​ඩොලර් බිලියන පහළොවක ආයෝජනයක් පෝට් සිටියෙන් අපි බලාපොරොත්තු වෙනවා


මුදල් හා ප්‍රාග්ධන වෙ​ෙළඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති 
අජිත් නිවාඩ් කබ්රාල්  

  • දැන් ජනාධිපතිතුමාට තියෙනවා බලයක්. මුළු රටම ජනාධිපතිතුමාව පත්කර ගත්තාට පස්සේ එතුමාට යම් යම් බලතල තියෙනවා. එයින් එක බලතලයක් තමයි විනිසුරුවරුන් පත් කිරීමේ බලය. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කිසිම දවසක නීතිපති දෙපාර්තමේන්තුවේ නොසිටිය කෙනෙක් අගවිනිසුරුවරයා හැටියට පත් කළා. ඒ බලතල තියෙනවා. හරි පුද්ගලයන්ට ඒ බලතල දෙන්න ඕනෑ. ඒ බලය ජනාධිපතිතුමාට ලැබෙනවා. තානාපතිවරුන් පත්කිරීමේ බලය එතුමාට තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරන්න පුළුවන්. මහින්ද ජනාධිපතිතුමා 2005 දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කළා.

වරාය නගරය සම්බන්ධයෙන් විපක්ෂය නගන විවේචනවලට පිළිතුරු සොයා මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවීමු. මේ අප නැගූ ප්‍රශ්නවලට ඒ මහතා දුන් පිළිතුරුයි.  


ප්‍රශ්නය:- කොළඹ වරාය නගරය ඇත්තටම අයිති කාටද? ලංකාවට ද චීනයට ද?  


පිළිතුර:- ලංකාවට  


ප්‍රශ්නය:-එහෙම නම් වෙනම කොමිසමකින් පාලනය කෙරෙන්නේ ඇයි?  


පිළිතුර:- අපි දන්නවා... නගර සභාවලින් නගර පාලනය වෙනවා. පළාත් පාලන ආයතනවලින් විවිධ පළාත් පාලනය වෙනවා. ඒ විදියටම කොළඹ වරාය නගරය පාලනය වෙන්නේ මේ කොමිසම යටතේ. වාණිජ මණ්ඩලය යටතේ යම් කොටසක් පාලනය වෙනවා. ඒ වගේ විවිධ ආයතන යටතේ විවිධ ස්ථාන පාලනය වෙන්න පුළුවන්.  


ප්‍රශ්නය:-මේ වරාය නගරය කොළඹ මහ නගර සභාව යටතේ හෝ බස්නාහිර පළාත් සභාව යටතේ හෝ පාලනය නොකරන්නේ ඇයි?  


පිළිතුර:- ​අපි මෙහෙම කරන්නේ එහෙම කළොත් තමයි අපිට කාර්යක්ෂම විදියට මේක කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවා නගර සභාවකට ගියාම ඔබතුමන්ලා කොච්චර රස්තියාදු වෙනව ද බලන්න. කොච්චර කරදර වෙනව ද? අපි ලොකු ආයෝජකයන් ගෙන්නුවාම ඒ අය කැමැති නෑ තැන් තැන්වල ගිහින් රස්තියාදු වෙමින් ඉන්න. දැන් අපි කියනවනේ සිංගප්පූරුවේ මේ වැඩ ටික කරගන්න කොච්චර පහසුද කියලා. ඩුබායි ගියාම ඔක්කොම වැඩ ටික පැයකින් කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ වාතාවරණයක් ලෝකේ තියෙද්දී ඒවත් එක්ක තරග කරමින් තමයි අපට ආයෝජන ගෙන්න ගන්න වෙන්නේ. අපි ඒ විදියේ කාර්යක්ෂම සේවාවක් ලබා දුන්නේ නැත්නම් ඒ අය මෙහෙ එන්නේ නෑ. ඒ ආකර්ෂණය ඇති කිරීම සඳහා තමයි මේ පනත තුළින් සියලු පහසුකම් එකම තැනකින් ගන්න පුළුවන් විදියේ පාලනයක් ඇති කරන්නේ. ඒකෙන් කියැවෙන්නේ නෑ ඒ කොටස අපේ රටට අයිති වෙන්නේ නෑ කියලා. ආයෝජකයන්ට ඉතාම පහසු ලෙස වැඩකටයුතු කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් තමයි අපි මේ ඇති කරගෙන යන්නේ.  


ප්‍රශ්නය:- 2018 වසරේ දී යහපාලන ආණ්ඩුව වරාය නගරය නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කළා. එහෙම තිබිය දී ඇයි මේ රාජ්‍ය පාලනයෙන් මේක නිදහස් කරන්නේ ?  


පිළිතුර:- ඒ ක්‍රමවේදය කාර්යක්ෂම නෑ. අමාත්‍යාංශවලට ගිහින් බලන්න කොච්චර රස්තියාදු වෙන්න ඕනෑ ද කියලා. අමාත්‍යාංශයකට ගියාම එක ලියුමක් තවත් තැනකට ගෙනියන්න කොච්චර වෙලාවක් යනව ද? අමාත්‍යාංශවලින් වැඩ කරගන්න කොච්චර අමාරුද බලන්න.  


ප්‍රශ්නය:- එහෙනම් කාර්යක්ෂමතාව ඇති කළා නම් ඉවරනේ?  


පිළිතුර:- ඒකට කොච්චර කාලයක් යනවද අමාත්‍යාංශයට ඒක අධීක්ෂණය කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව මේක අධීක්ෂණය කරනවා. ජනාධිපතිතුමාට වග කියනවා. විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවලා අපි බලාපොරොත්තු වෙන්​නේ ඒ අයට මේ කොටසේ පමණක් සියලුම බලතල පවරලා මේ හෙක්ටයාර 729 පාලනය කිරීමේ දී ඒ අයට බලය දීලා. ඒ අය අපි වගකීමට ලක් කරනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක ආයෝජනයක් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුදු පහ තූළ දී. ඒ අයගෙන් අපි රැකියා උත්පාදනය කරනවා. වරාය නගරයේ වැඩ ටික ඉක්මනින් ඉවරවෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අයගෙන් අපි ඒවා බලාපොරොත්තු වෙලා අපි ඒ අයට දෙනවා නම් අවකාශයක් සහ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කර ගන්න පුළුවන් විදියට ඒ අයට දෙන්නම අවශ්‍යයි බලතලත්. බලතල වගේම පහසුකම් දිය යුතුයි. විශේෂ මණ්ඩලයෙන් කෙරෙන්නේ ඒක තමයි.  


ප්‍රශ්නය:-මේ විශේෂ කොමිසමට ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරන්න පුළුවන්. ඒක රටේ ඒකීයභාවයට තර්ජනයක් බවටයි තර්ක මතුවෙන්නේ ? 

 
පිළිතුර:- මෙතැන කෙරෙන්නේ... ජාත්‍යන්තර ගිවිසුම් කියන්නේ වෙළෙඳ ගිවිසුම් තමයි අත්සන් කරන්නේ. යම්කිසි ආයතනයක් සමග ඒ අයට දෙන බදු සහනය. ඒ අයට ලබා දෙන පහසුකම්. ඒ අයට කරන්න තියෙන දේවල් තීරණය කිරීමයි වෙන්නේ. යම්කිසි පුද්ගලයෙකුට දඬුවම් කිරීමේ, සමාව දීමේ බලයක් මේ කොමිසමට නෑ. ඒ වගේ බලතල නෑ. ඒ අයට තියෙන්නේ ආයෝජනය කරන දේවල් සම්බන්ධයෙන්. ඒ කලාපයේ ලියාපදිංචි අයට පමණක් පහසුකම් සැලසීමේ වගකීමයි කොමිසමට තියෙන්නේ. වෙන වෙන දේවල් කිරීමේ බලතල නෑ. 

 
ප්‍රශ්නය:-පළාත් සභාවලට පොලිස් බලතල තියෙනවා එහෙම බලතල මේ කොමිසම ඉල්ලුවොත් රටේ අනාගතයට මොකද වෙන්නේ?  


පිළිතුර:- පොලිස් බලතල සම්පූර්ණයෙන්ම තියෙන්නේ මහ ආණ්ඩුව යටතේ. යම්කිසි පුද්ගලයෙක් හොරකම් කළොත් ඒ ගැන පරීක්ෂණ කරන්නේ මේ කොමිෂන් සභාව නොවෙයි. ඒ වැඩ කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය යටතේ. ඒවා කිසිවක් වෙනස් වෙන්නේ නෑ. ඒ ගැන බොරු බිල්ලෝ මවන්න අවශ්‍ය නෑ. මෙතැන සමහරහ අය පෙන්නලා දෙන්න හැදුවේ මෙතැන වෙනම රාජ්‍යයක් ඇතිවෙයි කියලා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ කියල අපට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්. ඒවාගේ දෙයක් මේ පනත තුළ කොහේවත් නෑ.  


ප්‍රශ්නය:-මේ පනත් කෙටුම්පත හරහා ජනාධිපතිවරයා සතු බලතල විශේෂ කොමිසමකට පැවරෙනවා. ඒක ව්‍යවස්ථා විරෝධියි? 

 
පිළිතුර:- දැන් ජනාධිපතිතුමාට තියෙනවා බලයක්. මුළු රටම ජනාධිපතිතුමාව පත්කර ගත්තාට පස්සේ එතුමාට යම් යම් බලතල තියෙනවා. එයින් එක බලතලයක් තමයි විනිසුරුවරුන් පත් කිරීමේ බලය. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කිසිම දවසක නීතිපති දෙපාර්තමේන්තුවේ නොසිටිය කෙනෙක් අගවිනිසුරුවරයා හැටියට පත් කළා. ඒ බලතල තියෙනවා. හරි පුද්ගලයන්ට ඒ බලතල දෙන්න ඕනෑ. ඒ බලය ජනාධිපතිතුමාට ලැබෙනවා. තානාපතිවරුන් පත්කිරීමේ බලය එතුමාට තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරන්න පුළුවන්. මහින්ද ජනාධිපතිතුමා 2005 දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කළා. මාව පත් කළා ලේකම් කෙනෙක් විදියට. අපි රාජ්‍ය සේවයේ නොවෙයි හිටියේ. නමුත් ඒ ඒ විෂයන් සම්බන්ධව දැනුමක් තිබෙන නිසා අත්දැකීම් තිබුණ නිසා එතුමාට අපිව පත් කරන්න පුළුවන් වුණා. ඒ විදියට ජනාධිපතිතුමාට ඒ බලතල තියෙනවා. ආයෝජන මණ්ඩලයේ සියලුම දෙනා පත් කරන්නේ ජනාධිපතිතුමා.  


ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය වුණේ ඒ බලතල කොමිසමකට පැවරීම ව්‍යවස්ථා විරෝධියි නේද කියන එකයි?  


පිළිතුර:- නෑ. මේ කොමිසමේ සාමාජිකයන් හත්දෙනා පත් කරන්නේ සුදුසුකම්වලට අනුවයි. ඒ සුදුසුකම් මේ කෙටුම්පතේ තියෙනවා. ඒ සුදුසුකම් සහිත අය ජනාධිපතිතුමාට පත් කරන්න පුළුවන්. ඒක ඕනෑම රටක ජනාධිපතිවරයෙක් කරන දෙයක්. කොටින්ම කිව්වොත් ඇමෙරිකාවේ ඇමැතිවරුන් පත් කරන්නේ ජනාධිපතිතුමයි. ඒ විෂය සම්බන්ධයෙන් දැනුම තියෙන අයව ජනාධිපතිතුමා පත් කරන්න පුළුවන්. ජනාධිපතිවරයෙක් පත් කරගෙන අපි එතුමාට පවරණ බලතල තමයි ඒ.  


ප්‍රශ්නය:- වරාය නගරය තුළ සිටින අයට විශේෂ වරප්‍රසාද සහ බදු සහන හිමි වෙනවා. එතකොට ඒක වෙනම රටක්.  


පිළිතුර:- එතැන බදු සහන ලබා දෙන්නේ පිටරට මුදල්වලින් ආයෝජන කරන නිසයි. අපේ රටේ ආයෝජන හිඩැසක් තියෙනවා. රට සංවර්ධනය කරද්දී සියයට 6කට වඩා ආර්ථික වර්ධනයකට රට යොමු කරන්න නම් ඒ ආයෝජන රටට ගලා ඒමට ඉඩ දිය යුතුයි. දැනටමත් සංවර්ධනය වෙනවා. නමුත් ඒක වෙන්නේ හෙමින්. සියයට 2ක පමණ වර්ධන වේගයක් තමයි ගන්න වෙන්නේ. එහෙම නැතිව ඉක්මන් ආර්ථික වර්ධනයක් ඇතිකර ගන්න නම් අපට පිටරටින් මුදල් ලබාගන්න වෙනවා. ඒ නිසා තමයි මෙතැන දී අපි නිදහස් කරලා තියෙන්නේ වෙන රටවලිනුත් ඇවිල්ලා ආයෝජනය කරන්න අපි හරි පසුබිමක් හදන්න ඕනෑ. ඒ පසුබිම හැදුණම මුදල් පිටරටින් ගලා එන්න පටන් ගන්නවා. මේ රටේ මුදල් නොවෙයි. පිටරටවලින් එන මුදල් ආයෝජනය කිරීම සඳහා බදු සහන පහසුකම් අපි ලබා දිය යුතුයි. ඒ අය හරහා ඒ වැඩකටයුතු කෙරුණාම රැකියාවල් බිහිවෙනවා. රටේ සංවර්ධනය වේගවත් වෙනවා. ජාත්‍යන්තර සේවාවන් එක් රටට එනවා. දැන් බලන්න..... අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයෙනේ තියෙන්නේ. නමුත් අපේ බිස්නස් තියෙන්නේ 99 වැනි මට්ටමේ. රටවල් 185 කින් අපි මේක වර්ධනය කර ගන්න නම් රට පුරාම යම්කිසි ආකාරයකට අපි දියුණු කරන්න ඕනෑ. එහෙම කරන ගමන් එක තැනක සියලුම පහසුකම් තිබුණොත් ආයෝජකයෝ පෙළඹෙනවා ආයෝජනය කරන්න. ඊට පස්සේ මගේ විශ්වාසය තමයි අනික් ප්‍රදේශවලත් මේ දියුණුව ඇති කිරීම. එතකොට රටේ හැමතැනම සේවාවන් ලබා දීමේ හැකියාව හැම මට්ටමින්ම දියුණු වෙනවා. ඒ වෙනුවෙන් අපි වරාය නගරය ආදර්ශයක් කරගන්නවා. මෙමගින් විශාල වෙනසක් මේ රටේ සිදුවෙනවා. ඒකයි කොළඹ වරාය නගරය හැරවුම් ලක්ෂයක් වෙනවා කියලා අපි කියන්නේ. අපේ ව්‍යාපාරික පහසුකම් ඉතාම ඉහළ මට්ටමකට ගෙනයෑමේ හැකියාවක් ඇති වෙනවා.  


ප්‍රශ්නය:-වරාය නගරයේ වැටුප් ගෙවන්නේ යුආන් වලින්. මේක තනිකරම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ?  


පිළිතුර:- නෑ එහෙම වෙන්නේ නෑ. දැන් බලන්න මෙතැන අපි පිටරට මුදල් ගලා එන්නට කටයුතු කරනවා නම් අපේ ගම්වල ඉන්න අය ඩුබායි යනවා. ඕමාන් යනවා. එතකොට ඒ අයට ලැබෙන්නේ පිටරට මුදල්. පිටරට මුදල් ලබා ගැනීමේ දී ඒ අයට වාසියක් ලැබෙනවා. මොකද ඉහළ තැනක තමයි වැටුප් තියෙන්නේ. එවැනිම තත්ත්වයක් මෙහෙ ඇති කළොත් පිටරට යන අසූතුන් දහසකට අවකාශ ලැබෙනවා මෙහෙ වැඩ කරන්න. පිටරට යන්​නේ නැතිව ලංකාවෙ ඉඳගෙනම පිටරටක වැටුපක් ලබාගෙන හවසට ගෙදර යන්නත් පුළුවන්. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ පහසුකම අපට ලබා දෙන්න පුළුවන් නම් ඒකෙන් කොච්චර ප්‍රයෝජනයක් තියෙනව ද? සාමාන්‍ය කාර්යක් නම් කෙරෙන්නේ අපට රුපියල්වලින් වැටුප් ගෙවන්න පුළුවන්. නමුත් එතැන කිසි වෙනසක් නැහැ. අපි පිටරට අයටත් කියනවා ‘ඔයගොල්ලෝ මෙහෙ ඇවිල්ල බිස්නස් කරනවා නම් අපට ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන පණිවිඩයයි අපි මේ දෙන්නේ.  


ප්‍රශ්නය:- මේ පනත් කෙටුම්පතේ තුන්වැනි සෙඩියුලය මගින් සමහර නීති වරාය නගරයෙන් අයින් කරලා තියෙනවා. ඒ අනුව ඒක වෙනම රාජ්‍යයක් ද කියන ප්‍රශ්නය පැන නගිනවා.  


පිළිතුර:- ඒක නිවැරැදි නෑ. මහ කොළඹ ආර්ථික කොමිසම 1978 දී ආරම්භ කරන කොට පනත් 37 ක් පමණ අයින් කළා. අයින් කරනවා කියන්නේ ඒ කටයුතු නොවෙනවා කියන එක නොවෙයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුම ඒ කරපු වැඩේ හරි. මෙතැනදීත් ඒක වෙන්නේ නැහැ කියන්​නේ නෑ. මෙතැන දී ද්විත්ව පාලනයකට යටත් කිරීමයි වෙන්නේ. මේ කොමිෂන් සභාවෙන් ඒ කාර්යභාරයත් වෙනවා. කොමිෂන් සභාවෙන් ඒ කාර්යභරය වෙනවා නම් තවත් පනත් මගින් ඒ කාර්යභාරයම කරන්න හදනවා නම් එතැන දී අවුලක් මතු වෙනවා. කොමිසමට බලය දීලා තියෙනවා. ඒ කටයුතු හරියාකාරව කරන්න. කොමිෂන් සභාවට තියෙනවා වගකීමක්. අනෙක් ආයතනත් සමග කතා කරලා ඒ ආයතනවල උපදෙස් හා අනුමැතිය ලබා ගනිමින් ක්‍රියාත්මක වෙන්න. එතකොට ආයෝජකයාට පහසුවක්. ඒ පහසුව අපි මේ රටේ ඇතිකිරීමට නම් අපි හොඳ සේවාවක් ලබාදීමට අවශ්‍යයි. අණපනත් වලින් සීමා කර ඇති තත්ත්වයන් කොමිෂන් සභාව යටතේ කරන්න පුළුවන්.  


ප්‍රශ්නය:-ආණ්ඩුවේම මන්ත්‍රීවරයකු වන විජේද‌ාස රාජපක්ෂ කියනවා ‘මේ කොමිසම ජාතික ආරක්ෂාවට බරපතළම තර්ජනයක් කියලා ?  


පිළිතුර:- එයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අපේ පැත්තෙන් පත් වුණාට එයාගේ අදහස් මේකට ගැලපෙන්නේ නැහැ. සම්පූර්ණ විරුද්ධ අදහස් තමයි එයා මෙතන ප්‍රකාශ කරන්නේ. එයාට මේ අදහස් කියන්න තිබුණේ ගෲප් මීටින් එකේ. අපේ කණ්ඩායම රැස් වෙනකොට එතුමා ඔය අදහස් ප්‍රකාශ කළා නම් ඒවාට නිසි උත්තර ලබාගන්න තිබුණා. එහෙම කරන්නේ නැතිව එයා මට හිතෙන්නේ වෙනම න්‍යාය පත්‍රයකට යටත්ව තමයි ක්‍රියා කරන්නේ කියලා. ගෘප් එකේදී කතා කරලා සෑහීමකට පත් විය හැකි පිළිතුරක් නොලැබුණා නම් ඔන්න වෙන තැනක කතා කළාට ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩු පක්ෂයේ ඉන්න අය වුණත් සමහර වෙලාවට විවිධ අවස්ථාවල දී ඔය වගේ හැසිරෙනවා අපි දැකලා තියෙනවා. මම ඕක පැහැදිලිවම දන්නවා. එයා අපේ පක්ෂයේ කෙනෙක් කියලා කිව්වට ගෲප් එකේදිවත් පෞද්ගලිකවත් කා එක්කවත් කතා කළේ නෑ. එයාගේ මතය ආණ්ඩු පක්ෂයේ ඉන්න කෙනෙක්ගේ මතයක් හැටියට අපිට පිළිගන්න බෑ.   


ප්‍රශ්නය:- ඔහුගෙන් මෙබඳු විරෝධයක් මතුවෙන්නේ?  


පිළිතුර:- විවිධ හේතු ඇති  


ප්‍රශ්නය:-මොනවද ඒ හේතු?  


පිළිතුර:- සමහර විට වෙන හස්තයක් එයාව හසුරුවනවා වෙන්නත් පුළුවන්. අපි දැකලා තියෙනවනේ එහෙම දේවල්. 2015 දී ඇමෙරිකාවේ ජෝන් කෙරී කිව්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් මේ රටේ රෙජින් චේන්ජ් එකට වියදම් කළා කියලා. ඒ සල්ලි කාට ද ගියේ? මෙහෙ ඉන්න අයටනේ ඒ සල්ලි ලැබුණේ. වෙන රටකට අවශ්‍ය නම් අපේ රටේ යම් යම් තත්ත්වයන් හදන්න ඒ වෙනුවෙන් මුදල් වෙන් කරනවා. ඒවා ලෝකයේ සිද්ධ වෙලා තියෙනවා. දැනුත් සිදුවෙනවා.  


ප්‍රශ්නය:-ඔබ කියන්​නේ විජයද‌ාස රාජපක්ෂ පසුපසත් එහෙම සල්ලියක් තියෙනවා කියල ද?  


පිළිතුර:- මම එහෙම කියන්නේ නෑ. නමුත් ඒ වගේ දේවල් වෙනවා කියලා තමයි මම කියන්නේ.

  
ප්‍රශ්නය:- පෝට් සිටිය වෙනුවෙන් ඔබ මෙච්චර පෙනී ඉන්​නේ ඔබේ පුතෙක් එහි වැඩ කරන නිසා?  


පිළිතුර:- මගේ පුතාට ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන්. පුතා ඉතාම දක්ෂයෙක්. මම තාත්තා හැටියට පුතා ගැන කියනවා නෙමෙයි. එයාගේ සුදුසුකම්වලට අනුව ලෝකයේ ඕනෑම තැනක එයාට රැකියාවක් කරන්න පුළුවන්. 2016 දී අපි හැමෝම නිකම් ඉන්න කාලේ අපට තනතුරු තිබුණේ නෑ. එයාගේ දක්ෂතාවයෙන් එයාගෙම උත්සාහයෙන් තමයි ඒ රැකියාව ගත්තේ. එතැන ඉඳලා දිගටම එයා රැකියාව කරගෙන යනවා. ළමයි ඉස්සරහට ද‌ාලා මෙහෙම කරන එක මම දකින්නේ නීච කටයුත්තක් හැටියටයි. අපි දේශපාලනයේ ඉන්නේ අපිට ඕනෑම දෙයක් දරාගන්න පුළුවන්. අපේ ළමයි ජනාධිපතිතුමාගෙ පුතා, අගමැතිතුමාගේ දරුවන්, බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙ දරුවන් ඉලක්ක කරගෙන මේ එක එක දේවල් පහත් විදියට කරන්නේ අපව දුර්වල කරන්න. නමුත් අපි ඕවායින් සැලෙන්නේ නැහැ. අපේ දරුවන්ට අයිතිය තියෙනවා ඕනෑම තැනක වැඩ කරන්න. මම මෙතැනදී ඉදිරිපත් වුණේ මේ රටට මේක යහපත් නිසයි. මම මෙතනදී විතරක් නෙවෙයි යුද්ධය තියෙන කාලයේදීත් ලෝකය වටේ ඇවිදිලා රණවිරුවන් වෙනුවෙන් මුදල් හොයාගෙන ආවා. රටේ ආර්ථික ප්‍රගතියක් ඇති කරන්න දිවා රෑ නොබලා අපි වැඩ කරලා තියෙනවා. එහෙම කළේ මගේ පුතා වෙනුවෙන් නෙවෙයි. මේ රටේ ඉන්න දූ පුතුන් වෙනුවෙන්. අපි දැන් වුණත් කටයුතු කරන්නේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්. ඒ නිසා පටු දේශපාලනය වෙනුවෙන් දරුවන් ගාව ගන්න එපා කියලා මම ඒ මහත්වරුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.  

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්