​පොලිස්පතිට දීපු තොරතුරුවලටවත් ඒ අය ක්‍රියාත්මක වුණේ නෑ


රටේ ඇති වී තිබෙන ආගම්වාදී ගැටුම් සහ ආණ්ඩුව ඒ පිළිබඳ ස​ංවේදීවීම ඇතුළු කාලීන දේශපාලනය පිළිබඳ මේ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සමගයි.   


• පහුගිය දිනවල රටේ උද්ගත වුණු තත්ත්වය පිළිබඳ ඔබේ අදහස මුලින්ම කියන්න බලන්න.   


අපේ රටේ ජාතිවාදී ගැටුම් ඉතිහාසය පුරාම සිදුවෙලා තියෙනවා. මේක අලුත් තත්ත්වයක් නෙවෙයි. ඉතිහාසයේ වරින් වර මේ වගේ සිදුවීම් ගැන අපි අහලා තියෙනවා. සමහර ඒවා අපි ඇත්දැකලා තියෙනවා. ගැටුම් ඇති වෙනවා. මිනිස්සු ගහගන්නවා. දේපොළවලට හානි කරනවා. ටික කාලයකින් ඒ අය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා සුපුරුදු පරිදි එකතුවෙලා ජීවත් වෙනවා. මේ වගේ දේවල් පවුලක වුණත් තියෙනවනේ.   


ඒත් 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ පහුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඉතා සංවිධානාත්මකව මේ ජාතිවාදී අන්තවාදී කල්ලි ක්‍රියාත්මක වුණු ආකාරය අපි දැක්කා. ඒ අය මේ ර​ෙට් සිංහල, මුස්ලිම් පිරිස් අතර නැති ආරවුලක් නැති අර්බුදයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. ඒ පිරිස් අතර සැකය, වෛරය, ක්‍රෝධය ඉස්මතු කරවන්න මේ අය කටයුතු කළා.   


සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට විරුද්ධවත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාවට විරුධවත් කුපිත කරවන උසිගන්වන සුළු ක්‍රියාකාරකම් පෙළක් ඔවුන් විසින් සිදු කළා. මේ ඇවිස්සීම නිසා තත්ත්වය නරක අතට ගියා. විශේෂයෙන් යුද්ධයෙන් පස්සේ මේ සංවිධානාත්මක කල්ලි කරළියට ආවා. මේ අය පාරවල්වලට බැහැලා පෝස්ටර් ගහගෙන, පත්‍රිකා බෙදලා රැස්වීම් තියලා ප්‍රසිද්ධියේ වෛරය ඇති කරවන සුළු ප්‍රකාශ කරමින් හැසිරුණා. මේක රාජපක්ෂ ආණ්ඩුවට හොඳ දේශපාලන අාවරණයකුත් වුණා.   


මොකද එදා රාජපක්ෂ ආණ්ඩුව මේවා නවත්තන්න පියවර ගත්තේ නෑ. ඒ අය මෙයට සහයෝගය දෙන ආකාරයට තමයි කටයුතු කළේ. ඒකෙ ප්‍රතිඵල විදියට තමයි අලුත්ගමදී විශාල වශයෙන් පුපුරලා ගියේ. අන්න ඒ තත්ත්වයම නැවතත් මේ රටේ උද්ගත වෙලා අද වෙනකොට.   


• ඇයි මේ ආණ්ඩුව මේ වගේ දේවල් මැඩපවත්වන්න ක්ෂ්ණිකව ක්‍රියාත්මක නොවු​ෙණ. ආසන්නම මහනුවර සිදුවීම ගත්තත් ආණ්ඩුවට මේක හරියට කළමනාකරණය කරගන්න බැරිකම නිසා මේ සිදුවීම දුරදිග ගියා කියලා බොහෝ අය චෝදනා කරනවා.   


පහුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේ වගේ සිදුවීම් හාරසියකට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. ඒත් අපි කවුරුත් දන්නේ අලුත්ගම සිද්ධිය ගැන විතරයි. ඒක තමයි ර​ෙට් විශාල අවධානයක් යොමු වුණු සිදුවීම. මේ සිදුවීම් හැම එකකටම වගේ පැමිණිලි දැම්මා. ඒත් රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඒවා බොහොමයක් විභාග කළේ නෑ. ඒවා එහෙමම යට ගියා.   


• මේ යහපාලන ආණ්ඩුව ආවෙම රටේ ජනතාවට විශාල බලාපොරොත්තු රාශියක් ලබාදෙමින් හොරකම්, වංචා, දූෂණ පිළිබඳ විමර්ශන පමාවීම සහ ඔවුන්ට දඬුවම් දීම ප්‍රමාද වීම ගැන තමයි රටේ හැම දෙනාම වගේ කතා කරන්නේ.   


අපි මතක තියාගන්න ඕනැ මේ ආණ්ඩුවට රටේ ජනතාව ඡන්දය දුන්නෙ හොරු අල්ලන්න කියලා විතරක් නෙවෙයි. ඒ අය තුළ තිබුණු තවත් ලොකු බලාපොරොත්තුවක් තමයි ජාතික සංහිඳියාව, ජාතීන් අතර සමගිය තහවුරු කිරීම වගේ කාරණා.   


ඒත් මේ ආණ්ඩුව යටතෙන් ඒක නිසියාකාරව කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ වුණත් මේ වගේ සිදුවීම් රාශියක් වාර්තා වෙලා තියෙනවා. ඒවා ගැන විධිමත් ක්‍රියාමාර්ග අරගත්තේ නැතුව ආණ්ඩුව අවධියෙන් නොසිටීමේ ප්‍රතිඵලයක් විදියට මහනුවරදී මේ තත්ත්වය පුපුරලා ගියා.   

• ඇයි ආණ්ඩුව මේ ප්‍රශ්නයෙදී නිදාගෙන වගේ හිටියේ?   


ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නය. මේවට ක්‍රියාත්මක වෙන්න ඕනැ වගකිවයුත්තෝ හරි වෙලාවට ක්‍රියාත්මක නොවීම පිළිබඳව තමයි අපිටත් තියෙන විවේචනය. දැන් නම් විවේචනය කරන්න ඕනැ තරම් අය ඉන්නවා.


• මේ අනතුර ගැන ආණ්ඩුවෙ වගකිව යුතු අයට අනතුරු ඇඟවීම් කරන්න ඔබ කටයුතු කළාද?   


අයියෝ මොකද නැත්තේ. මම ඕනැ තරම් මේ ගැන කතා කරලා තියෙනවා. මම ජනාධිපතිතුමාට මේ ගැන කිව්වා. ඇමැතිතුමාට මේ ගැන කිව්වා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වල නැගිටලා කීප වතාවක් මේ ගැන කරුණු පැහැදිලි කළා. පොලිස්පතිට මේ ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් ඒ කිසිම දේකට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.   


• ඇයි ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඔබ කියන දේ ඇහුවෙ නැත්තේ?   


ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ. මේ අයට මම දන්න හැටියට කිව්වා මේ වගේ ​අනතුරක් තිබෙනවා වහාම මේ ගැන පියවරක් ගන්න කියලා. ඒත් ඒවා ගණන් ගත්තේ නෑ.   


• ඒකද ඔබ කියන්නෙ දැන් මේ ආණ්ඩුවෙ ඉන්නත් ලජ්ජයි කියල කියන්නේ?   


පැහැදිලිවම ඔව්.   


මේ ආණ්ඩුවේ ඉන්න ලජ්ජයි. මේ වගේ පොඩි දෙයක් දුරදිග යන්න ​​ෙනාදී මැඩ පවත්වාගන්න තරම්වත් ශක්තියක් නැති එක ගැන ඇත්තටම ආණ්ඩුවෙ කොටස්කාරයෙක් විදියට ලජ්ජයි. මොකද මේ ආණ්ඩුව ගේන්න අපි ජීවිත අවදානමක් අරගෙන ඉදිරියට ආවෙ. අපි රට වටේ ගිහින් හිටපු ආණ්ඩුව පෙරලන්න කටයුතු කළේ, ඒ වගේම වැරදි සිදුවෙන වටපිටාවක් ​ගොඩගන්න නෙවෙයි.  


• කවුද මේ ජාතිවාදි ආගම්වාදි ගැටුම් පිටිපස්සේ ඉන්නේ. දේශපාලකයන් එකිනෙකාට ​ෙම් ගැන චෝදනා එල්ල කර ගන්නවා.  


පැහැදිලිවම මේ පිටිපස්සේ දේශපාලනය තියෙනවා. මේවට උඩගෙඩි දෙන දේශපාලකයෝ කවුද කියලා හොයා බලන්න වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ජාතිවාදි, අාගම්වාදි මත වපුරලා වාසි ගත්ත දේශපාලකයන් ඕනැ තරම් හිටියා. ඒ අයට ඒ අයගෙ දේශපාලනය රැකගන්න මේ වගේ දේවල් කරන්න ඕනැ. ඒ නිසා මේ අයගේ මේ පුරුද්ද අත්හරියි කියලා හිතන්න බෑ. පක්ෂ ​ෙභ්දයකින් තොරව මේ දේවල් කරන අය හෙළිදරව් කරගැන්ම ආණ්ඩුවේ වගකීම. මේක තවදුරටත් මග ඇරලා හිටියොත් මීට වඩා විනාශයක් තමයි සිද්ධ වෙන්නෙ. ප්‍රභාකරන් අල්ලන්න පුළුවන් වුණු එකේ මේ වගේ දේවල් කරන අය හොයාගන්න බැරිකමක් නෑනේ.  


• ආණ්ඩුව මේ ප්‍රශ්නයෙදී අසමත් කියලා ඔබ කියන්නේ. එතකොට ඔබ කොහේද ඉන්නේ. ඔබත් ආණ්ඩුවෙනේ.  


අපි ආණ්ඩුවෙ නිකංම මන්ත්‍රීලා විතරයිනේ. අපිට උඩින් කොච්චර අය ඉන්නවද. ජනාධිපතිතුමා ඉන්නවා. අගමැතිතුමා ඉන්නවා. කැබිනට් මණ්ඩලේ ඉන්නවා. මේ අය අපිට වඩා ක්‍රියාත්මක වෙන්න එපාය. අපි අපිට පුළුවන් ප්‍රමාණයෙන් මේ ගැන දැනුම්වත් කිරීම් කළා. ඒ අය ගණන් ගත්තේ නෑ. ඉතිං අපිට තවත් කරන්න දෙයක් නෑ.  


පොලිස්පතිට දීපු තොරතුරුවලටවත් ඒ අය ක්‍රියාත්මක වුණේ නෑ. මේවා මේ තරම් දුර යන්න නොදී බේරගන්න තිබුණා. අපි කියපු වෙලාවෙ මේ ගැන අවධානය යොමු කළා නම්. 


• ආණ්ඩුවෙ ඉන්න මුස්ලිම් ඇමැතිවරු මේ ගැන අවශ්‍ය මැදිහත් වීම් කළාද?  


මේ ප්‍රශ්නය ගැන බොහෝ දෙනා යම් යම් ප්‍රමාණයෙන් අදහස් ප්‍රකාශ කළා. ඒත් මං හිතනවා ආණ්ඩුවෙ මුස්ලිම් ඇමැතිවරුන්ට මේ ප්‍රශ්නයට මීට වඩා මැදිහත් වෙන්න තිබුණා කියලා. විශේෂයෙන් රවුෆ් හකීම් රිෂාඩ් බදුර්දීන් වගේ ඇමැතිවරුන්ට මේකට මැදිහත් වෙන්න තිබුණා.  


• මුස්ලිම් ප්‍රජාව අතරේ අන්තවාදී කලහකාරී කල්ලි ඉන්නවා කියලා ඔබ දන්නෙ නැද්ද?  


එහෙම අය ඉන්නවා නම් මේ වෙලාවෙ ඒ අය එළියට එන්න ඕනැ නේ. එහෙම කවුරුවත් එළියට ඇවිත් නෑ. මුස්ලිම් පිරිස්වලට පහර දෙන්න සංවිධානාත්මක කල්ලි ක්‍රියාත්මක වෙච්ච හැටි අපි පහුගිය කාලේ දැක්කා. ඒ පිරිස් විවිධාකාර මත මුස්ලිම් ජනතාව පිළිබඳ වෛරය ඉස්මතු වෙන ආකාරයට කළා. ඒ වගේ මුස්ලිම් කණ්ඩායම් අපි දැක්කෙ නෑ.  


• ඔබ නෑ කිව්වට කොළඹ නගරය ආශ්‍රිතව විවිධ මුස්ලිම් මත වපුරපු කණ්ඩායම් හිටියානේ. උදාහරණයක් විදියට තව්හිද් යමාඅන් වගේ සංවිධාන?  


මේ ව​ෙග් අය හිටිය නම් ඒ ගැනත් හොයන එක ආණ්ඩුවේ වගකීම. මේ අයත් නීතියට පටහැනි කටයුතු කරලා තියෙනවනම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඕනැම ආගමක ඒ ඒ මත ව්‍යාප්ත කරවන කණ්ඩායම් ඉන්නවා ඇති. ඒත් ඒ කාටවත් කලහකාරීව හැසිරෙන්න අයිතියක් නෑ.  


• දේශපාලනඥයන් වටා චණ්ඩි ඉන්නවනේ. පහුගිය දවස්වල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට එහෙම පහරදීම්වලටත් එහෙම ආපු මුස්ලිම් අය හිටියලු නේද?  


දේශපාලනඥයින්ගේ සහයෝගය, රැකවරණය ලබපු පාතාල කල්ලි හිටියා. දේශපාලනඥයන් ඇසුරේ චණ්ඩි ඉන්නවා ඇති. ඒත් දැන් මම හිතන්නේ එහෙම අය ඒ තරම් නෑ.  


• ඔබේ ළඟ ඒ වගේ චණ්ඩි නැද්ද?  


මම බොහොම සාමකමීව දේශපාලනය කරන කෙනෙක්. ඒක කොළඹ ජනතාව දන්නවා. මට චණ්ඩි තියාගෙන කරන්න දේශපාලනයක් නෑ. මම චණ්ඩියෙකුත් නෙවෙයි.  


• ඔබ ඔබේ මුස්ලිම් ජාතික බිරිඳගේ මුහුණ වහන්නෙ නෑ කියලා තිබුණා. ඇයි ඒ නිදහස අනිත් අයටත් ලබා දෙන්න කටයුතු නොකරන්නේ?  


ඔය කතාව මට කතාකරන්න වුණේ පාර්ලිමේන්තුවෙදි බිමල් රත්නායක මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්නයි. මම මගේ බිරිඳගේ මුහුණ වහගෙන යන්න කියලා නෑ. ඒක ඇගේ කැමැත්ත උඩ සිද්ධවෙන දෙයක්. මූණ වහන එක හෝ ඇරගෙන යන එක ඒ ඒ අයගෙ කැමැත්ත. බිමල් රත්නායක කිව්වෙ වහගෙන යන එකෙන් මහා ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙනවා වගේ දෙයක්. වහගෙන යනවා වගේම අඩ නිරුවතින් යන අයත් අපි දැකලා තියෙනවනේ. ඇයි බිමල් රත්නායකට ඒවා ගැන ප්‍රශ්නයක් නැත්තේ. ඒ ඇරගෙන යන එක සංස්කෘතියට අවුලක් නැද්ද. මුස්ලිම් කාන්තාවෝ ඇරගෙන යන එක දකින්න බිමල් රත්නායකගෙ ආසාවද කියලා මම දන්නෙ නෑ.  


• ආණ්ඩුව මේ ප්‍රශ්නෙට උත්තර හෙව්වෙ සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන්.  


ඒකට නම් මමත් එකඟ නෑ. සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් වුණේ ආණ්ඩුවට නැති විරෝධයක් ආපු එක. සමාජ මාධ්‍ය තුළ පළ කෙරෙන අහිතකර දේවල් පාලනය කරන්න ක්‍රමවේදයන් අවශ්‍යයි. ඒකයි ආණ්ඩුව කරන්න ඕනෑ.  


• මේ ආණ්ඩුවෙ ඉන්න ලජ්ජ නම් මුජිබර් රහුමාන්ට පුළුවන්නේ ආණ්ඩුවෙන් අයින් වෙන්න.  

 


මෙහෙම ගියොත් අපිට දැඩි තීන්දුවක් ගන්න වෙයි. ඒක බලමු ඉස්සරහට.

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි