ශ්‍රීලනිපයට ආණ්ඩුවෙ ඉන්න වංක සුජාත භාවයක් තමයි ඇමති මාරුවෙන් කරගත්තේ


 

ඇමති මාරුව ඇතුළු කාලීන දේශපාලන මාතෘකා පිළිබඳව මෙම සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා සමගයි.

 

   ඇමැති මාරුව ගැන ජවිපෙ මොකද කියන්නේ?
මේ කැබිනට් සංශෝධනය කිසිසේත්ම ඇතිවෙලා තියෙන අර්බුදවලට විසඳුමක් නෙවෙයි. මේ තියෙන ශ්‍රීලංකා-යූඑන්පී හවුල් ආණ්ඩුව අවුරුදු දෙකකටයි කියලා තමයි හැදුවෙ. ලබන අගෝස්තුවලට ඒ වසර දෙක සම්පූර්ණ වෙනවා. මේ ආණ්ඩුවෙ අර්බුද සහ ආණ්ඩු අසාර්ථකත්වය උඩ ජනතාව ආණ්ඩුවෙන් ඈත් වෙමින් යනවා. ශ්‍රී ලංකා එකේ අයට තවත් ආණ්ඩුවෙ ඉන්න ඕන නිසා එයාලා මේ වෙලාවෙ තර්කයක් හදා ගන්නවා ඒ අයගෙ බලපෑම් හරහා යූඑන්පී එකේ ප්‍රබල අමාත්‍යධුරවල වෙනසක් කළා කියලා. ඒ අයට තවදුරටත් ආණ්ඩුවෙ ඉන්න වංක සුජාතාභාවයක් හදා ගැනීම තමයි මේ ඇමති මාරුව හරහා කරගත්තේ.


 ඒ වගේම ආණ්ඩුව ඇතුළෙ අඬ අඬා අසතුටෙන් ඉඳපු අය සතුටු කරන්නත් මේ ඇමැති සංශෝධනය යොදා ගත්තා. අගමැතිතුමාගේ හිතමිතුරු තිලක් මාරපන පහුගිය ටිකේ හිටියේ අසතුටෙන්. දැන් එයත් සතුටු කරලා තියෙනවා. සමහර ඇමැතිවරුන්ට තව තව කෑලි එකතු කරලා තියෙනවා, දැනට තියෙන ඇමැතිකම්වලට අමතරව. මේ විදියට කීප දෙනෙක් සතුටු කරලා තියෙනවා. මේක රටේ අවශ්‍යතාවක් නොවෙයි, ඒ අයගේ දේශපාලන වුවමනාවක්. ජනාධිපතියි, අගමැතියි තමන්ගේ පක්ෂවල අභ්‍යන්තරයේ ඇතිවුණු ප්‍රශ්නවලට විසඳුමක් විදියට මේ ඇමති සංශෝධනය කළා මිසක් රටේ ජනතාවගේ වුවමනාවට කරපු දෙයක් නෙවෙයි.

 


ජනාධිපතිතුමා නම් කියන්නේ රට ඉදිරියට ගෙනියන්නයි මේක කළේ කියලා.
පහුගිය වසර දෙක හමාර තුළ රටේ හැම ක්ෂේත්‍රයකම සිදුවුණු දේවල් ගැන ජනතාව ඉන්නේ අසතුටෙන්. ආර්ථික අතිනුත් රට පස්සටයි ගියේ. හැම අංශයකම ප්‍රශ්න මතුවුණා. හොරකම, නාස්තිය, වංචාව කලින් ආණ්ඩුවෙ වගේම කෙරෙනවා. ආණ්ඩුව මේ වසර දෙක හමාර තුළ අසාර්ථක ආණ්ඩුවක් වෙලා. ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි මතුවෙමින් එන විරෝධය සමහන් කරගන්නයි මේ ඇමැති සංශෝධනය කළේ. දැන් ජනාධිපතිතුමා කියනවා මේ ඇමැති සංශෝධනය හරහා රටට නැවුම් බලාපොරොත්තු ලබා දෙනවා කියලා. ඒවත් බලාපොරොත්තුම විතරයි. ඒකේ දෙකක් නෑ.

 


මේ ඇමති මාරුවෙන් වැඩි වාසි ඔබ හිතන විදියට ජනාධිපතිටද? අගමැතිටද?
මේ දෙපාර්ශ්වය එකට ආණ්ඩුවෙ ඉන්නේ. රටට දෙකක් කියලා පෙන්නුවට එකට තමයි හොරකම්, වංචා, දූෂණ ඔක්කොම කරන්නේ. මේ දෙන්නටම තියෙනවා තමන්ගේ කණ්ඩායම සතුටු කරවමින් රඳවා ගන්න ඕනකමක්. ඒක දෙන්නම එකතුවෙලා කරගන්නවා.

 


හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් හිටපු ඇමැති අර්ජුන රණතුංග සමග විරෝධයක් දක්වපු නිසා ඒක කරගන්න පුළුවන් ඇමැති කෙනෙක් වරායට දැම්මා කියලා සමහරු කියනවා. ඔබලා වරාය විකිණීමට එරෙහි සටනේ ඉදිරියෙන්ම ඉඳපු අය විදියට මේ ගැන මොකද හිතන්නේ?
මේ ආණ්ඩුවෙ කිසිම ඇමැතිවරයෙකුට තමන්ගේ අමාත්‍යාංශය පිළිබඳ තනියම අවසන් තීන්දුවක් ගන්න බෑ. ඒ සෑම අමාත්‍යාංශයකම වැදගත් සහ තීරණාත්මක ආර්ථික තීන්දු ගන්නේ අගමැතිතුමා ප්‍රධානත්වය දරන ආර්ථික කමිටුව මගින්. මලික් සමරවික්‍රම, චරිත රත්වත්ත, පාස්කරලිංගම් වගේ රෝයල් කොලේජ් එකේ යාළුවො ටික තමයි ඒකේ ඉන්නේ. කැබිනට් මණ්ඩලයත් මේ ආර්ථික කමිටුවට යටයි. ආර්ථිකය පිළිබඳ එන කැබිනට් පත්‍රිකා හැම එකක්ම ආර්ථික කමිටුවට දාලා ඒකේ නිර්දේශ අනුව තමයි කැබිනට් එකෙන් සම්මත කරන්නේ. ඒක නිසා ඇමතිධුර වෙනස් කළා කියලා ඇමතිවරුන්ට ඕන ඕන විදියට වැඩ කරන්න බෑ. අර්ජුන ඇමැතිවරයාට ප්‍රශ්නය වෙලා තිබුණෙ වරාය විකුණන එක නෙවෙයි විකුණන සමාගම මොකක්ද කියන එකයි. මේ ආර්ථික කමිටුව ඉදිරියේදී රටේ මොනව විකුණයිද කියන්න දන්නේ නෑ. ඒකට ඇමැති කවුද කියන එක අදාළම නෑ.

 


මුදල් ඇමැතිකම සහ විදේශ ඇමැතිකම මාරු වීම ගැන බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා. ජවිපෙට මේ ගැන තියෙන අවධානය කොයි වගේද?
මේ අමාත්‍යාංශ දෙක මාරු කිරීමේදී නිල ලෙස ප්‍රකාශ කළේ නැතත් සමාජයට අඟවා තියෙන දේ තමයි මේ අයට එල්ලවෙලා තියෙන විරෝධය. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයට එල්ලවුණු වංචා චෝදනා කරනවා නම් කරන්න තිබුණෙ මුදල් ඇමතිකමෙන් අයින් කරලා තවත් ප්‍රබල අමාත්‍යාංශයක් දෙන එක නෙවෙයි, එල්ලවුණු චෝදනා පරීක්ෂණය කරලා දඬුවම් ලබා දෙන එකනේ. චෝදනා එල්ල වුණු නිසා මුදල් ඇමතිකම මාරු කරනවා කියනව නම් කෝටි ගණනක් ගෙවමින් බිල්ඩිමක් නඩත්තුකරණ කෘෂිකර්ම ඇමති, ගල්අඟුරු ටෙන්ඩර් පිළිබඳ චෝදනා එල්ලවෙන විදුලිබල ඇමැති, වී අයථා විදියට විකිණීම ගැන චෝදනා එල්ලවෙන හැරිසන් ඇමැති වගේ අය ගැන ගත්තු පියවර මොනවද? මහ බැංකු බැඳුම්කර වංචාවේ ආරක්ෂකයා සහ ඒකෙ ප්‍රධාන වගකිවයුත්තා වෙච්ච රනිල් වික්‍රමසිංහ ගැන ගන්න පියවර මොකක්ද? මේ වගේ ප්‍රශ්න. මේක වංචා දූෂණ ගැන හිතලා කරපු ඇමැති සංශෝධනයක් නෙවෙයි කියලා මේ නිසා පැහැදිලියි. රවි කරුණානායකට විරුද්ධව දැඩි තීන්දුවක් ගත්තා කියලා විකාර කතා කියන්න ජනාධිපතිට බෑ මේ නිසා. මේ ඇමැති මාරුව  නිසා රටේ ආර්ථිකය හොඳ අතට හැරෙයි කියලා කියනවා නම් ඒකත් විහිළුවක්.

 


විදේශ ඇමැතිකමට අමතරව ආර්ථිකයට සම්බන්ධ තවත් ආයතන කීපයක් රවි කරුණානායකට දෙන්න යනවාලු. මේ මොකාටද එන්නේ?
ඔහු මුදල් ඇමැතිකමෙන් ඉවත් කිරීම නිසා යම් අසතුටකට පත්වෙලා නම් ඒක නැති කරන්න මේ වගේ දේවල් දෙන්න ඕන. පොඩි ළමයෙක් අඬනකොට සතුටු කරන්න එක එක සීනි බෝල දෙනවනේ. මේකත් ඒ වගේ වැඩක්. අපිට පේන්නේ රවි කරුණානායක ආර්ථික කටයුතු බාර විදේශ ඇමැති වගේ.

 


ඔබ කිව්වේ මේකට පොල් කෑල්ල කාලා යන පූසට උම්බලකඩ කෑල්ලෙන් ගහනවා වගේ වැඩක් කියලා?

ඇත්තටම ඒක තමයි ජනාධිපතිතුමා කළේ. ආර්ථිකයයි, විදේශ කටයුතු කියන දෙකටම වැඩ වරදින පොටක් මේක.

 


මංගල සමරවීරට මුදල් ඇමැතිකම දීම ගැන මොකද කියන්නේ?
රටේ ඇතිවෙලා තියෙන සියලුම ප්‍රශ්නවලට මුල රටේ ආර්ථික අර්බුදය. ඒක නිසා මුදල් අමාත්‍යාංශයට මෙතැනදී දැඩි වගකීමක් පැවරෙනවා. මුදල් අමාත්‍යාංශයේ අර්බුදය රවි කරුණානායක නිසාම ඇතිවුණු එකක් නෙවෙයි. ඒක නිසා රවිගෙන් ගලවල මේක මංගලට දීම විසඳුමක් නෙවෙයි. ඒක හරියට හිසේරදේට කොට්ටෙ මාරු කෙරුවා වගේ වැඩක්.

 


මේ ඇමැති මාරුවත් එක්ක මහ බැංකු බැඳුම්කර සිදුවීමේ තීන්දුව කොයි අතට යයිද?
මේ ආණ්ඩුව බලයට ආවෙම හොරු, වංචනිකයො, දූෂිතයො හෙළිදරව් කරලා ඒ අයට දඬුවම් කරනවා කියලා. මේ අයගේ ප්‍රධාන මැතිවරණ සටන්පාඨය වුණේ හොරු අල්ලනවා කියන එක. නමුත් ඒ වෙනුවට මේ අය බලයට ආපු දවසෙ ඉඳලා කළේ ඒ අයත් හොරකම් කරන එක. ජනවාරි 8 වෙනිදා ආණ්ඩුවේ බලය අරගත්තේ. පෙබරවාරි 27 වෙනිදා තමයි මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ජනවාරි 8 වෙනිදා ඉදලා ජනතාව හොරු අල්ලන විදිය ගැන හිත හිත ඉන්කකොට ආණ්ඩුවෙ අය කළේ අරලියගහ මන්දිරේ ඉඳගෙන මහ බැංකුව සුද්ද කරන විදිය හිතන එක. හොරු අල්ලන සැලසුම් වෙනුවට හොරකම් කරන විදිය ගැන සැලසුම් හදන එකයි මේ ආණ්ඩුවත් කරන්නේ. ඒ අතින් රාජපක්ෂ ආණ්ඩුවට පරදින්නේ නෑ මේ ආණ්ඩුවත්. ඒක නිසා වංචා, දූෂණවලට දඬුවම් ලැබෙයි කියලා හිතන්න එපා. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳවත් විය හැකි දේ තමයි අනෙක් සෑම සිදුවීමකදීම වුණා වගේ සැකකරුවන්ට දඬුවම් නොලැබී යාම. රටේ ජනතාව මේ සිදුවීම යටගැසීමට ඉඩ නොදී ආණ්ඩුවට බලපෑම් කළ යුතුයි වරදකරුවන්ට දඬුවම් ලැබෙන තෙක්. කාලය විසින් මේවා යටපත් නොවන්න නම් ප්‍රබල ජනමතයක් ගොඩනැගිය යුතුයි.

 


ඔබ කියන විදියට මේ ආණ්ඩුවෙ අසමත්කම නිතරම “දැන් සැපද?” කියලා අහන මහින්ද රාජපක්ෂට නැවත පිටිය සකස් කරලා දෙන්න හේතු නෙවෙයිද?
රාජපක්ෂ කල්ලියට නැවත අපේ රටේ බලය හුවමාරු වීමට ඉඩ නොතිබිය යුතුයි. පාලන ජාලය බිඳ වට්ටනවා වගේම රාජපක්ෂලාට නැවත බලය නොදීමටත් ජනතාව වගබලා ගන්න ඕන.


අනික් අතට ඒ අයට බලය ගන්න ඉදිරිපත් කරන්න හේතු තියෙනවද? හොරකම් කරන්නේ නෑ කියන්නද? ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනව කියන්නද?. විදේශ ප්‍රතිපත්ති ගොඩනගනවා කියන්නද? ජාතික සමගිය ඇති කරනව කියන්නද? මේ එකක්වත් ඒ අයට කියන්න බෑ. ඒවා නැති කළේ රාජපක්ෂ ආණ්ඩුව. හොරකම් කිරීම පිළිබඳ රාජපක්ෂ ආණ්ඩුව තරම් කප් ගහපු අය තවත් නෑ. මේ අයට ආපසු බලය දෙන්න ඕන මොකටද?

 


පසුගිය ආණ්ඩුව කාලේ රජ කරපු ජාතිවාදී, ආගම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියා ආපහු හිසඔසවනවා වගේ. දැන් මේවා කරවන්නේ කවුද?
රටේ දරුණු ආර්ථික අර්බුදයක් ඇතිවන හැම වෙලාවෙම ඒක ප්‍රකාශ වෙන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ විතරක්ම නොවෙයි. විවිධ අරගලකාරි සිදුවීම් හරහා ඒක ප්‍රකාශ වෙනවා. බලයේ ඉන්න පාලකයා උත්සාහ කරනවා මේ ආර්ථික අර්බුදයේ අවධානය වෙනතකට යොමු කරවලා වෙන සංවාදයක් රට තුළ ඇති කරවන්න. අන්න ඒ සංවාදය තමයි ඔය ආගම්වාදී, ජාතිවාදී සංවාදය. රාජපක්ෂ ආණ්ඩුව එවැනි ගැටුම් ඇතිකරනකොට ඒක එක කල්ලියකට බාරදීලා කෙරුවෙ. මේ ආණ්ඩුවෙන් ඒක කරවන්නේ කවුද කියලා පැහැදිලිව පේන්නෙ නැති වුණාට තාම මේ ජාතිවාදී ප්‍රවණතා නිදැල්ලේ වර්ධනය වීමට ඉඩදීම හරහා අපට පැහැදිලි වෙනවා මේවට ආණ්ඩුවෙ ආශිර්වාදය තියෙනවා කියලා.

ප්‍රියන්ත කොඩිප්පිලි