ශිෂ්‍යයෝ කාමර ඇතුළට දාගෙන මොළ හෝදලා දේශපාලනය කරන්න බෑ


​පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් පුබුදු ජාගොඩ 

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කරමින් බරපතළ චෝදනා රැසක් ඉකුත් දා එල්ල කළේය. මේ එම චෝදනා සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පුබුදු ජාගොඩ මහතා සමග කළ සාකච්ඡාවකි. 

 
ප්‍රශ්නය - ඇමැති විජයදාස රාජපක්ෂ ඔබේ පක්ෂයට දරුණු චෝදනා ගණනාවක් එල්ල කළා. මොකද කියන්නේ?   


පිළිතුර - ඒ චෝදනා ගැන අපට තියෙන අදහස තමයි, මුලින්ම එතුමා කියනවනේ එක්කෝ පෙරටුගාමීන් නැති කරන්න ඕනෑ. එහෙම නැතිනම් අපි පෙරටුගාමීන්ට දේශපාලනය බාර දීලා ගෙදර යන්න ඕනෑ කියලා. ඒ කියන්නේ විජයදාස රාජපක්ෂ මහත්තයාට මේ ආණ්‍ඩුවට අපෙන් අභියෝගයක් වෙලා තියෙනවා කියලනේ මේ කියන්නේ. දෙගොල්ලන්ටම දේශපාලනය කරන්න බැහැ කියන තැනට ඇවිල්ලනේ. ඒක හරි. විජයදාස රාජපක්ෂ මහත්තයාට ඒ දැනිච්ච එක හරියටම හරි. ඇත්තටම ඒ​ෙගාල්ලො කරන දේශපාලනයයි අපි කරන දේශපාලනයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ කරන හොරකම් කරන දේශපාලනය තක්කඩිකමේ දේශපාලනය රටේ සම්පත් විකුණන දේශපාලනය අපි කරන දේශපාලනය නිසා කරන්න බැරි වෙයි. ඒ නිසා විජයදාස රාජපක්ෂ මහත්මය ඒ කෑල්ල ඉතාම නිවැරදිව තේරුම් අරගෙන තියෙනවා.   

ප්‍රශ්නය - ඇමැති විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශය ඔබ කියවා ගන්නේ ඒ විදියට වුණත් ඔහු කියන්නේ ඔබලා විශ්‍වවිද්‍යාල පද්ධතිය තුළ මුදාහරින ප්‍රචණ්ඩත්වය ගැනයි.   


පිළිතුර - විශ්වවිද්‍යාල ඇතුළේ දේශපාලනය කරන කණ්ඩායම් ඉන්නවා. දක්ෂිණාංශික දේශපාලනයට කවදත් විශ්‍වවිද්‍යාල ඇතුළේ ලොකු ඉඩක් තිබුණේ නැහැ. වාමාංශික දේශපාලන පක්ෂවලට තමයි ඉඩක් තිබුණේ‍. ඒ ගොල්ලොත් අපිත් විශ්වවිද්‍යාල ඇතුළේ දේශපාලනය කරනවනේ. ඒ වගේම අපට ශිෂ්‍යයන් අතරේ සැලකිය යුතු පදනමකුත් තියෙනවා.   


ප්‍රශ්නය - ඒ පදනම හදාගෙන තියෙන්නේ බලහත්කාරයෙන් වගේම ප්‍රචණ්ඩත්වය මුදා හැරලා?   


පිළිතුර - ලංකාවේ මිනිස්සු විශ්වාස කරනවද එහෙම පහරදීලා අතපය කඩලා බය කරලා විශ්වවිද්‍යාලවල එහෙම පදනමක් හදාගන්න පුළුවන් කියලා. මිනිසුන්ට ගහලා දේශපාලනයට ගන්න පුළුවන්ද? උදාහරණයක් විදියට විශ්‍වවිද්‍යාලවල නිලවරණ තියෙනවා. නිලවරණවලින් අපේ පක්ෂයේ සාමාජිකයෝ ජයග්‍රහණය කරනවා. පොදුවේ ශිෂ්‍යයෝ ඒගොල්ලන්ව නායකයන් විදියට තෝරනවා. ඒක බලහත්කාරයෙන් කර ගන්න පුළුවන් දෙයක් නොවෙයි. විජයදාස මහත්තයා ඉදිරිපත් වන මැතිවරණවලට නම් රටේ චෝදනාවක් තියෙනවා හොර ඡන්ද දානවා මැර බලය පාවිච්චි කරනවා කියලා. විශ්වවිද්‍යාලවල නිලවරණවල දී ඉතිහාසයේ කවදාවත් එහෙම සිද්ධියක් වාර්තා වෙලා නෑ. එහෙම මුකුත් වෙලා නෑ. එහෙම කාටවත් දේශපාලනය කරන්න බැහැනේ. පහර දෙමින් වද හිංසා කරමින් භීතියේ දේශපාලනයක් ගෙනයනවා නම් ඒක බොහොම කෙටි කාලයයි පවතින්නේ.   

ප්‍රශ්නය - ඔබ ‘රැග්’ එකට පක්ෂද විපක්ෂද?   


පිළිතුර - ඇත්තටම නවකවද ක්‍රියාවලිය ගැන 1998 ඉඳලම ශිෂ්‍ය ව්‍යාපාරය හිටියේ ඒක නැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ. 1998දී පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ වරප්‍රගාස් කියන ශිෂ්‍යයා ඝාතනය වීමෙන් පසුව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසම ආවා අදහසකට නවකවදය නැවැත්විය යුතුයි කියලා. ඒක සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව අතර ලොකු සංවාදයකුත් ගෙනිච්චා. ඒ වගේම නවක අනුරූපිකා වැඩසටහන. නවක නම්නීකරණ වගේ විකල්ප වැඩසටහන් ශිෂ්‍ය සංගම්වලින් හඳුන්වා දුන්නා.   


ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ රැග් එකට විරුද්ධයි.   


පිළිතුර - ඒකනේ මම මේ කියන්නේ. විජයදාස රාජපක්ෂ මහත්තයාගේ තර්කය තියෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාම කියනවා ‘ඔයාගේ ඒවා මට වැඩක් නෑ. මගේ ඒවා ඔයාට වැඩක් නෑ. ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න. මම මගේ පාඩුවේ ඉන්නම්’ කියලා හිතන්න කියලනේ. ශිෂ්‍යයන්ට තනි තනිව ඉන්න කියලනේ මේ කියන්නේ. අපි කියන්නේ එහෙම දෙයක් නොවෙයි. ශිෂ්‍යයෝ මුහු වෙන්න ඕනෑ. එකිනෙකා හඳුනා ගනිමින් එකිනෙකා සම්බන්ධ වෙන්න ඕනෑ. එකිනෙකා ගැන වග කියන්න ඕනෑ. ඒක කළ යුත්තේ සංස්කෘතිකව ඉහළ දියුණු වඩා මානුෂික ප්‍රජාතන්ත්‍රවාදී තැනකින්. විජයදාස රාජපක්ෂ මහත්තයලා විශ්වවිද්‍යාල උපසංස්කෘතිය වෙනස් කරන්න හදන්නේ හැමෝම ආත්මාර්ථකාමීව තම තමන්ගේ කුහර ඇතුළට ගිය තැනකට තමයි ගොනු කරන්න හදන්නේ. එහෙම කරලා නවකවදය නැති කිරීමේ සිහිනයක් තමයි එයාට තියෙන්නේ.   


ප්‍රශ්නය - එතකොට ඔබේ සිහිනය?   


පිළිතුර - අපේ සිහිනය තියෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හා මානුෂික ඉතා ඉහළ සංස්කෘතියක් මගින් මේ තියෙන සංස්කෘතියේ ඇති පසුගාමීකම් පසු කරලා වෙනස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නිර්මාණය කරන එක. අපිත් කියන්නේ නවක වදය නැති කළ යුතුයි කියලයි. හැබැයි ඒක කරන්නේ කොයි පාරෙන් ද කියන ප්‍රශ්නය තමයි මෙතැන තියෙන්නේ.   


ප්‍රශ්නය - රැග් එක නැති කළොත් කොහොමද ඔබේ පක්ෂයට ශිෂ්‍යයෝ එකතු කරගන්නේ? රැග් එකෙන්නේ තෙල ගහලා මොළේ හෝදන්නේ?   


පිළිතුර - ඇත්තටම එහෙම කරන්න බැහැ. ප්‍රායෝගිකව එහෙම දෙයක් කරන්න බැහැ කියලා කවුරුත් පිළිගන්නවා.   


ප්‍රශ්නය - එහෙම කරන්න බැහැ කියලා ඔබ කිව්වත් ඇත්තටම වෙන්නේ ඒකමනේ?   


පිළිතුර - විශ්‍වවිද්‍යාලයට එන්නේ ඔබලා නොවෙයිනේ. වයස අවුරුදු 18ට වැඩි අය එන්නේ. අවුරුදු ගානක් ඉස්කෝලේ ගිහිල්ලා උසස් පෙළ සමත් වෙලා ආපු ශිෂ්‍යයෝ නේ මේ ඉන්නේ. ඒ වගේම ඒ ශිෂ්‍යයන් මාධ්‍ය පරිහරණය කරනවා. සමාජයේ අනෙකුත් ක්‍රියාකාරකම්වල නියැළෙනවා. ඒනිසා කාමර අස්සේ දාගෙන මොළ හෝදලා දේශපාලනය කරන්න බැහැ. දැන් ඔබ ඔය කියන විදියට ද අපි කම්කරුවෝ අතර දේශපාලනය කරන්නේ? ගොවි ජනයා සමග අපි දේශපාලනය කරන්නෙත් එහෙමද? එහෙම දේශපාලනය කරන්න බැහැ. ඇත්තටම මේ ප්‍රශ්නය මතු කිරීම විසිනුත් පෙන්නනවා දේශපාලනය ගැන ඒ ඇමැතිවරුන්ගේ තියෙන ආකල්පය මොකද්ද කියලා. ඒ ගොල්ලෝ හිතනවා ප්‍රචණ්ඩත්වය හරහා මිනිස්සු දිනා ගන්න පුළුවන් කියලා. අපි හිතනවා එහෙම කරන්න බැහැ කියලා. ඒගොල්ලන්ගේ අදහස තමයි ඔය එළියට දාන්නේ. අපි එහෙම කරන්න බැහැ කියලා පිළිගන්නවා වගේම එහෙම කරන්න හරි උත්සහා ගත්තානම් අපිට පවතින්න බැහැ කියලත් දන්නවා.   


ප්‍රශ්නය - ‘‘දහසක් මල් පිපියන් - දහසක් මත ගැටියන්’’ කියලා කිව්වට වෙනත් මතවලට ඉඩ නොදෙන මතවාදී බලහත්කාරකමක් පෙරටුගාමීන් සතුව තිබෙනවා? ඒ බලය තමයි ඔබලා පාවිච්චි කරන්නේ.   


පිළිතුර - ඇත්තටම විශ්වවිද්‍යාලය තුළ බලය කියන එක ගොඩනගාගන්නේ බුද්ධිමය හා සදාචාරාත්මක නායකත්වයක් මත මිසෙක ඒක ගොඩනගන්න බෑ. ගමක මරණාධාර සමිතියකවත් බලහත්කාරයෙන් නායකයෝ බිහි වෙන්නේ බලයක් පෙන්වලා විතරක් නොවෙයි. බුද්ධිමය නායකත්වයක් වගේම සදාචාරාත්මක නායකත්වයකුත් තිබිය යුතුයි. එක කාලයක නායකයෝ බිහිවුණේ ජීවිත පරිත්‍යාග කිරීම් මගින්. මෑත කාලය ගත්තොත් ශිෂ්‍ය නායකයෝ තමන්ගේ අධ්‍යයන කටයුතු පමා කර ගනිමින් ඒවට හානි කරගනිමින් ශිෂ්‍යයන්ගේ සියලු අවශ්‍යතා සමග එකට ඉඳලා තමයි ඒගොල්ලෝ නායකත්වය ගොඩනගාගෙන තියෙන්නේ. ඒ නිසා අර කියන ක්‍රමයට කිසිම ප්‍රජාවක් තුළ නායකත්වයක් බලයක් ​ගොඩනගා ගන්න බෑ.   


ප්‍රශ්නය - මෙතැන ප්‍රශ්නයක් තියෙන්නේ ශිෂ්‍ය දේශපාලනය නොවෙයි පක්ෂ දේශපාලනයට ශිෂ්‍යයන්ව ඈඳා ගැනීමයි?   


පිළිතුර - පැහැදිලිවම ඔව්! අපි විශ්වාස කරනවා ශිෂ්‍ය දේශපාලනය කියලා වෙනම දේශපාලනයක් නැහැ කියලා. ශිෂ්‍යයා මුහුණ දීලා තියෙන ප්‍රශ්නය කම්කරුවා, ගොවියා, බුද්ධිමතා මුහුණ දෙන ප්‍රශ්නයට සමානයි. ශිෂ්‍යයා එතැනින් පස්සේ කොහේ හරි වැටුපකට රැකියාවකට යන්නේ නෑ. ශිෂ්‍යයාගේ දෙමාපියෝ සමහරවිට ගොවියෝ, ධීවරයෝ. එයාට ඒ ප්‍රශ්න බලපානවා. ඒ වගේම අධ්‍යාපනය ගත්තොත් රටේ සියලු   ක්‌ෂෙත්‍ර වළපල්ලට යද්දී අධ්‍යාපනය විතරක් මඩෙන් මිදී පිපුණ නෙළුමක් වගේ පවතින්න බෑ. සමස්ත රාජ්‍ය ප්‍රතිපත්තියම වෙනස් නොකර අධ්‍යාපනය රැක ගන්නත් බෑ. ඒනිසා ශිෂ්‍යයන් ශිෂ්‍ය දේශපාලනය කියලා තමන්ගේ මහපොළ වැඩි කර ගැනීම වගේ සුබ සාධන ප්‍රශ්නයක් විසඳා ගැනීම කියන සීමාවෙන් එහාට ජාතික දේශපාලනයට මැදිහත්වීමක් කළ යුතුයි. එතැන දී අපි පක්ෂයක් විදියට මැදිහත් වෙනවා.   


ප්‍රශ්නය - කැට හොල්ලලා හම්බ කරන සල්ලිවලින් ශිෂ්‍ය නායකයෝ රෑට අරක්කු බොනවා කියලත් ඇමැති විජයදාස රාජපක්ෂ කිව්වා?   


පිළිතුර - ඒ මහත්තයා එකිනෙකට කියන දේවල් පරස්පරයි. එතුමා කිව්වා උද්ඝෝෂණවලට එන සෙනඟ පෙන්නලා ඒ ඡායාරූපවලින් කෝටි ගණන් සල්ලි හම්බ කරනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවා යන්නේ වී-8 වර්ගයේ ලෑන්ඩ් රෝවර් රථයකින් කියලා. ඒ ගමන් කියනවා කැට හොල්ලලා සල්ලි හොයලා ඒ සල්ලිවලින් තමයි රෑට කසිප්පු බොන්නේ කියලා. මේ දෙක පරස්පරයිනේ. අර විදියට කෝටි ගණන් සල්ලි හම්බවෙනව නම් කසිප්පු බොන්න අවශ්‍ය නෑ. ඊට වඩා මිල අධික බීම බොන්න පුළුවන්. ඒ වගේම එහෙම බොන්න කැට හොල්ලන්න අවශ්‍යත් නෑ. කැට හොල්ලන සල්ලිවලින් කසිප්පු බොනවා නම් ශිෂ්‍යයෝ එහෙමනම් විශ්වවිද්‍යාල පවතින්නේ නැහැනේ. මේ විදියට ශිෂ්‍ය නායකයෝ කසිප්පු බොන්නේ නැහැ කියලා විශ්වවිද්‍යාල ප්‍රජාව දන්නවා.  


ප්‍රශ්නය - රැග් එක ගැන කතා කළොත් රැග් එක එපා කියපු ළමයින්ට ගහනවා. ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියනකොට එතැනට ආපු නයිවල උසස් තාක්ෂණික ආයතනයේ නවක ශිෂ්‍යයෙක් කිව්වේ ඔහුට පහරදීමක් වුණා කියලයි?  


පිළිතුර - එහෙම එපා කියන අයට ගහන තත්ත්වයක් විශ්‍වවිද්‍යාල ඇතුළේ නැහැ. නයිවල උසස් තාක්ෂණ ආයතනයේනේ ඔය ළමයා ඉන්නේ. ඒ ප්‍රශ්නය නවක වදයට සම්බන්ධ එකක් නොවෙයි. ඇමැතිවරයා මාධ්‍ය සාකච්ඡාව ගන්න වෙලාවේ ඇමැතිවරයත් එක්ක වාඩි වුණානේ ශිෂ්‍යයෙක්. ඒ ශිෂ්‍යයාව පෙන්වලා කිව්වනේ නවක වදයට විරුද්ධ වුණ නිසා එයාට ගහනවා කියලා. එහෙම දෙයක් වෙලා නෑ.  


ප්‍රශ්නය - එහෙම නම් මොකද්ද වෙලා තියෙන්නේ?  


පිළිතුර - ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් තිබිලා තියෙනවා. ඒක මේ දේශපාලන ගැටුමකුත් නොවෙයි. පෞද්ගලික හේතු මත ඇති වෙච්ච ගැටුමක්. ඇමැතිවරයත් එක්ක එදා මාධ්‍ය සාකච්ඡාවට වාඩි වෙච්ච ඒ ශිෂ්‍යයාට විරුද්ධව පොලිස් පැමිණිලි තියෙනවා.  


ප්‍රශ්නය - ඒ පැමිණිල්ල දාලා තියෙන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පස්සේ?  


පිළිතුර - නෑ නෑ මාසෙකට කලින් තමයි පැමිණිලි කරලා තිබුණේ ඔහු මරණ තර්ජන එල්ල කළා කියලා. පොලිසිය ඒකට එරෙහිව පියවර අරගෙන නෑ. ඔය සිද්ධිය දුරදිග ගිහින් තමයි ගැටුම ඇති වෙලා තියෙන්නේ. ඇමැතිවරයා දැන් කියන්නේ, එයා මුකුත් දන්නේ නෑ. මම ප්‍රවෘත්ති සාකච්ඡාව තියන කොට ඒ ළමයා ඇවිත් වාඩි වුණා කියලා.  


ප්‍රශ්නය - ඔබ ඒ කතාව පිළිගන්නේ නැහැ?  


පිළිතුර - පිළිගන්නේ නැහැ. ඒක හරි විහිළු කතාවක්නේ?  


ප්‍රශ්නය - ඇමැතිවරයා අපේ පත්තරයට කිව්වෙත් ඒ කතාව තමයි!  


පිළිතුර - ඒක තමයි මම කියන්නේ ඒක හරිම විහිළු කතාවක් කියලා. ඇමැතිවරයාගෙන් ශිෂ්‍යයෝ සාකච්ඡාවක් ඉල්ලුවත් ඇතුළට ගන්නෙවත් නැහැනේ. පෙළපාළිවලින් ඇවිත් ඉල්ලන්නේ. ඒත් හමු වෙන්න බැහැනේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇතුළට ගිහින් ඇමැතිවරයා මාධ්‍ය සාකච්ඡා පවත්වන කොට එතන පැත්තකින් වාඩි වෙන්නේ කොහොමද? අපි මාධ්‍ය සාකච්ඡාවක් කරන කොට අපි දන්නැති කෙනෙක් ඇවිත් වාඩි වුණොත් අපි මාධ්‍ය සාකච්ඡාව නවත්වනවා. අපේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන ඉන්නවා නම් ඔය කතා හොඳයි. ඔතැන තියෙන්නේ ශිෂ්‍යයන් දෙපිරිසක් අතර ගැටුමක්. ඒවා ඒ විදියට විසඳන්න.  


ප්‍රශ්නය - මාසෙකට රුපියල් පනස් දාහ, හැට දාහ ගානේ දීලා ගත්ත ගෙවල් වධකාගාර විදියට පවත්වාගෙන යනවා.  


පිළිතුර - එහෙම වධකාගාර බටලන්දෙ එහෙම තිබුණා කියලා අපි දන්නවා. හැම ශිෂ්‍යයකුටම නේවාසිකාගාර දිය යුතුයි කියන එක අයිතියක්. නමුත් වැඩිවෙන ශිෂ්‍යයන්ට අදාළව පහසුකම් නැහැ. ඒනිසා ශිෂ්‍යයන්ට එළියේ බෝඩින් අරගෙන ඉන්න වෙලා තියෙනවා. ආණ්ඩුවට ඔය නිවස්න ප්‍රශ්නය බොහොම පහසුවෙන් විසඳන්න පුළුවන්. ඒ තමයි සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් දෙන්න. එහෙම කරන්නේ නැතිව නන් දොඩවනවා.  


ප්‍රශ්නය - ඔබ කිව්වා ඇමැති විජයදාස රාජපක්ෂට එරෙහිව එන්තරාවාසියක් යවනවා කියලා?  


පිළිතුර - ඔව් අපි ඒක මේ වෙනකොටත් තැපෑලට දාලා තියෙන්නේ.  

 

සාකච්ඡා කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  
සේයාරූව - ඇලෙක්සැන්ඩර් බාලසූරිය