මැණික් ගල තනියෙන් ගන්න ගිය මුරකාරයා පතල ඇතුළේ


මැණික් නිම්නයේ යකඩ මිනිස්සු-4

 

අඳුරින් වෙළාගත් නිහඬ පරිසරයේ ගිලන් රථයක සයිරන් නළාවේ හඬ ඇසුණ ලොකු කුඩා සැම දෙනාගේම මුහුණුවලින් වික්‍ෂිප්ත බව දිස්වන්නට විය. ගෙතුළ සිටි කාන්තාවන්, වැඩිහිටියන්, කුඩා දරු දැරියෝ මිදුලට පැමිණ වට පිට බලන්නට වූයේ වෙනදා මහපාරේ ඈතින් ඇසුණ ඒ සයිරන් හඬ ළඟින් ඇසෙන්නේ ඇයි ද යන්නයි.  කොළඹ රත්නපුර පාරෙන් හැරී බටුහේනවත්ත දෙසට නිවෙන පත්තුවෙන රතු එළි දල්වමින් සයිරන් හඬ නගමින් යන වාහනයේ ඡායාව දෙස ගෙවල්වල සිටි ඇත්තෝ ඇසිපිය නොහෙළා බලා සිටියහ.  

 
“පතලෙට වැටිච්ච ඈයෝ ගොඩට අරං වෙන්න ඇති. ඉස්පිරිතාලෙට ගෙනියන්න ඇම්බියුලන්ස් එක වෙන්නැති එන්න ඇත්තේ.” එකිනෙකාට කියා ගත්හ. ඉර අවරට ගොස් හෝරා තුනක් තුන හමාරක් ඉකුත්ව ගිය පසු දකින්නට ලැබූ මේ දසුන එතෙක් හරිහමන් තොරතුරක් නොමැතිව ගෙවල්වලට වී සිටි බාල, මහලු, ළමා සෑම දෙනාටම පුංචි තොරතුරක් විය.   


පොළොව යට සැඟවී ඇති මැණික් සම්පත ගොඩට ගෙන සුන්දර ජීවිත ගෙවන්නට සිහින මවන පතල් කම්කරුවාගේ ජීවිත අද වගේම එදත් අවදානම්ය. මීට විසි තුන් වසරකට පෙර මැණික් කර්මාන්තයේ දී අසන්නට ලැබුණ අවාසනාවන්තම සිදුවීමක් වූ එකම මැණික් පතලක් තුළ විෂ වායුවක් ආඝ‍්‍රාණය වී එකම පවුලේ තිදෙනකු ඇතුළු හතර දෙනෙක් මියයාමේ ශෝකජනක පුවත ගැන මහ රෑ ගෙවල්වල සිටි තැනැත්තන් දුටුවේ ඒ අයුරිනි.   
මේ ඛේදාන්තය සිදුවී දිනකට පසුවදා දිනපතා පුවත්පත්වල ප‍්‍රධාන මාතෘකාවක් බවට එය පත් විය. එකම පවුලේ අයියා මලෝ තුන්දෙනකු සමඟ හතර දෙනෙක් දිවි පිදූ ඒ ශෝකජනක සිද්ධිය රත්නපුරේ මැණික් පතල් කර්මාන්තයේ ඉතිහාසය තුළ තවත් බොහෝ කාලයක් එලෙසම පවතිනු ඇත.   


“මගේ ජීවිතයේ අත්විඳපු අවාසනාවන්තම සිද්ධිය මේක. මේ කියන පතල තිබුණේ මගේ ඉඩමේ. ලයිසන් එකත් මගේ. තට්ටු දාහතක් යටට පතලේ බැහැලා තිබුණේ. බුබුල අහුවෙලා තිබුණ නිසා වතුර මැෂිම රෑට දානවා. තට්ටු පතල් කපන කොට වාඩියක් හදාගෙන ඒකේ නවතින එක සිරිතක්. ලී දඬු, ආයුධ, මැෂින් ආදිය තියන නිසා ඒවායේ ආරක්‍ෂාවට ඉන්නේ. ඉල්ලම් ගන්න පටන් ගන්න කොට දෙතුන් දෙනෙක් ඉන්නවාමයි.”   
බටුහේන, කොස්ගොඩ, සමන් රාජපක්‍ෂ මහතා විසිතුන් වසරකට පෙර සිදුවූ ඒ දුක්බර කතාව සිහිපත් කරමින් හඬ අවදි කළේය.   


“මේ පතලෙත් හවුලට වැඩ කරන්න හත් දෙනෙක් විතර හිටියා. එකම පවුලේ සහෝදරයෝ දෙන්නෙකුත් ඒ අය අතර හිටියා. තට්ටු දාහතක් කියන්නේ සාමාන්‍යයෙන් අඩි තිස් පහක් විතර ගැඹුර ඇති. එච්චර ගැඹුර පතලක බුබුළ අහුවුණොත් වතුර ඉහින එක ලේසි නෑ. වතුර එක මැෂිමක් තිබුණට බෑ. මොකද මැෂිමෙන් අඩි විසි පහට වඩා ගැඹුරින් තියන වතුර එක පාරට ගොඩට අදින්නේ නෑ. ඒ වෙලාවට අපි කරන්නේ අඩි දහයක් විතර යටින් පොම්පයක් තියලා, පොළොව මට්ටමේ තියන එන්ජිමේ ඉඳලා බෙල්ට් දාලා පොම්පේ කරකවලා ඒ පොම්පෙ හරහා තමයි වතුර උඩට ගන්නේ. 

 
මේ කියන පතලේ වතුර ඉහමින් තිබුණා. රාත‍්‍රී හත අට විතර වෙනකොට දෙතුන් දෙනෙක් වාඩියේ හිටියා. වතුර පාර උඩට ඒම හදිසියේම නැවතිලා තිබුණා. පතල්වල එහෙම වෙනවා. ෆුට් වෑල් එකේ මොනවා හරි හිරවුණොත් ඒක වෙන්නේ. එතකොට කවුරුහරි වළට බැහැලා ෆුට්වෑල් එක ළඟ සුද්ද කරලා ගොඩට එනවා.   


වාඩියේ හිටපු තුන්දෙනාගෙන් එක්කෙනක් වළට බැහැලා බලන්න ගිහිං තියනවා. ටික වෙලාවක් ගියත් මෝටරෙන් වතුර එන එක හරි ගිහිං නෑ. වළට බැස්ස කෙනා උඩට ආවෙත් නෑ. පතලේ ළඟට ගිය දෙන්නා පතල ඇතුළට නැමිලා වළට බැස්ස කෙනාගේ නම කියලා කතා කළා. නෑ සද්දයක්.   


ආයෙත් වටපිට හෙව්වා. විහිළුවක් කරන්න කොහේ හරි හැංගිලා ඉන්නව ද කියලා බලන්න. නෑ. පේන්න නැති හින්දා උඩ හිටපු දෙන්නාගෙන් එක්කෙනකුත් බැස්සා. එයත් ආවේ නෑ. ඉතුරු එක්කෙනා කෑ ගහලා ආධාර ඉල්ලුවා. මොහොතක් යනකොට සෙනඟ වටවුණා. දේවාල පොළ වගේ.   


ඔය අතර තවකෙනෙක් පතලට බැස්සා. එයත් ආවේ නෑ. මම බහින්න හදනකොට මාව අල්ලාගෙන ඊට ඉඩ දුන්නේ නෑ. ඒ වෙනකොට හමුදාවෙන් පොලීසියෙන් ඇවිල්ලා. ඇම්බියුලන්ස් දෙකකකුත් ගෙනැල්ලා. මම ගියා වළ ඇතුළට හුළං යවන්න මෝටරයක් ගේන්න. ඒ යන අතරේ වළ ඇතුළේ හිටිය දෙන්නෙකුගේ අයියා කෙනෙකුට පණිවිඩක් කිව්වා. මල්ලිට කරදරයක් කියලා. එයා එක පිම්මේ පතලට දිව්වා. කාගෙත් විරෝධය මැද පතලට බැස්සා, එයා ආවෙත් නෑ. දැන් හතර දෙනෙක් පතලේ ඇතුළේ.   


පැය කිහිපයක් යනකොට ඔක්සිජන් ටැංකි ගෙනැල්ලා කෙනෙක් පතලට බැස්සා. දබරෙට පුටුවක් බැඳලා එක එක්කෙනා ගොඩට ගත්තා. ඒ අය ඇම්බියුලන්ස්වල දාලා රත්නපුරේ මහ ඉස්පිරිතාලෙට යැව්වා. වැඩක් වුණේ නෑ. හතර දෙනාම මැරිලා. තුන් දෙනෙක් එකම පවුලේ අයියා මලෝලා.” දිග සුසුමක් හෙළා සමන් රාජපක්‍ෂ පතල් රස්සාවේ ජීවිත අවදානම ගැන ලද අත්දැකීම විස්තර කළේය.   


මේ සිදුවීම වුණේ පතලේ වතුර ඉහින්න යාමෙනි. එහෙත් පතල් කර්මාන්තයේ දී වතුර ඉසිද්දී පසුදා වැඩට පතලට බහින්නට පෙර බැසීමෙන් පතල් කම්කරුවන් අනතුරට පත්වූ අවස්ථා ද තිබේ. එවැනි සිද්ධියක් හෙළි කළ ව්‍යාපාරිකයෙක් සිය නම සඳහන් නොකරන්නැයි කාරුණිකව ඉල්ලීමක් කළේය.   


රත්නපුරයට නුදුරු මැණික් බහුල ප‍්‍රදේශයක තට්ටු විස්සක් පමණ ගැඹුර පතලකි. තට්ටු දාහතේ සිටම ඉල්ලමය. බුබුලක් කැපී තිබුණ නිසා අඟල් හතරෙ පොම්ප දෙකක් යොදා පැය විසිහතරම වතුර ඉවත් කරනු ලබයි. ඉල්ලම් ගොඩ දමන නිසා වාඩියේ හතර දෙනෙක් නිරන්තරයෙන් නැවතී සිටිති.   


ගැඹුර පතල්වල පහළට බසින විට ආලෝකය නැත. අඳුරුය. ඒ නිසා ආලෝකය ගන්නේ ඉටිපන්දම් ආධාරයෙනි. සාමාන්‍ය ඉටිපන්දම්වලට වඩා විශාල ප‍්‍රමාණයේ ඉටිපන්දම් ඇත. පතල් ඉටිපන්දම්, දෝන ඉටිපන්දම් යන නම්වලින් ඒවා හඳුන්වයි. පැයකට වැඩි කාලයක් ඒවා දැල් වේ.   


පතල් ඇතුළේ ඉටිපන්දම් දැල්වීමෙන් ආලෝකය ලබා ගැනීම පමණක් නොව ආරක්‍ෂාව ද සැපයෙයි. වළ ඇතුළට යම් විෂ වායුවක් කාන්දු වන්නේ නම් එසේත් නැත්නම් වළ ඇතුළේ ඔක්සිජන් අඩුනම් ඉටිපන්දම නිවී යයි. සාමාන්‍යයෙන් ඉටිපන්දම් දෙකක්වත් දැල්වෙන අතර ඒවා නිවුණ වහාම පත්තු කරනු ලබයි. ඉටිපන්දම් දල්වන්නට නොහැකි වුණොත් පතල් වළේ ඉන්න දෙන්නා හෝ තුන්දෙනා වහාම උඩට එයි.   


“මේ සිද්ධිය වූ මැණික් පතලේ රාත‍්‍රී සිටි හතර දෙනා මාරුවෙන් මාරුවට මුරට සිටීම සිරිතය. එක්කෙනෙක් පැයක් දෙකක් අවදියෙන් සිටින අතර අනික් අය නිදා ගනී. අවදියෙන් සිටින කෙනා විදුලි පන්දමෙන් අවට ද වරින්වර පරීක්‍ෂා කරයි. මේ කියන දවස වෙනකොට තට්ටු තුනක ඉල්ලම් ගොඩදාලා තිබුණේ. කමතේ තිබුණ ඉල්ලම් ටික වහලා තිබුණේ.   


ඊළඟට මුර කරන්න වාරය හිමි කෙනා නැගිටලා ඉස්සෙල්ලා මුර කළ කෙනා කෝ කියලා බැලුවා. පේන්න ඉඳලා නෑ. ඉල්ලම් කමත පැත්තෙත් පේන්න ඉඳලා නෑ. පතල පැත්තේ ඇති කියලා පතල දිහාවට ගිහිං තියනවා. වතුර මැෂිමත් වැඩලු. එයත් වටේට ටෝච් එක අල්ලලා. ප‍්‍රතිචාරයක් තිබිලා නෑ. නිකමට පතල ළඟට ඇවිත් වළ ඇතුළ දිහා බලලා. වළ ඇතුළෙන් එළියක් පෙන්න තියනවලු. වළට ටෝච් එක ගැහුවට ඒ එළිය හොයාගන්න බැරි වෙලා.   


ඒ මනුස්සයා බයවෙලා වාඩියට දුවලා අනික් අය අවදිකරවලා, සිද්ධිය කියලා. කට්ටියම ඇවිත් වළ ඇතුළෙ බලන කොට එළියක් ඒ අයටත් පෙනිලා. කවුරුහරි වළ ඇතුළේ ඉන්නවද කියලා සැකයක් ඇතිවෙලා තිබුණේ වළ ඇතුළේ තිබුණ එළිය ඉඳලා හිටලා එහාට මෙහාට වෙනවා දැක්කාම.   


වාඩි මුරට ඇහැරලා හිටපු කෙනාත් නැති හින්දා කවුරු හරි ඇවිල්ලා ඉල්ලම් කඩනවද කියලා සැකයක් කට්ටියට ඇති වෙලා. ඒත් කෝ මුරට හිටිය කෙනා. මිනිහ කොහේ හරි ගැටගහලා ද කියලා හෙව්වත් හම්බ වුණේ නෑ. තියන තත්ත්වය අනුව කෙනෙක් වළට බහින එකත් අවදානම්. ‘හොරු ආවා නම් ගොඩ තියන ඉල්ලම් ටික අරං නොගිහිං වළේ ඉල්ලම් හොයන්න බහීයැ’ වාඩියේ සිටි අයට සැකයක් ද ඇතිව තිබුණි.   


මේ කියන කාලේ සෙලියුලර් ෆෝන් තිබුණා. ඒ වුණාට ඒවා තිබුණේ මුදලාලිලා ගාව. ෆෝන් එකක් ගඩොල් භාගයක් විතර ඇති. මා ළඟත් තිබුණා. පතලේ වැඩකරන කාගාවවත් ෆෝන් තිබුණේ නෑ. මෝටර් සයිකලුත් මේ වගේ තිබුණේ නෑ. පතලෙ මැනේජර් වගෙ කෙනෙක් දෙන්නෙක් ළඟ බයික් තිබුණේ.   


පාන්දර එළිය වැටෙන කොටම මට කෙනෙක් අතේ පණිවිඩයක් ආවා ඉක්මනට පතල් පොළට යන්න කියලා. මගේ ගෙදර ඉඳලා පතල් පොළට කිලෝමීටර් පහක් හයක් ඇති. පණිවිඩය ආපු හැටියේ මම පතල් පොළට ගියා. ඒ අය සිද්ධිය කිව්වා. මමත් පතල් වළ ළඟට ගිහිං බැලුවා. වළ ඇතුළේ එළියක් තියනවා. හිටපු ගමන් කැරකෙනවා. ආය එක තැන තියනවා. මහ අමුතු දෙයක්.   


වාඩියේ මුරට හිටපු අතුරුදන් වෙලා හිටපු කෙනාගේ ටෝච් එකත් පේන්න තිබුණේ නෑ. ඉල්ලම් ගොඩ අවුස්සලද කියලා බැලුවා. ඒකත් වහපු විදියටම තියනවා. ටිකක් එළිය වැටුණට පස්සේ අපි ඉටිපන්දමක් පත්තුකරලා ලණුවක් දිගේ පහළට යවලා බැලුවා. නිවුණේ නෑ. ඒ වෙනකොට පතලේ බාසුන්නැහැයි අනික් වැඩකරන කට්ටියත් ආවා. මේ සිද්ධිය අපි වෙන අයට ආරංචි නොවෙන්න වගබලා ගත්තා. එහෙම කළේ කමතේ ඉල්ලම් ගොඩ දාලා. වළේ ඉල්ලම් කඩන්න තියනවා. පිට අය පතල් පොළට ආවොත් අපිට ඒවට ආරක්‍ෂාව දාන්න අමාරු හින්දා. අනික වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නැති නිසා” නම හෙළි නොකරන්නැයි ඉල්ලූ ව්‍යාපාරිකයා ඔහුගේ අත්දැකීම විස්තර කළේය.   


බාසුන්නැහැ මඩ ඇඳුම ඇඟලාගෙන තට්ටුවල දිගන් කඳන් මැදින් ඇති රිට අල්ලාගෙන හිමින් හිමින් වළ ඇතුළට බසී. බාසුන්නැහැට ටිකක් පහළට වන සේ දැල්වූ ඉටි පන්දමක් ආධාරකයක රඳවා උඩ සිටි අය පහළට ලණුවක ආධාරයෙන් බස්සවයි. ඒ විෂ වායුවක් ඇති වී තිබේදැයි හොඳින් නිරීක්‍ෂණයටය.   


පතල ඇතුලේ සිට බාසුන්නැහැ ලණුවෙන් යම් සංඥාවක් කළේය. වැඩ කරන තවත් කෙනෙක් බැස්සේය. විනාඩි කිහිපයකින් දෙදෙනාම ගොඩ ආවේ අනෙක් අයගේ හිත්වල ප‍්‍රශ්නාර්ථයක් ඇති කරමිනි.   


“පතල ඇතුළේ පහළ දිගන් කඳයි හරස් ලීයකුයි අතර මිනිහ හිරවෙලා. ටෝච් එක වළ ඇතුළේ. මිනිහාගේ ඇඟ රස්නෙයි. හුස්මත් වැටෙනවා වගෙයි.” බාසුන්නැහැ කී කතාවෙන් පසු සැවොම කලබල වූහ.   
එහෙත් මේ සිද්ධිය පිටස්තර කාටවත් දැනගන්නට නොතැබිය යුතු බව කාගේත් තීරණය විය. පතල් පොළ වටකර ඉටිරෙදි සහ පොල් අතුවලින් ආවරණය කර ඇති නිසා ඇතුළේ වෙන දේවල් පිටත කිසිවෙකුට පෙනෙන්නේ ද නැත.   

 


ලණු සහ කඹ ආධාරයෙන් වළේ සිටි තැනැත්තා ගොඩට ගෙන වහාම රෝහලට යැවිණි. දැඩිසත්කාර ඒකකයට යැවුණ ඔහු ජීවත්ව සිටින බව තහවුරු විය. ඔහු පතලට වැටුණේ කෙසේද යන්න කාටත් ගැටලුවක් විය. පෙර දිනයේ බාසුන්නැහැ සමඟ පතලේ ඉල්ලම් ගැනීමට උදව්වට සිටියේ ඔහුය.   


“ඊයේ ඉල්ලම් කඩද්දී මිනිහා මගෙන් කතා කරන ගමන් එක එක ප‍්‍රශ්න ඇහුවා. පතල්වල හවුල් ගැන ඇහුවා. මම ඒවා කියලා දුන්නා. මේ වගේ මහන්සි වෙලා වැඩ කළාට අපිට කීයද ලැබෙන්නෙත් නේද කියලාත් මිනිහා ඇහුවා. ඉල්ලම් පුරවද්දී ගලක්වත් කොටුවෙලා ඒක හංගලා ගන්න කාටත් හොරා මිනිහා බැස්සාද දන්නේ නෑ...” බාසුන්නැහැ යම් සැක උපදවන කතාවක් මතු කළේ ය.   


දෝනාවක් නොගිහිං පතලේ ඉල්ලම් අරං අවසානයේ ඉල්ලම් සේදීමට පිරිස තීරණය කළේය. ඒ අතර පතලේ වැටී රෝහල් කළ තැනැත්තාගේ සුව දුක් සොයා බැලීමට ව්‍යාපාරිකයා කෙනෙක් වෙනමම යෙදවීය. කරු හවුලක් හිමි ඔහු වෙනුවට වෙනත් කෙනෙක් පතලේ වැඩට යොදවනු නොලැබිණි.   


“ඒ පතලෙන් ලොකු ගලක් හම්බ වුණා. ඒ කාලේ හැටියට කරු හවුලකට අනූදාහක් විතර තිබුණා. ගල හම්බ වුණාම බාසුන්නැහැ කියපු කතාව මතක් වුණා. ඉල්ලම් කඩන කොට මතුවුණ ගලක් තට්ටුවක් අස්සේවත් හංගලා ඒක ගන්න බැහැලා ආපසු ගොඩවෙන කොට මේකා ලිස්සලා වැටෙන්න ඇති. ඒ වැටෙන කොට ගල වළට වැටෙන්න ඇති. වැඩි උසකින් වැටිලා තිබුණේ නැති හින්දා මිනිහට සනීප වුණා. ඒත් මිනිහා වැටුණේ කොහොමද කියලා දන්නේ මිනිහා විතරයි. සනීප වුණාට පස්සෙ කොච්චර ඇහුවත් මිනිහා නෙවෙයි කටක් ඇරලා වැටුණ විදිය කිව්වේ.”   


මැණික් පතල් කර්මාන්තයේ දී ‘ලැබෙන්න තියන වාසනාව වළක්වන්නට ශක‍්‍රයාටවත් බැරියැයි’ කියන කියමන සත්‍යයක් බව ව්‍යාපාරිකයා මේ සිද්ධිය හෙළිකරමින් පැවසුවේය.   


“පතල් කපන මිනිස්සු කනවා බොනවා වුණාට රස්සාව කරන කොට දෙවියන්ට බුදුන්ට පින් දීලා පහන් පත්තු කරලා බොහොම භක්තියකින් ඕක කරන්නේ. හොර හිතක් ඇතුව පතලක වැඩ කළොත් දඬුවම් ලැබෙනවාමයි. ඒක ඒ පතල් පොළේදි නැත්නම් වෙන අවස්ථාවකදී හරි සිද්ධ වෙනවාමයි. කොච්චර ගල් හම්බවුණත් සමහර පතල් කම්කරුවන්ට යාදෙන්නේ නැත්තේ ඒකයි.” ඒ ව්‍යාපාරිකයා පැවසුවේය.   

 

 

තවත් කොටසක් ලබන සතියට...... 

 

 

 

 
සටහන/ ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය