ඇලෙක්සැන්ඩර්ගේ අවසාන දින කිහිපය


ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉන්දියානු ආක‍්‍රමණය 8

 

 

බැබිලෝනියාවේ චාල්දියන් පූජකයෝ දක්ෂ නක්ෂත‍්‍රකරුවෝ වූහ. ඔවුන්ගේ පෙර නිමිති බොහෝ විට සත්‍ය විය. විවිධ රජවරුන්ට අනාගතයේ ඇති විය හැකි විපාක පිළිබඳව අනාවැකි කී ඔවුහු උපද්‍රවවලින් ගැලවීම සඳහා විවිධ බිලි පූජා ද පැවැත් වූහ. ඇලෙක්සැන්ඩර්ගේ මෙසපොතේනියානු ආක‍්‍රමණය සහ ගොගමේලා ජයග‍්‍රහණ සම්බන්ධයෙන් බොහෝ කලකට ඉහත ඔවුන් පළ කළ අනාවැකි සත්‍ය වී තිබූ හෙයින් ඇලෙක්සැන්ඩර් ඔවුන්ගේ අනාවැකි පිළිබඳව විශ්වාස කළේය. 
  
චාල්දියන්වරුන් අතර සිටි ප‍්‍රමුඛ නක්ෂත‍්‍රකරුවකු වූයේ බෙලෙපන්තෙස්ය. ඔහු ඇලෙක්සැන්ඩර් බැබිලෝනියාවට පිවිසියහොත් මාරක අනතුරකට මුහුණ දෙන බැවින් බැබිලෝනියාව මග හැර සිටිය යුතු බවට කලකට ඉහත අනාවැකියක් පළකොට තිබිණි. මෙම අනාවැකිය ඇලෙක්සැන්ඩර් තුළ සැක සංකා මතු කළේය. ඇලෙක්සැන්ඩර් බැබිලෝනියාවට පිවිසීමට සිතුවේ බටහිරට මුහුණ ලාය. හිරු බසින දෙසට මුහුණ ලා පිවිසීම නොසුදුසු වූයේ එය පරිහානියේ සංකේතය බැවිනැයි කියා සිටි චාල්දියන්වරු රාජකීය දොරටුව දෙසින් එහි පිවිසෙන ලෙස ඇලෙක්සැන්ඩර්ගෙන් ඉල්ලා සිටියහ. ඇලෙක්සැන්ඩර් එයට එකඟ වුවද එම ප‍්‍රදේශය විශාල වගුරක් සහිත මාර්ගයක් වූ බැවින් එදෙසින් පිවිසීම දුෂ්කර විය. එහෙයින් ඔහු පැමිණි මාර්ගයෙන්ම බැබිලෝනියාවට ඇතුළු විය.   


බැබිලෝනියාවට පැමිණි ඇලෙක්සැන්ඩර්හට චාල්දියන් නක්ෂත‍්‍රකරුවෝ අසුබ දින පිළිබඳව කලින් දැනුම්වත් කළහ. වැඩිම අසුබ ඵල සහිත දින වූයේ සූර්යග‍්‍රහණ පවතින දිනයන්ය. එවැනි දින රජුට දැඩි සේ අසුබ විය. එවැනි අසුබ දිනයන්හි රජු රාජ්‍ය බලය දරුණු සිරකරුවකුට හෝ මානසික රෝගියකු වෙත පවරා දීමෙන් ඇති විය හැකි අපල දුරු කර ගත හැකි යැයි ඔවුහු කියා සිටියහ. රජ වන පුද්ගලයා එදින රාජාභරණයෙන් සැරසී සිහසුන අරා සිටිය යුතුය. ඉතිහාසඥ දියදුරුස්ට අනුව එහි අරමුණ සියලූ අපල එදින සිහසුන මත සිටින්නා වෙත යොමු කරවීමය. අසුබ කාලය අවසන් වූ පසු එම පුද්ගලයා මරා දමනු ලබන අතර රජු සියලු අපලවලින් නිදහස් වනු ඇත.   


බෙලෙපන්තෙස්ගේ අනාවැකිය අනුව බැබිලෝනියාවට ඇතුළු වීමට පෙර ඇලෙක්සැන්ඩර්, දෙවිදේවතාවුන් උදෙසා බිලිි පූජා පවත්වා මීටර 90ක් උසැති ‘එටමෙන්කි’ නම් දෙවොලද ඉදි කිරීමට පියවර ගත්තේය. එය පුරාණ ලෝකයේ ඉතා වැදගත් සිද්ධස්ථානයක් විය. දෙවොල ඉදිකිරීමෙන් පසු බැබිලෝනියාවේ මහා දෙවියා වූ මාර්දුක්ගේ ආශීර්වාදය තමන්ට ලැබෙනු ඇතැයි යන්න ඔහුගේ විශ්වාසය විය.   


තම රජතුමා බැබිලෝනියාවට පැමිණෙන තෙක් බලා සිටි ග්‍රීසියට යටත් රාජ්‍යයන්ට අයත් තානාපතිවරු ඇලෙක්සැන්ඩර් ඉමහත් ගෞරවයෙන් පිළිගත්හ. පර්සියානු රජවරු ග්‍රීක රාජ්‍යයෙන් පැහැර ගන්නා ලද සියලු වස්තුව යළි තමා වෙත රැගෙන එන ලෙසට ඇලෙක්සැන්ඩර් එම පිරිසට අණ කළේය. පර්සියානුවන් විසින් විනාශ කරන ලද සියලූ ග්‍රීක නගර යළි ස්ථාපනය කරන ලෙසට ද අණ කෙරිණි. බැබිලෝනියාවේ රැඳී සිටින අතර විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට ඔහු පියවර ගත්තේය. ඔහු අගෙවුස් නම් සෙන්පතියා හා නැව් තනන්නන් පිරිසක් කැස්පියන් මුහුද ආසන්නයේ පිහිටි හිර්කේනියන් වනාන්තරයට පිටත් කර හැරියේ, එම වනාන්තරයෙන් දැව කපා යුද නැව් තනනු පිණිසය. ඇලෙක්සැන්ඩර්ගේ අරමුණ වූයේ අරාබිකරය ආක‍්‍රමණය කිරීමය.   


බැබිලෝනියාව එක් පසෙකින් ඊජීප්තුවට හා මධ්‍යධරණී කලාපයටද, අනෙක් පසින් ඉන්දු නිම්නය හා නැගෙනහිර මුහුදු කලාපයට මැදිව පිහිටි බැවින් එය තම අධිරාජ්‍යයේ මධ්‍ය ලක්ෂ්‍යය බවට පත් කර ගැනීම ඇලෙක්සැන්ඩර්ගේ අරමුණ විය.   


එහෙත් ඔහුට සිය අරමුණු ඉටු කරගත හැකි වූයේ නැත. ක්‍රි. පූ. 323 ජුනි 11 දින බැබිලෝනියාවේ දෙවැනි නෙබුකඩ්නසාර් රජුගේ මාලිගයේදී හඳුනා නොගත් රෝගයකින් ඇලෙක්සැන්ඩර් මරණයට පත් විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 33කි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත ප‍්‍රකාශ කෙරිණි. ඔහු වස දීමෙන් මරණයට පත් වූ බවට එක් මතයක් වූ අතර ඔහුගේ බිරිය වූ රොක්සානා විසින් ඔහු ඝාතනය කෙරුණු බවට තවත් මතයක් විය. දැඩි ලෙස මත්පැනට යොමු වී සිටීම මත ඔහුගේ මරණය සිදුවන්නට ඇතැයි තවකෙකුගේ මතය විය. කෙසේ වුවද අවසාන නිගමනය වූයේ උණ සන්නිපාතයෙන් ඔහුගේ මරණය සිදු වී ඇති බවටය.   
ඇලෙක්සැන්ඩර්ගේ අවසාන දින කිහිපය පිළිබඳව ඉතිහාසඥ ඇරියන් පැහැදිලි විස්තරයක් ගෙන එයි.   


ක්‍රි. පූ. 323 මැයි 29   


මෙදින රාත්‍රියේ ඇලෙක්සැන්ඩර් තම මිතුරන් සමඟ රාත්‍රී භෝජන සංග‍්‍රහයකට එක් විය. ඔහු යළි මාලිගයට පැමිණෙන අතර මිඩියස් හමුවිය. තම නිවෙසේ පැවැත්වෙන සාදයකට ඇලෙක්සැන්ඩර්ට ආරාධනා කළ හෙයින් ඔහු එහි ගියේය. සාදය අවසන් වී යළි පැමිණි ඇලෙක්සැන්ඩර් ස්නානය කොට නින්දට ගියේය. මැදියම් රැයේ නින්දෙන් අවදි වූ ඇලෙක්සැන්ඩර් යළි මිඩියස්ගේ නිවෙස බලා ගියේය. දෙදෙනා මත්පැන් බොමින් සතුටු වූහ. ආපසු නිවෙසට පැමිණෙන විට ඇලෙක්සැන්ඩර්ට උණ වැළඳි තිබිණි.   

 


ක්‍රි. පූ. 323 මැයි 30   


අද දින ඔහුට සයනයෙන් බැසීමට ශක්තියක් නොවීය. ඔහු දැඩි ලෙස උණෙන් පෙළෙන්නට විය. අසීරුවෙන් වුව ඔහු තම ආගමික වතාවත්වල නිරත වූයේය. පසුව මාලිගයේ පුරුෂයන් රැඳි සිටින කොටසට ඔහු රැගෙන යන ලද අතර අරාබිය ආක‍්‍රමණය කිරීම සඳහා වන සැලසුම් එහි සිට සකස් කළේය.   


සවස් යාමයේ ඔහුට යුප‍්‍රටීස් නදිය වෙත යෑමට අවශ්‍ය විය. උණ රෝගයෙන් පෙළෙමින් සිටියද නදියේ බැස ස්නානය කළේය. ඔහු එදින රාත්‍රිය ගෙවන ලද්දේ නදී තීරයේ ඉදි කෙරුණු කූඩාරමකය.   


ක්‍රි. පූ. 323 මැයි 31   


උදෑසනින් අවදි වූ ඇලෙක්සැන්ඩර් දෙවියන් සඳහා බිලි පූජා පැවැත්වීය. පසුදින සියලූ රාජ්‍ය නිලධාරීන් තමන් හමුවට පමුණුවන ලෙසට ඔහු හමුවීමට පැමිණි මිඩියස්ට පැවසීය. පසුව ආහාර ගත් ඔහු යළි තම කුටිය වෙත ගියේය. ඔහුගේ උණ රෝගය යළිත් උත්සන්න වී තිබිණි.   


ක්‍රි. පූ. 323 ජුනි 01   


උණ රෝගයෙන් පෙළුණද සුපුරුදු පරිදි ඇලෙක්සැන්ඩර් ස්නානය කොට ආගමික වතාවත්වල නිරත විය. නෙයාර්කුස් තමන් වෙත කැඳවූ ඔහු, නාවික බළ ඇණිය මෙහෙය වීමට උපදෙස් දුන්නේය.   


ක්‍රි. පූ. 323 ජුනි 02   


අද දිනයේද ඔහුගේ උණ රෝගය පහව ගොස් නොතිබිණි. අරාබිය ආක‍්‍රමණය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය. එදින සවස් වන විට ඔහුගේ උණ රෝගය උත්සන්න විය.   


ක්‍රි. පූ. 323 ජුනි 03   


උදෑසන ඔහු යුප‍්‍රටේසයේ ඈත ප‍්‍රදේශයක පිහිටි උද්‍යානයක් වෙත රැගෙන යන ලදී. උණ රෝගය උත්සන්නව තිබියද ඔහු දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීය. අරාබි ආක‍්‍රමණය සඳහා තවදුරටත් සූදානම් විය.   


ක්‍රි. පූ. 323 ජුනි 04   


මේ වන විට ඇලෙක්සැන්ඩර්ගේ අසනීප තත්ත්වයට සතියක් ගත වී තිබිණි. අද දිනයේ එය තවත් උත්සන්න වූ අතර ඔහුට යහනින් නැගිට සිටීම අසීරු විය. ආගමික වතාවත්වල යෙදීමට ද නොහැකි විය.   


ක්‍රි. පූ. 323 ජුනි 05   


ඇලෙක්සැන්ඩර් තම හමුදාපතියන් කැඳවා තමන් ආසන්නයේ රැඳි සිටින ලෙස අණ කළේය. රජු මරණාසන්නව සිටිනා බැව් සෙන්පතියන්ට හා වෛද්‍යවරුනට වැටහී තිබිණි. එහෙයින් ඔවුහූ උද්‍යානයේ සිට රජ මාලිගය වෙත රජු රැගෙන ගියහ. ඔහුගේ සෙන්පතියෝ රජු බැහැදකින්නට පැමිණෙන්නට වූහ. ඇලෙක්සැන්ඩර් ඔවුන් සියලූ දෙනා හඳුනාගත්තද කතා කිරීමට තරම් ශක්තියක් නොවීය.   


ක්‍රි. පූ. 323 ජුනි 06   


ඇලෙක්සැන්ඩර්ගේ රෝගය තව තවත් උත්සන්න වී තිබූ අතර ඔහුට යහනින් බැසීමට ද ශක්තියක් නොවීය.   


ක්‍රි. පූ. 323 ජුනි 07   


අද දිනයේද ඔහු තද උණෙන් පෙළෙමින් යහනේ වැතිර සිටියේය. 

 
ක්‍රි. පූ. 323 ජුනි 08   


උණ රෝගය පහව ගිය බවක් පෙනෙන්නට නොවීය.   


ක්‍රි. පූ. 323 ජුනි 09   


රෝගයේ වෙනසක් නොවීය. රජුගේ රෝගය පිළිබඳ විවිධ කටකතා බැබිලෝනියාව පුරා පැතිර යන්නට විය. මෙසිඩෝනියානු සොල්දාදුවෝ තමනට රජු දැකීමට අවශ්‍ය යැයි කියා සිටියහ. සෙන්පතියෝ එයට අනුමැතිය දුන් හෙයින් ඔවුහු රජු දැකීමට පෙළ ගැසුණාහ. යහනින් හිස එසවීමට පවා නොහැකි වූ ඔහු දෙනෙතින් ඉඟි කරමින් ඔවුන් එකිනෙකා පිළිගත්තේය. රජු සුව කර ගනු පිණිස දෙවියන්ගෙන් විමසීම සඳහා ඔහුගේ සෙන්පතියන් වූ ඇටලස්, ක්ලොමෙනස්, ඩෙමොපොන්, පෙයිතොන්, පෙයිසිස්තාස් හා සෙලිකූස් එදින රාත්‍රියේ සෙරාපිස්ගේ දෙවොල වෙත ගියහ. ඔවුන් දෙවියන්ගෙන් විමසා සිටියේ ඇලෙක්සැන්ඩර් සුවකර ගැනීම සඳහා දෙවොල වෙත ගෙන ආ යුතුද? යන්නය. එදින රාත්‍රිය දෙවොලේ ගත කළ ඔවුනට සිහිනයෙන් දර්ශනය වූ සෙරාපිස් දෙවියා ඔහු එහි ගෙන නොආයුතු බවත් සැතපී සිටින ස්ථානයේම රැඳි සිටීම සුදුසු බවත් පැවසීය.   


ක්‍රි. පූ. 323 ජුනි 10   


අද දිනය වළාකුළින් බර දිනයක් විය. බැබිලෝනියාව පුරා අඳුරු ස්වභාවයක් පැතිර ගියේය. සවස් යාමයේ ලොව විශාලම අධිරාජ්‍යයේ හිමිකරුවා වූ ඇලෙක්සැන්ඩර් තම ජීවිතයෙන් සමුගත්තේය. දින 13ක් පුරා ඔහු තම රෝගය හා සටන් කළේය.   


තමා දිග් විජය කළ රාජ්‍ය හෝ උපයා ගත් රන්, රිදී, මුතු, මැණික් හෝ, තම යුදකාමී හමුදාව හෝ, තියුණු අසිපත හෝ කිසිදු ප‍්‍රයෝජනයක් නොමැති බැව් මරණ මංචකයේ දී ඇලෙක්සැන්ඩර්ට අවබෝධ විය. දිවියෙන් සමුගැනීමට පෙර තම මව දැක ගැනීමේ ආසාවක් ඔහුට ඇති විය. ඇය බොහෝ ඈතක සිටි හෙයින් එය සඵල කරගත නොහැකි බැව් ඔහුට වැටහිණි.   


තම සෙන්පතියන් ඇමතූ ඇලෙක්සැන්ඩර්, ‘‘මට ජීවත් වීමට ඇත්තේ කෙටි කාලයක් පමණි. මගේ අවසන් ඉල්ලීම් තුනක් ඇත. ඒවා නොවළහා ඉටු කරන්නැ’’යි ඉල්ලා සිටියේය.   


කඳුළු පිරුණු නෙතින් යුතුව ජනරාල්වරු ඔහුගේ අවසන් මනෝරථය සපුරන බවට පොරොන්දු වූහ. ඔහුගේ පළමු ඉල්ලීම වූයේ තම දෙන වෛද්‍යවරුන් විසින් පමණක් ඔසොවාගෙන යායුතු බවටය. මොහොතක්් නිහඬව සිටි ඔහු සිය දෙවැනි ඉල්ලීම ද ප‍්‍රකාශ කළේය.   


‘‘භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී. මුතු, මැණික් හැකිතරම් ගෙන මගේ සිරුර මිහිදන් කිරීමට ගෙන යන මාර්ගය පුරා ඉසින්න.’’   


ඔහුගේ තෙවැනි ඉල්ලීම වූයේ තම දෙඅත් දෙන මතින් පහළට එල්ලා වැටෙන සේ තබන ලෙසය.   


රජුගේ අපූර්ව ඉල්ලීම් පිළිබඳව සෙන්පතියන් විස්මයට පත් වුවද ඒ පිළිබඳව විමසීමට තරම් ධෛර්යයක් ඔවුනට නොවීය. එහෙත් ඔහුගේ සමීපතම සෙන්පතියකු ඇලෙක්සැන්ඩර්ගේ දෑත සිපගෙන එය තම ළැම මත තබා මෙලෙස පැවසීය.   


‘‘මහ රජුනි. අපි ඔබගේ සියලු ඉල්ලීම් ඒ අයුරින්ම ඉටු කරන්නෙමු. එහෙත් මෙවැනි අරුම පුදුම ඉල්ලීම් තුනක් ඉදිරිපත් කරන ලද්දේ මන්දැයි දැන ගැනීමට කැමැත්තෙමි’’යි කීවේය.   


දිගු සුසුමක් ඉහළට ගත් ඇලෙක්සැන්ඩර්‘ ‘ලෝකය මේ මූලධර්ම තුන අවබෝධ කරගත යුතුයැ’’යි පැවසීය.   


‘‘මගේ වෛද්‍යවරුන් විසින් දෙන ඔසවාගෙන යා යුතු යැයි මා ඉල්ලා සිටියේ කිසිදු වෛද්‍යවරයකුට මරණය පරාජය කළ නොහැකි බැව් ලොවට පැවසීමටය. රන්, රිදී, මුතු, මැණික් මගේ දෙන රැගෙන යන මාවතට විසි කරන්නැයි කීවේ, අප ජීවිත කාලය පුරා වෙහෙසෙනුයේ ධනය ඉපැයීමටය. එහෙත් ඒ කිසිවක් අප යන විට රැගෙන යන්නේ නැත. මට අවශ්‍ය වූයේ එම සත්‍යය ලොවට පැහැදිලි කිරීමටය.’’   


තුන් වැනිව සිරුර රැගෙන යන විට දෑත දෙන දෙපසින් පහළට එල්ලා වැටෙන සේ ගෙන යන්නැයි කීවේ හිස් අතින් මෙලොවට පැමිණි මා හිස් අතින්ම නික්ම යන බව පැහැදිලි කිරීමටය.’’ යැයි පැවසීය.

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා