සංවර්ධන කටයුතුවල දී උතුරු-නැගෙනහිර එකතු කළ යුතු බව අපේ ස්ථාවරයයි


අපි ආණ්ඩුවට සහාය දුන්නේ උතුරු නැගෙනහිර සංවර්ධන වැඩවල දී අපෙන් අහල කරන්න ඕනෑ කියන කොන්දේසියට

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්. ඒ. සුමන්තිරන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ඔක්තෝබර් 26 වැනිද‌ා සිදුවූ දේශපාලන අර්බුදය නිසා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවධානය මඳක් දුරට අඩු වූ බව දෙමළ සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේය.

‘ඉරිද‌ා ලංකාදීපය’ සමග පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.  


• ප්‍රශ්නය :- දැන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබගේ අදහස කෙසේද?  


• පිළිතුර :- ඔක්තෝබර් පෙරළියට පසු මුළුමනින්ම රට ස්ථාවර භාවයට ගෙනැවිත් නැහැ. නමුත් දැන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තහවුරු වෙලා තිබෙනවා. අපේ විශේෂ අවධානය යොමු වෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියට. ඔක්තෝබර් 26 වැනිද‌ාට පෙර ආණ්ඩුවත් දෙමළ සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එකතු වෙලා තුනෙන් දෙකක බහුතරයක් පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කළා. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥ වාර්තාවේ දී ආණ්ඩුවට අපි නොමැතිව බහුතරයක් පෙන්නුම් කිරීමට නොහැකි වෙලාවේ තමයි මේ වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ. ඒනිසා කොහොමද මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ. සෑම දෙනාගේම එකඟතාව ඇතිකරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තිබෙන්නේ.  


• ප්‍රශ්නය :-  දෙමළ සන්ධානයයි ආණ්ඩුවයි අතර යාන්ත්‍රණයක් තිබෙනවා කියලා ප්‍රකාශ වුණා නේද?  


• පිළිතුර :- ඔව්. ඒක බොරු ප්‍රචාරයක් විදිහටයි ගෙනියන්නේ. එහි සත්‍යතාව තමයි පසුගිය වසර තුනක කාලයේ දී අපි ආණ්ඩුවට සහාය දීලා සහයෝගයෙන් කටයුතු කළාට උතුරු නැගෙනහිර දෙමළ පළාත් සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳ අපිත් එක්ක සාකච්ඡා නොකර තමයි සියලු තීරණ ගත්තේ. ඒ කාල වකවානුව තුළ අපි නිතරම ප්‍රකාශ කළ දෙයක් තමයි උතුරු - නැගෙනහිරින් තේරී පත්වුණු දෙමළ මන්ත්‍රීවරු 18 දෙනෙක්ගෙන් 16 දෙනෙක් නියෝජනය කරන්නේ දෙමළ සන්ධානය. අපව තමයි ඒ පළාත්වල ජනතාව මහජන නියෝජිතයන් ලෙස තෝරා පත්කර ගත්තේ. මහජන නියෝජිතයන් සමග සාකච්ඡා නොකර මේ තීන්දු තීරණ ගැනීම වැරදියි කියලා අපි නිතරම ප්‍රකාශ කළා. මේ වතාවේ අපි නැවත එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡා කළේ. නැවත ආණ්ඩුව ගොඩනගන්න අපේ සහාය දෙනවා නම් අඩු වශයෙන් උතුරු - නැගෙනහිර පළාත්වල කරන සංවර්ධන කටයුතු වගේ කරුණු කාරණා අපත් සමඟ සාකච්ඡා කරන්න ඕනෑ. නැතුව මේක කැබිනට් තීරණයක් අපි අරන් තිබෙනවා කියලා ඒ තීරණ ගත්තට පස්සේ අපිත් එක්ක සාකච්ඡා කරලා වැඩක් නැහැ. මොකද ඒ පළාතේ මහජන නියෝජිතයන් අපියි. අපිත් සමග සාකච්ඡා නොකර මේ පිළිබඳ තීරණ ගන්න එපා කියලා අපි දැනුම් දුන්නා. ඒකට ආණ්ඩුව එකඟ වුණා. එකඟ වුණාට වැඩක් නැහැ. ඒකට යාන්ත්‍රණයක් හදන්න ඕනෑ. ඒ සාකච්ඡාවේදී අපි අගමැතිවරයාට පෙන්වා දුන්නේ උතුරු පළාතේ සංවර්ධන කටයුතු බාරව සිටින්නේ ඔබතුමා. ඒක උතුරු නැගෙනහිර වශයෙන් එකතු කළ යුතුයි කියලා. ඒ සංවර්ධන කටයුතු ගැන අපේ මතය පිළිබඳ විමසන්නට යාන්ත්‍රණයක් දැන් හදලා තිබෙනවා.  


• ප්‍රශ්නය :-  දෙමළ සන්ධානයෙන් ඒ යාන්ත්‍රණයට සිටින නියෝජිත පිරිස කවුද?  


• පිළිතුර :- උතුරු පළාතේ මන්ත්‍රීවරු 5 දෙනෙකුයි නැගෙනහිර පළාතෙන් මන්ත්‍රීවරු 3 දෙනෙකුයි පත් කරන්න යෝජනා කරලා තිබෙන්නේ. අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න.  


• ප්‍රශ්නය :- උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද? 

 
• පිළිතුර :- ඒක මේකට අද‌ාළ නැහැ. උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සම්බන්ධව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යුද්ධයෙන් පසු කළ යුතු සංවර්ධනය වගේම ගොඩනැගිය යුතු කාරණා පිළිබඳව අපිත් එක්ක ප්‍රථමයෙන් සාකච්ඡා කරන්නට තිබෙන යාන්ත්‍රණයක් තමයි මේක. පළාත් දෙක ඒකාබද්ධ කිරීම ගැන මෙහිදී සාකච්ඡා වෙන්නේ නැහැ.  

 

  • අපි ආණ්ඩුවට සහාය දුන්නාට උතුරු නැගෙනහිර පළාත් ගැන තීන්දු ගන්නේ අපෙන් අහන්නෙ නැතුව
  • පළාත් සභා ඡන්දය වහාම තියන්න ඕනෑ


• ප්‍රශ්නය :- දැන් දකුණේ ජනතාව අතර මතයක් තිබෙනවා උතුරු හා නැගෙනහිරට ෆෙඩරල් අවශ්‍යයි කියලා. ෆෙඩරල් අවශ්‍යම ද?  


• පිළිතුර :- අපේ ස්ථාවරය ෆෙඩරල් අවශ්‍යයි කියන එක. ඒ ගැන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවේත් සඳහන් කර තිබෙනවා. ෆෙඩරල් කියන එක භයානක දෙයක් නොවෙයි. ලෝකයේ තිබෙන ස්ථාවර, දියුණු රටවල් රැසක ෆෙඩරල් ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, යු​රෝපීය රටවල් කිහිපයකම ක්‍රියාත්මක වෙන්නේ ෆෙඩරල් ක්‍රමය. බ්‍රිතාන්‍ය ඒකීය කියලා සඳහන් කළාට එතන තිබෙන බලය බෙදීම ෆෙඩරල්වලට වඩා ඉහළින් තිබෙනවා. ඒක අපේ ස්ථාවරය වුණාට අපි කියලා තිබෙන්නේ ෆෙඩරල් කියලා මුළුමනින්ම ෆෙඩරල් වෙන්න ඕනෑ නැහැ. අපි ෆෙඩරල් කියන එකින් අදහස් කළේ ඒක තමයි මෙතන වැදගත් වන්නේ. ෆෙඩරල් කියලා අපි අදහස් කළේ බලය බෙදීමේ ක්‍රමය අර්ථවත් වෙන්න ඕනෑ. ඒක එක අතකින් දීලා අනිත් අතින් නැවත ගන්න එකක් වෙන්න බැහැ. 13 වැනි සංශෝධනයේ තිබෙන්නේ ඒකයි. ඒ වගේ වෙන්න බැහැ. ඒක ෆෙඩරල් නොවෙන්න පුළුවන්. හැබැයි ඒක අර්ථවත් ක්‍රමයක් වෙන්න ඕනෑ. අපි ඒ ගැන පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයන් ඉදිරිපත් කළ වාර්තාවේ තිබෙන යෝජනා වලියේත් සඳහන් වෙන්නේ ඒ පිළිබඳව තමයි. නොබෙදුණු, බෙදිය නොහැකි රට තුළ බලය බෙදන්න ඕනෑ. රට බෙදන්න එපා. බලය බෙදිය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ.  


• ප්‍රශ්නය :- ආණ්ඩුවෙන් ඒ කාරණය ඉටු වෙයි කියලා විශ්වාස කෙරෙනවාද?  


• පිළිතුර :- විශ්වාසයක් නැතුව මොනම දෙයක්වත් ඉදිරියට ගෙන යන්න බැහැනේ. මේ ප්‍රශ්නය අවුරුදු 3කට පෙර ඇසුවත් අපි කියන්නේ විශ්වාසයක් තිබෙනවා කියලා. දැනුත් අපට ඒ විශ්වාසය තිබෙනවා. අපි ඉල්ලන දේවල් රටට හානි කරන දේවල් නොවෙයි. ඒ බොරු ප්‍රචාරයන් ගෙන යන නිසා අපි ඉදිරියට තිබ්බ පය පිටුපසට ගන්න ඕනෑ නැහැ. අපි ජනතාවට සත්‍ය ප්‍රකාශ කරලා මෙයින් මොනයම්ම හෝ හානියක් වෙන්නේ නැහැ කියලා රටට හොඳ දෙයක් වෙන්නේ කියලා තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා එ් සත්‍යය ප්‍රකාශ කරලා මෙය ඇති කරන්න පුළුවන් කියලා විශ්වාසය තිබෙනවා.  


• ප්‍රශ්නය :- ආණ්ඩුව දැන් පළාත් සභා මැතිවරණය කල් දමනවා. දෙමළ සන්ධානය හැටියට මොකක්ද කියන්නේ?  


• පිළිතුර :- පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි කියන එකයි අපේ ස්ථාවරය. ඒ ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නිසා යම් යම් ගැටලු ඇති වුණා. ඔවුන් නව ක්‍රමයක් ගෙන එන්න ඕනෑ. නැතිනම් මැතිවරණය පවත්වන්න බැහැ කියන ස්ථාවරයේ සිටියේ. දැන් ඔවුන් ප්‍රකාශ කරනවා පරණ ක්‍රමයට හෝ මැතිවරණය පවත්වන්න කියලා. එහෙනම් මේක ලෙහෙසි ප්‍රශ්නයක් විසඳ‌ා ගන්න. එක වචනයෙන් ඒ සංශෝධනය ගේන්න පුළුවන් පරණ ක්‍රමයට යන්න. ගිහිල්ලා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි කියන එකයි අපේ ස්ථාවරය.  


• ප්‍රශ්නය :- ඒ ගැන ආණ්ඩුවට බලපෑමක් කරනවාද?  


• පිළිතුර :- ආණ්ඩුවට අපි කියලා තිබෙනවා. අපේ ස්ථාවරය වුණෙත් පරණ ක්‍රමයට මැතිවරණය පවත්වන්න. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණ නිසා තමයි දිගින් දිගට ප්‍රශ්නය දුරදිග ගියේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකඟ නම් තවදුරටත් කල් නොදමා වහාම මැතිවරණය පැවැත්විය යුතුයි කියලා අපි ආණ්ඩුවට කියලා තිබෙනවා. 

 
• ප්‍රශ්නය :- විපක්ෂනායක ධුරයෙන් පසුගියද‌ා පැන නැගුන අර්බුදය පිළිබඳ කතා කළහොත්?  


• පිළිතුර :- ඒ අර්බුදය තවම තිබෙනවා. කථානායකවරයා ඒ තීරණය දුන්නට ඒක මුලුමනින්ම පාර්ලිමේන්තු සම්ප්‍රද‌ායට විරුද්ධයි. ආණ්ඩුවේ ඉන්න පක්ෂයක් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා සිටිනවා නම් ඒ පක්ෂයේ සිටින තවත් කෙනෙකුට විපක්ෂනායක ධුරය දරන්න බැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රද‌ාය ඒකයි. දැන් ආණ්ඩුව කවුද? අපේ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා. ඔහු තමයි රාජ්‍ය නායකයා පමණක් නොවෙයි ආණ්ඩුවෙත්, අමාත්‍ය මණ්ඩලයේත් ප්‍රධානියා. ඔහු භාරයේ අමාත්‍යාංශ 3ක් තිබෙනවා. එහෙම නම් ඒ මහතා තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානියා. ආණ්ඩුවේ ප්‍රධානියා අමාත්‍යාංශ 3ක් භාරව සිටින කෙනෙක් එම පක්ෂයේ තවත් කෙනෙක් විපක්ෂනායක ධුරය දරන්න බැහැ. ඒක සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රද‌ායට පටහැනියි. කථානායකවරයා ඒ පිළිබඳ ප්‍රකාශ කළාට ඒක නිවැරදි නැහැ. ඒක වැරදි ක්‍රියාවලියක්. මෙතන දී අපට සැකයක් මතුවෙනවා.  


• ප්‍රශ්නය :-  මොකක්ද මතුවෙන සැකය?  


• පිළිතුර :- අපේ සැකය නම් ආණ්ඩු පෙරළන මේ උත්සාහය නැවත මාරු කරන අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය අහිමි වුණ අවස්ථාවේ විපක්ෂනායක ධුරය හෝ දිය යුතුයි කියලා කථානායකවරයා හා ජනාධිපතිවරයා අතර යම් එකඟතාවක් ඇති වුණා ද කියන සැකය තමයි. අන්න ඒ කෝණයෙන් තමයි අපි මේ දිහා බලන්නේ. මොකද මෙතන ලොකු අසාධාරණයක් වෙලා තිබෙනවා. දෙමළ ජනතාව අතර තිබෙන මතය අපිට හැමද‌ාම මෙහෙම දෙයක් තමයි වෙන්නේ. අපි රට වෙනුවෙන් ඉදිරිපත් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරිපත් වුණා. අපේ සුභ සිද්ධිය ගැන අපි බැලුවේ නැහැ. හරි දේ කළා. හැබැයි අපිට මෙහෙම දේවල් තමයි වෙන්නේ කියලා ජනතාව සිතන්නේ. විශේෂයෙන් උතුරේ හා නැගෙනහිර සිටින දෙමළ ජනතාව සිතන්නේ විපක්ෂනායක ධුරයේ ඉඳගෙන සම්බන්දන් මහතා තමයි මේ නඩුවල දී ඉදිරියෙන් සිටියේ. මේ මේ දේවල් කළේ. ඒත් ඒ දේවල් නිවැරදි වුණාම මේ විදිහට ද සලකන්නේ කියලා. මෙය නීත්‍යනුකූලව සිද්ධ වුණා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතාම අසාධාරණ විදිහට සම්බන්දන් මහතාව ඉවත් කරලා මහින්ද මහතාට විපක්ෂනායක ධුරය පිරිනැමුවේ. ඒ නිසා ජනාධිපතිවරයා සහ කථානායකවරයා එකතු වෙලා ආණ්ඩුව පවත්වාගෙන යනවා කියලා තමයි ජනතාව සිතන්නේ. ඉතිහාසයේත් මේ දේවල් වුණා කියන මතයේ තමයි උතුරු - නැගෙනහිර ජනතාව අතර තිබෙන්නේ.  


• ප්‍රශ්නය :- ඔබලාගේ සැකයක් තිබෙනවා කථානායකවරයා හා ජනාධිපතිවරයා අතර සබඳතාවක් තිබෙනවා කියලා ද මේ සම්බන්ධයෙන්.  


• පිළිතුර :- ඔව්. දෙදෙනාටම වාසි​ වෙන තත්ත්වයක් නිසා මේ දේ කළා කියන එක ගැන අපට සැකයක් තිබෙනවා.  


• ප්‍රශ්නය :- මේ ගැන ඉදිරියට ගන්න හදන යම් ක්‍රියාමාර්ගයක් තිබේද?  


• පිළිතුර :- නැහැ. මේක අසාධාරණයි කියලා තමයි අපිට කියන්න පුළුවන්. වෙන කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. කථානායකවරයා මේ වැරදි ක්‍රියාවලිය නිවැරදි කරන්න ඕනෑ. රටේ සිටින දෙමළ ජනතාව සිතන්නේ ඒ ආකාරයට නිසා මෙය සංහිඳියාවට ද එතරම් සුදුසු දෙයක් නොවෙයි.  


• ප්‍රශ්නය :-  ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නොවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා?  


• පිළිතුර :- ජනාධිපතිවරයා ඉල්ලුවේ වෙනත් පක්ෂයකින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් නොවෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනුත් නොවෙයි. අපිට එතන නොවෙයි ප්‍රශ්නය. මැතිවරණය ගැන නොවෙයි. දැන් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් සභාපති. පක්ෂ දෙකේම සභාපති ධුරය දරන්නේ ඔහුයි. පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින්නේ. අපි සන්ධානයෙන් එළියට ඇවිල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තා කියලා ප්‍රකාශ කළාම සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා ලිපියක් යොමු කරනවා ඔවුන් තවමත් නිදහස් සන්ධානයේ සාමාජිකයන් කියලා. ගීතා කුමාරසිංහ මහත්මිය ඇරෙන්න අනිත් සියලු සාමාජිකයන් තවම නිදහස් සන්ධානයේ සාමාජිකයන් කියලා. එහෙම නම් ජනාධිපතිවරයා සන්ධානයේ සාමාජිකයෙක් නම් තම සන්ධානයේම කෙනෙක් විපක්ෂනායක ධුරය දරන්න බැහැ. ඒක අසාධාරණයි. එය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රද‌ායට සම්පූර්ණයෙන්ම පටහැනියි.  


• ප්‍රශ්නය :-  දැන් දෙමළ සන්ධානය තුළ පැවැති අර්බුදය කොයි වගේද?  


• පිළිතුර :- අපේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් සිටියා. එ්කෙන් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා ඉවත්ව ගියා. තවත් මන්ත්‍රීවරයෙක් දේශපාලන අස්ථාවර කාලයේ ඇමැති ධුරයක් අරගෙන ඉවත් වුණා. දැන් ඔවුන් දෙදෙනාම අපේ දෙමළ සන්ධානයේ නැහැ. අනිත් 14 දෙනා අපිත් සමග සිටිනවා.  


• ප්‍රශ්නය :-  ඔවුන්ට ඉදිරියේ දී ගන්නා පියවර කුමක්ද?  


• පිළිතුර :- අපි ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වුණාම අපි අපේ ලැයිස්තුවේ සිටින ඊළඟ කෙනාව පත්කරනවා.  


• ප්‍රශ්නය :-  වසර 3ක් මේ ආණ්ඩුව රට පාලනය කළා. ඔබලාගේ සහයෝගයෙන් තමයි ආණ්ඩුව පවත්වාගෙන ගියේ. ඒත් උතුරු - නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුමක් ලැබිලා නැහැ නේද?  


• පිළිතුර :- ඔව්. දේශපාලන විසඳුමක් තවම ලැබිලා නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඒකට තමයි උත්සාහ දැරුවේ. මේක දිගින් දිගටම ඇදගෙන යාම හොඳ නැහැ. ඉවර කරන්න අවස්ථාව තිබුණා. දැනුත් තිබෙනවා. දැන් බලන්න පහුගිය තෛයිපොංගල් පණිවිඩයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ කුමක්ද? ඔහු ප්‍රකාශ කළේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලැබෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. එතනදී කරුණු දෙකක් මතුවෙනවා. එකක් තමයි ඔහුම පිළිගන්නවා දේශපාලන විසඳුමක් ඕනෑ. තවම ලැබිලා නැහැ කියලා. අනික එතුමාම ප්‍රාර්ථනා කරනවා එය ලැබෙයි කියලා. එතුමාට ඒ කැක්කුම තිබෙනවා. කොහොම හරි ලබා දෙන්න ඕනෑ කියන එක. ඒක හොඳ දෙයක්. අපි කියන්නේ එහෙනම් ඔබතුමත් එකතු වෙලා මෙය සකස් කරලා දේශපාලන විසඳුමක් මේ වර්ෂය තුළ ගෙනෙමු කියලා. ඒක් ගේන්න පුළුවන්. ඒකට ප්‍රායෝගික විසඳුමකුත් මම ඉදිරිපත් කළා. දැන් ඉදිරිපත් කරලා තියෙන විද්වත් කමිටු යෝජනාවලියේ ලැයිස්තු දෙකක් ගැන සඳහන් කරලා තිබෙනවා. ජාතික සහ පළාත් වශයෙන්. ඒත් ඒ ලැයිස්තුවල විෂයන් සඳහන් කරලා නැහැ. විශේෂඥයින් ලැයිස්තු දෙකම හදලා නැහැ. ඒක ඉදිරියේ දී කළ යුතු දෙයක්. මගේ යෝජනාව තමයි මහින්ද රාජපක්ෂ මහතාට ඔබගේ ආණ්ඩුව සමයේ සකස් කළ A.P.R.C. කමිටුවේ තිබෙන යෝජනාවලියේ තිබෙනවා විෂයන් සඳහන් කර තිබෙන ලැයිස්තු දෙකක්. ජාතික සහ පළාත් කියලා දෙකක්. ඒ යෝජනාවලි එහෙම ගෙන එන්න අපි සූද‌ානම්. ඔබතුමාගේ යෝජනා හැටියට. ඒ කියන්නේ පළාත් සභාවලට මේ විෂයන්, ජාතික ආණ්ඩුවට මේ මේ විෂයන් ඇතුළත් විය යුතුයි කියලා. ඒ ලැයිස්තු දෙකම අපි බලන් නැතුව මහින්ද මහතාට ගෙන එන්න කියලා. ඊට අමතරව වෙනත් සංශෝධන ඇතුළත් කරන්න තිබෙනවා නම් අපත් සමග සාකච්ඡා කරන්න පුළුවන්. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියලා හිටපු ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරනවා නම් ලැබෙන්න ඕනෑ නම් ඔබගේ යෝජනාවන් මීට ඇතුල් කරලා එකඟතාවකට එන්න පුළුවන් කියලා මම ආරාධනා කරනවා.  

 

  • රට බෙදන්න එපා බලය බෙදන්න කියලයි අපි ඉල්ලන්නේ
  • අපි ඉල්ලන්නේ ෆෙඩරල් පාලනයක්. මුළුමනින්ම ෆෙඩරල් වෙන්න ඕනෑ නෑ

 


• ප්‍රශ්නය :- නව ආණ්ඩුකාරවරයෙක් උතුරු පළාතට පත් කළා. ඔහු පිළිබඳ දෙමළ සන්ධානයේ අදහස කුමක්ද?  


• පිළිතුර :- පළමු වතාවට නව ආණ්ඩුකාරවරයෙක් ලෙස දමිළ කෙනෙක් පත්කර තිබෙන්නේ. ඒක හොඳ දෙයක්. ඔහුට දෙමළ භාෂාව හොඳින් හසුරුවන්න පුළුවන්. හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාටත් දෙමළ භාෂාව හොඳට කතා කරන්න පුළුවන්. ඒත් නව ආණ්ඩුකාරවරයා දෙමළ ජාතිකයෙක්. ඒනිසා ඒක හොඳ දෙයක්. ඔහුගේ ක්‍රියාකලාපයෙන් තමයි ඔහුගේ ඉදිරි වැඩකටයුතු කරන්නේ කොහොමද කියලා බලාගන්න වෙන්නේ. එතුමා දෙමළ ජනතාවට සේවයක් කරයි කියලා විශ්වාසයක් තිබෙනවා. අනික අපේ යෝජනා අනුව නොවෙයි ඔහුව පත් කළේ. ජනාධිපතිවරයා​ගේ තීරණයක් අනුවයි. මීට ඉහත පත් කළ ආණ්ඩුකාරවරු දෙදෙනා එච්.එම්.ජී.එස්. පළිහක්කාර සහ රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරු පත් කරද්දී අපිත් එක්ක සාකච්ඡා කරලා තමයි පත් කළේ. නමුත් මේ පත්වීම අපිත් සමග සාකච්ඡා කර නොවෙයි පත් කළේ. ජනාධිපතිවරයාගේ තනි තීරණයක් අනුවයි. අපි බලමු ඉදිරියට මොනවද වෙන්නේ කියලා.

 

 

සාකච්ඡා කළේ 
නිශාන්ත කුමාර බණ්ඩාර