සුළුවට කසිප්පු පෙරන්නේ වෙන ආදායම් මාර්ගයක් නැති නිසා


පොල් කිතුල් හා තල් සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු  

 

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මීගමුවට මාරු කර යැවීමත් සමග වෙන්නප්පුවේ දේශපාලන බල අධිකාරිය සම්බන්ධයෙන් නොයෙක් චෝදනා නැගී ආවේය. මේ ඒ චෝදනා සම්බන්ධයෙන් පොල්, කිතුල් හා තල් සංවර්ධන ආශ්‍රිතව කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගිකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- ඔබ කසිප්පු බාර ඇමැති ?  


පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථ නිරූපණයක්. ඇතැම් මාධ්‍ය සමාජ මාධ්‍ය ජාලාවලින් මවපු විකෘතියක්.  


ප්‍රශ්නය:-ඔබ එහෙම කිව්වත් වෙන්නප්පුවේ කසිප්පු ජාවාරම්කාරයන්ගේ පැත්ත අරගෙන සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මාරු කරලා ඇරියා.  


පිළිතුරු:- ඔබේ ප්‍රශ්නයේ කොටසක් හරි. කොටසක් වැරැදියි.  


ප්‍රශ්නය:-- හරි එක මොකක්ද?  


පිළිතුර:- සහකාර පොලිස් අධිකාරිවරයාව මාරු කරලා යැව්වේ මමයි. ඒකට මම මැදිහත්වුණා. ඒ වගකීම මම බාරගන්නවා. මහජන නියෝජිතයෙක් හැටියට මට මැදිහත්වෙන්න පුළුවන් සීමාව ඇතුළේ නීතිමය රාමුව ඇතුලේ ඔව් මම මැදිහත් වුණා.  


ප්‍රශ්නය:-- මගේ ප්‍රශ්නේ වැරදි කොටස මොකක්ද?  


පිළිතුර:- කසිප්පුකාරයන්ගේ පැත්ත අරගෙන කියලා ඔබ මට චෝදනා කළා. ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි.  


ප්‍රශ්නය:- එහෙමනම් එතැන වුණේ මොකක්ද?  


පිළිතුර:- මම ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ වෙන්නප්පුව දංකොටුව සංවර්ධන කමිටු දෙකේ දොරටු ජනතාවට විවෘත කළා. යහපාලන ආණ්ඩුව කාලේ ඒ සංවර්ධන කමිටුවලට මගේ ආයතනයේ හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ මිනිසුන්ට සහභාගිවෙන්න අවස්ථාව දුන්නේ නැහැ. නමුත් මම ජනතාවට ඒ සංවර්ධන කමිටු විවෘත කළා. එතැනදී රාජ්‍ය නිලධාරීන් සමග මම ඒ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කළා. මම එතැනදී කිව්ව කාරණාවක් තමයි මහා පරිමාණයේ කුඩු ජාවාරම්කාරයන් අල්ලන්න මහා පරිමාණයේ කසිස්පු ජාවාරම්කාරයන් අල්ලන්න. ඒ ජාල කුඩු පට්ටම් කරලා දාන්න කියලා.  


ප්‍රශ්නය:- එ් කියන්නේ සුළුවට කළාට කමක් නෑ.  


පිළිතුර- ඒක මෙහෙමනේ. මහාපරිමාණයෙන් කුඩු හෝ කසිප්පු ජාවාරම්කරන අය ඒවා කරන්නේ මුදල් යහමින් හම්බ කරන්න. සුළුවට කසිප්පු ව්‍යාපාරයේ යෙදෙන අය ඒක කරන්නේ වෙන ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැති නිසා. ඒ අයව අල්ලලා කූඩු කරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ අයට වෙන ආදායම් මාර්ගයක් හදලා දුන්නොත් ඒ අය ඔය ජාවාරම්වලින් මිදෙනවා. ඒක තමයි ඇත්ත. අපි නැති කරන්න ඕනෑ හේතුව. එහෙම නැතිව ඵලය නොවෙයි. එහෙම නැතිව ඒ අය අල්ලන්න එපා කියලා නෙවෙයි මං කිව්වේ. ඒ මිනිසුන්ට ස්වයං රැකියාවක් හරි දෑතේ රැකියාවක් හරි හඳුන්වලා දාලා ඒ අයව එතැනින් මුදා ගමු කියලයි.


ප්‍රශ්නය:- නමුත් සහකාර පොලිස් අධිකාරිවරයාට බලපෑම් කරන්නේ ඒ අය ඔබේ හිතවතුන් නිසයි.  


පිළිතුර:- සත්තකින්ම නෑ. මම මෙහෙම කියන්නම්කෝ. මගේ ආසනයේ විශාල වශයෙන් උළු මෝල්, ගඩොල් පෝරණු තියෙනවා. ඒ තැන්වල වැඩ කරන කම්කරුවන් තමයි ඔය පොඩි තැන්වලින් බොන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ තැන් එක පාරටම නැති කළොත් වෙනත් සමාජ ප්‍රශ්න මතු වෙනවා. මේවා එකිනෙකාට සම්බන්ධ දේවල්. සල්ලි නැති නිසානේ ඒ තැන්වලින් බොන්නේ. එකත් එක පාරටම වහලා දැම්මොත් සල්ලි සොයාගන්න. ඒ මිනිස්සු මොන මොන අපරාධවලට යොමු වෙයි ද මේවා ගැන ගැඹුරින් බලන්න අවශ්‍යයි.  


ප්‍රශ්නය:- ඔය කාරණාව අපි සහකාර පොලිස් අධිකාරිවරයා සමග සාකච්ඡා කරලා විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වලා දෙන්න බැරි වුණේ.  


පිළිතුර:- මේ පොලිස් නිලධාරියාට සිංහල තේරෙන්නේ නැහැනේ. ඒ නිසා එතුමා කියනවා මේකේ ලොකු එක්කෙනත් එකයි පොඩි එක්කෙනත් එකයි කියලා. ඒවා මේ ගැලරියට කරන කතානේ. මම කියන්නේ අපේ ප්‍රදේශයේ දිගටම කසිප්පු තියාගන්න ඕනෑ කියලා නෙවෙයි. මම කොහෙත්ම එතැන නෑ. අදටත් මං ඉන්න ස්ථාවරය තමයි සමහර පොලිස් නිලධාරීන් පගාව අරගෙන තෝරා, මෝරා බේරලා අරිනවා. බහුතරයක් හොඳ පොලිස් නිලධාරීන් ඉන්නවා. නමුත් ලොකුවට කුඩුබිස්නස් කරන අය කසිප්පු බිස්නස් කරන අය ඉන්නවා. මේ දූෂිත නිලධාරීන් ගනුදෙනු කරන්නේ ඒ අය සමගයි. පොඩියට කරන අයට එහෙම දෙන්න සල්ලි නැහැ. නාඩගම්කාරයෝ කියන ටෙලිනාට්‍යයෙ පෙන්වන්නෙත් ඒ කතාවට තමයි. ඒ කතාවෙ හැටියට මහා පරිමාණයෙන් කසිප්පු ජාවාරම්කරන අයට පොලිසියෙ රැකවරණය ලැබෙනවා. නමුත් පොඩි මිනිහව කුඩු දාලා හරි කුඩුවට දානවා. ඒකම තමයි වෙන්නප්පුවේ වුණෙත්. මම මතු කළේ ඔය කාරණාව තමයි.  


ප්‍රශ්නය:- නීතිය සැමට එකයි කිව්වට ඒක වෙන්නප්පුවට අදාළ නැද්ද?  


පිළිතුර:- සම්පූර්ණයෙන්ම අදාළයි. ඔය කියන සහකාර පොලිස් අධිකාරිවරයා සමග මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මැතිවරණ කාලෙදිවත් මට එතුමා සමග කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මම ඔය සංවර්ධන කමිටු තිබ්බේ ජනාධිපතිතුමා බලයට පත් වෙච්ච ගමන්ද මම පාර්ලිමේන්තුවට තේරී පත්වුණාට පස්සේ සංවර්ධන කමිටු හයක් තියනවා. හැබැයි එකකටවත් ඔය පොලිස් නිලධාරියා ආවේ නෑ. එතුමා විතරක් නොවෙයි වෙන්නප්පුවේ ඩිපෝ අධිකාරිවරයා එන්නෙත් නෑ. එතකොට මේ ඩිපෝ අධිකාරිවරයා සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැතිතුමාටත් සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් පොලිසිය බාර ඇමැතිතුමාටත් මම ලිපි දෙකක් යොමු කළා.  


ප්‍රශ්නය:- එහෙම පෙත්සම් ගහන එක හරිද  


පිළිතුර- පෙත්සම් නෙවෙයි. ලිපි දෙකක්නේ. ඇරියේ. එහෙම ලිපි දෙකක් යැව්වේ මේ නිලධාරීන් දෙන්නා සංවර්ධන කමිටු රැස්වීම්වලට එන්නේ නෑ. අනික් කාරණාව තමයි මට ජනතාවගෙන් පැමිණිලි පිට පැමිණිලි එනවා. සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් පැමිණිලි තොග පිටින් ආවා. මම පොලිසිය බාර ඇමැතිවරයාට ලිපියක් යවලා කියනවා මේ ගැන විමර්ශනයක් කරන්න කියලා. ඒක ඒ පොලිස් නිලධාරීන්ටත් කරන සාධාරණයක්. මේ ලියුම යවන්නේ ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසේ 3 වැනිදා. මෙතුමව මාරු කරන්නේ මාර්තු මාසයේ දී. එතකොට ඒ ලියුම නිසා ඒ නිලධාරියාව මාරු කළා කියලා කියන්න බෑ.  


ප්‍රශ්නය:- නමුත් ඔබ මුලින් කිව්වා ඒ මාරු කිරීමට ඔබ සම්බන්ධයි කියලා.  


පිළිතුර:- ඔව්. මම මැදිහත් වුණා. ඒ මගේ ජනතාව වෙනුවෙන් පොලිසිය බාර ඇමැතිතුමාට ලිපියක් යැවීමටත් ඒ මැදිහත්වීමේ එක අවස්ථාවක් තමයි. සරත් වීරසේකර අමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා මම ආපු ලියුමත් බැලුවා. නමුත් ඒ ලියුම ​නොවෙයි හේතුව පරිපාලනමය හේතු මතයි මාරු කළේ කියලා. ඒ වගේම සරත් වීරසේකර ඇමැතිතුමා පාර්ලිමේන්තුවේ දී කිව්වා මේ නිලධාරියා සම්බන්ධයෙන් මටත් පැමිණිලි රාශියක් ඇවිත් තියෙනවා කියලා.  


ප්‍රශ්නය:-ඔබට ලැබුණු පැමිණිලිවල මොනවද සඳහන් වෙන්නේ.  


පිළිතුර- එතුමා නීතිය පළිහක් කරගෙන නීතියට මුවා වෙලා කරන අනීතික ක්‍රියා නිසා පීඩාවට පත් වෙච්ච ජනතාව තමයි මම පැහැදිලි කරන්නේ. සමහර අය මාරවිල දිසා අධිකරණයට ගිහින් තියෙනවා. සමහර අය මානව හිමිකම් කොමිසමට ගිහින් තියෙනවා. සමහර අය කියනවා ගිනි අවියක් දාලා ඇල්ලුවා. කියලා. කසිප්පු පෙරනවා කියලා කුඩු දාලා උසාවි දානවා. එක තාත්තා කෙනෙක්ව එහෙම බොරුවට කුඩු දාලා බන්ධනාගාර ගත කළාම ඒ පවුලම ජීවත් වෙන්නේ කොහොම ද? ඒ පවුල්වල දරුවෝ ඊට පස්සෙ කුඩු විකුණන්න පෙළඹෙන්නේ නැද්ද?. ජනතාව මතු කරන ප්‍රශ්න ඉහළට අරගෙන යන්න මට අයිතියක් තියෙනවා. මම මහජන නියෝජිතයෙක්. සංවර්ධන කමිටුවේ සභාපති මම. නිලධාරියෙක් ගැන ජනතාව යම් විවේනයක් කරනවා නම් එ් ගැන කතා කරන්න ඉහළට පැමිණිලි කරන්න මට අයිතියක් තියෙනවා. මහජනතාව තමයි මට ඒ අයිතිය දුන්නේ. ඒ අනුව තමයි මම මේක ඉහළට පැමිණිලි කරන්නේ. මම බලය පාවිච්චි කරලා නෑ, ඇමැති ධුරය අවභාවිත කරලා නෑ. මම ජනතාවගේ හඬට සවන් දිය යුතුයි. මම කරපු කතාවෙන් පොඩි කෑල්ලක් අරගෙන සමාජ මාධ්‍ය ජාලාවල ඒ කෑල්ල දාලා ඒ කෑල්ලම අරගෙන සමාජ විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය මට මඩ ගහනවා. මම කරපු කතාව සිංහල දන්න අයට හොඳට තේරෙනවා. ඒ නිසා මම කරපු කතාව හොඳට අහලා තීන්දුවක් දෙන්න කියලයි මම කියන්නේ.  


ප්‍රශ්නය:-සහකාර පොලිස් අධිකාරීවරයාට කීර්තිමත් සේවා ඉතිහාසයක් තියෙනවා.  


පිළිතුර- ඒක මම පිළිගන්නවා. ප්‍රශ්නය වර්තමානය ගැනනේ. එතුමා සහ මා අතර ප්‍රශ්නයක් තියෙනව කියලා දැන ගත්තා. එතුමා හිටපු තැන්වල වෙච්ච දේවල් ඒ වගේම වත්කම් ආදිය ගැන අපට කියනවා. හැබැයි මම එ් අතීතය ගැන කතා කරන්නෙත් නෑ. මම කතා කරන්නේ මගේ ආසනයේ ජනතාව ඉදිපත් කරපු කරුණු මත පදනම්වයි. මම ඒ ගැන ඉහළට දැනුම් දුන්නා මිසක්, මම ඕවා ගැන පරීක්ෂණ කරන්නවත් ඒ ගැන විනිශ්චයක් දෙන්න යන්නෙවත් නෑ. මම විනිශ්චයකාරයෙක් නොවෙයි. ඒ විමර්ශන මම කරන්නෙ නෑ. එහෙම කරන්න මට හැකියාවක් නෑ. ඒක මට අදාළ දෙයක් නොවෙයි. ඒත් ජනතාවගේ දුක් ගැනවිල්ල ඉහළට අරගෙන යාම. ඒ පීඩාවට පත්වෙන ජනතාවට සාධාරණය ඉටු කිරීම මගේ යුතුකම හා වගකීම. මම ඒක කරනවා. මමත් දැනුත් ඉල්ලන්නේ පොලිස්පතිතුමාගෙන් සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා.  


ප්‍රශ්නය:-ඔබ යවපු ලිපිය සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙනවා. ඒක එ​හෙම වෙන්නේ කොහොම ද?  


පිළිතුර - ඔව්. ඒ ලියුම මම යවන්නේ විෂය බාර ඇමැතිතුමාට. ඇමතිතුමාගෙන් පොලිස්පතිතුමාට. පොලිස්පතිතුමාගෙන් තමයි අදාළ තැන්වලට යන්නේ. ඒ ලියුම අර පොලිස් නිලධාරියා අතට එනවා. ඒ ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලනවා. මම දැක්කා එතුමා මීගමුව සහකාර පොලිස් අධිකාරී හැටියට වැඩට බාර ගන්නවා. එතුමගේ පවුලේ උදවිය සේරමත් ඒ අවස්ථාවට ගිහින් තියෙනවා. ඒකේ ගැටලුවක් නෑ. හැබැයි මේ රටේ තියෙනවා ආයතන නීති සංග්‍රහය කියලා එකක්. ඒකට යටත්ව ගත්තොත් ඔය වගේ තනතුරකට වැඩ බාරගන්නකොට තියෙනවා යම්කිසි සදාචාරයක්. මම දන්නෑ ඔබතුමාලා ඒ ගැන දන්නවා ද කියලවත්.  


ප්‍රශ්නය:- සහකාර පොලිස් අධිකාරිවරයා වෙන්නප්පුවෙන් මීගමුවට මාරු වෙලා ගියා විතරයි, වහල තිබුණු ස්පා ඇරලා පාතාලයෙන් රඟනවා කියලා පුවත් පළ වුණා.  


පිළිතුර- සම්පූර්ණයෙන්ම බොරුවක්. වෙන්නන්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඉතාම පැහැදිලිව කිව්වා කිසිම බලපත්‍රයක් දීලත් නෑ. කිසිම ස්පා එකක් කරලත් නෑ. නව සහකාර පොලිස් අධිකාරිවරයා සහ වෙන්නප්පුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිතුමා කියනවා එහෙම ස්පා එකක් ඇරලා නෑ කියලා. ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්.  


ප්‍රශ්නය:-පාතාලයන් කලඑළි බැසීම ගැන.  


පිළිතුර- එක පාතාල නායකයෙක් මෙයා ගියා විතරයි හිරෙන් නිදහස් වෙලාලු. ඔය කියන පාතාල නායකයා මම ඇහින් දැකලා නෑ. මගේ මැතිවරණ ව්‍යාපාරයට කිසිම දවසක සම්බන්ධ වෙලා නෑ. ඒ පාතාල නායකයාගේ හා මගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමියකට හා මන්ත්‍රීවරයෙකුට බරපතළ ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රදේශයට ඔය කියන පුද්ගලයා නිසා පුදුම විදියට හිරිහැරයක්. එයාට තියෙන චෝදනාවලට අනුව ඇප ලැබෙන්න කිසිම විදියකින් හැකියාවක් නෑ. මම දන්න විදියට ඔය පුද්ගලයා තවමත් ඉන්නේ ඇතුළේ. මේවා සම්පූර්ණයෙන්ම බොරු. ඇත්තම කතාව නම් ඔය කියන පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ වෙන්නප්පුව පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකතුමා. ප්‍රධාන වශයෙන්ම එයාව කොටු කර ගන්නේ වෙන්නප්පුව පොලිසියෙ අපරාධ අංශයෙන් ස්ථානාධිතුමා ඔය පාතාලය ඇත්තටම සමාජ පිළිලයක්. මේ ස්ථාන මාරුවයි, ඒ අපරාධකරුවා ඇල්ලීමයි අතර කිසිම සම්බන්ධයක් නෑ. සමහර ජනමාධ්‍ය හැසිරෙන ආකාරය ගැන නම් මම කිසිම ප්‍රසාදයක් නෑ. මම ඉන්නේ ජනතාව සමග නීති විරෝධී කිසිම දෙයකට මගේ අනුබලයක් නොලැබෙන බව මගේ හිතවතුන් විතරක් නෙවෙයි. මගේ දේශපාලන විරුද්ධවාදීන් පවා පිළිගන්නවා. 

 
ප්‍රශ්නය:-කසිප්පු ජාවාරමේ යෙදෙන පිරිසක් ඉන්නවා කියලා ඔබ කිව්වා. ඒ අය සම්බන්ධයෙන් ගන්න පියවර මොකක් ද?  


පිළිතුර- ජනාධිපතිතුමා දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා දෙනවා. එයින් එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රැකියා හය සීයයක් දීලා තියෙනවා. එයින් මම රැකියා දෙසීයක් දුන්නා. ඉතිරි රැකියා ටික ඔය වගේ පවුල් තෝරාගෙන නිවැරදිව ජීවත් වෙන්න පුළුවන් විදියට ඒ අය අතර බෙදා හරිනවා. ප්‍රශ්නය විසඳන්න ඕනෑ ඒ විදියටයි. නීතිය තියෙන්නේ ජනතාවගේ රැකවරණයට මිසක් ජනතාව තලාපෙළා දැමීමට නොවෙයි. අපි ඒ ජනතාව ගැන හොයලා බැලුවේ නැත්නම් ඒ ජනතාවට කවුද ඉන්නේ. ඒ නිසා ඒ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඒ වගේම ඒ ජනතාව නගා සිටිනවා. මම මගේ වගකීම ඉටු කරනවා.

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්