2020 දී බලවත් කේන්ද්‍ර හිමි දරුවන් ලබාගැනීමට නම්


බලවත් කේන්ද්‍රයක් යනුවෙන් අදහස් කරන්නේ සුදුසු තැන්වල ග්‍රහයින් බලවත්ව සිටීමයි. බලවත්කමේ වැඩිම තැන ග්‍රහයා උච්ච වී තිබීමයි. දෙවන ස්ථානය ස්වක්ෂේත්‍ර වීමයි. තුන්වනුව මිත්‍ර හා සම අවස්ථා ද හතරවනුව සතුරු අවස්ථාව ද අවසන් වශයෙන් නීච අවස්ථාවද ගත හැකිය. මේ සාමාන්‍ය ක්‍රමයයි. 


බලවත් හඳහනක් හිමි වීමෙන් බලවත්, ධනවත්, උගත් හොඳ රැකියාවක් කරන බොහෝ සැප සම්පත් ලබන අයකු වීමට හේතුයි. එහෙත් කෙනෙකු ගේ හඳහනේ බලවත් ග්‍රහයින් පමණක් නොපිහිටයි. ලෝකයේ උසස්ම තනතුර වූ බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේගේ හඳහනේ පවා සියලුම ග්‍රහයින් බලවත් නොවීය. විද්‍යාඥයින්ගේ නායකයින්ගේ හා විශාල ධනවතුන්ගේ හඳහන්වල බලවත් ග්‍රහයින් වැඩියෙන් ඇත. බොහෝ විට රවි බුධ ගුරු චන්ද්‍ර වැනි ග්‍රහයින් බලවත් වීම උසස් තැනකට පත් වීමට හේතු වේ. 
2019 වර්ෂයේ රවි හා බුධ බලවත් කාලයේ සිකුරු නීච නිසා 2019 වර්ෂය අතහැර 2020 වර්ෂය මම තෝරා ගතිමි. මිනිස් කලලයක් හට ගැනීම හා උපත ලැබීම අවශ්‍ය පරිදි දැන් වෛද්‍ය විද්‍යාව අනුව කරගත හැකි වේ. අමාරුම කාර්යය වනුයේ අපට අවශ්‍ය දිනයේදී පිළිසිඳ ගැන්වීමයි. 


එහෙත් එය ද බොහෝදුරට කරගත හැකි වේ. ඒ පිළිබඳව නොදන්නා කෙනකුට නම් එය පවුලේ වෛද්‍යවරයාගෙන් අසා දැනගත හැකිවේ. දරුවා බිහිකරවීම ශල්‍ය කර්මයකින් අවශ්‍ය වේලාවට කරගත හැකි වේ. ඒ සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් එය කරගත හැකි වේ. 


විවාහක කාන්තාවක් තම ඔසප් දිනයේ සිට ඊළඟ මාසයේ ඒ ආසන්නයේ ඔසප් වීම සිදු නොවුණොත් පිළිසිඳ ගැනීමක් සිදුවී ඇතැයි සැක කරනු ලැබේ. අවසන් සෘතුවීමේ දිනයේ සිට දින 270 කින් දරුවා ප්‍රසූත වේ යයි සළකනු ලැබේ. මේ අනුව අවසන් සෘතු දිනය 2019 දෙසැම්බර් 17 ලෙස ගනිමු. එදින සිට දින 270 ක් ගත වනුයේ 2020 සැප්තැම්බර් 09 වන දිනයටය. 
2020 සැප්තැම්බර් 09 වන බදාදා ප.ව. 12.30 ට කොළඹදී දරුවා ලබාගන්නවා යයි සිතමු. එවිට දරුවාගේ හඳහන පහත සඳහන් වේ. 


මෙහි රවි සිටින්නේ දහයේය. ස්වක්ෂේත්‍රය. බුධ උච්චය. චන්ද්‍රයා උච්චය. ගුරු කුජ ශනි ස්වක්ෂේත්‍රය. රාහු කේතු සාමාන්‍ය ලෙස බලවත්ය. සිකුරු දුර්වලය. මේ කාලයේ කුමන වේලාවක් ගත්තත් සිකුරු දුර්වලවීම වැළැක්විය නොහැකිය. 


2020 වර්ෂයේ දී මෙදින සහ මෙදිනට ආසන්නයේ පමණක් මෙම බලවත් පිහිටීම් ලැබෙනු ඇත. රවි දහයේ සිටීමත් බුධ උච්ච වීමත් අනෙක් ග්‍රහයින් ගේ බලවත් වීමත් හේතු කොටගෙන මෙම දරුවාට වෛද්‍යවරයකු වීමේ හැකියාව තිබේ. සාමාන්‍ය වෛද්‍යවරයකු පමණක් නොව විශේෂඥ උසස් වෛද්‍යවරයකු විය හැකිය. චන්ද්‍රයා උච්ච වන්නේ සැප්තැම්බර් 09, 10 දින දෙකේදී පමණි. ඒ නිසා ලැබෙන්නේ දියණියක් නම් වඩා හොඳය. ඇය ස්ත්‍රී ලාලිත්‍යයන්ගෙන් හා රූප සම්පත්තියෙන් අනූන අයකු වේ. 


2020 සැප්තැම්බර් 09 වන බදාදාම රාත්‍රී 11.30 ට ශල්‍ය කර්මයකින් දරුවා ලබාගන්නවා යයි සිතමු. එවිට දරුවාගේ හඳහන මෙසේය. 


කලින් දැක්වූ හඳහනේ ග්‍රහයින් සිටින ස්ථානවලට විරුද්ධ ස්ථානවල මෙහි ග්‍රහයින් පිහිටා ඇත. මෙහි ලග්නයේ සිටින චන්ද්‍රයා උච්චය. හතර වැන්නාධිපතියා හතරේමය. මේ නිසා මැති ඇමැති දිසාපති තානාපති හෝ පළාතකට නායක වේ. පස් වැන්නාධිපතියා පහේමය. අට වැන්නාධිපතියා අටේමය. නව වැන්නාධිපතියා නවයේමය. දොළොස් වැන්නාධිපතියා දොළහේමය. මේ ඉතා යහපත් බලවත් පිහිටීම්ය. බොහෝ ඉහළට යා හැකි වේ. 


ඔබේ ඉලක්කය ටිකක් වැරදුණත් දරුවා ඉපදීමේ කාලය සැප්තැම්බර් 03 ත් 16 ත් අතර වේ නම් ඉහත ග්‍රහ පිහිටීම් ඇති දරුවකු ලබාගත හැකි වේ. හඳහනේ ග්‍රහයින් සිටින ස්ථාන වෙනස් විය හැකිය. තවද පිළිසිඳ ගැනීමේ කාලයද මෙහි සඳහන් දිනට දින 15 ක පමණ වෙනසක් ඇති වුවත් සැප්තැම්බර් 03 ත් 16 ත් අතර කාලයේදී දරුවා ගැනීමට වෛද්‍යවරයා අකැමැති නොවනු ඇත. ඒ දරුවා 2020 වර්ෂයේ උපදින ඉහළම ග්‍රහ පිහිටීම් ඇති දරුවකු වනු ඇත. 


මෙහි සඳහන් ආකාරයේ කිසිම උත්සාහයක් නොගෙන වුවද 2020 සැප්තැම්බර් 03 ත් 16 ත් අතර උපදින දරුවන් ඉතා වාසනාවන්ත වනු ඇත. එම කාලය තුළ දී උපදින දරුවන්ගේ (ස්වභාවිකව හෝ ශල්‍ය කර්මයකින් උපදින දරුවන්ගේ) හඳහන නොමිලයේ සාදා දීමට මම සැදී පැහැදී සිටිමි. 

 

 


විශ්‍රාමලත් විදුහල්පති, 
ජ්‍යොතිර්වේදී, 
ඒ.ඩී. කරුණාතිලක, 
32 ගලවැටි මෝදර පාර, 
නල්ලූරුව පානදුර.