ශ්‍රී.ල.නි.ප. පොදුජන පෙරමුණ කියලා බෙදිලා හිටියොත් අපිට අනාගතයක් නෑ


පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්   
දයාසිරි ජයසේකර  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් දයාසිරි ජයසේකර මෙසේ ඉරිද‌ා ලංකාදීපය සමග සාකච්ඡාවකට එකතු වේ.  


කොහොම හරි පක්ෂෙ මහ ලේකම්කමත් ගත්තා නේද?  


මේක මට ලැබුණු අභියෝගයක්. මට සතුටුයි අපි විපක්ෂෙ ඉන්න වෙලාවෙ පක්ෂ මහ ලේකම්කම ලැබුණු එක. දැන් අපි පක්ෂය වේගයෙන් ඉදිරියට ගෙනියන්න කැපවෙන්න ඕනෑ. මේක මට ආභරණයක් කියලා මං හිතන්නේ නෑ.  


ඔබට වඩා ජ්‍යෙෂ්ඨයොත් ඉද්දී පහුගිය කාලේ මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයාට සමීප අයත් ඉද්දී දයාසිරිට මේ පුටුව ලැබෙන්නේ කොහොමද?  


මේ පක්ෂය නැවත ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සහිත යෝජනාවක් ඉදිරිපත් කළේ මම. ඒ පිළිබඳ හොඳ අවබෝධයක් මධ්‍යම කාරක සභාවට ලැබුණා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මධ්‍යම කාරක සභාව මේ යෝජනාවලිය හොඳට අධ්‍යයනය කරලා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙක් විදියට මං ගැන හිතලා වෙන්න ඇති මේ වගකීම මට බාර දුන්නේ. ජනාධිපතිතුමා තීරණය කරන්න ඇත්තේ ජ්‍යෙෂ්ඨ ද කනිෂ්ඨ ද කියන එකට වඩා මේ වගකීම හරියාකාරව කරගෙන යන්න පුළුවන් ද කියන එක වෙන්න ඇති.  


ඔබේ මේ පත්වීමට පක්ෂයේ ඒකමතික අනුමැතිය ලැබුණ ද විරෝධතා එල්ල වුණා ද?  


පැහැදිලිව මධ්‍යම කාරක සභාවෙ ඒකමතික තීන්දුවෙන් තමයි මම මේ තනතුරට පත්වුණේ. මම ඇත්තටම සතුටු වෙනවා බෙදීමක් නැතුව ඒ තීන්දුව ඒකමතිකව ලැබුණු එක පිළිබඳව.  


පහුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනව හාස්‍යයට ලක් කරපු ඔබට මේ තනතුර දෙන්න තරම් ජනාධිපතිවරයා නැමුණෙ කොහොමද?  


මම එදත් පක්ෂය වෙනුවෙන් තමයි කටයුතු කළේ. පක්ෂයක් වෙනුවෙන් වැඩ කරද්දී ඊට එරෙහි බලවේගවලට විරුද්ධව තමයි අපි කතා කරන්නේ. ඒත් මම පුද්ගලිකව මෛත්‍රීපාල සිරිසේනට අපහාස උපහාස කරල නෑ. ඒක එතුමා දන්නවා.  


එතුමා පක්ෂය ද‌ාලා යද්දිත් මම ඒක විවේචනය කළා. නැවත එතුමා පක්ෂය බාරගත්තම අපි එතුමා එක්ක සුහදව වැඩකටයුතු කරනවා. මට වැදගත් වුණේ පුද්ගල සාධකවලට වඩා පක්ෂය. මෛත්‍රීපාල මැතිතුමත් එහෙම වෙන්න ඇති කල්පනා කරන්න ඇත්තේ.  


මහින්ද රාජපක්ෂ අපේ පක්ෂ නායකයා විදියට වැඩ කරද්දිත් මම එතුමට ඉතාම කැපවෙලා වැඩ කළා. ඉදිරියට තව කවුරු හරි පක්ෂ නායකත්වයට පත් වුණත් අපි ඒ කෙනා එක්කත් සහයෝගයෙන් වැඩ කරනවා.  


ඔබේ මහලේකම් පත්වීම දින කීයක එකක්ද? ඒකත් තාවකාලික එකක්ද?  


මේකට දින ගණනක් අද‌ාළ නෑ. හරියට වැඩ කරන්නයි ඕනෑ. මම හරියට වැඩ කළොත් කවුරුත් දින ගණන් කරන එකක් නෑ. මගේ බලාපොරොත්තුව මේක තාවකාලිකද නැද්ද කියන එකට වඩා වැඩ කරන්න. මේ වෙලාවේ පක්ෂය වෙනුවෙන් උපරිම සේවය ලබා දෙන්න. ඉදිරි මාස කීපය තුළ පක්ෂය ප්‍රතිසංවිධාන කළ යුතුයි. අපිට මතකයි මීට කලින් ධර්මසිරි සේනානායක මැතිතුමා පත් කෙරුවෙත් වැඩ බලන ලේකම් කියලා. ඒත් එතුමා 1994 ඉඳලා වසර ගණනාවක් ඒ තනතුරේ කටයුතු කළා. ඒ වගේ හොඳට වැඩ කරනව නම් ​කොච්චර කල් ද ඉන්නෙ කියලා කවුරුත් හොයන එකක් නෑ. මේ තනතුරුවල හැමද‌ාම එල්ලිලා ඉන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.  


ඔබට මේ තනතුර දෙන්නේ තාවකාලිකව පත් කරපු රෝහණ ලක්ෂ්මන්ගෙ කෙරුවාව හොඳ මදි නිසාද?


රෝහණ ලක්ෂ්මන් මැතිතුමා මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක්. එතුමා ඉඳපු කාලය තුළ විශාල වැඩ කොටසක් කළා. අමාරුම කාලෙක තමයි එතුමා මේ වගකීම ගත්තේ. අපේ බල මණ්ඩල පිහිටුවීම සීයට අනූවකට වැඩි ප්‍රමාණයක් එතුමා අවසන් කළා. ඒකත් මට ලොකු ශක්තියක්. එතුමා ​මේ තනතුරෙන් ඉවත් වුණෙත් ඉතා කැමැත්තෙන්. ඒ ගැන කිසිම ආරවුලක් පක්ෂය තුළ නෑ. දැන් එතුමා ජනාධිපතිතුමාගේ උපදේශකවරයෙක් විදියට කටයුතු කරනවා. එතුමාට අනාගතයේ පක්ෂයේ තීරණාත්මක වගකීමක් පැවරෙන්න ඉඩ තියෙනවා.  

 

මම පුද්ගලිකව මෛත්‍රීපාල සිරිසේනට අපහාස උපහාස කරල නෑ. ඒක එතුමා දන්නවා. එතුමා පක්ෂය ද‌ාලා යද්දිත් මම ඒක විවේචනය කළා. නැවත එතුමා පක්ෂය බාරගත්තම අපි එතුමා එක්ක සුහදව වැඩකටයුතු කරනවා. මට වැදගත් වුණේ පුද්ගල සාධකවලට වඩා පක්ෂය. 


 ඔබේ මේ පත්වීමට හිටපු මහලේකම් දුමින්ද දිසානායකගෙ අසතුටක් එහෙම නැද්ද?  


මම දන්න තරමට එතුමගෙ කිසිම ප්‍රශ්නයක් නෑ. එතුමා මට සුබපැතුවා. මම වැඩ බාරගන්න අවස්ථාවටත් සහභාගි වුණා. ඔහුත් පක්ෂයේ වගකීමක් දරනවා. මේ තනතුරු අපි කාටත් තාවකාලික ඒවානේ. මගෙන් පස්සේ තව කාට හරි මේක ලැබෙයි.  


බැලූ බැල්මට ඔබලා දැන් කණ්ඩායම් දෙකක්නේ. කොහොමද මේ දෙක එකතු කරන්නේ?  


පොදුජන පක්ෂය වෙනම වැඩ කරගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි වෙනම වැඩ කරගෙන යනවා. කෙසේ වෙතත් මේ එක පක්ෂයකටවත් තනිව ජයග්‍රහණය කරන්න අමාරුයි. ඒනිසා මේ දෙක එකට එකතු වෙන්න ඕනෑ. මම ඉන්නේ ඒ මතයේ. මේ පාර්ශ්ව දෙකම එකට එකතුවුණු පොදු සන්ධානයක් තුළින් තමයි ජයග්‍රහණය ලබන්න ඕනෑ.  
මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස දැන් කියන්නේ එයාලා තාම ශ්‍රීලනිපයේ සාමාජිකයො කියලා. ඒත් පොහොට්ටුව තමයි පුප්පන්නේ.  


එතුමා අපේ පක්ෂෙ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරයෙක් විදියට වැඩ කරනවා. අපි හිතනවා එතුමා පක්ෂය වෙනුවෙන් හරි දේ ඉදිරියේ දී කරයි කියලා. තවදුරටත් බෙදිලා සිටීමෙන් අපිට අනාගතයක් නෑ කියලා කවුරුත් අවබෝධ කරගන්න ඕනෑ.  


පොහොට්ටුවෙ අයගෙ කියුම් කෙරුම්වලින් පේනවද ඔය ඔබ කියන එකඟතාවයට ඔවුන් කැමැතියි කියලා?  


ඔවුන් ඇත්ත තත්ත්වය අවබෝධ කරගත යුතුයි. අපි කවුරුත් අපේක්ෂා කරන්නේ ජයග්‍රහණය නම් බෙදිලා ඒක ලබන්න බෑ. අපි කවුරුත් කැමැතියි මෛත්‍රි - මහින්ද එකමුතුවට.  


ඔබ පක්ෂෙ මහලේකම් විදියට දැනගත යුතුම කාරණයක් මම මේ අහන්නේ. මහින්ද රාජපක්ෂ ඇතුළු ඔය පොහොට්ටුවෙ පිරිස ඇත්තටම තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ සාමාජිකයොමද?  


එක්සත් ජනතා නිදහස් සන්ධානේ ඒ අය ඉන්නව කියලා මහින්ද අමරවීර මැතිතුමා කතානායකතුමාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා.  


ඔබ කියන්නේ පොදුජන පෙරමුණක් කියලා එකක් නැද්ද ලංකාවේ?  


එහෙම එකකුත් තියෙනවා. ඒකෙත් ඔය කට්ටියක් ඉන්නවනේ. ඒක ඒ අය බලාගන්න ඕනෑ කාරණයක්.  


 මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තා කියලා මහ ලොකු සංදර්ශනයක් දැම්මනේ. ඒක ඔබ දැක්කද?  


ඔව් මමත් ඒවා මාධ්‍යවලින් දැක්කා. ඒවා අපිට විශ්වාස කරන්න වෙනවා. පත්තරවල ටී.වී වල ගියපුවා කොහොමද බොරුයි කියන්නේ. ඒ ගැන ඒ අය විවිධ අදහස් කියලා තිබුණා.  


ඒ අය කියපු ඔය කතා විශ්වාස කරන්න රටේ ඉන්නේ බබ්බු කියල ඔබත් හිතනවද?  


නෑ ඒ අය මොනව කිව්වත් ඒවා සිහිබුද්ධියෙන් පිළිගන්න මිනිස්සු දැනගන්න ඕනෑ. ජනතාව ඒ ගැන තීරණය කරයි. ඒ අය තාමත් පොහොට්ටුවෙ බැනර් එක ගහගෙන ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනවනේ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා ජනතාව තීරණය කරයි.  


ඔබ මහලේකම් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ එක්ක හෝ ඒ පාර්ශ්වය එක්ක සමගිය බලාපොරොත්තුවෙන් සාකච්ඡා කළා ද?  


නෑ. මට තාම එහෙම අවස්ථාවක් ලැබුණේ නෑ. අපි අපේ පක්ෂෙ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා. ඉදිරියේදී එවැනි සාකච්ඡා අවශ්‍ය මොහොතේ සිදුවේවි.

  
දැන් දේශපාලන කරළියේ තියෙන ප්‍රශ්නාර්ථයක් තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක. ඔබට තියෙන උත්තරේ මොකක්ද?  


ඒක තීරණය වෙන්නේ ලබන දෙසැම්බර්වලින් පස්සේ. අපේ අපේක්ෂකයා විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා ඒ ගැන තාම තීන්දුවක් අරගෙන නෑ. පොදුජන පෙරමුණේ තාම එහෙම කෙනෙක් නම් කරලත් නෑ. නම් කිය කිය ඉන්නවා විතරයි. අපි දෙගොල්ලෝ එක සන්ධානයකට ගියොත් විතරයි අපිට දිනන්න පුළුවන්.  


ඔබලා යෝජනා කරන මෛත්‍රීපාල සිරිසේන නම ජනප්‍රිය තීරණයක් කියලද හිතන්නේ?  


ජනප්‍රියම තීන්දුවකට වඩා පක්ෂය ගන්න ස්ථාවරය. අපි කිව්වට විතරක් මදි. එතුමත් තීරණය කරන්න ඕනෑ. එතුමා තීන්දු කළාට පස්සේ අපේ විවිධ ක්‍රියාමාර්ග හරහා අපේ ජයග්‍රහණය කරා යා යුතුයි.  


ඔබ පක්ෂෙ මහලේකම්වරයා විදියට නැතුව පාක්ෂිකයෙක් විදියට හිතලා උත්තර දුන්නොත් ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේන එනවට කැමැතිද?  


ඔව්. මම ඒකෙ වැරැද්දක් දකින්නේ නෑ. ඔහු පහුගිය කාලය තුළ රටට විශාල සේවයක් කළා. ප්‍රශ්න මැද වුණත් ඔහු කරපු වැඩ කොටස අමතක කරන්න බෑ. ඒක නිසා එතුමා ඊළඟ වතාවෙත් ජනාධිපතිවීම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.  


ගෝඨාභය රාජපක්ෂ කියපු ජනාධිපතිවරණයට ‘ඔබ සූද‌ානම් නම් මමත් සූද‌ානම්’ කියන ප්‍රකාශය ගැන ඔබට තිබෙන අදහස කොයි වගේද?  


එතුමා කියලා තියෙන්නේ ජනාධිපතිවරණයට ඔබ සූද‌ානම් නම් මමත් සූද‌ානම් කියලනේ. මං හිතන්නේ මැතිවරණයට වැඩ කරන්න සූද‌ානම් කියලා වෙන්න ඇති ඔය කියන්නේ. 

 

මුලින්ම පළාත් සභා මැතිවරණයනේ පවත්වන්න ඕනෑ. පළාත් සභා කීපයක ඡන්දය ප්‍රමාදයි. ඡන්දය පවත්වන ක්‍රමය වහාම තීන්දු කරලා පළාත් සභා ඡන්දයකට යා යුතුයි. අපිට අපේ ජයග්‍රහණය බොහොම පැහැදිලියි. මෛත්‍රි - මහින්ද දෙන්නම එක ​වේදිකාවට ඇවිත් ජනතාවට ආමන්ත්‍රණය කළාම අපිට ජයග්‍රහණය අමාරු දෙයක් නෙවෙයි. 


එහෙම කියලා සරල විදියට හිත හද‌ාගන්න පුළුවන්ද?  


එතුමා කියලා නෑනේ ජනාධිපතිවරණයට තරග කරන්න සූද‌ානම් කියලා. අපිත් කියන්නේ ජනාධිපතිවරණයට ඔබ සූද‌ානම් නම් අපි සූදානම් කියලා. ඕන කෙනෙකුට ඔය කතාව කියන්න පුළුවන්. ඉදිරි ජනාධිපතිවරණයේ දී කවුද අපේක්ෂකයෙක් කියලා ඒ ඒ පක්ෂ තීන්දු කරාවි. ගෝඨාභය රාජපක්ෂ ඒකට සුදුසු නම් ඒකත් සාකච්ඡා කරලා ගන්න ඕනෑ තීන්දුවක්. පොදු අපේක්ෂකයෙක් විදියට එතුමා එනව නම් පක්ෂයක් විදියට ඒ ගැන සාකච්ඡා කරලා පොදු තීන්දුවකට අපිට එන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් ඒ තීන්දුව ගන්න වෙන්නේ.  


 ඔබලා කැමැති ඉක්මනින් කොයි මැතිවරණය පැවැත්වෙනවටද?  


මුලින්ම පළාත් සභා මැතිවරණයනේ පවත්වන්න ඕනෑ. පළාත් සභා කීපයක ඡන්දය ප්‍රමාදයි. ඡන්දය පවත්වන ක්‍රමය වහාම තීන්දු කරලා පළාත් සභා ඡන්දයකට යා යුතුයි.  


 පළාත් සභා ඡන්දය තිබ්බොත් ඔබලාගේ ජයග්‍රහණය ගැන තියෙන තක්සේරුව කොයි වගේද?   


අපිට අපේ ජයග්‍රහණය බොහොම පැහැදිලියි. මෛත්‍රි - මහින්ද දෙන්නම එක ​වේදිකාවට ඇවිත් ජනතාවට ආමන්ත්‍රණය කළාම අපිට ජයග්‍රහණය අමාරු දෙයක් නෙවෙයි.  
සමහරු කියන්නේ ඒකට ජනාධිපතිතුමා පත්කරපු ආණ්ඩුකාරවරුන්ගේ සහයෝගයත් නොමදව ලැබෙයි කියලා.  


ඒකත් යම් සහයක් වෙයි. ඔවුනුත් ඒ ඒ පළාත්වල වැඩ කොටසක් කරනවා ජනතාව වෙනුවෙන්.  


ඒකට ද සමහරු චෝදනා කරන විදියට රනිල් වික්‍රමසිංහ විරෝධී පුද්ගලයොම ආණ්ඩුකාරකම්වලට දැම්මේ?  


රනිල් වික්‍රමසිංහ විරෝධීම කියන්න බෑ. ඒත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන ගමන් මගත් එක්ක විරෝධී යම් යම් පුද්ගලයොත් මේ අතර ඉන්නවා. ඒත් ඒ අයගේ සුදුසුකම් සලකලා තමයි ඒ පත්වීම් කළේ. ඒ අය ජනාධිපතිතුමා පත් කළා කියලා අනවශ්‍ය විදියට පක්ෂග්‍රාහීව කටයුතු කරන්න අවශ්‍යතාවක් නෑ.  


ජාතික ආණ්ඩුවෙන් එළියට ආපු 16 කල්ලියෙ ඔබත් හිටියා. ඔබ වෙන හැංගිමුත්තන් සෙල්ලමක් ද‌ාලා තනි ගේමක් ගහන්න හැදුවා කියලා ඉතුරු පහළොස් දෙනා කිව්වා. ඇත්තද කතාව?  


නෑ මම තනි ගේමක් ගහන්න ගියේ නෑ. මම මුල ඉඳලම කියපු කාරණය තමයි අපි ආණ්ඩුවෙන් එළියට ආවට පක්ෂයෙන් එළියට යන්න බෑ කියන එක. ඒ වගේම පොහොට්ටුවට එකතු වෙන්නත් බෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව තියාගෙන වෙනම කණ්ඩායමක් විදියට පාර්ලිමේන්තුවෙ වෙනම වාඩිවෙමු කියලා මම කිව්වා. අපි එහෙම වාඩි වුණා. අපි එළියේ රැස්වීම් කීපයකුත් කළා. ඔය අතරේ තමා අපේ කණ්ඩායමෙන් පිරිසක් ගිහින් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තේ. මම ඒකට එකඟ වුණේ නෑ. මම එකම මතයක දිගටම හිටියා. ඒක හැංගිමුත්තන් සෙල්ලමක් හෝ ගේම් ගැහිල්ලක් කියලා මං හිතන්නේ නෑ.  

 

 


 ප්‍රියන්ත කොඩිප්පිලි