​බෝම්බකාරයො දෙන්නගෙ තාත්තා විල්පත්තුවෙදි අත්අඩංගුවට ගත්තම බලපෑම් මත නිදහස් කළා


එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයද‌ාස රාජපක්ෂ  

රට තුළ දේශපාලන අස්ථාවර බවක් නිර්මාණය වී ඇති සෙයකි. මෙබඳු තත්ත්වයක් ඇතිවූයේ ඇයි? මේ ඉරණමෙන් ගැලවෙන්නේ කෙසේද? ඒ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයද‌ාස රාජපක්ෂ මහතා සමඟ කළ සංවාදයකි.

   
 

ප්‍රශ්නය:- අද රටේ අලුත්ම තත්ත්වය තමයි කැබිනෙට්ටුව රැස්වෙන්නේ නැහැ. කැබිනට් එක රැස් වෙන්නේ නැතිව ආණ්ඩුවක් පැවැතිය හැකි ද?   


පිළිතුර:- දැන් මේ රටේ ආණ්ඩුව නැතිවුණේ කැබිනට් එක රැස් නොවුණ දවසේ ඉඳලා නොවෙයි. අවුරුදු දෙකක පමණ කාලයක සිට රටේ ආණ්ඩුවක් නෑ තමයි. 

 
ප්‍රශ්නය:-එ් කාලයේ නිල වශයෙන් හරි කැබිනට් එක රැස්වුණා. දැන් ඒක රැස්වෙන්නෙත් නෑ නේද?   


පිළිතුර:- ඒකෙන් කියන්නේ රට ඉදිරියට යන්නේ නෑ කියන එක තමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් රට තුළ තියෙනවා. ඒක තුළ රට දශමයක්වත් ඉදිරියට යන්නේ නෑ. එතැනට රට ඇවිත් තියෙනවා.   

ප්‍රශ්නය:- ජනාධිපතිවරයට කැබිනට් එක රැස් නොකර ඉන්න බෑ. ඒ අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට චෝදනාවක් තියෙනවා.   


පිළිතුර:- මෙතැනදී එක පැත්තක් විතරක් බලන්න බැහැනේ. ජනාධිපතිවරයට පුළුවන් ද ව්‍යවස්ථාද‌ායකයට කැබිනට් එකට බලපෑම් කරන්න. අනික් අතට කතානායකවරයට පාර්ලිමේන්තුවට බලයක් තියෙනවා ජනාධිපතිවරයාගේ විධායක බලයට බලපෑම් කරන්න? දෙගොල්ලොම එක මල්ලේ. දැන් ප්‍රශ්නය ඔඩුදුවලා ඕජස් ගලන, ගඳ ගහන තත්ත්වයට ඇවිත්. දැන් පණුවෝ ගහපු තත්ත්වයට ඇවිත් තියෙන්නේ.   


ප්‍රශ්නය:-යූඑන්පීය කියනව සංකේතාත්මකව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් එක රැස් කරනවා කියලා?   


පිළිතුර:- බෑ. බෑ. අගමැතිවරයාට කිසිම බලයක් නෑ. අගමැතිවරයා කියන්නේ ඇමැති මණ්ඩලයේ එක සාමාජිකයෙක් විතරයි.   

ප්‍රශ්නය:-ඔබ මගේ මුල් ප්‍රශ්නයට සෘජු උත්තරයක් දුන්නේ නෑ. කැබිනට් එක රැස් නොවී, කැබිනට් පත්‍රිකා සම්මත නොවී, අමාත්‍යාංශවල වැඩ කරගෙන යන්න පුළුවන් ද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම එය බලපානවා. කිසිම තීරණයක් ගන්න බෑනේ දැන්. රටේ ආණ්ඩුවක් නැති හා සමානයි. එදිනෙද‌ා වැඩ කරගෙන යන්න අගමැතියි ඇමැතිවරුයි අවශ්‍ය නෑ. ඒකට ලේකම්වරු ඉන්නවා.   


ප්‍රශ්නය:- මේ ප්‍රශ්නය මතු වෙන්නේ පාස්කු ඉරිද‌ා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිසා ඒ යෝජනාව ගේන්නේ පාර්ලිමේන්තුවයි? 

 
පිළිතුර:- පාර්ලිමේන්තුවට යෝජනා සම්මත කරන්න පුළුවන් බලතල 1978 ව්‍යවස්ථාවේ තියෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටු පිහිටුවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වගන්තියට යටත්වයි. පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම පිළිබඳ පිළිවෙළ විධිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ රැස්වීම්වලදී විනය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමකොට ඇත්තාවූ බලය දී ඇත්තාවූ වෙනත් කාරණා සඳහාත් යෝජනා සම්මතයෙන් හෝ ස්ථාවර නියෝග මගින් විධිවිධාන සැලැස්විය හැකියි කියලා එහි සඳහන්වෙනවා.   
ඒ අනුව පාර්ලිමේන්තුව මුලින්ම හඳුනාගන්න ඕන. පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාද‌ායකය මිසක් විධායකය නෙවෙයි කියලා. විධායකය තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. හැබැයි, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාද‌ායකය නියෝජනය කරන ඇමැතිවරු එතැන ඉන්නවා. හැබැයි ඒක වෙනමම ආයතනයක්.   


ඒ ආයතන දෙකේ බලතල වෙන වෙනම හඳුනාගන්න ඕනෑ. ව්‍යවස්ථාවේ ඒක ලියලා තියෙනවා. ඒක තේරුම්ගන්න බැරි උදවිය එක පැත්තකින් ඉන්නවා. අනික් පැත්තේ උදවිය ඒක තේරුම් ගන්නවා. නමුත් තේරුණේ නැහැ වගේ ඉන්නවා. මේකේ හංගන්න දෙයක් නැහැනේ.   


තව මාස කිහිපයකින් එන ජනාධිපතිවරණයේදී යූඑන්පී කාරයන්ට ඕනෑ වෙලා තියෙනවා පාස්කු ඉරිද‌ා මිනීවළවල් උඩින් තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්න. ඒකට ජනාධිපතිවරයව බිල්ලට දීමේ අවශ්‍යතාව මෙතැන තියෙනවා.   


ප්‍රශ්නය:- එතකොට ජනාධිපතිවරයට කිසිම අදහසක් නෑ?   


පිළිතුර:- ජනාධිපතිවරයට බයක් තියෙනවා. මේ හරහා එක්සත් ජාතික පක්ෂයේ අරමුණ අවංක නෑ. ඒක හරහා තමන් අපහසුතාවට පත්කිරීම කියලා. ඒ දෙකම ඇත්තනේ මෙතැන.

   
ප්‍රශ්නය:-පාස්කු ඉරිද‌ා ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම කාරක සභාවට ඇයි මෙච්චර බය?   


පිළිතුර:- බයවෙන්න ඕනෑනේ. මම දැක්කා ඔය විශේෂ තේරීම් කාරක සභාවේ ඉන්න ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහත්තයා කියනවා රාජ්‍ය නිල රහස් පනතට වඩා ලොකුයි තොරතුරු දැනගැනීමේ පනත කියලා. එහෙම විහිළු සපයන ජනාධිපති නීතිඥවරු ඉන්නවනේ පාර්ලිමේන්තුව ඇතුළේ.   


ජාතික ආරක්ෂාවට වැඩිය මේ ආණ්ඩුවේ එක එක තැන්වල තොරතුරු දෙන එක තමයි එයාලට වැදගත්. අනික් කාරණය තමයි රාජ්‍යයක ආරක්ෂාව තහවුරු කරන්න තියෙන ප්‍රධාන බලය මොකක්ද? පොලිසිය ද? ත්‍රිවිධ හමුද‌ාවද? ආරක්ෂක ඇමැතිද? නෑනේ. ඒ රටේ තියෙන බුද්ධි අංශය තමයි ප්‍රධාන බලය. බුද්ධි අංශයට බුද්ධි අංශය කියලා නම ද‌ාලා තියෙන්නේම ඇයි? නැත්නම් ඕකට මෝඩ අංශය කියලා ද‌ාන්න තිබුනණේ. ලෝකේ කොහේවත් ඒකට මෝඩ අංශය කියලා කියන්නේ නැහැ. කියන්නේ බුද්ධි අංශය කියලා. ඒ ගොල්ලෝ තමයි මුළු රටේම ආරක්ෂාවට වගකියන්නේ. ඒක රහසිගතව තියෙන්නේ. 

 
ඉන්දියාවේ ආරක්ෂක ඇමැති දන්නවා තමන්ගේ බුද්ධි අංශයෙ ලොක්කා කවුද කියලා. හැබැයි ඒ ලොක්කා යටතේ ඉන්න අංක 2, 3, 4 කවුද කියලා ආරක්ෂක ඇමැති දන්නේ නැහැ. එහෙම තමයි බුද්ධි අංශ පවත්වාගෙන යන්නේ.  


රාජ්‍ය නිල රහස් පනත තියෙන්නේ ඒ තොරතුරු එළියට ගියොත් ඒක සියලු දෙනාගෙම ජීවිතවලට බලපානවා. අනතුරට වැටෙනවා. 1955 කාලයේ ඒ තොරතුරු හෙළි කළොත් අවුරුදු 15ක සිර දඬුවමක් නියම කරන්නේ ඇයි? ඒකේ තියෙන වැදගත්කම තේරුම්ගන්න.  


ප්‍රශ්නය:- පාස්කු ඉරිද‌ා ප්‍රහාරය ගත්තොත් ඒක වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයක්?  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න, මම එතැනට එන්නම්. දැන් අපරාධයක් වුණා. අපරාධයක් වුණාම රටේ තියෙන නීතිය මොකක්ද? අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව පැය 24 තුළ මහේස්ත්‍රාත්ට වාර්තා කරලා වැඩිදුර පරීක්ෂණ කරලා සිද්ධිය වුණ තැනට මහේස්ත්‍රාත්වරයා ගෙන්වලා ඔහුට ඒවා නිරීක්ෂණය කරන්න අවස්ථාව දීලා ඒවායේ තොරතුරු වාර්තා කළ යුතුයි.  


කවුද ඒවා කළ යුත්තේ? ජනාධිපතිවරයට පුළුවන්ද ඒක කරන්න? ඒක කරන්න පුළුවන් ද අගමැතිට? ඒක කරන්න පුළුවන් ද පාර්ලිමේන්තුවට? අපරාධය සිදු වූ ප්‍රදේශය බාර පොලිස් ස්ථානාධිපතිවරයටයි ඒ බලය තියෙන්නේ. ඒ පොලිස් ස්ථානාධිපතිලා ඉන්නේ පොලිස්පතිවරයා යටතේයි. එතකොට පොලිස්පතිට බුද්ධි තොරතුරු ලැබුණා.

  
ප්‍රශ්නය:-ඒ බුද්ධි තොරතුරු ලැබුණෙත් ඉන්දියාවෙන්?  


පිළිතුර:- බලන්න ඒක එහෙම කීම තුළ කොයිතරම් වරදක් කළා ද? හෙට ලංකාව පුපුරනවා කියලා තොරතුරක් ලැබුණත් ඉන්දියාව කියයි ද? පොලිස්පතිවරය චක්‍රලේඛය ගැහුවා අප්‍රේල් 9 වැනිද‌ා ඒකේ ගැහුවා ‘පියවර ගැනීම සඳහා’ කියලා. වී.පී අයිපීලා හතර දෙනෙකුගේ අංශවලට විතරක් දැනුම් දුන්නා. අනික් පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කළේ නෑ. අද අපිට තියෙන තොරතුරු තාක්ෂණ ජාලය මත මුළු ලංකාවටම විනාඩි පහකින් ඕනම තොරතුරක් දෙන්න පුළුවන්නේ. කෝ පොලිස්පති ඒක කළාද?  


ප්‍රශ්නය:- පොලිස්පතිවරය කිව්වා ඉහළට කීවයි කියලා?  


පිළිතුර:- ඔහු කියනවා ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබුණේ නෑ ඉදිරි පියවර ගන්න කියලා. පොලිසියේ රාලහාමි කෙනෙකුට කියන්න පුළුවන් කතාවක් ද ඒ. පොලිසියේ රාලහාමි කෙනෙකුට තොරතුරක් ලැබුණොත් ඔහු පියවරක් ගන්න ඕඅයිසී ගෙන් අණ එනකම් ඉන්නව ද? ග්‍රාම සේවකගේ සිට පොලිස්පති දක්වා සියලු දෙනා සාම නිලධාරින්. සාම නිලධාරියෙක් ඉදිරියේ වෙන්න යන අපරාධයක් පිළිබඳ තොරතුරක් දැනගෙන ඒක පිළිබඳව පියවරක් නොගත්තොත් හෝ අද‌ාළ ආරක්ෂක අංශවලට නොදැන්නුවොත් එහෙම තිබියදී අපරාධය සිද්ධ වුණාම ඒ අපරාධකරුට දෙන දඬුවම දිය යුතුයි සාම නිලධාරියටත්. ඒ අපරාධකරුට දිය යුත්තේ මරණ දඬුවම නම් ඒ සාම නිලධාරියාටත් ඒ දඬුවමම දිය යුතුයි. ඒක තමයි අපේ රටේ නීතිය.  


එතකොට මේ පරීක්ෂණ කරගෙන යෑමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට ද? මේ පරීක්ෂණ කරගෙන යා යුත්තේ පොලිසියෙන්නේ. පොලිසිය ඒ පරීක්ෂණ කරගෙන යන අතරතුර ඊට සමගාමීව පාර්ලිමේන්තුව මාධ්‍යයන් ගෙන්වලා තවත් පරීක්ෂණයක් කරගෙන යනකොට පොලිසියට කරන්න පුළුවන්ද සාධාරණ පරීක්ෂණයක්?  


ඔය පාර්ලිමේන්තුවේ විමර්ශනය යනකොට බුද්ධි අංශ නිලධාරින්ගේ අනන්‍යතාව හෙළි නොකර ඉන්න පුළුවන් ද? හෙළිදරව් කළොත් මොකද වෙන්නේ? මිලේනියම් සිටි පාවාදීමෙන් 38 දෙනකු ඝාතනය කළා වගේම යළිත් ඇහෙයි බුද්ධි අංශ සාමාජිකයන් අතන මරලා, මෙතැන මරලා කියලා.  


ප්‍රශ්නය:-ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කිව්වා මිලේනියම් සිටි එකේ බුද්ධි අංශයක් තිබුණේ නැහැ කියලා?  


පිළිතුර:- ඒක ෆොන්සේකාගේ බුද්ධි අංශයනේ. ඒ කියන්නේ බුද්ධි අංශය නැතිව හමුද‌ාපති යුද්ධය දිනුවා කියලද? එතැනින්ම තේරෙන්නේ නැද්ද එතැන තියෙන්නේ දේශපාලන අරමුණක් කියලා. අපි දැක්කා අසාද් සාලි සාක්කි දෙන හැටි. අපිත් ඔහුට චෝදනා කළා. අපිටත් ඔහු ගැන ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔහුට එන්න කිව්වේ සාක්ෂි දෙන්නනේ. ඔහු ඇවිල්ලා සාක්කි දෙනකොට ඔහුට කතා කරපු හැටි දැක්කද?  


ආණ්ඩුවට විරුද්ධව ඔහුගෙන් එක වචනයක් හරි කියැවුණොත් ඔහුට හිරිහැර කළා එතැනදී. ඒ වගේ තේරීම් කාරක සභාවකට වඩා හොඳයිනේ ගමේ මරණාධාර සමිතියක්.  


ප්‍රශ්නය:-පාස්කු ඉරිද‌ා ප්‍රහාරයෙන් පසු පොලිසිය ක්‍රියාත්මක කළ යුතු දේවල් කළේ නෑ කියල ද ඔබ කියන්නේ?  


පිළිතුර:- ඔව්. ඒ පිපිරීම් සිද්ධ වෙච්චි පොලිස් ස්ථාන පහක් තියෙනවා. ඒ පහටම මම පෞද්ගලිකවම පැමිණිලි ද‌ාලා තියෙනවා. මේ පිළිබඳව වහාම වාර්තා කරන්න කියලා. ඒත් වාර්තා කළේ නෑ. ජනාධිපතිවරයා පත් කරපු කමිටුවේ මම පැය පහක් සාක්ෂි දුන්නා. ගිය සතියේ තමයි ඒ වාර්තාව බාර දුන්නේ. ඒකේ මොනවා තියෙනවාද දන්නේ නෑ. අඩුම තරමින් ඒකවත් කරයි ද කියලා මම දන්නේ නෑ.  


ප්‍රශ්නය:-ඇයි ඔබ එහෙම කියන්නේ?  


පිළිතුර:- එක පැත්තකින් අගමැතිවරයා යන්නේ ජනාධිපතිවරයාව විනාශ කරගෙන තමන්ගේ ඉදිරි ජනාධිපතිවරණ හීනය හැබෑ කරගන්න. අනික් පැත්තෙන් පොලිසිය බාර ඇමැතිකම ජනාධිපති ගත්තට මේ පොලිස්පති ජනාධිපති කියපු කිසිම දෙයක් කළේ නෑ. අගමැති කියන දේ තමයි ඔහු කළේ. ඒ නිසා පොලිසිය කවුරු යටතේ තියෙනවද කියලා නියෝජ්‍ය පොලිස්පතිලා දන්නේ නෑ.  


ජනාධිපති එකක් කියනවා. අගමැති එකක් කියනවා. පොලිස්පති තව එකක් කියනවා. සම්පූර්ණයෙන්ම යාන්ත්‍රණය අවුල් වෙලා තියෙන්නේ. ජරාජීර්ණ වෙලා ගොඩගන්නත් බැරි තත්ත්වයට ඇවිත් තියෙන්නේ.  


ප්‍රශ්නය:- පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණා. ඒත් වළක්වා ගත්තේ නෑ. ඒක ගැන දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා?  


පිළිතුර:- ජනතාව දැනුම්වත් කිරීම ද වැදගත් වෙන්නේ, ඒ විපත වළක්වා ගන්න බැරිවෙච්ච මිනිසුන්ට දඬුවම් දෙන එකද? දඬුවම් දෙනකොට ජනතාව දැනගන්නවනේ. ජනතාව දැනගත්තා කියලා මොනවා කරන්නද? හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නේ. දැන් ජනතාව හොඳටම දන්නවා සීයට ද‌ාහක් මේක වළක්වා ගන්න තිබුණා කියලා. හැබැයි මේක වළක්වා ගත්තේ නෑ. ඒ වළක්වා ගත්තේ නැත්තේ පොලිස්පති කෙනෙකුයි ආරක්ෂක ලේකම් කෙනෙකුයි හිටියා. මම දන්නෙ නෑ වෙන වචන තියෙනව කියලා, එහෙම් පිටින්ම පඹයෝ දෙන්නෙක්.  


පඹයා කියන වචනත් හොඳ වැඩියි. පඹයෝ දෙන්නෙක් හිටපු නිසා වළක්වා ගන්න බැරිවුණා. එහෙම නම් මුලින්ම කළයුත්තේ ඒ දෙන්නා අත්අඩංගුවට ගැනීමයි. ඒක මේ රටේ නීතිය. ඒක නොවන නිසානේ මූලික අයිතිවාසිකම් නඩු පහක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද‌ාගෙන මිනිස්සු දඟලන්නේ.  


දැන් ඉන්න වැඩබලන පොලිස්පතිගේ ප්‍රධාන කාර්ය විය යුත්තේ මේ දෙන්නව අත්අඩංගුවට ගැනීමයි. අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරගෙන යා යුතුයි.  


ප්‍රශ්නය:- සහරාන්ට වරෙන්තු නිකුත් කරලා තිබියදීත් ඔහු අත්අඩංගුවට ගත්තේ නෑ.  


පිළිතුර:- ඔව්. 92.538 නඩුවේ සහරාන්ට වරෙන්තුව නිකුත් කළේ 2018 ජූලි මාසයේ 2 වැනිද‌ා. එද‌ා සහරාන් අත්අඩංගුවට ගත්තා නම් මේ විපත වෙන්න තිබුණ ඉඩකඩ අඩුයි නේද? එතකොට ඔය ෂැංග්‍රිලා හෝටලයේ හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකේ බෝම්බ පුපුරවා ගත්ත දෙන්නාගේ පියා අත්අඩංගුවට ගත්තා විල්පත්තුවේදී. ඒ සාක්ෂි මත පුත්තු දෙන්නා අත්අඩංගුවට ගත්තා. කවුද නිදහස් කළේ. සී.අයි.ඩී එකෙන්. කවුද බලපෑම් කළේ? මුස්ලිම් ඇමැති කෙනෙක් ඇතුළු දේශපාලනඥයෙක්.  


ප්‍රශ්නය:-ඔබ වගකීමෙන්ද කියන්නේ?  

 


පිළිතුර:- අනිවාර්යයෙන්ම. කවුද ඒ පරීක්ෂණ බාරව හිටියේ, ශානි අබේසේකර යටතේ පොලිස් පරරීක්ෂක මාරසිංහ. මම මේවා හෙළිදරව් කළා. ඒ පුත්තු දෙන්නා අත්අඩංගුවට අරගෙන මොන නීතිය යටතේද එළියට දැම්මේ? නිකම්ම නොවෙයි අත්අඩංගුවට ගත්තේ සී 4 කිලෝග්‍රෑම් සීයක් එක්ක. ඒ තාත්තව අහුවුණේ ත්‍රස්තවාදියෝ පුහුණු කරවන මධ්‍යස්ථානයකදී. ඒ සී 4 කිලෝ ග්‍රෑම් 100 ඇති කොළඹ පුපුරවන්න.  


මේ පොලිසියෙන් නොවෙයිද ඔහු නිදහස් කළේ. මේක පොලිස්පති දන්නේ නැද්ද? පොලිස්පති නොදැන මේ වගේ ත්‍රස්තවාදීන් දෙන්නෙක් නිදහස් කරයි ද? ඒක මිනිස්සු දැනගන්න එක නොවෙයි වැදගත් වෙන්නේ. උවමනාව තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. නීතිය ක්‍රියාත්මක කරන කොට චූදිතයො අධිකරණයට ගෙනියන කොට මිනිස්සු දැනගන්නවා. ඔයගොල්ලොත් ෆො​ටෝ ද‌ානවනේ පත්තරවල. අධිකරණයෙ සාක්ෂි මෙහෙය වෙනකොට ජනමාධ්‍ය මගින් මිනිස්සු දැනගන්නවනේ. ඒ නිසා මේක ජනතාව දැනගත්තා කියලා වැඩක් නෑ. ජනතාව දන්නවා හැබැයි මිනිස්සු 250 ක් මැරුණු එක ගැන කතාවක් නෑ. ඒක දැන ගැනීම ගැන පමණයි කතා වෙන්නේ.  


ප්‍රශ්නය:-පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම් පමණක් මේ සිදුවීම් ද‌ාමයට වගකිවයුතුයි කියන එක සාධාරණ නෑ?  


පිළිතුර:- මේ වගකීම වෙන් කරන්න බෑ. ජනාධිපති, අගමැති, පොලිස්පති, ආරක්ෂක ලේකම් මේ සියලු දෙනා සමානව වගකිවයුතුයි. සමහරු හිතනවා ජනාධිපතිව බේරන්න මම කතා කරනවා කියලා. මට එහෙම කිසිම උවමනාවක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ එතැන නොවෙයි. අගමැතිවරයාගේ අවශ්‍යතාවට පත්කරගත්ත තේරීම් කාරක සභාව අගමැතිවරයට අවශ්‍ය පරිදි පූජිත ජයසුන්දරයි හේමසිරි ප්‍රනාන්දුයි ලවා සාක්ෂි දෙනවා ජනාධිපතිගෙ නියෝග නොලැබුණ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවුණා කියලා. මොන පොතේද ලියලා තියෙන්නේ අපරාධ තොරතුරක් ආවට පස්සේ ජනාධිපතිගෙන් අවසර ගන්න ඕන කියලා?  


ජනාධිපතිගෙන් අවසර අරගෙන නම් නීතිය ක්‍රියාත්මක කරන්නේ එහෙම නම් ස්වාධීන පොලිස් කොමිසමට ගිනි තියන්න ඕනෑ. මොකටද ස්වාධීන පොලිස් කොමිසම ගෙනාවේ? ස්වාධීන පොලිස් කොමිසම යටතේ ඉන්න පොලිස්පති ඇවිත් කියනවා මේ රටේ දෙසීයපනස් ගානක් මිනිස්සු මරණකම් මම නිද‌ාගෙන හිටියා ජනාධිපතිගෙන් උත්තරයක් එනකම් කියලා. මොන තරම් විහිළුවක් ද?  


ඇයි පොලිස්පති කියන්නේ නැත්තේ මෙච්චර කාලයක් පොලිසිය ජනාධිපතිතුමා යටතේ තිබුණට මම කළේ අගමැති කිව්ව දේවල් කියලා. ඇයි ඒක කියන්නේ නැත්තේ? ඔහුත් කරන්නේ දේශපාලනය. කාවද මේ රවටන්නේ?  


ප්‍රශ්නය:- චෝදනාවට ලක්වූ දේශපාලනඥයන්ට ඉල්ලා අස්වෙන්න කියලා පැමිණිලි තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා. ඒකත් විහිළුවක් නොවෙයිද?  


පිළිතුර:- විහිළුවක්නේ. රිෂාඩ් බදුර්දීන්, අසාද්‍් සාලි හා හිස්බුල්ලා ත්‍රස්තවාදීන් කියලා අපිට ඔප්පු කරන්න කියනවා. විහිළුවක්නේ. මෙහෙම රටක් ලෝකයේ තියෙනව ද? එහෙම රටක නේද ඔබ මගෙන් අහන්නේ ආණ්ඩුවක් තියෙනව ද? කියලා.  


ප්‍රශ්නය:- රට යන්නේ අයාලේ?  


පිළිතුර:- ඔව්. අවුරුදු තුනක් තිස්සේ රට අයාලේ තමයි යන්නේ. මීට අවුරුදු තුනකට විතර කලින් ඉඳලා මම ඔබට මේක කිව්වා. අපි වහල්ලු වෙලා හිටියා අවුරුදු 443 ක් පරංගින්ට, ඕලන්දකාරයන්ට හා ඉංග්‍රීසින්ට. 1948 දී නිදහස ගත්තා. අද වෙනකොට අපි චීනයේ වහල්ලු වෙලා. ඉන්දියාවේ වහල්ලු වෙලා. ඇමෙරිකාවේ වහල්ලු වෙලා. මේ රට කෑලි කෑලිවලට බෙදලා එක එකාට දීලා.  


අපේ ස්වාධිපත්‍ය සම්පත් සියල්ල මේ ආණ්ඩුව කොටස්වලට විකුණුවා. පහුගිය අවුරුදු හතර හමාර තුළ මේ රටේ සම්පත් විකුණපු එක හැර වෙන කරපු එක වැඩක් මට කියන්න.  


ප්‍රශ්නය:-යහ පාලනය ගේන්න ඔබත් දරදිය ඇද්ද‌ා? ඒ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වෙලත් හිටියා?  


පිළිතුර:- මමත් ඇමැතිකම් දැරුවා තමයි. ඒත් මම එහෙම ප්‍රශ්න කරනවා. ආණ්ඩුව කරපු එක වැඩක් කියන්න. කළේ රටේ ජනතාවගේ සම්පත් විකුණ විකුණා කොමිස් ගැනීමයි. හම්බන්තොට වරාය චීනයට දෙන්න ඩොලර් මිලියන 100 ක කොමිස් එකක් ගැහුවා. ඕන්නම් ද‌ාන්න හෙඩ්ලයින්.  


දැන් ඒක ගැන අපි ගොනුකරපු නඩු තුනක් අධිකරණයේ තියෙනවා. අවුරුදු 35 න් මේක දියුණු කරලා යනවා සමාගමට මේක දුන්නේ නැත්​තේ චීන ආණ්ඩුවේ සමාගමට 99 අවුරුද්දට දුන්නේ ඩොලර් මිලියන 100 ක කොමිස් එකක් අත්තිකාරමක් ලෙස අරගෙන තිබුණ නිසයි. පුළුවන් නම් ඇමැතිට ඇවිත් නැහැ කියලා කියන්න කියන්න. අපි ඒ චීන්නු ගෙන්නලා ජනාධිපතිතුමා ඉස්සරහා තියලා කතා කළා.   


ප්‍රශ්නය:-ඔවුන් ඒක කෙළින්ම කිව්වා?  


පිළිතුර:- අපිට කිව්වේ නෑ පගාව දුන්නා කියලා. ව්‍යංගයෙන් කිව්වා. හෙට අනිද්දා වෙනකොට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවා. චීනයට දුන්න නිසා හම්බන්තොට ඉන්දියාව කියනවා අපට අනිවාර්යයෙන්ම නැගෙනහිර ජැටිය දීපන් කියලා. දෙන්න වෙනවා. ඇමෙරිකාව කියනවා අපට ත්‍රිකුණාමලය දීපන් කියලා. දෙන්න වෙනවා. ​සෝෆා එකෙන් අක්කර ලක්ෂ 4 ක් දෙන්න වෙනවා. මේ ආණ්ඩුව තව මාස දෙකක් තිබුණොත් ඒක දෙනවා. මේ රට තවදුරටත් ශ්‍රී ලාංකේය රටක් නොවෙයි.  


ප්‍රශ්නය:-මේ ගමනේ අවසානය මොකක්ද?  


පිළිතුර:- මේක තමයි මෙතැනින් එහාට මේ රටට ගමනක් නැහැ.  

 

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්