​මේ තියෙන ප්‍රශ්නවලට පිළියම ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක්


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 

  • පොහොට්ටුව සමග අප අත්සන් කළ ගිවිසුම්වල තියෙනවා ජයග්‍රහණයෙන් පසු තනතුරු දෙනකොට තුනෙන් එකක් අපට දෙනවා කියලා.  
  • ඇමැති ධුරයක් මට එහෙන් යෝජනා වුණෙත් නෑ. මම ඉල්ලුවෙත් නෑ.  
  • උදේ වරුවේ පැයක් හමාරක් ව්‍යායාම කරනවා. පොතක් පතක් කියවනවා.  
  • ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න කියන ඉල්ලීම පාක්ෂිකයන්ගෙනුයි, පොදු ජනතාවගෙනුයි ඇවිත් තියෙනවා.  
  • මම කිව්වේ බටහිර ජැටිය ඔයාලා හද‌ාගන්න නැගෙනහිර ජැටිය දෙන්න බෑ කියලයි.  
  • මාව ජනාධිපති කරන්න චන්ද්‍රිකා මැතිනිය ගත්තු වෙහෙස මම අමතක කරන්නේ නෑ.

 

පුවත් පිටුපස පුවත් මවන අපූරු දේශපාලන චරිතයක් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මෙම සාකච්ඡාව රටේ උණුසුම් - ගිනියම් මාතෘකා කිහිපයක් සම්බන්ධයෙනි.  


ප්‍රශ්නය:- මේ දවස්වල ඔබේ කාලය ගෙවෙන්නේ?  


පිළිතුර:- ඇත්තටම කාලය ගෙවීම කියන එක ගත්තොත් මම විවේක ගන්න කෙනෙක් නෙවෙයි. පාර්ලිමේන්තු රැස්වීම්වලට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලට සතියේ දවස්වල කාලය වෙන් කරලා තියෙනවා. ඒ වගේම සති දෙකකට වරක් පොලොන්නරුවට යනවා. ඊට අමතරව උත්සව ආරාධනා, මගුල් ගෙවල් ගත්තාම ඒවායේ කිසිම අඩුවක් නෑ. ඒ වගේම තමයි දවසේ කාලය වෙන් කරලා තියෙනවා පොතක් පතක් කියවන්න. ආගමික කටයුතු සඳහත් කාලය වෙන් කරලා තියෙනවා. දවසේ පැයක් හමාරක් උදය කාලයේ ව්‍යායාමවලට වෙන් කරනවා. මේ විදියට තමයි කාලය ගෙවෙන්නේ.  


ප්‍රශ්නය:- ජනාධිපති වෙලා ඉන්න කාලයේ දී වගේම රෑ 10 ට නිද‌ා ගන්නවා.  


පිළිතුර:- ඇත්තටම රෑ 10 ට නිද‌ා ගන්නවා. රෑ 10 ට නිද‌ා ගන්නේ පහුවද‌ාට හොඳට වැඩ කරන්න ඕනැ නිසා. මම ජනාධිපතිවෙලා ඉන්න කාලේ කිව්වම මම රෑ 10 ට නිද‌ාගන්නවා කියලා සමහරු ඒක හාස්‍යයට ලක් කළා. නමුත් මම හිතන්නේ ඕනෑම වෛද්‍යවරයකුගෙන් ඇහුවොත් ගොඩක් වැඩ කරන කෙනෙක් රෑ 10 ට නිද‌ාගන්න එක හොඳයි කියයි. රෑ 10 ට නිද‌ා ගැනීමත් පාන්දර නැගිටීමත් හොඳයි. මම ජනාධිපති කාලේ පාන්දර 5 ට නැගිට්ටා. දැනුත් ඒ වෙලාව වෙනකොට නිකම්ම ඇහැරෙනවා. විවේක සුවය කියලා දෙයක් නෑ. කාලය වෙන් කරගෙන හොඳින් කරගෙන යනවා.  

 

ආණ්ඩුව - ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ - විපක්ෂය - දේශපාලන නොවන සංවිධාන එකතු කරගත යුතුයි.  

 


ප්‍රශ්නය:- ඔබට පරිසර ඇමැති ධුරය දුන්නා. ඔබ එය ප්‍රතික්ෂේප කළා කියලා වාර්තා වුණා. ඇයි ඒ?  


පිළිතුර:- එහෙම මම ඇමැති ධුරයක් ඉල්ලා සිටියේ නෑ. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් මතු වුණේ නෑ. අමාත්‍ය ධුරයක් මට එහෙන් යෝජනා වුණෙත් නෑ. මම ඉල්ලුවෙත් නෑ. සාමාන්‍යයෙන් ඇමැතිවරයෙක් විදියට වැඩ කරනවාට වැඩිය මේ ඉන්න තත්ත්වයෙන් රජයට සහයෝගය දීම හා රට වෙනුවෙන් යමක් කිරීම හොඳයි කියලා තමයි මගේ හැඟීම.  


ප්‍රශ්නය:-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ?  


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඇත්තටම දැන් රටේ සංවර්ධනයට, ආර්ථිකයට, විවිධ ක්ෂේත්‍රවලට අද වෙලා තියෙන බාධාව කොවිඩ්-19 ප්‍රශ්නය බලපාලා තියෙනවා. පහුගිය අවුරුද්දෙත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ වැඩපිළිවෙළක් හැදුවා. නමුත් කොවිඩ් තත්ත්වය උඩ ඒ ඉලක්ක වෙත යන්න බැරි වුණා. තෙරුවන් සරණින් බලනවා අපි මේ වසරේ කොවිඩ් තත්ත්වය පාලනය වෙනවා නම් අපේ පක්ෂයේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න. කොවිඩ් තත්ත්වය හමුවේ වුණත් මේ වසරේ අපි බලාපොරොත්තු වෙනවා පහුගිය වසරේ ඇතිවෙච්ච බාධාවන් සැලකිල්ලට අරගෙන පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු පටන් ගන්න.  


ප්‍රශ්නය:- එහෙම ශක්තිමත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉල්ලුමක් තියෙනවා කියලා ඔබ හිතනවද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ඇවිත් තියෙනවා. මේ මේසය උඩ තියෙන ලියුම් මිටි දිහා බැලුවාම ඔබටත් ඒක පේනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ලියුම් තමයි මේ ඔක්කොම. ඒ වගේම හමුවීම්වල දී දුරකතන ඇමතුම් මේ සියල්ල ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නැයි කියන ඉල්ලීම පාක්ෂිකයන් තුළින් මෙන්ම සාමාන්‍ය පොදු ජනතාව තුළිනුත් ඇවිත් තියෙනවා.  


ප්‍රශ්නය:-එජාපයට වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් වලංගු බවක් පැවැත්මක් නැහැ කියලා කිව්වොත්?  


පිළිතුර:- ඒක මම පිළිගන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය බිංදුවටම වැටුණනේ. අනික් පැත්තෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ අර්බුද නිසා ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් තවම පුරවලා නෑ. එක්සත් ජාතික පක්ෂය ඒ විදියෙ මහා කඩා වැටීමක තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නොවෙයි. අපේ පක්ෂයට තරග කරන්න දුන්න ආසන සංඛ්‍යාව සැලකිල්ලට ගත්තාම පොදුජන පෙරමුණෙන් අපි මීට වඩා ආසන සංඛ්‍යාවක් ඉල්ලුවා. අපේ පක්ෂයට ජයග්‍රහණය කරන්න පුළුවන් දිස්ත්‍රික්ක තිබුණා. නමුත් අපි ඉල්ලපු ගාණ අපිට ලැබුණේ නෑ.  


ප්‍රශ්නය:- ඔබ මොනවද ඉල්ලපු දිස්ත්‍රික්ක?  


පිළිතුර:- උද‌ාහරණයක් වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපට ලැබුණේ එක අපේක්ෂකත්වයයි. ලසන්ත අලගියවන්න විතරයි. නමුත් අපි තුනක් ඉල්ලුවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපි අඩුම තරමින් තුනක් ඉල්ලුවා. නමුත් අපට ලැබුණේ දෙකයි. පුත්තලම අපට ජයග්‍රහණය කරන්නම පුළුවන් අපේක්ෂකයෙක් හිටියා දිස්ත්‍රික් නායකයා හැර. එතැනත් අපට ලැබුණේ එකයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබපු ඓතිහාසික ජයග්‍රහණය තමයි යාපනය දිස්ත්‍රික්කයෙන් අත ලකුණෙන් අපේ මන්ත්‍රීවරයෙක් පත්වීම. මේ තත්ත්වය සැලකිල්ලට ගැනීම තුළත් අපේ පක්ෂය ගැන රටේ පොදු ජනතාව තුළ ඇතිවෙලා තියෙන උනන්දුව තුළත් අපට පෙනී යනවා පක්ෂයේ වැදගත්කම ගැන මෙන්ම රටේ අනාගතය වෙනුවෙන් පක්ෂය පෙනී සිටිය යුතුයි කියලා. ඒ නිසා යූඑන්පියට අත්වෙලා තියෙන තත්ත්වය අපේ පක්ෂයට අත්වෙලා නෑ. අපේ පක්ෂය ශක්තිමත් කිරීම, පක්ෂය ජාතික ව්‍යාපාරයක් විදියට ඉදිරියට යාම ගැන ප්‍රධාන අවධානය යොමු කරන්න වෙලා තියෙනවා.  


ප්‍රශ්නය:- ඒකට රට තුළ විශේෂ හේතුවක් තියෙනවද?  


 පිළිතුර:- මට ලැබෙන ඉල්ලීම්, ආරාධනා ගත්තාම මම මුලින් කියපු මගේ දවසේ කාල සටහනත් අවුල් වෙන තරම්. ඒ තරම් මහජන ඉල්ලුමක් අපට තියෙනවා. අනික අපි ගත්තොත් පන්සලක්, මගුල් ගෙයක්, සාමාන්‍ය උත්සවයක් ඒ වගේ තැනකට ගියාම ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම පේනවා අද අපේ පක්ෂයට වටිනාකමක් ඇවිත් තියෙනවා කියලා. ඒ නිසා පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. 

 
ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය වුණේ එවැනි ඉල්ලුමක් ඇතිවෙන්න රට තුළ විශේෂ හේතුවක් තියෙනව ද කියලයි?  


පිළිතුර:- ඇත්තෙන්ම බලපාපු හේතු විදියට ගත්තොත් ප්‍රධාන වශයෙන් පේන්න තියෙන කරුණ තමයි රටේ තියෙන ප්‍රශ්න. මූලික වශයෙන් මම කියන්න ඕනැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට මගේ දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්තිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තමයි මේ රටට ගැළපෙන්නේ කියන එකයි මගේ අදහස.  


ප්‍රශ්නය:- අද රට තුළ ඒ තත්ත්වය නැහැ?  


පිළිතුර:- එහෙම නොවෙයි. අපේ පක්ෂයේ නායකයා බණ්ඩාරනායක මැතිතුමා, බණ්ඩාරනායක මැතිනිය දෙදෙනාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තමයි ක්‍රියාත්මක කළේ. අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ වෙළෙඳපොළ ආර්ථිකය කෙරෙහි විශ්වාසය තියලා එය මුල් කරගත් වැඩපිළිවෙළක්නේ යන්නේ. වෙළෙඳපොළ ආර්ථිකය තුළ දුප්පත්කම වැඩි වෙනවා. දුප්පත්කම වැඩි වෙනකොට කොවිඩ් ප්‍රශ්නයත් එක්ක තියෙන සමාජ පීඩනය හැම ක්ෂේත්‍රයකටම දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. ආර්ථිකය, ජීවන වියදම, රැකීරක්ෂා ඒ වගේම සමාජය තුළ මූලික වශයෙන්ම අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන් සඳහා මෙයට වඩා ප්‍රමුඛස්ථානයක් දීමේ අවශ්‍යතාව සාමාන්‍ය බුද්ධිමතුන්, ආචාර්ය මහාචාර්යවරුන් අප සමග සාකච්ඡා කරනකොට සඳහන් කරනවා. මේ තියෙන තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම ඒ ආර්ථික පීඩනයත්, විවිධ ක්ෂේත්‍රවල ඇතිවෙලා තියෙන ප්‍රශ්නත්, දුගීකමත්, විරැකියාවත් කියන මේ දේවල් එක්ක තමයි යම් ජන මතයක් ගොඩ නැගී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ආ යුතුයි කියන එක.  


ප්‍රශ්නය:- විපක්ෂය නම් කෙළින්ම කියනවා ‘සර් ෆේල්’ කියලා ඔබ නොකියා කියන්නේත් ‘සර් ෆේල්’ කියලා? 

 
පිළිතුර:- නැහැ මම එච්චරම ඒ වගේ වචනයක් පාවිච්චි කරන්නේ නැහැ කොහෙත්ම. ‘සර් ෆේල්’ කියන එන විපක්ෂයේ සටන් පාඨයක්නේ. නමුත් වර්තමාන රජයට සිදුවෙලා තියෙනවා අතිවිශාල මුදලක් කොවිඩ් වසංගතය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වියදම් කරන්න. ඒක අසීමිත මුදලක්. ඒ සමග ඇතිවෙලා තියෙන සමාජ පීඩනයක් එක්ක ඔබ කියපු විදියෙ සටන් පාඨ විපක්ෂය පාවිච්චි කරනවා.

  
ප්‍රශ්නය:-විපක්ෂයේ සටන් පාඨය ඔබ පිළිගන්නෙත් නෑ. ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ?  


පිළිතුර:- අපි බලන්න ඕනැ කවුද ෆේල් කවුද පාස් කියන එක නොවෙයි. අවංකවම රට ගොඩනැගීමට කළ යුත්තේ කුමක් ද කියන එකයි. ඒකට පුළුල් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒක දේශපාලන පක්ෂයකට සීමා වෙලා එක පාර්ශ්වයකට පමණක් රට ගොඩනගන්න පුළුවන් කියලා මට හිතන්න බෑ. මගේ දැනීමේ හැටියට මේ තියෙන ආර්ථික ප්‍රශ්නවලට සමාජ ප්‍රශ්නවලට පිළියම වශයෙන් මම දකින්නේ ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක්. එබඳු වැඩපිළිවෙළකට දේශපාලන පක්ෂත් අනෙකුත් ක්ෂේත්‍රවල විද්වතුන් පරිණත මිනිසුන් සම්බන්ධ කරගත් පුළුල් සංවිධානාත්මක වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි.  


ප්‍රශ්නය:- පොහොට්ටුවත් එක්ක එහෙම පුළුල් ජාතික වැඩපිළිවෙළක් හදන්න පුළුවන් කියලා ඔබ හිතනවද?  


 පිළිතුර:- ඒ සඳහා රජය නායකත්වය ගත යුතුයි. ඒක රජයේ වගකීමක්. අප වැනි රජය සමග සිටින දේශපාලන පක්ෂත් ඒ වගේම විපක්ෂයත්, දේශපාලනය පක්ෂ නොවන විද්වත් සංවිධාන රාශියක් මේ රටේ තියෙනවා. ඒ සියල්ල ඒකාබද්ධ වූ පුළුල් වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. රට මේ තියෙන තැනින් ගොඩගන්න එක දෙතුන් දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක සාමූහික ප්‍රයත්නයක්. බල ලෝභය නැති සාමූහික වැඩපිළිවෙළකට තමයි යා යුත්තේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට මේ කටයුතු කරන්නෙත් අනාගතයෙ අගමැති, ජනාධිපති වෙන්න නොවෙයි. රට කවුද කරන්නේ එයා සමග වැඩ කළ හැකි පුළුල් ජාතික වැඩපිළිවෙළක් ගැන තමයි මම කතා කරන්නේ. රටේ ප්‍රශ්න ගැන පුළුල් සංවාදයක් අවශ්‍යයි.  


ප්‍රශ්නය:- ඔබ අවුරුදු හතරක් ජනාධිපති වෙලා හිටියා. ඒ කාලේ මේ වගේ දෙයක් ගැන හිතුණේ නැහැ? 

 
පිළිතුර:- මගේ කාලයේ දී ඔබ දන්නවා තිබුණ ප්‍රශ්න මොනවද කියලා. ඒ ප්‍රශ්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා මා අතර පෞද්ගලික ප්‍රශ්න නොවෙයි. දේශපාලන මතවාද, හොඳ-නරක, කළු-සුදු ප්‍රතිපත්තිමය කරුණු ගැනයි ගැටුම් ඇතිවුණේ. ඒ ගැටුම් කොයිතරම් දිග දුර ගියා ද කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා අස් කරලා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධුරයට පත් කිරීම දක්වා රටේ මහජනතාව නොහිතපු තීන්දුවලට මට යන්න වුණා. මං එහෙම කළේ රට ගැන හිතලා. රටට ගැළපෙන දේශපාලන මතවාදයක් දර්ශනයක් එක්කයි අපි යන්න ඕනෑ. එහෙම නැතිව ගෝලීයකරණය කියලා ඔක්කොම කරගහගෙන යන්න බෑ. කාට වුණත් රට ඉතිරි වෙලා තිබිය යුතුයි. අපි සිටින තැනින් ගොඩ එන්න නම් සාමූහික ප්‍රයත්නයකට යන්න අවශ්‍යයි.  


ප්‍රශ්නය:- පොහොට්ටුවෙන් එන කෙනෙහිලිකම් දැන් නතර වෙලා ද?  


පිළිතුර:- එතැනදි ඇත්තටම අපි පොදුජන පෙරමුණ සමග ගිවිසුම් අත්සන් කළත් ගිවිසුම්වල ආකාරයට වැඩ නොකිරීම තමයි ඔය කෙනෙහිලිකම් කියලා අපේ අය කියන්නේ.  


ප්‍රශ්නය:-පොරොන්දු වෙච්ච ඇමැති ධුර සංඛ්‍යාව දුන්නේ නැහැ?  


පිළිතුර:- ඒකම විතරක් නොවෙයි. අපි අත්සන් කරපු ගිවිසුම්වල තියෙනවා ජයග්‍රහණයෙන් පස්සේ තනතුරු දෙනකොට තුනෙන් එකක් අපට දෙනවා කියලා. උද‌ාහරණයක් විදියට ගත්තොත් ආණ්ඩුකාරවරු නව දෙනෙක් ඉන්නවා. එතකොට අපට තුන් දෙනෙක් දිය යුතුයි. නමුත් අපට එකක්වත් හමුවුණේ නෑ. සංස්ථා, මණ්ඩලවලට පත් කරනකොට අපේ පක්ෂයට කෝටා එකක් දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපේක්ෂක සංඛ්‍යාව තිබුණා. නමුත් ඒ එකක්වත් ඒ විදියට වුණේ නැහැ. අනික් එක සංවර්ධන කාර්යයේ දී ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා සමානයි. කියන සාධාරණ අදහසට අපි ආවා. අපේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඉන්නවා 1700 ක් විතර. ඔවුන් සංවර්ධන කටයුතුවලට ද‌ායක කරගන්නේ නෑ. ඒ අයට සාධාරණය ඉටුවිය යුතුයි. ඒ අය ගෝඨාභය මහත්තයා ජනාධිපති කරන්න වැඩ කරපු අය. පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බලයකට ආසන්න බලයක් ගන්න වැඩ කරපු අය. සාධාරණ බෙදීමක් නොවෙන බව තමයි අපි මේ කතා කරන්නේ.  


ප්‍රශ්නය:- ආණ්ඩුවත් එක්ක මේ ගැන කතා කළේ නැද්ද?  


පිළිතුර:- අපි පක්ෂයක් විදියට වගකිවයුත්තන් සමග අවස්ථා කිහිපයක දීම කතා කළා. නමුත් ඒ ප්‍රශ්න විසඳිලා නෑ.  

ප්‍රශ්නය:- ඒ ප්‍රශ්න ගැන කතා කළේ ජනාධිපතිවරයා සමග ද අගමැතිවරයා සමග ද? බැසිල් රාජපක්ෂ සමග ද?  


 පිළිතුර:- අපි ඒ තුන්දෙනා එක්කම කතා කරලා තියෙනවා. අපේ පක්ෂයේ නියෝජිතයෝ කතා කරලා තියෙනවා. සමහර යම් යම් දේවල් කෙරිලා තියෙනවා. අපේ ප්‍රධාන දුක් ගැනවිල්ල තියෙන්නේ ගමේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට ගමට වැඩ කරන්න අවස්ථාව නොමැති කමයි. මේ ආණ්ඩුවත් සමග ඉන්න දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. රජයේ ගමන් මගට ඉතාමත්ම හොඳයි මේ දේශපාලන පක්ෂ සමග මාස තුනකට සැරයක්වත් සාකච්ඡා කරනවා නම්. එතකොට අපි තුළ ස්වයං විවේචනයක් ඇති කරගෙන අඩුපාඩු හදාගෙන ගමන යන්න පුළුවන්.  


ප්‍රශ්නය:-නමුත් මේ යන්නේ 2010 - 1015 ගමන?  


පිළිතුර:- ඔව් ඉතින්. ඒ විදියට තමයි පේන්න තියෙන්නේ. මම නොවෙයි කියන්නේ මහජනයා තමයි එහෙම කියන්නේ.  


ප්‍රශ්නය:-මේ යන්නේ ඒකාධිපති ගමනක්? 

 
පිළිතුර:- මේක මේ ඒකාධිපති ගමනක් කියල මම කියන්නේ නෑ. මෙතැන තියෙන ප්‍රශ්නය සංවාදයක් නොවීමයි. මොකද රට තියෙන තත්ත්වය හැටියට මූලික වශයෙන් ජාතික දේශපාලනයෙ පක්ෂ නායකයන් තේරුම් ගත යුතුයි කාට රට කරන්නන් රට ඉතිරිවෙලා තිබිය යුතුයි කියලා.  


ප්‍රශ්නය:- ඔබ මාධ්‍යයට කිව්වා ‘කොළඹ වරායෙ ජැටිය මගේ කාලෙදිත් ඉල්ලුවා. මම දුන්නේ නැහැ’ කියලා. නමුත් දැන් අනාවරණය වෙලා තියෙනවා ඒ ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ඔබේ කාලයේ දී කියලා?  


පිළිතුර:- ගිවිසුම් අත්සන් කළේ නැහැ කියන වචන මගෙන් පාවිච්චි වුණේ නෑ. එතැනදී මම කිව්වේ මගේ පාලන කාලය තුළත් බොහොම දැඩි ලෙස ජපානය සහ ඉන්දියාව මේ ඉල්ලීම කළා. විශේෂයෙන්ම 2017 ඉඳලම 2019 දක්වාම දැඩි ඉල්ලීම් කළා. ඒ හැම අවස්ථාවකදීම මගේ මතය වුණේ මම ඒගොල්ලන්ට කිව්වේ වරායේ බටහිර ජැටිය හද‌ාගන්න. ඔයගොල්ලන්ට සල්ලි තියෙනවා ඕනෑ තරම්. කොහොම වුණත් නැගෙනහිර ජැටිය දෙන්න බෑ කියලයි.   


ප්‍රශ්නය:- නමුත් ගිවිසුම් අත්සන් කරලනේ?  


 පිළිතුර:- මගේ පාර්ශ්වයෙන් නොවෙයි අනෙක් පාර්ශ්වයෙන් යම් යම් එකඟතාවන්ට ඇවිත් තියෙනවා.  

ප්‍රශ්නය:-ඒක කැබිනට් මණ්ඩලයටත් ආවා?  


පිළිතුර:- ඔව්. කැබිනට් එකට ඔය අවබෝධතා ගිවිසුම ආපු වෙලාවේ සාගල රත්නායක ඇමැතිතුමා හරි අගමැතිතුමා හරි තමයි ඒක ඉදිරිපත් කළේ. එතැනදීත් මම කිව්වා ‘ඕකට මට එකඟවෙන්න පුළුවන්කමක් නෑ. නමුත් මේ තියෙන තත්ත්වය සැලකිල්ලට අරගෙන වැඩ කරමු. ඒ අනුව බටහිර ජැටිය හදාගන්න.’ කියලා. එතැනදී මම කිව්වා ‘මේකේ සමාගමක් හෝ කාලයක් සඳහන් වෙලා නෑ. අවුරුදු 40 කින් ගෙවන්න සියයට 1 පොලියට ජපානයෙන් ණයක් ගන්නවා. ඒ ණය අරගෙන වරාය සංවර්ධනය කරනවා කියලා. ඒ නිසා ඒකට මගේ කිසිම අනුමැතියක් නෑ. නමුත් ඒක කැබිනට් මණ්ඩලයේ දී අනුමත වුණා.  


ප්‍රශ්නය:-ඔබ මොකද කළේ?  


පිළිතුර:- ඒ වෙලාවෙදිත් වෘත්තිය සමිති මේ විදියටම උද්ඝෝෂණය කළා. මම ඒ වෙලාවේ හිටියේ වරායේ සේවකයන්ගේ පැත්තේ. මම ජනාධිපති හැටියට වරායට ගියා. වරාය වෘත්තීය සමිතියේ 38 වැනි සංවත්සරයට මම ගියා. සේවකයෝ තුන්හාර දහසක් හිටියා. මම එතැනදී කිව්වා ගිවිසුම් අත්සන් කළත් මම මේ වරාය ගන්න දෙන්නේ නැහැ’ කියලා. ඕක තමයි මගේ ප්‍රතිපත්තිය. එදත් එහෙමයි. අදත් එහෙමයි. අනික ඔය ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ අරලියගහ මන්දිරයෙයි. මම ඒ පැත්ත පළාතේ ගියෙත් නෑ. සාගල රත්නායක ඇමැතිතුමත් ඉන්දියන් මහ කොමසාරිස් හා ජපානයේ තානාපතිතුමත් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපිට ඒක අත්සන් කළේ. ඒ කිසිම තැනක මම හිටියෙත් නෑ. මගේ කාර්යාලයේ ඒවා වුණෙත් නෑ. 


ප්‍රශ්නය:- හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවද?  


පිළිතුර:- චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමද‌ාස මහත්මයාට ලොකු සම්මේලනයක් කළානේ. අපි පක්ෂයක් විදියට තීන්දුවක් අරගෙන ගිවිසුම් අත්සන් කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා කියලා. පක්ෂය ගත්ත තීරණයට පිටින් එතුමිය සජිත් ප්‍රේමද‌ාස මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ එළිපිටම වැඩ කළා. ඉතින් එහෙම වුණාම අපේ පක්ෂයෙන් එතුමියට ප්‍රශ්නාර්ථයක් තියෙනවා.  

ප්‍රශ්නය:- ඔබට ජනාධිපතිවෙන්න එන්න කියලා ආරාධනා කළේත් චන්ද්‍රිකා බණ්ඩාරනායක?  


 පිළිතුර:- ඔව්. ඔව්. මම කවද‌ාවත් ඒ කළගුණ අමතක කරන්නේ නෑ. මට ජනාධිපති වෙන්න ආරාධනා කළා මාව පොදු අපේක්ෂකයා කරන්න එතුමිය නායකත්වය ගත්තා. ඒ කරුණු සැලකිල්ලට ගත්තාම මම ඒවා අමතක කරන්නේ නෑ. නමුත් අපි පක්ෂයක් විදිහට තීන්දු තීරණ ගත්තාම එයට සම්පූර්ණයෙන්ම පටහැනිව කටයුතු කළාම කොහොමද තවදුරටත් පක්ෂයේ ඉන්නේ.  


ප්‍රශ්නය:- ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළා කියලත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ඔබට චෝදනා කළා.  


 පිළිතුර:- ඒවා ඉතින් මම එච්චර ගණන් ගත්තේ නෑ. පක්ෂය විනාශ කිරීම කියන කාරණාව ගත්තොත් ඒකට දුර කතා ගොඩක් තියෙනවනේ. එතුමියත් පක්ෂයට විරුද්ධව පක්ෂයක් හැදුවනේ. මම කවද‌ාවත් පක්ෂයට විරුද්ධව පක්ෂයක් හදලා නැහැ. බහුජන නිදහස් පෙරමුණ, මහජන පක්ෂය වැනි පක්ෂ එතුමිය හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිවනේ. එතුමියගේ මව ජීවත්ව ඉන්න කාලය තුළ ඒ වගේ නායකත්වයට එරෙහිව එතුමිය කටයුතු කෙරුවේ.  

ප්‍රශ්නය:-පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම ඔබව ඉලක්ක කරගෙන ඔබව කොටු කරන්න කරපු දෙයක් කියලත් කතාවක් තියෙනවා?  


පිළිතුර:- ඒවා ඉතින් සමාජය තුළ තිබෙන යම් යම් කතානේ. මම ඒවා විශ්වාස කරන්නේ නැහැ. ඒවා එක එක්කෙනා කතා කරන දේවල්නේ.  

ප්‍රශ්නය:- ඇමැති කෙනෙක් විදියට හිටපු ඔබව ජනාධිපති කළේ රනිල් වික්‍රමසිංහ. අද ඔහුට මන්ත්‍රී ධුරයක් නෑ. ඔබට ඔහු ගැන දුක නැද්ද?  


පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ තත්ත්වයට පත්වුණේ එතුමාගේ දේශපාලන දර්ශනයේ තියෙන වැරැද්ද නිසයි. එතුමා නව ලිබරල් අන්තවාදයනේ පිළිගත්තේ. ඒකෙ ප්‍රතිඵලය තමයි ඔය. ඒ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පාලනය කළේ එන්ජීඕ නඩයක්. එතැනයි ප්‍රශ්නය වුණේ.  


ප්‍රශ්නය:-ඔබට තව වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. 2025 දී ඉදිරිපත් වෙනවද? 

 
පිළිතුර:- නෑ ඇත්තටම ජනාධිපතිවරණයක් පිළිබඳ මගේ බලාපොරොත්තුවක් නෑ. පොත පත කියවීමට වගේම ආධ්‍යාත්මික පැත්තට යම් වැඩි බරක් මම යොදලා තියෙනවා. මට ජනාධිපති වෙන්නවත් අගමැති වෙන්නවත් අවශ්‍ය නෑ. මට ඕනෑ මේ රට මේ වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය සහයෝගය දීමටයි. මම තෘෂ්ණාව ප්‍රහීන කළ පුද්ගලයෙක් නොවෙයි. කෙළෙස් මරපු කෙනෙකු නොවෙයි. පෘතග්ජන මිනිහෙක්. නමුත් මට මං ගැන අවබෝධයක් තියෙනවා. මේ වෙලාවේ කවුද ඉන්නේ රට හොඳට කරන්න. එයාට සහයෝගය දීම තමයි වැදගත් වෙන්නේ කියලයි මම හිතන්නේ. 

 

 

 සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්