​මේ ව්‍යවස්ථාවත් එක්ක ජනතාව බලාපොරොත්තු වෙන සේවය ඉටුකරන්න බෑ


කෘෂිකර්ම ඇමැති   
මහින්ද‌ානන්ද අලුත්ගමගේ

ආණ්ඩුවේ ඉදිරි ගමන කෙසේ ද? ව්‍යවස්ථා සංශෝධනය කාටද? කවුරු වෙනුවෙන් ද? මේ ඒ ගැන විමසමින් කෘෂිකර්ම ඇමැති මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- පළමුවෙන් කියන්න ඔබ ඔබේ ඇමැති ධුරය ගැන තෘප්තිමත්ද?   


පිළිතුර:- සීයට පන්සීයක්ම.   


ප්‍රශ්නය:-නමුත් ගොඩාක් දෙනෙක් චුරු චුරු ගගා ඉන්නේ?   


පිළිතුර:- කිසි කෙනෙක් එහෙම චුරු චුරු ගගා ඉන්නවා අපට දැනෙන්නේ නෑ. මේ පාර තමයි කැබිනට් මණ්ඩලයෙ විෂයන් හරියට තේරුම් අරගෙන හඳුනාගෙන විෂයන් වෙන් කරලා තියෙන්නේ. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය හරියටම නම් කරලා තියෙනවා. ඒ කැබිනට් ඇමැතිවරුන්ට විෂයන් බෙදලා තියෙනවා. රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් වෙන් වෙන් වශයෙන් බෙදලා දීලා තියෙනවා. ඒ නිසා කිසි කෙනෙක් අසතුටෙන් නැහැ. හැමෝම ඉන්නේ සතුටෙන්?   


ප්‍රශ්නය:- ඔබ හිතනව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැලකූ විදිය හරි කියලා?   


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු ද‌ාහතර දෙනෙක් පත්වෙලා තියෙනවා. ඒ ද‌ාහතර දෙනාගෙන් දෙන්නෙකුට කැබිනට් ඇමැති ධුරත් තුන් දෙනෙකුට රාජ්‍ය ඇමැති ධුරත්, පාර්ලිමේන්තුවේ තනතුරු දෙකකුත් දීලා තියෙනවා. ඒ අනුව ද‌ාහතර දෙනාගෙන් හත් දෙනෙකුට තනතුරු තියෙනවා.   


ප්‍රශ්නය:- ජ්‍යෙෂ්ඨයන්ට සලකලා නෑ. මේ කලකිරෙන අය අනාගතයේ කැරැල්ලක් නොගහ ඉදියි කියලා ඔබ හිතනව ද?   


පිළිතුර:- මෙහෙමයි. විෂය පිළිබඳව තේරුම් ගන්න බැරි වුණාම ප්‍රශ්න මතුවෙනවා තමයි. හැමෝම කැමැතියි කැබිනට් ඇමැතිකම් ගන්න. එතකොට අපිට 150 ක් ඉන්නවා. මේ හැමෝටම ඇමැතිකම් දෙන්න බෑ. ජ්‍යෙෂ්ඨත්වය, පළපුරුද්ද සහ ලබාගත් ඡන්ද ප්‍රමාණය සියල්ලම සලකා බලලා තමයි ඇමැතිකම් දීලා තියෙන්නේ. සමහර අය අසතුටෙන් ඉන්න පුළුවන්. නමුත් ඒ අය බලාගන්නත් වැඩ හදලා තියෙනවා. 

 

එහෙම අත උස්සලා සම්මත කරගත්තේ 20 ගේනවා කියලා කියපු නිසානේ. ඒක ගෙනාවේ නැහැ. ඒ නිසා රට එහෙම්පිටින්ම අවුල් ජාලයක් වුණා. වැරැදි කරල හිරේ ගිය පොලිස්පති ගෙදර යවන්න බැරි ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඔබ හිතන්න එහෙම රට ගෙනියන්න පුළුවන් ද? ඔබ බලන්න මේ කොමිෂන් සභා ස්වාධීන ද කියලා. ඒ නිසා රට ඉදිරියට ගෙනියන්න නම් 19 අහෝසි කරලා 18 බලාත්මක කරලා 20 හරියට මිනිසුන්ගේ අදහස් අරගෙන සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න ඕනැ. 

 
ප්‍රශ්නය:- ‘බලාගන්න වැඩ හදලා තියෙනවා.’ කියන්නේ විවිධ සන්තෝෂම් දීම මගින්ද?  


පිළිතුර:- නෑ නෑ, ඒ අයටත් වැඩ කරන්න ක්‍රමවේද හදලා තියෙනවා. ඒ නිසා මුලදී ප්‍රශ්න තිබුණත් වැඩ කරගෙන යනකොට ඒ ප්‍රශ්න මග ඇරෙනවා.  


ප්‍රශ්නය:- ඔබලා තුනෙන් දෙකක වරමක් ඉල්ලා සිටියේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. නමුත් ගේන්නේ 20 වැනි සංශෝධනය?  


පිළිතුර:- අපි කිව්වේ 19 අහෝසි කරන්න අපට ජනවරමක් දෙන්න කියලයි. 19 ය අහෝසි කරලා නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා අපි කිව්වා. ඒක අපි අනිවාර්යයෙන්ම ගේනවා. පළමුව කළයුත්තේ මේ 19 අහෝසි කිරීමයි. මේ 19 තියෙන තාක් කල් රට ඉස්සරහට යන්නේ නෑ. ජනතාව බලාපොරොත්තු වෙන සේවය ඉෂ්ඨ කරන්න බෑ මේ ව්‍යවස්ථාවත් එක්ක.  


ප්‍රශ්නය:- නමුත් ඔබලත් අත ඉස්සුවා?  


පිළිතුර:- ඔව්. එහෙම අත උස්සලා සම්මත කරගත්තේ 20 ගේනවා කියලා කියපු නිසානේ. ඒක ගෙනාවේ නැහැ. ඒ නිසා රට එහෙම්පිටින්ම අවුල් ජාලයක් වුණා. වැරැදි කරල හිරේ ගිය පොලිස්පති ගෙදර යවන්න බැරි ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඔබ හිතන්න එහෙම රට ගෙනියන්න පුළුවන් ද? ඔබ බලන්න මේ කොමිෂන් සභා ස්වාධීන ද කියලා. ඒ නිසා රට ඉදිරියට ගෙනියන්න නම් 19 අහෝසි කරලා 18 බලාත්මක කරලා 20 හරියට මිනිසුන්ගේ අදහස් අරගෙන සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න ඕනැ. නැවත සංශෝධනය විය යුතු නැති ඒ අවශ්‍යතාවය පැන නොනගින අංගසම්පූර්ණ ව්‍යවස්ථාවක් ගේන්න ඕනැ. ඒ නිසා මහජනතාවගේ අදහස් අරගෙන රටට ඔබින රටට හිතකර ව්‍යවස්ථාවක් තමයි අපි 20 න් ගේන්න ඕනැ.  


ප්‍රශ්නය:-මේ රටේ දැවැන්ත සටන් පාඨයක් වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. නමුත් 20 න් විධායක ජනාධිපති අතට ඒ බලය යළිත් යනවා.  


පිළිතුර:- අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා කොහේදිවත් කියලා නෑ. රටේ මේ පවතින ක්‍රමවේදය තුළ විධායක ජනාධිපති ධුරයේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් රටේ කතිකාවක් තියෙනවා. නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා අපි කොහේදිවත් කියලා නෑ.  


ප්‍රශ්නය:- 2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න වුණෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය ජයගත් නිසා?  


පිළිතුර:- නමුත් අද පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ ගණනාවක් කියන කතාවක් තමයි විධායක ජනාධිපති ධුරය රටේ තිබිය යුතුයි කියලා. පළාත් සභා ක්‍රමවේදය තුළ අපට පළාතකින් තවත් පළාතකට යන්න බැරිවෙයි මේ විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණොත්. ඒ නිසා ජනාධිපතිවරයාට යම් බලයක් තිබිය යුතුයි රටේ පවතින දේශපාලන පරිසරය තුළ.  


ප්‍රශ්නය:-නමුත් තනි පුද්ගලයකු මත ඒකරාශිවන අසීමිත බලය රටට අහිතකර බව තමයි ඉතිහාසයේ සාක්ෂිය?  


පිළිතුර:- නෑ නෑ, ඒක පුද්ගලයා මත තීරණය වෙන දෙයක්. ඒ නිසා ඔය ඔබ කියන එක මම පිළිගන්නේ නෑ. මහින්ද මහත්තයා අතේ විධායක බලය තිබුණ හින්දනේ යුද්ධය අවසන් කළේ. විධායක බලය මහින්ද මහත්තයාට තිබුණ නිසානේ රට හැදුවේ. ඉතින් මට කියන්න විධායක බලය මහින්ද රාජපක්ෂ මැතිතුමා අත තිබුණා කියලා රටට වෙච්ච වැරැද්ද මොකක්ද කියලා?  


ප්‍රශ්නය:-2015 ජනාධිපතිවරණ විපක්ෂ වේදිකාවල කතා මතක්කර ගත්තොත් ඔබට ඔය ප්‍රශ්නයට පිළිතුරු ලැබෙයි?  


පිළිතුර:- මොනවද ඒ වේදිකාවල කිව්වේ? පට්ටපල් බොරු කිව්වේ. නමුත් රහ කරලා කට උල් කරලා කියනකොට ජනතාව යම්තාක් දුරකට ඒවා විශ්වාස කළා. 2015 පරාජයට හේතුව ඒක තමයි. නමුත් ජනතාව තේරුම් ගත්තා අපි රැවටුණා කියලා. ඒ නිසානේ තමන්ට ලැබුණු පළමුවැනි අවස්ථාවෙදිම ජනතාව ඒ වැරැද්ද නිවැරැදි කළේ. කොහොම වුණත් ඉතිහාසයට අනුව සීයට සීයක්ම හරි කියලා මං කියන්නේ නෑ. නමුත් සීයට 80 ක් අපි ආවේ හරි මාර්ගයේ. අපේ යම් යම් වැරැදි තිබුණ නිසා තමයි 2015 දී අපි පැරදුණේ. ඒ නිසා වැරැදි නිවැරැදි කරගෙනයි අපි මේ ගමන දැන් යන්නේ.  


ප්‍රශ්නය:-ඔබලාගේ සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ බලයත් ජනාධිපති අතට යනවා. එතකොට කොහොමද ඒ කොමිෂන් සභා ස්වාධීන වෙන්නේ?  


පිළිතුර:- හොඳම උද‌ාහරණය බලන්න. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාද‌ායක සභාව ගන්න. රනිල්ගේ කාලේ ඒකේ සීයට සීයක්ම හිටියේ කවුද? යූඑන්පියට සපෝට් කරපු ටී.එන්.ඒ. එකයි ජේ.වී.පී. එකයි හිටියේ. රටට කිව්වා ස්වාධීනයි කියලා. ඒ නිසා ඔය පිහිටවපු සියලුම කොමිෂන් අසාර්ථකයි. අල්ලස් හෝ දූෂණ කොමිසමට පසුගිය කාලේ මොකද වුණේ? පොලිස් කොමිසමට මොකද වුණේ? ඒ නිසා ඔය ඔබ කියන කොමිෂන් සභා පිළිබඳව රටේ ලොකු විරෝධයක් තියෙනවා. ඒ නිසා පැහැදිලිවම ඔය ස්වාධීන කොමිෂන් සභා වෙනස් විය යුතුයි.  


ප්‍රශ්නය:-අගවිනිසුරු, නීතිපති වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීමේ බලයත් විධායක ජනාධිපති අතට යනවා?  


පිළිතුර:- මෙහෙමයි. පුද්ගලයෙක් අතට යනවා කිව්වට මම අහන්නේ මැතිවරණ කොමිසම ගන්න. මට ඔබ කියන්න මැතිවරණ කොමසාරිස් ඡන්දෙ කරපු කාලෙයි කොමිසම ඡන්දෙ කරපු කාලෙයි අතර තියෙන වෙනස මොකක්ද? මැතිවරණ කොමසාරිස් ඡන්දෙ කරපු කාලේ මෙහෙම ඡන්දෙ තිබ්බද? මෙහෙම ප්‍රශ්න වුණාද? මැතිවරණ කොමිසමේ එක සාමාජිකයෙක් එක පක්ෂයකට ඡන්දෙ දෙන්න එපා කියනවා. ඒ සාමාජිකයා උසාවි යනවා ඡන්ද තියන්න එපා කියලා. මම අහන්නේ මේවද ස්වාධීන කොමිෂන් කියලා කියන්නේ. ඔය කොමිසම එන්න කලින් තිබුණ ප්‍රශ්නය මොකක්ද? ඒ නිසා මගේ ස්ථාවරය නම් කිසිම ගැටලුවක් මෙතන ඇති වෙන්නේ නෑ. මේ විධායක ජනාධිපති බලතල යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අතට. එතුමාගේ පාලන කාලය තුළ කිසිම කෙනෙකුට කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ කියන සහතිකය අපට දෙන්න පුළුවන්.  


ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානයෙ නායක සම්බන්ධන් මන්ත්‍රීවරයා කියනවා 19 අයින් කරන්න එපා කියලා?  


පිළිතුර:- සම්බන්ධන් කියන එක අපි අහන්න ඕනැ නෑ. එයාගේ ඡන්ද පදනම සියයට පනහකින් වැටිලා තියෙනවා. සම්බන්ධන්ට වැඩිය අපි උතුරෙන් ඡන්ද අරන් තියෙනවා. දෙමළ සන්ධානයයි, අපියි වමේ පක්ෂයි ගන්න ඡන්ද සන්සන්දනය කරලා බලන්න. අපි සියයට 60 කට වඩා ඡන්ද අරන් තියෙනවා. අද සම්බන්ධන් කියන්නේ උතුරේ ජනවරමක් තියෙන නායකයෙක් නොවෙයි. ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් සම්බන්ධන් කියන්නේ. 

 
ප්‍රශ්නය:-ඔබ හිතනව ද ඔබේ කඳවුරේ ඉන්න සියලුම දෙනා අලුත් සංශෝධනයට සහාය දෙයි කියලා?  


පිළිතුර:- ඔබ බලන්න එකසිය පනහට එහා ගිය ඡන්දයක් ලැබෙනවා. එකසිය පනහක් නොවෙයි එකසිය හැත්තෑවක් මේ ව්‍යවස්ථාවට ඡන්දෙ දෙනවා.  


ප්‍රශ්නය:- සුළු ජාතික පක්ෂ ආණ්ඩුව පැත්ත පළාතේ ගන්නේ නෑ කිව්වට දැන් යමින් ඉන්නේ එතැනට?  


පිළිතුර:- නෑ නෑ නෑ අපි කාවවත් ගන්න එක පිළිබඳව අවසන් තීන්දුවක් අරගෙන නෑ. විවිධ පක්ෂ කැමැත්තෙන් ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න. කොහොම වුණත් අපට පාර්ලිමේන්තුව තුළ 150 ක් ඉන්නවා. ඒ නිසා අපට මේක සම්මත කරගන්න පුළුවන්.  

 

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජීවන බර කමිටුව රැස් වුණා. මමත් එ් කමිටුවේ ඉන්නවා. ජීවන බර අඩු කිරීම සඳහා වහාම වැඩපිළිවෙළවල් ගණනාවක් ගත්තා. අද වෙනකොට පොල් ගෙඩියක් රුපියල් 75 යි. වැවිලි සංස්ථාව හරහා පොල් ගෙඩියක් රුපියල් 55 ට විකුණන්න වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ වගේම එළවළු කෘෂිකර්ම අමාත්‍යාංශයෙ මැදිහත්වීමෙන් අතරමැදියන් නැතිව වෙළෙඳපොළට ගේන්න තීන්දු කළා. එවැනි තීන්දු ගණනාවක් ගත්තා. ඒ අනුව බඩු මිල පාලනය වෙනවා.


ප්‍රශ්නය:- ඒ වුණත් සුළු ජාතික පක්ෂ සමග දැනට සාකච්ඡාවක් යනවනේ?  


පිළිතුර:- මම ඒකයි කිව්වේ අපිත් එක්ක එකතු වෙන්න කැමැති අය ඉන්නවා. අපි තාම අවසන් තීරණයක් අරගෙන නෑ. කොහොම වුණත් අන්තවාදියෝ ගන්නේ නෑ. බොහොම වගකීමෙන් කියනවා අන්තවාදියෝ ගන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඔබ ඔය අන්තවාදීන් කියලා කියන අය කවුද? නම් කරන්න පුළුවන් ද?  


පිළිතුර:- රිෂාද්ලා, හකීම්ලා. ඒ අන්තවාදීන් නම් ගන්නේ නෑ. සම්බන්ධලා ගන්නේ නෑ. හරි. හැබැයි මේ රටේ ඉන්නවා ඔබ දන්නවා සුළු ජාතික පක්ෂ කිව්වම එහෙනම් ඩග්ලස් දේවානන්ද ඇමැතිතුමා අපිත් එක්ක ඉන්නේ. බොහොම ගෞරවණීය සුළු ජාතික මන්ත්‍රීවරු ඉන්නවා පාර්ලිමේන්තුවේ. මම ආපහු කියන්නේ අපිට පාර්ලිමේන්තුවේ 150 ක් ඉන්නවා. පිටින් ගන්න අවශ්‍ය නෑ. නමුත් ඒ අය එන්න අහනවා. එහෙම වුණාම අපිට ඔක්කොම අය ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි කිව්වේ අන්තවාදී දේශපාලන පක්ෂ ගන්නේ නෑ කියලයි. අපිට වෙන පක්ෂ අරගෙන තේරුමක් නෑ. අපිට 50 ක බලයක් තියෙනවා.  


ප්‍රශ්නය:-ඔබලා ගේන අලුත් සංශෝධනයත් සමග දැනට තියෙන ඇමැති මණ්ඩල සීමාව ඉවත් වෙනවා?  


පිළිතුර:- ඔව්. අනිවාර්යයෙන්ම.  


ප්‍රශ්නය:-ආපහු රටට බරක් වෙන කැබිනට් එකක් එන්නයි යන්නේ?  


පිළිතුර:- පැහැදිලිව නෑ. එහෙම වෙන්නේ නෑ.  


ප්‍රශ්නය:-ඔබ කියන්නේ මීට වැඩිය එක්කෙනෙක්වත් වැඩි වෙන්නේ නෑ කියලද?  


පිළිතුර:- ඕනෑ නම් හතරක් පහක් වැඩිවෙයි. ඊට වඩා නම් එහාට යන්නෙම නෑ. මම දන්නේ නෑ ඇමැතිධුර සංඛ්‍යාව වැඩි කරයි ද කියලා. කොහොම වුණත් වැඩිම වුණොත් තව පහක් විතර වැඩිවෙයි. ඊට වඩා නම් එහාට යන්නේ නෑ.  


ප්‍රශ්නය:- ද්විත්ව පුරවැසියන්ට ඡන්දවලට ඉදිරිපත් වෙන්න බැරි වගන්තියත් අලුත් සංශෝධනය යටතේ අහෝසි වෙනවා?  


පිළිතුර:- මෙහෙමයි. මේක වැරැදි විදියට අර්ථකථනය කළ යුතු නෑ. 19 වැනි සංශෝධනයෙන් අහෝසි කළේ ද්විත්ව පුරවැසියන් නොවෙයි. රාජපක්ෂවරු අහෝසි කරන්නයි උත්සාහ කළේ. 19 වැනි සංශෝධනයෙන් ඉදිරිපත් විය හැකි ධුර කාලය සීමා කළේ මහින්ද රාජපක්ෂට. බැසිල් - ගෝඨාභයගේ පුරවැසිභාවය. නාමල්ගේ වයස. ඒ නිසා 19 න් රාජපක්ෂ කප්පාදුවක් කළේ. එතකොට 18 බලාත්මක වීම තුළ බැසිල් රාජපක්ෂ කලිනුත් පාර්ලිමේන්තුවේ හිටියා. ඒ නිසා 18 බලාත්මකවීමත් සමග පැරැණි ව්‍යවස්ථාව එනවා. එහෙම නැතිව බැසිල්ට හදන ව්‍යවස්ථාවක් නොවෙයි මේක.  


ප්‍රශ්නය:-මම ඔබෙන් බැසිල් ගැන තවම විශේෂයෙන් ඇහුවේ නෑ. නමුත් ඔබ කියන නිසා මෙතැනදී අහන්නම්. ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනයේ පළමු අරමුණ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගැනීම. ඊට පස්සේ ඇමැති පුටුවේ වාඩි වෙනවා?  


පිළිතුර:- මම පැහැදිලිව කියන්නේ මේක මේ තනි පුද්ගලයෙක්, බැසිල් රාජපක්ෂ ඉලක්ක කරලා ගේන එකක් නොවෙයි. 18 බලාත්මක කිරීම තුළ පහුගිය ව්‍යවස්ථාව එනවා. ඒ කාලේ බැසිල් පාර්ලිමේන්තුවේ හිටියා.  


ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්න ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් ඉල්ලා අස්වෙන්නත් සූද‌ානමින් ඉන්නවා?  


පිළිතුර:- මට ඒ පිළිබඳව මුකුත් කියන්න බෑ. දැනට බැසිල් රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුවට එනවා.

පාර්ලිමේන්තුවට එනවා. ඇමැති කෙනෙක් වෙනවා කියලා කොතැනකදිවත් කියලා නෑ. අපි එක්ක සාකච්ඡා කරලත් නෑ. හැබැයි ඔහු තිරය පිටුපසස හිඳිමින් විශාල කාර්යභාරයක් කරනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ කියන චරිතය මේ පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුම කෙනෙක්. ඔහු ඉතා දක්ෂ පරිපාලකයෙක්. ඒ නිසා බැසිල් රාජපක්ෂ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට එන්න ඕනැ. නමුත් ඔහු තාම එන්න තීරණයක් අරගෙන නෑ මම දන්න තරමට.  


ප්‍රශ්නය:- කොහොම වුණත් එක පවුලක් වටා බලය කේන්ද්‍රගත වෙන ගමනක් නේද මේ යමින් ඉන්නේ?  


පිළිතුර:- එහෙම කියන්න බෑනේ. අමාත්‍යාංශ බෙදීම බලන්නකෝ. දැන් වරාය කාටද? කෘෂිකර්මය කාටද? විදුලිබලය කාටද? මහා මාර්ග කාටද? ප්‍රබල අමාත්‍යාංශ කාටද ගිහින් තියෙන්නේ. ඒ නිසා ඔය ඔබේ චෝදනාව සාධාරණ නෑ.  


ප්‍රශ්නය:-පළාත් සභා ඡන්දයට මොකද වෙන්නේ?  


පිළිතුර:- පළාත් සභා ඡන්දය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි.  


ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුවේම සමහර අය කියනවා. පළාත් සභා එපා කියලා?  


පිළිතුර:- ඒවා පෞද්ගලික මතනේ. ආණ්ඩුවේ ස්ථාවරය නොවෙයි. පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනවා. මොන ඡන්ද ක්‍රමය යටතේද මේ පළාත් සභා මැතිවරණය තියන්න ඕනෑ කියන ස්ථාවරයට අපි එන්න ඕනෑ. පැරැණි ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතුයි කියන එක තමයි ජනතා මතය. ඒත් ඒක සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් අරගෙන නෑ.  


ප්‍රශ්නය:-ප්‍රේමලාල් ජයසේකරගේ ඉරණම කුමක්ද? ඔහුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් ද?  


පිළිතුර:- ඒ සම්බන්ධයෙන් මත දෙකක් තියෙනවා. කතානායකතුමා කියන්නේ අභියාචනාවක් ඉදිරිපත් කළාම ඔහු වැරැදිකරුවෙක් නොවෙයි කියලා. නීතිපතිතුමා කියනවා ඔහුට පාර්ලිමේන්තුවට එන්න බෑ කියලා. ඒ අනුව මෙතැන පාර්ලිමේන්තුව හා අධිකරණය අතර ගැටුමක් ඇතිවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කතානායකතුමා තීන්දුවක් ගනී.  


ප්‍රශ්නය:-රාජපක්ෂවරුන් බලයෙ ඉන්නකොට අධිකරණය සමග ගැටුමට යාම සාමාන්‍ය දෙයක්?  


පිළිතුර:- මං අහන්නේ රටේ නීතිය අනුව මහාධිකරණයෙන් වැරැදිකරුවකු වෙලා අභියාචනාධිකරණයට ගියාම ඒක ඇපීල් එකක්. එතකොට ඔහු වැරැදිකරුවකු නොවෙයි. මට තේරෙන්නේ නෑ නීතිපතිතුමාගේ තීන්දුව මොකක්ද කියලා. මට ඒ පිළිබඳ අවබෝධයක් නෑ. මට තියෙන පුංචි මොළයට අනුව නම් ඔහුට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් තියෙනවා.  


ප්‍රශ්නය:- බඩු මිල ගුවන්ගත වෙලා. දිළිඳු මිනිසා දිවංගත වෙන්න ආසන්නයි. විපක්ෂය අහනවා ‘දැන් සැපද’ කියලා?  


පිළිතුර:- ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජීවන බර කමිටුව රැස් වුණා. මමත් එ් කමිටුවේ ඉන්නවා. ජීවන බර අඩු කිරීම සඳහා වහාම වැඩපිළිවෙළවල් ගණනාවක් ගත්තා. අද වෙනකොට පොල් ගෙඩියක් රුපියල් 75 යි. වැවිලි සංස්ථාව හරහා පොල් ගෙඩියක් රුපියල් 55 ට විකුණන්න වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ වගේම එළවළු කෘෂිකර්ම අමාත්‍යාංශයෙ මැදිහත්වීමෙන් අතරමැදියන් නැතිව වෙළෙඳපොළට ගේන්න තීන්දු කළා. එවැනි තීන්දු ගණනාවක් ගත්තා. ඒ අනුව බඩු මිල පාලනය වෙනවා.  


ප්‍රශ්නය:- ඉමහත් බලාපොරොත්තු ඇතිව සාතිශය බහුතරයක් ජනයා දුන් වරමට නිගරු නොකරන ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හිතනව ද?  


 පිළිතුර:- අනිවාර්යයෙන්ම. අගෝස්තු මාසයේ 17 වැනිද‌ා සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු මුළු ආණ්ඩුවම ගත්ත තීන්දු තීරණ ජනවරමට යටත්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇතිකර ගත යුතු නෑ. ජනවරමට එරෙහි ගමනක් අපට නැහැ. ඒ සහතිකයත් බොහොම වගකීමෙන් දෙනවා.  

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්