හොරු අල්ලනවා කියලා ආපු අපේ අය හොරුන්ට චොපර් දීලා යන්න වාහනත් දුන්නා


 

සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශ හරහා රටේ අවධානය තමන් වෙත දිනා ගැනීමට සමත්ව සිටී. ඒ මහතා සමග කළ සංවාදයකි මේ.

 

• ප්‍රශ්නය:- අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත මන්ත්‍රීවරුන් 118 අතර ඔබේ නමත් තියෙනවද?  


පිළිතුර:- මම බොහොම පැහැදිලිව, වගකීමෙන් කියනවා රන්ජන් රාමනායක කියන මං ගැන අවබෝධයක් රටේ ජනතාවට තියෙනවා. මම ඒගොල්ලන්ගෙන් සල්ලි අරන් ඒගොල්ලන්ටම කෑ ගහන කෙනෙක් නොවෙයි. කොමිසමේවත් මගේ නම සඳහන් වුණේ නැහැ. ඒ නිසා මම බොහොම වගකීමෙන් කියනවා මං අර්ජුන ඇලෝසියස්ව දැකලවත් නෑ, දන්නෙත් නෑ.  


• ප්‍රශ්නය:- ඔබට සල්ලි දෙන්න හැදුවෙත් නැද්ද?  


පිළිතුර:- වරක් මට දුරකතනයෙන් කතා කළා. ඒකේ රෙකෝඩින් එක මං ළඟ තියෙනවා. ඔහු මුදල් දෙන්න හදද්දී මම ප්‍රතික්ෂේප කළා. එහෙම මුදල් දෙන්න හැදුවේ ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙක් හරහා. ඉතින් මට පැහැදිලිව බොහොම වගකීමෙන් කියන්න පුළුවන් මම ඔය 118 නැහැ වගේම ඔවුන් අල්ලන සටනේ ඉදිරියෙන්ම ඉන්නවා.  


• ප්‍රශ්නය:- ඒ ලිස්ට් එක ඔබ ළඟ තියෙනවාද?  


පිළිතුර:- ජනාධිපතිතුමත් මට කතා කරල කිව්වා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කරන්න කියලා.  


• ප්‍රශ්නය:- ඔබ ඉල්ලීම් කළා ද?  


පිළිතුර:- ඔව්. මම ඒක යවලත් ඉවරයි. දින 14කට කලින් මට මේක ලැබෙන්න සලස්වන්න කියලා මම ඉල්ලීමකුත් කළා. ඒ වගේම අප සමඟ වැඩ කරන වීරෝදාර නිලධාරීන් ගැන යමක් කියන්න ඕනෑ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත ​ෙකා්දාගොඩ මහත්තයා ඒ වගේම සී.අයි.ඩී. එකේ ශානි අබේසේකර, රවී සෙනෙවිරත්න, එෆ්.සී.අයි.ඩී. එකේ ඩිරෙක්ටර් ධම්මික ප්‍රියන්ත හා අයි.පී. නිශාන්ත සිල්වා, ඒ.එස්.පී. තිසේරා මේ මහත්වරු මැරීගෙන වැඩ කරනවා. ඔවුන් බොහොම අමාරුවෙන් විමර්ශනය කරලා තමයි මේ තොරතුරු හොයාගෙන අපිටත් දීලා අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් කරන්නේ පක්ෂ පාට භේදයකින් තොරව.  
• ප්‍රශ්නය:- මොනවද ඒ විදියට ලබාගත් තවත් වැදගත් තොරතුරු?  


පිළිතුර:- සී.සී.ටී.වී. ඡායාරූප ටිකක් ලැබුණා. එක දේශපාලනඥයෙක් ලක්ෂ 100ක් ගැනලා බෑගයකට දාලා ඩිෆෙන්ඩරයකින් අරගෙන යනවා. සුමානයක් දෙකක් ඇතුළත ඒ තොරතුරුත් හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා.   


• ප්‍රශ්නය:- ඒ දේශපාලනඥයා ආණ්ඩු පක්ෂයේ ද? විපක්ෂයේ ද?   


පිළිතුර:- විපක්ෂයේ අයත් ඉන්නවා. විපක්ෂයේ බොහෝම ක්‍රියාකාරී මන්ත්‍රීවරුන්, භික්ෂුන් වහන්සේලා, පූජකතුමන්ලා, ක්‍රීඩකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඉන්නවා.  


• ප්‍රශ්නය:- ඔබ ආගමික නායකයන් ගැන කිව්වා. ඔවුන්ට මුදල් පූජා කළා ද දන්නේ නැහැ.  


පිළිතුර:- ඒක දන්නේ නැහැ. හැබැයි ඒ අය නීතිය ඉදිරියට ගෙනිච්චම මේ මුදල් ගෙවන්න පිණ්ඩපාතේ වඩීදෝ කියලා මට සැකයක් තියෙනවා.  


• ප්‍රශ්නය:- ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා මහින්ද රාජපක්ෂට අභියෝගයක් කළා ලිස්ට් එකේ ඉන්න තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් හෙළි කරන්න කියලා. ඒ අභියෝගය ගැන.  


පිළිතුර:- ඒක මහතීර් මොහොමඩ් වගේ අභියෝගයක්. ඒක හොඳයි. දැන් මහතීර් මොහොමඩ්ට පුළුවන් වුණානේ අවුරුදු අනූ දෙකක මේ වයසක මහත්තයා ඇත්තටම කළේ අපි වේදිකාවේ කියපු දේවල්නේ. අපේ අය වේදිකාවල කිව්වා විතරයි. ‘‘එයාර්පෝට් වහලා වරායවල් වහලා හොරු අල්ලනවා’’ කියලා මහතීර් මොහොමඩ් එ්ක ක්‍රියාවෙන් කරලා පෙන්නුවා. පැය විසි හතරක් තුළ එයාර්පෝට් වහලා ඇමැතිවරු නව දෙනයි, පොලිසියේ 200යි, විනිසුරුවරුන් 50යි, කූඨ ව්‍යාපාරිකයන් 44යි අත්අඩංගුවට අරගෙන ඩොලර් බිලියන 50ක් හොයාගත්තා. නජිබ්ගේ ගේ ඇතුළේ තිබිලා මුදල් බෑග් 248ක් හොයාගත්තා. මළ කෙළියයි, ඒකේ ලංකාවේ සල්ලිත් තිබුණා. රුපියල් ලක්ෂ 29ක්. ඕක අපූරුවට කරන්න තිබුණා 2015 ජනවාරි 9 වැනිදා. එහෙම නම් අහවල් ලේකම්තුමා ළඟ (නමක් කියයි) තිබුණ සල්ලි ටික ගන්න තිබුණා. මේ ගොල්ලෝ මේ ‘‘ගුඩ් ගවනර්ස්’’ වෙන්න ගියානේ. මහත්මා දේශපාලනය කරන්න ගියානේ. එයාර්පෝට් වහලා, හොරු අල්ලනවා කියලා කිව්ව කට්ටිය හොරුන්ට චොපර් දෙකක් දීලා යටින් යන්න වාහනත් දුන්නා. උන් ගිහින් මුදල් හංගා ගත්තා. ඒ හොරු දැන් අපිට අභියෝග කරනවා. එහෙම ගෙනියන්න බැරි වුණ ඒවා තිබුණා. මල්වානේ ගේ කරේ තියාගෙන යන්න බැහැනේ. තිරු නඩේසන් මට කතා කරල කිව්වා ඒකට එයාගේ සම්බන්ධයක් නැහැ කියලා. සුමනදාස අබේවික්‍රම කිව්වා ගෙයි වාස්තුවට කතා කළේ පුෂ්පා රාජපක්ෂ කියලා. එහෙම ගෙනියන්න බැරි නිශ්චල දේපොළ ටික අහුවුණා. අනිත් ටික මහතීර් මොහොමඩ් වගේ අපිට කරන්න තිබුණේ. මන් දන්නෑ හිතාමතා පැහැර හැරියා ද? ඩීල් එකක් හින්දා පැහැර හැරිය ද කියලා. හැබැයි ජනාධිපතිතුමා කිව්වා ‘‘සිද්ධ වෙච්ච දේවල් ශුද්ධ සිංහලෙන් ලුණු ඇඹුල් ඇතිව කියනවා’’ කියලා. මං හිතනවා ලක්ෂ 62ක ජනතාව ඒක දැන ගත යුතු දෙයක්.  


• ප්‍රශ්නය:- ලංකාවේ මැතිවරණ ක්‍රමය ඇතුළේ දේශපාලන සංස්කෘතිය ඇතුළේ මැතිවරණයක් ආවම ව්‍යාපාරිකයන් නොයෙක් ආකාරයෙන් උදව් කරනවා. මන්ත්‍රී දයාසිරි ජයසේකර බොහොම පැහැදිලිව කිව්වා ‘‘මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු මුදල් මැතිවරණ ව්‍යාපාරයට දැම්මා’’ කියලා.  


පිළිතුර:- එහෙම නම් මෙහෙම බලන්න ‘‘බ්ලැක් ලිස්ට්’’ වෙච්ච ආයතන තියෙනවනෙ. එහෙම බ්ලැක් ලිස්ට් වෙච්ච ආයතනවලට ටෙන්ඩර් දාන්න බෑ. දැම්මත් තෝරාගන්නේ නෑ. මැතිවරණයක් කියන්නේ ඩෙන්ඩර් කෝල් කළා වගේනේ. එහෙම වෙලාවට සල්ලි දෙනකොට විශේෂයෙන්ම හොයලා බලන්න ඕනෑ. කාට වැරදුණත් නීතිඥයකුට වරදින්න බැහැනේ. 2015 ජනවාරි 8 වැනිදාත් අපි දින්නනේ. මහ බැංකු වංචාව මුලින්ම වෙන්නේ 2015 පෙබරවාරිවලනේ. අනිත් එක වෙන්නේ අප්‍රේල්වලනේ. මේවා මාධ්‍ය හරහා ගියානේ. එතකොට අපි සේරම දෙනා දන්නවා මේක කුප්‍රකට ආයතනයක් කියලා. අපි හිතමු මගේ ඡන්ද කැම්පේන් එකට වෙලේසුදා හරි මධුෂ් හරි... එස්.එෆ්. ලොක්කා සල්ලි එව්වොත් අපි බාර ගන්නේ නැහැනේ. දේශපාලනඥයන් වශයෙන් අපට තියෙන්න ඕනෑ ‘‘සෙන්ස් එකක්’’ අපි ගනුදෙනු කරන්නේ කා එක්කද කියලා.  


• ප්‍රශ්නය:- මහ බැංකු බැඳුම්කර කොමිසමෙන් තමයි බොහෝ තොරතුරු එළියට ආවේ. මන්ත්‍රී දයාසිරිට මුදල් දෙනකොට ඒ තොරතුරු එළියට ඇවිත් නෑ.  


පිළිතුර:- හොඳයි අපි හිතමු එතුමා බබෙක් කියලා. එහෙම නම් දැන් පුළුවන්නේ ඒ මුදල් ආපහු යවන්න. එතුමා කියනවනේ ‘‘මේ මුදල් මං නොගත යුතුව තිබුණනේ’’ කියලා. එහෙම නම් දැන් පුළුවන්නේ මේවා මහජන මුදල් කියලා මහ දවාලේ මහ බැංකුවේ මහා මුදල් කොල්ලයක් කියලනේ කිව්වේ. මේ මංකොල්ලකාපු සල්ලිනේ. එතකොට මේ නඩු භාණ්ඩනේ මෙයා ළඟ තියාගෙන ඉන්නේ. මෙයාට දැන් පුළුවන්නේ හොඳ මනුෂ්‍යයෙක් විදියට... මේවා ආපහු යවන්න. ඒ වගේම මෙයා කිව්වා එයා එයාගේ ‘‘බිස්නස් පාට්නර්’’ කෙනෙක් කියලා. අපි ඒ කාලේ ඉඳලා ව්‍යාපාර කරපු කට්ටිය කියලා. සාමාන්‍යයෙන් ව්‍යාපාර කරන්නත් බෑ පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙකුට. ඔහොම කියන්න ගිහිල්ලා රාජිත සේනාරත්නට මන්ත්‍රීකමත් නැතිව ගියානේ ඒ කාලේ. මං දන්න විදිහට ව්‍යාපාර කරන්න බෑ. මේ අය මේ ලක්ෂ 10 නොවෙයි, තව ගොඩක් දේවල් අරගෙන තියෙනවා. ඒනිසා පරමාදර්ශී චරිතයක් වශයෙන් පෙනී ඉන්න එයාට පුළුවන් ඔය ලක්ෂ 10 ආපසු යවන්න.  


• ප්‍රශ්නය:- ඔබ වුණත් රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි අරගෙන තමයි ඡන්ද ව්‍යාපාර කළේ.  


පිළිතුර:- ඔව්. රත්නපුරේ ව්‍යාපාරිකයන්ගේ මුදලුයි පතල් කපලා කම්කරුවන්ට ගෙවලා මේ මහ පොළොවෙන් බොහොම සාධාරණව ලබාගන්නා ව්‍යාපාරිකයෝ හා මහ බැංකු හොරකම එකට සමාන කරන්න පුළුවන් ද? ඒක හරි තක්කඩි තර්කයන්නේ. ගොං තර්කයක්නේ. නීතිඥ මහත්තයා ගේන. ඇත්තටම මට සැකයක් තියෙනවා දයාසිරි මහත්තයා නීතිඥයෙක් ද කියලත්. නීතිඥ මහත්තයෙක් ගේන තර්කයක් නොවෙයිනේ ඕක. රත්නපුරේ ව්‍යාපාරිකයන් හා මහ බැංකුව හොරකම් කරපු අය කොහොමද එකට සමාන කරන්නේ? රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෝ අපට හැමදාම උදව් කරනවා. ඊයෙත් උදව් කළා. අදත් උදව් කරනවා. හෙටත් උදව් කරනවා. ඒ මගේ චරිතය හින්දා.  


• ප්‍රශ්නය:- මෙතැනදී අපට තාක්ෂණික තර්කයක් මතු කරන්න පුළුවන්. ඒ තමයි මැණික් ව්‍යාපාරිකයන් ඔබට සල්ලි දුන්නද? එහෙම නැත්නම් ඔබට සල්ලි දෙන්න වුණා ද කියලා.  


පිළිතුර:- මම ඔය ප්‍රශ්නයට මහ හඬින් සිනාසුනා කියලත් ලියන්න. ඒ කියන්නේ මම පිස්තෝල පෙන්නලා බලෙන් ගත්තා කියලා. රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන්ට හොඳ සිකියුරිටි තියෙනවා. ඒ අය බොහොම ධනවත් අය. තර්ජනය කරලා, ඒ අයගෙන් සල්ලි ගන්න බෑ. මම එහෙම ගත්තා නම් ඒ අයට පොලිසියට යන්න පුළුවන්. මන්ද, ඔය තර්කය දයාසිරිවත් කළේ නෑ. මේක මේ ඔබ ගේන තර්කයක්.  


• ප්‍රශ්නය:- මම ඒකයි කිව්වේ තාක්ෂණික තර්කයක් කියලා. ඔබ කියනවා ඔබට සල්ලි දුන්නා කියලා. තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඔබට සල්ලි දෙන්න වුණා කියලා.  


පිළිතුර:- අපි කොහොමද ඕක විසඳගන්නේ? අපි කොහොමද එහෙම බලහත්කාරයෙන් සල්ලි ගන්නේ?  


• ප්‍රශ්නය:- කාන්තාවකට මුදල් වංචා කළා කියලා ඔබට අධිකරණයේ නඩුවක් තියෙනවා.  


පිළිතුර:- අනේ මේ තාම ඒක ඔප්පු කරගන්න බැරිවෙච්ච එකක්. 2000 ඉඳන් තියෙනවා. අවුරුදු 8ක් තිස්සේ ඇදෙනවා ඔප්පු කරගන්න බැරිව. ඒක මේවට සම්බන්ධ එකක් නොවෙයි. මගේ කලා රසිකාවියක්, මම හින්දා පිස්සු හැදිලා. දැන් පියයුරු පිළිකාවක් හැදිලා ඇය ආදරයෙන් උමතු වෙලා කරන එකක්. ඒක මේ ඡන්දෙකටවත්, මොකකටවත් සම්බන්ධ එකක් නොවෙයි. ඒක මේ කලා ලෝකයේ වුණු දෙයක්.  


• ප්‍රශ්නය:- ඔබ දූෂණයට ඔය තරම් විරුද්ධ නම් ඇයි කෝප් කමිටු වාර්තාවට අත්සන් නොකළේ.  


පිළිතුර:- කෝප් කමිටුව කාලේ මාව එස්.බී. ඇමැතිතුමා යවලා තිබුණා ජපානයට. මම ජපානයේ ඉන්නකොට මට ගරු අගමැතිතුමා දුරකතනයෙන් කතා කරලා කිව්වා ‘‘ඇවිල්ලා මේකට අත්සන් කරන්න’’ කියලා. එතකොට කෝප් කමිටුව සම්බන්ධයෙන් මම ස්වාධීනව හිටියේ. මම හැමදාමත් දූෂණයට විරුද්ධ නිසා අත්සන් කරන්න ආවේ නෑ. ආපු දවසේ තමයි පාද සටහන්වලට අත්සන් කරන්න තිබුණේ. ඒ ඇවිල්ලත් මම සුනිල් හඳුන්නෙත්තිට කතා කරලා කිව්වා ‘‘මගෙන් මොනවද කෙරෙන්න ඕනෑ මම විරුද්ධයි’’ කියලා. මම ඒ කිසිම කල්ලියකට නතු වෙන්නේ නැතිව මම බොහොම ස්වාධීනව හිටියේ. මේ කොමිසම හා මේ පරීක්ෂණ ස්වාධීනව දේශපාලන අතපෙවීම්වලින් තොරව කරගෙන යන්න. ඒක තමයි වුණේ.  


• ප්‍රශ්නය:- ඇයි ඉතින් ඔබ අත්සන් නොකළේ?  


පිළිතුර:- ඒක ස්වාධීන මතය මගේ. මම කියන්නේ එම දෙයට අපි අත්සන් කළ යුතු නැහැ කියලයි. එතකොට මගේ පක්ෂයේ සියලු දෙනා අත්සන් කළා ඒකට. මම කෝප් කමිටුවේදී මුලින්ම කිව්වේ අර්ජුන මහේන්ද්‍රන් ගේන්න කියලා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්තයා කෝප් කමිටුවට ආවම අර්ජුන මහේන්ද්‍රන්ගෙන් මෙතැන වරදක් හොරකමක් වෙලා තියෙනවද කියලා මම ඇහුවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න කරපු කෙනෙක් මම. ඒ නිසා මට චෝදනා කරන්න බෑ. මම එදාම තමයි ජපානයේ ඉඳල ආවේ. මම සුනිල් හඳුන්නෙත්ති මහත්මයට කතා කරලා ඇහුවා මම අත්සන් කරන්න එන්න ඕනෑමද කියලා. ඊට පස්සේ මම හිතුවා නෑ මම අත්සන් කරන්නේම නෑ. මම ස්වාධීනව ඉන්නවා, කිසිම කල්ලියකට යන්නෙත් නෑ. මේකේ යම්කිසි වංචාවක් වෙලා තියෙනවා කියලා මම හිතුවා. හර්ෂ ද සිල්වාගෙන්, ඉරාන් වික්‍රමරත්නගෙනුත් ඇසුවා. ඒ අයත් කිව්වා මේ වගේ දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා මම නිහඬව හිටියා.  


• ප්‍රශ්නය:- ලිස්ට් එකේ මන්ත්‍රීවරුන් 118 දෙනකුගේ නම් තියෙනවා. දයාසිරිගේ නම විතරක් එළියට ආවේ ඔහු විශ්වාසභංගයේ දී අගමැතිවරයාට එරෙහිව ඡන්දය දීලා විපක්ෂයට ගිය නිසයි?  


පිළිතුර:- ඒකත් දයාසිරි ජයසේකර මහත්තයාගේ ගොං නීතිඥ තර්කයක්. එහෙම නම් ඇයි අපි රවි කරුණානායකගේ නම ඇද්දේ? එයා අපේ උපනායකයා. එයත් පොහොට්ටුවට ගිය හින්දද? මේ දෙන්නම අහුවුණේ. හොඳට මතක තියාගන්න මම අද කියන්නම් රවි කරුණනායකගේ ‘‘පේමන්ට්’’ එක ඇදුනේ අර්ජුන් ඇලෝසියස්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවපු නිසයි. ඒක ලිඛිතව තියෙන නිසයි. දයාසිරි අහුවුණේ දයාසිරිට දුන්නේ චෙක් එකක්. සල්ලි දුන්නා නම් අහුවෙන්නේ නෑ. අර්ජුන ඇලෝසියසුත් බොහොම සටකපට පුද්ගලයෙක්. ඔහු ගෙවලා තියෙන්නේ තමනුත් ආරක්ෂා වෙලා. මේ දෙන්නම අහුවුනේ ලිඛිත සාක්ෂි තියෙන නිසයි. සමහර අයට දීලා තියෙන්නේ වාහනවලින්, සමහර අයට දීලා තියෙන්නේ ඉඩම්වලින්. සමහර ඒවා දීලා තියෙන්නේ මොකක්හරි පදනමකට. සමහර ඒවා දීලා තියෙන්නේ කොම්පැනි හරහා. දයාසිරිට දීලා තියෙන්නේ කෑෂ් චෙක් එකක්. මේ අහුවෙලා තියෙන්නේ පළමු පාර්ශ්වයේ අය. තුන්වැනි පාර්ශ්වයක් හරහා ගත්ත ඒවා හොයන්න ටිකක් කල් යනවා.   


• ප්‍රශ්නය:- හොරු අල්ලන්න ආපු ආණ්ඩුවෙන් තමයි ලොකුම හොරකම් වුණේ?  


පිළිතුර:- ඒත් අපි ඇල්ලුවනේ. ඇමැතිවරු කී දෙනෙකුට අයින් වෙන්න වුණා ද? ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා දැව සංස්ථාවේ සභාපතිවරයා ඇල්ලුවා. ගිය ආණ්ඩුව ගැන කතා කළොත් හිටපු ජනාධිපති ලේකම් දැන් ඉන්නේ ඇප පිට. මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ මේ ඔක්කොම ඉන්නේ ඇප පිට. උදයංග වීරතුංගට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා.  


• ප්‍රශ්නය:- එතකොට අර්ජුන් මහේන්ද්‍රන්?  


පිළිතුර:- ඔහුට රතු වරෙන්තු නිකුත් කරලා තියෙනවා.   


• ප්‍රශ්නය:- නමුත් ඔබ ඒ ගැන කතා කරන්නේ නෑ.   


පිළිතුර:- මම සමාජ සුබසාධන රාජ්‍ය ඇමැති. මම පසුගිය දවස්වල සිංගප්පූරු ගිය වෙලාවෙත් ටිකක් හොයලා බැලුවා. ඒ එපාර්ට්මන්ට් එක පැත්තටවත් යන්න තහනම්. ඒවා පෞද්ගලික එපාර්මන්ට්. අපට යන්න අවසර නෑ. අපි නිල් වරෙන්තු රතු වරෙන්තු නිකුත් කරලා තියෙනවා.  


• ප්‍රශ්‍නය:- අගමැති රනිල් කිව්වා ‘‘ඔහු මගේ මිත්‍රයෙක්. අවශ්‍ය වෙලාවට ගෙන්නලා දෙන්නම්’’ කියලා.  


පිළිතුර:- එතුමා එහෙම ප්‍රකාශයක් කළා. එහෙම කිව්වා නම් එතුමා කියන දේ කරලා පෙන්වන්න ඕනෑ.  


• ප්‍රශ්නය:- මම ප්‍රශ්න කළේ ඒ ගැනයි. ඔබ එ් ගැන කතා කරන්නෙ නෑ.  


පිළිතුර:- මාව හරි විදිහට අධ්‍යනය කළා නම් ඔහොම කියන්නේ නෑ. මම මේ සේරම කරන්නේ ලොකු කැපකිරීමක් කරලා. මම මගේ පඩිය ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. 220න්ම ලක්ෂයේ පඩිය ප්‍රතික්ෂේප කළේ මම විතරයි. ජේවීපී එකේ අයත් ගත්තා. පැමිණීමේ දීමනාව 2500 ගත්තා. මම ගන්නේ නෑ. පසුගිය අවුරුදු දෙකේම පඩි වැඩිවීම් මම ගත්තේ නෑ. සැප වාහන ගත්තේ නෑ. මට ලැබුණු පර්මිට් එක විකුණලා ඒ සල්ලිවලින් අහිංසක දරුවන්ට ආධාර කරනවා. සුබසාධන කටයුතු කරනවා. මට තාම ගෙයක් දොරක් නෑ. මේවා ගැන කතා කරලා මට නඩු 28ක් දාලා තියෙනවා. මම හඬක් නගන්නේ නෑ කියලා ඔබ කියනවා නම් මෙතරම් හඬ නගපු කෙනෙක්ගේ නමක් කියන්න කියලා මම ඔබට අභියෝග කරනවා. මේ සටනේදී මට ‘‘ගොන්ජා’’ කියලා කියනවා. ලිංගික නම්වලින් බණිනවා. වන්ෂොට් කියලා කියනවා. සංක්‍රාන්තික ලිංගිකයෙක් කියලා කියනවා. මට මගේ යාළුවොත් කියනවා ‘‘ඇයි ඔච්චර බැණුම් අහන්නේ’’ කියලා. අනිත් අය වගේ දෙන දෙයක් කාලා ඉන්නකෝ කියලා.  


• ප්‍රශ්නය:- ඔබට වෙලා තියෙන්නේ ඔබ හිතනවා ‘‘ලංකාව කියන්නේ ෆිල්ම් එකක්’’ කියලා.  


පිළිතුර:- ඇත්තෙන්ම. චිත්‍රපටිවලින් පෙන්වන දේවල් ඇත්තට කරන්න පුළුවන්නම් කොච්චර හොඳද? චිත්‍රපටවල තියෙන මනුෂ්‍යත්වය, අයුක්තියට අසාධාරණයට එරෙහිව කරන සටන් ඇත්ත සමාජයේ කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳ ද? ඇත්තටම මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්