සොරුන්ට දඬුවම් ලැබෙනවා නම් ඒක තමයි රටේත් ජනතාවගේත් ප්‍රා​ර්ථනය


ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන

 

එක්සත් ජාතික පක්ෂයේ කළ යුතු ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් සොයා බැලීමට රුවන් විජයවර්ධන කමිටුව පත් කෙරිණි. ඒ කමිටුවේ වාර්තාව පක්ෂයට බාර දුන් බව වාර්තා වුවද එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක වූ බවට පුවත් වාර්තා වූයේ නැත. එහෙයින් ඒ පිළිබඳව විමසමින් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේ සටහන් කර තබමු.  


ප්‍රශ්නය:- හොරු අල්ලන්න ආපු ආණ්ඩුව ඇතුළෙමයි ලොකුම හොරු ඉන්නේ?  


පිළිතුර:- නෑ. එහෙම කියන්න බෑ. පාර්ලිමේන්තුවේදී අපි පහුගිය බදාදා ලොකු පියවරක් ගත්තා විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවන්න. ජනතා මුදල් හොරා කාපු වංචා, දූෂණවල යෙදුණු අයට එරෙහිව ඒ හරහා කඩිනමින් පරීක්ෂණ කරන්න පුළුවන්. ඇමැතිවරුන් හැටියට අපිට එහෙම විශේෂ අධිකරණයක් පිහිටුවන්න කියන සටන දැන් සෑහෙන කාලයක ඉඳලා කළා. ඒ සටන ජයග්‍රහණය කළා. මෙහෙම අධිකරණයක් පිහිටෙව්වාම ලොකු දෙයක්. විශේෂයෙන්ම මේ සමාජය ඉල්ලා සිටියේ හොරුන්ට දඬුවම් කරන්න කියලනේ. ඒ අරමුණට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. පහුගිය ආණ්ඩුවේ විතරක් නොවෙයි මේ ආණ්ඩුවෙත් හොරකම් වෙනවා නම් ඒ අධිකරණය හරහා පරීක්ෂණ ඉක්මන් වෙලා දඬුවම් විඳින්නත් වෙයි.  


ප්‍රශ්නය:- මෙවර කෝටි දෙකක අල්ලසක් අරගෙන කොටු වෙන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා හා හිටපු ජනාධිපතිනියගෙ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියායි. මේ සල්ලි යන්නේ කාගේ අතට ද කියලත් ප්‍රශ්න කරන අය ඉන්නවා?  


පිළිතුර:- හැබැයි එක දෙයක් තියෙනවා. මොනවා වුණත් මේ ආණ්ඩුවේ කවුරු වුනත් හොරකමක් කළා නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඕක පහුගිය ආණ්ඩුවේ වුණේ නැති දෙයක්. පහුගිය ආණ්ඩුව කාලේ ඕනෑම හොරකමක් කරලා නිදහසේ ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් මේ ​ආණ්ඩුවේ විශේෂත්වය තමයි මොනවා හරි හොරකමක් වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ අයට එරෙහිව නීතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම. ඒක එහෙම විය යුතුයි කියන ස්ථාවරයෙ අපි හැමෝම ඉන්නවා. දේශපාලනඥයන්ගේ විතරක් නොවෙයි අමාත්‍යාංශවල ඉන්න නිලධාරින් පවා යම්කිසි වැරැද්දක් කරනවා නම් ජනතාවගේ මුදල් හොරකම් කරනවා නම් ඒ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක මේ ආණ්ඩුවේ හොඳ තත්ත්වයක් හැටියටයි මම දකින්නේ.  


ප්‍රශ්නය:- ඒක ආණ්ඩුවේ හොඳ කමට වඩා ආණ්ඩුවේ තියෙන බෙදීම නිසා සිද්ධවෙන බවයි කියන්නේ. බැඳුම්කර හොරකම ජනාධිපති ඇද්දා. මේ අල්ලස් ගැනීම අගමැතිවරයා ඇද්දා?  


පිළිතුර:- ඒකත් හොඳයිනේ එහෙනම්. එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒකත් හොඳයි. එතකොට හොරු ටික ඇල්ලෙනවනේ. නමුත් ඔබ කියන දේ නොවෙයි මෙතැන වෙන්නේ.  


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් බැඳුම්කර හොරකම අල්ලපු එකට ලැබුණු ‘රිප්ලයි’ එක තමයි මේ?  


පිළිතුර:- නෑ නෑ බැඳුම්කර ප්‍රශ්නයේදී මෙහෙම වංචාවක් වුණා කියලා ලොකු කතාවක් ගියා. එතැනදී ජනාධිපතිතුමා හරි තීරණයක් අරගත්තා. කොමිසමක් පත් කරලා ඒ ගැන හොයාල බලන්න. ඒක මම හිතන්නේ ඒ අවශ්‍ය වැඩ කටයුතු ඒ කොමිසමෙන් වුණා. එහෙමයි කියලා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාව එක්සත් ජාතික පක්ෂය ‘ටාගට්’ කළා කියලා කියනවා නම් මෙතැන එහෙම එකක් නෑ. නමුත් මොනවා වුණත් හොරු ටික තමයි ඇල්ලෙන්න ඕන. හොරු ටික ඇල්ලෙනවා නම් හොරුන්ට දඬුවම් ලැබෙනවා නම් ඒක තමයි රටේත් ජනතාවගේත් ප්‍රාර්ථනාව.  


ප්‍රශ්නය:- ආණ්ඩුවට අවුරුදු තුනයි. හොරකම් කළා මිසක් මේ අවුරුදු තුනට කරපු දෙයක් නැහැ කියලත් චෝදනාවක් තියෙනවා.  


පිළිතුර:- අපි රට බාර ගන්න කොට අපට බාර ගන්න වුණේ ණය කන්දක්. එහෙම බැලුවම මේ අවුරුදු දෙක හමාරට තුනට අපිත් කරලා තියෙන්නේ දුෂ්කර ක්‍රියාවක්. රටේ තියෙන ණය ගෙවලා දාලා ර​ෙට් ආර්ථිකය හරි තත්ත්වයට ගෙන ඒම ඇත්තටම දුෂ්කර ක්‍රියාවක්. ඒක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. නමුත් ජනතාව හුරුවෙලා තියෙන්නේ භෞතික සම්පත් ඇහැට පේන දේවල් දිහා බලලනේ සංවර්ධනයක් වුණාද නැද්ද කියලා කියන්නේ. නමුත් සංවර්ධනය ක්ෂේත්‍රයේ කරලා තියෙන විප්ලවය දිහා බලන්න. ඒවා ඇතැම් විට ඇහැට පේන්නේ නෑ. නමුත් ඒවා රටේ අනාගතයට කරන ආයෝජන. අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ටික ලබා දීලා තියෙනවා. තාක්ෂණ අධ්‍යාපනය දියුණු කරන්න පියවර අරගෙන තියෙනවා. අධ්‍යාපනය දියුණු කිරීම රජය ප්‍රතිපත්තියක් විදියට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා සංවර්ධනයක් වෙලා නෑ කියන කතාව මම ප්‍රතික්ෂේප කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කරලා ඒකේ කටයුතු කරගෙන යනවා. මාස දෙක තුනෙන් ඒ වැඩ කටයුතු අවසන් කරන්න බෑ. කොහොම වුණත් යෝධ සංවර්ධන ව්‍යාපෘති රට තුළ ක්‍රියාත්මක වෙනවා. මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඒක මේ ආණ්ඩුවේ විශාල අඩුපාඩුවක්. ඒ තමයි රජය කරන දේවල් හරි විදියට ර​ෙට් ජනතාවට කියන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඒ වරද කවුද බාර ගන්න ඕනෑ?  


පිළිතුර:- ඒ වරද රජයක් විදියට අපි බාරගන්න ඕනෑ. නායකයෝ දෙන්නා විතරක් නොවෙයි සමස්ත රජයම ඒ වගකීම බාරගන්න ඕනෑ. අපි කරන දේවල් හරියට සමාජගත! වෙන්නේ නෑ. රටේ ජනතාව හරියටම දන්නේ නෑ අවුරුදු තුනක් තිස්සේ මේ රජය මොනවද කළේ කියලා.  


ප්‍රශ්නය:- ඒ නිසාද ඔබ රුවන් විජයවර්ධන කමිටු වාර්තාවෙන් කිව්වේ පක්ෂයේ සන්නිවේදන අංශය පුළුල් ලෙස වෙනස් කරන්න ඕනෑ කියලා?  


පිළිතුර:- ඔව්. ඒක පක්ෂයට අදාළ කාරණයක් වුණාට පක්ෂය කියන්නේ ආණ්ඩුවනේ. ඒ අපේ කමිටු වාර්තාවේ නිර්දේශය හරි තැනට ඇවිත් තියෙනවා. අපේ හරින් ප්‍රනාන්දු ඇමැතිතුමාට ඒ වැඩ කටයුතු පක්ෂයෙන් බාර දීලා තියෙනවා. එතුමා දක්ෂයෙක්. තරුණයෙක්. මාධ්‍යයත් එක්ක ජීවත් වෙන දේශපාලනඥයෙක්. එතුමාට විශේෂ කාර්ය භාරයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා ඉදිරි මාස දෙක තුන තුළදී අපේ සන්නිවේදන අංශය යථා තත්ත්වයට පත් වෙයි කියලා.  


ප්‍රශ්නය:- ඒ වගකීම ඔබ බාර ගත්තේ නෑ?  


පිළිතුර:- නෑ. ඒක ඉතින් පක්ෂය ගත්ත තීරණයක්. හරින් ප්‍රනාන්දු ඇමැතිතුමාට ඒ හැකියාව තියෙනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. එතුමාට අවශ්‍ය සහයෝගය අනිවාර්යයෙන්ම මම ලබා දෙනවා.  


ප්‍රශ්නය:- කැබිනට් එක විද්‍යානුකූල නෑ කියලා තේරුම් ගන්නත් ආණ්ඩුවට අවුරුදු තුනක් ගියා?  


පිළිතුර:- කැබිනට් එකේ සංශෝධනයක් අවශ්‍යයි කියලා ජනාධිපතිතුමාගේ අදහසක් තිබුණා. ඒකට අගමැතිතුමාත් අපේ පක්ෂයත් දායක වෙලා අවශ්‍ය සංශෝධන කළා. අපිත් මේ සංශෝධන මගින් බලාපොරොත්තු වෙන්නේ මෙයටත් වඩා වැඩි සේවයක් රටට කරන්නනේ. කැබිනට් මණ්ඩලය පත් කරලා සති කිහිපයයිනේ. කාලයක් දෙන්න... ඒ ඇමැති වගකීම් බාර ගත්ත ඇමැතිවරුන්ට තමන්​ෙග් වැඩ පෙන්වන්න. ඉදිරියේදී ඒවා කෙරෙයි.  


ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පැන නැගුණු කැරැල්ල දැන් ඉවරද? එහෙම නැත්නම් අළු යට ගිනිද?  


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කැරැල්ලක් නෑ. එක්සත් ජාතික පක්ෂය තුළ තිබුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම අපේ පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවයක් තිබ්බා පක්ෂයට ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි අගමැතිතුමත් ඒ කාර්ය භාරය අපේ කමිටුවට බාර දුන්නේ. මාව ප්‍රධානියා හැටියට පත් කරලා මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පත් කරලා ඒ අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න කියලා කිව්වේ.  


ප්‍රශ්නය:- ඔබේ වාර්තාව ගැන ඔබ සෑහීමකට පත් වෙනවද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම අපි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් විමසුවා. පසුපෙළ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළා. විවිධ මට්ටමේ අපේ පාක්ෂිකයන් සමගත් සාකච්ඡා කරලා තමයි අපේ වාර්තාව අපි ඉදිරිපත් කළේ.  


ප්‍රශ්නය:- වාර්තාව ගැන ඔබ සෑහීමකට පත් වුණත් ඒ නිර්දේශ ක්‍රියාත්මක වීම ගැනත් ඔබ සෑහීමකට පත් වෙනවද?  


පිළිතුර:- අපි අගමැතිතුමා අපේ නායකතුමා එක්ක කතා කළා. එතුමා මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරලා තිබුණා අනිවාර්යයෙන්ම ඒ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා කියලා. පහුගිය බදාදාත් අපේ දේශපාලන මණ්ඩල කමිටුවක් එක්කත් නායකතුමා පැහැදිලිවම කිව්වා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න සියල්ල සූදානම්. අනික් කමිටුවල තියෙන වාර්තා ටිකත් ආවාම ඒවා ඔක්කොම එකතු කරලා ඒ කටයුත්ත කරනවා කියලා තමයි එතුමා කිව්වේ. නායකතුමා ඒ ස්ථාවරයේ ඉන්නවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරනවා කියලා.  


ප්‍රශ්නය:- නමුත් කැරැලිකාර මන්ත්‍රීවරුන් කියන්නේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතුයි කියලයි?  


පිළිතුර:- එහෙම ඉල්ලීමක් නෑ. අපේ පක්ෂය තුළ විවිධ මතවාද තියෙනවා. ඒ මතවාදවලට අනුව සමහරු කියනවා අලුත් නායකයෙක් අවශ්‍යයි කියලා. තවත් සමහරු කියනවා ‘ඉන්න නායකයා ඉන්න ඕනෑ’ කියලා. එහෙම විවිධාකාර අදහස් පක්ෂය තුළ තිබෙනවා. සියලු දෙනාගෙම අපේක්ෂාව පක්ෂය ජයග්‍රාහීව තබා ගැනීමයි. ඒ වෙනුවෙන් සියලු දෙනා සාමුහිකව වැඩ කරනවා. ඔබ කැරැලිකාර මන්ත්‍රීවරුන් කියලා කිව්වා. නමුත් එහෙම කැරැල්ලක් නැහැ. පක්ෂය තුළ තම තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා.  


ප්‍රශ්නය:- නමුත් ඔබේ කමිටු වාර්තාව ක්‍රියාත්මක නොකිරීම නිසා පක්ෂ​ෙය බහුතර මන්ත්‍රීවරුන් යම් යම් විරෝධතා ක්‍රියාමාර්ගවලටත් පෙළඹිලා?  


පිළිතුර:- සමහර පසුපෙළ මන්ත්‍රීවරුන් වගේම ඇමැතිවරුන් ටිකත් මේ නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියන අදහසේ තමයි ඉන්නේ. මේවා ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා ඒගොල්ලන්ගේ හිතේ කිසියම් සැකයක් තියෙනවා. නමුත් නායකතුමා ඉතාම පැහැදිලිව කියලා තියෙනවා මේ නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා. ඒ නිසා ඒ මන්ත්‍රීවරුන් ටිකත් ඉවසීමෙන් හිටියොත් හොඳයි. මොකද මේ කටයුතු අනිවර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා විශ්වාසයක් මට තියෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන්ට තියෙන්නේ දැඩි උවමනාවක්. නමුත් මේවා වෙනවා කියලා මම තදින්ම විශ්වාස කරනවා.  


ප්‍රශ්නය:- ඔබේ වාර්තාවේ තියෙනවා පක්ෂයේ නායකයා ඇතුළු නිලධාරි මණ්ඩලය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන් පත් කරන්න කියලා. නමුත් වුණේ ඒක නොවෙයි.  


පිළිතුර:- අපි කිව්වේ ඡන්දයකින් පත් කරන්න කියලා නොවෙයි. එතැනදී අපි අදහස් කළේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියලයි. ව්‍යවස්ථාව වෙනස් වෙලා පක්ෂයේ නායකයා විතරක් නොවෙයි නියෝජ්‍ය නායක මහා ලේකම් ඇතුළු පක්ෂයේ තියෙන ප්‍රධාන නිලතල ටික ජනාධිපතිවරණයකින් හෝ මහ මැතිවරණයකින් පසුව අනිවාර්යයෙන්ම ඡන්දයක් කියලා පත්කර ගත යුතුයි කියලයි අපි නිර්දේශ කළේ. එතකොට ඒ නායකයාට නායකත්වය මණ්ඩලයට අවුරුදු පහක් හයක් තියෙනවා පක්ෂයේ වැඩ කටයුතු හරියට කරගෙන යන්න. ඒකේ සාර්ථක අසාර්ථක භාවය මැනලා තීරණයක් ගැනීමේ හැකියාව ලැබෙනවා. පක්ෂයට අවශ්‍ය නම් අලුත් නායකයෙක් පත් කරගන්න පුළුවන්. නැත්නම් සෑහීමකට පත්වෙනවා නම් ඉන්න නායකත්වයත් එක්ක ඉදිරියට යන්න පුළුවනි. ඒ අදහස් තමයි අපි ඉදිරිපත් කළේ. ඒ ගැන අගමැතිතුමාත් එක්ක කතා කරනකොට එතුමත් එකඟ වුණා.  


ප්‍රශ්නය:- එකඟ වුණාට ක්‍රියාත්මක වෙන්නේ නෑ?  


පිළිතුර:- නෑ ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එතුමා පැහැදිලිවම කියලා තියෙනවා ඒවා ක්‍රියාත්මක කරනවා කියලා.  


ප්‍රශ්නය:- ඔබ කියනවා අගමැතිවරයා එකඟ වුණා කියලා. ඔබේ නිර්දේශවල තියෙනවා පක්ෂයේ මහ ලේකම්කමට මන්ත්‍රීවරයකු නොවෙන කාර්ය බහුල නොමැති කෙනෙක් පත් කරන්න කියලා. නමුත් මහලේකම් කමට පත් කළේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්?  


පිළිතුර:- ඒ ගැන අපි ගොඩාක් සාකච්ඡා කළා. අපේ මන්ත්‍රීවරුන්ගෙයි ඇමැතිවරුන්ගෙයි අදහස වුණේ පූර්ණ කාලීනව වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් ඒ තනතුරට දාන්න කියලයි. ඒ නිසා අපි අදහස් කළා ඉන්න මන්ත්‍රීවරයෙක් හරි ඇමැතිවරයෙක් හරි ඒ තනතුරට දානවා නම් මැතිවරණයකදී ජාතික ලැයිස්තුවෙන් එයාව පත් කරන්න ඕනෑ කියලයි. මොකද නැත්නම් එයාට ආසනයෙ වැඩයි දිස්ත්‍රික්කයේ වැඩයි අමාත්‍යාංශයෙ වැඩයි ඔක්කොම තියාගෙන මහ ලේකම් ධුරයේ ඉඳගෙන වැඩ කරන්න කාලය ප්‍රමාණවත් නෑ කියන අදහසින් තමයි අපි ඒ නිර්​ෙද්ශය ඇතුළත් කළේ. කොහොම වුණත් ඒ නිර්දේශ ඉදිරිපත් කළාට පස්සෙත් කවුද මහ ලේකම් ධුරයට ඉදිරිපත් වෙන්නේ කියලා අපි බැලුවා. අපි පක්ෂය ඇතුළෙ කට්ටියත් එක්ක සාකච්ඡා කළා. ඒ අදහස තිබුණට ගොඩක් අයට තමන්ගේ ආසනය හා දිස්ත්‍රික්කය, අමාත්‍යාංශය අත හැරල එන්න තරම් අදහසක් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි අපි තීරණය කළේ වෙනත් සුදුසු කෙනෙක්ව දාන්න.  


ප්‍රශ්නය:- පක්ෂයේ ප්‍රධාන ලේකම්කමට හිටපු ඇමැති ඉමිතියාස් බාකිර් මාකර්ගේ නම යෝජනා වුණා. නමුත් අගමැතිවරයාගෙන් ඒ නම කැපුණා.  


පිළිතුර:- ඉමිතියාස් බාකිර් මාකර් හිටපු ඇමැතිතුමා ගැනත් ඔව් ගොඩාක් දෙනෙක් කතා කළා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා එතුමගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනා කළා. නමුත් ඒ අවස්ථාවේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ අවස්ථාවේ තීරණයක් ගත්තේ නෑ. අකිල විරාජ් ඇමැතිතුමාට ඒ තනතුර බාර දිය යුතුයි කියන ස්ථාවරය තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ගත්තේ. සමස්තයක් හැටියට නොවෙයි බහුතරයක් ඒ ස්ථාවරය ගත්තා.  


ප්‍රශ්නය:- වැඩ වෙන්නේ ඔහොම නම් ප්‍රතිසංවිධානවලින් වැඩක් වෙයිද?  


පිළිතුර:- මෙහෙමයි. ඉමිතියාස් බාකිර් මාකර් මැතිතුමා කියන්​ෙන් අපේ ජ්‍යෙෂ්ඨයෙක්. අපි කවුරුත් ගරු කරන පුද්ගලයෙක්. අපේ පක්ෂයට විශාල ජවයක් කරපු කරන පුද්ගලයෙක් හැටියට අපෙත් අදහසක් තිබුණා එතුමා මහ ලේකම්කම බාර ගනී කියලා. නමුත් එක අවස්ථාවක එතුමා මට පෞද්ගලිකවත් කිව්වා මහ ලේකම් තනතුර වෙනුවට වෙන තනතුරක් බලමු කියලා. කොහොම වුණත් එතුමා අපේ පක්ෂයට අවශ්‍යයි. මගේ පෞද්ගලික අදහස නම් එතුමාට යම් කිසි තනතුරක් දිය යුතුයි පක්ෂය තුළ කියලා.    


ප්‍රශ්නය:- ඉතිහාසයත් එක්කම ගත්තොත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කියන්නෙම ඇස්බැන්දුම්. මෙවරත් එය වෙනස් වෙන්නේ නැහැ. 

 
පිළිතුර:- ඇස්බැන්දුමක් නම් නොවෙයි. අපේ වාර්තාවේ තියෙන යෝජනා ටික බැලුවොත් ඒක ඇස්බැන්දුමක් හැටියට කියන්න බෑ. අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් සියලු දෙනාම කියන්​ෙන් මේක ක්‍රියාත්මක කරන්න කියලයි.  


ප්‍රශ්නය:- මම කියන්නෙත් ඒ ක්‍රියාත්මක වීම ඇස්බැන්දුමක් කියලයි?  


පිළිතුර:- ඒවා ක්‍රියාත්මක වෙයි. අගමැතිතුමා ඒක පැහැදිලිවම කියලා තියෙනවා. එහෙම වචනය දීලා එතුමා ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න පුද්ගලයෙක් නොවෙයි. එතුමා වචනයක් දුන්නොත් එතුමා ඒක අනිවර්යයෙන්ම කරනවා. ඒ ගැන විශ්වාසයක් තියෙනවා මට.  


ප්‍රශ්නය:- තව මාස 18 කින් ජනාධිපතිවරණය එනවා. එජාපයේ අපේක්ෂකයා කවුද? පොදු අපේක්ෂකයෙක් දානවද?  


පිළිතුර:- මං හිතන්නේ පක්ෂයේ සම්මේලන​යේදීත් ගොඩාක්ම කතා වුණෙත් ගොඩාක් අදහස් ප්‍රකාශ වුණෙත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් තමයි ඉදිරිපත් කරන්න ඕනෑ කියලා. පක්ෂය සමස්තයක් හැටියට ගත්තොත් බහුතරයක් ඉන්නේ ඒ ස්ථාවරයේ. ඒ කියන්​ෙන් පක්ෂයේම අපේක්ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි කියලා.  


ප්‍රශ්නය:- කවුද පක්ෂයෙ අපේක්ෂකයා?  


පිළිතුර:- අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි?  


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියනවා ‘මම 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා. ඒ කියන්නේ ඔහුත් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා?  


පිළිතුර:- මං හිතන විදියට ඔව්. එතුමත් ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් විදියට එතුමා ඉදිරිපත් වේවි.  


ප්‍රශ්නය:- පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභයගේ නම කියැවෙනවා.  


පිළිතුර:- ගෝඨාභය කියලා කියනවා. බැසිල් කියලා කියනවා. චමල් රාජපක්ෂ කියලත් කියනවා. සහෝදරයන් කතාවෙලා කවුරු හරි සහෝදරයෙක් ඉදිරිපත් වෙයි. සහෝදර සමාගමක හැටියටනේ එතැන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් සහෝදරයෙක් එයි. ඒ අභියෝගයටත් මුහුණ දෙමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අපට වැඩ කරන්න වෙනවා.  


ප්‍රශ්නය:- මේ නායකත්වය යටතේ දිනන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?  


පිළිතුර:- ඔව්. අනිවාර්යයෙන්ම? අපේ අගමැතිතුමා හතර වතාවක් අගමැතිවරයා හැටියට පත් වුණා. එතුමාට හැකියාවක් තියෙන නිසා තමයි පක්ෂයේ නායකයා හැටියට ඉන්නේ. මං හිතෙනවා එතුමාට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.

 

 

 

 

 

 සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්