​මේ නීති පද්ධතියෙන් වරාය නගරය සාර්ථක වෙයි කියා අපි හිතන්නේ නෑ


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  

  • පෝට් සිටියේ ඉතිහාසය ගත්තොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා හැටියට 2002 - 2003 කාලේ මේ ගැන කතා කළා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි මුල්ගල් තියලා පටන් ගත්තේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා ඡන්ද පොරොන්දුවක් හැටියට මහින්ද රාජපක්ෂ සහ චීනය සමග එකඟ වෙච්ච සින්නක්කර ගිවිසුම අහෝසි කරනවා කියලා. ඒකට තමයි අපේ ආණ්ඩුව කාලෙදි වැඩිපුරම කාලය ගත වුණේ. අක්කර පනහක්. හරියටම පාර්ලිමේන්තුව ඉස්සරහ කොටස චීන කොම්පැණියට ස්වෛරි සින්නක්කර ඔප්පුවකින් ලියල දීලා තිබුණේ. ඒක නැවත අපි ලබාගත්තා.  

 

කොළඹ වරාය නගරය යළිත් දේශපාලන ලෝකය කළඹවමින් තිබේ. මේ ඒ ගැන සමගි ජන බලවේගයේ මතය විමසමින් එහි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි. 

 
ප්‍රශ්නය:- කොළඹ වරාය නගරයට ඔබලා දැන් විරුද්ධ වෙන්නේ මොන පදනමකින් ද? මොකද ඔබලගේ ආණ්ඩුව කාලෙත් මේක කරගෙන ගියා?  


පිළිතුර:- පෝට් සිටියේ ඉතිහාසය ගත්තොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා හැටියට 2002 - 2003 කාලේ මේ ගැන කතා කළා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි මුල්ගල් තියලා පටන් ගත්තේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා ඡන්ද පොරොන්දුවක් හැටියට මහින්ද රාජපක්ෂ සහ චීනය සමග එකඟ වෙච්ච සින්නක්කර ගිවිසුම අහෝසි කරනවා කියලා. ඒකට තමයි අපේ ආණ්ඩුව කාලෙදි වැඩිපුරම කාලය ගත වුණේ. අක්කර පනහක්. හරියටම පාර්ලිමේන්තුව ඉස්සරහ කොටස චීන කොම්පැණියට ස්වෛරි සින්නක්කර ඔප්පුවකින් ලියල දීලා තිබුණේ. ඒක නැවත අපි ලබාගත්තා.  


ප්‍රශ්නය:-නමුත් ඒ ඉඩම නැවත ඒ චීන සමාගමට බදු දුන්නා? 

 
පිළිතුර:- ඔව්. ඒ අනූනව අවුරුද්දකට. ඒක තමයි මූලිකම ගැටලුව වෙලා තිබ්බේ. ඒක අපේ ජාතික ආරක්ෂාව, ව්‍යවස්ථාව මුළුමනින්ම පටහැනියි. අනිත් ප්‍රශ්නය වුණේ පරිසර වාර්තා. මොකද කලින් ගිවිසුමේ තිබුණේ ලංකාවේ ආණ්ඩුව තමයි පරිසර වාර්තා ලබාගෙන ඒ සම්බන්ධ සියලු වගකීම් දරන්නේ. ඔය නිසා තමයි අපේ කාලය ගත වුණේ.  


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ඔබ ඇයි දැන් විරුද්ධ වෙන්නේ කියලයි?  


පිළිතුර:- මම මේ එතැනට තමයි එන්නේ. තව ප්‍රශ්නයක් තිබුණා ගල් ද‌ාලා මේක හැදුවට පස්සේ මේක පවත්වා ගෙන යන්න නීති පද්ධතියක් අවශ්‍යයි. අපි හදලා තිබුණ නීති කෙටුම්පත 2019 දී අපි ආණ්ඩුව බාර දෙන කොට ආණ්ඩුවට දුන්නා.  


ප්‍රශ්නය:- එතැන කෙටුම්පත් දෙකක් තිබුණා?  


පිළිතුර:- ඔව්. මම තමයි ඒ කෙටුම්පත අවසාන වශයෙන් නිර්දේශ කරපු කමිටුවේ සභාපති. ඒ කෙටුම්පතම නම් මෙවරත් ඉදිරිපත් කරන්නේ අද ඇතිවෙලා තියෙන ව්‍යවස්ථාපිත ප්‍රශ්න මතුවෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විද්වත් කමිටුවක් පත් කළා. කෙටුම්පත අධ්‍යයනය කරන්න. ඒගොල්ලෝ ඒ කෙටුම්පත අධ්‍යයනය කරලා ජනාධිපති කාර්යාලයට ඇරියා වාර්තාවක් නමුත් ජනාධිපති කාර්යාලයෙන් ඒ කෙටුම්පතේ මූලික ස්වභාවය වෙනස් කළා. ඒ නිසා තමයි අද මේ සංකීර්ණ ගැටලු මතුවෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි අධිකරණයට ගියේ. අපි විතරක් නොවෙයි නීතිඥ සංගමය පවා උසාවියට ගිහින් තියෙනවා.

  
ප්‍රශ්නය:-ඔබලා විරුද්ධ වෙන්නේ මේ තියෙන කෙටුම්පතට මිසක් පෝට් සිටියට නොවෙයි? 

 
පිළිතුර:- මේක ‘හෙඩ් ලයින්’ එකට ගත්තත් කමක් නෑ. අපට ඕනෑ වරාය නගරය සාර්ථක වෙන්නයි. අපි විශ්වාස කරන්නේ නැහැ මේ නීති පද්ධතිය යටතේ වරාය නගරය සාර්ථක වෙයි කියලා.

  
ප්‍රශ්නය:-ඔබ කිව්වා මේ හරහා ව්‍යවස්ථාපිත ප්‍රශ්නයක් මතු වෙනවා කියලා. නමුත් ආණ්ඩුව කියනවා එහෙම කිසිම දෙයක් නෑ කියලා?  


පිළිතුර:- මේ කොළඹ වරාය නගරය පාලනය වෙන්නේ කොමිසමකින්. මේ කොමිසමට තියෙන බලතල මොනව ද? කොමිසම පත් කරන්නේ කොහොම ද? කොමිසමේ ස්වභාවය මොකක්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. කොමිසමට මේ භූමි ප්‍රදේශයේ සම්පූර්ණ බලය පැවරෙනවා. මේ කොමිසම පත්වෙන්නේ අපේ ආණ්ඩුව කෙටුම්පතට අනුව ආයෝජන මණ්ඩල පනතට අනුවයි. එතකොට 2020 මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හැටියට පනත් කෙටුම්පතක් හැදුවා කියලා මම මුලින් කිව්වනේ. ඒකේ තියෙන්නෙත් පත්කරන කොමිසම ආයෝජන මණ්ඩල පනතට අනුව පත් කරනවා කියලයි. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පතට අනුව මෙම කොමිසම සංස්ථාපිත මණ්ඩලයක් සමාගමක් හැටියට තමයි ස්ථාපනය කරන්නේ. රජයේ සමාගම් තියෙන්නේ. සංස්ථා තියෙන්නේ ඒවා පාලනය කෙරෙනවා. නමුත් මේකේ තියෙන්නේ ව්‍යවස්ථාපිත කොමිසමක් කියලයි. නමුත් මේක කොමිසමක් කිව්වට කොමිසමක් නොවෙයි.  


ප්‍රශ්නය:- ඔබ කොහොම ද එහෙම කියන්නේ ?  


පිළිතුර:- දැන් මහ කොළඹ ආර්ථික කොමිසම තිබුණා. ඒක තමයි ආයෝජන මණ්ඩලය වුණේ. මහ කොළඹ ආර්ථික කොමිසම හදන කොට තිබුණ නීති නොවෙයි ආයෝජන මණ්ඩලය හදනකොට ගෙනාවේ. මම යළිත් කියනවා මේක ව්‍යවස්ථාපිත මණ්ඩලයක්. මේක සමාගම් පනතට යටත් නෑ. මේක පිහිටුවන්නේ පාර්ලිමේන්තුවෙන්. එහෙම පාර්ලිමේන්තුවෙන් පිහිටුවන කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ‘මේක රජයට අයිතියක් තියෙන සමාගම් ආඥ‌ා පනතේ හැර වෙනම යම්කිසි ලිඛිත නීතියකින් හෝ පිහිටුවනු ලද්දා වූ හෝ පිහිටුවන ලබන්නා වූ ආණ්ඩුව විසින් ප්‍රද‌ානයක් හෝ ණයක් වශයෙන් නැතහොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග්ධනය නැතහොත් අරමුදලෙන් කොටසක් හෝ ප්‍රාග්ධනයෙන් කොටසක් හෝ සපයනු ලබන්නා වූ සංස්ථාවක් මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක්’ ආදී වශයෙන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් පිහිටුවනු ලබන ආයතනයක් නම් රජයේ ප්‍රාග්ධනයක්. මේකේ මූලික අරමුදලට තියෙන්න ඕනෑ. හරිනේ? මේ කෑල්ල ඉතාම වැදගත්. එතකොට මේ හදන්න යන්නේ සංස්ථාපිත මණ්ඩලයක්.  


ප්‍රශ්නය:- ඒකේ තියෙන ගැටලුව ඔබ දකින්නේ කොහොම ද?  


පිළිතුර:- 2019 දී අපි ආණ්ඩුවට දීපු කෙටුම්පත් තියෙන්නේ රජයේ ඒකාබද්ධ අරමුදලෙන් පාර්ලිමේන්තුවෙන් මුදලක් අනුමත කරලා මේ කොමිසමට බැර කරනවා කියලා. ඒක තමයි මූලික ප්‍රාග්ධනය. මහින්ද අගමැතිවරයා ඉදිරිපත් කරපු එකේ තියෙනවා ‘ආණ්ඩුවෙන් බැර කරන මුදල හා ආයෝජන කොම්පැණිය යොදන මුදල ප්‍රාග්ධනය’ කියලා. එතැන ප්‍රාග්ධනයට මුදල් වර්ග දෙකක් තියෙනවා. එකක් ව්‍යවස්ථාවට එකඟයි. දැන් තියෙන කෙටුම්පතේ තියෙන්නේ ‘කොමිසම් සභාවේ ආරම්භක පිහිටුවීම හා මෙහෙයුම් වියදම් පියවීම සඳහා කොමිෂන් සභාව විසින් භාවිත කළ යුතු මුදල් ප්‍රමාණය වන මූලික ද‌ායක මුදල වශයෙන් ව්‍යාපෘති සමාගම විසින් කොමිෂන් සභාවේ අරමුදලට ගෙවිය යුතු ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 400ක් වශයෙන්. එතකොට මෙතැන ආණ්ඩුව නෑ. කොම්පැණිය විතරයි. ව්‍යවස්ථාවෙන් පැහැදිලි කරලා තියෙන රජයට අයිති සංස්ථාවක් නොවෙයි මෙතැන තියෙන්නේ.  


ප්‍රශ්නය:- නමුත් කොමිෂන් සභාවේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන්නේ ජනාධිපතිවරයා. රජයට අයිති නැත්නම් කොහොම ද ජනාධිපතිවරයා පත් කරන්නේ?  


පිළිතුර:- නෑනේ... නැවතත් කියන්න ඕන අපට ඕනෑ මේක සාර්ථක වෙන්නයි. මේ විදියට ගියොත් සාර්ථක වෙන්නේ නෑ. 2019 කෙටුම්පතේ තිබුණේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට අට දෙනෙක් පත් කරනවා. අට දෙනාගෙන් පස් දෙනෙක් රජයේ ඉහළම නිල දරන අය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පස්දෙනෙක් පත් කරනවා. ඊළඟ තුන් දෙනා පිටතින් ගේනවා. ඔවුන්ව පත් කරන්නෙත් ව්‍යවස්ථාද‌ායක සභාවෙන්. ඒ අනුව රජයේ මැදිහත්වීමෙන් තමයි කොමිසම පත් කෙරෙන්නේ. මහින්ද මහත්තයා 2020 දී දීපු කෙටුම්පතේ අපේ කරුණුම අරගෙන අට දෙනා දහ දෙනා දක්වා වැඩි කළා. මධ්‍යම පරිසර අධිකාරියෙ සභාපති සහ සුරැකුම් පත් එකේ සභාපතිත් ඒකේ ඉන්නවා. ඒකත් හොඳයි. මේකේ එහෙම එකක් නෑ. මේකේ හැටියට ජනාධිපතිවරයා හත් දෙනෙක් පත්කරනවා. මේ හත් දෙනා ශ්‍රී ලාංකිකයෝ වෙන්න ඕනෑත් නෑ.  


ප්‍රශ්නය:-නමුත් රජය කියනවා කොමිසමට පත් කරන අයට තිබිය යුතු සුදුසුකම් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ කියලා ?   


පිළිතුර:- මේ කෙටුම්පතේ තියෙනවා ඔවුන්ට සුදුසුකම් තිබිය යුතුයි කියලා. නමුත් ජනාධිපතිවරයා තමයි කාව ද පත් කරන්නේ කියලා තීරණය කරන්නේ.  


ප්‍රශ්නය:-ජනාධිපතිවරයව පත් කරලා තියෙන්නේ රටේ සාතිශය බහුතරය ?  


පිළිතුර:- ඔව්. හැබැයි මේ කතාව අහන්නකෝ. තමන්ට ඕනෑ කැමැති හත් දෙනෙක් පත් කරනවා. සුදුසුකම් ගැන නොවෙයි මම මේ කතා කරන්නේ. සුදුසුකම් තිබුණා කියලා හිතමු. හැබැයි මේ අය ලංකාවේ ඉන්න ඕනෑ කියලා මේකේ නෑ. මේ කට්ටියට පුළුවන් වෙන රටක ඉඳන් මේක පාලනය කරන්න.  


ප්‍රශ්නය:- රටේ ආර්ථිකය බොහොම දුර්වල තැනක තියෙන්නේ. මේ වගේ ක්‍රියාමාර්ග හරහා නේද ආර්ථිකය හද‌ා ගන්න වෙන්නේ?  


පිළිතුර:- සීයට සීයක් පිළිගන්නවා. මේකට මං වගේ කෙනෙක් සභාපති වෙලා මුලින්ම කෙටුම්පත සැදුවේ. ඒ ආර්ථික පිම්ම පනින්න ඕනෑ නිසා තමයි. අපිට ඕනෑ මේක සාර්ථක කරගන්නයි. නමුත් අපට මේක සාර්ථක කරගන්න ඕනෑ රටේ කෑල්ලක් හැටියට. රටින් පිටුවහල් කරපු කෑල්ලක් හැටියට අපිට මේක සාර්ථක කරගන්න අවශ්‍ය නෑ. අපට ඉස්තරම්ම මාර්ගයේ මූල්‍ය ආයතන මෙතැනට ගෙන්වන්න ඕනැනේ. ඒ අයට අවශ්‍ය වෙනවා නියාමනය. සිංගප්පූරුවට, ඩුබායිවලට ගියාම නියාමනය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. ශක්තිමත් නීති රාමුවක් තියෙනවා. අපි හදපු කෙටුම්පතෙත් මහින්ද අගමැතිතුමා හදපු කෙටුම්පතේ තියෙන්නේ මූල්‍ය නියාමනය සිද්ධ විය යුත්තේ මහ බැංකුව හරහා’ කියලයි. මහ බැංකුව තමයි මූල්‍ය නියාමනයට තියෙන ආයතනය. නමුත් මේකේ එහෙම නෑ. මේකේ තියෙන්නේ කොමිසම හරහා ඒක වෙනවා කියලයි. කොමිසම ලංකාවේ පාලනයට වග කියන එකක් නම් ඒක ගැටලුවක් නෑ. එහෙම වුණොත් රජයේ පාලනය යටතේ මේක තියෙන්නේ. මෙතැන වෙන්නේ වෙන දෙයක්. මෙතැන වෙන්නේ ඒක නොවෙයි. නැත්නම් ඔබ හිතනවද නීතිඥ සංගමය අධිකරණයට යයි කියලා ?  


ප්‍රශ්නය:-රට නොයා විදෙස් මුදල්වලින් මෙම වරාය නගරයේ සේවකයන්ට වැටුප් ලබන්න පුළුවන් කියලා ආණ්ඩුව කියනවා?  


පිළිතුර:- වැටුප් ලබන්න පුළුවන් ඩොලර්වලින්. ඩොලර්වලින් වැටුප් ලබලා බදු ගෙවනවද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. ලංකාවේ සේවාවක් සපයනවා. ඔහුට ඩොලර්වලින් ගෙවනවා. ඔහුගේ බදු හදනකොට බදු බිංදුවයි. ඒක ලංකාවේ නීතිය. පී.බී. ජයසුන්දර කිව්වා ‘මේක අපනයන ආද‌ායමක්’ කියලා. අපනයන ආද‌ායම්වලට බදු නෑ. අපිට ලංකාව ඇතුළේ අපනයනය කරන්න පුළුවන් ද?  


ප්‍රශ්නය:- කොළඹ වරාය නගරය අල්ලාගෙන සජබය නැගිටින්නයි බලන්නේ? 

 
පිළිතුර:- නෑ. එහෙම එකක් නෑ. සමගි ජන බලවේගය වෙනුවෙන් අපි කොයි ආකාරයෙන් ද මේකට මැදිහත් වෙන්න ඕනෑ කියලා මමත් මූලික වෙලා වැඩ කරනවා. මොකද මම මුල ඉඳලා මේකේ හිටපු නිසා. සමගි ජන බලවේගයට ඕනෑ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගන්නයි. ඔන්න මම තුන් පාරක් කිව්වා අපිට කියන්න එපා මඩ ගහනවා, කකුලෙන් අදිනවා කියලා. එහෙම නෑ. අපි තව අවුරුදු කීපයකින් රජය ගත්තාම අපටත් පහසුයි මේක සාර්ථක වෙලා තිබුණොත්. අපි ඉන්නේ සරල භාණ්ඩ නිෂ්පාදනය කරන අඩු වැටුප් ලබන රටක. එහෙම රටක් වෙනුවට සංකීර්ණ භාණ්ඩ නිපදවන සංකීර්ණ සේවා සපයන වැඩි වැටුප් ලබන රටක් බවට මේක පත්වෙන්න ඕනෑ. ඒක අපිට කරන්න පුළුවන් දෙයක්. අපේ රට බංග්ලාදේශයවත්, පාකිස්ථානයටත් ඉන්දියාවටත් නොවෙයි. අපට මේක කරන්න පුළුවන්. එහෙම කරන්න නම් ක්‍රම දෙක තුනක් තියෙනවා. අපට ඒකට දැනුම, හැකියාව නෑ. අපට නෑනේ අවශ්‍ය තරම් තාක්ෂණික දැනුම තියෙන ශ්‍රම බලකායක්. ඒක ඇත්ත. අපට අලුතෙන්ම අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරලා තාක්ෂණික දැනුම තියෙන තරුණ තරුණියන් ශ්‍රම බළකායට ගත්තහම තව අවුරුදු කීයක් යයි ද? අපි බැලුවොත් සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඩුබායි, ඇමෙරිකාව, ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ය අපේ තාක්ෂණික දැනුම තියෙන කට්ටිය ඒ රටවල පදිංචි කර ගන්නවා. එයින් ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය කළේ අවුරුදු 28 කට කලින්. මට කිව්වා එහෙ නතර වෙලා රස්සාවක් කරන්න කියලා. අද එහෙම නම් මම හොඳට ඉන්නවා ඇමෙරිකාවේ. නමුත් මම මෙහෙ ආවා. නමුත් අති බහුතරයක් එන්නේ නෑ. මෙහෙ ඉන්න අයත් යනවා. එහෙම නම් අපට සිද්ධ වෙනවා ඒ කණ්ඩායම් නැවත මෙහාට ගේන්න. අපට පුළුවන් කුඹුරක් හාලා බත් ටික කන්න. නමුත් අපි කරන්නේ කඩේට ගිහින් හාල් කිලෝවක් අරන් ඇවිත් ලිපේ තියන එකයි. ඒක අපට පහසුයි. අලුතෙන් හිතන රටවල්වලට විවෘත මනසක් තියෙනවා. සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනකොට ගිරිය යටින් කෑගැහුවේ නැද්ද ඔය මිනිස්සු. සිංගප්පූරු ගිවිසුම අත්සන් කළේ ඇයි ? ඒ තාක්ෂණය මුසුකරගෙන අපේ රට දියුණු කරන්න, ඒකට කෑගහපු මේ කට්ටිය අන්න ඒ රටවල අය මෙහෙ ඇවිත් මෙහෙ රස්සා ගන්නවා කියලා කියපු කට්ටිය. දැන් කියනවනේ ඕනෑම කෙනෙකුට ඇවිත් මෙහෙ වැඩ කරන්න පුළුවන් කියලා. මේක සීයට සීයක්ම ආපස්සට හැරීමක්නේ. අපි එහෙම නෑ. අපි හැමද‌ාමත් දරන්නේ එකම මතයක්. අපේ ආර්ථික වැඩපිළිවෙල ලෝකයත් එක්ක එකට එකතු කළ යුතුයි. ලංකාව වටේට තාප්පයක් ගහන්න එපා. ලංකාවෙන් පාලම් බදින්න. අපේ අතේ තියෙන ජංගම දුරකථනය හදන්නේ රටවල් 40 ක. ඒ රටවල් කලාපීය නිෂ්පාදන ජාලවලට එකතු වෙලා තියෙනවා. මේ අදහස හොඳයි මේක දියුණු කරන්න ඕනෑ. මේක කරන්න ඕනෑ රටේ ව්‍යවස්ථාවට අනුකූලවයි. රටේ කෑල්ලක් විදියටයි මේක දියුණු කරන්න ඕනෑ. එහෙම නැතිව කියන්න එපා සජබය මේකට විරුද්ධයි කියලා. අපි මේකට පක්ෂයි. හැබැයි අපි පක්ෂ වෙන්නේ මේ කෙටුම්පතේ තියෙන විදියට නොවෙයි. ඒකයි අවධාරණය කළ යුත්තේ.  


ප්‍රශ්නය:- මැයි දින සැමරුම ආණ්ඩුව නතර කළා. සජබයේ ස්ථාවරය මොකක් ද?  


පිළිතුර:- ආණ්ඩුව ඇයි මේක නතර කළේ? ඒ ගොල්ලෝ ගම සමඟ පිළිසඳර යනවා. ඒගොල්ලෝ තැන් තැන්වල යනවා. අවුරුද්දට යන්න දුන්නා. දැන් දැනගත්තා වැඩේ අවුල් කියලා. ඒගොල්ලොත් දෙකට බෙදුණා. ඒගොල්ලෝ ඊට පස්​සේ මැයි දිනය තහනම් කළා.  


ප්‍රශ්නය:-විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස කිව්වා ‘මාව නටවන්නත් බෑ. මම නැටවෙන්නෙත් නෑ.’ කියලා. කාට කවුරු ඉලක්ක කරගෙන ද සජිත් මෙහෙම කිව්වේ?  


පිළිතුර:- මං දන්නේ නෑ කාව ඉලක්ක කරගෙන කිව්වද කියලා. හැබැයි මම එකක් කියන්නම්. ඒ තමයි සජිත් ප්‍රේමද‌ාස නායකතුමා ගැන සමහරු ළඟ තිබුණු සෘණ අදහස් මගේ ඇස්දෙකට පේනවා එන්න එන්න වෙනස් වෙනවා කියලා. ඔහුව තේරුම් ගැනීමත් සමග ඒක වෙනස් වෙනවා. අනිත් එක සජිත් ප්‍රේමද‌ාස කියන්නේ අපේ කණ්ඩායමේ නායකයා පමණයි. හොඳ කණ්ඩායමක් අපට ඉන්නවා. අතන ඉන්න සහෝදර සමාගමටම එරෙහිවෙන්නේ විමල්ලා්, උදයලා සටන් කරන්නේ ‘රාජපක්ෂලා පමණයි’ කියලනේ ඔවුන් හිතන්නේ. එතකොට විමල්ලාට තැනක් නෑනේ. අපේ එහෙම නොවෙයිනේ. ඕනෑම දක්ෂ පුද්ගලයකුට මෙතන තැනක් තියෙනවා. සජිත් ප්‍රේමද‌ාස අලුත් නායකයෙක් හැටියට කලක් යනවා කෙනෙකුට තේරුම් ගන්න. ඒක ස්වභාවිකයි. අත්දැකීම් එක්ක තමයි නායකයන් ගොඩනැගෙන්නේ. එතුමත් නායකයෙක් හැටියට අවුරුදු 10 ක් 15 ක් හිටියා නම් මීට වෙනස්.  

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්