​මේක ආණ්ඩුවට ජැක් ගැහීමක් නොවෙයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක   

විමල් වීරවංශ

 

දේශපාලන​ පොරපිටිය ගිනියම්ය. බල පෙරළියක ඉඟි ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් දැල්වමින් තිබේ. එහෙත් එතැනත් විවිධ මත තිබේ. එහෙයින් අවසානයේ සිදුවිය හැක්කේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

 ප්‍රශ්නය:- ආණ්ඩුවක් හදන්න පුදුම හදිස්සියක් ඔබට තියෙන්නේ?  


පිළිතුර:- මට නොවෙයි මේ රටේ මිනිසුන්ට තියෙනවා ඒ හදිසිය.  


 ප්‍රශ්නය:- ඒ කියන්නේ අද හෙටම?  


පිළිතුර:- ඔව්. දවසින් දවස රුපියල තමන්ගේ හිස මත කඩා පාත්වෙන කොට ජීවන බර උග්‍ර වෙනකොට, 20 වැනි සංශෝධන ගෙනල්ලා මේ රටේ ෆෙඩරල් කරන්න කුමන්ත්‍රණ මෙහෙයුම් දියත් වෙනකොට ඒ ඔක්කොමත් එක්ක මේ රටේ ජනතාවට එනවා හදිසියක් කවද ද මේ ආණ්ඩුව පෙරළන්නේ කියලා. ඒ විතරක් නොවෙයි. උතුරේ හමුද‌ා කඳවුරු ගැලවෙන කොට, යාපනය විශ්වවිද්‍යාලය ඇතුළේ බුදු පිළිමයක් තිබ්බා කියලා ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් වෙනකොට, නැගෙනහිර අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට අන්තවාදීන්ගෙන් පහර කෑමට ලක්වෙන කොට ආණ්ඩුවේම අනුග්‍රහයෙන් සිංහල මුස්ලිම් ගැටුම් ඇති කරනකොට මේ ඔක්කොම සිද්ධි විසින් බලකර කියා සිටින්නේ මේ පරගැති නිහීන පාලනය වහාම පෙරළන්න කියලයි. ඒකට කල්ගත යුතු නෑ.  


 ප්‍රශ්නය:- මේ මොහොතේ එය කළ හැකිවන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහා මෙහා කිරීමෙන්?  


පිළිතුර:- ඔව්. කොහොමත් ඡන්දයකට මෙහා ඒක වෙනවා නම් වෙන්නේ අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරලා එතුමාගේ මූලිකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකින්. ඒ ආණ්ඩුවේ විවිධ කොටස් සංයුතීන් ඉන්න පුළුවන්.  


 ප්‍රශ්නය:- ඔය උත්සාහය මීට පෙරත් ගත්තා. අගමැතිවරයට එරෙහිව විශ්වාසභංගයකුත් ගෙනාවා. ඒත් පරාදයි?  


පිළිතුර:- මෙහෙමයි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තමයි ප්‍රධාන දේශපාලන භූමි කම්පාව වුණේ. ඒකේ පසුකම්පනයක් තමයි අගමැතිවරයට එරෙහි විශ්වාසභංග යෝජනාව. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි 16 දෙනෙක් ආණ්ඩුවෙන් ගැලවිලා විපක්ෂයට ආවේ. ඒකේ ඊළඟ පසුකම්පනයක් හැටියට තමයි අපි මේ කියන තත්ත්වය ඇතිවෙන්නේ. ඉතින් ආණ්ඩුවක් හදන්න අපට පුළුවන්කම තියෙනවා නම් ඒක කළ යුතුයි. බැරිනම් කරන්න දෙයක් නෑ. මොකද මේ රට තවත් විනාශ කරන තුරු බලාගෙන ඉන්නද කියන්නේ. පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙනකන්, කන්කසන්තුරය වරාය ඉන්දියාවට දෙනකන්, ත්‍රිකුණාමලය වරාය ගෙඩිය පිටින් ඉන්දියාවට, ජපානයට දෙනකන් බලාගෙන ඉන්නද කියන්නේ? මත්තල ගුවන් තොටුපළත් ඉන්දියාවට දෙනකන් බලාගෙන ඉන්න ද කියන්නේ? කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තයත් ඉන්දියාවට දෙනකන් බලාගෙන ඉන්නද කියන්නේ? රටේ ඉඩම් ස්වදේශිකයන්ට අහිමි කරලා විදේශිකයන්ට මිලදී ගැනීමට ඉඩ දී බලාගෙන ඉන්නද කියන්නේ? ඒ නිසා ජනාධිපතිවරණයක් එනකන් මේක පෙරළන්න බලාගෙන හිටියොත් ජනාධිපතිවරණය එනකොට තියෙන්නේ රටක් නොවෙයි හපයක්. ඒ හපය අරන් කරන්න දෙයක් නෑ.  


 ප්‍රශ්නය:- ඇත්තටම මේ හදිසිය ඔය ඔබ කියන දේශපාලන කාරණාද? එහෙම නැත්නම් නඩු හබවලට තියෙන භීතියද?  


පිළිතුර:- නෑනේ. දැන් අවුරුදු තුන හමාරක් ගියා. උසාවි අරන් ගියා. මට තියෙන නඩු ගත්තොත් තාම බී වාර්තාවනේ. තාම නඩු පැවරීම නෑ. මං දන් නෑ ඡන්දයක් කිට්ටු කරලා නඩු පවරලා ආයේමත් හි​ෙර් ද‌ාන්න බලාගෙන ඉන්නවද කියලා. එතකොට ඔය කියන චෝදනා ඇත්ත නම් නඩු පවරලා වැරදිකාරයෙක් නම් නඩු පවරන්න ප්‍රමාණවත් කාලයක් ගතවෙලා තියෙන්නේ. අපිට ආපහු අලුත් නඩුවලින් බේරෙන්න දෙයක් නෑ. ද‌ාන්න තියෙන නඩු ඔක්කොම ද‌ාල තියෙන්නේ.  


 ප්‍රශ්නය:- දැන් විශේෂ මහාධිකරණ පිහිටුවලා තියෙන්නේ?  


පිළිතුර:- ඔව්. ඉතින් ඒ විශේෂ මහාධිකරණවලත් නඩු ද‌ාලා තියෙන්නේ.  


 ප්‍රශ්නය:- ඇත්තටම මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුවට ජැක් ගැසීම නොවෙයි.  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. කවුද ආණ්ඩුවට ජැක් ගහන්නේ? මේක ආණ්ඩුවට ජැක් ගැහීමක් නොවෙයි. අපි මේ කරන්න හදන්නේ අපේ ආණ්ඩුවක් හදන එකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් හදන එකයි. එහෙම නැතිව තියෙන ආණ්ඩුවකට එකතුවීමක් නොවෙයි.  


 ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ ඔය වැඩපිළිවෙළට එකඟද?  


පිළිතුර:- මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කරපු දේ තමයි බලය ගන්න පුළුවන් පළමුවැනි තත්පරයේදී බලය ගන්න ඕනෑ. එහෙම නැතිව රට විනාශ වෙන්න ඉඩදීලා බලාගෙන ඉන්න එක අපේ යුතුකම නොවෙයි කියලා.  


 ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කරලා තියෙන්නේ මැතිවරණයක් ලබා ගැනීම සඳහා සටන් කළ යුතු බවයි?  


පිළිතුර:- මැතිවරණ ගන්න සටන් කරන්න පුළුවන්. පළාත් පාලන මැතිවරණය ගන්න සටන් කළා. කොච්චර ප්‍රමාද වෙලාද ඒක ලැබුණේ. පළාත් සභා ඡන්දය ගන්න සටන් කරන්න පුළුවන්. නමුත් ලැ​ෙබයි ද නැද්ද කියන්න දන්නේ නැහැනේ. ජනාධිපතිවරණයට මෙපිටින් පළාත් සභා මැතිවරණය පවත්වයිද කියලා මගේ නම් කිසිම විශ්වාසයක් නෑ. යම් යම් තාක්ෂණික වෙට්ටු පෙන්වමින් මැතිවරණය කල්ද‌ාන්න ආණ්ඩුවට පුළුවන් කියලා ආණ්ඩුව පෙන්නලා තියෙනවා. ඡන්ද ලැබෙනවා නම් හොඳයි. නමුත් ඡන්ද නොලැබෙන නිසා නොලැබෙන ඡන්දයක් දිහා බලාගෙන ඉන්න කියලද කියන්නේ? ඡන්ද ලැබුණොත් අපි ඡන්ද දිනමු. ඒක වෙනම කතාවක්. හැබැයි මේ විනාශකාරී මාවතේ රනිල් වික්‍රමසිංහ මූලික කරගත් මේ ගමන නතර කරගත යුතුයි. ගතවෙන හැම දවසකදීම මේ රට වැටෙනවා. නැවත ආපසු හරවන්න බැරි විදියේ උගුලක හිරවෙනවා. ඉතින් ඒ තත්ත්වය හරියට තේරුම් ගත්තොත් තමයි මේ රටට යුක්තිය ඉටුකරන්න පුළුවන් වෙන්නේ.  


 ප්‍රශ්නය:- ඇයි ඉතින් ඔය වැඩේට ඒකාබද්ධ විපක්ෂය එක පයින් නැත්තේ?  


පිළිතුර:- මෙතැන සමහරුන්ට එක එක ප්‍රශ්න තියෙනවා. සමහරු මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ නෑ. ඉතින් ඒගොල්ලෝ නැති හින්ද‌ා පාර්ලිමේන්තුව ඇතුළේ මේ වගේ දෙයක් වෙනවට ඒ අය කැමැති නෑ.  


 ප්‍රශ්නය:- ඔබ කා ගැන ද මේ කියන්නේ?  


පිළිතුර:- ඇයි ඔබට කවුරු කියලද දැනෙන්නේ? එහෙම හිතන අය ඇති. තව සමහරු හිතනවා එහෙම හැදෙන එකක කට්ටියට ඇමැතිකම් බෙදිලා යනකොට අපිට ලැබෙන එකක් නෑ කියලා. ඒ වගේම තව සමහරු හිතනවා. එහෙම වුණොත් ආණ්ඩුව ඇතුළේ මෙච්චර කලක් හිටපු අහවලත් අපිත් එක්ක එකතු වුණා. එහෙම වුණොත් ඊළඟ මැතිවරණයෙන් මට දිනන්න බැරිවෙයි කියලා. ඔන්න ඔය වගේ එක එක්කෙනාට ආවේණික ආත්මාර්ථකාමී ගණන් බැලීම් තුළ මේ වගේ පියවරකට එකඟ නොවන අය ඉන්න පුළුවන්. හැබැයි මේ රටේ ජනතාවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් කිසිම සැකයක් නෑ මේ පියවරට එකඟයි.  


 ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී එක්ක සන්ධානයකට යනවට පොහොට්ටුවේ සාමාජිකයො කැමැති වෙයි කියලා ඔබ හිතනවද?  


පිළිතුර:- මේක මේ මෛත්‍රී එක්ක සන්ධානයකට යනවා නොවෙයිනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්ක ඉන්දද්දිනේ අපි මහ මැතිවරණයට ඉල්ලුවේ. මහ මැතිවරණයන් 113 ක බහුතරයක් අපි ගත්තා නම් මහින්ද රාජපක්ෂ අගමැති හැටියට දිවුරුම් දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපිටනේ. එතකොට ඒක මෛත්‍රී මහින්ද සභාගයක් ද? එතකොට ඒ කැබිනෙට්ටුව හැදෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභිලාෂයන්ට අනුවනේ. එතකොට ඒක මොකක්ද? අනික.. රනිල් වික්‍රමසිංහගේ පරගැති න්‍යාය පත්‍රය පරද්දන්න යකා එක්ක එකතුවෙලා හරි ඒක පරද්දන්න ඕනෑ. යකා කියලා දැනගෙන හරි එකතුවෙලා පරද්දන්න ඕනැ. නැතිව මේ මෛත්‍රීපාල සිරිසේන කියන ඊනියා පටු විරෝධයට මුවා වෙලා රනිල් වික්‍රමසිංහගේ පරගැති න්‍යාය පත්‍රය දි​ෙග්ලි කරන්න ඉඩ දීලා අපි බලාගෙන ඉන්නව නම් ඒක තරම් දෝහිකමක් තවත් නෑ.  


 ප්‍රශ්නය:- නමුත් ඒකාබද්ධ විපක්ෂයේ බහුතර මතය ‘මෛත්‍රීපාල සිරිසේන විශ්වාස කළ නොහැකි බවයි?’  


පිළිතුර:- මෙතැන මෛත්‍රීපාල සිරිසේන විශ්වාස කරන්න අවශ්‍ය නෑනේ. අපි කියන විදියෙ පාලන තන්ත්‍රයෙ වෙනසක් වෙනවා නම් ඒකේ මුල් පියවර ගන්න ඕනෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඔහු ඒ පියවර නොගත්තොත් අපි කියන මේ දේ වෙන්නේ නෑ. ඒ නිසා මෙතැන අමුතුවෙන් නැතිවෙන්න දෙයක් නෑ. නැතිවෙන්නේ රට.  


 ප්‍රශ්නය:- ඔය මතයේ ඉන්නේ ඔබයි දිනේෂ්, වාසු හා ගම්මන්පිලත් තව සුළු පිරිසකුත් පමණයි?  


පිළිතුර:- නෑ. නෑ. ඕක තමයි ඊළඟ වැඩේ. මේ මතයේ ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා ඉන්න මතයේ අපි හැමෝම ඉන්නවා.  


 ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ ඉරිද‌ා ලංකාදීපයට කිව්වා ‘දේශපාලනයේදී අතරමග අම්බලම් නෑ’ කියලා?  


පිළිතුර:- තාවකාලික අම්බලම් නෑ. මෙහෙමයි. සමහරුන්ට තාවකාලික අම්බලම් හැටියට පේන්නේ වැරදි දේවල්. මේක තාවකාලික අම්බලමක් නොවෙයි. තාවකාලික අම්බලමක් හැටියට හඳුන්වන්න බෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි අගමැති හැටියට පත්කර ගැනීම අම්බලමක්ද? එතුමාගේ අදහසට අනුව ඇමැති මණ්ඩලයක් පත්කරගෙන රට පාලනය කිරීම අම්බලමක්ද? ඒ ආණ්ඩු බලය තියාගෙන ජනාධිපතිවරණයට යන එක මෝඩ වැඩක්ද? මේ රටට වෙන්න තියෙන විපත් වළක්වන එක අනුවණකමක්ද? රටට වෙන්න තියෙන විනාශ ඔක්කොම වෙන්න ඉඩ හැරලා අන්තිමට රට ගන්න එකද නුවණක්කාරකම? ඒ නිසා කාටහරි පේනවා නම් පාර්ලිමේන්තුවේ 113 හද‌ාගෙන බලය ගන්න එක අම්බලමකට යාමක් හැටියට. ඒක වැරදි චින්තනයක්. වැරදි දැක්මක්. අම්බලමකට නොවෙයි. එක එක්කෙනාට ඒක එක එක විදියට පේන්න පුළුවන්. නමුත් මොන විදියකට හරි රනිල් වික්‍රමසිංහගේ පරගැති බලය බිඳින්න ඕනෑ. ඒකට විරුද්ධව මොනවා හරි තර්ක ගොඩ නගනවා නම් එහෙම කරන්නෙ රනිල්ව බේරාගන්න මිසක් වෙන දෙයකට නොවෙයි.  


 ප්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රී එක්ක සාකච්ඡාවක් කළාද?  


පිළිතුර:- මම එහෙම කිසිම සාකච්ඡාවකට සම්බන්ධ වෙලා නෑ. මාධ්‍යවල පළවෙලා තියෙනවා හිටපු ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිතුමා හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයව මුණ ගැහිලා සාකච්ඡා කළා කියලා මාධ්‍යවල තියෙන දෙයක් ඇරෙන්න වෙනත් දෙයක් මම දන්නේ නෑ.  


 ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ නොදන්නා දේවලුත් ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ වෙනවා?  


පිළිතුර:- වෙන්න පුළුවන්. නමුත් සිද්ධවෙන හැම දෙයක්ම මම දන්නවා. ඒත් ඒවා කියන්න පුළුවන් කමක් නෑ.  


 ප්‍රශ්නය:- ඔබ හිතන තැනකින් මේ සටන කෙළවර කරන්න පුළුවන් වෙයිද?  


පිළිතුර:- ඒක මෙහෙමනේ. ‘ගියොත් වචනයක්, ආවොත් අලියෙක්’ ඒ නිසා අපි වචනය දෙනවා. අලියා ලැබෙනවද නැද්ද කියලා ඊට පස්සේ තීරණය වෙයි. අලියා නාවා කියලා අපිට මුකුත් නැතිවෙන්නේ නැහැනේ.  


 ප්‍රශ්නය:- මේ ප්‍රශ්නය නිසා ඒකාබද්ධ විපක්ෂයත් ඇතුළෙන් පුපුරලා?  


පිළිතුර:- රනිල්ගේ ආණ්ඩුව එළවලා මහින්ද​ෙග් ආණ්ඩුවක් හදනවට ඒකාබද්ධ විපක්ෂයෙ කවුරුහරි විරුද්ධ වෙනවා නම් ඒක ඉතින් වහාම ඔහුගේ මනස පරීක්ෂාවට ලක් කරන්න ඕනෑ. මං හිතන්නේ නෑ එහෙම කවුරුවත් ඉන්නවා කියලා.  


 ප්‍රශ්නය:- නමුත් වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ කියනවා ‘බාරකාර ආණ්ඩුවකට මම විරුද්ධයි.’ කියලා?  


පිළිතුර:- මෙතැන සාද‌ා නිමකළ අදහස් නෑනේ. විවිධ මත තියෙනවා. අපි බලන්න ඕන කවුද හරි කියලා නොවෙයි. කුමක්ද හරි කියලයි. ඒ හරි දේ කුමක්ද කියලා තීරණය කිරීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නූලට තිතට කරයි.  


 ප්‍රශ්නය:- දැන් ජවිපෙ ගෙනා 20 වැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයත් ජනමත විචාරණයකුත් ඕනෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.  


පිළිතුර:- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඒකේ වගන්ති 2 ක් හැර අනික් ඔක්කෝටම ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. ඉතින් ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තුනෙන් දෙකෙන් සම්මත කරගෙන කාරක සභා අවස්ථාවේදී වෙන වෙන දේවල් ද‌ාලා හරියට අර කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ඉඩම විතරයි විකුණන්න තිරණය ගත්තේ. වැරදීමකින් ෆැක්ටරියත් දීලනේ’ කියලා කිව්වා වගේ කාරක සභා අවස්ථාවේදී වැරදීමකින් මේක ෆෙඩරල් වෙලානේ කියලා කියන්න පුළුවන් විදියට තමයි මේක සැලසුම් කරලා තිබුණේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක මේ ගොල්ලෝ ඉන්නේ කිසියම් අර්බුදයක. කොහොම වුණත් ජනමත විචාරණයකට මුහුණ දෙන්න ලෑස්ති නම් අපි සූද‌ානම් එතැනදී ඔය ප්‍රෝඩාව පරාජයට පත්කරන්න. හැබැයි මම හිතන්නේ නෑ. ජනමත විචාරණයකට යන්න තරම් හයියක් මේ ගොල්ලන්ට ඉතිරිවෙලා තියෙයි කියලා.  


 ප්‍රශ්නය:- ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියලා තිබුණා පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම මේකට සහයෝගය දිය යුතුයි කියලා?

  
පිළිතුර:- පාර්ලිමේන්තුවේ ඡන්දය ඉල්ලලා යම්තම් පහක්, හයක් මන්ත්‍රීවරුන් අරන් ආපු පක්ෂයක් 225 දෙනාවම මෙහෙයවන්නේ කොහොමද? ඔය පක්ෂය ඔය කියන විදියෙ ජනතා ආකර්ෂනය තියෙන පක්ෂයක් නම් 225 න් බර ගානක් ඒගොල්ලන්ගෙන් ඉන්න එපැයි. ඒ නිසා ඒ පස් හය දෙනාට පුළුවන් ද පාර්ලිමේන්තුවේ 225 දෙනා ගැනම තීරණ ගන්න? ඒ නිසා පැහැදිලිවම 20 වැනි සංශෝධනය කියන්නේ හොර පාරෙන් එන ෆෙඩරල් දොළ පිදේනිය. ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන නාට්‍යංගනාවට මුවා වෙලා අරගෙන එන්නේ සුමන්තිරන්ලාට සම්බන්ධන්ලාට ඕනෑ කරන දොළ පිදේනියයි. එ් පාප කර්මය පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න නම් අපි ඉඩ දෙන්නේ නැහැ.

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්