සුජීවට කඩුවෙල දිනන්න බැරිවුණු එකට අනිත් අයගේ ජයග්‍රහණ හෑල්ලු කරන්න හොඳ නෑ


එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අය එකිනෙකාට චෝදනා කරගන්නා ආකාරය මේ දිනවල දැකගත හැක. මේ ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගෙන් කළ විමසීමකි.


ඇමැති මාරුව කොහොමද?
ඕනෑම ආණ්ඩුවක නියමිත කාලය පුරාම එකම ඇමැතිවරයා කටයුතු නොකරන අවස්ථා තියෙනවා. අවශ්‍යතාව අනුව ඒවා වෙනස් කරනවා. අතීතයෙත් එහෙම වෙලා තියෙනවා. මේ වෙලාවෙත් ජනාධිපතිතුමායි අගමැතිතුමයි තීන්දු කරලා තියෙන්නේ ඒ වගේ වෙනසක් ඕන කියලා.


ඇමැතිකම් නැති යූ.එන්.පී. එකේ සමහරු මේ වෙලාවෙ තමන්ටත් මොකක් හරි ඇමැතිකමක් ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා. ඔබටත් එහෙම බලාපොරොත්තුවක් තිබුණද?
ඒවා තීරණය කරන්නේ අපේ  පක්ෂයේ නායකතුමා. ලංකාවේ ගොඩක් වෙලාවට මේ වගේ දේවල් තීරණය වෙන්නේ දක්ෂතාවට වඩා ජ්‍යෙෂ්ඨත්වය උඩ. ඒ යථාර්ථය අපිටත් පොදුයි. මම ඒක දැනගෙන ඉන්නේ.


 දීපු ඇමැතිකම් ගැනත් යූ.එන්.පී. එකේ සමහරු ඉන්නේ අසතුටින්.


 ඒක නම් මම හරියටම දන්නේ නෑ. කොහොම වුණත් හැම ආසන සංවිධායකයෙක්ම වැඩ කරලා තමයි ඡන්දෙන් ආණ්ඩුවක් පිහිටුවන්නේ.  ඒක නිසා තමන්ට හොඳම දේවල් ටික ආණ්ඩුවෙන් ලැබෙයි කියලා බලාගෙන ඉන්නවත් දීපු එක මදි කියන්න යන එකවත් එච්චර හොඳ නෑ. ලැබුණු ඇමැතිකම මොකක් වුණත් ඒකෙනුත් වැඩ පෙන්නන්න පුළුවන් දක්ෂයට.


 සුජීව සේනසිංහ කරපු ප්‍රකාශයකට ඔබ ප්‍රතිචාර දක්වලා තිබුණා පහුගිය දවසෙ. හැබැයි සුජීව කියන්නේ යූඑන්පී එකට වාසි කොලොන්නාව වගේ ආසන දිනවන එක අමාරු වැඩක් නෙවෙයි කියලා.


අතපය දිග ඇරලා හිතේ හැටියට අපිට වැඩ කරන්න බෑ. මේ භාග ආණ්ඩුවෙ ඉඳගෙන ඒකට කරන්න ඕන තනි ආණ්ඩුවක් පත් කරගන්න එක. අපිටත් ප්‍රශ්න තියෙනවා. අපිටත්           පාක්ෂිකයිනට සලකන්න බෑ. හිතේ හැටියට. ඒත් අපි ඒකට කාටවත් දොස් කියල හෝ අඬල වැඩක් නෑ. ඒ අපි  පක්ෂයට පළමු තැන දීලා වැඩ කරන්න ඕන. අනික කොලොන්නාව පහුගිය කාලේ තිබිච්ච සියළු ප්‍රධාන මැතිවරණ වලින් යූ.එන්.පී. එක පැරදිලා තිබුණේ. 1989   පස්සේ මමයි  පහුගිය මැතිවරණයේදී කොලොන්නාව දිනෙව්වෙ. ඒක නිසා කොලොන්නාව යූ.එන්.පී. එකට වාසි තැනක් කියන කතාව දේශපාලනය නොදන්න අය කියන කතාවක්.
 අපි කැපවෙලා වැඩකරපු නිසා තමයි කොලොන්නාව දිනුවෙ. සුජීවට කඩුවෙල දිනන්න බැරිවුණු එකට අනිත් අයගෙ ජයග්‍රහණ හෑල්ලු කරන එක හොඳ නෑ.


 මම දුමින්ද සිල්වලා එක්ක හැප්පිලා තමයි කොලොන්නාව දිනෙව්වේ. දිගටම පරාද වුණු කොලොන්නාව මම ඉල්ලලා අරගෙන මේ තැනට ගෙනාවේ.


ඔබ මීඩියා චරිතයක් විදියට තිබුණු ජනප්‍රියත්වය නිසා වැඩි ඡන්ද අරගෙන මේ තැනට ආවා කියලත් කියනවා?
ඒක මට වාසියක් වුණා. මම ඒක නෑ කියන්නේ නෑ. හැබැයි, ජනාධිපතිවරණයේදී මම කොලොන්නාව දිනෙව්වේ කොලොන්නාවෙ ජනතාව අතරට ගිහින් ඔවුන් තුළ අපේ පක්ෂය ගැන විශ්වාසයක් ඇති කළා. ඒක මම දැන් තහවුරු කරගෙන යනවා කොලොන්නාවට කරන සංවර්ධන වැඩත් එක්ක.


 පසුගිය මැතිවරණයේදී දේශපාලනයේ ඉඳපු ජ්‍යෙෂ්ඨයොත් පැරදුණු වෙලාවෙ කොළඹින් මම දිනුවෙ මාධ්‍යවේදියෙක් නිසාම නොවෙයි. ජනතාව මගේ දේශපාලන භාවිතය සහ හැකියාව ගැන සලකලා තමයි මට ඡන්දය දුන්නේ. මම දවස් හතේම මිනිස්සු එක්ක ඉඳගෙන දේශපාලනය කරන කෙනෙක්.


කොලොන්නාවෙ කුණුයි, කුඩුයි ඉවර කරනවා කියලා කයිවාරු ගැහුවට කුණු කන්ද කඩාගෙන වැටිලා මිනිස්සු මැරෙනකම් මොකුත් කරගන්න බැරි වුණා.


මීතොටමුල්ලේ වගකීම පහුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් බාරගන්න ඕනැ. මේ ගැන මම කොච්චර උනන්දුවකින් කටයුතු කළාද කියලා ඔබ හොයලා බලන්න. මම කියන්න ඕන හැම දෙනාටම ඇතිවෙනකම් කිව්වා. පාර්ලිමේන්තුවේදී මම කොච්චර මේ ගැන කතා කළාද?
 මම මන්ත්‍රීවරයෙක් විතරයි. මට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අන්තිමට මම මේ ගැන විරෝධය දක්වල මිනිස්සු එක්ක පාරටත් බැස්සා. මීතොටමුල්ල කුණු කන්ද අයින් කරනවා කියන පොරොන්දුව දුන්නේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි.
 මම කළේ ඒක ජනතාවට කියන එක. මේ වැඬේ දිගින් දිගට ඇදුණු එකයි වුණේ. ඒකට සමහර ඇමැතිවරුත් නිලධාරියොත් වගකියන්න ඕනැ.


 මට කරගන්න බැරිවුණු එක ගැන මට දොස් කියන අය මම කරපු දේවල් ගැන කතා කරන්නේ නෑ. ලෝ ලෙවල් පාර පුළුල් කරන ව්‍යාපෘතිය ඒ පළාතට ලැබුණු විශාල සංවර්ධන කාර්යයක්. ඒකෙන් ඉඩම් අහිමි වුණු ඉඩම් හිමියන් හැම දෙනාටම සාධාරණ වන්දි මුදල් දෙන්න පුළුවන් වුණා.


 මේ ව්‍යාපෘතියට ලක්ෂ අසූපන්දාහක් වෙන්කර ගන්නට මට පුළුවන් වුණා. මේ වෙනකොට අතුරුමාර්ග හතළිස් අටක් මම හැදුවා. තව සීයක් හැදෙමින් යනවා.


 එදා තිබුණු කොලොන්නාව නෙවෙයි අද තියෙන්නේ. අද සීග්‍රයෙන් සංවර්ධනය වෙන ප්‍රදේශයක් තමයි කොලොන්නාව.