වි​දේශ මාධ්‍ය එක්ක රට ගැන කතා කිරීම රටට හොඳ නෑ


අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්

  • මාර්තු 1 වැනිද‌ා සාමාන්‍ය පෙළ පටන් ගන්නවා.ප්‍රතිඵල ජූනි මාසෙ දෙනවා.

 

හෙට සිට පාසල් විවෘත වීමට නියමිතය. ඒ පිළිබඳවත් උණුසුම් දේශපාලන කාරණාවන් සම්බන්ධයෙනුත් අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- හෙට සිට පාසල් විවෘත කිරීමට නියමිතයි. අවද‌ානමක් නැද්ද?


පිළිතුර:- මේක කළ යුතු දෙයක්. කොවිඩ් 19 කියන්නේ ලෝක වසංගතයක්. ඒක අපේ රටට පමණක් අද‌ාළ දෙයක් නොවෙයි. ඕනෑම ප්‍රශ්නයක් මතු වුණාම විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි පාසල් පටන් ගන්නේ නැතිව ඉන්න එක. මට සිදුවුණා බොහොම අමාරු තීරණයක් ගන්න. ඒ තමයි උසස් පෙළ විභාගය. උසස් පෙළ විභාගයට පෙනී හිටිය ළමයි තුන්ලක්ෂ හැටදෙද‌ාහක්. දෙමාපියන් මට විවිධ මාර්ගයෙන් කිව්වා ‘මේ විභාගය දෙවතාවක් කල් ද‌ාලා තියෙන්නේ, අනේ තුන්වැනි වතාවට නම් කල්ද‌ාන්න එපා’ කියලා. හැබැයි බොහොම තර්ජනාත්මකව යම් යම් තැන්වලින් කිව්වා ‘මේක ලොකු විනාශයක්. දරුවන්ගේ ජීවිත අවද‌ානමට දැමීමක්’ කියලා. නමුත් අපි තීරණය කළා විභාගය තියන්න. විභාග මධ්‍යස්ථාන 2800 ක් තිබුණා. දවස් 22 ක් විභාගය තිබුණා. නිරෝධායනය වෙන ළමයි හිටියා 58 ක්. මේක ඇතුලේ තව වීර ක්‍රියා වාර්තා වුණා. අම්බලන්ගොඩ පාසලක හිටියා ආසාදිත දරුවෙක්. එයා කිව්වා එයාට විභාගය ලියන්නම ඕනෑ කියලා. නමුත් ඒ දරුවා බලාගන්න කෙනෙක් හිටියේ නෑ. වෙන පාසලක ගුරුවරයෙක් ඉදිරිපත් වුණා. ඒ නිසා ඒ දරුවට විභාගය ලියන්න පුළුවන් වුණා. ඒක අපි සාර්ථකව කළා. අපේ අමාත්‍යාංශ නිලධාරීන්, ගුරුවරුන්, සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශ, මාධ්‍ය, පළාත් පාලන ආයතන ඔක්කොම එකතු වෙලා කරපු නිසා ඒක සාර්ථක වුණා.


ප්‍රශ්නය:-නමුත් ප්‍රතිඵල ප්‍රමාද විය හැකියි කියලත් කියනවා?


පිළිතුර:- නෑ අපි බලාපොරොත්තු වෙනවා මාර්තු අන්තිමට හෝ අප්‍රේල් මුල ප්‍රතිඵල නිකුත් කරන්න. ඒ නිසා දරුවන්ට පාඩුවක් වෙන්නේ නැහැ. මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ප්‍රතිපල නිකුත් කිරීමයි විශ්වවිද්‍යාලයට ඇතුළුවීමයි අතර අවරුදු එකහමාරක් විතර පරතරය. ඒ අවුරුදු එකහමාර ඒ දරුවගේ ජීවිතයේ ඵලද‌ායිම කාලයක්.


ප්‍රශ්නය:-ඒ ප්‍රශ්නයට තියෙන විසඳුම?


පිළිතුර:- විභාග කොමසාරිස්තුමා සමග මම මේ ගැන දීර්ඝව සාකච්ඡා කළා. ඒ කාලය අඩු කිරීමේ ක්‍රමවේද තියෙනවා. ඒකේ මූලික පියවරක් ලෙස මාස හතරක කාල සීමාවට අපි ඒ පරතරය අඩු කරනවා.


ප්‍රශ්නය:-පහ වසර ශිෂ්‍යත්ව විභාගයත් තිබ්බා?


පිළිතුර:- ඔව්. ඒකත් අපි තිබ්බනේ. ඒකට පෙනී සිටිය දූ දරුවන් තුන්ලක්ෂ විසිහය ද‌ාහක්. දැන් බලන්න ඒ විභාගයේදී අපේ දරුවන් දහ දෙනෙකුට පුළුවන් වුණා ලකුණු දෙසීයෙන් දෙසීයම ගන්න. ඒ දරුවන් කොළඹ ලොකු පාසල්වල දරුවන් නොවෙයි. අපේ රටේ තියෙන ප්‍රධානම සම්පත තමයි මානව සම්පත. මේ මානව සම්පත වෙනුවෙන් අපි සෑහෙන්න වෙහෙසෙනවා. පාසල් විවෘත කිරීමට අද‌ාළව මේ පියවර ගන්නෙත් ඒ වෙනුවෙන්.


ප්‍රශ්නය:- එතකොට සාමාන්‍ය පෙළ විභාගය?


පිළිතුර:- ඒකත් අපි තීරණය කළා මාර්තු 1 වැනිද‌ා සිට මාර්තු 11 දක්වා විභාගය තියන්න. ඒකේ ප්‍රතිඵල අපි බලාපොරොත්තු වෙනවා නිකුත් කරන්න ජූනි මාසයේදී. එතකොට අපිට උසස් පෙළ පන්ති ජූලි මාසයේදී පටන් ගන්න පුළුවන්. පහුගිය අවුරුදුවල උසස් පෙළ පන්ති පටන් ගත්තේ සැප්තැම්බර් මාසයේදී. ජූලි මාසයේදී උසස් පෙළ පන්ති පටන් ගත්තොත් කොරෝනා නිසා නැති වෙච්ච කාල සීමාව හුඟාක් අවම කරගන්න පුළුවන්.


ප්‍රශ්නය:-බස්නාහිර පළාතෙත් රටේ හුදකලා කරලා ඇති ප්‍රදේශවලත් පාසල් වහලා. නමුත් විභාගය තියනවා?


පිළිතුර:- ඒකටත් විසඳුමක් අපට තියෙනවා. බස්නාහිර පළාතේ හුදකලා කරලා ඇති ප්‍රදේශවල පිහිටි පාසල් හා රටේ අනෙකුත් හුදකලා ප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් පාසල්වල 11 ශ්‍රේණියේ පන්ති පමණක් ජනවාරි 25 වැනිද‌ා පටන් ගන්නවා.


ප්‍රශ්නය:-නමුත් පාසල් විවෘත කිරීමට තරම් සුදුසු තත්ත්වයක් නෑ කියලා කියන අයත් ඉන්නවා?


පිළිතුර:- අපි පාසල් විවෘත කරන්නේ වැඩ පිළිවෙළක් ඇතුළේ. අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ මම ළඟදී ගියා සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය ඇමැතිනිය හා ඒ නිලධාරීන් සමග කතා කරලා අපි වැඩපිළිවෙළක් යොද‌ා ගත්තා.


ප්‍රශ්නය:- මොකක්ද ඒ වැඩ පිළිවෙළ?


පිළිතුර:- අපි මේ වන විටත් පටන් අරගෙන තියෙනවනේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා පන්ති. ඒ වගේම පෙර පාසල් හා ප්‍රාථමික පාසල් විවෘත කරනවා. නොවැම්බර් 23 තමයි අපි නැවත පාසල් පටන් ගත්තේ.


ප්‍රශ්නය:-එතකොට හෙට පාසල් විවෘත වෙන්නේ 2020 වසරේ තෙවැනි වාරය හැටියටද?


පිළිතුර:- නෑ..... මම ඒ ගැන පැහැදිලි කරන්නම්. පෙර පාසල්වල ඉගෙන ගන්න දරුවන්ගේ මව්වරුන් රැකියාවක් කරනවා නම් දැන් රටේ ආර්ථිකය විවෘත වෙනවා. මව්වරුන්ට වැඩට යන්න වෙනවා. එතකොට පෙර පාසල් යන දරුවා තියලා යන්න විදියක් නෑ. ඒ වගේම පෙර පාසල්වල ගුරුවරුන්ට ලොකු ආර්ථික ප්‍රශ්නත් තියෙනවා. ඒ නිසා ක්‍රමක්‍රමයෙන් ඒවා ආරම්භ කළ යුතුයි.


ප්‍රශ්නය:-උපකාරක පන්ති තහනම කොහොමද?


පිළිතුර:- සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපට ලැබුණු උපදෙස් තමයි සමාජ දුරස්ථ භාවය එතැන රැකගැනීම අසීරු නිසා ඒක පොඩ්ඩක් කල්ද‌ාන්න කියලා. ඒ නිසා ඒ සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව ජනවාරි 25 වැනිද‌ා උපකාරක පන්ති ආරම්භ කරන්න අවසර ලැබෙනවා. මේවා කරන්නේ සැලැස්මක් අනුවයි. පාසල් විවෘත කරන්න ඉස්සෙල්ලා ගන්න පියවර හා ඊට පස්සේ ගන්න පියවර වශයෙන් මෙතැන පියවර දෙකක් තියෙනවා. අපි පහුගිය දවස්වල වෛද්‍ය විශේෂඥයන් සමග මේ ගැන කතා කළා. අපි අපේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධියට පත් කළා. පාසල් ආරම්භ කරන්න පෙර ඒ පන්ති කාමරය හා වටපිටාව පිරිසිදු කිරීම, විෂබීජහරණය කිරීම, අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න ගිලන් කාමරයක් හදලා තිබීම. හැම පාසලකටම සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙක් පත්කිරීම, ඔය ඔක්කොම තීරණ ගන්න බෑ ඉසුරුපායෙන්. කලාපයෙන් කලාපයට පාසලෙන් පාසලට තත්ත්වයන් වෙනස්. ඒ නිසා පාසලේ විදුහල්පතිවරයාට සහ විශේෂ කමිටුවකට අපි අභිමතය දීලා තියෙනවා අවශ්‍ය පියවර ගන්න. ඒ පාසල් කමිටුවේ විදුහල්පති, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, ග්‍රාම නිලධාරි, පොලිස් ස්ථානාධිපති හා පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ ආදි ශිෂ්‍යයෙක් මෙන්ම පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයෙක් ඉන්නවා. ඒ කමිටුව තමයි අවශ්‍ය තීරණ අරගෙන ඒක ක්‍රියාත්මක කරන්නෙ. ළමයි පාසලට එන ප්‍රමාණය ගැනත් අවධානය යොමු කළා. අපි අමාත්‍යාංශයට ගෙන්නුවා දුම්රිය බලධාරීන්, ලංගම බලධාරීන්, පෞද්ගලික පාසල් බස් රිය නියෝජිතයන්, අපි ඔවුන් සමග සාකච්ඡාවක් කළා. හැම පාසලකම සාකච්ඡා කළා. ඔය ඔක්කොම සැලසුම් කරලා තමයි හෙට පාසල් විවෘත වෙන්නේ.


ප්‍රශ්නය:-පාසල් දරුවන්ගේ නිල ඇඳුම් ලැබිලා නෑ කියලා පාර්ලිමේන්තුවේදීත් කියැවුණා?


පිළිතුර:- දැනට පළාත් හතරකට නිල ඇඳුම් සීයට සීයක්ම යවලා තියෙනවා. තව පළාත් දෙකකට සියයට හැත්තෑපහක් යවලා තියෙනවා. කොහොම හරි ඉතිරියත් අපි ඉක්මනින්ම යවනවා.


ප්‍රශ්නය:- එතකොට පෙළපොත්?


පිළිතුර:- ඔබ මුලින් අහපු ප්‍රශ්නයකට ඔය ප්‍රශ්නය සම්බන්ධයි. අපි මේ හෙට පටන් ගන්නේ 2020 තුන්වැනි වාරය නොවෙයි. 2021 පළමු වාරයයි. 1 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පෙළපොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. අනෙක් ප්‍රශ්නය තමයි දුරස්ථ අධ්‍යාපනය. ඒක සම්පූර්ණ විසඳුමක් නොවෙයි. ළමයි ඉන්නවා නොයෙක් ප්‍රදේශවල ඒ දුරස්ථ අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න බැරි උපරිම මට්ටමෙන් අපි මේක දියුණු කරනවා. ගුරුගෙදර, තක්සලාව, චැනල් අයි හරහා අපි ඒක කරනවා. නමුත් පාසල් වහලා ඒක සාර්ථක කරගන්න බෑ.


ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හින්දු පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් ඔබ විවේචනාත්මක අදහස් පළ කරලා තිබුණා?


පිළිතුර:- මම එතැනදී කිව්වේ 2010 ඉඳලා 2015 දක්වා මම විදේශ ඇමැති. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති. අපි විදේශ සංචාරවලට ගියාම නොයෙක් මාධ්‍ය නොයෙක් ප්‍රශ්න අහනවා. හැබැයි අපි හිටියා ස්ථීරසාර ප්‍රතිපත්තියක. විදෙස් මුද්‍රිත මාධ්‍ය, විදෙස් මාධ්‍ය විවිධ ප්‍රශ්න අහනවා. ඒ අය හැම තිස්සෙම අහනවා අපේ රටේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න ගැන. හැබැයි අපි ප්‍රතිපත්තියක් හැටියට අපි අඛණ්ඩව අනුගමනය කරපු ප්‍රතිපත්තිය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති හැටියටත් මම විදේශ ඇමැති හැටියටත් විරුද්ධ පක්ෂයටවත් ප්‍රහාර එල්ල කළේ නෑ. අපේ ස්ථාවරය වුණේ අපි පක්ෂ දේශපාලනය කරනවා රට තුළ. රටින් පිට අපි ඒ ගැන කතා කරන්නේ නෑ. මාධ්‍ය දිගින් දිගටම අහන්නේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන. ඒ අයට ඕනෑ රසවත් කතාවක් හදන්න. හැබැයි ඒ ඇම අපි ගිල්ලේ නෑ. මොකද අපේ රටේ අභිමානයක් තියෙනවා. ඒ නිසා අපි අපේ රටේ ප්‍රශ්න ගැන එළියේදී කතා කරන්නේ නෑ. ඒක අපේ ස්ථීරසාර ප්‍රතිපත්තියක්.


ප්‍රශ්නය:-හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඒ ප්‍රතිපත්තිය කැඩුවා?


පිළිතුර:- ඒ සම්ප්‍රද‌ාය කැඩීම හොඳ ප්‍රවණතාවක් නොවෙයි. විදේශීය මාධ්‍යයක් සමග එහෙම කරන්න හොඳ නෑ. අපේ ප්‍රතිපත්තිය කොයිතරම් ස්ථීරසාර වුණා ද කියනවා නම් අපි විදේශ මාධ්‍ය සමග විරුද්ධ පක්ෂය ගැනවත් කතා කරලා නෑ.


ප්‍රශ්නය:-මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ආණ්ඩුවේම කොටස්කාරයෙක්?


පිළිතුර:- ඔව්. අපි එකම සන්ධානයක් තුළ ඉන්නේ. එතකොට විදේශීය මාධ්‍යයකට කියනවා නම් එක පක්ෂයකින් තවත් පක්ෂයක් නාමයෝජනා මෙච්චරක් ඉල්ලුවා. නමුත් එකයි ලැබුණේ කියලා මේ කා එක්කද කතා කරන්නේ? විදේශ මාධ්‍යයක් එක්ක. ඒක නුසුදුසුයි. ඒක ගැලපෙන්නේ නෑ. ඒක රටේ අභිමානයට හොඳ දෙයක් නොවෙයි. ඔහොම කතා කළාම ඒ රටේ අපේ රට ගැන ඇතිවෙන චිත්‍රය මොකක්ද? ඒ නිසා තමයි අපි කිව්වේ ප්‍රශ්න සාකච්ඡා මගින් විසඳ‌ා ගන්න ඕනෑ. විදේශ මාධ්‍ය සමග ඒ ගැන කතා කිරීම රටට හොඳ නෑ කියලා?

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්