1983 කළු ජූලියේ සැඟවුණු කතාවක්


 

 

1981.10.15 දින සිට 1983.5.18 දිනට උතුරුකරයේ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් හමුදාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර නිසා මියගිය හමුදා සෙබළුන් මුළු ගණන 5කි.   
හමුදාව වෙත එල්ල වූ පළමු ප්‍රහාරය සිදුවුණේ 1981 ඔක්තෝබර් මස 15 වැනි දින යාපනය නගරයේ ස්ටැන්ලි මාවතේ (KKS Rd.) සැඟවී සිට පොලිසියට පහරදීමට රැක සිටි ත්‍රස්තවාදීන් පිරිසක් වෙතිනි. මෙම ප්‍රහාරය සැලසුම් වී තිබුණේ මීට ඉහත පොලිසිය අතින් ත්‍රස්තවාදීන් මියයාම නිසා පළිගැනීමක් ලෙස මෙම මාර්ගයේ යමින් සිටින පොලිස් ජංගම මුර සංචාරයකට රැක සිට පහරදීමකටය.   


එනමුදු එදින ජංගම මුර සංචාරය නොපැමිණීම නිසා මෙම ප්‍රහාරයට ගොදුරු වුණේ පලාලි හමුදා කඳවුරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගැනීමට හමුදා වාහනයකින් පැමිණ සිටි ඉංජිනේරු කාර්ය බළකායේ සේවයේ නියුතු කෝප්‍රල් හේවාවසම් MGM හා පුරෝගාමී බළකායේ කෝප්‍රල් තිසේරා HMP යන දෙදෙනාය.   
මෙම සිදුවීමේ ආරංචිය ලත් සැණින් ගුරුනගර් කඳවුරේ සිට මේජර් ඩෙන්සිල් කොබ්බෑකඩුව (ලුතිනන් ජනරාල්) ඇතුළුව කමාන්ඩෝ භටයන්ට හා යුද හමුදා පොලිස් සේවයේ නියුතු මට ද එම ස්ථානයට යන්නට සිදුවුණි. අපි යාපනය නගරයට යන විට කඩසාප්පු සියල්ලක්ම විවෘතව තිබූ අතර කඩවල විදුලි පංකා පවා ක්‍රියාත්මක වෙමින් තිබුණි. කිසිදු කඩ හිමියකු හෝ සේවකයකු හෝ සිවිල් පුද්ගලයකු යාපනය නගරය තුළ රැඳී සිටිනු දක්නට නොලැබුණි. මන්ද ඔවුන් බයට පලා ගොසින්ය.   
මෙම ප්‍රහාරයට ලක්වූ එක් සෙබළකු හමුදා වාහනය අසල ලේ ගොඩක වැටී සිටි අතර අනිත් සෙබළා වෙඩි කාගෙන මීටර් 10ක් පමණ දුර ගොස් පාරේ නවතා තිබූ සිවිල් වාහනයක වම් පස ඉදිරි දොරේ එල්ලී සිට ඇති නමුත් වාහන දොරේ ලේ තවරාගෙනම බිම ඇද වැටී සිටිනු දක්නට ලැබිණ. මොවුන් පරීක්ෂා කිරීමේදී එක් අයකුට පණ තිබූ මුත් යාපනය රෝහලට රැගෙන ආ දෙදෙනාම මිය යාම හේතුවෙන් සිදුකළ මරණ පරීක්ෂණ කටයුතුවලට සහභාගී වන්නට සිදුවුණේ යුද හමුදා පොලිස් සේවයේ යෙදුණ මටය.   
මෙම සිද්ධියෙන් පසු 1983.5.18 දින දක්වා වූ කාල පරාසයන් තුළ හමුදාවට එල්ල වූ ප්‍රහාර මෙසේය. 1981.10.22 දින කිලිනොච්චි බැංකු ශාඛාවේ ආරක්ෂක සේවයේ යොදවා සිටි 2/ගැහේබ සැරයන් විජේවීර N ත්‍රස්ත ස්නයිපර් ප්‍රහාරයකට ලක්ව මියයාමත්, 1982.1.13 වන දින කුරෙයිකඩ්ඩුවාන් ප්‍රදේශයේදී 1 වන සන්නද්ධ බළකායේ කෝප්‍රල් අබේරත්න බණ්ඩා PHM ත්‍රස්ත ප්‍රහාරයකින් මියයාමත්, 1983.5.18 වන දින යාපනය පැවැති රාජ්‍ය මැතිවරණ ඡන්ද පොළකදී 1 රජරට රයිෆල් බළකායේ කොප්‍රල් ජයවර්ධන JMS ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මරණයට පත්වීමත්ය.   


ශ්‍රී ලංකාව තුළ වෙනම දමිළ රාජ්‍යයක් බිහි කිරීමේ සංකල්පය ඉතිහාසය වසර ගණනාවක් සිට පැවැත එන්නක් වීම තුළ ද්‍රවිඩයන්ගේ ප්‍රශ්න වරින් වර ඉස්මතු වෙමින් තවත් විටක නිහඬ වෙමින් ආ ගමන තුළ නැවතත් 1970 දශකය විවිධ මුහුණුවරකින් උතුරේ ද්‍රවිඩ සිසුන් අතරේ උද්ඝෝෂණ නැවතත් ඉස්මතු විය. මෙම ප්‍රශ්න නිරාකරණය කරදීමට දේශපාලන වගකිවයුත්තන් තේරුම් නොගැනීම හෝ නොසලකා හැරීම නිසා 1970 ආරම්භ වූ යාපනය ද්‍රවිඩ තරුණ සිසුන් වෛරයකට පත්ව තමනට හිමිවූ අධ්‍යාපනයෙන් ද භාෂාවෙන් ද රැකියාවලින් ද ආර්ථික වශයෙන් ද බෙහෙවින් පීඩාවට පත්ව සිටීම තුළ යම් අරමුණක් හරහා ද්‍රවිඩ සිසුන් විසින් ආරම්භ කළ සංවිධාන උද්ඝෝෂණ මෙහෙයවන්නට විය.   
මේ හරහා ඔවුන් ගොඩනගාගෙන යන අරමුණු පිළිබඳව එතරම් සුභදායක නොවූයෙන් යාපනය සිට බුද්ධි වාර්තා හරහා කොළඹ රාජ්‍ය බුද්ධි මූලස්ථානය වෙත වාර්තා කළ වුවත් ඒවා එතරම් ගණන් ගත යුතු තොරතුරු නොවුණ බව නොසලකා හැර වාර්තා කුණු කූඩයට ගිය අවස්ථා ඉතිහාස බුද්ධි තොරතුරුවලින් පැහැදිලිව හෙළිව තිබුණි.   
මෙවන් පසුබිමක ද්‍රවිඩ ශිෂ්‍ය සංවිධාන මගින් දේශපාලනයට විරුද්ධව උද්ඝෝෂණ ආරම්භ කිරීමට පටන්ගැනිණ. මේවා යටපත් කිරීමට රාජ්‍ය පාක්ෂික ද්‍රවිඩ පක්ෂ දේශපාලනඥයන් පවා ද්‍රවිඩ ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක උද්ඝෝෂණ වැළැක්වීම සඳහා ගත් පියවරයන් තුළින් ඔවුන්ට ද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.   
1971 උරුම්පිරායි ප්‍රදේශයේදී පොන්නතුරෙයි සිවකුමාරන් නමැත්තකු විසින් දෙමළ ඊළමේ මුල්ම ප්‍රහාරය උරුම්පිරායි ප්‍රදේශයට පැමිණි සිංහල ඇමැතිවරයකු වූ සෝමවීර චන්ද්‍රසිරි නමැති අයගේ රථයට අත්බෝම්බ ගැසීම හා යාපනයේ පුරපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ රථයට බෝම්බ ගැසීම හා 1974 දී ඔහුව මරා දැමීමට තරම් ඔවුහු කුරිරු වූහ. මෙම සිදුවීම හරහා කුණු කූඩයට වැටුණු බුද්ධි වාර්තා බලධාරීන්ට නැවත අවුස්සා බලන්නට සිදුවිය.   


මෙවන් පසුබිමක සිවකුමාර් නමැත්තා ප්‍රචණ්ඩත්ව ක්‍රියා නිසා පොලිස් අත්අඩංගුවට පත්වීමත් සිරගතව ලද නිදහසින් පසු නැවතත් 1974 යාපනය පැවැති ද්‍රවිඩ ලෝක සම්මේලනයේ අවසන් දින පොලිසිය සමග ඇති කරගත් අරගලයකදී ද්‍රවිඩයන් 10 දෙනකු විදුලි සැර වැදී මිය යාමත් සමග සිවකුමාරන් නැවත පොලිස් අත්අඩංගුවට පත්විය. මොහුගෙන් ප්‍රශ්න කර කටඋත්තර ගැනීමට පෙර පොලිසියේදී සයිනයිඩ් කා මියයාම නිසා පසු කාලීන සයිනයිඩ් කරල ප්‍රභාකරන් විසින් LTTE සංවිධානයට ප්‍රයෝජනයට ගැනීමත් සිවකුමාර් මරා දැමීම සම්බන්ධයෙන් යාපනයේදී නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මරා දැමීමට ද හේතුවක් විය.   
ඒ වනවිට ද්‍රවිඩ සංවිධාන රැසක් බිහිවෙමින් තිබූ අතර මින් TELO, TNA, LTTE, PLOT, ENDLF, EPRLF, EROS සංවිධාන කැපී පෙනී තිබුණ ද වරින් වර එහි සිටි සාමාජිකයන් සංවිධාන අතර එහා මෙහා මාරුවෙමින් දමිළ ඊළාම් රාජ්‍යයක් බිහිකිරීමෙහිලා අරමුණින් ක්‍රියාකාරී වූ මොවුන් පතරොම් තුවක්කු පැට්‍රල් බෝම්බ හා අවිගත් විප්ලවයක් ආරම්භ කළේය. 1970 දී පළමු වරට Thamil Manavi Perevi (Tamil Youth Front) සංවිධානය බටහිර ජර්මන් සිට පැමිණි සත්‍යසීලන් නමැත්තකුගේ නායකත්වයෙන් ආරම්භ කළ ද ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග මෙම සංවිධානයට නැවත පත්වූ නායක සභාරත්නම් ද පොලිස් අත්අඩංගුවට පත්විය.   
මෙම සංවිධානය Tamil Ealam Liberation Org TELO නමින් තංගදොරෙයි නමැත්තකුගේ නායකත්වය යටතේ ප්‍රචණ්ඩකාරී සංවිධානයක් බවට පෙරළා ගත්හ. මොහු යටතේ කුට්ටිමනි, තංගදොරේ හා ප්‍රභාකරන් ප්‍රධාන පෙළේ සාමාජිකයන් ලෙස කටයුතු කළේය. 1981 මාර්තු 25 දින නිර්වේලි බැංකු මංකොල්ලයට සම්බන්ධ වූ තංගදොරෙයි හා කුට්ටිමනි අත්අඩංගුවට පත්ව වැලිකඩ සිරගෙදර සිරගතව සිටියදී 1983 ජුලි කලබලය මත ඇතිවූ කෝලාහල පසුබිම තුළ සිරගෙදර තුළදී මොවුන් සමග සිටි LTTE ජෙගම් හා නඩේසදාසන් හා ඇන්ටන් නොහොත් අන්බලහන් මරා දමන ලදී.   

 


1975 දී සෙට්ටි ධනපාලසිංහම් නමැත්තා විසින් ටැමිල් නිව් ටයිගර් සංවිධානය ආරම්භ කිරීමේදී ප්‍රභාකරන් එම සංවිධානයට බඳවා ගනු ලැබීය. පසු කාලීන සෙට්ටි සංවිධානයේ මුදල් වංචා කිරීම හා ආරක්ෂක හමුදා වෙත ඔත්තු සැපැයූ චෝදනා මත ප්‍රභාකරන් හා කුට්ටිමනි විසින් සෙට්ටි මරා දැමීම නිසා 1976 එම සංවිධානයේ නායකත්වයට ප්‍රභාකරන් පත්විය. මෙම වකවානුව උමා මහේෂ්වරන් ද මෙම සංවිධානයේ සාමාජිකයකු විය. 1977 දී ප්‍රභාකරන් විසින් TNA සංවිධානය වෙනුවට LIBERATION TIGERS OF TAMIL EALAM - LTTE සංවිධානය යනුවෙන් නම් කරනු ලැබීය.  
1981 සිට 1983 කාල වකවානුව තුළ TELO, PLOT, LTTE මෙම සංවිධාන විසින් නාච්චමාර් කෝවිල්අඩි ඡන්ද රැස්වීමකදී පොලිස් නිලධාරීන් දෙදෙනකු මරා දැමීම, 1981.7.27 දින ආනකොට්ටෙයි පොලිසියට පහර දී පොලිස් නිලධාරීන් මරා දමා අවි ආයුධ පැහැර ගැනීම, 1981.10.22 දින කිලිනොච්චි මහජන බැංකුව රත්තරන් කොල්ලකෑම්, 1981 නිර්වේලි බැංකුව කොල්ලකෑම, 1981 සිට ද්‍රවිඩ පළාත්වල පළාත් පාලන මැතිවරණ කඩාකප්පල් කිරීම, 1982.6.8 දින යාපනය රාත්‍රී දුම්රියට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, 1982.7.2 නෙල්ලිඅඩි හන්දියේදී පොලිස් ජීප් රථයකට පහර දී පොලිසියේ 4 දෙනකු මරා දැමීම, 1982.8.20 දින කනගරත්නම් මහා විද්‍යාලයේ පැවැත්වූ අ.පො.ස. උසස් පෙළ විභාග පත්‍ර පැහැර ගැනීම, 1982.10.7 හා 1982.11.20 දිනයන්හි චාවකච්චේරි පොලිස් ස්ථානයට දෙපාරක් ප්‍රහාර එල්ල කිරීම හා පොලිස් නිලධාරීන් මරා දැමීම, 1982.11.22 වික්ටෝරියා විද්‍යාලය මුදල් කොල්ලකෑම, සිවිල් පුද්ගලයන් මරා දැමීම හා 1983.1.19 දින වව්නියාව එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකයකු වූ කේට් පුලේන්ද්‍රන් මරා දැමීම, 1983.2.28 දින තින්නවේලි ලංගම බස් රථ දෙකක් පුලුස්සා දැමීම, 1983.4.2 දින යාපනය පැවැති දිසාපති නගරාධිපති හා ත්‍රිවිධ හමුදා හා පොලිස් අතර පැවැති ආරක්‍ෂක සම්මේලනය කඩාකප්පල් කිරීමට බෝම්බ ගැසීම, උරුම්පිරායි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් පුලුස්සා දැමීම, පොයින්ට්පේදුරු පොලිස් ස්ථානාධිපතිට වෙඩි තැබීම, කෝපායි මන්ත්‍රී අලලාසුන්දරම් වෙඩි තබා තුවාල සිදු කිරීම, තින්නවේලි ලංගම බස් රථ දෙකක් ගිනි තබා විනාශ කිරීම හා යම් යම් සිදුවීම් හරහා සිවිල් වැසියන් මරා දැමීම්, පොලිස් නිලධාරීන් මරා දැමීම් යන මෙවැනි සිද්ධීන් ගණනාවකට මොවුන් මැදිහත් වීම නිසා ආරක්‍ෂක හමුදාවන්ට ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා මුහුණ දීමටත් වටලා සෙවීම් සිදු කිරීමටත් ඔවුනට සිදුවිය. හමුදා ක්‍රියාන්විතවලදී බරපතළ තුවාල ලැබූ ත්‍රස්තවාදීන්ට මෙවැනි පසුබිමක ඉන්දියාව රෝහල්වල පවා ප්‍රතිකාර ලබාදුන් අවස්ථා ද තිබුණි.  


මෙවන් පසු බිමක 1983 ජුලි 15 වැනිද‌ා මිසා​ලේ ප්‍රදේශය ගැවැසුණු ත්‍රස්තවාදීන් පිරිසක් ආරක්ෂක හමුද‌ාව විසින් වට කිරීමේදී ඇති වූ වෙඩි හුවමාරුවකදී LTTE සංවිධානයේ සන්නද්ධ නායකයකු වූ ආසිරි, චන්ද්‍රන්, උදය හා සීලන් නම්වලින් පෙනී සිටි ලූකස් චාල්ස් ඇන්තනී හමුද‌ා වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්විය. චාල්ස් ඇන්තනී නොහොත් සීලන් හමුද‌ා හා පොලිස් ප්‍රහාරයන් ගණනාවකට සම්බන්ධ වූ ප්‍රභාකරන්ගේ යුද පුහුණු 2 වැනි කණ්ඩායමට අයත් පුද්ගලයකු විය. මොහු මියයාම ප්‍රභාකරන්ට සිත් රිදවීමක් මත තම පුතුට චාල්ස් ඇන්තනි නම තැබිණි. මෙම සිදුවීමට පළිගන්නා බව ද ඔහු ප්‍රකාශ කර තිබුණි.   
ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසා යාපනය හමුද‌ා වටලා සෙවීම් මෙන්ම රාත්‍රී කාලයට ඇඳිරි නීතිය පැනවීම හා ජංගම මුර සංචාර මගින් ප්‍රදේශ ආවරණය කිරීම හමුද‌ා වගකීම විය. මෙවන් පසුබිමක ප්‍රභාකරන්ගේ සැලැස්මක් මත හමුද‌ා රාත්‍රී මුර සංචාරයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා යාපනය තින්නවේලි මාර්ගයේ බිම් බෝම්බයක් වළ දමමින් එම ස්ථානය සිට හමුදාවන්ට රැක සිට පහර දීමට සැලසුම් ක්‍රියාත්මක විය.   


මේ ​අනුව 1983 ජුලි 23 වැනි දින හමුදාව විසින් රාත්‍රියේ ජංගම මුර සංචාර යෙදෙමින් සිටි ජීප් රථය හා ට්‍රක් රථයකට සැලසුම් කළ ස්ථානයේදී බිම් බෝම්බයක් පුපුරුවා ජීප් රථයට දැඩි හානි කරමින් ට්‍රක් රථයේ ගමන් ගත් සෙබළුන්ට අවි ප්‍රහාර එල්ල විය.   
දෙපිරිස අතර ඇති වූ ප්‍රතිප්‍රහාරවලින් පසු 1 ශ්‍රී ලංකා පාබළ හමුද‌ාවේ ලුතිනන් APNC De වාස් ගුණවර්ධන ඇතුළු සැරයන් පෙරේරා PP, ලා/කෝ මාන්නපිටිය DMAD, ලා/කෝ රොබට්, මා/සැර තිලකරත්න SA, ලා/කෝ සුනිල් MB, ලා/කෝ රාජතිලක SPP, ලා/කෝ අමරසිංහ SS, ලා/කෝ කරුණාරත්න KD, කෝප්‍රල් පෙරේරා GP, ලා/කෝ ප්‍රනාන්දු AJR, ලා/කෝ විජේසිරි BD හා ලා/කෝ මනතුංග ME (රියැදුරු) 13 දෙනකු මරණයට පත්විය. මෙම ප්‍රහාරයේදී ත්‍රස්ත නායකයා වූ සෙල්ලක්කිලි මරුමුවට පත් විය. මොහු LTTE සංවිධානයේ ප්‍රභාකරන්ගේ 1 වැනි යුද පුහුණු කණ්ඩායමට අයත් විය. සිදු වූ මෙම ප්‍රහාරයේදී තුවාල ලත් ජීවිතය බේරා ගත් අය අතරින් එක් හමුද‌ා නිලයකුගේ කටඋත්තරයේ මෙසේ සඳහන් විය.   
නොසිතූ පරිදි බිම් බෝම්බයකට ජීප් රථය ගොදුරු වීමත් සමග පසුපසින් ආ ට්‍රක් රථය පසුපසට ගැනීමේදී ත්‍රස්තවාදීන්ගේ අවි ප්‍රහාරයන්ට ගොදුරු වීමත් ප්‍රතිප්‍රහාර සිදුවීමත් අතරතුර තුවාල ලැබූ මෙම නිලයාට එම ස්ථානයෙන් පැන ගන්නට හැකි වීම නිසා නුදුරින් පිහිටි නිවාසයක ටකරන් වහලයකට නැග ගැනීමට හැකි වූ බවය.
ත්‍රස්තවාදීන්ගේ විදුලිපන්දම් එළිය තුළින් මිය ගිය හමුදා අය එක්රැස් කොට ඔවුන්ගේ අවි ආයුධ යුද උපකරණ මෙන්ම නිල ඇඳුම් පැහැර ගන්නා සිදුවීම් දක්නට ලැබුණු බවත්ය. මෙම නිලයා ජීවිතය බේරා ගන්න මෙම වහලයට නැග සිටියත් වෙඩි වැදුණු තම කකුලෙන් ලේ ගලා යාම නිසා වහලයේ ෂීට් එක දිගේ පහළට ගලා යන ලේ එම ස්ථානයේ කෙහෙල් ගසක කොළයකට වැටී ටක් ටක් ශබ්දයට ඒ අසලට පැමිණි බල්ලෙක් වහලය දෙසට බුරා ඇති නමුත් ත්‍රස්තවාදීන්ගේ අවධානය යොමු නොවීම නිසා ජීවිතය බේරා ගැනීමට හැකි වූ බවය. 


සිදුවීමෙන් පසු ප්‍රහාරයට ලක්වූ හමුද‌ා අයවලුන්ගේ මළ සිරුරු කොළඹට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සූද‌ානම් විය. මියගිය මෙම සෙබළුන් ඥාතීන්ට භාරදීමක් සිදු නොකොට ඥ‌ාතීන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය ගෞරවය මත බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ගත් තීරණය විය. මෙම ගත් පියවර එතරම් සතුටුදායක නොවූ අතර ඥාතීන්ගෙන් දැඩි විරෝධතාව පැන නැගෙන්න පටන් ගැනීමත් සමග බොරැල්ල කනත්තට එක් රැස් වූ ජනතාව කලබල කරන්නට විය. මෙය මැඩපවත්වන්නට එම ප්‍රදේශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ගෆූර් ගත් උත්සාහය අසාර්ථක වීමත් සමග බොරැල්ල කනත්ත ප්‍රදේශය කලබල හා ප්‍රචණ්ඩ වාතාවරණ ඉස්මතු වන්නට විය.   


රත්මලාන සිට බොරැල්ල සුසාන භූමිය වෙත හමුද‌ා මළ සිරුරු 13 රැගෙන ඒම යුද හමුද‌ා පොලිස් සේවයේ යෙදුණු මට පැවරී තිබූ රාජකාරිය විය. ලද උපදෙස් මත එදින හමුද‌ා ට්‍රක් රථ උපයෝගී කරගෙන බොරැල්ල රේමන් අවමංගල ශාලාව වෙත ගොස් මිනීපෙට්ටි 13 ලබා ගනිද්දී කොහේදෝ සිට පැමිණි ජනතාව මට පහර දීමට තැත් කරමින් මගේ නිල ඇඳුමින් අදිමින් මස් කෑල්ලක් අපිටත් දීපිය යනුවෙන් හඬ නගන්නට වූහ. කෙසේ හෝ එම සිද්ධිය මග හරිමින් මගේ හමුද‌ා ධාවන පැදිය පෙරටු කරගෙන ට්‍රක් රථ සමග රත්මලාන බලා යමින් සිටියදී ජනතාව මා පසුපස හඹා එන්නට විය. තත්ත්වය කරදරකාරී බැවින් මා ට්‍රක් රථය වෙනත් දෙසකින් යොමුකර මා පසු පසින් ජනතාවට ඒමට ඉඩ හැර රත්මලාන ගුවන් හමුද‌ා ටවර් ගොඩනැගිල්ල වෙත පැමිණ අද‌ාළ රාජකාරියට පැමිණ සිටි මේජර් LCR ගුණවර්ධනට (විශ්‍රාමික මේජර් ජනරාල්) වෙත කරුණු පැහැදිලි කරමින් ජනතාව එතුමා වෙත යොමු කර රහසේ මගේ රාජකාරියට නුදුරින් මළ සිරුරු ගෙනැවිත් තිබූ හැංකර් එක වෙත ගියෙමි.   
මෙහිදී නිල ඇඳුමින් සිටි හා ඉටිරෙදිවලින් ඔතා තිබූ හමුද‌ා මළසිරුරු මුහුණු පෙදෙසින් ඉටි රෙද්ද කපා එතනට පැමිණ සිටි 1 ශ්‍රී ලංකා පාබළ හමුද‌ාවේ රෙජිමේන්තු සාජන් මේජර් ඩෙප් විසින් මියගිය මළසිරුරු හඳුනා ගැනීමෙන් පසු මළසිරුර පෙට්ටියට දමා ඔහුගේ විස්තර අනන්‍යතාව පෙට්ටිය මත තහවුරු කර සීල් තබා සිංහ කොඩිය පෙට්ටි මත පලඳවා රැගෙන යාමට කටයුතු සූද‌ානම් කළෙමු.


මෙසේ මළසිරුරු රැගත් ට්‍රක් රථය හයිලෙවල් මහාමාර්ගයේ කොළඹට රැගෙන එමින් සිටියදී හයිලෙවල් මාර්ගයේ වාහනයකින් පැමිණ මාර්ගයේ රැඳී සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට සේවය යෙදෙමින් සිටි හිටපු හමුද‌ාපති ලුතිනන් ජනරාල් ආටිගල තුමා මගේ ධාවන පැදිය නතර කරමින් මට උපදෙස් දෙනු ලැබූයේ බොරැල්ල සුසාන භූමියට නොගොස් කෙළින්ම යුද හමුද‌ා මූලස්ථානයට රැගෙන යන ලෙසය. ලද අණ පරිදි අපි මළ සිරුරු රැගෙන යුද හමුද‌ා මූලස්ථානයට ගියෙමු.   
ඒ වනවිට මූලස්ථානය පිටතින් සෑම පැත්තකින්ම ගල් ප්‍රහාර හමුද‌ා කඳවුර තුළට ගලා එන්නට විය. මළ සිරුරු භාර දීමෙන් පසු මගේ රාජකාරය අවසන් විය. රැගෙන ආ මළ සිරුරු යළිත් හමුද‌ා උත්සව ඇඳුමින් යුතුව මියගිය අයගේ ඥ‌ාතීන්ට භාරදීමට කටයුතු සිදුවිය.   


මෙදින හමුද‌ා මූලස්ථානයෙන් පිටව අප මූලස්ථානය වෙත එමින් සිටියදී ප්‍රචණ්ඩත්වය දකිමින් බොරැල්ල හන්දිය වෙත ළඟාවීමේදී සිංහල මුස්ලිම් ජන කොටස් කඩ සාප්පු ගිනි තබමින් බඩු බාහිරාදිය කර පිටින් රැගෙන යමින් සිටිනු දක්නට ලැබුණ ද බොරැල්ල බෝ ගහ යට රැඳී සිටි පොලිස් නිලධාරීන් රැසක් එම සිද්ධීන් දෙස බලමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම දුටු මට කරගත හැකි දෙයක් නොවූයෙන් මම කඳවුර බලා ගියෙමි. මෙම සිදුවීම් හරහා සිංහල මුස්ලිම් ජාති ආලය ඉහළින්ම රට තුළ සිදුවීමත් මෙම ජාති ආලය නිසා මියගිය ද්‍රවිඩ පිරිස් අතර සිංහල මුස්ලිම්වරුන්ගේ ජීවිත බේරාගත් විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම රටේ ජීවත් වුණ උගතුන් හා ඔවුන්ගේ දරු පවුල් දුප්පත් මධ්‍යම පොහොසත් දරු පවුල් වෙත සිදුවූ ජීවිත හානි හරහා සිංහල මුස්ලිම් සමහර අයවලුන් තිරිසනුන් ලෙස හැසිරුණ ආකාරය දකින්නට සිදුවිය.   
හමුදා භටයන් වූ අප සිතුවිලි අතර තිබුණේ ​අපගේ භූමිය ඩැහැගැනීමට ඉඩ නොදී ත්‍රස්තවාදීන් නැති කිරීම මිස අහිංසක ද්‍රවිඩයන් මරා දැමීම නොවන නිසා මෙම ශෝචනීය සිද්ධීන් පිළිබඳව අපට තිබුණේ දැඩි අප්‍රසන්න භාවයක්ය. ද්‍රවිඩ සිනමා අධ්‍යක්ෂවරුන් නිපදවන ලද සිංහල සිනමාවට අයත් සිංහල චිත්‍රපටි ගණනාවක් තිබූ නාරාහේන්පිට සිනමාස් ආයතනය ගිනි තැබීමෙන් ජාති ආලය හරහා එම චිත්‍රපටි අපට අහිමි කරවීය.   


මෙම අපරාධ ප්‍රතිඵලය හරහා ද්‍රවිඩ ජාතීන් මර බියෙන් යාපනය බලා යන දුම්රියන්ට ගොඩවී සිටි අතිවිශාල පිරිසගේ අඳෝනා අපට අසන්නට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ උතුරු නැගෙනහිර ආසන්න ප්‍රදේශවල සිටි දුප්පත් සිංහල ජනතාව පදිංචි ගම්මාන ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවන්ට ගොදුරු කර අහිංසක ඔවුන් මරා දැමීමට අනුබල දීමය. මුස්ලිම් ජනතාවට සිදුවූයේ තම ගම්බිම් අතහැර මන්නාරම් ප්‍රදේශයේ සිට පුත්තලම් ප්‍රදේශයට පැමිණීමටය. LTTE සංවිධානයට බැඳීමට අකැමැත්තෙන් සිටි උතුරේ ද්‍රවිඩ ජාතිකයන් මෙම සිදුවීම් හරහා ත්‍රස්තවාදයට සිය කැමැත්තෙන් බැඳුණ පිරිස් අධික වීමය.   
මියගිය හමුද‌ා 13 දෙනාගේ මළසිරුරු ඥ‌ාතීන්ට භාර දීමක් සිදුවූයේ නම් මළසිරුරු ගම් ප්‍රදේශ හරහා බෙදී යාමක් සිදුවීම නිසා මෙවැනි වාතාවරණයක් සිදු නොවන්නට තිබුණි. සම්මත යුද ප්‍රතිපත්ති ක්‍රියාවේ නැංවීමට ආරක්ෂක අමාත්‍යාංශය ගත් තීරණයේ ප්‍රතිඵලය වූයේ 83 කළු ජූලිය තුළින් අසමත් ජාති සිංහල හා මුස්ලිම්වරුන්ගේ ජාති ආලය ආරම්භ වීමය.   

 


හමුද‌ා විශ්‍රාමික 
උපාලි ආනන්ද ජයසූරිය