ගෝල් ෆේස් පිටියේ මිනිසුන් එල්ලා මැරූ වදක බිම


සිහිවටනයක පසුබිම් කතාව

 

 

ඒ ලන්දේසි පාලන යුගයයි. වර්ෂය හරියටම කිවහොත් 1723 ලෙස සටහන්ව ඇත. එම වසරේ ලංකාවට ආ ආණ්ඩුකාරවරයා වූයේ පේත්‍රස් වුයිස්ට් නම් වූ ප්‍රභූවරයෙකි. ඔහු මේ තනතුර ලබන විට අවිවාහකයෙකි.  
ඕලන්දයේ ඇම්ස්ටර්ඩෑම් නුවර ප්‍රභූ පවුලකින් පැවත ආ පුද්ගලයෙකි වුයිස්ට්. ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ නව ආණ්ඩුකාරතුමා ලක්වැසියන් ගැන වැරදි අවබෝධයකින් සිටි අයකු බවය. ඔහු ලංකාවට ගොඩ බසින්නේ ගාලු වරායෙනි. (ගාලු මුවදොරෙන් නොවේ) 
 
නව අාණ්ඩුකාරවරයා දුටු බොහෝ අය සිතන්නට වූයේ ඔහු එක් ඇසක් අන්ධ අයකු ලෙසය. එයට හේතුව නව ආණ්ඩුකාරයා තම වම් ඇස කළු සම් කඩකින් වසා තිබීමයි. නමුත් සත්‍යය අනෙකකි. ඔහුගේ ඇසේ වූ ආබාධයක් නොවේ. එහි හොඳින් පෙනීම තිබිණි.  


පේත්‍රිස් වුයිස්ට් මෙසේ නිරෝගී ඇසක් ආවරණය කිරීමට හේතු වූයේ කුමක්ද? මෙන්න ඊට හේතුව පේත්‍රිස්ගේ වචනයෙන්ම.  


“ලංකාවේ සිටින්නේ මෝඩයෝය. ලංකාව වැනි මෝඩයින් සිටින රටක් පාලනය කිරීම උදෙසා මා හට ඇස් දෙකක්ම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ.”  


එහෙත් ගතවූයේ වසර 3 කි. 1726 දී ලන්දේසි රජය ඔහුව අත්අඩංගුවට ගත්තේය. ලංකාවේ මෝඩයන්ගේ දස්කම් නොහොත් වැඩකිඩ එකැස් අන්ධබව ලෝකයාට පෙන්වූ ආණ්ඩුකාරයා එද‌ා හොඳහින් දැනගන්නට ඇත.  
ඔහුගේ අණින් ගෝල්ෆේස් පිටියේ එල්ලාමැරූ පිරිස අපමණය.   


ලන්දේසි යුගයේ අත්අඩංගුවට ගත් මේ ආණ්ඩුකාරවරයා එල්ලා මරණ ලද්දේ ගෝල්ෆේස් පිටියේදීයැයි මේ ලිපියේ මතු සඳහන් වනු ඇතැයි උපකල්පනය කළහොත් ඔබේ තීරණය වැරදිය. සිරභාරයට ගනු ලැබූ පේත්‍රස්ව විලංගු ද‌ා ගෙන ගියේ අධිකරණයටය. ඔහුට විරුද්ධව තිබූ චෝදනා රැසකි. අධිකරණය ඉදිරියේ සියලු වැරදිවලට වැරදිකරු වූ ඔහු එල්ලා මරණ ලදී. ඔහුගේ දේහයද පුලුස්සා දමන ලදී. කොටින්ම අළු ටිකද මුහුදට විසිකරන ලදී. එහෙත් මේ කිසිවක් සිදුවූයේ ගාලුමුවදොර නොවේ. ඕලන්දයේදීය.  


මේ සටහන කියවන විට බොහෝ දෙනෙකු විමතියට පත්වන්නට ඇත්තේ ආණ්ඩුකාරවරයකු ගෝල්ෆේස් පිටියේ එල්ලා මරනලද්දේ කවද‌ාදැයි විමතියෙන් විය යුතුය. කොළඹ පිහිටි විවිධ ස්මාරක සහ ස්ථාන ගැන තොරතුරු විමසීමේදී ප්‍රධාන වශයෙන් අපට උපකාරිවන්නේ ‘දේශාටන’ වාර්තා සටහන්ය.  


ගෝල්ෆේස් කියූ සැණින් අපට ජනතාවට විනෝද‌ාස්වාදය ලබාදෙන, සිසිල් සුළං දසතින් ගලාඑන සුන්දර භූමියක් මතකයට ආවද ඈත අතීතයේ එය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලීයෙන් තැනූ එල්ලුම් ගසක් තිබූ තැනක් ලෙසය. එහි සේවය කිරීමට ස්ථිර සේවක පිරිසක් සහ ආරක්ෂකයින් ද එද‌ා සිටි බවට සාක්ෂි ඇත.  


මේ ගෝල්​ෆේස් පිටිය එදා මරණීය දණ්ඩනයට ලක්වූවත් භූමදානය කළ සුසාන භූමියක් වූ බව දන්නේ කීයෙන් කී දෙනාද? ලීයෙන් තනා තිබූ පෝරකයේ එල්ලා මැරූ පුද්ගලයන් එහිම භූමදානය කළ බැව් ලිඛිතව සටහන්ව ඇත. 


භූමදානය කරන ලද සිරුරු දැමූ වළවල් ගැඹුරු ඒවා වූයේ නැත. පසුදිනම එම සිරුරු දඩාවතේ ගිය බල්ලන් සහ වෘකයින්ගේ ගොදුරු බවට පත්ව අත්පා වෙන් වශයෙන් කීතු කීතු ගොස් මුළු ගෝල්ෆේස් පිටියම මිනී කුණු ගදෙන් එද‌ා දුර්ගන්ධයට පත්වන්නට ඇත.  


මේ ගෝල්ෆේස් වධක භූමිය ලන්දේසීන්ට අයත් වූ පසු ලන්දේසින් මේ භූමියේ ඊට වඩා උපයෝගිතාවයෙන් යුතු කර්ත්‍යවයක් සඳහා යොදාගන්නට තීරණය කරන ලදී. ලන්දේසින් ගාලුමුවදොර තැනිතලා භූමිය තුළින් දුටුවේ යුදමය අවශ්‍යතාවකි. යුද පුහුණුවට යෝග්‍ය ස්ථානයක් ලෙස සලකා ලන්දේසි පාලනය ගෝල්ෆේස් භූමිය හමුද‌ා සේනාංකවලට වෙන්කර දෙන ලදී.  


ගෝල්ෆේස් ඉතිහාසය සැලකිල්ලට ගැනීමේදී එය ඓතිහාසික ලෙස පරස්පර විරෝධී අවශ්‍යතාවන් වෙනුවෙන් කැපවූ භුමියක් ලෙස නිර්වචනය කළ හැකිය. අද ගාලු මුවදොර කෙමෙන් පැරණි පාර්ලිමේන්තුව දෙසින් මුහුදට ගොඩවනු පැමිණෙන කාටත් දැකගත හැකිය. එහෙත් අදටත් කොළොම්පුරේ ඇත්තන් මෙන්ම ඉතා දුරබැහැරින් ආ පුද්ගලයින් පවා ඉතා සාමකාමීව මුහුදු සුළ​ෙඟ් පහස විඳගන්නට ගෝල්ෆේස් පිටියට එනු අපට දැකගත හැකිය.  


බෙල්ජියම් ජාතික ගවේෂකයකු වූ දොස්තර එහිදියස් ඩාල්මාන්ස් Ehidias Dalmans ගේ සටහන්වල ගාලුමුවදොර ඉතිහාසය හකුළුවා දක්වා ඇත. එහි සඳහන් වන්නේ 17 වන සියවසේදී ලන්දේසින් විසින් අමු අමුවේ මිනිසුන් එල්ලා මරන වධකාගාරයක් මෙම භූමියේ වූ බවය.  


කොළඹ නගරයෙන් වූ උද්‍යාන සහ විසිතුරු තැන් ගැන නිරීක්ෂණයේදී පෙනී යන්නේ අතීතයේ සිට මේ තැන් ගැන ඉතිහාසය ග්‍රන්ථාරූඪ කිරීමට ස්වදේශිකයින්ට වඩා විදේශිකයින් උත්සාහ ගෙන ඇති බවය.  
කොළඹ සෑම පාරක් තොටක් ගැන සවිස්තර වාර්තා හා පුරාවෘත්ත සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් නොවේ. මෙයින් මුල් තැනෙහිලා සැලකිය හැකි පුද්ගලයා වන්නේ හිටපු සර්වේයර් ජනරාල්වරයකු වූ ආර්.ඇල්. බ්‍රොහියර් ය. මීට අමතරව මේජර් රේවන්හාට්, කපිතාන් ඇන්ඩර්සන්, එස්මි රන්තෙයින් යන නාමයන් ද මේ අතරට ගැනිය හැකිය.  


කෙසේ නමුත් ගෝල්ෆේස් ඉතිහාසය ආරම්භ වූ තැනක් ගැන ස්ථිර ලෙස සොයායන විට අපට කොළඹ නගරයේ උපත ගැන සටහනක් නෙත ගැටුණි. එහි සඳහන් වන්නේ කොළඹ නගරයේ උපත 1505 නොවැම්බර් 15 වැනිද‌ා සිදුවූ බවය. ගෝවේ පෘතුගීසි ආණ්ඩුකාරයාගේ පුත් ලොරෙන්සෝ ද අල්මේද‌ා කුණාටුවකට හසුව මෙදින තම නැව කොළඹ මුහුදේ නැංගුරම් දැමූ දිනය ලෙස උක්ත දිනය සඳහන්ය.  


ගෝල්ෆේස් වැනි සුන්දර භුමියක චමත්කාරය දුටුවන් අතර ලෝක ප්‍රකට කෙටිකතා කරුවකු වූ ඇන්ටන් චෙකොෆ් ගැන අපට අමතක කළ නොහැක. ඔහු නැවතී සිටි හෝටලය පිහිටියේ ගෝල්ෆේස් පිටියට හූවක් දුරකිනි. ඒ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයයි.  


ඇන්ටන් චෙකොෆ් 1890 දී කොළඹට ළඟා වූයේ ‘‘පීටර්ස්බර්ග්” නැවෙනි. ඒ ඇන්ටන් චෙකොෆ් ෂකාලින් දූපතේ සිට ආපසු සියරට බලා යමින් සිටියදීය. ඔහු කොළඹ ගත කළ කාලය ගැන සඳහන් කර ඇත්තේ ජීවිතයේ කිසිවිටක නොලද සෙයක් සිය හදවතට ඇතුළු වූ බවට සටහන් කරමිනි. ෂිග්ලොට් නම් තම මිතුරකුට යවන ලද ලිපියක ඔහු මෙසේ සඳහන් කරයි.   


“ෂකාලින් දූපතේ මා හිටියේ අපායේ. ඊට පස්සේ මා පාරාදීසයට ආවා. ඒ වෙන තැනක් නොවේ ලංකාව”  


ඉතිහාසයේ මෑත කාලය පුරා ගෝල්ෆේස් පිටිය පොදු ජනතාව විනෝදවීමට යොද‌ාගත් භූමියක් වුවද 1860 ගණන් වනතුරුම නිල වශයෙන් හඳුන්වනු ලැබූ ක්‍රීඩාපිටි හා උද්‍යාන සහ වෙරළ තීර හඳුනාගත් බවට සාක්ෂි ඇත්තේ අල්ප වශයෙනි. විවේකීව තම සැදෑසුවය ගත කිරීම සඳහා කොළඹ ජනතාව මුලින්ම තෝරාගත් භූමිය විය යුත්තේ ගාලු මුවදොර නොහොත් ගෝල්ෆේස් පිටියයි.   


එය කොළොම්පුර මුල්ම උද්‍යානය ලෙස හැඳින්වූවාට කිසිවකු උරණ නොවනු ඇත. ඩී.ඇස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ මරණය සිදුවන්නේ ද ගෝල්ෆේස් පිටියේ අසුපිටෙන් වැටීමකින් බව ඉතිහාසය සාක්ෂි දරයි.  
ගෝල්ෆේස් ඉතිහාසය හාරා ඇවිස්සීමේදී සර් හෙන්රි වෝඩ් Hendry Ward ආණ්ඩුකාරවරයා අමතක නොවන චරිතයකි. මේ භූමිය විවේක සුවය සඳහා සුදුසු බව ප්‍රායෝගිකව තහවුරු කළ සාධකයක් වන්නේ එම ආණ්ඩුකාරතුමාය. ඒ උදෙසා ආණ්ඩුකාරවරයා පෞද්ගලිකවම තම අවධානය යොමු කළ බව නොකිවමනාය. සැමද‌ා රාත්‍රී ආහාරයෙන් පසු ආණ්ඩුකාරතුමා ගෝල්ෆේස් පිටියේ නිශ්චිත මගක් ඔස්සේ සක්මන් කරන ලද්දේ ව්‍යායාම් පිණිසය.  


ඔහු ගමන් කළ මග පසුව ‘ගෝල්ෆේස් වෝක්’ යනුවෙන් නම් කෙරිණි. ඉන්පසු බොහෝ දෙනෙකු ආණ්ඩුකාරතුමාගේ ගමන් මග පසුපස හඹායනු දක්නට ලැබුණ බැවින් එම ගමන් මාර්ගය වඩාත් ජනප්‍රියව ඇත.  
එහෙත් ගෝල්ෆේස් ඉතිහාසගතව ඇත්තේ නිරායාසයෙන් මහජනයා ගැවසීමෙන් ලත් ජනප්‍රියත්වය නිසාය. නමුත් කොළඹ ප්‍රථම ක්‍රීඩා පිටිය තිබූ තැන ලෙස සඳහන්ව ඇත්තේ අද මහ තැපැල් හල ඇති භූමි භාගයයි. මහ තැපල් හල හා පොලිස් මූලස්ථානය ඇති තැන වූ සොහොන් කොත් ඉවත්කොට අගනුවර මුල්ම ක්‍රීඩා පිට්ටනිය ගොඩනැගූ බව ලේඛනවල සඳහන් බැවින් එම ඉඩම කලින් යොදා ගෙන ඇත්තේ කවර කාරණයකටදැයි සොයා ගැනීමට පාඨක ඔබට අපහසු නොවෙනු ඇත.  


මේ ක්‍රීඩා භූමියේ මුලින්ම ක්‍රීඩාකිරීම පටන් ගෙන ඇත්තේ කොළඹ සිටි ලිපිකරුවන් බවත් ඔවුන් රජයේ සේවකයින් බවත් ලේඛනවල සඳහන් වෙයි.  


දැන් නැවතත් සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා ගැන කියන්නට අපට සිදුවී තිබේ. ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින්ට නතුවූ නිසා ගෝල්ෆේස් පිටිය විවේක ස්ථානයක් බවට පත්වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඉංග්‍රීසි ආණ්ඩුව සිටියේ උඩරට රාජධානිය ගැන නිරන්තර අවධානයෙනි. මේ යුගයේ ලංකාවේ සිටි බ්‍රිතාන්‍යයන්ගේ භාර්යාවන් මෙන්ම බ්‍රිතාන්‍ය රූමතියන් ළමිස්සියන් තම විලාසිතාවලට තෝතැන්නක් කොටගෙන ඇත්තේ ගෝල්ෆේස් භූමියයි.  


අප කලින් කී සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා තම ශරීර සෞඛ්‍යය සඳහා ගෝල්ෆේස් පිටිය හරහා ඇවිදින විට එක් අතකින් සැරයටියද අනෙක් අතින් පළාතම සුවඳ ගන්වන පයිප්පයක්ද වූ බව එක් දේශාටන සටහනක සඳහන්ය. වෝඩ් ආණ්ඩුකාරයා ගාලු මුවදොරපිටිය රජයට පවරාගත් වසර ලෙස සඳහන් වන්නේ 1865 වර්ෂයයි.  


ගාලු මුවදොර පිටිය රජයට පවරාගෙන එය විවේක ස්ථානයක් බවට ප්‍රසිද්ධ කරන ලදී. මෙය ප්‍රකාශයට පත්කරන ලද්දේ අංක 22 දරන රජයේ ගැසට් පත්‍රිකාව මගිනි.  


ඉතිහාසය හාරා ඇවිස්සීමේදී ස්වදේශකයින් මෙන්ම විදේශිකයන්ද කලින් කල ගෝල්ෆේස් සුන්දරත්වය දැක එහි කඳවුරු ලා සිටි බවට සටහන් ඇත. මුහුදබඩ විසූ විවිධ කුලගෝත්‍රවල ජන කොටස් ජීවත් වූ බිමක් ලෙස මෙය හැඳින්විය හැකිය. එහෙත් එ්වා ස්ථිර ලෙස සනාථ කළ හැකි සාක්ෂි ලිඛිතව සොයාගැනීම අපහසුය. මෙරටට පැමිණි මාකෝ පෝලෝ නම් දේශාටකයා මෙම භූමිය ගැන ලිඛිතව සටහන් තබා ඇත.  


එ් අනුව ගෝල්ෆේස් පිටිය ලඳු කැලෑ හා පතොක් පඳුරුවලින් ගැවසී තිබී ඇත. තවදුරටත් එහි සඳහන් වන්නේ සාමාන්‍ය මිනිස් උසට ප්‍රමාණයේ පිදුරු හා පොල් අතු සෙවිලි කළ නිවාස හැරෙන්නට ගෝල්ෆේස් පිටියේ වූයේ කටු කොහොල් බවය.   


ගෝල්ෆේස් පිටියේ කතාව වෙනස් වන්නට පටන්ගත්තේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආදී බටහිර ජාතීන් මේ සිරිලංකාව තමන් නතුකර ගැනීමත් සමඟය. ගෝල්ෆේස් පිටියේ ඒකාකාරී කතාව වෙනස් වන්නට පටන් ගත්තේ ඉන්පසුවය. ගෙරිසමක් එළා ගැනීමට තරම් බිමක් ඉල්ලා සිටි පෘතුගීසින් සටකපට ලෙස කොළඹ කඳවුරු ලා ගැන්මේ සිට ගෝල්ෆේස් පුරාණය වෙනස් වීම ඇරඹුණි.  


ගාලු මුවදොර සැලකෙන්නේ ශ්‍රීපාදය හැරුණුකොට වරින්වර වැඩිම පිරිසක්, ජනගහනයක් පැමිණ ඇති ස්ථානය ලෙසය. ගෝල්ෆේස් පිටිය තුරඟ තරග පිටියක් වූ යුගය ගැන අද ද බොහෝ දෙනාගේ මතකයට එන්නේ සුන්දර අත්දැකීම් සමුද‌ායක් ලෙසිනි.  


එහි ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් නමින් වූ ලීයෙන් තැනූ වේදිකාවක් ගොඩනගා තිබී ඇත. එම වේදිකාව පසු කරමින් අසුන් වැරෙන් එම ස්ථානය පසුකර යද්දී යුරෝපීය ජාතිකයින් ප්‍රභූවරුන් මෙන්ම නරඹන්නන් විනෝද වූ බව කියවේ. මේ අශ්ව රේස් නැරඹීමට අශ්ව කරත්තවලින් ආ පිරිස් අතර බෝරා ජාතික විදෙස් වෙළෙන්දන්, සිංහල මුදලිවරුන් ආදී ප්‍රභූන් ගැන කියවේ. මේ අතර ඉංග්‍රීසි පාලන තන්ත්‍රයේ ප්‍රභූන්ද සිට ඇත. මොවුන් පිනවීමට තම තූර්ය වාදන ඉදිරිපත් කොට ඇත්තේ රාජකීය යුද හමුද‌ා බෑන්ඩ් කණ්ඩායමයි. වැන්ඩොර්ට් Wandort නමැති චිත්‍ර ශිල්පියකු විසින් මේ සියල්ල චිත්‍රයට නගා ඇත. එම චිත්‍රවල පිටපත් අදටත් ඇතැම් ප්‍රභූ මන්දිරවල දැකගත හැකිය.   
ඉංග්‍රීසි ජාතිකයින් මුලින්ම අශ්ව රේස් ආරම්භ කළ වසර ලෙස සඳහන් වන්නේ 1664. ඒ ඉංග්‍රීසි හමුද‌ාවේ සෙනවියකු වූ රිචඩ් නිකොලස් Richard Nicolas විසිනි. නිකොලස් ‘ලෝම්’ නම් දිවයිනේ සොල්වරි තැන්තෙහි රේස් පිටියක් ගොඩනැගූ බව කියැවේ. කල්ගතවන විට එය දකුණු ඇමරිකාවටද ව්‍යාප්ත වූ බව කියැවෙන අතර ඊට වසර 200කට පමණ පසු 1846 දී ගාලුමුවදොර අසුන් විහිදුවීමේ උළෙල ආරම්භ වූ බව කියවේ.  
අශ්වයා ලංකාවට හොඳින් පුරුදු වූ සතෙකි. ක්‍රි.පූ. 5 වැනි ශත වර්ෂයේ සිට මෙරටට අශ්වයා ආගන්තුක සතකු නොවීය. එහෙත් බ්‍රිතාන්‍ය පාලනයට පෙර ලංකාවේ අශ්ව රේස් ආරම්භ වූවාදැයි නිශ්චිත සාක්ෂි සොයා ගැනීමට නැත. රාජකීය ක්‍රීඩාවක් වූ මෙය බ්‍රිතාන්‍යයින් මෙහි පදිංචි වූවාට පසු හඳුන්වා දෙනු ලැබීය.   


ජෝන් බේකර් (John Baker) ලංකාවට මුලින්ම අශ්වයන් ගෙන ආ පුද්ගලයා ලෙස සඳහන් වී ඇත. ඇති කිරීමටත් තුරඟ තරග සඳහාත් මාස 6 ක් පමණ වෙහෙසක් දැරූ නැව් ගමනකින් පසු ලංකාවට මෙම අශ්වයින් ගෙනවිත් ඇත. ‘ජෝන් බේකර්’ මුලින්ම කොට ඇත්තේ ගෝල්ෆේස් වෙත ගෙන ආ අශ්වයින් විළුඹ තෙක් ගෑවී තිබූ අශ්ව බෙටි ඉවත් කිරීමයි.  


මාස ගණනාවක් නැව් නැග පැමිණි අශ්වයින් දැඩි විඩාබරව සිට ඇති අතර අශ්වයින්ගේ බෙටි එක තැන දැමීම නිසා ඒවා උන්ගේ විළුඹ තෙක් ගොඩගැසී තිබී ඇත. ජෝන් බේකර් ඉන්පසු නුවර එළියේ තම නිවස අසල වූ කන්දක් වටා අශ්ව රේස් පථයක් ගොඩනැගු බවද කියවේ.  


ලංකාවේ අසුන් විහිදුවීමේ උළෙල ගෝල්ෆේස් පිටියේ 1846 සිට 1892 දක්වා පැවත් වූ බව ලේඛනවල සඳහන්ය. ඉන්පසු 1893 දී කුරුඳුවත්තේ අක්කර 100 ක් වූ හැව්ලොක් රේස් පිටියට ගෙන යනු ලැබ ඇත්තේ 1893 ජුනි 22 ද‌ාය. අද ටීවී එකෙන් බලා අශ්ව ඔට්ටු ඇල්ලුවත් එද‌ා අපේ ඇත්තන් ඔට්ටු ඇල්ලුවේ අශ්වයාගේ වලිගය ද අතගෑමෙන් පසු බව කියැවේ.   


1848 යුගයේ ​ෙගා්ල්ෆේස් පිටියේ ස්මාරක දෙකක් තිබූ බවට ඇති එකම සාක්ෂිය කපිතාන් ඇන්ඩර්සන් නමැත්තෙකු ඇඳ ඇති චිත්‍ර දෙකකි. අද පරණ පාර්ලිමේන්තු භූමිභාගය එදා පැවත ඇත්තේ මඩ ​ගොහොරුවක් ලෙසය. තුන්හුලස් හැඩයේ මුර කපොල්ලක් එහි තනා තිබී ඇත.  


මේ යුගයේම ගාලු මුවදොර වික්ටරි ඔබ්සර්වේෂන් නමැති විශේෂ ලී නිරීක්ෂණ කුලුණක් ගොඩ නගා තිබී ඇත. මේ කුලුණ යොදාගෙන ඇත්තේ යුද නිරීක්ෂණ කටයුතු සඳහාය. මීට වසර 40කට පෙර මේ ගැන සටහනක් තබා ඇති පුවත්පත් කලාවේදී නීල් ද මොරායස් මහතා පවසන පරිදි 1888 දී ගත් ඡායාරූපයක් ගැන ඔහු සටහන් කොට ඇත.  

 

 

මෙම කුලුණ මත සිටගත් විට ගෝල්ෆේස් පිටිය අවට දැක්වෙන ඡායාරූපයක් ලෙස හඳුන්වන ඔහු කොම්පඤ්ඤවීදිය වහල් දුපතත්, ක්‍රිස්තුරාජ දේවස්ථානයත් එහි පැහැදිලිව දැක ගත හැකි බව කියයි. අඩි 2ක් පමණ වූ මෙම කළු සුදු ඡායාරූපය පනාගොඩ යුද හමුද‌ා කඳවුරේ තිබුණු බව නීල් ද මොරායන්ගේ සටහනේ සඳහන්ය.  


මේ ලී කුලුණ උස අඩි 60කට වඩා වැඩි වූ අතර 1888 න් පසු මේ ලී කුලුණ ඉවත්කළ යුගය ගැන නම් කිසිදු සටහනක් සොයාගත හැකි වූයේ නැත.   


කොළඹ කනත්තේ ඇති ස්මාරක අතර 1913 දී මියගිය ජැකී ජේ නමැති අප්‍රිකානුවෙකුගේ සොහොන් කොතක් ඇත. ධර්මසිරි ගමගේ මහතා විසින් කොළඹ කනත්තේ ස්මාරක ගැන ලියූ ලිපියක මේ සොහොන් කොත ගැනද සඳහන්කොට ඇත. එම ලිපියේ ‘දිනමිණ’ ආදි කර්තෘවරයාගේ සොහොන ගැන ද විශේෂ සටහනක් කොට ඇත.  


ගමගේ මහතාගේ ලිපියේ සඳහන් වන්නේ ගාලු මුවදොර පිටිය අද මෙන්ම එද‌ාද විවිධ සංදර්ශන සඳහා යොදාගත් බවය. ගෑස් පිරවූ බැලුනයකට ගැටගැසූ කූඩයක් වැනි කොටසකට නැගී ගුවන්ගත වීම එද‌ාද බිහිසුණු අත්දැකීමක් විණ. ජැකී ජේ Jacky J නමැති මේ අප්‍රිකානුවා බැලුනයක ආධාරයෙන් උඩු ගුවනට පිවිසියේ ගෝල්ෆේස් පිටියෙනි.  


එද‌ා වූ දරාගත නොහැකි වූ සුළඟත් කුණාටුවත් නිසා ඔහු බේරේ වැවට ගසාගෙන ගොස් හිස එහි වූ ගසක වැදී අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වී ඇත. පසු කලෙක මේ හැට දශකයේදී ජැකී ජේගේ සොහොන් කොත සොයා ඔහුගේ නංගී පැමිණීම එද‌ා පුවත්පත්වල ඡායාරූප සමඟ පළකොට ඇත. තම අයියාගේ සොහොන් කොතේ ඉටිපන්දම් ගසා උපහාරය දැක් වූ නංගී ගෝල්ෆේස් පිටියට ද ගොස් තම අයියා බැලුනයට නැගි තැන ද නිරීක්ෂණය කළ බව ධර්මසිරි ගමගේ මහතා සටහන් කොට ඇත.  


දැන් ගෝල්ෆේස් පිටියට යන බොහෝදෙනා විමසිලිමත් වන්නේ වරාය නගරය ඉදි වූ පසු ගෝල්ෆේස් හි සුන්දරත්වයට සිදුවන්නේ කුමක්ද යන පැනයයි. කලෙක මිනිසුන් එල්ලා මැරුණු වධකාගාරයක්, තවත් විටෙක යුද පුහුණුව ලබන භූමියක් ආදී විවිධ ඓතිහාසික යුග පසුකරමින් පෙම් සුව විඳින සුන්දර ස්ථානයක් වූ ගෝල්ෆේස් පිටිය මෙරට ජනජීවිතයට බද්ධ වී ඇත්තේ ජීවිතයේ සුන්දරත්වය විඳගැනීමට පාරාදීසයක් ලෙස විය යුතුය.  

 

 

 


වජිර ලියනගේ