අංකෙන්ද ශාකයේ ඖෂධීය ගුණ


ශ්‍රී ලංකා දේශීය වෙදකමෙහි එන, කැඩුම්, බිඳුම් ගෙඩි වණ ආදී චිකිත්සවන්හි යොදා ගනු ලබන ඖෂධ ශාක අතර ප්‍රධාන තැනක් හිමිවන ‘‘අංකෙන්ද’’ ශාකය මහඟු ඖෂධයෙකි ‘‘කාව්‍යශේඛරය, ගිරාසන්දේශය’’ වැනි ග්‍රන්ථයන්හි ‘‘අඹ ගෙළි’’ නමින් සඳහන් වන්නේද මේ ශාකයයි. මෙය ඈත අතීතයෙහි සිටම ප්‍රධාන ඖෂධයක් ලෙස භාවිත වූ බව ඉපැරැණි ඖෂධ වට්ටෝරුවලින් තහවුරු වෙයි.  

 

ලංකාවේ කඳු ප්‍රදේශ ඇතුළු අධික ශීත දේශගුණයෙන් තොර, සෑම පළාතකම වාගේ හොඳින් වැවේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1600 දක්වා තෙත් කලාපයට අයත් ප්‍රදේශවල අංකෙන්ද ශාකය සුලභය, මහනුවර, හුන්නස්ගිරිය, ගන්නෝරුව කන්ද, බලන්ගොඩ, පැල්මඩුල්ල, රත්නපුර, කෑගල්ල, ගම්පහ, දෙණියාය, අගලවත්ත ආදී ප්‍රදේශවල දී මේ ඖෂධ ශාකය හමුවේ.  


ශාකයේ හැඩ හුරුකම් - බෝඹු කොළ හා සමාන, පේර කොළමෙන්, බොකුටු කොළ ඇති, මොළොක් ගතියෙන් යුත් පොත්තක් සහිත කුඩා ශාකයක් වන අංකෙන්ද පැළයක් සාමාන්‍යයෙන් මීටර් 4 සිට 9 (අඩි 20 ක් 25 ක්) දක්වා උස්වේ. මේ ළපටි ශාක සිනිඳුය. සුළු වශයෙන් බුවක් සහිතය. කොළ සරලය. ඒවායෙහි නටු සෙ.මි 5 ක් පමණ දිගය. මේ කොළ හෙවත් පත්‍ර ඉලිප්සාකාර නැතහොත් අණඩාකාර ස්වරූපයක් ගනී.  


පත්‍ර මත තෙල් තැවරුවාක් මෙන් දිලිසෙන සුලුය. ඒවා තද හරිත පැහැයෙන් යුක්තය. අංකෙන්ද මල් ඉතාම ළා හරිත පාටට හුරු සුදු පැහැයක් ඇති. වතුසුද්ද මලකට සමානවේ. මේ මල් හට ගැනීම පෙබරවාරි - අප්‍රේල් අතර කාලයේ දී සිදුවේ. මල් කීපයක් එකට පොකුරු ලෙස සෑදේ. මෙහි ඵල ගෝලාකාරය. කඩල ඇටවලට සමානය. ශාකයේ ව්‍යාප්තිය බීජ මඟින් සිදුවේ. වර්ධක ප්‍රවාරණ ක්‍රමයෙන් ද අතු රිකිලි රෝපණය කළ හැක. අංකෙන්ද පත්‍ර අඟිලිවලින් පොඩිකරන විට මිහිරි අඹ සුවඳ වහනය වේ.  


ඖෂධ සඳහා අංකෙන්ද කොළ, පොතු, මුල් ආදී පංචාංගම අමුවෙන් ගන්නේය. මේවා අමුවෙන්ම ගැනීම මීට ආවේණික නියමය වුවත්. ශාකය සුලභ නොවන පළාත්වල කැඩුම් බිඳුම් වෙදකමට මෙහි ඇති අඹ සුවඳ වෙනස් නොවනසේ. වායු නිවාරක ක්‍රම අනුව තබා ගනු ලැබේ.  


අංකෙන්ද සඳහා භාවිත වන භාෂා කීපයක නාම:  


සිංහලෙන් - අංකෙන්ද, අඹ ගෙඳි, ලුනංගෙඳි, හඟුගෙදි  

සංස්කෘත භාෂාවෙන් - ආමුගන්ධක, අපකෝට, ගම්බාදක්, බෙන්තුවා  

ද්‍රවිඩ භාෂාවෙන් - මූත්තයිනාරී, කට්ටුකන්නි  

ඉංග්‍රීසි භාෂාවෙන් - Claw Flowered, Lautel, Laka Wood   

උද්භිද විද්‍යානාමය- Acronychia peduncu - late (L)   

කුලය - Rutaceac හෙවත් ‘ජම්බීර’ වෙයි   


මෙසේ හඳුන්වනු ලබන අංකෙන්ද ප්‍රභේද දෙකකින් යුක්තය ‘අංකෙන්ද’ ‘ලුණු අංකෙන් ද’’ යන මෙය දෙවර්ගයම ස්වරූපයෙන් සහ ගුණයෙන් එක සමාන වේ. අංකෙන්ද ගෙඩි ඉඳුණු විට කළු පාටය. ඉදුණු ‘ලුණු අංකෙන්ද’ ගෙඩි දුඹුරු - සුදු පැහැයෙන් යුක්තය. මෙහි ප්‍රභේදය ද ඒ ගෙඩිවල වර්ණයට පමණක් සීමාවේ. මේ අතර ‘තුන්පත් අංකෙන්ද’ නමින් ද වර්ගයක් දැක්වෙයි. එය බෙහෙවින්ම දුර්ලභ ශාකයකි.  


බො​හෝ සෙයින් චූර්ණ, තෛල, මැල්ලුම්, පත්තු ආදී බාහිර ප්‍රතිකාර සඳහා උපයෝගී වන අංකෙන් ද ශාකය අභ්‍යන්තර ප්‍රතිකාරවලට ගන්නේ කලාතුරකිනි.  


අංකෙන්දවල අඩංගු රසායනික උපාද‌ාන -   


පත්‍රවල සුවඳවත් වෘෂ්පශීලි පදාර්ථයක්ද, පොතුවල aeroves lone සහ bauerend නම් ස්විටිකමය සංයෝග දෙකක්ද මුලේ පොතුවල Acrovestone ද අන්තර්ගතය.  


ඖෂධීය ගුණ කර්ම -  


රසයෙන් - තිත්ත, කෂාය සහ අම්ල ද, ගුණයෙන් රූක්ෂ හා උෂ්ණ ද, වීර්යයෙන් - උෂ්ණ ද, විපාකයෙන් කටුක හා අම්ල ද වේ. වාත සහ සෙම් නශයි. මේ නිසා වාත සෙම් සහ රක්ත ජනිත රෝගවල දී යොදා ගැනේ. බාහිර වශයෙන්, කොළ සහ පොතු ශෝට් (ඉදිමුම්) හරය.  


අභ්‍යන්තරිකව සිදුවන ක්‍රියා - අංකෙන්ද වාතානුලෝමනයි. අන්තර් විදාර හරයි, රක්ත ගාමකයි. මේ ශාකාවෙන් බාහිර සහ අභ්‍යන්තර වශයෙන් මෙකී ක්‍රියා සිදුවන අතර කැඩුම්, බිඳුම්, තැලුම්, උලුක්කු, කෙටීම්, තුවාල, ගෙඩි, ආම වාත සන්ධි ඉදිමුම් ආදියේදී යොද‌ාගනු ලැබේ.  


බාහිරව සිදුවන ක්‍රියා - අභිඝාත හෝ තැල්මක් හෝ හේතුවෙන්. ඇති වූ තුවාල ඉදිමුම් ආදියේදී අංකෙන්ද කොළ, පොතු සමභාගව අමුකහ සහ ලුණු ස්වල්පව ලා කොටා මලවා බැඳීමෙන් තැල්ම නිසා කැටි වූ රක්තය විසිරේ. කටුවක් හෝ උලක් හෝ ඇඟට ඇනී කෑලි කැඩී ඇතුළු වී කලක් ගත වී එතැන වේදනාකාරී ගෙඩියක් (අන්තඃශල්‍යයක්) ඇති වූ විට. එය තිරාහරණයට ඉහතින් කී මැල්ලුම බැඳීමෙන් ගෙඩිය පිපිරී, ඒ තුළ වූ ශල්‍ය පිටවේ.  
අංකෙන්ද කොළ හොදාකාරව කොටා, වතුර ටිකක් දමා මිරිකා යුෂ ගෙන ඊට ලුණු ස්වල්පයක් දමා පත්තු පදමට කකාරා ගත් ආපේයද ඉහත කී අවස්ථාවට ද, අද බහුලව වශයෙන් ජනතාවට පීඩා දෙන ආම වාත සන්දි ඉදිමුමට ගුණ ​ෙදයි.  


කැඩුම් බිඳුම් හා බරපතළ තැලුම්වලදී අංකෙන්ද කොළ කැඳ පිස දීම අබභන්තරිකව ඉතාම ප්‍රශස්ත ප්‍රතිකාරයෙකි.  


දේශීය භග්න චිකිත්සාවේදී වැටි ගැටී ඇද වූ අස්ථි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා පළමු කොටම අංකෙන්ද අඩංගු මැල්ලුම් පත්තු උපයෝගී කර ගනු ලැබේ.  


ගඩු ඉහිරීමට: අංකෙන්ද කොළ පොතු කැප්පෙටිය කොළ, පොතු, පොඩි අරිසි කොළ, යක්බේරිය කොළ සමව ගෙන කහ - ලුණු ලා කොටා මලවා ගඩු පිට තබා බැඳීමෙන් ගුණ වේ.  


සියලු ගෙඩිවලට මහා විෂාදී තෛලය -  


අංකෙන්ද කොළ, පොතු, පොඩි අරිසි කොළ, දුම්මෑල්ල කොළ, දියසියඹලා කොළ, කැකුණ කොළ, පොතු, කැප්පෙටිය පොතු, එළබිං කඹුරු කොළ, වේලා කොළ, වදකහ, මදටිය කොළ, දියහබරල කොළ, එළවෙල්ලංගිරිය කොළ, පොතු, අවරිය කොළ, වැල්කැප්පෙටියා කොළ - පොතු, රම්මාතිස්ස කොළ සව්කෙන්ද අල යන මේවායේ යුෂ ද, මදුකිරිද ගෙන තලතෙල් එඬරුතෙල්, මීතෙල්. එළඟිතෙල්. කොහොඹ තෙල්. නැළිය බැගින් ඊට එක්කර කල්කයට මී ඉටි, බඹර ඉටි, හොරවල, කැකුන මල, පරණ කොහොල්ලෑ, දුම්මල, ගලිස්. තිරිවානා ගල් කුඩු, ගල්මද, ගල්නහර සන්නිනායම්. සාදික්කා, දෙදුරු සුදුලුණු, පෙරුම්කායම් කලං 3 බැගින් අඹරා තෙලට යොදා විදි ලෙස, පදමට සිඳුවා, දියට බා නිවා පෙරා තබා භාවිතයට ගන්නේය. මෙයින් සියලු විසාදි (ගෙඩි) බන්ධන ගුණවේ. (ඉපැරණි වට්ටෝරුවකි)   


ළමා ගල්රතට: තිරිවාන පුලුස්සා කුඩුකර, ඒ පමණටම හීනටි හාල් පිටිගෙන අංකෙන්ද පොතු යුෂින් අඹරා කබලු පිස එම යුෂින්ම කකාරා අඹරා ගල්රත මත ගානු. ගුණවේ (ඉපැරැණි වට්ටෝරු පොතකිනි)  


කඳ ඇතුළේ එන ගෙඩිවලට - අංකෙන්ද පොතු, තරණ පොතු, කැප්පෙටියා පොතු, මුරංගා පොතු, හපු පොතු, හම්පිල පොතු, පාවට්ටාමුල්, තිත්ත මුල්, හාතාවාරිය අල සහ කොළ, යකුවනස්ස, යක්බේරිය, වැල්කැප්පෙටියා කොළ, පොතුඑම මුල්, කොහොඹ පොතු මුල්. වෙල්ලංගිරිය පොතු, මීපොතු මෙකී බෙහෙත් කොටා මිරිකා, පොල්කිරි එක්ව, දෙදුරු. අසමෝද, තිප්පිලි, කරාබු, වසාවැසි, සාදික්කා, පෙරුම්කායම්, ඉඟුරු, ගම්මිරිස්, අබ, තිපල් යන මේ සරක්කු සිනිඳුවට කල්කර තෙලට බහා විධි​ෙස් තෙල් පිස බා පෙර තබා, සියලු විසාදියට ආලේප කරති. කඳ ඇතුලේ විසාදියට බොන්නට දෙති. (සපරගමුවේ පුරාණ වට්ටොරුවකි)  


මෙසේ අංකෙන්ද ශාකය ඇසුරුකර සංස්කරණය කරන ඖෂධ යෝග රාශියක් දේශීය චිකිත්සාවෙහි සඳහන්වෙයි. මීරා හෙවත් තෙලිජ්ජවල පැසීම වළක්වා ගන්නට හල්පොතු නැතිවිට, ඒ වෙනුවට අංකෙන්ද කොළ - පොතු යොද‌ා ගන්නේය. ගෙවත්ත අලංකාර කරන ශාකයක් වශයෙන්ද මෙය වගාකළ හැකිය.  

 

 

 

 

 


වෛද්‍ය ජයසේන දහනායක