​මෙතනින් රට ගොඩගන්න වහාම පාලනයේ වෙනසක් අවශ්‍යයි


ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක  
අනුර කුමාර දිසානායක  

 

 

එළඹෙන නොවැම්බර් 16 වැනිද‌ා මෙරට දේශපාලනයට තීරණාත්මක දිනයකි. එදින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයගන්නේ කවුද යන්න දැන් රටේ සියලු දෙනාගේ පැනයයි. එයට තරග කරන ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිවරණය සහ ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීමට එක් වේ.  


තව හරියටම සුමානෙකින් ජනාධිපති අපේක්ෂකයින් සියලු දෙනාගෙම දේශපාලන ඉරණම තීන්දු වෙනවා. අනුර දිසානායකගෙ ඉරණම කොයි වගේ එකක් වෙයි ද?  


මේක මගේ ඉරණමවත්, ජනතා විමුක්ති පෙරමුණේ ඉරණමවත් ජාතික ජන බලවේගයේ ඉරණමවත් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ රටේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක්. වසර 71ක් රට පාලනය කරපු පාලකයින් රට ඇද ද‌ාලා තියෙන තැන එක්ක කල්පනා කරල බැලුවම රටේ ඉරණම තීන්දු කරන්න ජනතාවට ලැබිල තියෙන අවස්ථාවක්. මේක පුද්ගලික ලාභ පාඩු බලන අවස්ථාවක් නෙවෙයි. මෙතෙක් කල් රට පාලනය කරපු පාලකයො රටට ඉතුරු කරල තියෙන්නේ විශාල ණය කන්දක් විතරයි.  


මේ රටේ ආණ්ඩු කරපු ප්‍රධාන පක්ෂ දෙක වරින් වර මාරුවෙන් මාරුවට රට හූරගෙන කාල දැන් හපයක් කරල ඉවරයි. මෙතැනින් රට ගොඩගන්න වහාම පාලනයේ වෙනසක් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා රටේ ජනතාව මේ සත්‍ය අද අවබෝධ කරගෙන ඉන්නෙ කියලා.  


එද‌ා ගෝල්ෆේස් පිටියේ දී ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා අනුර දිසානායකයි කියලා කියපු මොහොතේ ඉඳල මේ මොහොත වෙනතුරු ඔබ ගැන රටේ අපේක්ෂාව කොයි වගේ කියල ද තේරුම් අරන් තියෙන්නේ?  


මේ මැතිවරණ ප්‍රචාරක කාල සීමාව තුළ අපි රටට ඉදිරිපත් කරපු අපේ වැඩපිළිවෙළ විශ්වාස කරපු, අපි කියපු දේ විශ්වාස කරපු පිරිස දිහා බැලුවම අපිට පේනව දවසින් දවස ඒ අපේක්ෂාව වැඩි වුණා කියලා. අනික් මැතිවරණ වේදිකා මඩ, අවලාද, බොරු බේගල්වලින් පිරෙද්දි අපි ඉදිරිපත් කළේ රට ගොඩනගන වැඩපිළිවෙළ. ඒ වැඩපිළිවෙළ එක්ක විශාල ජනතා අපේක්ෂාවක් දැල්වෙමින් තියෙනවා. ඒ අපේක්ෂාව මුදුන්පත් වෙන්නේ 16 වෙනිද‌ා ඡන්ද පොළේ දී ජනතාව ගන්න බුද්ධිමත් තීන්දුව උඩ. අපි විශ්වාස කරනවා ඒ විශ්වාසය ජනතාව කඩකරන එකක් නෑ කියලා.  


ජාතික ජන බලවේගය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් රැසක එකතුවෙන් නිර්මාණය වුණු මේ රටේ මැතිවරණයට මුහුණ දෙන ප්‍රබලතම පෙරමුණ. මේක එක දවසකින් දෙකකින් බිහිවුණු එකක් නෙවෙයි. මේක ඡන්දය ඉලක්ක කරල හදපු එකකුත් නෙවෙයි. අපි මීට කාලෙකට පෙර ඉඳලා තමයි මේ පුළුල් ජනතා බලවේගය ගොඩනගමින් ආවේ. ඒ වටා එකතු වුණේ මේ රටේ උගත් බුද්ධිමත් ක්‍රියාශීලි තරුණ වැඩිහිටි පිරිස්. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ මේ වටා එකතු වුණු පිරිස. ඔබට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියෙව්වම තීරණය කරන්න පුළුවන් ඒක කෙතරම් ප්‍රගතිශීලි කෙතරම් ප්‍රායෝගික, කෙතරම් ඉදිරිගාමී වැඩපිළිවෙළක් ද කියලා. ඒ සඳහා මහන්සි වුනු විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, ප්‍රාමාණික උගතුන් විශාල පිරිසක් හිටියා. ඒ හැමදෙනාගේ සහභාගිත්වයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපේ වැඩපිළිවෙළ ශක්තිමත් වුණේ. අපි මේක රටේ විවිධ ප්‍රදේශවල දී එළි දැක්වූවා. මෙහි මූලික අවධානය යොමු කරපු විෂය ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. ඉදිරි වසර ගණනාවට රට ගොඩනගන්න පුළුවන් එකම හා හොඳම වැඩපිළිවෙළ තමයි ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ.  


ඔච්චර හොඳ වැඩපිළිවෙළ ජනතාව ඉහළින් ඔසවා තියලා අනුර දිසානායකව ජනාධිපති පුටුවෙ තියයි ද ඕක අහපු බලපු මිනිස්සු? මොකද ඉතිහාසය පුරාම වුණේ ජේවීපී එකේ කතා අහල අප්පුඩි ගහලා විසිල් ගහලා ඡන්දෙ වෙන කාට හරි දෙන එක.  


ඉතිහාසයේ සිදුවුණු දේ ඒ ආකාරයටම හැමද‌ාම සිදුවෙනව කියල උපකල්පනය කරන්න අමාරුයි. අපි අපේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ හුදු ආණ්ඩු වෙනසකට නෙවෙයි. අපි කියන්නේ සමාජ පරිවර්තනයක් සඳහා අපිත් එක්ක පෙළ ගැහෙන්න කියලා. සමාජ පරිවර්තන සිද්ධ වෙන්නෙ එක දෙක තුන කියන අනුපිළිවෙළට නෙවෙයි. ඒව දේශපාලන පිමි විදියට තමයි සිද්ධ වෙන්නේ. උද‌ාහරණයක් විදියට 2015 ජනාධිපතිවරණය වෙද්දී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරන්න පුළුවන් වෙයි කියලා බොහෝ අයට විශ්වාසයක් තිබුණේ නෑ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැති වෙයි කියල හිතුවෙත් නෑ. ඒත් ඒ දෙකම සිද්ධ වුණා. එද‌ා සිද්ධ වුණා වගේම දේශපාලන පිම්මකට රට පෙළගැහෙමින් තියෙනවා.  
ජනතා විමුක්ති පෙරමුණ කියන කතාවලට අප්පුඩි ගහපු විසිල් ගහපු එහෙම කරලා වෙන කාට හරි ඡන්දය දීපු ජනතාවට අද ඒ අය කරපු දේ ගැන හොඳ නරක වැටහිලා ඇති. අද ජනතා විමුක්ති පෙරමුණ තවත් කණ්ඩායම් රැසක් එක්ක ඇවිත් මේ කතාව කියන්නේ. එතකොට ජනතාවට ඒකට පිටුපාන්න පුළුවන්කමක් නෑ කියලා අපි හිතන්නේ. අපි එද‌ා ඉඳලා කියපු කිසිම කරුණක් බැහැර කරන්න බෑ. අපි එද‌‌ා කියපු සියලු දේ සත්‍ය බව අද ඔප්පු වෙලා. දැන් ජනතාවට තීරණය කරන්න තියෙන්නේ තවත් වතාවක් තමන් දිගින් දිගටම රවට්ටපු පිරිසකට අහුවෙනව ද එහෙම නැත්නම් ඊට එරෙහිව සමාජ පරිවර්තනයකට සූද‌ානම් වෙනව ද කියන එකයි.  

 

ඉතිහාසයේ සිදුවුණු දේ ඒ ආකාරයටම හැමද‌ාම සිදුවෙනව කියල උපකල්පනය කරන්න අමාරුයි. අපි අපේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ හුදු ආණ්ඩු වෙනසකට නෙවෙයි. අපි කියන්නේ සමාජ පරිවර්තනයක් සඳහා අපිත් එක්ක පෙළ ගැහෙන්න කියලා.


මේ දවස්වල ලොකුම කතාබහ එම්.සී.සී. ගිවිසුම.  


ආණ්ඩුව කියන්නේ මේකෙන් රටට මහා වාසියක් අත්වෙනවා කියලා. පොහොට්ටුවෙ අය කියන්නේ මේක උගුලක් කියලා. මේ දෙගොල්ලොම මේකෙන් දේශපාලන වාසිය මේ ඡන්දය ආසන්නයේ ගන්න බවක් තමයි අපිට පේන්නේ. ආණ්ඩුව මේ කලබලේම මේක අස්සන් කරන්න උත්සාහ කිරීමත් බලවත් සැකයට හේතුවක්. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් රටට හෙළිකළ යුතුයි. ආණ්ඩුව කොළේ වහල ගහන්න හදනව නම් ඒක තක්කඩි වැඩක්. ඒක ඔය කියන තරම් හොඳ නම් ජනතාවට ඉදිරිපත් කරල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සංවාදයක් කරන්න ඕනෑ. එහෙම නොකර හොර රහසේ මේක අස්සන් කිරීම සැකයට හේතුවක්. ගිවිසුම අස්සන් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා ආණ්ඩුව කියනවා. ඒත් ගිවිසුම අස්සන් කළාට පස්සේ ඒක ආපහු හරවන එක ලේසි නෑ. පසුගිය ආණ්ඩු සියල්ල මෙවැනි අවස්ථාවල ක්‍රියා කළේ විනිවිද බවකින් තොරව. ජනතාවට කියන එක නෙවෙයි ඇත්ත. රටේ සම්පත් විකුණද්දිත් මේ අය දෙගොල්ලොම කිව්වේ ඒකෙන් රටට යහපතක් වෙනවා කියලනේ.  
උතුරු නැගෙනහිර ඡන්ද පංගුව තාම තොරොම්බල් වෙනවා. හැම අපේක්ෂකයම ඒකට කෙළ හළනවා.  


ඔය දෙගොල්ලටම උතුරේ ජනතාව නැගෙනහිර ජනතාව මතක් වෙන්නේ ඡන්දයක් කිට්ටු වෙද්දි තමයි. එක එක ජාතියේ ඒජන්ට්ලා ද‌ාල ඒ ඡන්ද ගොඩ එකතු කරගන්න මාන බලන එක තමයි මේ පිරිස දිගටම කළේ. ඡන්දයක දී උතුරට නැගෙනහිරට දුවන මේ පාලකයින්ට ඡන්දවලින් පස්සේ උතුර නැගෙනහිර අමතකයි. මේ කැත දේශපාලනය වහාම නතර වෙන්න ඕනැ. උතුරෙත් නැගෙනහිරත් ඉන්න ජනතාවටත් ගෞරවණීය ජීවිතයක් තමයි අපි යෝජනා කරන්නේ. තවදුරටත් මේ අය ඡන්ද ලෙස ගණන් ගන්නේ නැති ඒ අය ගෞරවණීය මිනිස්සු කියන විශ්වාසය ඔවුන් තුළම ඇති කරවන්න අපි උත්සාහ කරනවා. අපි උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් පහුගිය දවස්වල හමුවුණා. ඔවුන් අලුත් අපේක්ෂාවක ඉන්න බවක් පේනවා. තවදුරටත් එක එක දේශපාලකයින්ගේ අතකොලු බවට හෝ කාගෙ හෝ දේශපාලකයෙකුගෙ අතේ නැටවෙන රූකඩ බවට මේ ජනතාව පත්නොවිය යුතුයි.  


ගෝඨාභයගේ අගමැති මහින්දලු. සජිත්ගේ අගමැති රනිල්ලු. අනුරගෙ අගමැති කවුද?  


නමක් විදියට කියනව නම් මට දැන් කියන්න වෙන්නෙ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හය දෙනාගෙන් කෙනෙකුගෙ නමක්. ඒත් අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් ඊළඟට මහ මැතිවරණයේ දී ප්‍රබල ආණ්ඩු බලයක් අරගන්න ඕනැ. එතනදී අපිත් එක්ක විශාල දක්ෂයෝ පිරිසක් ඉන්නවා. ඒක නිසා අනිත් අය වගේ අරයට අගමැතිකම දෙනවා අරයට අර ඇමැතිකම දෙනවා වගේ කතා කියන්න අපි ඉක්මන් වෙන්නේ නෑ. මේක ජනාධිපතිවරණයක් නිසා අපි ජනතාවට කියන්නේ මුලින් රට ගොඩනගන්න පුළුවන් ජනාධිපතිවරයෙක් පත් කරන්න කියලා.  


දෙවෙනි මනාපයේ කතාව තාම ඉවර නෑ.  


අපි පැහැදිලිව කිව්වා දෙවෙනි මනාපයක් ගැන කතාවක් ජාතික ජන බලවේගයේ නෑ. මේ මැතිවරණයේ පැහැදිලිවම ඉන්නේ රට ගොඩනගන්න පුළුවන් සහ ඒ ගැන සහතික වෙන කඳවුර සහ රට තවදුරටත් විනාශයට ඇදද‌ාන්න පුළුවන් කඳවුර. ජාතික ජන බලවේගය රට ගොඩනැගෙන පැත්තේ ඉද්දි රට විනාශ කරන, විනාශ කරපු පැත්තෙ තමයි ගෝඨාභය සහ සජිත් දෙන්නම ඉන්නේ. ඉතින් දෙවෙනි මනාපයක් ගැන කතාවක් මොකටද?  ‍


16 පස්සේ රටට මොනව වෙයි ද?  


ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන කෙනා අනුව ඒක තීරණය වේවි. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් ඒක රටේ ජයග්‍රහණයක් වේවි. ඒ සමාජ පරිවර්තනය කරගන්න සමත් වුණොත් තමුන් දුන් ඡන්දය ගැන ඉදිරි අවුරුදු පහ තුළ රටේ ජනතාවට පසුතැවෙන්න වෙන්නේ නෑ. හැබැයි අනික් කඳවුරේ කවුරු දිනුවත් රට මේ තියෙන තැනින් අඩියක්වත් ඉදිරියට යන්නේ නෑ. සුපුරුදු හොරකම්, දූෂණ, මංකොල්ලකෑම්, අපචාර එක්ක ඉදිරියට යන්න පුළුවන්. ජනතාව තීරණය කරන්න ඕනෑ රට මේ තියෙන තැනින් ඉදිරියට ගෙනියනවද ආපස්සට ගෙනියනවද කියන එක. 16 වෙනිදා තියෙන්නේ රට පිළිබඳව ජනතාවට බරපතළ තීන්දුවක් ගන්න අවස්ථාවක්. ඒ තීන්දුව පසුතැවෙන තීන්දුවක් අරගන්නව ද නැද්ද කියලා ජනතාවට බුද්ධිමත්ව හිතන්න කියලා ආරාධනා කරනවා.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි