​පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයද ?


 

ජනාධිපතිවරණයට මාස 18ක වැනි කාලයකි. එහෙත් ජනාධිපතිවරණ සටනේ උණුසුම දිය සීරාවක් මෙන් ගලා යමින් තිබේ. අද දවසේ ​ෙද්ශපාලන ක්‍රියාමාර්ග ඉලක්ක වී තිබෙන්නේ මාස 18කින් පසුව එන ජනපතිවරණයම වීම සිදුවී තිබෙන්නේ ඒ අර්ථයෙනි.   


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වේද නැද්ද යන්න තවම නිශ්චිත නැත. 2015 ජනාධිපතිවරණයේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ‘විධායක ජනපති ධුරය අ​හෝසි කර ගෙදර යන’ බවය. නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව ද ඔහු අවධාරණය කළේය.   


එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ඇමැති මහින්ද අමරවීරද බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළේ ඊළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේකෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම’ බවය.   


එක්සත් ජාතික පක්ෂයට මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකය. 2010 ජනාධිපතිවරණයට මෙන්ම 2015 ජනාධිපතිවරණයටද එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළේ නැත. 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ අතර පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ සරත් ​ෙෆාන්සේකා පරාජයට පත්විය. 2015 දී ද ​පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ අතර පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේය.   


තව මාස 18කින් එළැඹෙන ජනාධිපතිවරණයේදී එජාපය කුමක් කරයිද?   


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගෙන් පසුව පක්ෂය තුළ සිටින ජ්‍යෙෂ්ඨතම නායකයා වන ඇමැති ජෝන් අමරතුංග ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.   


ජනාධිපතිවරණය ගැන තාම තීරණය කරලා නෑ. දැනට ඉන්නේ අපේ අගමැතිතුමා. එතුමා තමයි අපේ අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්නේ. මම දන්නේ නෑ ඉදිරියේදී වෙනස්වීම් වෙයිද කියලා. නමුත් දැනට එතුමා තමයි අපේ අපේක්ෂකයා.   


ඒ ඇමැති ජෝන්​ගේ හඬයි.   


ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේදී කවරාකාරයේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරාවිදැයි පැහැදිලි නැත. මන්දයත් ජනාධිපතිවරණයක දී අනුගමනය කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ රැගෙන ඇත.   


මෙරට පළමු ජනාධිපතිවරණය වූ 1982 ජනාධිපතිවරණයට පක්ෂ​ෙය් නායක රෝහණ විජේවීර ඉදිරිපත් වූ අතර ඔහු පරාජයට පත්විය. 1989 ජනාධිපතිවරණය ජවිපෙ මුළුමනින්ම වර්ජනය කළේය. ඊට අමතරව එයට සන්නද්ධ ලෙස ප්‍රතික්‍රියා දැක්වීය.   


ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමෙන් පසු පැවැති පළමු ජනාධිපතිවරණය වූ 1994 ජනාධිපතිවරණයට නිහාල් ගලප්පත්ති ඉදිරිපත් කළ අතර සටන මැදදී සටනින් ඉවත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට, දිනන බවට සැකයක් නොතිබී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් ලිඛිත පොරොන්දුවක් ලබාගෙනය. 1999 ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා ලෙස නන්දන ගුණතිලක ඉදිරිපත් වූ අතර ඔහු පරාජයට පත් විය.   


2005 ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර වෙනස් පක්ෂයක අපේක්ෂකයකුට සහය දැක්වීය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂය. ජවිපෙ අයස්කාන්ත මැදිහත්වීමේ ප්‍රතිඵලයක් මත එම මැතිවරණ සටනින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේය.   


2010 ජනාධිපතිවරණය වන විට ජවිපෙ හා මහින්ද රාජපක්ෂ ගැටුම ඉතා උච්ච තලයකට පත්වී තිබූ අතර ජවිපෙ ඍජු මැදිහත්වීමෙන් මහින්ද රාජපක්ෂට එරෙහිව ​පොදු අපේක්ෂකයකු ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කළේය. එ​ෙහත් සරත් ෆොන්සේකා හා මහින්ද රාජපක්ෂ අතර ඡන්ද ලක්ෂ 18ක පරතරයකින් යුතුව සටන නිමාවිය. මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් රටේ විධායක ජනාධිපති විය.   


2015 ජනාධිපතිවරණයේදී ජවිපෙ ඍජු අදහසක් ඉදිරිපත් කළේ නැත. ඔවුන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ පරජය කළ යුතු බවය. ඒ වෙනුවෙන් දිනවිය යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න ඍජුව නොකීවද එහි වාසිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට හිමි විය. විධායක බලය දෙවරක් හෙබවූ මහින්ද රාජපක්ෂ පරාජය කළ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේය.   


එහෙයින් මෙවර ජනාධිපතිවරණයේදී ඔවුන් කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇද්ද යන්න පැහැදිලි නැතද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය ඔවුන් මේ වනවිට අතට ගෙන තිබේ.   


ප්‍රශ්නාර්ථ මතු කරමින් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙනි. පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ පොරපිටියේ හාස්කම් පාමින් පෙරට ඒමට මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව සමත් විය. සැබැවින්ම ජනබලය මහින්ද ළඟ බව පැහැදිලිය. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්ද රජපක්ෂට යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.   


මහින්ද රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයා කවුද? මහින්ද රාජපක්ෂ කඳවු​ෙරන්ද එයට තවමත් නමක් නිශ්චිතව ප්‍රකාශයට පත් වී නැත. එහෙත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම බො​ෙහා් තැන්වලදී කියැවෙමින් තිබේ.   


‘2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වෙයි කියල බයට මේ ආණ්ඩුව ගෝඨාභය සිරගත කරන්න හදනවා’ දෙතුන් සතියකට ඉහත දී එසේ ප්‍රකාශ කළේ මහින්ද කඳවුරේ ප්‍රබලම හවුල්කාර පක්ෂය වන ජතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශය.   


ජනාධිපතිවරණයට ඈ​ෙඳමින් ගෝඨාභයගේ නම රාව ප්‍රතිරාව නංවන්නට පටන් ගැනුණේ ඒ විදියටය. 

 
ඇමැති රාජිත සේනාරත්න ද ඉරිදා ලංකාදීපය සමඟ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් කතා කළේය.   


‘ආ..... එයාද එන්නේ. එහෙනම් බොහොම හොඳයි. අපිටත් ඕනැ ඔය වගේ අපේක්ෂක​ෙයක්. මොකද එයාට සිංහලයන්ගේ ඡන්ද විතරයි ලැබෙන්නේ. ඒත් සිංල ඡන්දවලින් විතරක් ජනාධිපතිවරණයක් දිනන්න බෑ. ඒකට දෙමළ, මුස්ලිම් ඡන්ද අවශ්‍යයි. එයාට ඒ ඡන්ද ලැබෙන්නේ නෑ. ඒ ඇමැති රාජිත සේනාරත්නය.   


මහින්ද කඳවුරේ ප්‍රබලම නායකයකු වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගෙන් ඉදිරි ජනාධිපතිවරණයේ මහින්ද කඳවුරේ අපේක්ෂකයා කවුදැයි කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.   
ඒ ගැන නම් මට දැන්ම මුකුත් කියන්න බෑ. ඒකට හේතුව තමයි මම කැමති නෑ මිනිස්සු අමාරුවේ දාන්න’ යනුවෙන් පැවසුවේය.   

 

 

‘මිනිස්සු අමාරුවෙ දැමීම’ යන්නෙන් අදහස් කළේ කුමක්දැයි යළිත් ප්‍රශ්න කළ විට කුමාර වෙල්ගම මෙසේ උත්තර දුන්නේය.   


‘මෙහෙම​ෙන් මල්ලී! ආණ්ඩුව කොහොමත් බලාගෙන ඉන්නේ අපේ අපේක්ෂකයා දිහානේ. අපි දැන්ම අපේ අපේක්ෂකයා කවුද කියලා කිව්වොත් අපි දන්නවනේ සිද්ධ වෙන්නේ මොනවද කියලා. ඒ අපේක්ෂකයාට අල්ලස් කොමිසමට එෆ්.සී.අයි.ඩී. යන්න ​ෙවනවා මිසක් උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා මිසක් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. තව ටිකක් ඔහොම ඉමු. තව කල් ති​ෙයනවනේ. අපිත් ආප්ප න්‍යායෙන්ම තමයි වැඩේ දෙන්නේ. එතකන් ඉවසමු’   


මන්ත්‍රී කුමාර වෙල්ගම එසේ ප්‍රකාශ කළත් මහින්ද කඳවුරේ ප්‍රබලයකු වන පැරණි ශ්‍රී ලංකා උරුමයක් සහිත මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් පැහැදිලිවම ප්‍රකාශ කළේ ‘අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ’ බවය. ඒ ඇයි දැයි ඇසූවිට ඔහු ප්‍රකාශ කළේ මෙවැන්නකි.   


‘ගෝඨාභය රාජපක්ෂ තමයි අපේ හොඳම අපේක්ෂකයා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි පරිසරය තුළ ඊළඟට ඉන්න සුදුසුම කෙනා සුපිරිතම සම්පත ගෝඨාභය තමයි. අපි දන්න විදියට එ් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එයි. අනික් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එයි. ඉතින් අපේ අපේක්ෂකයා ගෝඨාභය විය යුතුයි’   


මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්න​ෙකා්න් එසේ කීවද යථාර්ථය වන්නේ සුළු ජාතික ඡන්ද ජනාධිපතිවරණයේදී තීරණාත්මක බවය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට සුළු ජාතික ඡන්ද මාරාන්තික වූ බව ඒකාන්ත සත්‍යයකි. එවන් පසුබිමෙක ගෝඨාභයට ජයග්‍රහණය කළ හැකි වේද? යන ප්‍රශ්නය අපෙනි. පිළිතුර ජනක බණ්ඩාර තෙන්නකෝන්ගෙනි.   


ඒක ​ෙබාරු කතාවක්. දෙමළ ජනතාවත්, මුස්ලිම් ජනතාවත් දැන් පිළිගෙන තියෙනවා 2015 දී ඒගොල්ලන් විශාල රැවටීමකට ලක් වුණා කියලා. ඒ නිසාම ඒ ජනතාව දැන් මහින්ද රාජපක්ෂ කඳවුර වටා රොද බැඳ ගනිමින් ඉන්නවා. ඊට අමතරව දෙමළ පක්ෂත් දැන් සීසීකඩ විසිරිලා. ඒගොල්ලෝ ඒගොල්ලෝ එකට හැප්පෙනවා. දැන් මිනිස්සු බලාගෙන ඉන්නේ ඡන්දයක් එනකම්. ඉතින් මේ වගේ හොඳ අවස්ථාවක් ඉතිහාසයේ කවදාවත් නිර්මාණය වෙලා නෑ. සියලු ජනතාවගේ ඡන්දයෙන් ​ගෝඨාභය දිනනවා. ඒක සිකුරුයි.   


මහින්ද රාජපක්ෂ දේශපාලන කඳවුර යනු විවිධ මතවාද සහිත දේශපාලන පක්ෂ සමූහයක එකතුවකි. ඔවුන් වෙන්ව ගමන් කරන ගමන් එක්ව සටන් කරන බව පෙනේ.   


ඒ දේශපාලන කඳවුරේ වාමාංශික විභවයක් සහිතව තවමත් ගොවි කම්කරු විමුක්ති අරගලයක් සම්බන්ධ​ෙයන් සුබ සිහින දල්වා සිටින නව වාමාංශික පෙරමුණේ නායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දරන්නේ කුමන මතයක්ද? අපේ විමසුමට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීවේය.   


අපේ තේරීමත් අපගේ ​ෙයා්ජනාවත් රාජපක්ෂ කෙනෙක්ම තමයි. හැබැයි ඒ චමල් රාජපක්ෂ. වාසුදේව ස්ථිර හඬින් කීවේය. චමල් තෝරා ගන්නේ කවර පදනමකින් දැයි විමසූ විට වාසුදේව මෙසේ උත්තර දුන්නේය.   
චමල් හොඳයි. ඔහු මධ්‍යස්ථයි. ඔහු නිවුණු පුද්ගලයෙක්. විධායක බලය අරගෙන එය නරක විදියට පාවිච්චි කරන්නේ නෑ කියන සහතිකය දෙන්න පුළුවන් නායකයෙක්. ඒ වගේම රජයේ මෙන්ම රටේත් සමතුලිත බව රකින්න පුළුවන් නායකයෙක් විදියටයි මම චමල් රාජපක්ෂ දකින්නේ. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ ප්‍රගතිශීලී කඳවුරේ අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ සහෝදරයාව අපි යෝජනා කරනවා.   
මන්ත්‍රී වාසුදේව නානායක්කාර එසේ ප්‍රකාශ කරන විට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක දක්වන්නේ වෙනත් මතයකි.   


එස්.බී. දිසානායක මෙහිදී සුවිශේෂී වන්නේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇමැති ධුරය ද අත්හැර විපක්ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා අතර ප්‍රමුඛයකු වන හෙයිනි.   


එස්. බී. දිසානායක මෙසේ කීවේය.   


අපි ඇමැතිකම් දාලා ආණ්ඩුවෙන් එළියට ඇවිත් විපක්ෂයේ වාඩි වුණාට අපි ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒකේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි. අපේ නායකයා එතුමයි. ඊළඟ ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරි​ෙස්න ජනාධිපතිතුමා තමයි.   


ඇමැති එස්.බී. එසේ කියන විට ඇමැති විජිත් විජිතමුණි සොයිසා කිසිවක් ප්‍රකාශ නොකර සිටි​ෙය්ය. විජිත් විජිතමුණි සොයිසා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය නියෝජනය කරමින් ඇමැති ධුරයක් උසුලයි. ඔහු අමතා කාරණය කී විට ඔහු මෙසේ කීවේය.   


මල්ලී මම මේ ජනාධිපති තුමා එක්ක සාකච්ඡාවක ඉන්නේ’ එසේ කියා ඔහු දුරකතනය විසන්ධි කළේය.   


මහින්ද රාජපක්ෂ කඳවුරේ ප්‍රබලම නියෝජනයක් සහිත දේශපාලන පක්ෂයක් වනුයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණය. එම පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර අපි ඇමතුවෙමු. කාරණය කීවෙමු. ඔහු නොපැකිළිව කියා සිටියේ ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද කඳවුරේ අපේක්ෂකයා ​ෙගා්ඨාභය රාජපක්ෂ බවය.   
පක්ෂයේ - නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිටින්නෙත් එම ස්ථාවරයේම දැයි ප්‍රශ්න කළ විට ඔහු ප්‍රකාශ කළේ ‘විමල් සහෝදරයා වගේම අපේ පක්ෂයේ පොදු මතයත් ඒකම’ බවය.   


ගෝඨාභය රාජපක්ෂට සුළු ජන ඡන්ද නොලැබේය යනුවෙන් පැතිර තිබෙන මතය සම්බන්ධයෙන් මන්ත්‍රී පද්ම උදය ශාන්තගෙන් විමසූ විට ඔහු එයට මෙසේ උත්තර දුන්නේය.   


‘ඕක ජනවාරි 8 හදපු මිත්‍යාවක්. මහින්ද රාජපක්ෂ පරාජය කරන්න කල් ඇතුවම හදපු ලේබලයක්. එතැනදී ඒක සාර්ථක වුණා. සුළු ජන කොටස් අතර පමණක් නොවෙයි සිංහල ජන සමාජය තුළත් විවිධ මත හදලා විශාල බලපෑමක් කළා. මේ කරන්නෙත් ඒ දේම තමයි. නමුත් ඕක දැන් පරණ අවියක්. කිසිම බලපෑමක් කරන්න බැරි අවියක්.   


‘ගෝඨාභය රාජපක්ෂට විශේෂයක් ඇයි? යනුවෙන් විමසූවිට පද්ම උදය ශාන්ත මෙසේ උත්තර දුන්නේය.   


‘මේ මොහොතේ ජාතිය ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ තමයි. ඔහු ජාතිකවාදී නායකයෙක්. රට කෙළින් කළ හැකි නායකයෙක්. විනය ඒ වගේම ඍජු නායකත්වයක් සැපයිය හැකි ප්‍රතාපවත් නායකයෙක්. මතක තියා ගන්න ඔහු තමයි තිස් වසරක යුද ශාපයෙන් මේ දේශය මුදා ගන්න ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නායකත්වය දුන්නේ. ඔහු මුදාගත්තේ සිංහලයන්ට විතරක් අයිති රටක් නොවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන්ට නිදහස උදා කිරීමට ඔහු පුරෝගාමී වුණා. එහෙම බලනකොට ඔහු වැනි නායකයෙක් අවැසිම මොහොතක්. ජාතියේ ප්‍රාර්ථනයත් ඒකම තමයි’   


ජාතිකවාදී කඳවුරේ සැරිසරන යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංගගෙන් ද අපි අදහස් විමසීමක් කළෙමු. යහපාලන රජය බලයට පත්වී දෙතුන් මසක් ගතවීමටත් මත්තෙන් ‘වෙනස සැපද’ යනුවෙන් රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් අරඹා ජාතිකවාදී කඳවුර ශක්තිමත් කළ ගෙවිඳු ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දරන්නේ මෙබඳු අදහසකි.   


‘ඇත්තටම මේ මොහොතේ ජනාධිපතිවරණයක් ගැන කතා කිරීමෙන් සිදුවන්නේ මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියට තවත් අවුරුදු එකහමාරක් ඔක්ෂිජන් සැපයීමක් කියලයි මම හිතන්නේ. එහෙම කියන්නේ ඇයි දැයි විමසූ විට ඔහු කියා සිටියේ මෙවැන්නකි.   


‘රට මහා අවුලක තියෙන්​ෙන්. මේ අවුල ලෙහාගන්නත් තියෙන්නේ පාර්ලිමේන්තුවෙන්මයි. ඒ නිසා කළ යුතුව තිබෙන්නේ හදිසි මහ මැතිවරණයක් කැඳවීමට කටයුතු කිරීමයි. ඒ හරහා දේශමාමක බලවේග අතට රටේ සුක්කානම දීමයි. එයට බාධාකාරී මාතෘකා ගෙන ඒමෙන් සිදුවන්නේ මේ ජරාජීර්ණ ක්‍රමයට තව දුරටත් ඔක්ෂිජන් සැපයීම තමයි’   


ගෙවිඳු කුමාරතුංග එසේ පවසද්දී මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ විය යුතුම බවය. එල්.ටී.ටී.ඊ යට එරෙහි අවසන් මහා සටනේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ මේජර් ජනරාල් කමල් ගුණරත්න එළිය හා වියත්මග සංවිධාන හරහා මෙරට වෘත්තීයවේදීන් එක පොකුරට රැගෙන ඒම සඳහා වෙහෙසෙමින් සිටින්නෙකි.   


මේ ඔහු කියන කතාවය.   


මගේ තේරීම නම් අනිවාර්‌යෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. මොකද ඔහු රටට ආදරය කරන නායකයෙකි. ඒ වගේම කරන්නම් වාලේ වැඩ කරන කෙනෙක් නොවෙයි. ඔහු සෑම ක්ෂේත්‍රයකම සිටින රටට ආදරය කරන ඒ ඒ ක්ෂේත්‍ර ගැන විශේෂඥ දැනුමක් තියෙන වෘත්තීයවේදීන් ඒකරාශී කරලා ඒ අයගෙන් කරුණු විමසලා, උපදෙස් ලබාගෙන තමයි ඒ දේ ක්‍රියාත්මක කරන්නේ. ඔහු සාර්ථක නායකයෙක් වෙන්නේ ඒ විදිහටයි.   
ගෝඨාභය රාජපක්ෂට දර්ශනයක් තියෙනවා. මම යුද හමුදාවේ ඔහු යටතේ හිටපු කෙනෙක් හැටියට දන්නවා එතුමා වංචාවට, දූෂණයට, හොරකමට කොයිතරම් විරුද්ධ නිලධාරියෙක්ද කියලා. මේ රටට අවශ්‍ය වන්නේ ඒ වගේ නායකයෙක්.   


ඒ මේජර් කමල් ගුණරත්නගේ හඬය.   


දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ​ෙල්කම් වෛද්‍ය වසන්ත බණ්ඩාර එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දක්වන්නේ මෙබඳු අදහසකි.   


පෙබරවාරි 10 වැනිදා පැවැත්වුණ පුංචි මැතිවරණයේ ප්‍රතිඵලය දිහා බැලුවම පේන කාරණය තමයි මේ රටේ පොදු මහජනතාව තමන්ගේ ගැලවුම්කාරයා ලෙස එහෙම නැත්නම් ආධ්‍යාත්මික නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිගන්නවා කියන එක. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. එහෙම නම් ජයග්‍රහණය කරන්න වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය ලබන, එතුමා නි​​ෙයා්ජනය කරමින් ඉදිරිපත් වන ​අපේක්ෂකයාටයි’   


ඒ අපේක්ෂකයා කවුරු විය යුතු දැයි ඇසූ ප්‍රශ්නයට වෛද්‍ය වසන්ත බණ්ඩාර එකපැහැර දුන් පිළිතුර වූයේ ගෝඨාභය රාජපක්ෂ බවය.   


‘ඒක ම​ෙග් තේරීමක් නොවෙයි. මේ රටේ පූජනීය මහා සංඝරත්නය පෙරටු කරගත් දේශමාමක ජාතික බලවේගයන්ගේ උවමනාවයි. හැබැයි අපි මතක තබාගත යුතු කාරණය තමයි ජාතියේ හතුරන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සැලැස්ම ද සහිතවයි.   


එමගින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ ශක්තිමත් අගමැතිවරයකු බවට පත් කිරීමයි. නමුත් ඒක වන්නේ වෙනත් සෙයකින්. ඒ නිසා මේ සියලු කුමන්ත්‍රණ පරාජයට පත් කිරීමට සමත් අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂයි.   


ඒ වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ හඬය. එහෙත් පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයට පසුදා මෙරටට පැමිණි ගෝඨාභය රාජපක්ෂගෙන් කටුනායක ගුවන් තොටුපොළේදීම මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවේ ‘අගමැතිකම භාර ගන්​ෙන්ද?’ යනුවෙනි. එයට ගෝඨාභයගෙන් ක්ෂණික පිළිතුර වූයේ ‘මම කොහොමද අගමැතිකම භාරගන්නේ. මම ඇමෙරිකානු පුරවැසියෙක්නේ.’ යනුවෙනි.   


ඒ අනුව කුමක් වේද යන්න ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වන තුරු බලා සිටීමට සිදුවනු ඇත.

 

 

 

 

සටහන :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්