ශ්‍රීලනිපය දෙකට බෙදුණේ ඇයි ?


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවත් සමඟ දේශපාලන ක්ෂේත්‍රය පසුගිය සතිය තුළ දැඩි උණුසුමක් හටගත්තේය.   


එම විශ්වාසභංග යෝජනාවත් සමග එජාප සන්ධානය තුළද එක්සත් ජාතික පක්ෂය හා එම පක්ෂයට සම්බන්ධ සුළු පක්ෂ අතරද බෙදීමක් හට ගත්තේය.   


කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රිවරු හා එම පක්ෂයට සම්බන්ධ සුළු පක්ෂ අතර කිහිප වරක් පැවැති සාකච්ඡාවලින් පසු ඒ සියලු දෙනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කළහ.  


විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර අගමැතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස විපක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විටින් විට බලපෑම් එල්ල විය. අග්‍රාමාත්‍යවරයා ඒ කිසිවක් නොතකා සිය කටයුතු සුපුරුදු පරිදි කරගෙන ගියේය. විශ්වාසභංගයේ ඡන්ද විමසීමේදී දේශපාලන පොර පිටියේ උච්චතම අවස්ථාව උදාවූයේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව සඳහන් කළ බොහෝ දෙනෙකු තම ස්ථාවරය අවසන් මොහොතේ වෙනස් කිරීමත් සමඟය.  


ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාදර් මස්තාන් යන මහත්වරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටීමද විශේෂ සිද්ධියකි.   


ශ්‍රීලනිපය මෙසේ දෙකට බෙදුණේ ඇයි? අපි ඒ සම්බන්ධව දෙපාර්ශ්වය සමගම කතා කළෙමු.  


පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන් අය ඉවත් කිරීමේ ප්‍රශ්නයක් මතු​ෙවන්නේ නෑ.  


අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසුවේ කණ්ඩායමක් ලෙස ගත් තීන්දුවක් නිසා ඡන්දය විමසන විට එහි නොසිටි බවයි.  


මගේ ස්ථාවරය වුණේ සියලු දෙනා එක මතයක සිට තීන්දුවක් ගත යුතු බවයි. නමුත් අවසාන මොහොතේ බැලුවහම විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් නොමැති බව අපට වැටහී ගියා. ඒ නිසා වැඩි පිරිසක් තීන්දු කළා පාර්ලිමේන්තුවට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින්න. මොකද මේ අමාත්‍ය ධුර දරමින් ජාතික ආණ්ඩුවේ රැඳී සිටිනවනම් අපට මෙයට පක්ෂව ඡන්දය දෙන්න බැහැ. විපක්ෂව ඡන්දය දෙන්නත් බැහැ. අමාත්‍ය ධුර දරමින් සිටින විට. ඒක සදාචාරාත්මක නැහැ. විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට තරම් අපට ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් සිටියේ නැහැ.

  
නමුත් මේ බැඳුම්කර සිද්ධිය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙතෙක් කලක් වංචාවකට දූෂණයකට නොගත් තරමේ ක්‍රියා මාර්ගයක් මේ රජය විශේෂයෙන් ජනාධිපතිවරයා විසින් අරගෙන තිබෙනවා. ඒවාට සම්බන්ධ විමර්ශන අත්අඩංගුවට ගැනීම් හා පරීක්ෂණ සියල්ල දැන් සිදුවෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා තමයි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ. මෙම යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති-ඇමැතිවරුන්ට නීතිමය හෝ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවක් මෙතනදී මතුවෙන්නේ නැහැ. මම සිතන්නෑ එහෙම අවශ්‍යතාවක් තිබෙනවා කියලා.   


ඡන්දය දුන් අමාත්‍යවරුන්ට බොහෝ දුරට අමාත්‍ය තනතුරුවලින් ඉවත්වීමේ සදාචාරාත්මක අයිතියක් තිබෙනවා. නමුත් ඔවුන් ඉවත් කිරීම පිළිබඳ මෙතෙක් තීන්දුවක් ගෙන නැහැ. විශ්වාසභංගයට පක්ෂ හෝ විපක්ෂව ඡන්දයදීම සඳහා මුදල් හුවමාරු වූ බවට චෝදනා එල්ල වෙනවා. නමුත් අපිට නම් කිසිම මුදලක් ලැබුණෙත් නැහැ. අපි එහෙම මුදලක් දුන්නත් ලබා ගන්නෙත් නැහැ.  


පසුගිය කාලයේ ලබාගත් මුදල් මෙයට යෙදවුවා කියල තවත් පිරිසක් කියනවා. තවත් අය කියනවා වර්තමානයේ ලබාගත් මුදල් යෙදවුවා කියලා. නමුත් කවුරු අතට කොහේදි මේ මුදල් හුවමාරු වුණාද කියන එක අපි දන්නේ නැහැ. අපි නම් එහෙම මුදලක් ලබාගත්තේ නැහැ. ඒක සහතිකයි.  


කිසිම බෙදීමක් නෑ. 


ජනපති බලපෑම් කළෙත් නෑ.  


විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ එහි තිබුණු කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම යෝජනාවේ කරුණු 13ක් ඇතුළත් වුණා. ඒ කරුණු කාරණා ගැඹුරු ලෙස සාකච්ඡා කර ගත් තීරණය අනුව මෙයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.  


වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-  


මේ විශ්වාසභංගයේ කරුණු 13ක් අඩංගුව තිබුණා. මීට කලින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට බැඳුම්කර වංචාව වෙලාවේ අපේ පක්ෂ​ෙය් මධ්‍ය කාරක සභාව ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විට එතුමා විසින් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ සාමාජිකයන් 11 දෙනෙක් සිටියා. ඒ 11 දෙනා අතර මමත් එක් සාමාජිකයෙක්.   


අප මේ බැඳුම්කරය පිළිබඳ දින 12 ක් අපි අපේ පෞද්ගලික නිවෙස්වල රැස්වීම් පවත්වලා මේ අවසන් වාර්තාව සකස් කරන විට ඒ වාර්තාවේ තිබුණ කරුණුවලින් ඒ මූලික කරුණු 13ක්ම මේ විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වෙලා තිබුණා. එතකොට අප විසින් නිර්දේශ කළ යම් යම් කාරණා මේ විශ්වාසභංග යෝජනාව තුළ තිබුණ නිසා අපට ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට බැහැ.   


අග්‍රාමාත්‍යවරයා සමඟ අපට පෞද්ගලික ගැටලුවක් තිබුණේ නැහැ. ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයක් පිළිබඳයි ගැටලුවක් තිබුණේ. ඒ නිසා අප අවංකවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම රැස්වුණ අවස්ථාවේ අපි තීන්දු කළා මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවා කියලා. ඒ අනුව තමයි අපි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ.  


අපි සියලු දෙනාම රැස්වී සාකච්ඡා කළත් සමහරක් මන්ත්‍රිවරු ඡන්දයට විරුද්ධව ප්‍රකාශ කළා. ඒක ඔවුන්ගේ පෞද්ගලික මතයක්. කට්ටියක් ඡන්දය විරුද්ධව ප්‍රකාශ කළා. තවත් පිරිසක් සභා ගැබින් ඉවත් වුණා. සමහර අය ඡන්දය නොදී සිටීමට තීන්දු කළා. ඒක අපිට ගැටලුවක් වුණේ නැහැ. ඒ අනුව අපි තීරණයකට එළැඹුණා.  


යම් කෙනෙකු සිතන්නට පුළුවන් මේ තීරණය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇතිවුණා කියලා. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපිට බලපෑමක් කළේ නැහැ. අපිට තනි තීරණයකට එන්න ඉඩ දුන්නා. අපිට පෞද්ගලිකව ප්‍රශ්න තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු අපි එලෙසම කරගෙන යනවා.  


මේ සිද්ධියත් සමඟ අපගේ ඇමැති තනතුරු අහිමිවීමේ අවදානමක් තිබෙනවා කියලා ඇතැම් අය සිතන්නට ඇති. නමුත් අපි ජනාධිපතිවරයාට පැහැදිලිවම ප්‍රකාශ කළා ඔබතුමාට ඕනෑම තීන්දුවක් ගන්න. මේ ඇමැතිකම් වෙනත් අයකුට ලබාදෙන්න. අපි තනතුරු අත්හරින්න ඕනෑම අවස්ථාවක සූදානම් කියලා. ඒ නිසා මම සිතන්නෙ නෑ විශේෂ ගැටලුවක් ඇති වෙයි කියලා.  


කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46කින් පරාජය කර තිබේ. මේ අනුව හෙට සිට අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමේදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරි සතිය තුළ දේශපාලන ක්ෂේත්‍රයේ අර්බුදයන් වඩාත් උග්‍රවනු ඇති.  

 

 

 

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර