින් ඉදිරියට පැමිණි නිලධාරීහු වාඩිය වටකළහ. එම අවස්ථාවේ වාඩියේ සංඛ ඇතුළු තිදෙනෙක් සිටියහ. තමන් කොටුවූ බව නොදත් ඔවුහු මත් පැන් සාදයේ නිරත වෙමින් සිටියහ.   
යම් අවශ්‍යතාවක් සඳහා සංඛ සෙසු පිරිස සිටින ස්ථානයෙන් ඉවත් වී වාඩියෙන් පිටතට යාමට සුදානම් වූ අවස්ථාවේ දොර අසලදීම සංඛ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය. සෙසු සැකකරුවන් දෙදෙනා ද එම අවස්ථාවේදීම වාඩිය තුළ දී අත්අඩංගුවට පත්වූහ. නිලධාරීන්ගෙන් සංඛට කිසිදු බේරුමක් නොමැති බව ඔහු තේරුම් ගත්තේය.   


ප‍්‍රශ්න කිරීමේ දී ඔහු නොයෙක් බොරු ගොතා කීවද ඒ වනවිට තමන් අත්අඩංගුවට ගෙන සිටින්නේ පෙතියාගොඩ සංඛ නමැත්තා බවට නිලධාරීන් තහවුරු කරගෙන තිබුණි.   


“තමුන් කවුද? මෙහෙ මොනවද කරන්නේ?” 


සර්, මම කුමාර, මගේ ගම මාතර. මම යාළුවෙක් හම්බවෙන්න මේ වාඩියට ආවේ.” යැයි ඔහු ප‍්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ ඔහු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ කුඩා බෑගයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 30 යි, මිලි ග‍්‍රෑම් 200 ක ප‍්‍රමාණයක් තිබී හමුව ඇත. මොහු සිය අතේ තිබූ මෙම මත්කුඩු තොගය ඇණවුමක් අනුව පුද්ගලයකු වෙත ලබා දීම සඳහා පිටතට රැගෙන යාමට සුදානම් වූ අවස්ථාවේ සංඛ අත්අඩංගුවට පත් වී තිබුණි.   
අත්අඩංගුවට ගත් සංඛගේ බාප්පාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී ඔහු ද බොරු රැසක් ගොතා කීවද අවසානයේ ඔහුට ද ඇත්ත පිළිගන්නට සිදුවිය. ඒ අනුව නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ පෙතියාගොඩ සංඛ නමැත්තා තමා බවට ඔහු පිළිගත්තේය.   


පෙතියාගොඩ සංඛ මෙම ස්ථානයට පැමිණ ඇත්තේ සිය බාප්පාගේ උපකාරයෙනි. තැන තැන සැඟව සිටි ඔහු මෙම ස්ථානයට සැඟව සිටීමට පැමිණ ඇත්තේ සතියකට වැඩි කාලයක සිටය.   


විශේෂ කාර්ය බළකාය පවසන පරිදි මෙම කල්ලි විසින් අපරාධ සිදුකරන ක‍්‍රම කිහිපයක් ඇත. ඉන් එක් ක‍්‍රමයක් වන්නේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් අතර ඇති වන ගැටුම් මත සිදුකරන අපරාධ යි. කොන්ත‍්‍රාත් ක‍්‍රමයට අපරාධ කිරීම ඉන් තවත් ක‍්‍රමයකි, මිතුරන්ගේ ප‍්‍රශ්න තමන්ගේ ප‍්‍රශ්න කරගෙන මිතුරුකමට අපරාධ සිදුකිරීම ඉන් තවත් ක‍්‍රමයකි. මත්ද්‍රව්‍ය ජාලයේ බලය සියතට ගැනීම සඳහා තවත් පිරිසක් අපරාධ සිදුකරති,   


මෙම සිද්ධීන් මුල්කරගෙන පසුගිය කාලයේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් අපරාධ රැසක්ම සිදුවිය. 

 
මෙම අපරාධ සිදුකරන පුද්ගලයන් දෙස බැලීමේ දී මේවා බොහොමයක්ම අංගොඩ ලොක්කා සහ ලඩියා, කෙසෙල්වත්ත දිනුක, සමයං යන අයගේ අපරාධ කල්ලි සාමාජිකයින් විසින් සිදුකරන බවට පොලිස් පොත්වල සඳහන් වී තිබුණි.   


මෙම කල්ලි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් එළමින් තිබියදී අංගොඩ ලොක්කා, ලඩියා, හා කෙසෙල්වත්තේ දිනුක මෙරටින් ඉන්දියාවට ගොස් පසුව ඩුබායි රටට පලා ගියෝය. එහි දී දකුණ භීතියට පත්කරමින් සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් සමග ඔවුන් එක්වන අතර ඔවුහු හිතවතුන් වෙති.   


එම සැකකරුවන් මෙරටින් පලා ගියද ඔවුන් සියලු කොන්ත‍්‍රාත් ඔවුන්ගේ දැනුම් දීම මත ඉටුකරන්නේ මෙම පෙතියාගොඩ සංඛ විසිනි.   


තෙලවල ලියනගේ හර්ෂ චතුරංග නොහොත් පෙතියාගොඩ සංඛ අපරාධ රැසකට සම්බන්ධ වුවද, ඔහුට එරෙහිව විභාග වන්නේ අපරාධ තුනක් පිළිබඳ නඩු පමණි. ඒ අපරාධ තුන සම්බන්ධයෙන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. 2016 දී මුල්ලේරියාව පොලිස් වසම දී පස් ජාවාරමක් මුල්කරගෙන රංග නමැති පුද්ගලයකු ඝාතනය කිරීම එම වසරේම නීතීඥවරයකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීම, 2017 වසරේදී ඝාතනයක් සඳහා යමින් සිටියදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට පත්වීම.   


අපරාධ රැසකට සම්බන්ධ වුවද මොහුගේ ගෝලයන් ලවා ඒවා සිදුකරමින් මොහු පොලිස් ඇසට වැලි ගසා සැඟව සිටියේය.   


සමයං ගේ කල්ලි සාමාජිකයකු වන ඌරුජුවා යැයි සිතා තලංගම ප‍්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමෙන් ගෙහිමියා මියගොස් ගෙහිමි කාන්තාවට තුවාල සිදුවීම, අංගොඩ කොස්මල්ලි පැහැරගෙන ගොස් ඝාතනය කර ගෙළ කොටස අලුත්ක​ෙඩ් ප‍්‍රදේශයට ගෙනවිත් දැමීම, අතුරුගිරිය ප‍්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙඩි තබා ඝාතනය කිරීම, කොටහේනේ පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, කොරතොට පොඩි සුදා, හිඹුටානේ පොලී රොෂාන්, සහ ආමර් වීදියේ වාහනයක් තුළ දී ඇන්ටන් රාජ් නමැත්තා ඝාතනය කිරීම, මාලිගාවත්තේ නිප්පු නමැති අයගේ ඝාතනය ඇතුළු ඝාතන රැසක් අංගොඩ ලොක්කාගේ සහ මධුෂ්ගේ කල්ලිය විසින් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ ඝාතන රැසකට මොහු සම්බන්ධ බවටත් පොලිසිය සැකකරයි.   


සංඛ අත්අඩංගුවට පත් වීමත් සමග මෙම පාතාල නායකයන්ට විශාල අතුල් පහරක් එල්ල වී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. ඔවුන්ගේ ජාවාරම්වලට සමීපතමයකු, කීකරු ගෝලයකු අහිමි වීම ඔවුනට විශාල පාඩුවකි.   
අත්අඩංගුවට ගත් පෙතියාගොඩ සංඛ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සදහා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත බාර දී තිබුණි.   


විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත, බුද්ධි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන්, උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන කුමාර දිසානායක, යන මහත්වරුන් ප‍්‍රමුඛ කණ්ඩායමක් මෙම වටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.   

 

 


සටහන - ඉන්දිකා රාමනායක