හොරු අල්ලනව කියපු ආණ්ඩුව මහ දවල්​ හොරකමේ යනවා


යහපාලන ආණ්ඩුවේ වසර දෙකක් ගෙවෙන මේ මොහොතේ ගෙවුණු වසර දෙකේ හොඳ නරක පිළිබඳව පක්ෂ විපක්ෂ මතය විමසන සාකච්ඡාවකි මේ.

 

ආණ්ඩුවට අවුරුදු දෙකයි. මොකක්ද ජවිපෙ අදහස?  
මේ ආණ්ඩුව අවුරුදු දෙක වෙද්දි ආණ්ඩුවෙ නොහැකියාව සහ අසාර්ථකත්වය හොඳටම පෙන්නලා තියෙන්නේ. ආණ්ඩුව බලයට එද්දී ජනතාවට දීපු බලාපොරොත්තු එකක්වත් හරියාකාරව ඉටු කරන්න බැරිවෙලා තියෙනවා. ආර්ථිකය ගැන දීපු පොරොන්දු තනිකර සුරංඟනා කතා බවට පත්වෙලා. රටේ සම්පත් විකුණගෙන කනවා. අනික් පැත්තෙන් දවසින් දවස ජනතාවට බදු බර පටවනවා. අලුතෙන් බදු පනතක් ගේන්න උත්සාහ කරනවා. සහන කපාගෙන යනවා. ජනතාවගේ සාක්කු පුරවනවා කියලා ආපු ආණ්ඩුව අවුරුදු දෙක යනකොට ජනතාවගේ සාක්කු සුද්ද කරන්න පටන් අරගෙන. ඒ වගේම මේ ආණ්ඩුව දීපු ලොකුම පොරොන්දුව වංචා දූෂණ පිළිබඳ කතාව. අද ඒවා කෙරෙන්නෙත් නැ. වංචා දූෂණ නවත්තනවා කියලා ආපු ආණ්ඩුව කලින් අයටත් වඩා වේගයෙන් ඒ වැඩේ කරගෙන යන්න පටන් අරගෙන. මහ බැංකු බැඳුම්කර මගඩියට සහාය දෙන්න ගිහින් හිටපු මුදල් ඇමැති අල්ලස් චෝදනා යටතේ ඉල්ලා අස්වෙනවා. මේ ආණ්ඩුවෙ අය හොරකම් පටන් ගත්තු නිසා පහුගිය රජයේ මහ පරිමාණ හොරුන්ගෙ පරීක්ෂණ යට යනවා. අද ඒ හොරු මේ හොරුන්ට ඇඟිල්ල දික් කරනවා. හොරු අල්ලනවා කියලා ආපු ආණ්ඩුව හොරු අල්ලනවා වෙනුවට මහ දවල් හොරකමේ යන්න පටන් අරගෙන. කොයි අතින් බැලූවත් මේ ආණ්ඩුව අසාර්ථක අසමත් ආණ්ඩුවක් කියන එක තමයි ඔප්පු වෙමින් තියෙන්නේ.  
ආණ්ඩුවෙ අය නම් කියන්නේ දැන් රටේ සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙනවා කියල.

  
ඔය කියන සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපි දැක්කා සයිටම් එකට විරුද්ධව පෙළපාළි ගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ආණ්ඩුව සලකපු ආකාරයෙන්. එදා වගේම අදත් මහ දවල් සුදු වෑන්වලින් ඇවිත් එම නායකයො පැහැර ගන්න හදනවා. තවත් ශිෂ්‍ය නායකයන් හිරේ දාලා මේ විරෝධය මර්දනය කරන්න හදනවා. මේක තමයි ආණ්ඩුවෙ ඔය කියන සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ආණ්ඩුවෙ බැරිකම හොඳක් හැටියට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල කියන එක විහිළුවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන ලක්ෂණයක් තමයි මැතිවරණ නියමිත කාලයට පැවැත්වීම අද ඒක දින නියමයක් නැතුව කල් දමමින් ඉන්නවා. ඒකද ඔය කියන සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය  


චෝදනාවක් එල්ලවුණු පමණින් හිටපු මුදල් ඇමැති ඉල්ලා අස්වුණා කියලා අගමැතිතුමා ආඩම්බරෙන් කියනවා.   


මේ ආණ්ඩුවෙ දුර්වලතාව නිසාම තමයි මේවා වෙන්නේ. මේ ඉල්ලා අස්වීම ආණ්ඩුවෙ හොඳකම නිසා වෙච්ච දෙයක් නෙවෙයි. එච්චර හොඳ නම් චෝදනාව ආපු ගමන් ඉල්ලා අස්වෙන්න තිබුණනේ. ඒක කරන්න සිද්ධ වුණේ අන්තිමටම හිරවෙන්න ගියාම. ඒ වෙලාවෙත් බේරිලා යන්න පුළුවන් වුණානම් යනවා. මොනවද මේ වගකිවයුතු ඇමැතිවරයෙක් ජනාධිපති කොමිසමේ දීපු පිළිතුරු කිසිවක් දන්නෙ නෑ. මතක නෑ කියන ඇමැතිවරයෙක් කොහොමද ආණ්ඩුවක ඇමැතිකමක් කරන්නේ. මේක පුදුම විහිළුවක්. හිටපු මුදල් ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම හරහා ප‍්‍රදර්ශනය වෙන්නේ ඔහුගේ හෝ ආණ්ඩුවේ සදාචාරය නෙවෙයි. දෝශාභියෝගයක් ගෙනල්ලා වැඩ වරදින්න යනකොට වෙන කරන්නට දෙයක් නැතුව කරපු දෙයක් විතරයි මේක.  


බලන්නකෝ ඒ පුරප්පාඩුවට පත් කරපු කෙනා. එයත් කලින් යම් යම් චෝදනා එල්ලවෙලා ඉල්ලා අස්වෙන්න වෙච්ච ඇමැතිවරයෙක්. මේකද ආණ්ඩුවෙ සදාචාරය? මාර සදාචාරයක්නේ මේක. ආණ්ඩුව සදාචාරය කියන වචනෙත් එක්කත් විහිළු කරනවා.  
විජේදාස රාජපක්ෂට ගේන්න යන දෝෂාභියෝගය හරහා ආණ්ඩුව ඇතුළෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිටාර ගලනවා කියලනේ ඒ අය කියන්නේ?   
ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙවෙයි. ආණ්ඩුවෙ ඇමැතිවරු පාලනය කරගන්න බැරිවීම. අද කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමක් නෑ. ඇතුළෙ තීරණ අරගෙන එළියට ඇවිත් විවේචනය කරනවා. අධිකරණ ඇමැතිවරයා ගැනත් ලොකු විවේචනයක් රටේ තියෙනවා. කොහොම වුණත් මේ හරහා වුණත් අපිට පේන්නේ ආණ්ඩුව ඇතුළේ අර්බුදය මිසක් වෙන දෙයක් නොවෙයි.  


ආණ්ඩුවෙ ඉතිරි කාලය ගැන ඔබලගෙ දේශපාලන අනාවැකිය මොකක්ද?  
අපිට එහෙම අනාවැකි කියන්න අමාරුයි. මොකද ආණ්ඩුව වැඩ කරගෙන යන විදියට තව කොයිතරම් කාලයක් යයිද කියන්න බෑ. අවුරුදු දෙක ඇදගෙන ආවෙත් බොහොම අමාරුවෙන්නේ. රටේ ජනතාව දැන් තීන්දු කරන්න ඕනෑ දැන් මේ ආණ්ඩුවට මොකක්ද කරන්නේ කියලා. මොකද මේ ආණ්ඩුව පහුගිය රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙනස් වෙන්නේ නෑ. ඒකයි. දැන් රටේ ජනතාව තේරුම් ගන්න දේ. හොරකම් අල්ලනවා හෝ හොරකම් නතර කරනවා කියල එන අයට නෙවෙයි ඊළඟට ජනතාව බලය දෙන්න ඕනැ හොරු නොවන පිරිසකට.

ප්‍රියන්ත කොඩිප්පිලි