​පෙරළිකාර සතියක දේශපාලන හැල හැප්පිලි


දේශපාලන රැල්ලට පසුගිය සතියේදී කරුණු දෙකක් මූලික වී තිබිණි. ඉන් ප්‍රධාන කරුණු වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවයි. දෙවැන්න පළාත් පාලන ආයතන ගණනාවකට සභාපති හා උප සභාපතිවරු තේරීමයි.


පළාත් පාලන ආයතන ගණනාවක් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර තිබුණත් එම පක්ෂයට පළාත් පාලන ආයතන බොහොමයකම සභාපති හා උප සභාපති තනතුරුවලට පත් කර ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී තිබිණි.


පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත් කිරීමේ දී බුලත් කොළය හා අත ලකුණින් තරග කළ සභිකයන් හැර වෙනත් කිසිම පක්ෂයක සභිකයන් සමඟ ගිවිසුම් ගත නොවන ලෙසට සිරිකොත මූලස්ථානයෙන් උපදෙස් දී තිබුණත්, එම උපදෙස් ක්‍රියාත්මක කිරීමට ආසන සංවිධායකවරුනට නොහැකි වී තිබිණි. පසුගිය බ්‍රහස්පතින්ද‌ා (29) වන විටත් පළාත් පාලන ආයතන 40ක පමණ ප්‍රමාණයක සභාපති, උප සභාපති තනතුරුවලට පත් කර ගැනීමේ ආරවුල අවසන් වී නොතිබිණි.


බුලත් කොළයෙන් හා අත ලකුණෙන් තරග කළ බොහොමයක් සභිකයන් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට කැමැත්තක් පෙන්වා නොතිබුණු අතර ඔවුන් පොහොට්ටුවට සහාය දැක්වීම නිසා ප්‍රශ්නය බරපතළ වී තිබුණු බව දැනගන්නට ඇත.


ගිය සතියේ දේශපාලන ලෝකයේ අනෙක් බරපතළ ප්‍රශ්නය වූයේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවයි. මෙම යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබිණි.


ඇමැති මහින්ද අමරවීර, ඇමැති රාජිත සේනාරත්න, ඇමැති මනෝ ගනේෂන්, ඇමැති රාවුෆ් හකීම්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇති අතර ඊට අමතරව විශ්වාසභංග යෝජනාව පරාජය කළ යුතුය යන මතයේ සිටි පිරිස හා විශ්‍වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ යුතුය යන මතයේ සිටි පිරිස් ද වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ඇත.


ඇමැති මහින්ද අමරවීර මහතාගේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවසේදී මැති ඇමැතිවරු ගණනාවකගේ සහභාගීත්වයෙන් ගිය බදාදා රාත්‍රී සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී අවසන් තීරණයකට එළැඹී නැතත් විශ්වාසභංග යෝජනාවට පක්ෂව හා විපක්ෂව කරුණු ඉදිරිපත් වී තිබිණි. විශ්‍වාසභංගය ජයග්‍රහණය කළ යුතු බවට වැඩිදෙනා අදහස් දක්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව වැඩ කිරීමේදී රටේ ජනතාව තුළ ප්‍රසාදයක් නොවීම බරපතළ තත්ත්වයක් බවට පත්වී තිබෙන නිසා, මේ හවුල් දීගය අවසන් කිරීමට හොඳම අවස්ථාව මේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම බව ඇමැතිවරු වැඩි දෙනකුගේ අදහස වී තිබිණි. මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම රජයේ ඉහළම දේශපාලනඥයකුගේ මතය වී ඇති බවද මෙහිදී අදහස් ඉදිරිපත් වී ඇත.
රජය කඩාවැටීමකින් තොරව ඉදිරි වසර දෙකක කාලය තුළ පවත්වාගෙන යාමට සුදුසු තීරණයක් ගත යුතු බැවින් ඒ පිළිබඳව පෞද්ගලිකව තීන්දු තීරණ නොගෙන සාමූහිකව තීරණයක් ගත යුතු බව මෙහිදී ප්‍රකාශ වූ බවද අනාවරණය වේ. ලබන 02 වැනිදා උදේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තීරණයක් ගැනීමට මෙහිදී ප්‍රකාශ වී ඇත.


මෙම සාකච්ඡාවට සහභාගි වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගෙන් කළ විමසීමේ දී ප්‍රකාශ කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) රාත්‍රී 7.00ට රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තීරණයකට එළඹෙන බවයි. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය වීමෙන් පසු ඇති වෙන දේශපාලන තත්ත්වය, බලය විමධ්‍යගත කිරීම, මැතිවරණ ක්‍රමය, රටේ ආර්ථිකය, ජනතාව අසීරුවට පත්වීම හා මෙම විශ්වාසභංගයට විරුද්ධවීමට හේතුවක් නොවීම ඇතුළු වැදගත් කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට භාජනය කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා කීය.


නියෝජ්‍ය කතා නායකවරයා විශ්වාසභංග යෝජනාව පිළිබඳව සිය පෞද්ගලික අදහස ලෙස සඳහන් කළේ, මෙයට විරුද්ධවීමට කිසිදු හේතුවක් නොමැති බවයි.


මේ අතර රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා තිබිණි.


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ඇමැති සරත් ​ෆොන්සේකා, කඳුරට ජනතා පෙරමුණේ‍ නායක පලනි දිගම්බරන්, චතුර සේනාරත්න යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.


මෙහිදී විශ්වාසභංගයට පෙර අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ වෙනුවට රාජිත සේනාරත්න මහතාට තනතුර බාරදිය යුතු බවට පක්ෂ නායකවරයෙක් යෝජනා කර ඇත. එහිදී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒවාට තව කල් තිබෙන බවයි.


මෙම සාකච්ඡාවේදී ද විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් හා ජයග්‍රහණය කළහොත් ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳවද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. මහ බැංකුව හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම යළිත් මුදල් අමාත්‍යාංශය යටතට පැවරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත.


මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ඉල්ලීම මත 2015 අගෝස්තු මාසයේ සිට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට පවරා ගෙන තිබිණි.
නව තීරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, සර්ව ආර්ථික කළමනාකරණය, ආද‌ායම් එකතු කිරීම, වියදම් පිළිබඳ පසු විපරම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පැවරීමට ගන්නා ලද තීරණය පිළිබඳව පක්ෂ නායකයන්ගේ අවධානයට යොමු වී තිබූ බව වාර්තා වේ.


මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අවලංගු කිරීමට ගිය සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබිණි.


ආර්ථික කළමනාකරණ කමිටුව ගැන තීන්දුවක් ගැනීමට තව සති දෙකක් දෙන්නැයි ඇමැති මලික් සමරවික්‍රම මහතා ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.
ආර්ථික කමිටුව අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණත්, ජනාධිපතිවරයා විදේශ ගතවී සිටිය දී ආර්ථික කමිටුව රැස්වී තිබිණි.


ආර්ථික කළමනාකරණ කමිටුවෙන් පසුගිය කාලයේ රටට ඵලදායී සේවා කිසිවක් නොවූ බව පවසමින් ජනාධිපතිවරයා එම කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකා දෙකක් මීට පෙර ඉදිරිපත් කර තිබිණි.
ආර්ථික කමිටුව අහෝසි කිරීමට හා මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතට පැවරීමට ජනාධිපතිවරයා ගත් තීන්දු අග්‍රාමාත්‍යවරයාට සුබවාදී නොවන තත්ත්වයක් බව දෙපාර්ශ්වයේම දේශපාලනඥයන් ගණනාවකගේ අදහස වී තිබිණි.


විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සම්බන්ධයෙන් කාලය වෙන් කරන ආකාරය පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී රැස් වී ඇත.
එහිදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අතර පැවැති උණුසුම් වචන හුවමාරුව විශේෂයක් විය. එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර ඇත්තේ, නියෝජ්‍ය කතා නායක ධුරයේ සිටින පුද්ගලයා දේශපාලනයේ නිරතවීමෙන් තනතුර හෑල්ලුවට පත් කරන බවයි. තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතා නායකවරයා තනතුරේ හිඳිමින්, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව කතා කිරීම ගැන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නොසතුටින් කතා කර ඇත. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ සභා නායකවරයා වශයෙන් කටයුතු කරයි.


දෙදෙනා වචන හුවමාරු කරගත් අවස්ථාවේ තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රධාන ආසන සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරන තමන් නියෝජ්‍ය කතානායක තනතුර හා ආසන සංවිධායක තනතුර පටලවා ගෙන නැති බවයි. නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කරන විට තවන් එහි වගකීම හරියාකාරව ඉටු කරන බව ඔහු ප්‍රකාශ කර ඇත.


මෙලෙස වචන හුවමාරුව දුර දිග යන විට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට හේතු වූ කරුණුවලට සාකච්ඡාව යොමු විය යුතු බවයි.
ඒ අනුව විශ්වාසභංග යෝජනා විවාදය පැවැත්වෙන කාලය පිළිබඳව තීන්දු තීරණවලට එළැඹී ඇත. 4 වැනිදා උදේ 10.00 සිට එදින රාත්‍රී 9.30 දක්වා විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයට පැය 4ක කාලයක් ද, එක්සත් ජාතික පක්ෂයට පැය 4 1/2ක කාලයක් ද, ඉතිරි පැය ගණන සුළු පක්ෂවලට ද කතා පැවැත්වීම සඳහා බෙදා දීමට එකඟ වී ඇත.
ඡන්ද විමසීම පේලි වශයෙන් ගැනීමට යෝජනා වී ඇති බවද සඳහන් වේ. විද්්‍යුත් ක්‍රමවේදයට අනුව ඡන්ද විමසීම සිදුකිරීමේ දී පසුගිය අවස්ථාවල ඇති වූ තාක්ෂණික දෝෂ නිසා, පේළි වශයෙන් නැගී සිට ඡන්දය පාවිච්චි කිරීමට පක්ෂ නායකයන් එකඟ වී ඇතැයි සඳහන් වේ.


මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගිය බ්‍රහස්පතින්දා සිරිකොත මන්දිරයේදී රැස්වුණි. මෙම රැස්වීම එක්සත් ජාතික පක්ෂයට බෙහෙවින් තීරණාත්මක එකක් වෙතැයි වැඩි දනොගේ බලාපොරොත්තුව වී තිබුණත් එවැන්නක් සිදුනොවීම විශේෂත්වයක් විය.

 

 

මෙම සාකච්ඡාවේ දී මූලික කරුණ වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාවයි. එම යෝජනාවට විරුද්ධ ඡන්දය පාවිච්චි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත. ඊට අමතරව මෙම තීන්දුවට එ​ෙරහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පැවැත්වීමටත් පක්ෂයෙන් ඉවත් කිරීමටත් තීරණය වී ඇත.


පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිංහල අවුරුද්දට පෙර සිදු කිරීමට තීරණය වී ඇතැයි සඳහන් වේ.


මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, පක්ෂයේ තරුණ කොටස්වලට මූලික ස්ථානය ලැබෙන පරිදි සිංහල අලුත් අවුරුද්දට පෙර යළි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරනු ලබන බවයි. එයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය දක්වා ඇතැයි වාර්තා වේ.


පළාත් සභාවලින් රජයට ඉදිරිපත් කරන යෝජනා නොසලකා හැරෙන බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය දරන පළාත් සභා මන්ත්‍රීවරු චෝදනා කර ඇත.


ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු. රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඌව පළාතේ හෙක්ටයාර 10,000ක ගම්මිරිස් වගා කර ඇති නමුත් දැන් ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 1800 සිට 600 දක්වා මිල බැස ඇති බවයි.


මේ නිසා වගා කරන ගොවීන් ආරක්ෂා කිරීම සඳහා කිලෝවක් සඳහා රුපියල් 950ක සහතික මිලක් නියම කර, අලෙවි මධ්‍යස්ථාන දෙකක් ඇති කරන ලෙසට කරන ලද යෝජනාවට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ඔහු ප්‍රකාශ කර ඇත.


රජයේ මෙම නොසැලකිලිමත් බව නිසා, මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හානියක් වූ බවද ර.මු. රත්නායක මහතා පෙන්වා දී ඇත.


මෙයට පිළිතුරු දෙමින් ඇමැති දයා ගමගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාව රජයට ඉදිරිපත් කළත් කිසිම ප්‍රතිචාරයක් නොවූ බවයි.


මේ අතර විශ්වාසභංග යෝජනාව පරාජය කරවීමට මූලික වී සිටින එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් ඇමැතිවරයකුගේ නිල නිවසකදී රැස්වී සාකච්ඡා කර ඇත. එහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද පාවිච්චි කිරීමට අනෙක් පක්ෂවල මන්ත්‍රීවරු හා ඇමැතිවරු පොළඹවා ගැනීමට ගන්නා වැඩපිළිවෙළ සාකච්චා කර ඇති බව වාර්තා වේ.


එහිදී මෙම යෝජනාවට පක්ෂව හා විපක්ෂව ලැබිය හැකි ඡන්ද සංඛ්‍යාව ගණන් බලා ඇති පිරිස වාසි අවාසි දෙපැත්තටම ඇති බව අවධාරණය කර ඇති බව දැන ගන්නට ඇත.


යම් ලෙසකින් යෝජනාව පරාජය වුවහොත් පක්ෂයෙන්ම අග්‍රාමාත්‍යවරයකු නම් කිරීම පිළිබඳව අදහස් පළ වී ඇත. මෙහිදී පක්ෂයේ ජ්‍යෙෂ්‍ඨයන් තිදෙනකුගේ නම් ප්‍රකාශ වී ඇත. ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග හා රංජිත් මද්දුමබණ්‍ඩාර යන ඇමැතිවරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බව ප්‍රකාශ වී ඇත.

 

 

 

දයාසීලි ලියනගේ