ශ්‍රීලනිපය ඇතුළේ මොකද වෙන්නේ ?


රජයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති-ඇමැතිවරු ගණනාවක් ලබන දෙසැම්බර් මාසයෙන් පසු යම් තීන්දුවක් ගන්නා බවට ප‍්‍රකාශයක් කර ඇත. සම්මුතිවාදී රජයේ තව දුරටත් රැඳී සිටිනවාද, නැද්ද යන්න පිළිබඳව ඔවුහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීන්දුව ලැබෙන තෙක් බලා සිටිති.  


මේ තීන්දුවට එළඹීමට බලාපොරොත්තුව සිටින බව කියන මැති ඇමැතිවරු අතර ටී.බී. ඒකනායක, නිමල් ලංසා, සුසන්ත පුංචි නිලමේ, දුලිප් විජේසේකර, නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඉන්දික බණ්ඩාරනායක, අරුන්දික ප‍්‍රනාන්දු, සුමේධා ජී ජයසේන යන අය සිටින බව වාර්තා වේ.  



මීට අමතරව ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරු රජයේ ඇතැම් ක්‍රියා පිළිබඳව ප‍්‍රසාදයක් නොදක්වති.  
ඉහත නම් සඳහන් කිසිදු මැති ඇමැතිවරයෙක් පක්ෂය හැර යන බවට ප‍්‍රකාශ කර නොමැත. පවත්නා ප‍්‍රශ්න පිළිබඳව ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී ප‍්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 31 වැනි දින වන තෙක් ඉවසන ලෙසටයි. දැන් මේ පිරිස ජනාධිපතිවරයාගේ ප‍්‍රතිචාරය දෙස නොඉවසිලිමත්ව බලා සිටිති. එම ප‍්‍රතිචාරයත් සමඟ කවුරු පක්ෂය හැරයයිද කියන සැකය ඉදිරිපත්වී ඇත.  


තම ප‍්‍රශ්නවලට සෑහෙන විසඳුමක් නොලැබුණොත් දෙසැම්බර් 31 වැනි දිනෙන් පසු සාමූහික තීරණයකට එළඹෙන බව මෙම පිරිසෙන් බහුතරයගේ මතය වී ඇත. මේ තත්ත්වයන් මූලික කරගෙන අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටී.   
මෙම පක්ෂය අර්බුදයට ලක්වූ අවස්ථා ගණනාවකදීම පක්ෂය හැර ගිය හා පක්ෂයෙන් නෙරපන ලද විශාල පිරිසක් සිටිති.  


සමහරෙක් කැමැත්තෙන් පක්ෂය හැර ගිය අය වෙති. තවත් අය ඔවුන්ගේ ක්‍රියාකලාපය මත පක්ෂයෙන් නෙරපූ අය වෙති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස සලකනු ලබන දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූ සමයේ සිටම විවිධ හේතුමත පක්ෂය භේදභින්න වූ බව ඉතිහාසය පෙන්වා දෙයි.  


ප‍්‍රථම අර්බුදය හට ගත්තේ බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රගතිශීලී ප‍්‍රතිපත්තිවලට පක්ෂයේම පිරිසක් එරෙහිවීමෙනි. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු පත්වූ ඩබ්ලිව්. දහනායක මහතා පක්ෂයේ සභාපති ලෙස සිටිමින් වෙනත් පක්ෂයක් බිහි කිරීමට යාමෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබිණි. සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1977 පරාජයවීමෙන් පසු පක්ෂයේ නායකත්වය දැරීම පිළිබඳව මෛත්‍රීපාල සේනානායක, මහින්ද රාජපක්ෂ, අනුර බණ්ඩාරනායක, එස්. කේ. කේ. සූරියාරච්චි යන මහත්වරු ප‍්‍රධාන පිරිසක් දැක්වූ මතිමතාන්තර පක්ෂය භේදභින්නවීමට හේතුවී තිබිණි.  


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ ජනවාර්ගික අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කරන ලද “පැකේජය” සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් නිසා පක්ෂයෙන් පිරිසක් ඉවත් වූහ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මංගල සමරවීර, ශ්‍රීපති සූරියාරච්චි හා අනුර බණ්ඩාරනායක යන මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපා දැමීම සිදුවූහ.   


වර්තමානයේද පක්ෂය අර්බුදයට ලක්වීම නිසා ඉදිරි මාස කීපය තුළ කවුරු පක්ෂය හැරයාවිද යන සැකය පාක්ෂිකයන් තුළ පවතී.  
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 52ක් ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරනු ලබති. ඔවුන් ප‍්‍රකාශ කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවයි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ පිහිටුවිය යුතු බවට අපේක්ෂා කරන පිරිස්ද සිටිති. පක්ෂයේ සභාපති ධුරය පිළිබඳවද මතවාද පවතී.   
ඒ අතර රජයේම පිරිසක් (මෛත්‍රී පාර්ශ්වයේ) එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්විය යුතු බවට තරයේ කියා සිටිති. ඒ සඳහා හේතුවූ කරුණු-කාරණා ගණනාවකි.  


රජයට අදාළව ඇමැති තනතුරු ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂයට ප‍්‍රධාන අමාත්‍ය ධුර හිමිවී ඇති ආකාරය ප‍්‍රශ්නයක් වූ බව කියති. අධ්‍යාපන, ආරක්ෂාව, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, අධිකරණය, විදේශ රැකියා, ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන, ඛනිජ තෙල් සම්පත්, ඉඩම්, සංචාරක, මුදල්, විදේශ කටයුතු නිවාස ආදී වැදගත් අමාත්‍යංශ ගණනාවක් එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට තම පාක්ෂිකයන්ගේ කටයුතු සිදුකර ගැනීමට නොහැකිවී ඇති බව කියති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුනට එම කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය සහාය බොහොමයක් මැති ඇමැතිවරුන්ගෙන් නොලැබුණු බවට චෝදනා ඇත.   


මීට අමතරව මැතිවරණ සමයේදී පැවැති විවිධ හැලහැප්පීම් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයන්ට එක්ව කටයුතු කිරීම ඇතැම් අවස්ථාවලදී බලවත් මානසික පීඩාවක් වී ඇති බවද කියති. විශේෂයෙන් පත්වීම් ලබාදීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේපාලනඥයන්ට සිය පාක්ෂිකයන්ට රැකියා අවස්ථා ලබාදීම ප‍්‍රතික්ෂේප වූ අවස්ථා ඇති බවද වාර්තා වේ.   


මීට අමතරව පාක්ෂිකයන්ගෙන් ඇතිවී තිබෙන තදබල බලපෑම බරපතළම ප‍්‍රශ්නය වී ඇත. විරුද්ධ පාර්ශ්විකයන් සමග දේශපාලනඥයන් එකට වාඩිවී ආහාර ගන්නා අවස්ථා ඇතත් බොහොමයක් ගම් මට්ටමින් ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකට සම්බන්ධ වෛරක්කාරයන් වූ පිරිස් සිටිති. මේ තත්ත්වය පළාතේ දේශපාලනඥයාට බෙහෙවින් බලපෑම් කරන්නක් වී ඇත. එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කෙ​ෙරන පාලනයෙන් ඉවත්විය යුතු බව ඔවුන්ගේ ඉල්ලීම වී ඇත.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිසක් තදබල තීන්දුවකට ඒමට තවත් ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ප‍්‍රතිපත්ති පිළිබඳව පවත්නා පරස්පරතාවයයි.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති අතර පවත්නා පරස්පරතාව පාක්ෂිකයන්ට බරපතළ ප‍්‍රශ්නයක් වී ඇති බව කියති. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදි ආර්ථික ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත්, තීන්දු තීරණ ගැනීමත් නිසා පාක්ෂිකයන් අතර ඇතිවී තිබෙන කළකිරීම පක්ෂයේ මන්ත්‍රීවරුනට ඉදිරි ඡන්දයකට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කිරීමට බරපතළ තර්ජනයක් වී ඇති බව කියති.   
පවත්නා මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිසක් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙන බව වාර්තා වේ.  


දැනට කලබල නොවී සිටින ලෙසට ජනාධිපතිවරයා දැනුම්දී ඇති අතර දෙසැම්බර් 31ට පෙර අවශ්‍ය තීරණයක් ලබාදෙන බවද ප‍්‍රකාශකර ඇත.  


එතෙක් බලා සිටීමට මන්ත්‍රීවරුනට හා ඇමැතිවරුනට සිදුවී ඇත.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂය වශයෙන් පක්ෂය මූලික වශයෙන් භේදවී සිටින අතර රජයට සම්බන්ධ පිරිස් අතරද දැඩි කළකිරීම් නිසා කිසියම්ම හෝ තීන්දුවකට එළඹීමේ අපේක්ෂාවෙන් සිටිති.  


මේ අතර ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනයට සියලු දෙනා පත් කිරීමේ උත්සාහයක යෙදී සිටිති.  
එම සාකච්ඡා පිළිබඳ තොරතුරු අනාවරණය නොවෙතත්, සාකච්ඡා පැවැත්වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. සියලු දෙනා එක් කිරීමේ උත්සාහය අඩියක් සාර්ථක වන තත්ත්වයට පත්වනවිට එකිනෙකා ඇතැම් අවස්ථාවල එල්ල කරන වාග් ප‍්‍රහාරයන් නිසා උත්සාහය තවත් අඩි පහක් ආ පස්සට යන තත්ත්වයට පත්වෙන බවද වාර්තා වේ.  


පක්ෂයේ සියලු දෙනා ඒකරාශි කිරීමට උත්සාහ දරන අතරතුරදී ඒකාබද්ධ විපක්ෂය රටපුරා බල මණ්ඩල පිහිටුවමින් වෙනම පක්ෂයක් වශයෙන් දේශපාලන ගමනක් යාමට සූදානම් වන බවක් පෙන්නුම් කරයි.  


ප‍්‍රාදේශීය දේශපාලනඥයන් පෙළගස්වමින් හිමින් සීරුවේ එම වැඩපිළිවෙළ ගෙනයාමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටී. ඒ අතර රජයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද බල මණ්ඩල ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටී.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතු කිරීමේ ක්‍රියාවලියේ මූලිකත්වය දරන බවට ප‍්‍රචලිතව සිටින ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේ වෙනත් පක්ෂවලට හා පුද්ගලයන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමෙන් පක්ෂය විනාශවීමට හේතුවන බවත් එසේ වුවහොත් පාක්ෂිකයන්ගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත්ය.  


රජයේ ඇතැම් ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ පිළිබඳව ප‍්‍රසාදයක් නොදක්වන ඇමැතිවරු දෙදෙනෙක් වශයෙන් කැපී පෙනෙන්නේ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න හා සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ය.  


එම ඇමැතිවරුන් දෙදෙනා ඇතැම් අවස්ථාවල රජයේ කටයුතු පිළිබඳව ප‍්‍රසාදයක් නොමැතිව කතා කළත් පක්ෂය හැරයාමක් ගැන කිසිම අවස්ථාවක ප‍්‍රකාශ කර නැත.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරිගමන යා යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත. පක්ෂයේ ගැටුම් අනියම් ආකාරයට වෙනත් පක්ෂයක් ඉදිරියට යාමට හේතුවක් වන බවද ජ්‍යෙෂ්ඨයන් පෙන්වාදී ඇත.  


මේ අතර පක්ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම, පක්ෂයේ තීන්දු තීරණ අභියෝගයට ලක් කරමින් මාධ්‍ය හමු පැවැත්වීම යන චෝදනා මත ඒකාබද්ධ විපක්ෂයේ හතකට විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.  


ඒ අනුව ප‍්‍රසන්න රණතුංග, රංජිත් ද සොයිසා, කුමාර වෙල්ගම, පවිත‍්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට යන අතර පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහි විනය පරීක්ෂණය මේ වනවිට බොහෝ දුරට අවසන් කර ඇති බව වාර්තා වේ.   


මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් වන මෙම පිරිසට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමේ තීරණයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් රජයට සහාය දීමේ ක්‍රියාවලියෙන් එක එල්ලේම ඉවත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව දැන ගන්නට ඇත.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වන මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න තවමත් අවිනිශ්චිත අළුයට ගිනි පුපුරු මෙන් සියල්ල යටපත් වෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂය සමග යන රජයේ ගමන් මාර්ගයට පක්ෂයේ බහුතරයක් තුළ පවතින්නේ බලවත් අප‍්‍රසාදයකි. මේ තත්ත්වය බෙහෙවින් තීරණාත්මක එකක් බවට පත්වී ඇත. දෙසැම්බර් 31 වැනිදාට පෙර ජනාධිපතිවරයා දෙනු ලබන තීරණයත් සමඟ සියල්ල තීන්දු වනු ඇතැයි විශ්වාස කෙරේ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ගෙන බැලීමේදී මෙවර පක්ෂය මුහුණ පා සිටින්නේ අලුත්ම ප‍්‍රශ්නයකය. නොහොඳ නෝක්කාඩුවල අවසානය පිරිසක් ඉවත්වීම බවට බොහෝ දුරට ඉඩකඩ ඇත.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේ කියා සිටියේ කවුරු ගියත් 2020 වනතෙක් ආණ්ඩුව ගෙන යන බවයි.  


දේශපාලන පක්ෂයකට අර්බුද අලුත් දේවල් නොවන බවත් සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී සිටින බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත.   


දෙසැම්බර් 31ට පෙර පැහැදිලි තීන්දුවක් නොලැබුණොත් කණ්ඩායම් තීන්දුවක් ගන්නවා

ඉන්දික බණ්ඩාරනායක


දෙසැම්බර් 31න් පසු පැහැදිලි තීරණයක් නොලැබුණොත් කණ්ඩායමක් වශයෙන් තීන්දුවකට එළඹීමට සිදුවනු ඇතැයි කී නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතා මෙසේද කීය.  


‘‘අපි දෙගොල්ලන් එකට මේ ගමන යාමට විධායක සභාවත් මධ්‍යම කාරක සභාවත් තීන්දුවක් ගත්තා. එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95ක් ඡන්දයෙන් ලැබුණා. අපි රජයක් හදන්න නම්, ඒ අයගෙන් පිරිසක් ගත යුතු වෙනවා. ඒ අයටත් එහෙමයි. ජනාධිපතිතුමා එකඟවී යම් කාලයකට එකතුවී රජයක් පිහිටුවීමට කටයුතු යෙදුවා. මෙවැනි රජයක් ලංකාවේ පිහිටවූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. විශාල වශයෙන් අඬදබර කරගත් ගහ මරාගත් පක්ෂ දෙකක් එක්වී රජයක් පිහිටවූවා. මේක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් අපි මේ ගමන යනවා. මේ ගමනෙදි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙත් ගැටලු තියෙනවා. අපිටත් විවිධාකාර චෝදනා ප‍්‍රශ්න තියෙනවා. මේ තත්ත්වය නිසා කලකිරීමට පත්වූ පිරිස් බහුලයි.   


නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට මේ ගමන යාමට සිදුවී තිබෙනවා. රටේ ජනතාව දුන් තීන්දුවක්. යම් කාල පරිච්ෙඡ්දයකට එකඟවී මේ ගමන යනවා.   


මේ ගමන අමාරුයි. ඒ අමාරුකම් මැද යම් යම් ජයග‍්‍රහණයක් ලබා තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන්ම පහුගිය කාලේ අපි ජාත්‍යන්තර වශයෙන් ඈත්වී සිටි රටක්. නව රජය යටතේ ජනාධිපතිටත්, අගමැතිටත් ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් තියෙනවා.

යහපාලනය යටතේ හොරකමට, දූෂණයට, වංචාවට ඉඩක් නැහැ. ජාතින් අතර පැවැති අසමගිතාවයත් සමනය වෙලා. නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂාවී තිබෙනවා. මෙවැනි ජයග‍්‍රහණ රාශියක් ලබා තිබෙනවා. ඒත් මේක අපට දුෂ්කර කාලයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු කලකිරීමට පත්වෙලා. ජනාධිපතිට දැනුම් දීලත් තියෙනවා. දෙසැම්බර් 31 වනතුරු බලන්න කිව්වා. අපි බලමු. අපි පක්ෂය හැර යන තීන්දුවකට තවම එළඹිල නැහැ.’’  


පක්ෂ දෙකේ ප‍්‍රතිපත්ති අතර පවත්නා පරස්පර බව වගේම පාක්ෂිකයන් මේ එක්ව යන ගමනට එකඟ නැහැ. මේ රජයෙන් ඉවත්වී විපක්ෂයේ සිටිය යුතු බවටත් මතයක් තියෙනවා. තවත් අය කියන්නෙ අපි තනි රජයක් පිහිටවිය යුතු බවයි. තනි රජයක් පිහිටුවීමත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අපිට තනි රජයක් සඳහා ජනතාව බලයක් ලබාදීල නැහැ. ඒ නිසා තනි රජයක් පිහිටුවීම දුෂ්කර බව මගේ පෞද්ගලික හැඟීමයි. ඒකාබද්ධය එකතු වුණත් අපිට ඉන්නෙ මන්ත්‍රීවරු 95යි. ජනාධිපතිතුමා ශක්තිමත් නොකර අපි වෙන වෙන පක්ෂවලට හේත්තු වුණොත් ජනාධිපතිතුමා තවත් දුර්වල වෙනවා.  


දෙසැම්බර් 31 දිනෙන් පසු අපි කණ්ඩායමක් වශයෙන් තීරණය ගන්නවා. විශේෂයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම එක් තීරණයකට එනවා. ස්වාධීන විය යුතු බවට අදහස් තියෙන අය ඉන්නවා. එහෙම උනොත් ජනාධිපතිගෙ බලය හීනවෙනවා. ඒ නිසා මේ වෙලාවෙ ජනාධිපතිවරයා ශක්තිමත් කළ යුතු වෙනවා. සාමුහිකව තීන්දුවක් ගත්තොත් ඒ තීන්දුවට එකඟ වෙනවා. බහුතරයක් ඒ ස්ථාවරයෙ ඉන්නවා. පිරිසක් ගියොත් ඒකාබද්ධයෙන් එන්න පිරිසක් ඉන්නවා.   


විනය පරීක්ෂණ පවත්වන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී  තීන්දු කර නෑ


රංජිත් ද සොයිසා


විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගෙන නොමැති නිසා ඒ ගැන කථා කළ යුතු නැති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය.  
ඒ මහතා මෙසේද කීය.   


විනය පරීක්ෂණයක් ගැන අපට කිසිම දැනුම්දීමක් කරල නැහැ. මාධ්‍යයෙන් කියූ කරුණු විතරයි දන්නෙ. අපිට නම් කිසිම දැනුම් දීමක් කරල නැහැ. අනික මධ්‍යම කාරක සභාවෙදි ඒ වගේ තීරණයක් අරගෙනත් නැහැ.  


ප‍්‍රශ්නය- ඔබ දන්නෙ කොහොමද? ඔබ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන්නෙ නැහැ නේද?  
පිළිතුර- අපෙත් යාළුවො ඉන්නව නේ. විනය පරීක්ෂණයක් තියන්න ඕනැ කියල කවුරු හරි කියන්න ඇති. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. අපි මධ්‍යම කාරක සභාවෙ ඉන්න මිත‍්‍රයන්ගෙන් ඇහුවා. ඔවුන් කිව්වෙ එහෙම දෙයක් වෙලා නැහැ කියලයි. අපි කෑගහනව වැඩියි. ඉවත් කරන්න කියල කියපු අයත් ඉන්නවා. නමුත් විනය පරීක්ෂණයක් කියන්නෙ පොඩි දෙයක් නෙවෙයි. අනික මන්ත්‍රීවරු ගණනාවක් පිළිබඳව මධ්‍යම කාරක සභාවෙ සාකච්ඡා වෙලා නැහැ. ඒ නිසා අපි මේ ගැන කතා කරන එකේ තේරුමක් නැහැනේ. මධ්‍යම කාරක සභාව තීරණයකට ඇවිල්ලත් නැහැනේ.  

 


ශ්‍රීලනිපය අලුත් විය යුතුයි 

මහලේකම් දුමින්ද 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් විය යුතු බව එම පක්ෂයේ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා කීය.  


ඒ මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.  


පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන අය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. දැනටමත් කීප දෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.  


අපේ පක්ෂය නොකිළිටි පක්ෂයක් ලෙසට පරිවර්තනය කළ යුතුයි. පක්ෂයේ අනාගත වැඩ පිළිවෙළ සකස් කරගත යුතු ආකාරය පිළිබඳව දැන් සාකච්ඡා මට්ටමින් පවත්වනවා. පක්ෂයේ අඩුපාඩු හදාගත යුතුයි. මේ පක්ෂයට පසුගිය කාලයේ එල්ලවී තිබුණු ජාතිවාදිවීම, හවුල්වාදයට වැඩියෙන් බරවීම නිසා ජ්‍යෙෂ්ඨයින්ට තැනක් නැතිවීම වැනි චෝදනාවලින් තොර කිරීමට පියවර ගන්නවා.   

 

දයාසීලි ලියනගේ