​මේ හවුල් ආණ්ඩුවෙන් පක්ෂය කඩන්න අපිට වුවමනායි


බැඳුම්කර වාර්තාවට සමගාමීව ඒ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතය ද ප්‍රකාශයට පත්වී තිබේ. මැතිවරණයක් අබිමුව රට ගිනියම් වෙමින් තිබෙන්නේ එසේය. මේ ඒ ගිනියම් දේශපාලන වටපිටාව පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා සමඟ කළ සාකච්ඡාවකි.   

 


ප්‍රශ්නය:- පසුගිය සති කිහිපය පුරා ඔබ නිහඬයි. සමාජ මාධ්‍ය භාෂාවෙන් ඇහුවොත් ඩීල් එකක්වත්ද?   
පිළිතුර:- මගේ නිහඬබව ඔබට දැනිලා තියෙන්නේ ​ඝෝෂාවක් විදියටනේ. සෞඛ්‍යමය හේතුවක් විසින් මාව නිහඬ කළා සති කිහිපයකට. ඒකයි ඇත්ත.   

 


ප්‍රශ්නය:- මට අවංකව කෙළින් උත්තරයක් දෙන්න. ඒකාබද්ධය ඇතුළේ බෙදීමක් දෙදරීමක් තියෙනවාද?   
පිළිතුර:- ඉතාමත්ම වගකීමෙන් කියන්නේ ‘නැහැ’. 

 


ප්‍රශ්නය:- නමුත් ඔබේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙක් ආණ්ඩුවට. ශ්‍රීලනිපයට එකතු වුණා?   
පිළිතුර:- ඒවා නිසැකවම පෞද්ගලික හේතු හෝ ආර්ථික හේතු. ඒවගේම ඔවුන්ට බො​ෙහ් වරප්‍රසාද එකතු වුණා. කොහොම වුණත් අපිත් එක්ක කාලයක් හිටපු අය ගැන කතා කරන්න මාව පොලඹවන්න එපා. ඒක නොවෙයි මගේ ප්‍රශ්නය. ආණ්ඩුවේ ඉහළ තනතුරු අතහැරලා වරප්‍රසාදවලට පයින් ගහලා අපට එකතු වුණු අය ගැන ඇයි ඔබ කතා නොකරන්නේ. දැන් බලන්න ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, දුලිප් විජේසේකර නිමල් ලංසා අපිත් එක්ක ඉන්නේ. දෙන්නෙක් ගිය එක දෙදරීමක් නම් හතරදෙනෙක් ආපු එක භූමිකම්පාවක් වෙන්න එපායැ.   

 


ප්‍රශ්නය - ඔබ දෙපාර්ශ්වය අතර ඔය පාවීම සිද්ධ වුණාම එජාපය ස්ථාවරයක තියෙනවා කියලා පේනවා?   
පිළිතුර - එජාපය තමයි බරපතළම ඛාදනයට භාජනය වෙලා තියෙන්නේ. අපේ ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඉඳල තිස්ස කුට්ටිආරච්චි පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් රාශියක් අපට එකතුවෙලා ඉන්නවා. ඊට අමතරව දිනපතා මෛත්‍රී ජනාධිපතිතුමා සමඟ එකතුවෙන බව කියන එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරින් ගැන විශාල මාධ්‍ය ප්‍රචාරයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඉන්නෙත් එම ස්ථාවරයේම බව තමයි අපේ දැනීම. කොහොම වුණත් ආණ්ඩුවේ හොරණෑකරුවන්ගෙන් උදේ රෑ ඇහෙන්නේ ඒකාබද්ධයේ රාවය පමණයි. අපි ඒ සියලු දෙනාට අනුකම්පා කරනවා.   

 


ප්‍රශ්නය:- අපි මේ ඉන්නේ මැතිවරණයක එළිපත්තේ. ඔබ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය?   
පිළිතුර: -ඔව්. ඉතාම පැහැදිලියි. ඒක මට ආඩම්බරයට කරුණක්. නමුත් අනිවාර්යෙන්ම ඔබ ලියන්න මම නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය බව.   

 


ප්‍රශ්නය:- මැතිවරණයකදී ඔය කියන විදියට මැද ඉන්න බැහැනේ?   
පිළිතුර:- ඔබ වැරැදි විදියට තේරුම් ගත්තේ. කවුද කිව්වේ මැද ඉන්නවා කියලා. අපි පැහැදිලිවම, සෘජුවම යූ.එන්.පී. විරෝධී ආණ්ඩු විරෝධී වගකීම ඉටු කරනවා. ඒ ගමන මැද අම්බලම් නෑ විවේකය ගන්න.   

 


ප්‍රශ්නය - නමුත් මහින්ද රාජපක්ෂ සමඟ ඉන්න ඔබේ කණ්ඩායමට විශාල චෝදනා තියෙනවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකාට අනුව මහින්ද රජපක්ෂ එක්ක ඉන්නේ බේබද්දෝ. ජනාධිපති මෛත්‍රීපාල පාර්ශවයට අනුව මහින්ද එක්ක ඉන්නේ දූෂිතයන් හා මදාවියන්?   
පිළිතුර:- චන්ද්‍රිකා මැතිණියගේ චෝදනාව ගැන මම උත්තර බඳින්න යන්නේ නෑ, මොකද බේබදුකම ගැන එතුමියට තියෙන දැනීමට මට අභියෝග කරන්න බැහැ.   

 


ප්‍රශ්නය:- ඔබ ප්‍රශ්න මඟ ඇරියා. එහෙම නම් මෛත්‍රී පාර්ශවයේ චෝදනා ගැන?   
පිළිතුර:- ඔබට මතකද පසුගිය ජනාධිපතිවරණයේ දී ඔය කියන වර්ගීකරණය සමගින් අපිට කරපු චෝදනා. ශතකයක් වාර්තා කළ බව කියන අකුරැස්ස සභාපති, කුඩු කන්ටේනර් පිටින් මුදාගන්න ලියුම් දීපු අග්‍රාමාත්‍ය ලේකම්, ගුරුවරිය දණගැස්සූ පළාත් සභා මන්ත්‍රීවරයා. නව පරපුරේ කලාකරුවන්ට පහරදුන් හිරියාල මන්ත්‍රී, පිස්තෝලයක් අරගෙන මාධ්‍යවේදීන් පසුපසු දුවගෙන ආපු හම්බන්තොට නගරාධිපති. ජනාධිපතිවරණ වේදිකාව ගිනි බත්කළ බද්දේගම මන්ත්‍රී. මේ අය මතකද? මම ඔබෙන් ඉතාම ගෞරවණීය ඉල්ලීමක් කරනවා. මේ අය දැන් ඉන්නේ කා ළඟද කියලා බලන්න කියලා. අකුරැස්සේ ‘විරාත් කෝලි’ නම් මෛත්‍රී ජනාධිපතිතුමාගෙයි ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙයි පින්තූර දෙක මැදින් එයාගෙ පින්තූරය ගහගෙන මේ මොහොතේ බුලත් කොළයෙ ඡන්ද ව්‍යාපාරයේ ඉන්නේ. ඉරකි. තිතකි. අහෝ දුකකි!   

 


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකුව ඉඳගෙන වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ගැනීම විනය විරෝධීයි?   
පිළිතුර:- ඒක ප්‍රශ්නයක් නොවෙයිනේ. ඕනෑම පක්ෂයක ව්‍යවස්ථාවේ ප්‍රධාන වගන්තියක් තියෙනවා.   

 


ප්‍රශ්නය:- ඔව්. ඔබ අද ඒ වගන්තිය උල්ලංඝනය කරලා?   
පිළිතුර:- මේ මොහොත දක්වාම නැහැ. මම සිරිමාවෝ බණ්ඩාරනායක කියන අපේ කාලයේ දේශපාලන මෑණියන්ගෙන් පක්ෂ සාමාජිකත්වය හා සංවිධායක ධූරය ලැබීමේ ගෞරවය හිමිකරගත් කෙනෙක්. මම පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික. මගෙන් පක්ෂයට අබමල් රේණුවක තරම් හෝ වරදක් අගෞරවයක් අපකීර්තියක් වෙලා නැහැ. මම මගේ පක්ෂයට හදවතින්ම ආදරෙයි. නමුත් මගේ පක්ෂය ජාතික සම්පත් වෙන්දේසි කරන යු.එන්.පී. න්‍යාය පත්‍රය නම් අතට ගන්නෙ මගේ පක්ෂය මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදී ගුණයන් සිඳගන්නවා නම්, මගේ පක්ෂය බෙඳුම්වාදයේ හවුල්කරුවකු වෙනවා නම් මගේ පක්ෂය අවසාන විග්‍රහයේදී යූඑන්පියේ ලොන්ඩරිකරුවා බවට පත්වෙනවා නම් ව්‍යවස්ථාවේ වගන්ති අතර සිරකරුවකුවීමට මගේ හෘදසාක්ෂිය සූදානම් නැහැ.   

 


 ප්‍රශ්නය:- ඔබ එහෙම කියමින් මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනවා?   
පිළිතුර:- මම ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්​ෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානම පක්ෂය. එය නියෝජනය කරන්නේ බණ්ඩාරනායක අගමැතිතුමා. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැනි නායකයන් අපේ පක්ෂයට උරුම කර දුන් ප්‍රතිපත්ති බණ්ඩාරනායක අගමැතිතුමා 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරමින් කිව්වේ. ‘මම එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් ගොඩනැගුවා’ කියලයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්​ෙන් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පදය මිස සමාන පදය නොවෙයි. අපි මේ සටන් කරන්​ෙන් අන්න ඒ උරුමය රැකගනිමින් සිරිකොත වහල් බැමිවලින් පක්ෂය මුදවා ගන්න.   

 


 ප්‍රශ්නය:- නමුත් එයින් පක්ෂය දෙකට කැඩුණා?   
 පිළිතුර:- අපිට කිසිසේත්ම මේ පක්ෂය කඩන්න උවමනාවක් නැහැ. ඒත් අවංකවම අපට අවශ්‍යයි මේ හවුල් ආණ්ඩුවෙන් පක්ෂය කඩන්න. ඒකයි මේ මැතිවරණයට පෙරත් අපි බැලුවේ සමගිය ගොඩනගාගන්න පුළුවන් ද කියලා.   

 


 ප්‍රශ්නය:- නමුත් ඒ උත්සාහය බින්දේ කාල්ටන් මොන්ටිසෝරි කණ්ඩායම කියල චෝදනාවක් ආවා?   
පිළිතුර:- ඒ චෝදනාව ග්‍රාම්‍ය මැසිවිල්ලක් පමණයි. කිසිම තාර්කික පදනමක් එයට නැහැ. එය අප කණ්ඩායමේම තීරණය සහ ඒ වගේම ප්‍රතිපත්තියක් තුළ සිද්ධ වෙච්ච දෙයක්.   

 


ප්‍රශ්නය:- මොකක්ද ඒ ප්‍රතිපත්තිය?   
පිළිතුර:- මොකක්ද ඔවුන්ගේ යෝජනාව වුණේ. අපේ අය කිව්වා අපි කැමැතියි එකට තරග කරන්න. හැබැයි ඔබ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනෑ කියලා. නමුත් ඔවුන් කිව්​ෙව් අපි ආණ්ඩුවේ ඉන්න ගමන් පළාත් පාලන මැතිවරණයේදී ගමේදී යූඑන්පිය පරාජය කරමු’ කියලයි. මේ කියන්​ෙන් මොකක්ද? සරලව බලන්න   
අපි පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි, යූඑන්පී කැබිනට් එකයි ආරක්ෂා කරගෙන කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේදී යූඑන්පිය පරාජය කරමු කියන එක නේද? මේක දේශපාලන විකාරයක්. අඩුම තරමේ ඔවුන්ට තිබුණේ ආණ්ඩුවෙන් වියෝවීමේ මාර්ග සිතියමක් හදලා ඒකට එකඟත්වය ගන්න. නමුත් මට හිතෙන විදියට චන්ද්‍රිකා මැතිනිය හෝ යූඑන්පී බලවේග ශක්තිමත් වුණා.   

 


ප්‍රශ්නය:- වෙන්ව තරග කිරීමෙන් ඔබ කියන පොදු හතුරා හෙවත් යූඑන්පියට අමතර වාසියක් නොවන්නේ කොහොමද?   
පිළිතුර:- මේ මොහොතේ රට පුරාම තියෙන්​ෙන් දැවැන්ත ආණ්ඩු විරෝධයක්. ඒ ආණ්ඩු විරෝධය ගොනු වෙන්​නේ ඒකාබද්ධ විපක්ෂය වටායි. මොකක්ද සාමාන්‍ය ජනතාවගේ පිළිගැනීම මේක යූඑන්පි ආණ්ඩුව. අනෙක් ඔක්කොම පක්ෂ ආණ්ඩුවේ නියෝජිතයන්. මෙහෙකරුවන් හෝ කුලීකරුවන් කියන එක නොවෙයිද?   

 


ප්‍රශ්නය:- පොහොට්ටුවෙන් තරග කිරීමේ තීන්දුවට ඒකාබද්ධය ඇතුළේ ලොකු බෙදීමක් ඇති වූ බවයි අපි දන්නේ?   
පිළිතුර:- එහෙම වාර්තා කළා තමයි. හැබැයි ඒ ගිලන්ව සිටින ආණ්ඩුවේ මාධ්‍ය පමණයි. අපේ සියලුම පක්ෂ නායකයෝ ඒකමතිකව තීරණය කළා චකිතයකින් තොරවම තීරණය කළා ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස තරග කළ යුතුයි කියා. 2015 මහ මැතිවරණයට බුලත් කොළය යටතේ ගොනුවුණු සියලුම බලවේග අද මේ ධජය යටතේ එකට එකතු වෙලයි ඉන්නේ.   

 


 ප්‍රශ්නය:- ඔබ කියන්න උත්සාහ කරන්නේ ශ්‍රීලනිපය හුදකලා වෙලා කියලයි?   
පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ ප්‍රගතිශීලින්ගේ මහ ගෙදර. දේශප්‍රේමීන්ගේ මහ ගෙදර. වාමවාදින්ගේ නවාතැන. අප විසින් කළ යුතුව තිබුණේ අපේ ශක්තිය අනාගතවාදීන්ගේ තිඹිරිගෙය බවට පත්කර ගැනීමයි. නමුත් අවාසනාවකට සිදුවුණේ එජාප එය බදාගැනීමයි. බණ්ඩාරනායක අගමැතිතුමාගේ රුධිරයෙන් පෙඟුණ නිල් පාට සාටකය එජාප නිරුවත වහන්න අමුඩයක් ලෙස යොදා ගැනීමයි. එතකොට අර වාමවාදී ප්‍රගතිශීලි දේශජ බලවේග මහගෙදරට විකල්ප හෙවණක් හදාගත්තා. ඔන්න ඕකයි අද වෙලා තියෙන්නේ.   

 


ප්‍රශ්නය:- යම් හෙයකින් මේ තියෙන ශ්‍රී ලංකා-යූඑන්පී දීගය හමාර වුණොත් මේ දේශපාලන වටපිටාව වෙනස් වේවි කියලා ඔබ හිතනවද?   
පිළිතුර:- නිසැකවම?   

 


ප්‍රශ්නය:- කොහොමද ඒක වෙන්නේ?   
පිළිතුර:- ජාතිය, පක්ෂයෙ ආත්මීය වගකීම දේශපාලනිකව ක්‍රියාත්මක යුතුයි.   

 


 ප්‍රශ්නය:- ශ්‍රීලනිපයේ නායකයන් කියනවා අවස්ථාව ආවම යූඑන්පී ගිවිසුමෙන් ඉවත් වෙනවා කියලා?   
පිළිතුර:- ඔය ගිවිසුම අත්සන් කළේ 2015 අගෝස්තු 21 වැනිදා වසර දෙකකට කියලයි. ඒ අනුව 2017 අගෝස්තු 21 වැනිදා කිව්වා දෙසැම්බර 31 වැනිදායින් අවසන් කියලා. හරිනම් මේක දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක්.   

 


ප්‍රශ්නය:- ඔබ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිව්වා මේ ගිවිසුමේ කල් ඉකුත්වීම නිසා ව්‍යවස්ථාමය අර්බුදයක් මතුවෙනවා කියලා?   
පිළිතුර:- මෙහෙමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේදී කිව්වා ඇමැති මණ්ඩලය 30 කට සීමා කළා. කැබිනට් නොවන අය 40 ක් පුළුවන් කියලා. මට මතක හැටියට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ‘1’ අ වගන්තිය ඒකට ව්‍යතිරේඛයක් ගෙනල්ලා ‘46-3’ යටතේ කිව්වා පාර්ලිමේන්තු සම්මතයක් මගින් ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් ගොඩනගන්නේ නම් කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 30 සිට 45 දක්වාත් කැබිනට් නොවන ඇමැති සංඛ්‍යාව 40 සිට 55 දක්වා වැඩි කළ හැකියි කියලා. දැන් ඔබ බලන්න ජාතික ආණ්ඩු ගිවිසුම් කාලය ඉවර නම් එය දීර්ඝ නොකළා නම් මේ ඇමැති මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි. ඒ වගේම නීති විරෝධියි. එහෙම නැත්නම් කවුරුවත් නොදන්නා හොර ගිවිසුමක් තියෙන්න ඕනෑනේ. අනෙක් ​ෙඛ්දවාචකය තමයි දෙසැම්බර් 31 ආණ්ඩුවෙන් ඉවත්වෙනවා කියලා කෑගහපු සියලු දෙනා සුසානයක නිහැඬියාවකයි ඉන්නේ. මේ පමාව අමතර ඇමැතිවරුන් 30 කට වැටුප් ගෙවීම පවා අද නීති විරෝධියි. ව්‍යවස්ථා විරෝධියි. අධිකරණය ඉදිරිපිට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියන්​ෙග් වගකීමක්. මාධ්‍යයේ වගකීමක්.   

 


 ප්‍රශ්නය:- මැතිවරණ අවාසිය මග හරවා ගන්න ඔබ ඔය තර්කය මතු කරනවා?   
 පිළිතුර:- නෑ. නමුත් ඔබ මැතිවරණය ගැන ප්‍රශ්න කරන නිසා ඒ ගැන කතා කරන්නම්. මේක ආණ්ඩුව දීපු මැතිවරණයක් නොවෙයි. ආණ්ඩුවේ අත අඹරවල ගත්ත මැතිවරණයක්. 

 

 
ප්‍රශ්නය:- කොහොම වුණත් මැතිවරණය කල් ගියේ රට ඉල්ලපු මැතිවරණ ක්‍රමයක් හදන්න ගිහිල්ලයි?   
පිළිතුර:- ඕක ශුද්ධ වූ බොරුවක්. මේ වෛරකාරී විනාශකාරී මැතිවරණ ක්‍රමය නිමා කළේ 2010 සම්මත කරපු අංක 24 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතිනුයි. ඒ ගෞරවය දිය යුත්​ෙත් දිනේෂ් ගුණවර්ධන කමිටුවට හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටයි. මේ ආණ්ඩුව කළේ ඒ පනතෙ සියයට 30 ක් තරුණ නියෝජනය මුළුමනින්ම අහෝසි කරලා සියයට 70 ක් වූ කොට්ඨාස නියෝජනය සියයට 60 ක් කරලා මුළු මැතිවරණ ක්‍රමයම විකෘතියක් බවට පත් කිරීම පමණයි. අනාවැකියක් කියන්නම් මේ මැතිවරණයෙන් මාස කිහිපයකට පස්​ෙස් සියලුම පක්ෂ හා මැතිවරණ කොමිසම ආයාචනා කරාවි අනේ කරුණා කරලා මේ ක්‍රමය අහෝසි කරන්න කියලා. 

 

 
ප්‍රශ්නය:- ආණ්ඩුවට යම් බලයක් දෙන්න කියන සටන් පාඨයටවත් ඔබේ ලෝකයේ වලංගු බවක් නැද්ද?   
පිළිතුර:- ආණ්ඩුවට හා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන්ට ඕනැ මේ මැතිවරණය ගමට කොටු කරන්නයි. නමුත් ඉතාම පැහැදිලිවම පෙබරවාරි 10 මැතිවරණයෙ වැදගත්කම ජනාධිපතිවරණයකට මහ මැතිවරණයක වැදගත්කමට දෙවැනි නැහැ. ලංකාවේ පළමු මහ නගර සභා මැතිවරණය වාර්තාවන්නේ 1865 දීයි. එතැන් සිට පහු කරලා ආපු අවුරුදු 153 ඇතුළතදී මේ තරම් දේශපාලනිකව ජාතිකව හා ජාත්‍යන්තරව වැදගත් පළාත් පාලන මැතිවරණයක් තාම හමුවෙලා නෑ. 

 

 
ප්‍රශ්නය:- අගමැති රනිල් කිව්වා මේ මැතිවරණයෙන් ආණ්ඩුව පෙර​ෙළන්නේ නැහැ කියලා යථාර්ථයත් ඒකමයි?   
පිළිතුර:- අගමැතිතුමාට තේරෙන්නේ නැහැ එතුමගේ කකුල් යටින් පොළොව නාය යන බව. අපි රටේ ජනතාවට කියන්​නේ පෙබරවාරි 11 වැනිදා අපට බහුතර බලය දෙන්න අපි අප්‍රේල් 14 වෙනකොට පෙන්වන්නම් කොහොමද මේ රට වනසන ආණ්ඩුව අවසන් කරන්නේ කියලා.   

 


 ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තාව එළියට ආවා. ජනාධිපති මෛත්‍රි කඩුව අතට ගත්තා...?   
 පිළිතුර:- බැඳුම්කර වංචාව ගැන සෙවීමට බලය සහිත කොමිසමක් පත් කිරීම ගැන අපි එතුමාට ස්තූතිවන්ත විය යුතුයි. නමුත් අවසන් වාර්තාව අනුව මට පෞද්ගලිකව දැනෙන්​නේ බැඳුම්කර ඔරුව මව් ගංගාවට ගිහිල්ලා නෑ. අතු ගංගාවක දෙකක විතරයි ගිහිල්ලා තියෙන්නේ කියලයි.   

 


ප්‍රශ්නය:- ඔබේ උත්තරය පැහැදිලි නෑ?   
පිළිතුර:- දැන් බලන්න ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව මුදල් අමාත්‍යාශයෙන් ඉවත් කරලා අගමැතිවරයා පවරා ගත්තා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීමට එකඟ නොවූ විදේශිකයෙක් මහ බැංකු අධිපති විදියට පත් කළා. ඒ වගේම ඩිව් ගුණසේකර කෝප් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී පාර්ලිමේන්තුව විසිරෙව්වේ ඇයි? එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයන් තුන් දෙනෙකුගේ කමිටුවකින් කිසිදු වංචාවක් වී නැති බවට සහතික ලියැවෙන්නේ ඇයි? කෝප් කමිටු සංයුතිය වෙනස් කරමින් නව සාමාජිකයන් පත් කරලා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම වළක්වන්න අධිකරණ නියෝග ගන්න උත්සාහ කළේ ඇයි? මේ ආදී වශයෙන් වාර්තාවේ පිළිතුරු නොමැති ප්‍රශ්න තියෙන නිසා මා තුළ සාධාරණ සැකයක් උපදිනවා මේකත් ‘බය නැති අගමැති’ නාට්‍ය පිටපතේම කොටසක්ද කියලා. 

 

 
 ප්‍රශ්නය:- නමුත් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ නිකුත් කරලා තියෙනවා?   

 පිළිතුර:- ඔක්කොම කුණු ගොඩවල් බේරුවල් බොක්කටය කියලා කියමනක් තියෙනවනේ. රවි නීච කළාම අනෙක් අයගේ ග්‍රහදෝෂ සියල්ල දුරුවේවි. සුමනදාසලා ඔය හැම තැනම ඉන්නවා.   

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්