හදවත පසාරු කළ කිණිසි පහර කාගේද ?


මළවුන්ගේ  අනාවරණ

හදවත පසාරු කළ කිණිස්සක් සහිතව කිසියම් පුද්ගලයෙක් මීටර තුන්සීයක පමණ දුරක් දිව ගියේ යැයි කිවහොත් එය විශ්වාස කිරීමට හැකි ද? එහෙත් සැබවින්ම නියතපාල එලෙස දිව ගියේය. තමන්ට පිහියෙන් ඇන්නේ කවුදැයි තවත් පුද්ගලයෙකුට පවසා ඝාතකයා පිළිබඳ සාක්ෂියක් ඉතිරි කරන්නට ද නියතපාල සමත්විය. එය සිදුවන්නේ කෙසේද? ඔහුට කිසියම් විශේෂ බලයක් තිබුණේද? නැතහොත් ඔහු ප‍්‍රකාශයක් කළ බව කියන පුද්ගලයා බොරුවක් කියන්නේද? මේ සිදුවීම අධිකරණය හමුවේ බැරෑරුම් ප‍්‍රශ්නයක් ඇති කළේය. 

නියතපාල හතළිස් දෙහැවිරිදි දෙදරු පියෙකි. ඔහු පුද්ගලික ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කළේය. පපුවේ ඇනුණ කිණිස්සක් ඇතිව තමන් වෙත ආ නියතපාල රෝහල්ගත කළ සේකර මුදලාලි අධිකරණය හමුවේ පවසනු ලැබූ කරුණු අනුව කොඩිකාර මහතා සිදුවීම් දාමය එක කතාවක් සේ පෙළගස්වා ගත්තේය. 


එදා ජනවාරි 16 මාසේ පෝය දවසකි. රාත්‍රී කාලය දැඩි අඳුරෙන් යුතු විය. රාත‍්‍රී 7.45ට පමණ නියතපාල ලේ පෙරාගෙන සේකර මුදලාලිගේ කඩයට ගොඩවිය. “බණ්ඩාරයා මට පිහියෙන් ඇන්නා” කියාගෙන නියතපාල එකවරම බිමට පහත් විය. වහා ඉදිරියට පැන නියතපාලට වැටෙන්න නොදී සේකර මුදලාලි ඔහුව අල්ලාගත්තේය. නියතපාලගේ කමිසය ලේවලින් තෙමී ඇත. ලේ පෙරෙන පපුව මැද කිණිස්සකි. කිණිස්සට අත තබා අමාරුවේ වැටෙන්නට බැරිය. එහෙත් නියතපාලට මෙලෙස ඉන්නට හැර ඔහු මිය යනවා බලන්නට ද නොහැකිය. ඒ නිසා අධිකරණය හමුවේ සාක්ෂි දෙන්නට සිදුවුවත් කම් නැතැයි සිතූ සේකර මුදලාලි නියතපාලව රෝහලට රැගෙන ගියේය. එහෙත් නියතපාල රෝහලට ගෙන එන විටත් මියගොස් තිබූ බව වෛද්‍යවරු පැවසූහ. 


නියතපාලට පිහියෙන් ඇන්නේ කවුද? ප‍්‍රශ්නයක් මතු විය. ඒ ඔහුට පිහියෙන් අනිනවා කිසිවෙකු නොදුටු නිසාය. එහෙත් නියතපාල මිය යන්නට මොහොතකට පෙර කරන ලද ප‍්‍රකාශය අනුව පිහි ඇනුම සිදුකර තිබෙන්නේ බණ්ඩාර විසිනි. බණ්ඩාර හා නියතපාල අතර කාලයක් තිස්සේ කෝන්තරයක් පවතී. ඒ ඉඩම් ප‍්‍රශ්නයකි. නියතපාලගේ හා බණ්ඩාරගේ ඉඩම් දෙකක් එක ළඟ පවතින අතර ගමේ චණ්ඩියකු වන බණ්ඩාර තමන්ගේ වැට මායිම වෙනස් කරමින් ටිකින් ටික නියතපාලගේ ඉඩමෙන් සෑහෙන කොටසක් අල්ලාගෙන ඇත. 


ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවති ඇති අතර බණ්ඩාර අල්ලා ගත් ඉඩම් කොටස නැවත නියතපාලට පැවරීමට සිදුවී තිබේ. තමන් ලද පරාජය හමුවේ වියරු වැටුණ බණ්ඩාර මෙහි පළිය කොයි වෙලාවක හෝ ගන්නා බවට නියතපාලට තර්ජනය කර ඇතැයිද නියතපාලගේ බිරිඳ අධිකරණයට පවසා ඇත. බණ්ඩාර ගැන සැකයක් ඇති කරගැනීමට එය හේතුවක් වන නමුත් ඇසින් දුටු සාක්ෂියක් නැති අවස්ථාවක සැකය මත පමණක් පදනම්ව අධිකරණයට ඍජුවම බණ්ඩාර වරදකරු කළ නොහැකිය. එහෙත් සැකකරුවකු ලෙස බණ්ඩාර අත්අඩංගුවට ගනු ලැබිණ. 


අධිකරණ නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද්‍ර කොඩිකාර මහතාට පැවරිණ. 


අධිකරණ වෛද්‍යවරයා බණ්ඩාරගේ සිරුර බාහිරින් පරීක්ෂා කර බැලුවේය. ඔහුගේ පපුව පසාරු කළ කිණිස්ස තවමත් එලෙසම පවතී. පපුව සිදුරු කළ ස්ථානයේ සිට උදරය මතට ගලා ආ රුධිරය උදරය මතින් දෙපසටත් ගලාගොස් තිබිණ. ඒ සියල්ල කැටි ගැසී ඇත. මේ තුවාලය හැරෙන්නට නියතපාලගේ සිරුරේ වෙනත් කිසිම තුවාලයක් දක්නට තිබුණේ නැත. සිරුර සුදුමැලිව තිබිණ. සිරුරේ අධෝස්ථිතියක් ද දක්නට නැත. අධෝස්ථිතිය යනු කිසියම් පුද්ගලයකු මරණයට පත්වන විට හෘදය වස්තුවේ ක‍්‍රියාකාරිත්වය නැවතීමෙන් රුධිර සංසරණ පද්ධතියේ ක‍්‍රියකාරීත්වය නවතින නිසා ගුරුත්වාකර්ෂණයේ බලයෙන් රුධිර සංසරණ පද්ධතියේ පවතින රුධිරය ශරීරයේ පහළම ස්ථානයේ තැන්පත්වීමයි. 


ඒ අනුව කෙනකු මරණයට පත්වූයේ මුණින් අතට වැටී නම් ඔහුගේ සිරුරේ පපුව, උදරය ඇතුළු පොළොව දෙසට හැරී තිබෙන කොටස්වල රුධිරය තැන්පත් වනු ඇත. එවිට එම ස්ථාන රතු පැහැයෙන් දිස් වේ. නියතපාලගේ සිරුරේ එලෙස අධෝස්ථිතියක් දක්නට නොවූයේ පිහි ඇනුම නිසා ඇති වූ තුවාලයෙන් රුධිර සංසරණ පද්ධතියේ වූ රුධිරය විශාල වශයෙන් පිටතට ගලාගොස් තිබීම නිසාය. 


කිණිස්ස නියතපාලගේ පපු කුහරයේ බිත්ති පසාරු කරගෙන ගොස් එහි වූ හෘදය වස්තුවට ඇතුළු වී තිබෙන බව සිරුර කපා පරීක්ෂා කිරීමේදී දැකිය හැකි විය. කිණිස්ස ඇතුළුව තිබුණේ හෘදය වස්තුවේ වම් කෝෂිකාවටය. වම් කෝෂිකාව තුළින් ගලා ආ රුධිරය පෙනහලු කුහරය, හෘදය වස්තුව වටා පිහිටි පිරිකන්තුක කුහරය සහ ශරීරයෙන් පිටතට ආදී වශයෙන් වහනය වී තිබිණ. සිරුරේ බොහෝ අවයව සුදුමැළිව තිබිණ. එයින් ඇගවෙන්නේ එම අවයවවල රුධිරය විශාල වශයෙන් පිටතට ගලා ගොස් ඇති බවය. මරණයට හේතුව හෘදය වස්තුව සිදුරු වීමෙන් ඉන් පිටතට අධික ලෙස රුධිරය වහනය වීම ලෙස නිගමනය කෙරිණ. වැඩිදුර පරීක්ෂණ සඳහාත් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් හෘදය වස්තුව පමණක් රඳවාගෙන නියතපාලගේ සිරුර භූමදානය සඳහා ඥාතීන්ට බාරදෙනු ලැබිණ. 


සැකපිට අත්අඩංගුවට ගත් බණ්ඩාරට එරෙහිව මිනීමරුම් චෝදනා එල්ල වූ අතර ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට විනිසුරුවරයා නියෝග කළේය. 


සත්පුද්ගල ජූරි සභාවක් ඉදිරියේ මෙම චෝදනාව විභාග විය. නියතපාල කිණිස්සක් සහිතව පැමිණෙන ආකාරය මිස ඔහුට පිහියෙන් අනිනවා දුටු අයෙක් නැත. ඒ නිසා බණ්ඩාරට එරෙහිව ප‍්‍රමාණවත් සාක්ෂි නොමැත. එවැනි තත්ත්වයක් තුළ නඩුව ඉදිරියට ගෙන යාම දුෂ්කර විය. විත්ති පාර්ශ්වයේ නීතිඥයා තියුණු තර්කයක් ද මතු කළේය. එනම් නියතපාල සේකර මුදලාලිට පවසා ඇති පරිදි පිහි ඇනුම සිදුව තිබෙන්නේ නාන පොකුණ අසලදීය. එතැන සිට සේකර මුදලාලිගේ කඩයට මීටර තුන්සිය අටක් ඇත. 


විදුලි ආලෝකයක් ද නැති තත්ත්වයක් යටතේ පිහියා ඇනුම් තුවාලයක් සහිත අයෙක් එම පිහිය ද තුවාලය තුළ රඳවාගෙන මීටර් තුන්සීයක දුරක් ගමන් කරන්නේ කෙසේද? එය කළ නොහැකි බව විත්ති පාර්ශ්වයේ තර්කය විය. එසේම එලෙස දිවගොස් ප‍්‍රකාශයක් කිරීම කෙසේවත් කළ නොහැකිය. මේ තර්කය බිඳින්නට නොහැකි වුවහොත් බණ්ඩාර නිදහස් වේ. නියතපාලට පිහි ඇණුමක් සිද්ධ වුවත් එය කළ කිසිවෙක් ද නැති වනු ඇත. 
කිසියම් පුද්ගලයකු මරණාසන්න මොහොතේ කරනු ලබන ප‍්‍රකාශයක් සාක්ෂියක් සේ ගත හැකිය. එම ප‍්‍රකාශය ලිඛිතව හෝ වාචිකව හෝ අංග චලනයෙන් පවා සිදුකළ හැකිය. කිසියම් පුද්ගලයෙක් මරණාසන්න මොහොතේ බොරු නොකියන්නේය යන පදනම මත මරණාසන්න ප‍්‍රකාශ සත්‍ය ප‍්‍රකාශ සේ ගනු ලැබේ. එහෙත් ප‍්‍රකාශය කළ තැනැත්තා යම් ආකාරයකින් ජීවිතය බේරාගැනීමට සමත් වුවහොත් එය මරණාසන්න ප‍්‍රකාශයක් වන්නේ නැත. 


මරණයට පත් නියතපාල පැවසුයේයැයි සේකර මුදලාලි පවසන පරිදි පිහි ඇණුම සිදුව තිබෙන්නේ සේකර මුදලාලිගේ කඩේ සිට මීටර් තුන්සීයක් පමණ දුරින් පිහිටි නාන පොකුණ අසලදීය. පිහියක් පපුවේ ඇනුණු අයකුට මීටර් තුන්සීයක් පමණ දුරක් දුවන්නට හැකි ද? එසේ දුව ගොස් ප‍්‍රකාශයක් කරන්නට තරම් හැකියාවක් තිබේ ද? අධිකරණය මගින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වාර්තා කරන්නැයි අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද්‍ර කොඩිකාර මහතාට නියම කෙරිණ. ඒ සඳහා ඉතා සියුම් පරීක්ෂණ රැසක් කරන්නට අධිකරණ වෛද්‍යවරයාට සිදුවිය. 

 

හෘදය වස්තුව කුහර හතරකින් සමන්විත වේ. එනම් දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව හා වම් කෝෂිකාව ලෙසිනි. රුධිර සංසරණ ක‍්‍රියාවලිය සිදුවන්නේ ශිරා හා ධමනි ඔස්සේය. භාවිත කර අපවිත‍්‍ර වූ රුධිරය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන රුධිරය විද්‍යාත්මකව හඳුන්වන්නේ නම්, ෙසෙල මගින් ඔක්සිජන් හා පෝෂණය උරාගෙන පිටකරනු ලබන ඔක්සිජන රහිත හා බහිස‍්‍රාවීය ද්‍රව්‍ය සහිත රුධිරය ගමන් කරන්නේ ශිරා මගිනි. ෙසෙල වෙත අවශ්‍ය ඔක්සිජන් ලබාදීමට ඔක්සිජන් හා පෝෂණය සහිත හෙවත් ඔක්සජනීකෘත රුධිරය ගෙන යනු ලබන්නේ ධමනි මගිනි. සිරුරේ සියලුම අවයවවල පවතින ඔක්සිජන් රහිත හෙවත් ඔක්සජනීහරිත රුධිරය ගමන් කරන්නේ ශිරා මගිනි. සෑමවිටම හෘදය වස්තුවේ සිට පිටතට රුධිරය ගෙනයන්නේ ධමනි මගින් වන අතර හෘදය වස්තුවට රුධිරය පොම්ප කරන්නේ ශිරා මගිනි. 

 


හෘදය වස්තුව කුහර හතරකින් සමන්විත වේ. එනම් දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව හා වම් කෝෂිකාව ලෙසිනි. රුධිර සංසරණ ක‍්‍රියාවලිය සිදුවන්නේ ශිරා හා ධමනි ඔස්සේය. භාවිත කර අපවිත‍්‍ර වූ රුධිරය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන රුධිරය විද්‍යාත්මකව හඳුන්වන්නේ නම්, ෙසෙල මගින් ඔක්සිජන් හා පෝෂණය උරාගෙන පිටකරනු ලබන ඔක්සිජන් රහිත හා බහිස‍්‍රාවීය ද්‍රව්‍ය සහිත රුධිරය ගමන් කරන්නේ ශිරා මගිනි. ෙසෙල වෙත අවශ්‍ය ඔක්සිජන් ලබාදීමට ඔක්සිජන් හා පෝෂණය සහිත හෙවත් ඔක්සජනීකෘත රුධිරය ගෙන යනු ලබන්නේ ධමනි මගිනි. සිරුරේ සියලුම අවයවවල පවතින ඔක්සිජන් රහිත හෙවත් ඔක්සජනීහරිත රුධිරය ගමන් කරන්නේ ශිරා මගිනි. සෑමවිටම හෘදය වස්තුවේ සිට පිටතට රුධිරය ගෙනයන්නේ ධමනි මගින් වන අතර හෘදය වස්තුවට රුධිරය පොම්ප කරන්නේ ශිරා මගිනි. 


ශිරා මගින් හෘදය වස්තුවේ දකුණු කර්ණිකාවට ඇතුළුවන රුධිරය කපාට ඔස්සේ දකුණු කෝෂිකාවට ඇතුළත්ව එහි සිට පුප්ඵුශීය ධමනිය මගින් පෙනහලු කරා ගමන් කරයි. පෙනහලුවල සිට ඔක්සජනීකෘත රුධිරය හෘදය වස්තුවේ වම් කර්ණිකාවට ගෙන එනු ලබන්නේ පුප්ඵුශීය ශිරා මගිනි. එලෙස වම් කර්ණිකාවට ඇතුළුවන රුධිරය කපාට හරහා වම් කෝෂිකාවට ඇතුළු වී එතැන් සිට සංස්ථානික ධමනිය ඔස්සේ සිරුර පුරා ගමන් කරනු ලැබේ. 


වම් කර්ණිකාව හා දකුණු කර්ණිකාව සිදුකරන්නේ තමන් වෙත එන රුධිරය කෝෂිකා වෙත තල්ලු කිරීම පමණි. ඒ නිසා ඒවායේ බිත්තිවල ඝනකම මිලිමීටර් දෙකක් පමණ වේ. දකුණු කෝෂිකාවෙන් රුධිරය පොම්ප කරන්නේ පෙනහලු වෙත පමණි. එයට ද එතරම් විශාල බලයක් යෙදිය යුතු නොවන නිසා එහි බිත්තිවල ඝනකම මිලිමීටර් 04ක් තරම් තුනී වේ. එහෙත් වම් කෝෂිකාවේ සිට ඔක්සජනීකෘත රුධිරය සංස්ථානික ධමනිය ඔස්සේ සියලුම අවයව වෙත පොම්ප කරන්නට විශාල බලයක් යෙදිය යුතු බැවින් වම් කෝෂිකාව මිලිමීටර් දහයක් පමණ ඝනකමින් යුතු වේ. 


ඝනකමින් වැඩි කෝෂිකා බිත්ති මතට පිහි පහරක් එල්ල වූ විට ඝනකමැති මාංශ පේෂි සංකෝචනය වී ස්වභාවිකවම තුවාලය වෙත නැඹුරු වී යම් කෙටි කලකට පිහි ඇනුමෙන් වන සිදුර වසා දමනු ලැබේ. ඒ නිසා කෙටි කාලයකට තුවාලයෙන් රුධිරය පිටතට ගලායාම නවතී. යම් හෙයකින් පිහිය ඉවත් කළේ නම් මේ තත්ත්වය වෙනස් වී රුධිරය වහනය වනු ඇත. මෙවැනි තුවාලයක් සිදුවූ විටකදී ආයුධය හෝ වෙනත් සිරුරට ඇතුළු වූ ද්‍රව්‍යයන් ඉවත් නොකරම රෝහල් ගත කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ ඒ නිසාය. 


නියතපාලගේ හෘදය වස්තුව පසාරු කළ පිහිය එලෙසම පැවතිණ. එය වැදී තිබුණේ මිලිමීටර දහයක් පමණ ඝනකමින් යුතු වම් කෝෂිකා බිත්තියටය. ඒ නිසා කෙටි කාලයක් තුළ තුවාලයෙන් රුධිර වහනයක් සිදු නොවේ. ඒ නිසා ඔහුට ඒ කාලය තුළ මෙවැනි දුරක් දිව යාමට හැකි වනු ඇත. මරණ බිය නිසා ඔහුගේ වේගය වැඩිවන්නට ද හැකි නිසා ඉතා කෙටි කලක් තුළ ඔහු සේකර මුදලාලිගේ කඩයට ගමන් කරන්නට ඇත. එසේම කෙටි ප‍්‍රකාශයක් කිරීමට ද ඔහුට හැකියාවක් ඇතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. 


එහෙත් මේ පිහිය වැදී තිබුණේ හෘදය වස්තුවේ අනෙකුත් කුහරවලට නම් තත්ත්වය වෙනස් වේ. ඒවායේ බිත්ති තුනී නිසා කඩිනමින් රුධිරය තුවාලයෙන් පිටතට ගලා යාම නිසා මෙපමණ දුරක් ගමන් කිරීම හෝ එසේ ගමන් කර ප‍්‍රකාශයක් කිරීම අසීරුය. නියතපාලගේ සිරුරේ තිබුණේ වම් කෝෂිකාව පසාරු කළ එකම තුවාලයක් පමණක් වන නිසා මෙසේ දිව ගොස් ප‍්‍රකාශයක් කිරීමේ හැකියාව ඔහුට ඇත. 


අධිකරණ වෛද්‍යවරයාගේ මෙම පරීක්ෂණ වාර්තාවෙන් පසු තවත් තර්කයක් විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් විය. හෘදය වස්තුවේ සංකෝචනය හා විස්තාරණය සිදුකරන්නේ විද්‍යුත් ධාරාවක් මගිනි. මේ විද්‍යුත් ධාරා නිකුත් කරන ජෙනරේටර් වැනි මර්මස්ථාන කීපයක් හෘදය වස්තුවේ පවතී. එක් මර්මස්ථානයක් දකුණු කර්ණිකා බිත්තියෙත් තවත් මර්මස්ථාන කීපයක් අන්තර් කර්ණිකා හා කෝෂිකා බිත්තියේත් පිහිටා ඇත. යම් හෙයකින් එම මර්මස්ථානවලට හානියක් වූයේ නම් එම පුද්ගලයා ඉතා කෙටි කලක් තුළ මරණයට පත්වේ. විත්ති පාර්ශ්වය පෙන්වා දුන්නේ නියතපාලගේ වම් කෝෂිකාව පසාරු කළ පිහි තුඩ අන්තර් කර්ණිකා හා කෝෂිකා බිත්තිවල වැදුණේ නම් ඔහුට මෙතරම් දුරක් ගමන් කළ නොහැකි බවය. 


අධිකරණ නියෝග අනුව ඒ සම්බන්ධයෙන් ද අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා පරීක්ෂණ සිදුකළේය. එම මර්මස්ථාන සියල්ලේ කුඩා පටක කොටස් ලබාගෙන අන්වික්ෂීය පරීක්ෂණයකට ලක් කළ අතර එහිදී මේ පටක කොටස්වලින් රුධිර වහනයක් සිදුව නැති බව පෙනී ගියේය. යම් හෙයකින් පිහි තුඩ වැදී සියුම් ලෙස මේ පටක කැපී ගියේ නම් එහි රුධිර ෙසෙල එක්ව තිබෙනු දැකිය හැකි විය යුතුය. එහෙත් මේ පටකවල එලෙස රුධිර ෙසෙල එකතු වීමක් දක්නට ලැබුණේ නැත. ඒ නිසා මේ විද්‍යුත් පරිපථයේ මර්මස්ථානයන්ට ද හානියක් සිදුව නැති බව තහවුරු විය. 


මේ සාක්ෂිය අනුව සත්පුද්ගල ජූරි සභාව නියතපාල සේකර මුදලාලිට කළැයි කියන ලද මරණාසන්න ප‍්‍රකාශය වලංගු සාක්ෂියක් සේ පිළිගත් අතර කන්දේගෙදර සුදත් බණ්ඩාර හෙවත් බණ්ඩාර, නියපාලගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කොට මරණ දඬුවම ලබාදීමට ඒකමතිකව තීරණය කළහ. 

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න) 

 

 


සාකච්ඡා සටහන
මුදිතා දයානන්ද