​මේ අය කෙරුවේ සම්පූර්ණයෙන්ම කොළේ වහලා ගැහිල්ලක්


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 
ඉරාන් වික්‍රමරත්න  

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කීපයක් පිළිබඳ මේ අදහස් දැක්වීම පාර්ලිමේන්තු ඉරාන් වික්‍රමරත්නගෙනි.


විස්ස ආණ්ඩුව දිනුවෙ තුනෙන් දෙකකින්. විපක්ෂයේ විරෝධය දියවෙලා ගියා නේද?   


ප්‍රජාතන්ත්‍රවාදය තමයි පරාද වුණේ. දැන් ඒකාධිපතිවාදය සමඟ රට සීරුවෙන්. විපක්ෂය නෙවෙයි පැරදුණේ, රට සහ ජනතාව. හැබැයි සත්‍යය කවදා හරි ජය ගනීවි. අපි දිගටම මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බලවේගය පරාජය කරන්න පෙළගැහෙනවා. මේකෙ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ රටේ සියලු දෙනාට. මේ අහිතකර ප්‍රතිඵල ආණ්ඩුවට ඡන්දය දීපු අයටත් ලැබෙනවා. එදාට අපි ඒ අය හැමෝම වෙනුවෙන් ඉන්නවා. දැන් අපි විපක්ෂයේ හඬ අවදි කරන්න සූදානම්.   


විපක්ෂයේ පදාසයකුත් කැඩුණා. 8 දෙනෙක් විස්සට අත ඉස්සුවනේ.   


ඒක පෞද්ගලික භේද උඩ වෙච්ච දෙයක්. බිය සහ මුදල් කියන දෙක මෙතන පාව්චිචි වුණා. එක පැත්තකින් බය කරනවා. අනික් පැත්තෙන් සල්ලිවලට ගන්නවා. මේ අය තමන්ගේ වාසිය වෙනුවෙන් පෙනීසිටියා මිසක් රට වෙනුවෙන් තමන්ට ලැබුණු ජනවරම වෙනුවෙන් නෙවෙයි පෙනීහිටියෙ.   


දින පනස් දෙකේ ආණ්ඩුවෙදිත් වුණේ එ් ටිකමයි. එදා වුණෙත් කුමන්ත්‍රණයක්. මේකත් එහෙමෙයි. මේ සෙට් එකම තමයි එදා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව වැඩ කළේ. මහ ලොකුවට කෑ ගහපු විමල් වීරවංශ, ගම්මන්පිල, විජේදාස, විදුර, වාසු වගේ අය කීකරු පූස් පැටව් වගේ අත උස්සපු හැටි කොහොමද? තනිකර බොරුවනේ කෙරුවෙ. ඊළඟ ව්‍යවස්ථාවෙන් යම් යම් කරුණු හලනවා කියල ජනාධිපති පොරොන්දු වුණු නිසා සහය දුන්නා කියලා විලිලැජ්ජා නැතුව දැන් කියනවා. දේශප්‍රේමය ගැන කයිවාරු ගහපු මේ අයගෙ රෙදි ගැලවුණා මේ වැඩෙන්.   


ආණ්ඩුව විස්ස ගෙනෙන්දී ඔබලා විරුද්ධ වුණා. ඇයි ඔබලා ඒකට විරුද්ධ?   


ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය. ඒක ඉතාම වැදගත් අනෙකුත් නීති සියල්ලම මේකට අනුගත වෙන්න ඕනෑ. ව්‍යවස්ථාවක් වෙනස් කරද්දී ප්‍රධාන වශයෙන් ඒ ගැන රටේ කතා බහක් ඇති වෙන්න ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉල්ලද්දී කීවා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒකේ කරුණු මොනවද කියලා කිව්වේ නෑ. අපිත් එකඟයි. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනෑ කියන එකට. ඒ වගේම ඒක රට තුළ පුළුල්ව සාකච්ඡාවට ලක් වෙන්න ඕනෑ. දැන් මේ කරන්නේ මැතිවරණයේ දී කියපු ඒක නෙවෙයි. දැන් මේ කට්ටිය කළේ විසි වෙනි සංශෝධනයක් ගෙනාපු එක. මැතිවරණ කාලේ විසිවෙනි සංශෝධනයක් කියන කතාව කිව්වෙම නෑ. මැතිවරණ ප්‍රකාශය තුළවත් එහෙම එකක් නෑ.  


අපි මේ අය ගෙනාපු විස්සේ කරුණු එකින් එක ​ෙපන්නලා කිව්වා ඇයි අපි ඒකට විරුද්ධයි කියලා. මේක රටට ඉතාම අහිතකර එකක්. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණ එ්කෙ තිබුණු එකක්. ඒක මේ රටේ ස්වාධීනත්වයට අහිතකරයි. මේ කරුණ දාලා තියෙන්නේ ඇයි කියලා අපි දන්නවා. මේක කාගේ වුවමනාවට දැම්ම ද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. කාගේ හරි අද්භූත ඕනෑ එපාකම් වලට ව්‍යවස්ථාවකට කරුණු එකතු කරන්න පුළුවන් ද? ද්විත්ව පුරවැසියෙකුටත් පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න පුළුවන් කියලා දාන්නේ මොකට ද? ඕක කියලා මේ කට්ටිය ඡන්දෙ ඉල්ලුවනම් මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙයි ද? මේ අය කෙරුවේ සම්පූර්ණ කොළේ වහල ගැහිල්ලක්. රටේ ජනතාව නොමඟ යැවීමක් කෙරුවේ. කෙටියෙන්ම කිව්වොත් විස්සෙන් කරන්නේ විධායකයේ බලය වැඩි කරලා පාර්ලිමේන්තුවේ බලය අඩු කරන වැඩපිළිවෙළක්. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය මේකෙන් අහිමි වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය අහිමි වෙනවා කියන්නේ එතැනින් එහාට රටේ නීතිය ගැන කතා කරලා වැඩක් නෑ. මේකෙන් රටේ සාමාන්‍ය පුද්ගලයාට නීතිය ගැන විශ්වාසයක් නැතුව යනවා. පැහැදිලිවම දැන් මේක එක රටයි නීති දෙකයි, කියන තත්ත්වයේ තියෙන්නේ. පොඩි මිනිහට එක නීතියක්, බල පුළුවන්කාර මිනිහට තව නීතියක්. එල්ලුම් ගහට නියම වෙච්ච සාමාන්‍ය සිරකරුවෙකුගේ තමන්ගේ ළඟම ඥාතියෙකුගේ මරණයකටවත් යන්න පුළුවන් ද? ඒත් එල්ලුම් ගහට නියම වෙච්ච කෙනෙක් දැන් පාර්ලිමේන්තු එනවා. නීතියෙන් එල්ලුම් ගහට නියම වෙච්චි කෙනෙක් රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට ඇවිත් ඒවට හවුල් වෙනවා. මොන විහිළුවක් ද මේක. මේ විදිහට තියෙන රටේ තවදුරටත් අධිකරණයේ ස්වාධීනත්වය අහිමි වෙනවා කියන්නේ හිතා ගන්න බෑ. මොනවයින් මොනව වෙයි ද කියලා මීනිමරුවන්ට ඇවිත් පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න පුළුවන් කියලා තීන්දු කළේ වර්තමාන කතානායකවරයා.   


පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ වගකීමත් හරි හැටි තේරුම් බේරුම් කර ගන්න බැරි 19 වන සංශෝධනය නිසා කියලා විස්ස ගෙනාපු අය කිව්වේ.   


ඕක පට්ට මිත්‍යාවක්. මම පැහැදිලි කරන්නම්. ඔය කතාව දිගින් දිගටම කියපු බොරුවක් රටේ ආරක්ෂක ඇමැති කවු ද? ඒ බලතල කාගේ අතේද තියනේනේ කියලා. හරිම පැහැදිලිව සඳහන් වෙනවා. පාස්කු දින ප්‍රහාරයේ වගකීම බැර වෙන්නෙ කාට ද කියපු එක පිළිබඳව කිසිම අපැහැදිලි භාවයක් නෑ. දැන් කරන්නේ අපි දන්නේ නෑ කියලා හැංගෙන්න හදන එක. ජනාධිපතිට අගමැතිට අයිති වගකීම් හරියට සඳහන් වෙනවා. ආරක්ෂක ඇමැති එදා හිටපු ජනාධිපති. 19 සංශෝධනය මේකට පටලවගන්න ඕන කමක් නෑ. විස්ස ගේන්න ​හේතුවක් විදියට තමයි ඔය සමහරු ඕක 19 පටලවන්නේ. ඕක අමු බොරුවක්. අපි කියන්නේ ඒක පිළිබඳ විමර්ශන කටයුතු ජනාධිපති කොමිසමකට දාලා ඇද ඇද ඉන්නේ නැතුව කෙළින්ම අධිකරණ ක්‍රියාවලියකට යොමු කරන්න. ඔය ජනාධිපති කොමිසමෙන් වෙන්නේ ඒක. තව කාලයක් දිග්ගැස්සි දිග්ගැස්සි යන එක විතරයි. ඇයි මේ ගැන අධිකරණයෙන් තීන්දුවක් ගන්න බැරි. එහෙම කරලා වැරදිකරුවන්ට ඉතා ඉක්මණින් දඬුවම් දෙන්න ඕනෑ.   


ඔබලා විස්සට විරුද්ධව එක එක කරුණු කියනවා. හැබැයි ප්‍රබල විරෝධතාවක් නෑ. මේ ආණ්ඩුව ගෙනාපු සංඝයා වහන්සේලාගෙ විරෝධතාවට ඊට වඩා අවධානය යොමු වුණා.   


විපක්ෂයක් විදියට අපේ විරෝධතාව තියෙනවා. ඒක නෑ කියලා කියන්න එපා. අපි තමයි මේක ගැන රටට කරුණු කිව්වේ. දිගින් දිගටම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටත් අපි මේ විරෝධතාව හැකි තරම් දක්වලා තියෙනවා. මේ ගැන විවාදය පැවතුණු දවසේ අපි විරෝධතාවක් දැක්වූවා පාර්ලිමේන්තු වටරවුම ළඟ. ජනතාව දැනුම්වත් කරන කටයුත්ත අපි කළා. සම්මේලන පැවැත්වූවා.   


කොරෝනා තත්ත්වය නිසා විශාල ජනහමු තියලා මේ ගැන ජනතාව දැනුම්වත් කරන්න විරෝධතා ව්‍යාපාර කරන්න අපහසුයි. ඒ තත්ත්වය යටතේ වුණත් ප්‍රශස්ත කාර්යයක්. විපක්ෂය විදිහට අපි ඉටු කළා. සමාජ මාධ්‍ය හැකි තරම් අපි මේ සඳහා පාවිච්චි කළා. අවාසනාවකට ප්‍රධාන මාධ්‍ය අපේ හඬට ඉඩක් නොදෙන තත්ත්වයක් තියෙන්නේ. අපි මේ ගැන කියන දේ විද්‍යුත් හා මුදිත මාධ්‍යයේ යන්නේ අඩුවෙන්. ඒක තමයි ඔය ඔබ කියන විදිහට අපේ විරෝධය ලොකුවට රටට පෙන්නෙ නැත්තේ. ස්වාධීන මාධ්‍ය මේ ගැන අපි කියන දේ රටට දිය යුතුයි. ඒකෙදි මාධ්‍යයත් තමන්ගේ වගකීම හරි හැටි ඉටු කරනව ද කියලා සිතා බැලිය යුතුයි. අද මාධ්‍යය ආයතන කටයුතු කරන ආකාරය හරි පැහැදිලියිනේ. රාජ්‍ය මාධ්‍ය වගේම පුද්ගලික මාධ්‍යයත් අද ආණ්ඩු හිතවාදී ප්‍රතිපත්තියක ඉන්නේ. ඒ ඒ අයගේ අරමුණු ගැන අපිට මොකුත් කියන්න බෑ. ඒත් ස්වාධීන මාධ්‍ය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඒවා රට ගැන හිතලා මාධ්‍ය මෙහෙවර කරාවි කියලා.   


ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගාණ එහෙට මෙහෙට කරලා මේක සම්මත කර ගත්තට ඒක රටේ මිනිස්සු පිළිගන්න ඕනෑ.   


විස්සට පාර්ලිමේන්තුවේ දී විරුද්ධ වීමෙන් ඔබ්බට මොකක්ද කරන්නේ ඔබලා?   


අපේ විරෝධය එතැනින් නතර වෙන්නේ නෑ. අපි රටේ ජනතාව එක්ක මේ වෙනුවෙන් සටන් කරනවා. විස්සේ අපි මතු කරපු අහිතකර ප්‍රතිඵල ලැබෙද්දී අපි ජනතාව අමතක කරන්නේ නෑ. මේ ජන පීඩක ආණ්ඩුවට එරෙහි ප්‍රබල විරෝධතාවක් අපි දිගින් දිගටම ගෙනියනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ව බිලිබාගෙන බය කරලා මේක සම්මත කර ගත්තට රට තුළ ඒක පරාජය කරන්න අපි කටයුතු කරනවා.   


විස්සට අත උසස්පු හැම දෙනාටම තමන්ගේ හෘද සාක්ෂිය එක්ක කනගාටු වෙන දවසක් එනවා. ඒ අයට මේ රට අගාධයට ඇද දැමීමේ පාපයට කර ගැහුව කියන පසුතැවිල්ලෙන් ගැලවෙන්න බෑ. මේකට අත උස්සපු අයටත් තමන් කරපු දේ ඉතා ඉක්මණින් වැටහේවි. අසීමිත බලයක් විධායකයට ගොනු කරලා දීමේ විපාකය ඒකට අත උස්සපු අයටම විඳින්න වේවි ඉස්සෙල්ලම. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි රටේ ජනතාවගෙ පැත්තෙ ඉන්නවා. ඕනෑ දුෂ්කර තත්ත්වයක දී වුණත්. ඔය කවුරුත් 19ට අත උස්සපු අයනේ. විලිලැජ්ජ නැතුව ද දැන් 19 හොඳ නෑ කියලා විස්සටත් අත උස්සන්නේ. මේ අය රටේ අනාගතය එක්කයි මේ භයානක සෙල්ලම කරන්නේ. රටේ ජනතාව මේ අය පිළිබඳ තිරණයක් ගනීවි. 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි