පාර්වතී හලාහල විෂ බඳුනෙන් ශිවගේ දිවිය බේරාගනියි


දෙවිවරුන්ගේ සැබෑ භක්තිවන්තයන් වෙත නිරතුරුවම දේව කරුණාව හිමි වේ. එවිට මොන තරම් බලගතු ව්‍යසනයක් වුවද ඒ සියල්ලෙන් ඔවුන් බේරා ගැනීමටම දෙවිවරු උත්සාහ කරති. ශිව ඔහුගේ භක්තිවන්තයකු වූ නන්දි හදිසි මරණයකින් ගලවා ගත්තේය. මේ ඒ කතාවයි.

ඉසිවර ශිලාද දරුවන්ට බෙහෙවින්ම ඇලුම් කළේය. එහෙත් ඔහුටම කියා දරුවකු සිටියේ නැත. මේ නිසාම ඔහු හදාවඩා ගැනීම සඳහා විශේෂිත දරුවකු ලබාදෙන ලෙස ශිව දෙවියාට නිතරම කන්නලව් කළේය. වසර ගණනක් තිස්සේම ශිව වන්දනාවේ යෙදුණු ඔහු දරුවකු ඉල්ලීම නතර කළේම නැත.  

 

අවසානයේ ශිව, ශිලාද ඉසිවරයා දෙස බැලුවේය.  


“ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද ශිලාද?”  


“දරුවෙක්, මට ඕනැ දරුවෙක් ශිව...”  


ශිව හිනැහුණේය. ඉක්මනින්ම ඔබට දරුවකු හමුවේවි.  


ශිලාද ඉසිවරයා ගෙදර ගියේ ප්‍රීතිමත් මිනිසකු ලෙසිනි. ඒ වසර ගණනක් තිස්සේ තමන් කළ කන්නලව්වට ශිව සවන් දුන් නිසාය.  


පසුදා උදෑසනින්ම පුරුදු විදිහටම ඉසිවරයා සිය ගොවිපොළට ගියේය. ගොවිපළේ වරුවක් හමාරක් ගතකරන ඔහු අලුත් භෝග සිටුවීම, තිබෙන භෝගවලට වතුර හා පොහොර දැමීම, අස්වනු ආදිය නෙළීම වැනි බොහෝ කටයුතු ඉටු කරන්නේය. එහෙත් එදා ඔහු ගොවිපොළට ගොස් එහි දොරටුව අරින විටම ඔහුට හමු වූයේ දරුවෙකි. හරිම ලස්සන දරු පැටියෙකි. ඔහුගේ හම රෝස පෙත්තක් මෙන් සිනිදු වූ අතර සුදු පැහැයෙන් දිලිසුණේය.  
“ශිලාද ඔය දරුවා ගන්න. ඔහුව හොඳින් රැක බලා ගන්න.”  


දිව්‍ය ලෝකයෙන් ඇසුණු කටහඬක් සමගම ශිලාද දරුවා වඩා ගත්තේය.  


සතුටින් ප්‍රමුදිත වූ ශිලාද දරුවා රැගෙන ගෙදර ගියේය. ඊළඟට අවශ්‍ය වූ වැදගත්ම දෙය දරුවාට නමක් තැබීමය.  


“නන්දි කියන නම හොඳයි”  


තමන්ටම කියාගත් ඉසිවරයා දරුවට නන්දි යන නම තැබුවේය.  


නන්දි සිය ළමා විය ගෙවා දැමුවේ ප්‍රීතියෙනි. යන්තම් දැනුම් තේරුම් ඇති වයසට පිවිසි දවසේ පටන්ම ශිව දෙවියන් කෙරෙහි දැඩි භක්තියක් පළ කළ ඔහු වේදය ඇතුළු බොහෝ දේ මැනවින් ප්‍රගුණ කළේය. ශිලාද ඉසිවරයා ද මේ දරුවාට හැම මොහොතකම යමක් උගැන්වීමට උත්සාහ ගත්තේය.  


“නන්දි...”  


දිනක් ශිලාද ඉසිවරයා තම පුතුට කතා කළේය.  


 ගෙතුළ සිටි නන්දි සිය පියාගේ ඇමතුම ඇසුණු සැණින්ම ශිලාද වෙත පැමිණියේය.  


“නන්දි කරුණාකරලා මේ ඉසිවරු දෙන්නව හොඳින් අඳුනාගන්න” ශිලාද ඉසිවරයා තවත් ඉසිවරුන් දෙදෙනෙක් පෙන්වා පැවසුවේය.  


 “එහෙමයි පියාණනි.”  


 නන්දි මද සිනහවකින් යුතුව පැවසුවේය.  


 අනතුරුව එකී ඉසිවරු දෙදෙනා දෙස විමසිල්ලෙන් බැලූ නන්දි ඔවුන් හා කෙළිකවට දොඩා හොඳින් විනෝද වූයේය.  


එහෙත් ඉක්මනින්ම ඔවුන්ට වෙන්ව යෑමට කාලය පැමිණ තිබිණි. නික්මයන්නට කලින් ශිලාද දෙස බැලූ ඉසිවරු ඔහුට ආශිර්වාද කළෝය.  


“ඔබට දිගු ප්‍රීතිමත් දිවියක් හිමිවේවා. එසේම ඔබට අපවද ප්‍රීතිමත් කිරීමට හැකිවේවා.”  


 ඊළඟ මොහොතේ නන්දි මේ ඉසිවරු දෙදෙනා ඉදිරිපිට දණින් වැටුණේය. පළමුව මිත්‍ර ඉසිවරයාගේ දෙපා ස්පර්ශ කළ ඔහු දෝතම එක්කර වැන්දේය. ඊළඟට වරුණ ඉසිවරයාටද එලෙසම වැඳ වැටුණේය.  
“යහපතක්ම වේවා පුතණුවනි. ඔබේ මව්පියන්ටත් ගුරුවරුන්ටත් යහපතක්ම වේවා.”  


 මිත්‍ර සහ වරුණ ඉසිවරු දෙදෙනාම එක හඬින් පැවැසූහ. අනතුරුව කෙටි පියවර තබා ශිලාද ඉසිවරයාගේ නිවෙසින් ඔවුහු නික්මුණහ.  


තම නිවෙසින් නික්ම යන මිතුරු ඉසිවරුන් තුළින් යම් වෙනසක් දකින්නට ශිලාද සමත් විය. ඔවුන්ගේ ඇස්වල වූයේද කිසියම් කනස්සලු ගතියකි. එය කුතුහලයට කරුණක් වූ බැවින් ශිලාද වහා නිවෙසින් පිටවී මිත්‍ර හා වරුණ ඉසිවරු වෙත දිව ගියහ.  


“මහා ඉසිවරුනි.”  


ශිලාද කීවේය. “ඔබ දෙදෙනා මගේ පුතණුවන්ට ආශිර්වාද කළේ සෝබර හඬකින්. ඔබේ නෙත්වල සටහන් වූ ශෝකයක්ද මා දුටුවා. මට කියන්න කුමක් හෝ වරදක් තිබෙනවාද?”  


මිත්‍ර ඉසිවරයා ශිලාද දෙස බැලුවේ අනුකම්පාවෙනි.  


“ඔබේ පුතනුවන්ට දිගු ජීවිතයකට ආශිර්වාද කිරීමට මට නොහැකියි.”  


මිත්‍ර පහත් හඬින් පැවසුවේය.   


”අා....ඇයි? මගේ පුතණුවන්ට සිදුවන අයහපත කුමක්ද?”   


ශිලාද ඉසිවරයා කුහුලින් විමසුවේය.  


“ඔබේ පුතණුවන්ට.....”  


වරුණ කතා කළේ උගුර යටිනි. ඔහුගේ හිතේ හටගත් කිසියම් ශෝක ආවේගයක් නිසා ඔහුගේ කටහඬ නිරවුල් වූයේ නැත.  


“පවසන්න.”  


ශිලාද කලබලයෙන් කීවේය.  


“ඔබේ පුතණුවන්ට දිගු කල් ජීවත්වීමට වාසනාවක් නැහැ.”  


වරුණ කීවේ කෙඳිරිලි ස්වරයකින්.


“මට ඒ ගැන කණගාටුයි.”  


ඒ වචන ඇසුණු විට ශිලාද ඉසිවරයාගේ මුහුණ මත කළු වලාකුළු මතුවිය. ඇස් අග උපන් කඳුළකින් ඔහුගේ ඇස් පවා නොපෙනී ගියේය. එතැනම බිම වාඩිවූ ශිලාද ඉසිවරයා කිසිවක් සිතාගත නොහැකිව කම්පිතව සිටියේය.  
හෝරාවකට පමණ පසුව අමාරුවෙන් හිටගත් ඔහු තමාටම අවසඟ දෙපා වලින් නිවෙස දෙසට ඇවිදගෙන ගියේය. එහෙත් ඔහුගේ සිතට මෙන්ම ගතටද සවියක් නොවීය. ඔහුගේ හදවතද බිඳී ගියාක් වැනි විය.  


යම් කිසිවක් වැරදී ඇති බව නන්දිට වැටහිණි.  


“කිමෙක්ද ගැටලුව පියාණෙනි.”


නන්දි ඇසුවේය.  


 තම පියාණන් තුළින් වෙනදා දැකිය හැකි ජවය ඒ මොහොතේ ඔහුගෙන් අතුරුදන්ව තිබිණි.  


තම පුතුගේ සුන්දර මුහුණ දෙස බලා සිටි ශිලාද ඉසිවරයාගේ ඇසට කඳුළක් නැංගේය.  


“පියතුමනි අර ඉසිවරු දෙදෙනා කුමක්ද පැවසුවේ?”  

 

 ‘පියාණෙනි, මගේ දෛවය මරණය නම් ශිව උතුමාණන් එය වෙනස් කරාවි. ඔහු අතිශය බලවත් දෙවි කෙනෙක් එබැවින් ඔහුට කළ නොහැක්කක් නැති තරම්. මට විශ්වාසයි ඔහු මට පිහිට වී මගේ ජීවිතය සුරකින බව. මා ඔහුට නිරතුරුවම වන්දනා කරන්නම් පියාණෙනි.’  


නන්දිගේ මුහුණෙහි වූයේ දැඩි විශ්වාසයක් බව ශිලාද වටහා ගත්තේය. ඒ නිසා ඔහුගේ මුහුණේ සැහැල්ලුවක් ඇඳී ගිය අතර ඔහු මද සිනා නැඟුවේය.  


 ‘මට ආශිර්වාද කරන්න පියණෙනි.’ නන්දි, ශිලාදගෙන් ඇයද සිටියේය.

 

 තම පුතුගේ හිස සිපගත් ශිලාද ඉසිවරයා පහත් හඬින් සියල්ල විස්තර කළේය. ඉසිවරුන්ගේ අනාවැකිය ඇසූ විට නන්දි හොඳටම හඬා වැටෙනු ඇතැයි ශිලාද ට සිතිණි.  


 එහෙත් තම ජීවිතය දිගුකාලීන නොවන බව ඇසූ නන්දි කළේ හොඳටම හිනාවීමය. ලෝකයේ රසවත්ම විහිළුව ඇසූ කලෙක මෙන් හඬ නගා සිනාසීමය.  


 “ඒ ඉසිවරු කියූ දේ ඔබ විශ්වාස කරනවද පියාණෙනි?”  


නන්දි ඇසුවේය.  


 ශිලාද කතා නැතුව බලා සිටියේය.  


 “පියාණෙනි ඔබ දිනෙක මා හා පැවැසුවා නේද ඔබ ශිව උතුමාණන් දුටු බව?”  


නන්දි ඇසුවේය.  


ශීලාද තම පුතුගේ මුහුණ බැලුවේ ඔහුගේ ප්‍රශ්නයත් තමන්ගේ යහළුවාත් අතර කිසිදු සබඳකමක් නොමැති නිසාය. කෙසේ වෙතත් නන්දිගේ දෙනෙතෙහි වූයේ ශිව පිළිබඳ අසීමිත භක්තිය නිසා හටගත් විශ්වාසයකි.  
 “ශිව උතුමාණන් දුටු කිසිවෙක් කිසිවකට බයවෙන්නේ නැහැ. අර ඉසිවරුන්ගේ ප්‍රකාශය ගැනත් ඔබ බිය විය යුතු නැහැ පියාණෙනි.”  


 නන්දි කියන්නේ කුමක්දැයි වටහා ගැනීමට ශිලාද අපොහොසත් විය. ඔහු කුතුහලයෙන් යුතුව තම පුතු දෙසම බලා සිටියේය.  


 “පියාණෙනි, මගේ දෛවය මරණය නම් ශිව උතුමාණන් එය වෙනස් කරාවි. ඔහු අතිශය බලවත් දෙවි කෙනෙක් එබැවින් ඔහුට කළ නොහැක්කක් නැති තරම්. මට විශ්වාසයි ඔහු මට පිහිට වී මගේ ජීවිතය සුරකින බව. මා ඔහුට නිරතුරුවම වන්දනා කරන්නම් පියාණෙනි.”  


නන්දිගේ මුහුණෙහි වූයේ දැඩි විශ්වාසයක් බව ශිලාද වටහා ගත්තේය. ඒ නිසා ඔහුගේ මුහුණේ සැහැල්ලුවක් ඇඳී ගිය අතර ඔහු මද සිනා නැඟුවේය.  


 “මට ආශිර්වාද කරන්න පියාණෙනි.” නන්දි, ශිලාදගෙන් ඇයද සිටියේය.  


වහා තම පුතුගේ හිස සිපගත් ශිලාද ඔබට ප්‍රීතිමත් දිගු ජීවිතයක් උරුම වේවා පුතණුවනි, යැයි ආශිර්වාද කළේය.  


“ස්තූතියි”  


ශිලාද ඉසිවරයාගේ දෙපා මුල වැඳ වැටුණු නන්දි පැවසුවේය.  


ඉනික්බිති නන්දි ඇවිද ගියේ බූවාන නදී තීරය වෙතය. දියේ ගිලී හොඳින් ස්නානය කළ ඔහු ඊළඟට ගඟ අද්දර වැල්ල මත වාඩි වූයේය. එරමිණිය ගොතාගත් ඔහු මදක් භාවනානුයෝගීව සිට ශිව දෙවියන් දැකීමට ප්‍රාර්ථනා කළේය.  


 ඒ සමඟම ඔහු ඉදිරියේ පෙනී සිටියේ ශිවය.  


“නන්දි ඔබේ නෙත් විවර කරන්න.”  


 ඇස් තුනක් හිමි ශිව දෙවියා නන්දි දෙස බලා පැවසුවේය.  


 නෙත් වසාගෙන දැහැන්ගතව සිටි නන්දි ඒ හඬට අවනත විය. ඔහු වහා දෙනෙත් ඇරියේය. ඔහු දුටුවේ අතිශය කඩවසම් පුද්ගලයෙකි. ඔහු ඉමහත් භක්තියෙන් යුතුව දෙව්රුව දෙස බලා සිටියේය.  
 “මම හැම විටෙකම ඉන්නේ දෙවියනි, ඔබ සමගයි.”  


නන්දි කෙඳිරුවේය.  


 “ශිව නන්දි දෙස බැලුවේ දයාබරවය. නන්දි ඔබේ භක්තිය බෙහෝ සේ බලවත්. ඔබ මගෙන් පිහිටක් පතන විටම මට එය දැනුණේ ඒ භක්තිය නිසා. එසේම මා සැණෙකින් ඔබ වෙත ආවේත් ඒ භක්තියේ බලය හරහායි.”  
නන්දි සිනාසුණේය.  


“ඉතින් දැන් පවසන්න. ඔබේ ගැටලුව කුමක්ද කියා.”  


 ශිව යළිත් කීවේය.  


නන්දි ඉසිවරුන් දෙදෙනාගේ අනාවැකිය ගැන පැවසුවේය. ඒ අනාවැකිය නිසා සිය පියා වන ඉසිවර ශිලාද කම්පා වූ හැටිත් ඒ නිසාම ඒ දුර්දෛවයෙන් තමන්ට ගැලවීමට අවශ්‍ය බවත් පැවසුවේය.  


 “මගේ වාහනය නැතිවීම නිසා මා ගමන් බිමන් යන්නේ අපහසුවෙන්. ඒ නිසාම මට වාහනයකුත් මගේ මැදුර වන කෛලාශයට දොරටු පාලකයෙකුත් නැහැ. නන්දි ඔබට පුළුවනි මා සමඟ කෛලාශයට යන්නට. එහි වැඩ කටයුතු මෙන්ම මගේ ගමන් බිමන් ආදියත් ඔබට කිරීමට සිදුවෙනවා.  


 නන්දි සතුටින් ප්‍රමුදිත විය. තම පියා වෙත ගිය ඔහු තමන් කෛලාශයට යන බවත් සිය දුර්දෛවය එහිදී වෙනස් කරගත හැකි බවත් පැවසුවේය.  


නන්දිගේ දුර්දෛවය වෙනස් කරගැනීමට ලැබීම තරම් සතුටක් ශිලාද ඉසිවරයාට තවත් තිබුණේ නැත. ඒ නිසාම ඔහු නන්දිට කෛලාෂ මැදුරට යන්නට ඉඩ දුන්නේය. ශිව නන්දිගේ ශරීර ස්වභාවය වෙනස් කර තම වාහනය බවට පත් කළේය.


 සුර අසුර දෙපිරිස එක්ව සමුද්‍රය කළඹා අමෘත්‍ය ගොඩ ගැනීමට සූදානම් වූයේ මීට ටික දිනකට පසුවය. එදා අමෘතය මතුවන්නට කලින් සයුරු පත්ලෙන් මතු වූයේ වෙන වෙන දේවල්ය.  


 ඒ අතර හලා හල නම් විෂද වූයේය. හලා හල විෂ යනු මෙලොව හමුවන උග්‍රතම විෂ වර්ගය වූයේය.  


ඒ නිසා එයට සමස්ත ලෝකයම විනාශ කර දමන්නට හැකි විය. ඒ නිසා ශිවට සිදුවූයේ මේ විෂ වර්ගය ලෝකයෙහි නොතබා සඟවා ගන්නටය. එසේ වුවත් එය සඟවා තැබීමට තැනක් නොවූයෙන් ශිව කළේ එම විෂ ගිල දැමීමය.  


 එවිටම පාර්වතී දේවිය වහා ඉදිරියට පැන ශිවගේ ගෙල මිරිකා ගත්තාය. එබැවින් හලාහල විෂ ශිවගේ උගුරෙහි සිරවූ අතර ඔහුගේ ශරීරයට කිසිම හානියක් කරන්නට සමත් වූයේ නැත.  


කෙසේ වෙතත් ශිවගේ දෝතට පත් විෂ අළු වලින් කොටසක් ඔහුගේ අත්ලෙන් ගිලිහී බිමට වැටුණේය. එම විෂ අතිශයින්ම සුළු වූයෙන් එය බිම වැටුණු බව ශිවටද රහසක් විය.  


 මේ විෂ ස්වල්පය බිමට වැටෙනු නන්දි දුටුවේය. වහා බිමට පහත් වී එම විෂ අහුලාගත් ඔහු තම ස්වාමියාව අනුගමනය කළේය. ශිව මෙන්ම ඒ විෂ ස්වල්පය නන්දි ගිල දැමුවේය.  


 නන්දි කළ අනුවණ ක්‍රියාව දුටු දෙවිවරු කම්පාවට පත්වූහ. දෙවිවරු ඇස් ලොකු කරගෙන නන්දි දෙස බලා සිටියහ.  


 ශිව රැකගැනීමට පාර්වතී සමත් වූ මුත් නන්දි රැකගැනීමට කිසිවෙක් සිටියේ නැත. ඒ නිසාම නන්දිගේ ජීවිතය එතෙකින් සමාප්ත වූයේ ඉසිවර මිත්‍ර හා වරුණගේ අනාවැකිය සඵල කරමිනි.  


 බිම ඇද වැටුණු නන්දි වෙත ගිය ශිව, ඔහුගේ හිස අතගෑවේය.  


නන්දි කියන්නේ මගේ හොඳම අනුගාමිකයා. ඔහු සතු භක්තිය අසීමිතයි. ඒ නිසා පාර්වතී මා රැකගත් අයුරින්ම නන්දිවද රැකගත යුතුයි.  


 ශිව දේව සභාව දෙස බලා පැවසුවේය.  


 අනතුරුව යළිත් නන්දි වෙත පහත් වූ ඔහු තම අනුගාමිකයාට ජීවිතය ලබා දුන්නේය.  


ඇස් විවර කළ නන්දි ශිව හා පාර්වතී දෙස දෙස බලා සිනාසුණේය. වැටී සිටි තැනින් නැගී සිටි නන්දි ශිවගේ දෙපා සිම්බේය.  


ඉනික්බිති ශිව, පාර්වතී සහ නන්දි ඔවුන්ගේ කෛලාෂ මන්දිරය බලා පිටත්වූහ.  

 

 

 

 


ශාන්ත කුමාර විතාන