​මේ කොවිඩ් වසංගතය අස්සේ ජනබලය ගොඩනගන්න බෑනේ


සමගි ජන බලවේගයේ මහ ලේකම් මොනරාගල දිස්ත්‍රික් 
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

සමගි ජන බලවේගයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග මොනවාද? විමසමින් එම සන්ධානයේ මහ ලේකම් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුමබණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- රටේ විපක්ෂයක් තියෙනව ද කියලා ජනතාව ප්‍රශ්න කරනවා?


පිළිතුර:- විපක්ෂයේ අපි නැත්නම් අද වෙනකොටත් මේ රට කනත්තක් වෙලා. අපි නැත්නම් ජනතාව මහපාරේ මැරිලා වැටෙනකම් මේ ආණ්ඩුව අහක බලාගෙන ඉන්නවා. ජනතාව අද මේ තරමින් හෝ ආරක්ෂා වෙලා ඉන්නේ විපක්ෂය නිසයි. ඒ නිසානේ අද ආණ්ඩුව විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මැතිතුමාට මඩ ගහන්නේ. අද ආණ්ඩුව කරන්නේ විපක්ෂයට මඩගහන එක. ආණ්ඩුවට වැඩ බෑ. ‘සර් ෆේල්’ ඒ නිසා විපක්ෂයට මඩ ගහනවා.


ප්‍රශ්නය:- අයවැය විවාදයේදී වුණත් ආණ්ඩුවට විපක්ෂයෙන් ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙනවා අපි දැක්කේ නෑ.

ඇමැති බන්දුල ගුණවර්ධනත් ඒ ගැන කතා කරලා තිබුණා?


පිළිතුර:- බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාම තමයි කිව්වේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට බලයක් නැහැ. ජනාධිපතිවරයා වටේ ඉන්න නිලධාරීන් කිහිප දෙනෙක් තමයි තීන්දු තීරණ ගන්නේ කියලා. ඇමැති බන්දුලම කියනවා ‘මේ ආණ්ඩුවේ ඇමැතිවරු රබර් සීල් එකක් වෙලා කියලා. සී.බි. රත්නායක ඇමැතිතුමා කිව්වා ‘අපට නිතර නිතර කැපිලි කෙටිලි තමයි’ කියලා. ඒ විදියට ආණ්ඩුවේ බහුතරයක් ඉන්නේ ඉතාම තද කලකිරීමෙන්.


ප්‍රශ්නය:- ඒ කලකිරීම විපක්ෂයට හොඳ සරු පසක්. ඒ හරහා ආණ්ඩු විරෝධි ජන බලයක් ගොඩනගන්න විපක්ෂය කටයුතු කරන බවක් පේන්න නෑ.’


පිළිතුර:- මේ කොවිඩ් වසංගතය අස්සේ ජනබලය ගොඩනගන්න බෑනේ. දැන් ජනමතය ඇතිවෙලා ඉවරයි. පළමුව ඇති කළ යුත්තේ ජනමතය ඇති කිරීමයි. විපක්ෂය හැටියට අපි ඒ දේ කළා. මේ වෙන විටත් ආණ්ඩුවට එරෙහිව ජනමතය ගොඩනැගිලා ඉවරයි. ජනබලය ගොඩනැගීමයි ඊළඟට කරන්නේ අපි.


ප්‍රශ්නය:- විපක්ෂය ‘එද‌ාවේල ටුවර්ස්’ එකක්. දවසින් දවස මොකක් හරි මාතෘකාවක් අල්ලාගෙන කෑගහනවා. නමුත් ඒකෙන් ජනතාවට කිසිම සහනයක් නෑ.


පිළිතුර:- ජනතාවට සහන දෙන්න ඕනැ ආණ්ඩුවනේ. විපක්ෂය කොහොමද සහන දෙන්නේ?


ප්‍රශ්නය:- ආණ්ඩුව සහන නොදෙනවා නම් විපක්ෂයට පුළුවන් සටන් කරලා ජනතාවට ඒ සහන ලබා දෙන්න?


පිළිතුර:- අපි නිතර නිතර විපක්ෂයේ ඒ කාර්ය භාරය ඉෂ්ට කරනවා. පළමු කොවිඩ් රැල්ල එනකොට මහ මැතිවරණයට නාම යෝජනා බාරදීලා තිබුණේ. මහ ඡන්දය ළඟ එන නිසා ඒ පාර ආණ්ඩුව ටිකක් මහන්සි වුණා. අපි ඒක අගය කරනවා. නමුත් දැන් ඡන්දයක් ළඟපාතක නැති නිසා ආණ්ඩුව ජනතාව දිහා බලන්නේ නැහැ. මම ඒකයි මුලිනුත් කිව්වේ විපක්ෂයේ අපි නොසිටියා නම් අද ජනතාවට වෙන්නේ මහපාරේ

මැරෙන්නයි. ඒ විතරක් නෙවෙයි බඩු මිල වැඩිවෙන කොට රැකිරක්ෂා නැතිවෙන කොට, ජනතාවට ආධාර ලබා නොදෙනකොට වසංගත තත්ත්වය සම්බන්ධයෙන් හරි තීන්දු නොගන්නාකොට අපි ඒවා කියනවා. කොහොම වුණත් අපි මොනවා කිව්වත් මේ ආණ්ඩුව යන්නේ මිථ්‍යාව පස්සේ. වෙලාවකට මුට්ටි ගඟේ ද‌ානවා. ඇයි ආණ්ඩුවට මේ වගේ වෙලාවක නිවැරැදිම තීන්දු අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න බැරි?


ප්‍රශ්නය:- විපක්ෂය කොවිඩ් වසංගතයෙ එල්ලෙනවා. ඊට පස්සේ මහර බන්ධනාගාර ගැටුමේ එල්ලුණා. ලබන සතියේ අලුත් සිදුවීමක් නැත්නම් විපක්ෂය හාන්සියි’?


පිළිතුර:- ඔබතුමාම කියනවා කොවිඩ් එකේ එල්ලිලා ඉන්නවා බන්ධනාගාර ගැටුමේ එල්ලිලා ඉන්නවා කියලා. අනිත් අතට ආණ්ඩු විරෝධි ජනබලය ගොඩ නගන්නේ නැහැ කියල ඔබම කියනවා. තමුන්නාන්සේ කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරනවා.


ප්‍රශ්නය:- මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න ආණ්ඩුව කටයුතු කරලා. කෝ විපක්ෂයෙන් හඬක්?


පිළිතුර:- මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට එරෙහිව අපි අදත් පාර්ලිමේන්තුවේදී කතා කළා. මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළා විතරක් නොවෙයි ඒකේ ඉන්නේ බොහොම විද්වත් උගත් පිරිසක්. ඒ අයට අයින්වෙන්න කියලා අද බල කරනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල ඒ අයට ටෙලිෆෝන් කරලා කියනවා ‘ජනාධිපතිතුමයි මට කිව්වේ කරුණාකරලා අයින් වෙන්න’ කියලා බලකරනවා. මේකද මේ රටේ නීතියේ සාධාරණත්වය? මං අහනවා වියත් මගේ ආණ්ඩුවේ ඉන්න මැති

ඇමැතිවරුන්ගෙන්...... වියතුන්ට මෙහෙම සලකන්න ද මේ ආණ්ඩුව ගෙනාවේ කියලා?


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය ආණ්ඩුව වැරැදි තීරණ ගන්නවා නම් ඒවා වළක්වන්න විපක්ෂය ක්‍රියාශීලි මදියි කියන එකයි?

පිළිතුර:- අපේ විරෝධය අපි පළකරලා තියෙනවා. අදත් අපේ විපක්ෂනායකතුමා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කළා. මේ ආණ්ඩුව ආවේ වැරැදි කරන්නේ නෑ කියලා කියාගෙනනේ. ජනතාවත් ඒ කතා විශ්වාස කළානේ. නමුත් දැන් ආණ්ඩුව ‘රිවස් පෙත්ත’ ගහලා ඉන්නේ. දැන් යන්නේ රිවස් එකට. අවුරුද්දක් යන්නත් කලින් මේ තරම් ජන අප්‍රසාදයට පත්වෙච්ච ආණ්ඩුවක් තවත් නෑ. උද‌ාහරණයක් හැටියට යහපාලන රජයේ දූෂණය, වංචාව, නාස්තිය ගැන කියාගෙනනේ මේ අය ආවේ. අර සබීතා බිල්ඩිමට රුපියල් මිලියන 21 ක් ගෙවනවා කියලා පොළොවෙ පස් කාපු අයනේ මේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? අධිකරණ අමාත්‍යාංශය අරගෙන යන්න හදනවා මාසෙකට රුපියල් මිලියන 400 ක් දීලා අලුත් ගොඩනැගිල්ලකට. අද මේ දූෂණය, වංචාව, නාස්තිය නැති කරන්න ආපු අය. වේගයෙන් දූෂිතයන් බවට පත්වෙලා තියෙනවා. අද අධිකරණ ඇමැතිතුමාම නීතිය පසිඳලීමේ වගකීම තියෙන ඇමැතිවරයාම කටයුතු කරන ආකාරය පේනවනේ. මාසයකට ගෙවන ඒ ගානෙන් අලුත් ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්. අපි ආණ්ඩුවෙන් අහනවා ආණ්ඩුව ආවේ අපි කළා යැයි කියන වැරැදි නොකර ඉන්නද? එහෙම නැත්නම් ඊටත් වැඩියෙන් වැරැදි කරන්නද කියලා?


ප්‍රශ්නය:- ඔය ඔබ කියන වැරැදි කරන්න ආණ්ඩුවට අවශ්‍ය පරිසරය හදලා දුන්නෙත් ඔබලාමයි. පැරැණිම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගියේ ඔබලායි?


පිළිතුර:- පක්ෂය කඩාගෙන ගිහින් අලුත් නායකත්වයක් යටතේ ඡන්දෙට ගිය නිසා තමයි විපක්ෂයට මෙච්චරවත් ආසන ගානක් ලැබුණේ. ආණ්ඩුවට ඕනෑ කරලා තිබුණේ ආණ්ඩුවට උදව් කරපු නායකයොත් එක්ක ඩීල් ද‌ාන්න. තාමත් ඒ සම්බන්ධතා තියෙනවා. අපි අහනවා කෝ පාස්කු ඉරිද‌ා ප්‍රහාරය ගැන අද ආණ්ඩුව කතා කරනවද? එද‌ා මේ අය මහ ලොකුවට කතා කරපු බැඳුම්කරය ගැන අද කතා කරනවද? දැන් අවුරුද්දක් ගියා. එද‌ා කෑගැහුවා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නවා කියලා. අවුරුද්දක් ගියා. ඒ ගැන ‘මීක්’ ගාන්නේ නෑ.


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ පිළිගන්නවා බැඳුම්කර ගනුදෙනුව වංචාවක් කියලා?


පිළිතුර:- මේ අයමනේ කිව්වේ බැඳුම්කර ගනුදෙනුව මහ දවාලේ මහ පාරේ කරපු මහා මංකොල්ලයක් කියලා. අපේ ආණ්ඩුව තියෙන කාලේ බැඳුම්කර ගනුදෙනුව ගැන පරීක්ෂණ කරන්න ඉඩ දුන්නා. නමුත් මේ ආණ්ඩුව මේ මොනවද කරන්නේ? දැන් අවුරුද්දක් ගත වුණා අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නවා තියා ලංකාවට ගෙන්වා ගත්තෙත් නෑ. ඇයි ඒ සිදුවීමට අද‌ාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ? ඒකත් ඩීල් එකක් ද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.


ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව රට ණය උගුලක හිර කළා. අපි ඒ ණය ගෙව්වා කියලා ආණ්ඩුව කියනවා?


පිළිතුර:- අමූලික බොරුවක්නේ. අපි 2005 දී ආණ්ඩුව බාර දෙන කොට රටේ ණය ප්‍රමාණය මිලියන 2100 යි. ඒ ණය මිලියන හත්ද‌ාහක් අටද‌ාහක් දක්වා රාජපක්ෂ රෙජීමය වැඩි කළා. එහෙම තමයි ණය වුණේ. වැඩ පොලියට ගත්ත ඒ ණය අපි ගෙව්වා. පහුගිය අවුරුදු පහටම යහපාලන ආණ්ඩුව අරගෙන තියෙන්නේ මිලියන පන්ද‌ාහයි. මේ ආණ්ඩුව දැනටම මිලියන 5900 ක් අරගෙන තියෙනවා. රට ණය උගුලක හිර කළේ අපිද? මේ ආණ්ඩුව ද කියලා අපි අහනවා.?


ප්‍රශ්නය:- රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණයෙන් කරපු වැඩනම් පේන්න තියෙනවා. ඒත් ඔබේ ආණ්ඩුව ගත්ත ණයට වුණේ මොකක්ද කියලවත් හොයාගන්න බෑ කියලා තමයි කියන්නේ?


පිළිතුර:- අපි තමයි කිලෝ මීටර 94 ක් අධිවේගී මාර්ග ඒගොල්ලෝ හදනකොට අපි කිලෝ මීටර් 186 ක් හැදුවා. අපි ඒ වගේම ළඟම පාසල හොඳම පාසල කියලා පාසල් දහද‌ාහක් දියුණු කළා. ඒ වගේම අපේ ගම්වල පාරවල් ටික හැදුවා. මේ රටේ රෝහල් පද්ධතියම නවීකරණය කළා. සෞඛ්‍යයටයි අධ්‍යාපනයටයි වැඩිම මුදලක් වෙන් කළේ අපේ ආණ්ඩුවයි. මොරගහකන්ද ජලාශය හරහා මහවැලියෙන් පසු කරපු ලොකුම වාරිමාර්ග ව්‍යාපෘතිය කළේ අපි. ඇයි ඒ දේවල් ගැන කතා නොකරන්නේ? උමාඔය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ සල්ලිවලින් කළේ. ඇයි මේවා ඔයගොල්ලන්ට පේන්නේ නැත්තේ? ඇත්තම කියනවා නම් අපි කළා වැඩ. නමුත් ප්‍රචාරය නෑ.


ප්‍රශ්නය:- 20 සම්මත කරගන්න තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට හදලා දුන්නේ ඔබේ සන්ධානයේම මන්ත්‍රීවරුයි?


පිළිතුර:- එතැන අපේ පක්ෂයේ කියලා හිටියේ එක්කෙනයි. ඒ ඩයනා ගමගේ විතරයි. ඩයනා ගමගේ පරණ එක්සත් ජාතික පාක්ෂිකාවක්ද? එයා කා එක්කද ඩීල් කළේ කියලා දැන් පේනවා. ඔරිජිනල් සමගි ජනබලවේගයේ කවුරුවත්ම නම් ගියේ නෑ. හකීම්ගේ රිෂාද්ගේ පක්ෂයේ අය තමයි ගියේ. මුස්ලිම් පක්ෂ අන්තවාදී කියලා කියාපු ආණ්ඩුවම තමයි රිෂාද්ගෙයි හකීම්ගෙයි මන්ත්‍රීවරු අරගෙන 20 සම්මත කර ගත්තේ. ආණ්ඩුවට ලැජ්ජාවක් තියෙනව ද? ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය ඒකෙන් පේනවා නේද?


ප්‍රශ්නය:- සමගි ජන බලවේගයෙ තත්ත්වයත් එච්චරම සතුටුද‌ායක නැහැ නේද? ඔබේ හවුල්කාර පක්ෂ ලොකු ගැටුමක ඉන්නේ?


පිළිතුර:- හවුල්කාර පක්ෂ කියන්නේ මුස්ලිම් කොංග්‍රසය, රිෂාද් බදුර්දීන්ගේ පක්ෂය, හෙළ උරුමයත් ඇතුළු ඒ සියලු නායකයෝ අපිත් එක්ක ඉතාමත් ශක්තිමත්ව ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආව අය අපිත් එක්ක බොහොම ශක්තිමත්ව ඉන්නවා. ආණ්ඩුවට කියන අන්තවාදීන් කියන අය. ආණ්ඩුවම කියන පාස්කු ඉරිද‌ා ප්‍රහාරයට වගකිව යුතුයි කියලා කියපු අයත් එක්කම තමයි ආණ්ඩුව ඩීල් ද‌ාන්නේ. අපේ සන්ධානය ඇතුළේ විවිධ මත තියෙනවා. නමුත් ඒවා ගැටුම් නොවෙයි. සමගි ජන බලවේගයේ ඉන්න සියලුම දෙනා සජිත් ප්‍රේමද‌ාස විපක්ෂනායකතුමාගේ නායකත්වය පිළිඅරගෙන තියෙනවා. අපි දැන් ව්‍යවස්ථාව හද‌ාගෙන යනවා. සමගි ජන බලවේගය ඉතාම ශක්තිමත්ව ඉදිරියට යනවා. ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ගැටුම් හදන්න. හැබැයි ගැටුම් ආරවුල් ඇතිවෙලා තියෙන්නේ ආණ්ඩුව ඇතුළෙයි. ඒවා දැන් විවිධ ප්‍රකාශ හරහා මුළු රටටම පේන්න තියෙනවා. ඒ වගේම ආණ්ඩුව අතුළේ විතරක් නොවෙයි. රාජපක්ෂ පවුල ඇතුළෙත් ගැටුම් කියලා අපිට වාර්තා වෙනවා. කොහොම වුණත් ඉතාම කෙටි කාලයක් තුළ විශාල ජනතා අප්‍රසාදයක් ඇතිකර ගත්ත අසමත් ආණ්ඩුව ලෙස මේ ආණ්ඩුව ඉතිහාසයට එක්වෙනවා.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්