Face book යටත් කර ගන්නේ මෙහෙමයි...


 

දවස පුරාම Facebook එකේ හිටියත් බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි “කොහොමද කමෙන්ට් එකක්, පෝස්ට් එකක් හෝ වෙනත් කොටසක් ඉවත් කරගන්නේද?” කියන එක. එනිසා දැනුම අවශ්‍ය සැමට එම කටයුතු කර ගන්නා ආකාරය පිළිබඳ මාර්ගෝපදේශනයක් ලෙස මෙම තොරතුරු භාවිත කළ හැක. 


ප්‍රොෆයිල් පික්චර් ඉවත් කිරීම. 


ප්‍රොෆයිල් පික්චර් ඉවත් කිරීමට නම් එය මත ක්ලික් කරන්න. එවිට එය විවෘත වන අතර පහළින් ඇති Options මෙනු එක ක්ලික් කර Delete this photo යන්න ක්ලික් කළ යුතුය. මෙවිට ෆොටෝ එක මැකිය යුතු දැයි විමසන මැසේජ් බොක්ස් එකක් ලැබෙයි. දැන් එතුළින් ෆොටෝ එක මැකීම තහවුරු කළ විට එය මැකීයයි. 


කලින් යොදා ඇති ප්‍රොෆයිල් පික්චර් එකක් photos තුළින්ද මැකිය හැක. මේ සඳහා ගිණුමේ ඉහලින් ඇති photos යන්න තෝරා ගත් විට ලැබෙන පිටුවෙන් Albums යන්න තෝරා දිය යුතුය. දැන් එතුළ ඇති Profile Pictures ඇල්බම් එක තෝරා ගත්විට යොදා ඇති ප්‍රොෆයිල් පික්චර් සියල්ල පෙන්වයි. දැන් ඒ තුළින් මැකීමට අවශ්‍ය ප්‍රොෆයිල් පික්චර් එකෙහි ඉහළින් ඇති Edit or Remove බට්න් එක මත ක්ලික් කළ යුතුය. එවිට ලැබෙන මෙනු එකෙන් Delete this photo යන්න ක්ලික් කළ යුතුය. මෙවිට අදාළ ෆොටෝ එක මැකිය යුතුදැයි විමසන මැසේජ් බොක්ස් එක ලැබෙයි. එතුළින් තහවුරු කළ විට එය මැකීයයි. මෙලෙසම වෙනත් ඕනෑම ෆොටෝ එකක් මකා දැමිය හැක. 


පෝස්ට් එකක් සැඟවීම. 


තමන්ගේ ෆේස්බුක් ගිණුමට පිවිසෙන වෙනත් අයට පෙනෙන්නේ ටයිම් ලයින් එකයි. ඒ තුළ ඇති පෝස්ට් එකක් මකා නොදමා වුවත් ටයිම් ලයින් එකෙන් පමණක් ඉවත් කර තැබිය හැක. එය කරනු පිණිස පෝස්ට් එකෙහි ඉහළ දකුණු පසින් ඇති මෙනු අයිකන් එක මත ක්ලික් කළ විට ලැබෙන මෙනු එකෙන් Hide from timeline යන්න ක්ලික් කළ යුතුය. 


පෝස්ට් එකක් මැකීම. 


පෝස්ට් එකක් මැකිය යුත්තේ නම් එම පෝස්ට් එකෙහි ඉහළ දකුණු පසින් ඇති මෙනු අයිකන් එක මත ක්ලික් කළ විට ලැබෙන මෙනු එකෙන් Delete යන්න ක්ලික් කළ යුතුය. මෙවිට එම කමෙන්ට් එක මැකිය යුතුදැයි විමසන මැසේජ් බොක්ස් එකක් ලැබෙන අතර එතුළින් කමෙන්ට් එක මැකීමද තහවුරු කළ පසු එය මැකීයයි. 


කමෙන්ට් මැකීම. 


කමෙන්ට් එකක් මැකීම සඳහා එම කමෙන්ට් එකෙහි දකුණු පසින් ඇති Edit or Delete this බට්න් එක මත ක්ලික් කළ විට ලැබෙන මෙනු එකෙන් Delete යන්න ක්ලික් කළ යුතුය. මෙවිට අදාළ කමෙන්ට් එක මැකිය යුතුදැයි විමසා මැසේජ් බොක්ස් එකක් ලැබෙයි. දැන් එතුළින් කමෙන්ට් එක මැකීම තහවුරු කිරීමෙන් පසුව එය මැකී යයි. මෙසේ තමන්ගේ පෝස්ට් එකක් සඳහා වෙනත් අයෙක් දමා ඇති කමෙන්ට් එකක් වුවද මැකිය හැක. එහිදී කමෙන්ට් එකෙහි දකුණු පසින් ඇති Remove බට්න් එක මත ක්ලික් කළ යුතුය. 


නොටිෆිකේෂන් නැවැත්වීම. 


තමන් ෆේස්බුක් වෙත ඇතුළු කළ පෝස්ට් එකක හෝ තමන් විසින් කමෙන්ට් කර ඇති පෝස්ට් එකක හෝ නොටිෆිකේෂන් පෙන්වනු ලබයි. ඒ අනුව අදාළ පෝස්ට් එකට වෙනත් අය යොදන ලයික් සහ කමෙන්ට් පිළිබඳව නොටිෆිකේෂන් ලබාදෙයි. මේවා නැවැත්විය යුත්තේ නම් එම පෝස්ට් එකෙහි ඉහළ දකුණු පසින් ඇති මෙනු අයිකන් එක මත ක්ලික් කළ විට ලැබෙන මෙනු එකෙන් Turn off notification this post යන්න ක්ලික් කළ යුතුය. 


පෝස්ට් එකක් දැකිය හැකි අය සීමා කිරීම. 


තමන් පළ කරනු ලැබූ පොස්ට් එකක් දැකිය යුත්තේ කවුරුන්ද යන්න තෝරා දිය හැක. මේ සඳහා අදාළ පෝස්ට් එකෙහි ඉහළ පෝස්ට් එක පළ කළ දිනය හෝ වේලාව දැක්වෙන තැනට දකුණු පසින් ඇති මෙනු එක ක්ලික් කළ යුතුය. මෙවිට ලැබෙන මෙනු එකෙන් Public යන්න තෝරා දුන් විට එම පෝස්ට් එක කාටත් දැකගත හැකිය. මේ තුළින් Friends යන්න තෝරාදුන් විට එම පෝස්ට් එක පෙනෙන්නේ මිතුරන්ට පමණි. එම මිතුරන්ද සීමාකළ යුත්තේ නම් මෙහි ඇති Friends Except යන්න තෝරා ගෙන පෝස්ට් එක නොපෙන්විය යුතු මිතුරන් තෝරා තැබිය හැක. එසේ නැත්නම් Specific Friends යන්න තෝරාදී පෝස්ට් එක පෙන්විය යුතු මිතුරන් කීපදෙනෙක් පමණක් නම් කළ හැක. පළ කළ පොස්ට් එක කිසිවෙකුටත් නොපෙනෙන සේ තැබිය යුත්තේ නම් Only me යන්න ක්ලික් කළ යුතුය. 


ටැග් කර ඇති පෝස්ට් එකක් ඉවත් කිරීම. 


මිතුරෙකු තමන්ගේ ෆේස්බුක් ගිණුම වෙත පෝස්ට් එකක් ටැග් කර ඇත්නම් එය තමන්ගේ ටයිම් ලයින් එක තුළද පෙන්වයි. පෝස්ට් එකෙහි ඉහළ දකුණු පසින් ඇති මෙනු එක මත ක්ලික් කර Remove tag යන්න ක්ලික් කළ විට එම පෝස්ට් එක ඉවත් වෙයි. 


ෆේස්බුක් ගිණුම ඩීඇක්ටිවේට් කිරීම. 


ෆේස්බුක් ගිණුම ඩීඇක්ටිවේට් කළ විට සම්පූර්ණයෙන්ම ෆේස්බුක් එකෙන් ඈත් වී සිටින්නට පුළුවන. එවිට වෙනත් මිතුරන්ට තමන්ගේ ෆේස්බුක් ගිණුම පෙනෙන්නේ නැත. එමෙන්ම තමන්ටද සාමාන්‍ය ආකාරයෙන් ෆේස්බුක් ගිණුම භාවිත කරන්නට බැරිය. ඒ අනුව තමන් ශෙයාර් කර ඇති සියල්ලද අනෙක් අයට නොපෙනේ. පසුව තමන්ට අවශ්‍ය විටෙක ගිණුම ඇක්ටිවේට් කර ගන්නට පුළුවන. මෙසේ ෆේස්බුක් ගිණුම ඩීඇක්ටිවේට් කර තිබුණද තමන් යවා ඇති මැසේජ් යනාදිය අනෙක් අයට දැකගත හැක. මෙසේ ඩීඇක්ටිවේට් කරනු පිණිස ගිණුමට පිවිස ඉහළ දකුණු පසින් ඇති ඊතල ලකුණ මත ක්ලික් කළ විට ලැබෙන මෙනු එකෙන් Settings යන්න ලබාගත යුතුය. 


මෙවිට General Account Settings නම් පිටුව විවෘත වෙයි. එහි වම් පසින් ඇති Manage Account යන්න ඉදිරියේ ඇති Edit බට්න් එක ක්ලික් කළ යුතුය. මෙවිට සැකැස්ම් කළ හැකි කොටසක් විවෘත වෙයි. එහි ඇති Deactivate your account නම් ලිංක් එක ක්ලික් කළ යුතුය. පසුව ෆේස්බුක් පාස්වර්ඩ් එක ලබාදී Continue බට්න් එක ක්ලික් කළ විට එකවුන්ට් එක ඩීඇක්ටිවේට් වෙයි. 


ගිණුම මකා දැමීම. 


ෆේස්බුක් ගිණුම සහමුලින්ම මැකීමට ගිණුම වෙත පිවිස ඉහළ දකුණු පසින් ඇති ඊතල ලකුණ මත ක්ලික් කළ විට ලැබෙන මෙනු එකෙන් Settings යන්න ලබා ගත යුතුය. මෙවිට General Account Settings නම් පිටුව විවෘත වෙයි. එහි වම් පසින් ඇති Your Facebook Information යන්න මත ක්ලික් කළ යුතුය. මෙවිට විවෘත වෙන පිටුව තුළ ඇති Delete Your Account and Information යන්න ඉදිරියේ තිබෙන View යන්න ක්ලික් කළ යුතුය. මෙවිට Permanently Delete Account නම් පිටුව විවෘත වෙයි. එහි ඇති Download info යන්න මත ක්ලික් කර අවශ්‍ය තොරතුරු ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන. 


ඉන්පසුව Delete Account නම් බට්න් එක ක්ලික් කළ යුතුය. එවිට එකවුන්ට් එක සපුරා මැකී යයි. එසේ වුවත් මෙම එකවුන්ට් එක තවත් දින 30ක් සර්වර්ස්වලදී ආරක්ෂා වෙයි. එම දින 30 තුළදී ද වෙනත් අය හට සම්පූර්ණයෙන්ම ගිණුම මැකී ගිය ආකාරයෙන්ම පෙන්වයි. තමන්ටද ගිණුම භාවිත කරන්නට බැරිය. එම දින 30 තුළදී අවශ්‍ය නම් නැවතත් ෆේස්බුක් ගිණුම වෙත ලොග් වී Cancel Deletion හරහා ගොස් ඩිලීට් කිරීම අවලංගු කළ හැක. එහෙත් දින 30කින් පසුව නැවත කිසිදා එය ලබාගත නොහැක. 

 


සටහන : පැතුම් වීරසිංහ